Skip to content

පටුනට යන්න

ක්‍රිස්තියානීන්ට එකිනෙකාව අවශ්‍යයි

ක්‍රිස්තියානීන්ට එකිනෙකාව අවශ්‍යයි

ක්‍රිස්තියානීන්ට එකිනෙකාව අවශ්‍යයි

“අපි එකිනෙකාට අයත් අවයව වන්නෙමු.”—එපීස 4:25, NW.

1. එක් විශ්වකෝෂයක් මිනිස් සිරුර ගැන පවසන්නේ කුමක්ද?

 මිනිස් සිරුර වනාහි මැවිල්ලේ අරුමයකි! ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා මෙසේ පවසයි. “මෙතෙක් සාදන ලද වඩාත්ම පුදුමාකාර යන්ත්‍රය මිනිස් සිරුරයයි ජනයා සමහරවිට හඳුන්වති. ඇත්ත වශයෙන්ම පවසනවා නම් මිනිස් සිරුර යන්ත්‍රයක් නොවේ. නමුත්, එක අතකට එය බොහෝ ආකාරවලින් යන්ත්‍රයකට සමාන කළ හැකියි. යන්ත්‍රයක මෙන් සිරුර සෑදී ඇත්තේ බොහෝ කොටස් හෙවත් අවයවවලිනි. යන්ත්‍රයක එක් එක් කොටස් මෙන් සිරුරේ එක් එක් කොටස විශේෂ කාර්යභාරයක් ඉටු කරයි. නමුත් සිරුරේ සියලු කොටස් එක්ව ක්‍රියා කරන අතර, එය සිරුර හෙවත් මෙම යන්ත්‍රය සුමට ලෙස ක්‍රියා කිරීමට සලස්වයි.”

2. මිනිස් සිරුර ක්‍රිස්තියානි සභාවට සමාන වන්නේ කිනම් ආකාරයෙන්ද?

2 ඔව්, මිනිස් සිරුරට බොහෝ කොටස් හෙවත් අවයව ඇත. තවද මේ එක් එක් අවයව අවශ්‍ය යම් දෙයක් සපයයි. එක් නහරයක්වත්, මාංස පේශියක්වත් නැතහොත් සිරුරේ වෙනත් කිසිදු අවයවයක්වත් නිෂ්ඵල ඒවා නොවේ. ඒ හා සමානව, ක්‍රිස්තියානි සභාවක සෑම සාමාජිකයෙකුටම එහි ආත්මික සෞඛ්‍යයට හා අලංකාරයට දායක විය හැකියි. (1 කොරින්ති 12:14-16) සභාවේ එක් සාමාජිකයෙක් තවත් කෙනෙකුට වඩා උසස් බවට හැඟී නොයා යුතුවා සේම, තමන් වැදගත් නැතැයි කියාත් කිසිම කෙනෙකුට නොහැඟිය යුතුයි.—රෝම 12:3.

3. ක්‍රිස්තියානීන්ට එකිනෙකාව අවශ්‍ය බව එපීස 4:25හි අඟවන්නේ කෙසේද?

3 මිනිස් සිරුරේ අවයව එකිනෙකට සම්බන්ධ වන්නාක් මෙන් ක්‍රිස්තියානීන්ටද එකිනෙකාව අවශ්‍යයි. “ඔබ දැන් බොරුව අහක දමා තිබෙන හෙයින්, ඔබෙන් එකිනෙකා තම තමාගේ අසල්වාසියා සමඟ සත්‍යය කතා කරන්න. මන්ද, අපි එකිනෙකාට අයත් අවයව වන්නෙමු” යයි ප්‍රේරිත පාවුල් සෙසු ආලේප ලත් ඇදහිලිවන්තයන්ට පැවසීය. (එපීස 4:25, NW) ඔවුන් “එකිනෙකාට අයත්” නිසා, “ක්‍රිස්තුස්ගේ ශරීරය” වන ආත්මික ඊශ්‍රායෙලයේ සාමාජිකයන් අතර සත්‍යවාදී වූ අදහස් හුවමාරුවක් සහ පූර්ණ සහයෝගයක් තිබේ. එසේය, මේ එක් එක්කෙනා අනෙක් හැමෝටම අයිතිය. (එපීස 4:11-13, NW) සත්‍යවාදී වූ, භූමික බලාපොරොත්තුවක් ඇති සහයෝගය දක්වන ක්‍රිස්තියානීහුද ඔවුන් සමඟ එක්සත්ව ප්‍රීති වෙති.

4. නවකයන්ට කිනම් ආකාරවලින් උපකාර කළ හැකිද?

4 භූමික පාරාදීසයක ජීවත් වීමට බලාපොරොත්තු වන දහස් ගණනක් දෙනෙක් සෑම වසරකම බව්තීස්ම වෙති. සභාවේ සිටින වෙනත් සාමාජිකයෝ මොවුන්හට “මේරූභාවය කරා පැමිණීමට” සතුටින් උදව් කරති. (හෙබ්‍රෙව් 6:1-3, NW) ශුද්ධ ලියවිල්ලට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමෙන් හෝ සේවයේදී ප්‍රායෝගික උපකාර ලබා දීමෙන් මොවුහු උපකාර සපයති. එමෙන්ම, ක්‍රිස්තියානි රැස්වීම්වලට නිතිපතා සහභාගි වීමෙන් නවකයන්හට කදිම ආදර්ශයක් තැබීමටද අපට හැකියි. පීඩාකාරී කාලවලදී දිරිගැන්වීමක් හෝ සමහරවිට සැනසිල්ලක් දීමටද අපට හැකියි. (1 තෙසලෝනික 5:14, 15) තවද, “සත්‍යතාව තුළ දිගටම ගමන් කිරීමට” අනුන්ට උදව් කිරීම සඳහා අපට මාර්ග සෙවිය හැකිය. (3 යොහන් 4, NW) බාල වේවා වැඩිහිටියන් වේවා සත්‍යය තුළ ගමන් කිරීම ළඟදී ඇරඹුවා වේවා අවුරුදු ගණනක සිට ගමන් කරමින් සිටිනවා වේවා සෙසු ඇදහිලිවන්තයන්ගේ ආත්මික සුභසාධනය වැඩි දියුණු කිරීමට දායක වීමට අපට හැකියි. ඇරත්, ඔවුන්ට ඇත්තටම අපව අවශ්‍යයි.

ඔවුහු අවශ්‍ය උපකාරය පිරිනැමුවෝය

5. අකිලා සහ ප්‍රිස්කිලා පාවුල්ට උපකාර කළේ කෙසේද?

5 සෙසු ඇදහිලිවන්තයන්ට උපකාර කිරීමෙහිලා තෘප්තියක් ලබන අය අතර ක්‍රිස්තියානි විවාහක ජෝඩුද සිටිති. නිදසුනක් වශයෙන් අකිලා සහ ඔහුගේ බිරිඳ වූ ප්‍රිස්කිලා (ප්‍රිස්කා) පාවුල්ට උපකාර කළහ. තමන්ගේ නිවසට සාදරයෙන් ඔහුව පිළිගත් ඔවුහු කූඩාරම් මසන්නන් ලෙස ඔහු සමඟ වැඩ කළ අතර, කොරින්තියේ නව සභාවක් පිහිටුවීමට ඔහුට උදව් කළහ. (ක්‍රියා 18:1-4) එපමණක්ද නොවේ. පාවුල් වෙනුවෙන් ඔවුහු අපට හෙළි කර නොමැති යම් ආකාරයකින් තම ජීවිතය පවා පරදුවට තැබුවෝය. පාවුල් රෝමයේ විසූ ක්‍රිස්තියානීන්ට මෙසේ ලියන විට ඔවුන් සිටියේ එහිය. “ක්‍රිස්තුස් යේසුස් තුළ මගේ හවුල් සේවකයන් වන ප්‍රිස්කා සහ අකිලාට මගේ සුභ පැතුම් දෙන්න. ඔවුහු මගේ ජීවිතය සඳහා තමුන්ගේ ජීවිත අනතුරට ලක් කළෝය. මා පමණක් නොව, ජාතීන්ගේ සියලු සභාද ඔවුන්ට ස්තුති කරති” යයි ඔහු පැවසුවේය. (රෝම 16:3, 4, NW) අකිලා සහ ප්‍රිස්කිලා මෙන් නවීන දින ඇතැම් ක්‍රිස්තියානීහු සභාවන් ගොඩනංවන අතර, විවිධාකාරවලින් සෙසු ඇදහිලිවන්තයන්ට උපකාර කරති. ඇතැම්විට දෙවිගේ වෙනත් සේවකයන්ව, පීඩා කරන්නන්ගේ කුරිරුකම්වලින් හෝ මරණයෙන් පවා බේරාගැනීමට තම ජීවිතද පරදුවට තබති.

6. අපොල්ලොස් ලැබූ උපකාරය කුමක්ද?

6 තවද අකිලා සහ ප්‍රිස්කිලා ක්‍රිස්තියානියෙකු වූ අපොල්ලොස්ටද උපකාර කළහ. ඔහු යේසුස් ක්‍රිස්තුස් ගැන එපීසයේ වැසියන්ට උගන්වමින් සිටි දක්ෂ කථිකයෙකි. ඒ කාලයේදී, අපොල්ලොස් දැන සිටියේ මෝසෙස්ගේ නීතියට එරෙහිව පව් කරන්නන්ගේ පසුතැවිල්ලේ සංකේතයක් ලෙස යොහන් විසින් කරන ලද බව්තීස්මය ගැන පමණි. අපොල්ලොස්හට යම් උපකාරයක් අවශ්‍ය බව වටහාගත් අකිලා සහ ප්‍රිස්කිලා, “ඔහුට දෙවිගේ මාර්ගය වඩා නිවැරදි ලෙස පහදා දුන්නෝය.” ක්‍රිස්තියානි බව්තීස්මයට වතුරේ ගිලීමත්, ශුද්ධාත්මය වැගිරවීම ලබාගැනීමත් ඇතුළත් බව ඔවුන් පැහැදිලි කළ බවට කිසිදු සැකයක් නැත. මේ නිසා අපොල්ලොස්ට කාරණා හොඳින් අවබෝධ කරගෙන ඒවා අදාළ කරගන්නට හැකි විය. පසුව අකායේදී, “දෙවිගේ මහත් කරුණාව නිසා අදහාගෙන සිටි අයට ඔහු බොහෝ සේ උපකාර කළේය. මන්ද, ඔහු යේසුස් යනු ක්‍රිස්තුස් බව ශුද්ධ ලියවිල්ලෙන් පෙන්වා දෙමින් යුදෙව්වරුන් වැරදි බව ප්‍රබල ලෙස ප්‍රසිද්ධියේම ඔප්පු කර පෙන්වීය.” (ක්‍රියා 18:24-28, NW) මේ අනුව අප විසින් අගය කළ යුතු තවත් වැදගත් කරුණක් තිබේ. එනම්, සෙසු ඇදහිලිවන්තයන් විසින් කරන අදහස් දැක්වීම්වලින් බොහෝවිට දේවවචනය පිළිබඳ අපගේ අවබෝධය වැඩි දියුණු කෙරෙන බවයි. මේ සම්බන්ධයෙන් අපට එකිනෙකාව අවශ්‍ය වෙයි.

ද්‍රව්‍යමය උපකාර ලබා දීම

7. සෙසු ක්‍රිස්තියානීන් ද්‍රව්‍යමය අවශ්‍යතාවකින් පෙළෙද්දී පිලිප්පිවරුන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

7 පිලිප්පි සභාවේ විසූ ක්‍රිස්තියානි සාමාජිකයෝ පාවුල්ට ඉමහත් සේ ප්‍රේම කළ අතර, තෙසලෝනික සභාවේ නැවතී සිටින කාලය අතරතුර ඔහුට අවශ්‍ය කරන ද්‍රව්‍යමය දේවල් යැව්වෝය. (පිලිප්පි 4:15, 16) යෙරුසලමේ විසූ සහෝදරයන්හට ද්‍රව්‍යමය උපකාරය අවශ්‍ය වූ විට, පිලිප්පිවරු තමන්ගේ පුළුවන්කමටත් වඩා සම්මාදම් කිරීමට ලක ලැහැස්ති වූහ. පිලිප්පියේ විසූ සහෝදර සහෝදරියන්ගේ මේ කදිම ස්ප්‍රීතුව පාවුල් කොතරම් අගය කළාද කියතොත්, මොවුන් ගැන සඳහන් කළේ වෙනත් ඇදහිලිවන්තයන්ට ආදර්ශයක් ලෙසටයි.—2 කොරින්ති 8:1-6.

8. එපෆ්‍රොදිතස් විදහාපෑවේ කිනම් ස්ප්‍රීතුවක්ද?

8 පාවුල් සිර බැඳුම් තුළ සිටින විට, පිලිප්පිවරු ඔහුගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සැපයුවා පමණක් නොව, එපෆ්‍රොදිතස් නම් වූ ඔවුන්ගේ නියෝජිතයාවද පාවුල් වෙත යැවූහ. පාවුල් මේ ගැන පැවසුවේ මෙසේයි. “මට කළාවූ නුඹලාගේ සේවයෙහි අඩු පාඩුව පිරිමසන්ට ඔහු තමාගේ ජීවිතය නොසලකා ක්‍රිස්තුස්ගේ මෙහෙය නිසා මරණාසන්න වුණේය.” (පිලිප්පි 2:25-30; 4:18) එපෆ්‍රොදිතස් වැඩිමහල්ලෙක්ද සභා සේවකයෙක්ද කියා අපට පවසා නැත. ඒ කෙසේවෙතත්, ආත්ම පරිත්‍යාගශීලි සහ උපකාරවත් ක්‍රිස්තියානියෙකු වූ හෙතෙම පාවුල්ට සැබවින්ම අවශ්‍ය වූ පුද්ගලයෙකු විය. ඔබේ සභාවෙත් එපෆ්‍රොදිතස් වැනි අය සිටිනවාද?

ඔවුහු ‘ශක්තිය සපයන උපකාර’ වූහ

9. අරිස්තාකස් අපට ආදර්ශයක් වෙන්නේ කොහොමද?

9 අකිලා, ප්‍රිස්කිලා සහ එපෆ්‍රොදිතස් වැනි ප්‍රේමණීය සහෝදර සහෝදරියෝ ඕනෑම සභාවක සිටින වටිනා පුද්ගලයෝය. අපගේ සෙසු නමස්කාරකයන්ගෙන් සමහරදෙනෙකු පළමු සියවසේ විසූ ක්‍රිස්තියානියෙකු වූ අරිස්තාකස් වැනිය. ඔහු සහ වෙනත් අය ‘ශක්තිය සපයන උපකාර’ වූහ. එනම්, ඔවුන් සමහරවිට සැනසිල්ලක් ගෙන ආ අය හෝ මූලික වශයෙන් අන් අයගේ එදිනෙදා අවශ්‍යතාවන් සැපයූ අය වූවා විය හැකියි. (කොලොස්සි 4:10, 11, NW) පාවුල්ට සහය වීම මගින් අරිස්තාකස් අවශ්‍ය වේලාවලදී නියම මිතුරෙකු බව ඔප්පු කළේය. ඔහු හරියට හිතෝපදේශ 17:17හි [නව අනුවාදය] සඳහන් කර ඇති ආකාරයේ පුද්ගලයෙකි. “මිතුරුතුමෝ දුක් සැප දෙකෙහිම මිතුරෝය. සොහොයුරන් සිටින්නේ විපතේදී අත දීමටය.” ඉතින් අප සියලුදෙනාම සෙසු ක්‍රිස්තියානීන්හට ‘ශක්තිය සපයන උපකාර’ වීමට උත්සාහ කළ යුතු නොවේද? විශේෂයෙන්ම කරදර විපත්තිවලට මුහුණ දෙන අයට උදව් උපකාර කිරීමට අපි කැමැත්තෙන් සිටිය යුතුය.

10. ක්‍රිස්තියානි වැඩිමහල්ලන් උදෙසා පේතෘස් සැපයුවේ කිනම් ආදර්ශයද?

10 විශේෂයෙන්ම ක්‍රිස්තියානි වැඩිමහල්ලන් තම ආත්මික සහෝදර සහෝදරියන්හට ශක්තිය සපයන උපකාර විය යුතුය. ක්‍රිස්තුස් ප්‍රේරිත පේතෘස්හට පැවසුවේ මෙසේයි. “ඔබේ සහෝදරයන්ව ශක්තිමත් කරන්න.” (ලූක් 22:32, NW) පේතෘස්ට මෙය කිරීමට පුළුවන් විය. මන්දයත් විශේෂයෙන් යේසුස්ගේ නැවත නැඟිටීමෙන් පසුව ඔහු ඉතා ශක්තිමත් වූ පර්වතයක් බඳු වූ උදාර ගුණාංග පැහැදිලිව විදහාපෑ නිසාය. වැඩිමහල්ලෙනි, කැමැත්තෙන්ම මුදු මොළොක් ලෙස එම දේම කිරීමට ඔබටත් කළ හැකි සියල්ලම කරන්න. මන්ද ඔබගේ සෙසු ඇදහිලිවන්තයන්හට ඔබව අවශ්‍යය.—ක්‍රියා 20:28-30; 1 පේතෘස් 5:2, 3.

11. තිමෝතිගේ ස්ප්‍රීතුව ගැන සලකා බැලීමෙන් අපට ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද?

11 පාවුල්ගේ සංචාරක සගයෙකු වූ තිමෝතිද අනික් ක්‍රිස්තියානීන් කෙරෙහි ඉතා ගැඹුරු සැලකිල්ලක් දැක්වූ වැඩිමහල්ලෙකු විය. යම් යම් සෞඛ්‍ය ගැටලු තිබූ නමුදු හෘදයාංගම ඇදහිල්ලක් පෙන්වූ තිමෝති, ‘ශුභාරංචියේ වැඩි දියුණුව තකා පාවුල් සමඟ දාසයෙකු මෙන් සේවය කළේය.’ ඒ නිසා පිලිප්පිවරුන්ට මෙසේ කියන්නට ප්‍රේරිතවරයාට හැකි විය. “ඔබ සම්බන්ධයෙන් කාරණා ගැන සැබෑ ලෙස සලකන්නාවූ, ඔහු වැනි ස්වභාවයක් ඇති වෙන කිසිවෙක් මට නැත.” (පිලිප්පි 2:20, 22, NW; 1 තිමෝති 5:23; 2 තිමෝති 1:5) තිමෝති හා සමාන ස්ප්‍රීතුවක් විදහාපෑමෙන් යෙහෝවාගේ සෙසු නමස්කාරකයන්හට ආශීර්වාදයක් වෙන්නට අපට හැකියි. අප අපගේම මිනිස් අඩුලුහුඬුකම් හා විවිධ පරීක්ෂා විඳදරාගත යුතු බව ඇත්තකි. නමුත්, අප ශක්තිමත් ඇදහිල්ලක් විදහා දක්වන අතරතුරේදී අපගේ ආත්මික සහෝදර සහෝදරියන් සඳහා ප්‍රේමණීය සැලකිල්ලක්ද දැක්විය යුතුය. එමෙන්ම ඔවුන්ට අපව අවශ්‍ය බව සෑමවිටම මතක තබාගත යුතුය.

වෙනත් අය ගැන සැලකිල්ල දැක්වූ ස්ත්‍රීන්

12. දොර්කස්ගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

12 වෙනත් අය ගැන සැලකිල්ල දැක්වූ දේවභක්තික ස්ත්‍රීන් අතර කෙනෙකි, දොර්කස්. ඇය මිය ගිය අවස්ථාවේ ගෝලයෝ පේතෘස්ට අඬගසා ඔහුව උඩුමහල් කාමරයට එක් කරගෙන ගියහ. එහිදී “සියලු වැන්දඹුවෝද ඔහු ඉදිරියට ඇවිත්, හඬමින්, දොර්කස් තමුන් සමඟ සිටියදී සෑදූ බොහෝ ඇතුල් වස්ත්‍රද පිට වස්ත්‍රද පෙන්නුවෝය.” දොර්කස්ව නැවත නැඟිටුවනු ලැබූ අතර, ඇය ‘යහපත් ක්‍රියා කිරීමේද දන් දීමේද බොහෝ සේ නියැලී සිටි’ බවට කිසිදු සැකයක් නැත. වත්මන් ක්‍රිස්තියානි සභාවේද අවශ්‍යතාව ඇති අය සඳහා ඇඳුම් සාදන සහ වෙනත් ප්‍රේමණීය දේවල් කරන දොර්කස් හා සමාන කාන්තාවෝ සිටිති. ඇත්ත වශයෙන්ම, ඔවුන්ගේ යහපත් ක්‍රියා මූලික වශයෙන් සම්බන්ධ වන්නේ රාජ්‍ය කාරණා වැඩි දියුණු කිරීමෙහි හා ගෝලයන් සෑදීමේ වැඩයේ හවුල් වීමටය.—ක්‍රියා 9:36-42, NW; මතෙව් 6:33; 28:19, 20.

13. ලිදියා සෙසු ක්‍රිස්තියානීන් ගැන සැලකිල්ල දැක්වූයේ කෙසේද?

13 ලිදියා නම් වූ දේවභයැති කාන්තාව අනුන් කෙරෙහි සැලකිල්ල දැක්වූ තැනැත්තියක වූවාය. තියතීරාවේ උපත ලැබූ ඇය, පො.යු. 50දී පමණ පාවුල් පිලිප්පියේ දේශනා කරන විට එහි ජීවත් වෙමින් සිටියාය. ලිදියා පෙනෙන හැටියට යුදෙව් ආගමට හැරුණු තැනැත්තියක් වූවා විය හැකියි. නමුත් පිලිප්පියේ යුදෙව්වන් ස්වල්පදෙනෙකු සිටි අතර, එහි සිනගෝගයක් නොතිබුණා විය හැකියි. ඇය සහ වෙනත් භක්තිවන්ත කාන්තාවන් කිහිපදෙනෙකු ගංගාවක් අසබඩ නමස්කාරය සඳහා රැස් වී සිටින විටයි ප්‍රේරිතවරයා ඔවුන්ට ශුභාරංචිය දේශනා කළේ. වාර්තාව මෙසේ කියයි. “පාවුල් පවසමින් සිටි දේට අවධානයක් දීමට යෙහෝවා [ලිදියාගේ] සිත සම්පූර්ණයෙන්ම විවෘත කළේය. ඇයත් ඇගේ ගෙයි වැසියනුත් බව්තීස්ම වූ විට, ඇය, ‘මා යෙහෝවාට විශ්වාසවන්තව සිටින කෙනෙක් කියා ඔබ සලකනවා නම්, මාගේ ගෙට ඇතුල් වී නැවතී සිටින්න,’ කියා බැගෑපත්ව අයැදමින් අපට එහි පැමිණෙන ලෙස පෙරැත්ත කළාය.” (ක්‍රියා 16:12-15, NW) ලිදියාට අනුන් වෙනුවෙන් යහපත් දේවල් කිරීමට වුවමනා වුණු නිසා, ඇය සමඟ නැවතීමට පාවුල්ව සහ ඔහුගේ සගයන්ව කැමති කරවාගත්තාය. අදදින කාරුණික හා ප්‍රේමණීය ක්‍රිස්තියානීන් විසින් ඒ හා සමාන සංග්‍රහශීලිත්වයක් දක්වන විට අපි ඒ ගැන කොතරම් සතුටු වන්නෙමුද!—රෝම 12:13; 1 පේතෘස් 4:9.

බාල දරු දැරියනි, ඔබවත් අපට අවශ්‍යයි

14. යේසුස් ක්‍රිස්තුස් කුඩා දරුවන්ව සැලකුවේ කොහොමද?

14 ක්‍රිස්තියානි සභාව මුලින්ම ආරම්භ වූයේ ඉතා කාරුණික, උණුසුම් හදවතක් ඇති දෙවිගේ පුත්‍රයා වූ යේසුස් ක්‍රිස්තුස්ගෙනි. ඔහු ඉතා ප්‍රේමණීය හා දයානුකම්පිත කෙනෙකු වූ නිසා ඔහු ළඟ සිටියදී පහසු බවක් ජනයාහට දැනුණි. එක් අවස්ථාවක ඇතැමුන් තමන්ගේ බාල දරුවන්ව යේසුස් වෙතට ගෙනා විට, ඔහුගේ ගෝලයන් තැත් කළේ ඔවුන්ව ඉවතට යැවීමටයි. නමුත් යේසුස් පැවසුවේ මෙසේයි. “කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න. ඔවුන්ව වළක්වන්න උත්සාහ නොකරන්න. මන්ද දෙවිගේ රාජ්‍යය අයිති එවැනි අයටය. සැබවින්ම මම ඔබට කියමි, කුඩා දරුවෙකු මෙන් දෙවිගේ රාජ්‍යය පිළි නොගන්නා කිසිවෙක් කිසිසේත් ඊට ඇතුල් නොවන්නේය.” (මාර්ක් 10:13-15, NW) රාජ්‍යයේ ආශීර්වාද ලැබීමට අපි කුඩා දරුවන් සේ යටහත් පහත් විය යුතුය. එමෙන්ම උගන්වනු ලැබිය හැකි, උපදෙස් භාරගැනීමට කැමැත්තෙන් සිටින පුද්ගලයන් විය යුතුය. යේසුස් කුඩා දරුවන් කෙරෙහි සිය ප්‍රේමය පෙන්වූයේ ඔවුන්ව වඩාගෙන ඔවුන්ට ආශීර්වාද කරමිනි. (මාර්ක් 10:16) අදදින සිටින යෞවනයෙනි, ඔබ ගැන කුමක් කිව හැකිද? ඔබට ප්‍රේම කරනු ලබන බවත්, ඔබව සභාවට අවශ්‍ය බවත් අමතක නොකරන්න.

15. ලූක් 2:40-52හි යේසුස්ගේ ජීවිතය ගැන වාර්තා කර ඇත්තේ කුමක්ද? එමෙන්ම ඔහු බාල දරුවන් සඳහා තබා තිබෙන්නේ කිනම් ආදර්ශයද?

15 යේසුස් බාල දරුවෙකුව සිටියදී දෙවි කෙරෙහිත් ශුද්ධ ලියවිලි කෙරෙහිත් පෙන්වූයේ දැඩි ප්‍රේමයක් සහ ඇල්මක්. යේසුස්ට වයස අවුරුදු 12ක් වූ විට, ඔහු සහ ඔහුගේ දෙමාපියන් වූ යෝසෙප් හා මරියා පාස්කු උත්සවය සඳහා නාසරෙත් නම් වූ තම ගමේ සිට යෙරුසලමට ගමන් කළහ. ආපසු එන ගමනේදී යේසුස්ගේ දෙමාපියන්ට පෙනී ගිය කාරණයක් නම්, තමන් සමඟ ගමන් කරන කණ්ඩායම අතර යේසුස් නොමැති බවයි. අන්තිමේදී, ඔහු යුදෙව් ගුරුවරුන්ට සවන් දෙමින් ඔවුන්ගෙන් ප්‍රශ්න අසමින් දේවමාළිගාවේ ශාලාවක වාඩි වී සිටියදී ඔවුන්ට හමු විය. තමා සිටියේ කොහේදැයි යෝසෙප් සහ මරියා දැන නොගත් නිසා ඒ ගැන පුදුම වූ යේසුස්, “මාගේ පියාණන්ගේ ගෘහයේ මා සිටිය යුතු බව දැන සිටියේ නැද්ද” යයි ඇසීය. සිය දෙමාපියන් සමඟ නැවත නිවස කරා ගිය ඔහු ඔවුන්ට යටත්ව සිටි අතර, ප්‍රඥාවෙන්ද ශාරීරිකවද වැඩුණේය. (ලූක් 2:40-52) යේසුස් බාල දරුවන් සඳහා තැබුවේ මොනතරම් කදිම ආදර්ශයක්ද! ඔහු මෙන් ඔවුන්ද ඔවුන්ගේ දෙමාපියන්ට කීකරු විය යුතු බවට සැකයක් නැත. ඒ වගේම ඔවුන් ආත්මික දේවල් ගැන ඉගෙනගැනීමටද උනන්දුවක් දැක්විය යුතුයි.—ද්විතීය කථාව 5:16; එපීස 6:1-3.

16. (අ) යේසුස් දේවමාළිගාවේ සාක්ෂි දරමින් සිටින විට ඇතැම් පිරිමි ළමුන් මොරගැසුවේ කුමක් කියමින්ද? (ආ) අදදින ක්‍රිස්තියානි දරුවන්ට තිබෙන්නේ කිනම් වරප්‍රසාදයද?

16 ඔබ ළමයෙකු ලෙස, පාසැලේදී හෝ ඔබේ දෙමාපියන් සමඟ ගෙයින් ගෙට ගොස් හෝ සාක්ෂි දරමින් සිටිනවා විය හැකියි. (යෙසායා 43:10-12; ක්‍රියා 20:20, 21) යේසුස් සිය මරණයට ස්වල්ප කාලයකට පෙර දේවමාළිගාවේ සාක්ෂි දරමින් සහ ජනයාව සුව කරමින් සිටි විට, ඇතැම් පිරිමි ළමයි මෙසේ මොරගැසූහ. “දාවිත්ගේ පුත්‍රයාව ආරක්ෂා කළ මැනව!” මේ ගැන කුපිත වූ උත්තම පූජකයන් සහ ලියන්නන්, ඊට විරෝධය පෑවේ “මොවුන් කියන දේ ඔබට ඇසෙනවාද” කියමිනි. “එසේය, ‘බිලිඳුන්ගේද කිරි බොන දරුවන්ගේද මුවින් ඔබට ප්‍රශංසාව සලසා තිබේ’ යන පාඨය ඔබ කවදාවත් කියවා නැද්ද?” යයි යේසුස් ඔවුන්ට පිළිතුරු දෙමින් පෙරළා ප්‍රශ්න කළේය. (මතෙව් 21:15-17, NW) ඒ ළමුන් මෙන් සභාවේ සිටින බාල දරුවෙනි, ඔබටත් දෙවිව හා ඔහුගේ පුත්‍රයාව ප්‍රශංසාවට ලක් කිරීමට මහත් වරප්‍රසාදයක් තිබේ. රාජ්‍ය ප්‍රකාශකයන් වශයෙන් ඔබ අප සමඟ සිටිනවාට අපි කැමැත්තෙමු. ඔබව අපට අවශ්‍යයි.

විපත්තිවලින් පහර ලබන විට

17, 18. (අ) යුදයේ විසූ ක්‍රිස්තියානීන් උදෙසා පාවුල් සම්මාදම් එකතු කළේ ඇයි? (ආ) යුදයේ ඇදහිලිවන්තයන් උදෙසා එකතු කරන ලද ස්වේච්ඡා සම්මාදම්වලින් යුදෙව් සහ අන්‍යජාතික ක්‍රිස්තියානීන්හට ඇති වූ බලපෑම කුමක්ද?

17 අප කුමන තත්වයක සිටියත්, අවශ්‍යතා ඇති සෙසු ක්‍රිස්තියානීන්ට උදව් උපකාර කරන්නට අපි යුහුසුලු වෙමු. (යොහන් 13:34, 35; යාකොබ් 2:14-17) අකායා, ගලාති, මැසිඩෝනියා සහ ආසියාවේ සිටින සභාවල සිටි අයගෙන් යම් සම්මාදමක් එකතු කිරීමට යම් සැලසුම් යෙදීමට පාවුල්ව පෙලඹවූයේ යුදයේ විසූ සහෝදර සහෝදරියන් කෙරෙහි තිබූ ප්‍රේමයයි. පාවුල් විසින් “දුක්,” “නින්දා පීඩා,” සහ “දේපළ කොල්ලකෑම” කියා හඳුන්වනු ලැබුවේ, යෙරුසලමේ විසූ ගෝලයන් විසින් අද්දුටු පීඩා, සමාජීය නොසන්සුන්භාවය සහ සාගතය වැනි දෑය. (හෙබ්‍රෙව් 10:32-34; ක්‍රියා 11:27-12:1) මේ නිසා ඔහු යුදයේ විසූ දිළිඳු ක්‍රිස්තියානීන් උදෙසා තම අධීක්ෂණය යටතේ යම් අරමුදලක් පිහිටුවීමට කටයුතු කළේය.—1 කොරින්ති 16:1-3; 2 කොරින්ති 8:1-4, 13-15; 9:1, 2, 7.

18 යුදයේ විසූ ශුද්ධවන්තයන් උදෙසා සූදානම් කරන ලද ස්වේච්ඡා පරිත්‍යාගවලින් තවත් වැදගත් කරුණක් හෙළි වුණි. එය නම්, යෙහෝවාට නමස්කාර කරන යුදෙව්වන් සහ අන්‍යජාතිකයන් අතර සහෝදරත්වයේ බැම්මක් තිබූ බවට ඒ මගින් ඔප්පු වීමයි. මෙසේ අන්‍යජාතික ක්‍රිස්තියානීන් විසින් යුදයේ විසූ තම සෙසු නමස්කාරකයන්ට සම්මාදම් ගෙනැවිත් දීම, ඔවුන්ගෙන් ලද ආත්මික ධන නිධානවලට දැක්වූ තුති පඬුරක් වැන්න. මෙහිදී, ද්‍රව්‍යමය හා ආත්මික අතින් හුවමාරුවක් සිදු වුණි. (රෝම 15:26, 27) අදදින සිටින සෙසු ඇදහිලිවන්තයන් සඳහා කරන සම්මාදම්ද ප්‍රේමයෙන් පෙලඹී කරන ස්වේච්ඡා සම්මාදම්ය. (මාර්ක් 12:28-31) අපට මේ සම්බන්ධයෙන් එකිනෙකාව අවශ්‍ය වන අතර, එවිට ‘ස්වල්පයක් සතු තැනැත්තාට මදිව නොතිබෙන’ ලෙසට යම් සමකමක් සිදු වෙයි.—2 කොරින්ති 8:15, NW.

19, 20. විපත්ති සිද්ධ වෙන අවස්ථාවලදී යෙහෝවාගේ ජනයා එකිනෙකාට උපකාර කරන ආකාරය ගැන උදාහරණයක් දෙන්න.

19 ක්‍රිස්තියානීන්හට එකිනෙකාව අවශ්‍ය බව දන්නා අපි ඇදහිල්ලේ සිටින අපගේ සහෝදර සහෝදරියන්ට ආධාර උපකාර කිරීම සඳහා හනික ඉදිරිපත් වෙමු. නිදසුනක් වශයෙන්, 2001 මුල් භාගයේදී එල් සැල්වඩෝර්හි දරුණු භූමිකම්පාවෙන් සහ කඳු නායයෑම සිදු වූ අවස්ථාවේදී වූ දේ සැලකිල්ලට ගන්න. එක් වාර්තාවක මෙසේ පැවසේ. “එල් සැල්වඩෝර්හි සියලුම ප්‍රදේශවල සිටි සහෝදරයෝ සහන සේවා සැපයීම ආරම්භ කළහ. ග්වාටමාලා, එක්සත් ජනපදය හා කැනඩාවේ සහෝදරයෝද අපේ පිහිටට පැමිණියහ. . . . නිවෙස් 500ක් හා සිත්ගන්නා රාජ්‍ය ශාලා තුනක් ඉතා කෙටි කලකදී සාදන ලදි. මෙම ආත්ම පරිත්‍යාගශීලී සහෝදරයන් වෙහෙස මහන්සි වී කළ වැඩවලින් සහ දැක්වූ සහයෝගයෙන් මහත් සාක්ෂියක් දරන ලදි.”

20 දකුණු අප්‍රිකාවෙන් පැමිණි එක් වාර්තාවක මෙසේ කියැවිණි. “මොසැම්බික්හි පැවති දරුණු ගංවතුර අපගේ ක්‍රිස්තියානි සහෝදරයන් විශාල පිරිසකට තදින් බලපෑවේය. මොසැම්බික් ශාඛාව මේ අයගෙන් වැඩිදෙනෙකුගේ අවශ්‍යතා ගැන බලාකියා ගැනීමට කටයුතු පිළියෙළ කළේය. එහෙත්, ඔවුන් අපගෙන් ඉල්ලා සිටියේ අවශ්‍යතා ඇති සහෝදරයන්හට පාවිච්චි කරන ලද ඇඳුම් යවන ලෙසය. මොසැම්බික්හි සිටින අපගේ සහෝදරයන් සඳහා අපි මීටර් 12ක් පමණ දිග කන්ටේනරයක පිරෙන්න ඇඳුම් එකතු කළෙමු.” එසේය. මෙවැනි ආකාරවලින්ද අපට එකිනෙකාව අවශ්‍ය වේ.

21. ඊළඟ ලිපියේදී සලකා බැලෙන්නේ කුමක්ද?

21 කලින් සලකා බැලුවාක් මෙන්, මිනිස් සිරුරේ සියලු අවයවයන් වැදගත්ය. ක්‍රිස්තියානි සභාව සම්බන්ධයෙන් මෙම දෙයම සත්‍යයක් වෙයි. එහි සිටින සියලුම සාමාජිකයන්ට එකිනෙකාව අවශ්‍යය. එමෙන්ම ඔවුන් සියලු දෙනාම එක්සත්කමින් සේවය කළ යුතුය. මෙය කිරීමට හේතුපාදක වෙන සාධක කිහිපයක් ඊළඟ ලිපියෙන් සලකා බැලේ.

ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේද?

• මිනිස් සිරුර සහ ක්‍රිස්තියානි සභාව අතර ඇති සමානකම කුමක්ද?

• සෙසු ඇදහිලිවන්තයන් මහත් අවශ්‍යතාවකින් පෙළෙන විට මුල් ක්‍රිස්තියානීන් ප්‍රතික්‍රියා කළේ කෙසේද?

• ක්‍රිස්තියානීන්ට එකිනෙකාව අවශ්‍ය බවත්, ඔවුන් එකිනෙකාට උපකාර කළ යුතු බවත් පෙන්වා දෙන ඇතැම් ශුද්ධ ලියවිලිමය ආදර්ශයන් මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

අකිලා සහ ප්‍රිස්කිලා අනෙක් අය ගැන සැලකිල්ල දැක්වූහ

[12වන පිටුවේ පින්තූර]

විපත් සිදු වන විට යෙහෝවාගේ ජනයා එකිනෙකාව බලාගනිති