Skip to content

පටුනට යන්න

ආගමික ස්ථාන අපට අවශ්‍යද?

ආගමික ස්ථාන අපට අවශ්‍යද?

ආගමික ස්ථාන අපට අවශ්‍යද?

වර්ණවත් වස්ත්‍ර ඇඳගත්, රටේ දස දෙසින් පැමිණි වන්දනාකරුවන් දහස් ගණනක් රැස්ව සිටින්නේ එක පොදියටය. දකුණු අමෙරිකාවේ මුල් වැසියෝ ප්‍රබල බෙර හඬ මැද ස්පාඤ්ඤ යුගයට පෙර පැවති බවට කියැවෙන නැටුමක නිරත වෙති. ඒ අතර බැතිමතුන් පිරිසක් තම වේදනාව නොතකා මහත් ආයාසයක් දරමින් දෙව්මැදුර බලා ගමන්ගන්නේ දණගසාගෙනය. ඔවුන් වටා විශාල පිරිස් බැසිලිකාව අවට පිහිටි වීථිවල සහ පෝටිකෝවල පිරී සිටිති.

එල් එකොනොමිස්ටා නමැති පුවත්පත 2001 දෙසැම්බර් මාසයේදී මෙසේ රැස්කකා සිටි ජන පිරිසක් විස්තර කළේ එලෙසය. එම අවස්ථාවේදී මිලියන තුනක පමණ ජන පිරිසක් ග්වාඩාලූප්හි කන්‍යාවියට තම භක්තිය පළ කිරීමට මෙක්සිකෝ නගරයෙහි බැසිලිකාවට සේන්දු වූහ. රෝමයේ සාන්ත පේදුරු බැසිලිකාව වැනි වෙනත් ආගමික මධ්‍යස්ථානවලටද ජන පිරිස් එලෙස ඇදී එති.

දෙවියන්ට නමස්කාර කිරීමේ ආශාවෙන් සිටින බොහෝදෙනෙකුට මෙවැනි ආගමික ගොඩනැඟිලි සම්බන්ධයෙන් තිබෙන්නේ ගැඹුරු හෘදයාංගම භක්ත්‍යාදරයකි. බ්‍රසීලයේ මාරියාට සවන් දෙමු. “මට දෙවියන්ට ළං වෙන්න පුළුවන් තැන තමයි පල්ලිය. ඒක ශුද්ධ ස්ථානයක්. පල්ලියට ගියහම මගේ හිත පිරිසිදු වෙනවා කියලා මට විශ්වාසයි. හැම ඉරිදාවකම පූජාවට හා පාපොච්චාරණයට නොගියොත් ඒක පාපයක්” යන්න ඇගේ අදහසයි. මෙක්සිකෝවේ කොන්ස්වේලෝ මෙසේ පවසයි. “පල්ලියේ මෙහෙයන්වලට සහභාගි වීමෙන් මා තුළ ගැඹුරු භක්තියක් ඇති වුණා. මම පල්ලි යන එක සැලකුවේ හරි වටින දෙයක් හැටියටයි. එහේ ඉන්නකොට මට හිතුණේ මම මෝක්ෂ රාජ්‍යයේ ඉන්නවා කියලායි.”

මෙසේ සමහරුන් පල්ලි ඉතා වැදගත් ස්ථාන ලෙස සැලකුවත්, ආගමික වශයෙන් රැස් වන ස්ථාන ලෙස ඒවායේ අවශ්‍යතාව සම්බන්ධයෙන් සමහරුන්ට සැකයන් ඇත. පල්ලියට පැමිණෙන සංඛ්‍යාව අඩු වී ගොස් ඇති ආකාරය ගැන කතා කරමින් එංගලන්තයේ කතෝලික පූජකයෙක් වන පීටර් සයිබර්ට් මෙසේ පවසයි. “[මිනිස්සු] සාමාන්‍යයෙන් ආගමකින් තෝරාගන්නේ තමන්ට කැමති කැමති කොටස් විතරයි. වයසින් වැඩි බොහෝදෙනෙක් කතෝලිකයෝ. ඒ උදවිය තම ඇදහිල්ලට අනුව ජීවත් වෙනවා. හැබැයි, තරුණ පරපුරට නම් ඒ වගේ භක්තියක් තියෙනවා කියලා කියන්න බැහැ.” වර්ෂ 1998 නොවැම්බර් 20වන දින පළ වූ ලන්ඩනයේ ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතෙහි මෙසේ නිරීක්ෂණය කර තිබිණ. “වර්ෂ 1979 පටන් එංගලන්තයේ පල්ලි 1,500ක් පමණ වසා දමා ඇත. ඒත් සමඟම විවෘත කර තිබෙන්නේ පල්ලි 495ක් පමණි. තවද අලුත්වැඩියා කර ඇත්තේ පල්ලි 150ක් පමණි.”

වර්ෂ 1997දී ජර්මනියේ මියුනික් නගරයේ ට්සියූඩොයිච ට්සයිටුං නමැති පුවත්පතෙහි මෙම වාර්තාව පළ විය. “දැන් දැන් පල්ලි සිනමා ශාලාවලට හා නේවාසික ස්ථානවලට පරිවර්තනය කරනු ලැබේ. බැතිමතුන් පල්ලිවලට නොපැමිණෙන හෙයින්, මෙම ආගමික ස්ථාන වෙන අරමුණු සඳහා යොදාගැනේ. . . . නෙදර්ලන්තයේ හෝ එංගලන්තයේ පොදුවේ අනුගමනය කරන මෙම ක්‍රියා පිළිවෙත දැන් ජර්මනියෙහිද දක්නට ලැබේ.” “පසුගිය අවුරුදු කිහිපයේදී ජර්මනියේ දැකුම්කලු පල්ලි 30ක් හෝ 40ක් පමණ විකිණීමට තිබුණු බවට පෙනේ.”

එසේනම්, ආගමික ගොඩනැඟිලි දෙවියන්ට නමස්කාර කිරීම සඳහා ඇත්තටම අවශ්‍යද? බැසිලිකාවන් සහ විසිතුරු පල්ලි තැනීමට ශුද්ධ ලියවිලිමය පදනමක් තිබේද? සැබෑ මෙන්ම ජීවමාන දෙවිට නමස්කාර කිරීමේදී භාවිත කර තිබෙන්නේ කවර අන්දමේ ගොඩනැඟිලිද? මෙම ගොඩනැඟිලිවලින් නමස්කාරය සඳහා මධ්‍යස්ථාන තිබීමේ අවශ්‍යතාව ගැනත්, එම ස්ථානවල සිදු කළ යුතු දේවල් ගැනත් අපට උගත හැක්කේ කුමක්ද?