Skip to content

පටුනට යන්න

එකට රැස්වීම අත් නොහරිමු

එකට රැස්වීම අත් නොහරිමු

එකට රැස්වීම අත් නොහරිමු

“සමහරුන්ගේ පුරුද්ද ලෙස, එකට රැස්වීම අත් නොහරිමු. ඒ වෙනුවට ඒ දවස ළඟා වන අන්දම ඔබට පෙනෙන බැවින්, එකිනෙකාව දිරිගන්වමු” යනුවෙන් ශුද්ධ ලියවිල්ලෙහි පවසා ඇත. (හෙබ්‍රෙව් 10:25, නිව් ඉන්ටර්නැෂනල් වර්ෂන්) මින් පැහැදිලි වන්නේ සැබෑ නමස්කාරකයන් නමස්කාරය සඳහා යම් ස්ථානයක රැස් විය යුතු බවය. ඒ ‘එකිනෙකාව සිතේ තබාගනිමින් ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට ඔවුන්ව පොලඹවන පිණිසය.’—හෙබ්‍රෙව් 10:24.

පොදු යුගයේ මුල් සියවසේදී ප්‍රේරිත පාවුල් ඉහත සඳහන් වදන් ලියූ විට, යුදෙව්වන්ගේ නමස්කාරය සඳහා ඉතා චිත්තාකර්ෂණීය දේවමාළිගාවක් යෙරුසලමෙහි තිබිණ. එමෙන්ම නොයෙක් ස්ථානවල සිනගෝගද දැකගත හැකි විය. තවද, යේසුස් ඉගැන්වූයේද “යුදෙව්වරුන් සියලුදෙනා එක්රැස් වන සිනගෝගයකදීත් දේවමාළිගාවේදීත්ය.”—යොහන් 18:20, NW.

එකිනෙකාව දිරිගැන්වීම සඳහා එකට රැස් වන්නට කියා ක්‍රිස්තියානීන්ට අවවාදානුශාසනා කළ විට පාවුල්ගේ මනසෙහි තිබුණේ කවර අන්දමේ රැස්වීම් ස්ථානද? ක්‍රිස්තියානි ලෝකයේ සුවිසල් ආගමික මන්දිර තැනීමට පදනමක් ලෙස යෙරුසලමෙහි පිහිටි දේවමාළිගාව හා සබැඳි විධිවිධානය යොදාගත හැකිද? නාමික ක්‍රිස්තියානීන්ගේ භාවිතය සඳහා දැවැන්ත ආගමික ගොඩනැඟිලි හඳුන්වා දෙනු ලැබුවේ කවදා සිටද?

‘දෙවිගේ නාමයට ගෘහයක්’

දෙවිට නමස්කාර කිරීම සඳහා ස්ථානයක් ඉදි කිරීම පිළිබඳව දුන් මුල්ම උපදෙස් සොයාගත හැක්කේ නික්මයාම නමැති බයිබල් පොතෙහිය. යෙහෝවා දෙවි තම තෝරාගත් සෙනඟ වන ඊශ්‍රායෙලිතයන්ට අණ කළේ ‘මණ්ඩපයක්’ නැත්නම් ‘සම්මුඛ වීමේ කූඩාරමක්’ තනන ලෙසය. එහි ගිවිසුම් පෙට්ටිය සහ විවිධාකාර පරිශුද්ධ භාණ්ඩ ගබඩා කළ යුතු විය. පොදු යුගයට පෙර 1512දී එම ඉදි කිරීමේ කටයුතුවල නිමාවත් සමඟ ‘යෙහෝවාගේ තේජසෙන් මණ්ඩපය පිරී ගියේය.’ එහා මෙහා ගෙන යා හැකි වූ මෙම ජංගම කූඩාරම ඔහු වෙතට පිවිසීම සඳහා වූ දිව්‍ය විධිවිධානයේ ප්‍රධානතම අංගය ලෙස සියවස් සතරක් පුරා භාවිත කෙරිණ. (නික්මයාම 25-27 පරිච්ඡේද; 40:33-38) මෙම කූඩාරම ‘යෙහෝවාගේ මාළිගාව’ සහ “යෙහෝවාගේ ගෘහය” ලෙස බයිබලයෙහි හඳුන්වා ඇත.—1 සාමුවෙල් 1:9, 24.

පසු කාලයකදී, දාවිත් යෙරුසලමේ රජුව සිටි කාලයේදී යෙහෝවාගේ ගෞරවය පිණිස ස්ථිර ස්ථානයක් ඉදි කිරීමට වූ තම දැඩි ආශාව පළ කළේය. කෙසේවෙතත්, දාවිත් යුද්ධ කටයුතුවලට සහභාගි වූ පුරුෂයෙකු වූ නිසා යෙහෝවා ඔහුට පැවසුවේ මෙසේය. ඔබ “මාගේ නාමයට ගෘහයක් ගොඩ නොනඟන්නෙහිය.” යෙහෝවා දේවමාළිගාව සෑදීම සඳහා දාවිත් වෙනුවට තෝරාගත්තේ දාවිත්ගේ පුත්‍ර සාලමොන්වයි. (1 ලේකම් 22:6-10) පුරා වසර හතහාමාරක ඉදි කිරීමේ වැඩකටයුතු නිම වූවායින් පසු, පො.යු.පෙ. 1026දී සාලමොන් දේවමාළිගාව උත්සවශ්‍රීයෙන් කැප කළේය. මෙම ගොඩනැඟිල්ල තම අනුමැතිය පරිදි සිදු වූවක් බවට සනාථ කරමින් යෙහෝවා මෙසේ පැවසීය. “නුඹ ගොඩනැඟූ මේ ගෘහයෙහි මාගේ නාමය සදාකාලේටම තබන පිණිස ඒක විශුද්ධ කළෙමි. මාගේ ඇස්ද මාගේ සිතද නිරන්තරයෙන් මෙහි වන්නේය.” (1 රාජාවලිය 9:3) එම ගෘහය වෙතට යෙහෝවා තම අනුග්‍රහය ලබා දීමට සූදානම්ව සිටියේ ඊශ්‍රායෙලිතයන් විශ්වාසවන්තව සිටිය තාක් කල් පමණි. කෙසේ නමුත් හරි දේ කිරීමෙන් ඉවත් වුවහොත්, යෙහෝවා තම අනුග්‍රහය එම ස්ථානයෙන් ඉවත් කොට, එය ‘නටබුන් ගොඩක්’ බවට පත් කරනු ඇත.—1 රාජාවලිය 9:4-9, නව අනුවාදය; 2 ලේකම් 7:16, 19, 20.

කල් යත්ම, ඊශ්‍රායෙලිතයෝ සැබෑ නමස්කාරයෙන් ඉවත්ව ගියෝය. (2 රාජාවලිය 21:1-5) ‘ඒ නිසා [යෙහෝවා] ඔවුන්ට විරුද්ධව කල්දිවරුන්ගේ රජුව එවීය. . . . ඔව්හු දෙවිගේ මාළිගාව දවා දමා, යෙරුසලමේ පවුර කඩා, එහි සියලු මාළිගා ගින්නෙන් දවා, එහි තිබුණු සියලු අනර්ඝ බඩු විනාශ කළහ. ඔහු කඩු පහරින් නොමළ අය බබිලෝනියට ගෙන ගියේය. . . . ඔහුටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ඔවුහු දාසයන්ව සිටියෝය.’ බයිබලයට අනුව මෙය සිදු වූයේ පො.යු.පෙ. 607දීය.—2 ලේකම් [වංශාවලිය] 36:15-21 න.අ.; යෙරෙමියා 52:12-14.

අනාගතවක්තෘ යෙසායා පුරෝකථනය කළාක් මෙන්, බබිලෝනියේ ග්‍රහණයෙන් යුදෙව්වරුන් නිදහස් කිරීමට දෙවි විසින් පර්සියාවේ කෝරෙෂ් රජුව යොදාගනු ලැබීය. (යෙසායා 45:1) වසර 70ක කාලපරිච්ඡේදයක් වහල්භාවයේ සිටීමෙන් අනතුරුව, දේවමාළිගාව යළි ගොඩනැඟීමේ අරමුණින් ඔවුහු පො.යු.පෙ. 537දී ආපසු යෙරුසලමට ගියෝය. (එස්රා 1:1-6; 2:1, 2; යෙරෙමියා 29:10) ඉදි කිරීමේ කටයුතුවලදී යම් ප්‍රමාදයන්වලට මුහුණ දීමට සිදු වුවද, පො.යු.පෙ. 515දී දේවමාළිගාව ගොඩනැඟීම නිමා කර, දෙවිට කළ නිර්මල නමස්කාරය යළි පිහිටුවනු ලැබීය. සාලමොන්ගේ දේවමාළිගාව තරම් ඓශ්වර්යයෙන් නොබැබළුණද, එම ගොඩනැඟිල්ල වසර 600කට ආසන්න කාලයක් පුරා පැවතියේය. කෙසේවෙතත්, ඊශ්‍රායෙලිතයන් යෙහෝවාට කරන නමස්කාරය ගැන නොසැලකිලිමත් වූ නිසා, මෙම දේවමාළිගාවද ගරාවැටිණ. යේසුස් ක්‍රිස්තුස් මිහිපිට සිටියදී හෙරොද් රජ විසින් යළිත් දේවමාළිගාව ක්‍රමානුකූලව ගොඩනඟන ලදි. මෙම දේවමාළිගාවට සිදු වූයේ කුමක්ද?

“ගලක් පිට ගලක් කිසිසේත් ඉතිරි” නොවේ

යෙරුසලමෙහි පිහිටි දේවමාළිගාවට යොමු දක්වමින් යේසුස් තම ගෝලයන්ට කීවේ මෙයයි. “මෙහි ගලක් පිට ගලක් කිසිසේත් ඉතිරි නොවන ලෙස ඒවා සියල්ලම බිම හෙළනු ලබන්නේය.” (මතෙව් 24:1, 2, NW) යේසුස් පැවසූ එම වදන් සැබෑ කරවමින්, සියවස් ගණනාවක් පුරා දෙවිට කරන නමස්කාරයේ මධ්‍යස්ථානය ලෙස පිළිගත් එම ස්ථානය පො.යු. 70දී යුදෙව්වන්ගේ කැරැල්ලක් මර්දනය කිරීමට පැමිණි රෝම හමුදා අතින් විනාශයට පත් විය. a එම දේවමාළිගාව නැවතත් කිසිදා ගොඩනැඟුවේ නැත. සත්වන සියවසේදී එහි මුස්ලිම් පූජනීය ස්ථානයක් (Dome of the Rock) ඉදි කරනු ලැබූ අතර, එම පල්ලිය අද දක්වා කලින් යුදෙව්වන්ගේ නමස්කාර මධ්‍යස්ථානය වූ ස්ථානයේ පිහිටා තිබේ.

යේසුස්ගේ අනුගාමිකයන් නමස්කාර කළ යුතු ආකාරය සම්බන්ධයෙන් කවර විධිවිධානයක් නියම කර තිබුණාද? යුදෙව් පසුබිමකින් පැමිණි මුල් ක්‍රිස්තියානීන් වැඩි කල් නොගොස් විනාශ වීමට නියමිත දේවමාළිගාවෙහි දිගටම දෙවිට නමස්කාර කරනු ඇද්ද? යුදෙව් නොවන ක්‍රිස්තියානීන් නමස්කාර කරන්නේ කොතැනද? දේවමාළිගාව වෙනුවට ක්‍රිස්තියානි ලෝකයේ රටවල තනන ලද ආගමික ගොඩනැඟිලි භාවිතයට අනුමැතියක් තිබුණාද? සමාරිය ස්ත්‍රියක සමඟ යේසුස් පැවැත්වූ සංවාදයෙන් මෙම කාරණය ගැන අපට පැහැදිලි පින්තූරයක් ලැබේ.

සියවස් ගණනාවක් පුරා සමාරිය ජාතිකයන් දෙවිට නමස්කාර කළේ සමාරියෙහි පිහිටි ගෙරිසීම් කන්දෙහි ඉදි කර තිබූ විශාල දේවමාළිගාවකය. “අපගේ මුතුන්මිත්තන් නමස්කාර කළේ මේ කන්දේදීය. නමුත් ඔබ සැමෝම කියන්නේ ජනයා නමස්කාර කළ යුත්තේ යෙරුසලමේදීය” කියා යේසුස්ට කතා කළ සමාරිය ස්ත්‍රිය පැවසුවාය. පිළිතුරු වශයෙන් යේසුස් පැවසුවේ මෙසේය. “ස්ත්‍රිය, මාව විශ්වාස කරන්න. මේ කන්දේදීවත්, යෙරුසලමේදීවත් ඔබ සියලුදෙනා පියාණන්ට නමස්කාර නොකරන පැය පැමිණෙන්නේය.” යෙහෝවාට නමස්කාර කිරීම සඳහා ඉදිරියේදී භෞතික දේවමාළිගාවක් අවශ්‍ය නොවනු ඇත. ඊට හේතුව පැහැදිලි කරමින් යේසුස් මෙසේ පැවසුවේය. “දෙවි ආත්මයක්ය. ඔහුට නමස්කාර කරන්නන් ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද නමස්කාර කළ යුතුය.” (යොහන් 4:20, 21, 24) පසු කාලයකදී ප්‍රේරිත පාවුල් ඇතන්ස්හි වැසියන්ට මෙවැන්නක් පැවසීය. “ලෝකයත් එහි තිබෙන සියල්ලත් සෑදු දෙවි, ස්වර්ගයෙත් පොළොවෙත් ස්වාමීන් වන බැවින්, අතින් සෑදු දේවස්ථානවල වාසය කරන්නේ නැත.”—ක්‍රියා 17:24, NW.

මින් පැහැදිලිව පෙනී යන්නේ ක්‍රිස්තියානි ලෝකයේ ආගමික ගොඩනැඟිලි ක්‍රිස්තියානි යුගයට පෙර පැවති දේවමාළිගා විධිවිධානයට නෑකමක් නොදක්වන බවය. ඇරත් එවැනි ගොඩනැඟිලි ඉදි කිරීමට කිසිදු හේතුවක් මුල් සියවසේ ක්‍රිස්තියානීන්ට තිබුණේ නැත. කෙසේවෙතත්, ප්‍රේරිතයන්ගේ අභාවයෙන් අනතුරුව සැබෑ ඉගැන්වීම්වලින් වැටී යෑම, එනම් ඇදහිල්ල අත්හැරීම සිදු විය. (ක්‍රියා 20:29, 30) රෝම අධිරාජ්‍යයා වූ කොන්ස්ටන්ටයින් “කිතු දහම” වැලඳගත් බවට කියැවෙන පො.යු. 313ට වසර ගණනාවකට පෙරාතුව, නමට පමණක් ක්‍රිස්තියානීන් ලෙස පෙනී සිටි අය යේසුස් උගන්වා තිබුණු දේවලින් ඉවත් වීමට පටන්ගෙන තිබිණ.

කොන්ස්ටන්ටයින්ගේ දායකත්වයෙන් “ක්‍රිස්තියානි ධර්මය” මිථ්‍යාදෘෂ්ටික රෝමානු ආගම සමඟ මිශ්‍ර වී එක “ආගමක්” බිහි විය. මේ සම්බන්ධයෙන් දි එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා පවසන්නේ මෙසේය. “කොන්ස්ටන්ටයින්ගේ පෞද්ගලික මැදිහත්වීම හේතුවෙන් රෝමයේ දැවැන්ත ක්‍රිස්තියානි බැසිලිකාවන් තුනක් ඉදි කරන ලදි. එනම් සාන්ත පේදුරු, සාන්ත පාවුලු ෆියුරේ ලා මියුරා සහ සාන්ත ජෝවානි ඉන් ලතාරේනෝ යන බැසිලිකාවන් තුනය. . . . ඒවායෙහි සැලැස්ම කුරුසියක් ආකාරයෙන් සකස් කිරීමට මුලපිරුවේද ඔහුය. අනතුරුව, මධ්‍යතන යුගය පුරාම බටහිර යුරෝපයේ පල්ලිවල සම්මත සැලැස්ම එමගින් තීරණය විය.” වර්තමානයේ රෝමානු කතෝලික සභාවේ මධ්‍යස්ථානය ලෙස තවමත් සැලකෙන්නේ රෝමයේ නැවත ඉදි කරන ලද සාන්ත පේදුරු බැසිලිකාවය.

ඉතිහාසඥ විල් ඩියුරන්ට් මෙසේ පවසයි. “කතෝලික සභාව ප්‍රාග් ක්‍රිස්තියානි [මිථ්‍යාදෘෂ්ටික] රෝමයෙහි පොදුව පැවති චාරිත්‍ර වාරිත්‍ර හා නමස්කාර විධි ඈඳාගත්තේය. බැසිලිකාවේ නිර්මාණ සැලැස්මද” මීට ඇතුළත් විය. ප්‍රතිඵලයක් ලෙස 10වන සියවසේ සිට 15වන සියවස දක්වා පල්ලි සහ ආසන දෙව්මැදුරු ඉදි කිරීමේ කටයුතු කඩිනමින් සිදු වූ අතර, ඒවායේ ගෘහ නිර්මාණ සැලැස්මට සෑහෙන අවධානයක් දෙන ලදි. දැන් ලෝකයා විසින් කලාත්මක ස්මාරක හැටියට ගණන් ගැනෙන ක්‍රිස්තියානි ලෝකයේ ඉදි කිරීම් රැසක් තනන ලද්දේ එම කාල වකවානුවේදීය.

පල්ලියකට ගොස් එහි කෙරෙන නමස්කාරයට සහභාගි වීමෙන් ජනයාට ආත්මික ප්‍රබෝධයක් හා දිරියක් නොමදව ලැබේද? බ්‍රසීලයේ ෆ්‍රන්සෙස්කූට සවන් දෙන්න. “ආගමක් කොච්චර හිසරදයක්ද හා වෙහෙසක්ද යන කාරණය මට කාවැදුණේ පල්ලියට ගිය නිසයි. පූජාවේ කිසිම තේරුමක් තිබුණේ නැහැ. එකම දේ ආයේ ආයේ කියනවා. මගේ නියම අවශ්‍යතා ඒකෙන් පිරිමැසුණේ නැහැ. ඇත්තටම පූජාව ඉවර වුණහම තමයි ටිකක් සහනයක් දැනුණේ.” කෙසේවෙතත්, සැබෑ ඇදහිලිවන්තයන්ට නියෝග කර තිබෙන්නේ එකට රැස් වන්නට කියාය. එකට රැස්වීම සඳහා ඔවුන් අනුගමනය කළ යුත්තේ කවර විධිවිධානයද?

“ඔවුන්ගේ නිවසේ රැස් වන සභාව”

එකට රැස්වීම සම්බන්ධයෙන් තිබිය යුතු ක්‍රිස්තියානි ප්‍රමිතිය සොයාගත හැක්කේ මුල් සියවසේ ඇදහිලිවන්තයන් එකට රැස් වූ ආකාරය පරීක්ෂා කර බැලීමෙනි. ශුද්ධ ලියවිල්ලෙහි දක්වා ඇති පරිදි ඔවුන් සාමාන්‍යයෙන් එකට රැස් වූයේ පෞද්ගලික නිවෙස්වලය. නිදසුනකට, ප්‍රේරිත පාවුල් මෙවැන්නක් ලීවේය. “ක්‍රිස්තුස් ජේසුස් තුළ මාගේ සහකාර සේවකයන් වූ . . . ප්‍රිස්කාට ද අකිලාට ද මාගේ ආචාරය පිරිනමන්න. . . . ඔවුන්ගේ නිවසේ රැස් වන සභාවටත් මාගේ ආචාරය පිරිනමන්න.” (රෝම 16:3, 5, න.අ.; කොලොස්සි 4:15; පිලෙමොන් 2) “සභාව” සඳහා භාවිත කර තිබෙන ග්‍රීක් වචනය (එක්ලීසියා) ඇතැම් ඉංග්‍රීසි පරිවර්තනවල දක්වා ඇත්තේ “පල්ලිය” යන වචනයෙනි. කිං ජේම්ස් අනුවාදය මීට උදාහරණයකි. එනමුත් එම වචනයෙන් ඇත්තටම අදහස් කරන්නේ, පොදු අරමුණක් සඳහා එකට රැස් වෙන කණ්ඩායමක් මිස ගොඩනැඟිල්ලක් නොවේ. (ක්‍රියා 8:1; 13:1) එසේනම්, සැබෑ ක්‍රිස්තියානීන් අනුගමනය කරන නමස්කාර පිළිවෙතට විසිතුරු ගොඩනැඟිලි අවශ්‍ය නොවේ.

මුල් ක්‍රිස්තියානි සභාව රැස්වීම් පැවැත්වූයේ කෙසේද? ක්‍රිස්තියානි රැස්වීමකට යොමු දැක්වීම සඳහා ශ්‍රාවක යාකොබ් සිනාගෝගි යන ග්‍රීක් වචනයෙහි රූපයක් භාවිත කළේය. (යාකොබ් 2:2, NW පාදසටහන) මෙම ග්‍රීක් වචනයෙන් “එකට රැස් කරවීම” යන අදහස ලබාගත හැකි අතර, එක්ලීසියා යන වචනය සමඟ එය මාරුවෙන් මාරුවට භාවිත කෙරේ. එනමුත්, කල් යත්ම එවන් රැස්වීමක් පවත්වනු ලබන ස්ථානය දැක්වීමට “සිනගෝගය” යන වචනය භාවිත කරන ලදි. සිනගෝගයකදී සිදු කෙරුණු දේ සම්බන්ධයෙන් මුල් යුදෙව් ක්‍රිස්තියානීන්ට මනා දැනුමක් තිබිණ. b

යුදෙව්වන් සිය වාර්ෂික උත්සව සඳහා යෙරුසලමෙහි පිහිටි දේවමාළිගාවට එක් රොක් වුවද යෙහෝවා ගැන ඉගෙනීමටත්, නීතිය ගැන අධ්‍යාපනයක් ලැබීමටත් ප්‍රාදේශීය මධ්‍යස්ථාන ලෙස යොදාගැනුණේ සිනගෝගයි. සිනගෝගවලදී අනුගමනය කළ පිළිවෙතට යාච්ඤාව, ශුද්ධ ලියවිලි කියවීම සහ පැහැදිලි කර දීම මෙන්ම අවවාදානුශාසනා දීම ඇතුළත් වූ බවක් පෙනේ. පාවුල් සහ වෙනත් අය අන්තියෝකියේ සිනගෝගයකට ඇතුල් වූ විට, “සිනගෝගයේ පාලක නිලධාරීහු, ‘පුරුෂයෙනි, සහෝදරයෙනි, ජනයා දිරිගැන්වෙන පිණිස පැවසීමට ඔබට යම්කිසි වචනයක් ඇත්නම්, එය කියන්න’ යයි ඔවුන්ට දන්වා යැවූහ.” (ක්‍රියා 13:15, NW) මුල් යුදෙව් ක්‍රිස්තියානීන් පෞද්ගලික නිවෙස්වල රැස් වූ විට, ඔවුන් ඒ හා සමාන සිරිතක් අනුගමනය කළාට සැකයක් නැත. මේ අනුව, ඔවුන්ගේ රැස්වීම් තුළින් ශුද්ධ ලියවිලි පිළිබඳ මනා අවබෝධයක් හා ආත්මික දිරිගැන්වීමක් ලැබෙන්නට ඇත.

දිරිගැන්වීම සඳහා රැස්වීම්

මුල් ක්‍රිස්තියානීන්ට සමානව අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවෝද බයිබලයෙන් උපදෙස් ලැබීමටත්, දිරිගන්වන ඇසුරක් භුක්ති විඳීමටත් නමස්කාරය සඳහා චාම් ස්ථානවල එක්රැස් වෙති. වසර ගණනාවක් පුරා ඔවුන් එකට රැස් වූයේ පෞද්ගලික නිවෙස්වලය. සමහරක් ප්‍රදේශවල ඔවුන් තවමත් රැස් වන්නේ එලෙසය. එනමුත් දැන් සභාවන් සංඛ්‍යාව 90,000 ඉක්මවා ඇති අතර, ඔවුන් රැස් වෙන ස්ථාන රාජ්‍ය ශාලා ලෙස හැඳින්වේ. මෙම ගොඩනැඟිලිවලට විසිතුරු පල්ලියකට සමාන පෙනුමක් නැත. ඉතා සරල සැලැස්මකට අනුව ඉදි කර ඇති මෙම ගොඩනැඟිලි සභාවක අවශ්‍යතා ඉටු කිරීම සඳහා ඉතා ප්‍රායෝගිකය. සංඛ්‍යාවෙන් 100 සිට 200 දක්වා වූ පිරිසකට සතිපතා රැස්වීම සඳහා ප්‍රමාණවත් ඉඩ කඩ ඒවායේ සලසා තිබේ. එමගින් රැස් වී සිටින සැමට දේවවචනයට සවන් දී එයින් ඉගෙනීමට ප්‍රස්තාව උදා වේ.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් බහුතරයක් සතියකට තුන් වරක් රැස් වෙති. සැමට පොදු වූ විෂයක් පිළිබඳ ප්‍රසිද්ධ දේශනයක් එක රැස්වීමකදී දෙනු ලැබේ. ඉන් අනතුරුව, බයිබල් විෂයක් හෝ අනාවැකියක් ඔස්සේ කරන අධ්‍යයනයක් පැවැත්වේ. මෙම අධ්‍යයනයට පදනම සපයන්නේ මුරටැඹ සඟරාවය. තවත් රැස්වීමක් බයිබලයේ පණිවිඩය ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පුහුණුව සැපයීමට පිළියෙළ කර ඇති පාසැලකි. ඉන් අනතුරුව ක්‍රිස්තියානි දේවසේවය සඳහා ප්‍රායෝගික යෝජනා ලබා දීමට විශේෂයෙන් පිළියෙළ කර ඇති රැස්වීමක් පැවැත්වේ. මීට අමතරව, සාක්ෂිකරුවෝ කුඩා කණ්ඩායම් වශයෙන් සතියට වරක් බයිබල් අධ්‍යයනයක් සඳහා පෞද්ගලික නිවෙස්වල රැස් වෙති. ඕනෑම කෙනෙකුට මෙම රැස්වීම්වලට පැමිණිය හැක. කොයිම අවස්ථාවකවත් සම්මාදම් එකතු කරනු ලබන්නේ නැත.

කලින් සඳහන් කළ ෆ්‍රන්සෙස්කූ රාජ්‍ය ශාලාවල පැවැත්වූ රැස්වීම්වලින් ඉමහත් ප්‍රයෝජන ලැබුවේය. ඔහු මෙසේ පවසයි. “මම ඉස්සෙල්ලාම රැස්වීමකට ගියේ ටවුමේම පිහිටා තිබුණු ලස්සන ගොඩනැඟිල්ලකටයි. ඒ ශාලාවෙන් පිට වෙලා යනකොට මට ලොකු සතුටක් දැනුණා. රැස්වීමට ආපු අය මිත්‍රශීලී අය. ඒගොල්ලන් අතර තියෙන ප්‍රේමය මට හොඳටම දැනුණා. ඊළඟ රැස්වීම එන තෙක් මම බලා සිටියේ පුදුම නොඉවසිල්ලකින්. ඇත්තම කියනවා නම්, එදා ඉඳන් මම එක රැස්වීමක්වත් අතපසු කරලා නැහැ. ඒ ක්‍රිස්තියානි රැස්වීම්වලින් ඉගෙනගන්නා දේ සිතට හොඳින් කාවදිනවා. එතනදී මගේ ආත්මික අවශ්‍යතාවත් පිරිමැහෙනවා. මොනවා හරි හේතුවක් නිසා මම අධෛර්යයට පත් වෙලා ඉන්නකොට මම රාජ්‍ය ශාලාවට යන්නේ ආපහු ගෙදර එනකොට මගේ සිතට ලොකු ධෛර්යයක් ඇති වෙයි යන ස්ථිර විශ්වාසයෙන්.”

ඔබට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි රැස්වීම්වලින් බයිබල් අධ්‍යාපනය ලැබීම සඳහාත්, දිරිගන්වන ඇසුර සහ දෙවිට ප්‍රශංසා කිරීම සඳහාත් ප්‍රස්තාව විවෘතව තිබේ. ඔබේ නිවසට ළඟින්ම පිහිටි රාජ්‍ය ශාලාවට පැමිණෙන මෙන් සාදරයෙන් ඇරයුම් කිරීමට කැමැත්තෙමු. එම ඇරයුම පිළිගතහොත්, එසේ කිරීම ගැන ඔබ සතුටු වනවා නිසැකය.

[පාදසටහන්වල]

a මෙම දේවමාළිගාව රෝමවරුන් විසින් සහමුලින්ම විනාශ කරන ලදි. යුදෙව්වන් බොහොමයක් යාච්ඤා කිරීම සඳහා බොහෝ දුර ගෙවා පැමිණෙන්නේ “විලාප තාප්පය” අබියසටය. එනමුත් එය දේවමාළිගාවේ කොටසක් නොවේ. එය දේවමාළිගා මළුවේ තාප්පයේ කොටසක් වනවා පමණි.

b සිනගෝග භාවිත කිරීමේ පිළිවෙත, දේවමාළිගාවේ විනාශයෙන් අනතුරුව වසර 70ක් පුරා පැවති බබිලෝනියේ වහල් සමයේදී අරඹන ලද්දක් බවට පෙනී යයි. එසේ නැතහොත් වහල්භාවයෙන් පසු මව්බිමෙහි යළි පදිංචි වූ විට අලුත් දේවමාළිගාව ඉදි කරන අතරතුරේදී එය ඇරඹි බවට මතයක්ද ඇත. මුල් සියවස වෙද්දී පලස්තීනයේ සෑම නුවරකටම සිනගෝගයක් තිබිණ. වඩාත් විශාල නුවරවල මේවා කිහිපයක්ම තිබුණේය.

[4, 5වන පිටුවේ පින්තූර]

යෙහෝවාට නමස්කාර කිරීම සඳහා උචිත ස්ථාන ලෙස මුලින් මණ්ඩපයද පසුව දේවමාළිගාවද භාවිත කෙරිණ

[6වන පිටුවේ පින්තූරය]

රෝමයේ සාන්ත පේදුරු බැසිලිකාව

[7වන පිටුවේ පින්තූරය]

මුල් ක්‍රිස්තියානීන් එකට රැස් වූයේ පෞද්ගලික නිවෙස්වලය

[8, 9වන පිටුවේ පින්තූර]

යෙහෝවාගේ සාක්ෂිකරුවන් ක්‍රිස්තියානි රැස්වීම් පවත්වන්නේ පෞද්ගලික නිවෙස්වල හා රාජ්‍ය ශාලාවලය