සමාව ඉල්ලීම මෙතරම් අමාරු ඇයි?
සමාව ඉල්ලීම මෙතරම් අමාරු ඇයි?
වර්ෂ 2000 ජූලි මාසයේදී, එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ව්‍යවස්ථාදායකය විසින් එක්තරා යෝජිත පනතක් නිකුත් කරනු ලැබුවා. එය සැලසුම් කර තිබුණේ හදිසි අනතුරකට ගොදුරු වුණු පුද්ගලයෙකුට ඊට සම්බන්ධ වූ පුද්ගලයන් විසින් අනුකම්පාව දැක්වුවහොත්, සිදු වූ අනතුර පිළිබඳ වගකීමෙන් ඔවුන් නිදහස් කිරීම සඳහායි. එවැනි ව්‍යවස්ථාවක් පිහිටවනු ලැබුවේ ඇයි? යම් හදිසි අනතුරකින් තුවාල හෝ වෙනත් හානි සිදු වූ විට, ඊට සම්බන්ධ පුද්ගලයන් සමාව ඉල්ලීමට මැලි වෙන්නේ එසේ සමාව ඉල්ලීම, තමා විසින් වරදක් කළ බවට උසාවියේදී තහවුරු වේදෝයි යන සැකය නිසා බව සොයාගැනුණු නිසායි. අනෙක් අතට, තමන්ගෙන් විගස සමාව ඉල්ලිය යුතුයයි හැඟෙන පුද්ගලයන්ගෙන් සමාව නොඉල්ලුවහොත් ඔවුන්ට කේන්ති යා හැකි අතර, කුඩා අනතුරක් මහා විශාල අරගලයක් බවටද පත් වෙන්නට පුළුවනි.
ඇත්ත වශයෙන්ම, ඔබ අතින් සිදු නොවූ අනතුරක් සම්බන්ධයෙන් සමාව ඉල්ලීම අනිවාර්ය නැහැ. එමෙන්ම ඔබ පවසන දේ ගැන සුපරීක්ෂාවෙන් සිටීම ඥානවන්ත විය හැකි අවස්ථාද තිබෙනවා. එක්තරා ඉපැරණි හිතෝපදේශයක මෙසේ කියැවෙනවා. “කතාව වැඩි තැන වරදට ඉඩ ඇත. සිය මුව රැකගන්නා නුවණැත්තෙකි.” (හිතෝපදේශ 10:19, නව අනුවාදය; 27:12) එහෙත්, ආචාරසම්පන්න වී උදව් කිරීමට ඔබට හැකියි.
කෙසේවෙතත්, නීතියේ රැහැනට අසුවීමක් නැතත්, බොහෝදෙනෙක් සමාව ඉල්ලීම නවතා දමා තිබෙන බව සත්‍යයක් නොවේද? මේ ගෘහිණියක් දුක් වෙන සැටියි. ‘මගේ ස්වාමිපුරුෂයා
කවදාවක්වත් කිසිම දේකට මගෙන් සමාව ඉල්ලන්නේ නැහැ.’ රැකියා ස්ථානයක ප්‍රධානියෙක් නොසතුටෙන් මෙසේ කියනවා. ‘මා යටතේ වැඩ කරන සේවකයන් ඔවුන්ගේ වැරදි පිළිගන්නේ නැහැ. “මට සමා වෙන්න” කියලා කිව්වොත්, ඒ ඉතින් කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ තමයි.’ එක් පාසැල් ගුරුවරයෙක් වාර්තා කරන්නේ, ‘මට සමා වෙන්න කියලා කියන්න දරුවන්ට පුහුණු කරලා නැහැ’ යනුවෙනුයි.යම් පුද්ගලයෙක් සමාව ඉල්ලීමට අදිමදි කිරීමට එක් හේතුවක් විය හැක්කේ, තමාව ප්‍රතික්ෂේප කරාවි යන බියයි. තමාට කිසිදු අනුකම්පාවක් නොදක්වාවිය යන චකිතයෙන් යුතු හේ තමාට ඇත්තටම හැඟෙන ආකාරය ගැන කිසිවක් නොපවසනවා වන්නට පුළුවනි. සිදු වූ වරදෙන් හිත රිදවාගත් තැනැත්තා වැරැද්ද කළ තැනැත්තාව සම්පූර්ණයෙන්ම මඟහැර සිටින්නට පුළුවනි. ඉන් සිදු වන්නේ තත්වය තවත් දුෂ්කර අතට හැරීම පමණයි.
අනෙක් මිනිසුන්ගේ හැඟීම් ගැන අල්ප සැලකිල්ලක් දැක්වීම, ඇතමුන් සමාව ඉල්ලීමට අදිමදි කිරීමට තවත් හේතුවක් වන්නට පුළුවනි. ඔවුන් මෙහෙම කල්පනා කරනවා විය හැකියි. ‘සමාව ඉල්ලුවායි කියලා මම දැනටමත් කර තිබෙන වරද හරිගස්සන්න බැහැනේ.’ තවත් අය ඉන්නවා, ‘මට සමා වෙන්න’ කියන්න ඔවුන්ට බැහැ. හේතුව? ඉන් ඇති විය හැකි යම් යම් ඵල විපාක නිසා. ඔවුන් කල්පනා කරන්නේ මෙහෙමයි. ‘මට මේකට වග කියන්නට සිදු වෙයිද? මට මේ නිසා වන්දි ගෙවන්නට සිද්ධ වෙයිද?’ කොහොම වුණත්, වරදක් පිළි නොගැනීමට තිබෙන ලොකුම බාධකය තමයි, උඩඟුකම. “මට සමා වෙන්න” කියන්නට තරම් නිහතමානිකමක් නැති පුද්ගලයෙක් හිතන දෙය මෙන්න මෙහෙම කැටි කොට දක්වන්න පුළුවනි. ‘මගේ වරද පිළිඅරන් නිකං සවුත්තු වෙන්නේ මොකටද? එහෙම වුණොත් ඒක මගේ තත්වයටත් මදිකමක්.’
හේතුව මොකක් වුණත්, හුඟක් අයට හිතෙන්නේ ‘මට සමා වෙන්න’ කියන වචන පේළිය කියන්න හරි අමාරුයි කියලයි. ඒ වුණත්, සමාව ඉල්ලීම ඇත්තටම අනිවාර්යයද? සමාව ඉල්ලීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
[3වන පිටුවේ පින්තූරය]
“‘මට සමාවෙන්න’ කියලා කියන්න දරුවන්ව පුහුණු කරලා නැහැ”
[3වන පිටුවේ පින්තූරය]
“මා යටතේ වැඩ කරන සේවකයන් ඔවුන්ගේ වැරදි පිළිගන්නේ නැහැ”
[3වන පිටුවේ පින්තූරය]
“මගේ ස්වාමිපුරුෂයා කවදාවක්වත් කිසිම දේකට මගෙන් සමාව ඉල්ලන්නේ නැහැ”