Skip to content

පටුනට යන්න

උරෙන් උර ගැටී දිගටම සේවය කරන්න

උරෙන් උර ගැටී දිගටම සේවය කරන්න

උරෙන් උර ගැටී දිගටම සේවය කරන්න

“එකල සියලු ජනයන් යෙහෝවාගේ නාමයට යාච්ඤා කොට, එක්සිත්ව [උරෙන් උර ගැටී, NW] ඔහුට සේවය කරන පිණිස, ඔවුන්ට පවිත්‍ර භාෂාවක් දෙන්නෙමි.”—ශෙපනියා 3:9.

1. ශෙපනියා 3:9 ඉෂ්ට වීමක් ලෙස සිදු වෙමින් පවතින්නේ කුමක්ද?

 අදදින ලොව වටා භාෂාවන් 6,000ක් පමණ කතා කරනු ලැබේ. මීට අමතරව, එක් එක් ප්‍රදේශවලට ආවේණික වූ යම් උපභාෂා සහ භාෂා රටාවන්ද ඇත්තේය. ජනයා අරාබි සහ සූලු වැනි එකිනෙකට වෙනස් භාෂා කතා කළත්, දෙවි ඉතා මහත් වූ කැපීපෙනෙන යමක් කර තිබේ. එය නම් සෑම තැනකම වෙසෙන මිනිසුන්ට පවිත්‍ර වූ එකම භාෂාවක් කතා කිරීමට හැකි කරවා තිබීමයි. මෙය සිදු වන්නේ අනාගතවක්තෘ ශෙපනියා තුළින් දෙන ලද පොරොන්දුවක් ඉටු කරමිනි. එහි පවසන්නේ මෙසේයි. “එකල සියලු ජනයන් යෙහෝවාගේ නාමයට යාච්ඤා කොට, එක්සිත්ව [උරෙන් උර ගැටී, NW] ඔහුට සේවය කරන පිණිස, ඔවුන්ට පවිත්‍ර භාෂාවක් [පදගතාර්ථයෙන් ගත් කල, “පිරිසිදු තොලක්,” NW පාද සටහන] දෙන්නෙමි.”—ශෙපනියා 3:9.

2. “පවිත්‍ර භාෂාව” යනු කුමක්ද? එය ඉටු කර තිබෙන දේවල් මොනවාද?

2 “පවිත්‍ර භාෂාව” යනු දෙවිගේ වචනය වන බයිබලයේ සඳහන් දෙවිගේ සත්‍යයයි. විශේෂයෙන්ම දෙවිගේ රාජ්‍යය පිළිබඳ සත්‍යයයි. එමගින් යෙහෝවාගේ නාමය විශුද්ධ වෙයි. ඔහුගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගතබව තහවුරු කෙරේ. මිනිස් වර්ගයාට ආශීර්වාද ගෙන එයි. (මතෙව් 6:9, 10) පොළොවේ තිබෙන එකම ආත්මික පිරිසිදු භාෂාව වශයෙන්, මෙම පවිත්‍ර භාෂාව සියලු ජාතීන් හා වර්ගයන් විසින් කතා කරනු ලැබේ. “උරෙන් උර ගැටී” යෙහෝවාට සේවය කිරීමට එය ඔවුන්ට හැකියාව ලබා දෙයි. නැතහොත්, NW පාද සටහනට අනුව “එක උරහිසකින්” සේවය කිරීමට හැකි වී තිබේ. මෙසේ, ඔවුහු එක්සත්ව නැතහොත් ‘එක සිතකින්’ යුතුව සේවය කරති.—නව අනුවාදය.

තරාතිරම් බැලීමකට කිසිදු ඉඩක් නැත

3. එක්සත්කමින් යෙහෝවාට සේවය කිරීමට අපට හැකි කරවන්නේ කුමක්ද?

3 ක්‍රිස්තියානීන් වශයෙන් භාෂාවන් ගණනාවක් කතා කරන අපි, අප අතර පවතින සහයෝගය ගැන කෘතඥපූර්වක වෙමු. රාජ්‍යයේ ශුභාරංචිය භාෂා ගණනාවකින් කතා කළද, අපි එක්සත්කමින් යුතුව දෙවිට සේවය කරන්නෙමු. (ගීතාවලිය 133:1) මෙය කළ හැකි දෙයක්. මන්ද අප පොළොවේ කොතැනක ජීවත් වුණත්, අප කතා කරන්නේ එකම පවිත්‍ර භාෂාවක්. එය යෙහෝවාට ප්‍රශංසාවක් වන පිණිසය.

4. දෙවිගේ ජනයා අතර කිසිදු තරාතිරම් බැලීමක් සිදු නොවිය යුත්තේ ඇයි?

4 දෙවිගේ ජනයා අතර කිසිම විදිහක තරාතිරම් බැලීමක් සිදු නොවිය යුතුයි. ප්‍රේරිත පේතෘස්, පො.යු. 36දී අන්‍යජාතික හමුදා නිලධාරියෙකු වූ කොර්නේලියස්ගේ නිවසේදී දේශනා කළ විට මෙය ඉතා පැහැදිලිව පෙන්වූයේය. ඔහු මෙසේ කියන්නට පෙලඹුණි. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට ස්ථිරවම වැටහේ. මන්ද සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය.” (ක්‍රියා 10:34, 35, NW) මෙය සැබෑවක් වන හෙයින්, ක්‍රිස්තියානි සභාව යනු තරාතිරම් බැලීමක් සිදු වන තැනක්වත්, කල්ලි ගැසිය යුතු තැනක්වත් එසේත් නැතහොත් යමෙකුට හෝ යම් කණ්ඩායමකට විශේෂ අනුග්‍රහයක් දැක්විය යුතු තැනක්වත් නොවේ.

5. සභාව තුළ කල්ලි ගැසීමට දායක වීම වැරදි දෙයක් වන්නේ ඇයි?

5 එක් විදුහලක ශිෂ්‍යයාවක් රාජ්‍ය ශාලාවක් බලන්නට ගිය පසු මෙසේ පැවසුවාය. “සාමාන්‍යයෙන් පල්ලිවලට මිනිසුන් ඇදී යන්නේ එක්තරා ජාතියක හෝ වාර්ගික කණ්ඩායමක සාමාජිකයන් වශයෙන්, . . . යෙහෝවාගේ සාක්ෂිකරුවන් සියලුදෙනාම එකට වාඩි වී සිටියේ කිසිම කල්ලි ගැසීමකින් තොරවයි.” කෙසේවෙතත්, ඉපැරණි කොරින්ති සභාවේ සමහරක් සාමාජිකයෝ භේද ඇති කරමින් සිටියහ. මෙසේ භේද ඇති කිරීම මගින් ඔවුන් එරෙහි වූයේ එක්සත්කම හා සාමයට දායක වූ දෙවිගේ ශුද්ධාත්මයේ ක්‍රියාකාරිත්වයටයි. (ගලාති 5:22) අපි අපගේ සභාව තුළ කල්ලි ගැසීමක් ඇති කිරීමට දායක වෙනවා නම්, අප කරන්නේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීමට එරෙහිව කටයුතු කිරීමයි. එමනිසා, ප්‍රේරිත පාවුල් විසින් කොරින්තිවරුන්ට ලියන ලද වචන මතකයට නඟන්න. “සහෝදරයෙනි, ඔබ සැමෝම එකඟතාවෙන් යුතුව කතා කරන ලෙසද, ඔබ අතරේ භේද නැතිව සිටින ලෙසද, එකම මනසින් හා එකම ආකාරයට සිතීමෙන් නිසි ලෙස එක්සත් වන ලෙසද අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් මම දැන් ඔබෙන් උදක්ම ඉල්ලා සිටිමි.” (1 කොරින්ති 1:10, NW) තවද එපීසවරුන්ට ලියන ලද ලිපිය තුළද පාවුල් එක්සත්කම ගැන අවධාරණය කළේය.—එපීස 4:1-6, 16.

6, 7. අනිසි අනුග්‍රහයක් දැක්වීම සම්බන්ධයෙන් යාකොබ් දුන් උපදේශය කුමක්ද? ඔහුගේ මෙම වචන අදාළ වන්නේ කෙසේද?

6 තරාතිරම් නොබලා කටයුතු කිරීම ක්‍රිස්තියානීන් අතර සෑමවිටම පවතින දැඩි අවශ්‍යතාවකි. (රෝම 2:11) පළමු සියවසේ සභාව තුළ සිටි ඇතමුන් ධනවත් පුද්ගලයන්ට අනිසි අනුග්‍රහයක් දැක්වූ බැවින්, ශ්‍රාවක යාකොබ් මෙසේ ලීවේය. “මාගේ සහෝදරයෙනි, අපගේ තේජස වන්නාවූ අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල දරන අතරම ඔබ තරාතිරම් බලනවාද? මන්ද, රන් මුදුද සිනිඳු වස්ත්‍රද පැළඳි මිනිසෙක් ඔබේ රැස්වීමකට ඇතුල් වනවාත් සමඟම කිලුටු වස්ත්‍ර පැළඳි දිළිඳු මිනිසෙක්ද ඇතුල් වුණොත්, සිනිඳු වස්ත්‍ර පැළඳ සිටින්නාට අනුග්‍රහය දක්වමින්, ‘ඔබ මෙහි හොඳ තැනක හිඳගන්න’ කියාත් දිළිඳාට, ‘ඔබ සිටගෙන සිටින්න’ කියා හෝ ‘මාගේ පාපුටුව ළඟ හිඳගන්න’ කියා හෝ කියන්නේ නම්, ඔබ අතරේ පන්ති භේද තිබෙනවා නොවේද? ඔබ දුෂ්ට තීරණ දෙන විනිශ්චයකාරයන් බවට පත්ව නොසිටින්නහුද?”—යාකොබ් 2:1-4, NW.

7 රන් මුදු හා සිනිඳු වස්ත්‍ර පැළඳි, ඇදහිල්ලේ නොවන ධනවතෙක්ද, කිලුටු ඇඳුම් ඇඳ සිටි ඇදහිල්ලේ නොවන දිළින්දෙක්ද ක්‍රිස්තියානි රැස්වීමකට පැමිණියේ නම්, ධනවතාට විශේෂ සැලකිල්ලක් ලැබිණි. ඔවුන්ට ‘හොඳ තැනක’ වාඩිවීමට ලැබුණු අතර, හිටගෙන සිටින ලෙස හෝ යමෙකුගේ පාමුල බිම වාඩිවීමට දිළින්දාට කියනු ලැබිණි. නමුත් දෙවි ධනවතුන්ටත් දිළින්දන්ටත් එක සමාන ලෙස යේසුස්ගේ මිදීමේ මිල යාගය සැපයුවේ කාගේවත් තරාතිරම් නොබලාය. (යෝබ් 34:19; 2 කොරින්ති 5:14) ඉතින් අපි යෙහෝවාව සතුටු කර, උරෙන් උර ගැටී ඔහුට සේවය කරනවා නම්, කාටවත් විශේෂ අනුග්‍රහයක් දැක්වීමට අපට නොහැක. නැතහොත්, ‘අපගේම වාසිය තකා ඇතැම් පුද්ගලයන්ට චාටුවෙන් ප්‍රශංසා කිරීමට’ අපට නොහැක.—යූද් 4, 16, NW.

මැසිවිලි නැඟීමෙන් වැළකී සිටින්න

8. ඊශ්‍රායෙලිතයන් මැසිවිලි නැඟූ නිසා සිදු වුණේ කුමක්ද?

8 අපගේ එක්සත්කම පවත්වාගැනීමටද, දිව්‍ය අනුමැතිය දිගටම දිනාගැනීමටද, අප පාවුල්ගේ උපදේශයට අවනත විය යුතුය. එය මෙයයි. ‘ඔබ කරන සියල්ල මැසිවිලි නැඟීමෙන් තොරව කරන්න.’ (පිලිප්පි 2:14, 15, NW) ඊජිප්තුවේ වහල්භාවයේ සිටි ඊශ්‍රායෙලිතයෝ ඉන් නිදහස් වූ පසු මෝසෙස්ට සහ ආරොන්ට එරෙහිව මැසිවිලි නැඟූහ. ඇත්තෙන්ම ඔවුන් මැසිවිලි නැඟුවේ යෙහෝවා දෙවිට එරෙහිවය. මේ නිසා, විශ්වාසවන්ත යෝෂුවා, කාලෙබ් සහ ලෙවීවරුන් හැර, වයස අවුරුදු 20 සිට ඉහළට වැඩිමහල් සියලු පුරුෂයෝ පොරොන්දු දේශයට ඇතුළු නොවූ අතර, පාළුකරයේ වසර 40ක දිගු ගමන යන අතරතුරේදී මිය ගියහ. (ගණන් කථාව 14:2, 3, 26-30; 1 කොරින්ති 10:10) මැසිවිලි නැඟීම නිසා ඔවුන්ට ගෙවන්නට සිදු වුණු වන්දිය කොයිතරම්ද!

9. මිරියාම් ඇගේ මැසිවිල්ල නිසා අද්දුටුවේ කුමක්ද?

9 ජාතියක් හැටියට මැසිවිලි නැඟීමේදී සිදු විය හැකි දෙය මින් මොනවට කියාපායි. මැසිවිලි නඟන තනි තනි පුද්ගලයන් ගැන කුමක් කියන්නට පුළුවන්ද? මෝසෙස්ගේ සහෝදරිය වූ මිරියාම් ඇගේ සහෝදරයා වූ ආරොන් සමඟ එකතු වී මැසිවිලි නැඟුවේ මෙලෙසයි. “යෙහෝවා කතා කෙරෙව්වේ මෝසෙස් ලවා පමණක්ද? අප ලවාත් කතා නොකෙරෙව්වේද?” වාර්තාව තවදුරටත් මෙසේ කියයි. “යෙහෝවා ඒක ඇසුවේය.” (ගණන් කථාව 12:1, 2) මෙහි ප්‍රතිඵලය කුමක් වීද? පෙනෙන විදිහට මෙම පැමිණිල්ල කිරීමට මූලිකත්වය ගත් මිරියාම්ව දෙවි විසින් අවමන් කරන ලදි. කෙසේද? ලාදුරු රෝගය වැලඳී, පවිත්‍ර වන තෙක් කූඩාරමෙන් පිටත දවස් හතක් ගත කිරීමට සැලැස්වීමෙනි.—ගණන් කථාව 12:9-15.

10, 11. කිසි පාලනයකින් තොරව කරන මැසිවිල්ලකින් කුමක් ප්‍රතිඵල විය හැකිද? නිදර්ශනය කරන්න.

10 මැසිවිලි නැඟීම යම් වරදක් පිළිබඳව කරන හුදු පැමිණිල්ලක් නොවේ. දිගින් දිගටම මැසිවිලි නඟන අය තමන්ගේම හැඟීම් හෝ තනතුර කෙරෙහි වැඩි වැදගත්කමක් ආරූඪ කරගනිති. ඔවුන් අවධානය යොමු කරන්නේ දෙවි කෙරෙහි නොව තමුන් කෙරෙහිය. මේ සම්බන්ධයෙන් යමෙක් තමාවම දමනය කරගත්තේ නැත්නම්, ආත්මික සහෝදරයන් අතර බෙදීම් ඇති කිරීමට එය හේතු විය හැකියි. එමෙන්ම යෙහෝවාට උරෙන් උර ගැටී සේවය කිරීමට ඔවුන් ගන්නා ප්‍රයත්නයට බාධා ඇති කරයි. ඔවුන් මෙසේ දිගින් දිගටම මැසිවිලි නඟන්නේ අනුන් තමන්ට අනුකම්පාවක් දක්වාවි කියා සිතන නිසා බවට කිසිදු සැකයක් නැත.

11 නිදසුනක් වශයෙන්, එක්තරා වැඩිමහල්ලෙක් සභාවේ ඔහුට පැවරී තිබෙන දේවල් හසුරුවන ආකාරය සම්බන්ධයෙන් හෝ වගකීම් ඉටු කරන ආකාරය සම්බන්ධයෙන් යමෙක් විවේචනය කරනවා වෙන්නට පුළුවනි. අප මැසිවිලි නඟන්නාට සවන් දෙනවා නම්, අපත් දැන් ඔහු සිතන විදිහට සිතන්නට පටන්ගත හැකියි. ඒ නොසෑහීමේ බීජ අපගේ මනසේ පැළ කරන්නට පෙරාතුව එම වැඩිමහල්ලාගේ ක්‍රියාකාරකම් අපට ප්‍රශ්නයක්ව තිබුණේ නැත. නමුත් දැන් එය අපට ප්‍රශ්නයක් වී ඇත. අන්තිමේදී, එම වැඩිමහල්ලා කරන කිසිම දෙයක් අපගේ ඇස් හමුවේ හරිව පෙනෙන්නේ නැත. දැන් අපිත් ඔහු ගැන මැසිවිලි නඟන්නට පටන්ගන්නවා විය හැකියි. මේ වගේ හැසිරීමක් නම් යෙහෝවාගේ ජනයාගේ සභාව තුළට කිසිසේත්ම සුදුසු දෙයක් වන්නේ නැත.

12. මැසිවිලි නැඟීම නිසා දෙවි සමඟ ඇති අපගේ සම්බන්ධතාවට කිනම් බලපෑම් ඇති විය හැකිද?

12 දෙවිගේ රැළ රැකබලා ගන්නාවූ පුරුෂයන් ගැන මැසිවිලි නැඟීම නිග්‍රහ කිරීමකට තුඩු දිය හැකියි. ඔවුන් ගැන එසේ මැසිවිලි නඟන ස්වරයකින් හෝ අපහාසාත්මක ස්වරයකින් කතා කිරීමෙන් යෙහෝවා සමඟ ඇති අපගේ සම්බන්ධතාවට ඉතා දරුණු ලෙස හානි සිදු විය හැකියි. (නික්මයාම 22:28) පසුතැවිලි නොවන නිග්‍රහ කරන්නෝ දෙවිගේ රාජ්‍යය උරුම කර නොගන්නෝය. (1 කොරින්ති 5:11; 6:10) ‘ස්වාමිත්වය ගැන තැකීමක් නොකරන, උත්තමයන්ට’ හෙවත් සභාවේ සිටින වගකීම් ලත් පුරුෂයන්ට ‘අපහාස කරන’ මැසිවිලි නඟන්නන් ගැන ශ්‍රාවක යූද් ලීවේය. (යූද් 8, NW) එම මැසිවිලි නඟන්නන්ට දිව්‍ය අනුමැතිය තිබුණේ නැත. එසේනම් අප මේ දුෂ්ට ක්‍රියා මාර්ගයෙන් වැළකී සිටීම ඥානවන්තය.

13. සියලුම පැමිණිලි වැරදි නැත්තේ මන්ද?

13 කෙසේවෙතත්, සියලු පැමිණිලි දෙවිව අසතුටු නොකරන බව මෙහිදී සඳහන් කළ යුතුය. සොදොම සහ ගොමොරාව ගැන කළ “මොරගැසීම” නොහොත් පැමිණිල්ල ඔහු ගණන් නොගෙන සිටියේ නැත. ඔහු එම දුෂ්ට නගර විනාශ කළේය. (උත්පත්ති 18:20, 21; 19:24, 25) පොදු යුගයේ 33 පෙන්තකොස්තයට මද කලකට පසුව යෙරුසලමේ, “ග්‍රීක් බස කතා කරන යුදෙව්වරු හෙබ්‍රෙව් බස කතා කරන යුදෙව්වරුන්ට විරුද්ධව මැසිවිලි නැඟුවෝය. මන්ද, දිනපතා කෙරුණු කෑම බෙදා දීමේදී ඔවුන්ගේ වැන්දඹුවන්ව නොසලකා හරින ලදි.” මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, “දොළොස්දෙනා” තත්වය සමථයකට පත් කළේ, ආහාර බෙදා දීමේ “මේ කාර්යය සඳහා” “හොඳ නමක් ඇති පුරුෂයන් හත්දෙනෙකුව” පත් කිරීමෙනි. (ක්‍රියා 6:1-6, NW) අදදින සිටින වැඩිමහල්ලන් වලංගුසහගත පැමිණිලිවලට ‘තම කන් වසාගත’ නොයුතුය. (හිතෝපදේශ 21:13) සෙසු නමස්කාරකයන්ව විවේචනය කරනවා වෙනුවට, වැඩිමහල්ලන් දිරිගන්වනසුලු, ගොඩනංවනසුලු අය විය යුතුය.—1 කොරින්ති 8:1.

14. මැසිවිලි නැඟීමෙන් වැළකී සිටීමට විශේෂයෙන්ම අවශ්‍ය වෙන ගුණාංගය කුමක්ද?

14 අප සියලුදෙනාම මැසිවිලි නැඟීමෙන් වැළකිය යුතුය. මන්ද මැසිවිලි නැඟීමේ එවන් ස්වභාවයක් ආත්මික වශයෙන් හානිකරය. එවන් ආකල්පයකින් අපගේ සමඟියට බාධා පැමිණේ. ඒ වෙනුවට, අපි සෑමවිටම අපගේ ජීවිත තුළ ප්‍රේමය විදහාපෙන්වීම සඳහා ශුද්ධාත්මයේ ක්‍රියාකාරිත්වයට ඉඩ දෙමු. (ගලාති 5:22) ‘ප්‍රේමය පිළිබඳ රාජකීය නීතියට’ අනුකූල වීම, උරෙන් උර ගැටී දිගටම යෙහෝවාට සේවය කිරීමට අපහට මඟ පාදයි.—යාකොබ් 2:8, NW; 1 කොරින්ති 13:4-8; 1 පේතෘස් 4:8.

අපහාස කිරීමට එරෙහිව පරෙස්සම් වෙන්න

15. ඕපාදූප සහ අපහාස කිරීම අතර වෙනස ඔබ දකින්නේ කෙසේද?

15 මැසිවිලි නැඟීම හානිකර ඕපාදූපවලට තුඩු දෙන බැවින්, අප කතා කරන දේවල් ගැන අප පරෙස්සම් විය යුතුයි. ඕපාදූප යනු වෙනත් අය සහ ඔවුන්ගේ කාරණා කටයුතු ගැන කරන නිකම් වැදගැම්මකට නැති කතාය. එහෙත්, අපහාසයක් යනු පුද්ගලයෙකුගේ කීර්ති නාමයට හානි කිරීමේ අදහසින් ප්‍රචාරය කරන බොරු පුවතකි. එවන් කතා ද්වේෂසහගතය. ඒවායින් දේවභක්තියේ ඌනතාවක් පිළිබිඹු වේ. එමනිසා දෙවි ඊශ්‍රායෙලිතයන්ට පැවසුවේ මෙසේයි. “නුඹේ සෙනඟ අතරෙහි කේලාම් කියමින් [අපහාස කරමින්, NW] ඔබමොබ නොයන්න.”—ලෙවී කථාව 19:16.

16. සමහරක් ඕපාදූප කියන්නන් ගැන පාවුල් පැවසුවේ කුමක්ද? ඔහුගේ උපදෙස අපට කිනම් බලපෑමක් ඇති කළ යුතුද?

16 වැදගැම්මකට නැති කතා අපහාසයට තුඩු දිය හැකි බැවින්, එවන් ඕපාදූප කියන උදවියට එරෙහිව පාවුල් කතා කළේය. සභාවෙන් උපකාර ලැබීමට සුදුසුකම් ලැබූ වැන්දඹුවන් ගැන සඳහන් කිරීමෙන් පසුව, ‘නිකරුණේ, ගෙයින් ගෙට ඇවිදිමින්, වැඩක නොයෙදී සිටීමට ඉගෙනගත්, එසේය, වැඩක නොයෙදී සිටීමට පමණක් නොව, ඔවුන් කතා නොකළ යුතු දේ ගැන කතා කරමින්, ඕපාදූප කියන්නියන් වීමටත්, අනුන්ගේ කාරණාවලට ඇඟිලිගසන්නන් වීමටත් ඉගෙනගත්’ වැන්දඹුවන් ගැනද හේ ලීවේය. (1 තිමෝති 5:11-15, NW) යම් ක්‍රිස්තියානි ස්ත්‍රියක් අපහාසයට තුඩු දිය හැකි දේවල් ගැන කතා කිරීමේ දුර්වලකමක් තමන්ට තිබෙන බව වටහාගන්නී නම්, ඒ ගැන ‘වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු මෙන්ම, අපහාස නොකරන’ ලෙසට පාවුල් දී ඇති උපදෙසටද අවනත වීම යහපති. (1 තිමෝති 3:11, NW) ක්‍රිස්තියානි පුරුෂයන්ද හානිකර ඕපාදූප කීමෙන් වැළකිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.—හිතෝපදේශ 10:19.

විනිශ්චය කිරීම නතර කරන්න!

17, 18. (අ) අපගේ සහෝදරයාව විනිශ්චය කිරීම ගැන යේසුස් පැවසුවේ කුමක්ද? (ආ) විනිශ්චය කිරීම ගැන යේසුස් කී වචන අපට අදාළ කරගත හැක්කේ කොහොමද?

17 අප කිසිවෙකුට අපහාස නොකළද, අනික් අයව විනිශ්චය කිරීමෙන් වැළකීමට අපට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදු විය හැකියි. යේසුස් එවන් ස්ප්‍රීතුවක් හෙළා දැක්කේ මෙසේ කියමිනුයි. “විනිශ්චය කිරීම නතර කරන්න. එවිට ඔබවද විනිශ්චය කරනු නොලබන්නේය. මන්ද ඔබ යම් ආකාරයකින් විනිශ්චය කරන්නේද එයාකාරයෙන්ම ඔබවත් විනිශ්චය කරනු ලබනවා ඇත. ඔබ මනින මිම්මෙන්ම ඔබටත් මැන දෙනු ලැබේ. එසේනම්, ඔබේ ඇසේ ඇති පරාලය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති රොඩ්ඩ ගැන බලන්නේ මන්ද? බලන්න! ඔබේම ඇසෙහි පරාලයක් තිබියදී, ඔබේ සහෝදරයාට කතා කොට, ‘ඔබේ ඇසෙන් රොඩ්ඩ ඉවතට ගන්න මට ඉඩ දෙන්න’ කියා ඔබට කිව හැක්කේ කෙසේද? කුහකය! පළමුවෙන් ඔබේම ඇසෙන් පරාලය ඉවතට ගන්න. එවිට ඔබේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ ඉවතට ගන්න පුළුවන් කෙසේදැයි ඔබට පැහැදිලිව පෙනෙනවා ඇත.”—මතෙව් 7:1-5, NW.

18 අප සතුව තිබෙන සංකේතාත්මක “පරාලය” නිසා නිසි විනිශ්චයක් කරගන්නට බැරිව සිටියදී අප අපේ සහෝදරයාගේ ඇසේ තිබෙන “රොඩ්ඩ” අරන් දමන්නට උත්සාහ නොකළ යුතුය. ඇත්ත වශයෙන්ම, අපේ දෙවි කොතරම් දයාවන්තද කියා අප සැබවින්ම අගය කරනවා නම්, අපගේ ආත්මික සහෝදර සහෝදරියන්ව විනිශ්චය කිරීමට අප නැඹුරු වෙන්නේ නැත. අපගේ ස්වර්ගික පියා ඔවුන්ව තේරුම්ගන්නාක් මෙන් සැබවින්ම අපට ඔවුන්ව තේරුම්ගත හැක්කේ කෙසේද? ‘ඔබව විනිශ්චය කරනු නොලබන පිණිස විනිශ්චය කිරීම නවතා දමන්න’ කියා යේසුස් පැවසීම පුදුමයක් නොවේ. අප අපේම අසම්පූර්ණකම් ගැන අවංකව තක්සේරුවක් කර බලනවා නම්, දෙවි ඉදිරියේ අධර්මිෂ්ඨයයි සැලකෙන විනිශ්චයක් කිරීමෙන් අප වැළකී සිටිනවා ඇත.

ශාරීරිකව දුබල නමුත් ගෞරවනීයයි

19. අප සෙසු ඇදහිලිවන්තයන් දෙස බැලිය යුත්තේ කෙසේද?

19 අප අපේ සෙසු ඇදහිලිවන්තයන් සමඟ උරෙන් උර ගැටී සේවය කිරීමට අදිටන් කරගෙන සිටිනවා නම්, අපි හුදෙක් විනිශ්චය කිරීමෙන් වළකිනවා පමණක් නොව එකිනෙකාට ගෞරව කිරීමෙහිලා පෙරමුණ ගන්නෙමු. (රෝම 12:10, NW) ඇත්ත වශයෙන්ම, අපි අපේ වාසිය නොව ඔවුන්ගේ ශුභ සිද්ධිය සොයමු. එමෙන්ම ඔවුන් වෙනුවෙන් කරන ඕනෑම ගණයේ වැඩක් පහත්යයි නොසලකා කිරීමට සූදානම් විය යුතුයි. (යොහන් 13:12-17; 1 කොරින්ති 10:24) එවැනි කදිම ස්ප්‍රීතුවක් අපට පවත්වාගත හැක්කේ කෙසේද? යෙහෝවාහට සෑම ඇදහිලිවන්තයෙකුම වටිනා පුද්ගලයෙකු බවත්, මිනිස් සිරුරක එක් එක් අවයවයන් අනෙක් අවයව මත රඳා සිටිනවාක් මෙන්ම, අපටත් එකිනෙකාව අවශ්‍ය බවත් අප මනසේ තබාගැනීමෙනි.—1 කොරින්ති 12:14-27.

20, 21. දෙවනි තිමෝති 2:20, 21හි වචන තුළ අප සඳහා ඇත්තේ කිනම් අර්ථයක්ද?

20 ක්‍රිස්තියානීන් යනු දේවසේවය නමැති මහිමාන්විත වස්තුව භාර දී ඇති දුබල මැටි භාජන බව පිළිගත යුතුය. (2 කොරින්ති 4:7) අප මෙම පරිශුද්ධ සේවය යෙහෝවාගේ ප්‍රශංසාව උදෙසා දිගටම පිරිනැමීමට නම්, අප ඔහු සහ ඔහුගේ පුත්‍රයා ඉදිරියෙහි ගෞරවනීය තත්වයක් පවත්වාගත යුතුය. දෙවි විසින් පාවිච්චි කරනු ලැබීම සඳහා ගෞරවනීය භාජනයක් ලෙසට සිටිය හැක්කේ සදාචාරමය හා ආත්මික වශයෙන් පවිත්‍රව සිටීමෙන් පමණි. මේ සම්බන්ධයෙන් පාවුල් මෙසේ ලීවේය. “විශාල නිවසක, රනින් සහ රිදීවලින් සෑදූ භාජන පමණක් නොව, ලීවලින් සහ මැටිවලින් සෑදූ ඒවාද තිබේ. සමහරක් ගෞරවනීය භාවිතයක් සඳහා තිබෙන නමුත්, සමහරක් ගෞරවයක් නොමැති භාවිතයක් සඳහා තිබේ. එබැවින්, යමෙක් දෙවනුව සඳහන් කළ ඒවායින් අහක්ව සිටින්නේ නම් ඔහු, විශුද්ධ කරන ලද, තමාගේ අයිතිකරුට ප්‍රයෝජනවත් සහ සෑම යහපත් ක්‍රියාවක් සඳහා සූදානම් වූද ගෞරවනීය භාවිතයක් සඳහා වූද භාජනයක් වන්නේය.”—2 තිමෝති 2:20, 21, NW.

21 දිව්‍ය අවශ්‍යතාවලට අනුකූලව තම හැසිරීම පවත්වා නොගන්නා පුද්ගලයෝ, ‘ගෞරවයක් නොමැති භාජන’ වෙති. කෙසේවෙතත්, දේවභක්තික ක්‍රියාමාර්ගයක් ලුහුබැඳීම මගින් අපි ‘යෙහෝවාගේ සේවය සඳහා ගෞරවනීය අරමුණකට කැප කරන ලද හෙවත් වෙන් කරන ලද්දාවූ සහ සෑම යහපත් ක්‍රියාවක් සඳහා සූදානම් කරන ලද්දාවූ භාජන’ බවට පත් වෙමු. ඉතින් අප මෙසේ ඇසීම යෙහෙකි. ‘මම “ගෞරවනීය භාජනයක්ද?” මගේ සෙසු ඇදහිලිවන්තයන් කෙරෙහි මම යහපත් බලපෑමක් ඇති කරනවාද? මම මගේ සභාවේ සෙසු ඇදහිලිවන්තයන් සමඟ උරෙන් උර ගැටී වැඩ කරන සාමාජිකයෙක්ද?’

දිගටම උරෙන් උර ගැටී සේවය කරන්න

22. ක්‍රිස්තියානි සභාව කුමක් හා සැසඳිය හැකිද?

22 ක්‍රිස්තියානි සභාව වනාහි පවුලක් බඳු විධිවිධානයකි. යම් පවුලක සියලුදෙනාම යෙහෝවාට නමස්කාර කරන විට ප්‍රේමණීය, සහයෝගී, ප්‍රසන්න වාතාවරණයක් තිබේ. විවිධ පෞද්ගලිකත්වයන් සහිත පුද්ගලයන් ගණනාවකින් පවුලක් සමන්විත විය හැකිය. නමුත් සෑම කෙනෙකුටම එහි ගෞරවනීය තැනක් ඇත. සභාවේ තත්වයත් ඒ හා සමානයි. අප සියලුදෙනාම එකිනෙකාට වෙනස් නමුදු, අසම්පූර්ණ නමුදු, දෙවිම අපව ක්‍රිස්තුස් තුළින් තමා වෙතට ඇදගෙන තිබේ. (යොහන් 6:44; 14:6) යෙහෝවා සහ යේසුස් අපට ප්‍රේම කරති. එමෙන්ම, එක්සත් පවුලක මෙන් අප අනිවාර්යයෙන්ම එකිනෙකාට ප්‍රේමය පෙන්විය යුතුයි.—1 යොහන් 4:7-11.

23. අප මතක තබාගත යුත්තෙත්, කිරීමට අදිටන් කරගත යුත්තෙත් කුමක්ද?

23 පවුලක් බඳු ක්‍රිස්තියානි සභාව යනු පක්ෂපාතකම අප විසින් අපේක්ෂා කරන තැනක්ය. තවද එසේ අපේක්ෂා කිරීම හරි දෙයකි. ප්‍රේරිත පාවුල් පැවසුවේ මෙසේයි. “එබැවින් පුරුෂයන් සෑම තැනම, උදහසින් සහ වාදයෙන් තොරව, පක්ෂපාතී දෑත් ඔසවා, නොකඩවා යාච්ඤා කරනවාට මම කැමති වෙමි.” (1 තිමෝති 2:8, NW) මෙසේ පාවුල් ක්‍රිස්තියානීන් එකට රැස් වෙන “සෑම තැනම” ප්‍රසිද්ධියේ කරන යාච්ඤා සමඟ පක්ෂපාතකම සම්බන්ධ කළේය. ප්‍රසිද්ධියේ කරන යාච්ඤාවලදී සභාව නියෝජනය කළ හැක්කේ පක්ෂපාත පුරුෂයන්ට පමණි. ඇත්තෙන්ම, අප සියලුදෙනාම දෙවිටත් එකිනෙකාටත් පක්ෂපාත වීම දෙවි අපේක්ෂා කරන බවට කිසිදු සැකයක් නැත. (දේශනාකාරයා 12:13, 14) එබැවින්, මිනිස් සිරුරක අවයව මෙන් එකට සමඟියෙන් බැඳී වැඩ කිරීමට අපි අදිටන් කරගනිමු. තවද යෙහෝවාගේ නමස්කාරකයන්ගේ පවුලේ පංගුකාරයන් වශයෙන් අපි එක්සත්ව සේවය කරමු. මේ සියල්ලටම වඩා, අප සියල්ලන්ට එකිනෙකාව අවශ්‍ය බවත්, අපට දිව්‍ය අනුමැතිය හා ආශීර්වාද භුක්ති විඳීමට ලැබෙන්නේ උරෙන් උර ගැටී යෙහෝවාට සේවය කළහොත් පමණක් බවත් අපි මතකයේ තබාගනිමු.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• උරෙන් උර ගැටී යෙහෝවාට සේවය කිරීමට ඔහුගේ ජනයාට හැකිකම ලබා දෙන්නේ කුමක්ද?

• ක්‍රිස්තියානීන් තරාතිරම් බැලීමෙන් වළකින්නේ ඇයි?

• මැසිවිලි නැඟීමේ වැරදි පැත්ත ඔබ විස්තර කරන්නේ කෙසේද?

• අපගේ සෙසු ඇදහිලිවන්තයන්ට අප ගෞරවයෙන් සැලකිය යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

“දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන” බව පේතෘස් වටහාගත්තේය

[16වන පිටුවේ පින්තූරය]

දෙවි මිරියාම්ව අවමන්සහගත තත්වයට පත් කළේ ඇයි කියා ඔබ දන්නවාද?

[18වන පිටුවේ පින්තූරය]

පක්ෂපාත ක්‍රිස්තියානීහු ප්‍රීතියෙන් යුතුව උරෙන් උර ගැටී යෙහෝවාට සේවය කරති