Skip to content

පටුනට යන්න

රාජ්‍ය ශාලා සෑමදෙනාටම විවෘතයි

රාජ්‍ය ශාලා සෑමදෙනාටම විවෘතයි

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

රාජ්‍ය ශාලා සෑමදෙනාටම විවෘතයි

ප්‍රසිද්ධ දේවසේවය සඳහා තම ගෝලයන්ව පුහුණු කරන අතරතුර යේසුස් ක්‍රිස්තුස් “ගෙවල් මුදුනේ සිට දේශනා කරන්න” කියා ඔවුන්ට දිරිගැන්වීය. (මතෙව් 10:27, NW) ඔව්, ඔවුන් මිනිසුන් ඉදිරිපිටම, විවෘතව තම ක්‍රිස්තියානි දේවසේවය ඉටු කළ යුතු විය. මෙම අවවාදයේ හරය අනුව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම්ද සිදු කරන්නේ හැංගි හොරා නොවේ. විවෘතව මෙසේ ක්‍රියා කිරීමෙන් විරුද්ධවාදිකම් ජයගැනීමට හා සතුටුදායක පිළිගැනීමක් ලබාගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට හැකි වී තිබේ.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම් මහජනයාට විවෘතව තිබුණත්, ඒවා ගැන දක්වා තිබූ අගතිසහගත හැඟීම් නිසා රාජ්‍ය ශාලාවට ඇතුල් වීමට සමහරු අදිමදි කරති. ෆින්ලන්තයේ පවතින්නේද මෙවැනි තත්වයකි. තවත් සමහරු අලුත් තැන්වලට යෑම සම්බන්ධයෙන් තරමක බියක් දක්වති. සාමාන්‍යයෙන් අලුත් රාජ්‍ය ශාලාවක් ඉදි කළ විට හෝ තිබෙන ශාලාවක් අලුත්වැඩියා කළ විට විවෘත කිරීමේ උත්සවයක් පවත්වනු ලැබේ. රාජ්‍ය ශාලාවට පැමිණ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන යම් අවබෝධයක් ලබාගැනීම සඳහා අසල්වැසියන්ට ආරාධනා කිරීමට විශේෂ වෑයමක් දැරිය හැක.

එක ප්‍රදේශයක, සාක්ෂිකරුවෝ තම අලුත් රාජ්‍ය ශාලාව විවෘත කරන දවසේම සඟරා බෙදාහැරීමටද කටයුතු පිළියෙළ කළහ. සාක්ෂිකරුවන් දෙදෙනෙකුට වයසක තැනැත්තෙක් මුණගැසුණු අතර ඔහු මුරටැඹ සහ පිබිදෙව්! සඟරා කියවීමෙන් සතුටක් ලැබූ බව ඔවුන්ට පැවසීය. විවෘත කිරීමේ උත්සවය ගැන ඔහුට පැවසූ සහෝදරයෝ ඔහුව රාජ්‍ය ශාලාවට ගෙනයන්නත් කැමැත්ත පළ කළහ. ඔවුන් සමඟ එහි යෑමට ඔහු සතුටු විය. මෙම සංවාදයට සවන් දී සිටි සිය භාර්යාව “මටත් ආසයි යන්න” කියා ශබ්ද නඟා කීවාය.

රාජ්‍ය ශාලාවට ඇතුල් වූ පසු ඔහු වට පිට බලා මෙසේ පැවසීය. “මේක පොඩ්ඩක්වත් අඳුරු නැහැනේ. හරිම ලස්සනයි. හරිම එළියයි. මට කියලා තිබුණේ රාජ්‍ය ශාලාවේ ගාලා තියෙන්නේ කලු පාට කියලනේ!” තරමක වේලාවක් එහි ගත කළ යුවළ, ප්‍රදර්ශනය කර තිබූ පොත් පත්වලින් කීපයක් ඉල්ලුම් කළහ.

තම රාජ්‍ය ශාලාව කැප කිරීමේ උත්සවය ප්‍රාදේශීය පුවත්පතක නිවේදනය කිරීමට එක සභාවකට වුවමනා විය. මේ අවස්ථාව සම්බන්ධයෙන් දැන්වීම ලද ප්‍රධාන සංස්කාරක මෙම විෂය අලළා ලිපියක් ලියන්නැයි යෝජනා කළේය. සහෝදරයන් ඊට එකඟ වූ අතර ටික කලකට පසු, සතුටුදායක ලෙස පිටු භාගයක ලිපියක් එහි පළ කර තිබුණි. එහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය සභාවේ පැවැත්වෙන එම උත්සවය හා ක්‍රියාකාරකම් විස්තර කර තිබුණි.

ලිපිය පළ කළ පසු, වයසක සාක්ෂිකාරියකට අසල්වැසියෙකු හමු වූ විට, අසල්වැසියා ඇයට මෙසේ පැවසුවාය. “අද පත්තරේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන ලස්සන ලිපියක් තියෙනවා!” සාක්ෂියක් දීමට සහෝදරියට හැකි වූ අතර පසුව ඇයට විසිවන සියවසේ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ (සිංහලෙන් නැත) නමැති විවරණිකාව දුන්නාය.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිළිබඳව ඇතමුන් තුළ තිබූ වැරදි වැටහීම් නිවැරදි කරගැනීමට පමණක් නොව එවැනි විවෘත කිරීමේ උත්සව හා නව රාජ්‍ය ශාලා කැප කිරීමේ වැඩසටහන් සම්බන්ධයෙන් කරනු ලබන සැලසුම් රැස්වීම්වලට තව බොහෝ ජනයාට ආරාධනා කිරීමටද ප්‍රචාරකයන්ව පුබුදුවා තිබේ. ඔව්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලා සැමදෙනෙකුටම විවෘතව තිබෙන බව ෆින්ලන්තය ඇතුළු බොහෝ රටවල ජනයා වටහාගෙන ඇත.