Skip to content

පටුනට යන්න

‘දෙවිගේ රැළ බලාගනිමින්’

‘දෙවිගේ රැළ බලාගනිමින්’

‘මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි’

‘දෙවිගේ රැළ බලාගනිමින්’

“ඔයගොල්ලන් බයිබලයේ දිරිගන්වන වචන අපිත් එක්ක බෙදාගන්නවා විතරක් නෙවෙයි හැමවිටම අපිට ඇහුම්කන් දෙනවා. අපිට ඒකෙන් ලොකු ශක්තියක් ලැබෙනවා.”—පැමලා.

“අපි වෙනුවෙන් කරන සියලුම දේවල්වලට ඔබට ස්තුතියි. ඒක අපට මහත් දිරිගැන්වීමක්.”—රොබට්.

පැමලා හා රොබට් ඉහත සඳහන් කෘතඥපූර්වක වදන් ලිවීමට පෙලඹුණා. ඔවුන් එය ලීවේ තම සභාවල සිටින ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ටයි. ලෝක ව්‍යාප්තව සිටින දෙවිගේ අනෙකුත් සේවකයන්ද ‘දෙවිගේ රැළ බලාගන්නා’ එඬේරුන්ගෙන් තමන්ට දිගින් දිගටම ලැබෙන උපකාරය හා සැලකිල්ල ගැන ස්තුතිවන්ත වෙනවා. (1 පේතෘස් 5:2) ඇත්ත වශයෙන්ම වැඩිමහල්ලන් ඔවුන් වෙනුවෙන් කරන දේවල් හා ඒවා කරන ආකාරය ගැන යෙහෝවාගේ සෙනඟ කෘතඥපූර්වක වෙනවා.

“කාර්යබහුල”

ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට විවිධාකාර වගකීම් විශ්වාසයෙන් යුතුව භාර දී තිබෙනවා. (ලූක් 12:48) ඔවුන් සභා රැස්වීම්වල පැවරුම්වලට සූදානම් වෙනවා පමණක් නොව දේවරාජ්‍යය පිළිබඳව ප්‍රසිද්ධව දේශනා කිරීමේද නිරත වෙයි. මේ වගකීම්වලට සෙසු ඇදහිලිවන්තයන්ගේ ආත්මිකත්වය ගොඩනැංවීම සඳහා එඬේර බැහැදැකීම් කිරීමද ඇතුළත්. විශේෂ අවධානයක් අවශ්‍යය වැඩිහිටි අය හා වෙනත් අය සඳහාද ඔවුන් කාලය වෙන් කරයි. මේ සෑම දෙයක්ම කරන්නේ තමන්ගේ පවුලේ ආත්මික හා ශාරීරික අවශ්‍යතාද සපුරාලන අතරෙයි. (යෝබ් 29:12-15; 1 තිමෝති 3:4, 5; 5:8) මොවුන්ගෙන් සමහරු රාජ්‍යශාලා ඉදි කිරීම්, රෝහල් සබඳතා කමිටු සහ රෝගීන් බැහැදැකීමේ කණ්ඩායම් ආදියට සම්බන්ධ වී වැඩ කරනවා. ඒ වගේම මින් බොහෝදෙනෙකු එක්රැස්වීම් හා සමුළුවල ස්වෙච්ඡා සේවයේ හවුල් වෙයි. ඔව්, ඇත්තෙන්ම වැඩිමහල්ලන් ‘ස්වාමීන්ගේ වැඩෙහි කාර්යබහුලව සිටිනවා.’ (1 කොරින්ති 15:58, NW) මේ වගේ වෙහෙස මහන්සි වී වැඩ කරන වැඩිමහල්ලන්ගෙන් රැකවරණය ලබන අය ඔවුන්ව අගය කිරීම පුදුමයට කාරණයක් නොවෙයි.—1 තෙසලෝනික 5:12, 13.

වැඩිමහල්ලන් සෙසු ඇදහිලිවන්තයන්ගේ ආත්මිකත්වය ගොඩනැංවීම සඳහා නිතිපතා ඔවුන්ව නිවෙස්වලදී හා වෙනත් ස්ථානවලදී හමුවීමට යෑම ඇත්තෙන්ම දිරිගන්වනසුලුයි. “වැඩිමහල්ලන්ගේ ප්‍රේමණීය සැලකිල්ල හා උනන්දු කිරීම් ලැබුණේ නැත්නම් මම හිතන්නේ නැහැ මම අද පූර්ණ කාලීන දේවසේවකයෙක් ලෙස යෙහෝවාට සේවය කරාවි කියලා.” එම අද්දැකීම පැවසුවේ පියෙකුගේ රැකවරණය නොමැතිව හැදී වැඩුණු තෝමස්. තනි මාපිය පවුල්වල හැදී වැඩුණු යෞවනයන් බොහෝදෙනෙකු පිළිගන්නේ වැඩිමහල්ලන්ගෙන් ලැබුණු සැලකිල්ල ඔවුන්ට යෙහෝවා දෙවි සමඟ හොඳ සම්බන්ධයක් පවත්වාගැනීමට උපකාරවත් වුණු බවයි.

සභාවේ සිටින වැඩිහිටි අයද එඬේර බැහැදැකීම් ඉතා අගය කොට සලකනවා. අවුරුදු 80ක් පමණ වයසැති මිෂනාරි යුවළක් වැඩිමහල්ලන් දෙදෙනෙකු කළ බැහැදැකීමක් ගැන ලිව්වේ මෙසේයි. “ඔයාලාගේ පැමිණීම අපි හදපත්ලෙන්ම අගය කරනවා. ඔයාලා ගියාට පස්සේ අපි ඔයගොල්ලන් පෙන්වූ ඔක්කොම බයිබල් පද නැවතත් කියෙව්වා. ඔයගොල්ලන්ගේ දිරිගැන්වෙන වචන අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ.” අවුරුදු 70ක වැන්දඹු සහෝදරියක් වැඩිමහල්ලන්ට ලිව්වේ මෙහෙමයි. “ මම යෙහෝවාගෙන් උපකාර ඉල්ලා යාච්ඤා කළා. ඔහු ඔබ දෙදෙනාව මගේ නිවසට එව්වා. ඇත්තටම ඔයගොල්ලන්ගේ බැහැදැකීම යෙහෝවාගෙන් ලැබුණු ආශීර්වාදයක්!” ඔබේ සභාවේ වැඩිමහල්ලන් මෑතකදී කළ බැහැදැකීමකින් ඔබ ප්‍රයෝජන ලැබුවාද? වැඩිමහල්ලන් ඔවුන්ගේ බාරය යටතේ සිටින රැළ වෙනුවෙන් දරන වෑයම ගැන අපි අගය කරනවාට කිසිම සැකයක් නැහැ.

දෙවි සහ යේසුස් අනුකරණය කරන එඬේරුන්

යෙහෝවා ප්‍රේමණීය එඬේරෙකි. (ගීතාවලිය 23:1-4; යෙරෙමියා 31:10; 1 පේතෘස් 2:25) යේසුස් ක්‍රිස්තුස්ද කැපීපෙනෙන ආත්මික එඬේරෙක්. ඔහුව ‘යහපත් එඬේරා,’ “මහත් එඬේරා” සහ “ප්‍රධාන එඬේරා” වශයෙන් හඳුන්වා තිබෙනවා. (යොහන් 10:11; හෙබ්‍රෙව් 13:20; 1 පේතෘස් 5:4) යේසුස් ඔහුගේ අනුගාමිකයන් වීමට කැමති වූ අය සමඟ කටයුතු කළේ කෙසේද? ඔහු ඔවුන්ට මෙවැනි උණුසුම් ආරාධනාවක් පිළිගැන්නුවා. “වෙහෙසවෙන්නාවූ බර උසුලන්නාවූ සියල්ලෙනි මා වෙතට එන්න. මම නුඹලාට සහනය දෙමි.”—මතෙව් 11:28

ඒ හා සමානව අද වැඩිමහල්ලන් රැළට රැකවරණය හා සහනය ලබා දීමට වෑයම් කරනවා. එවැනි මනුෂ්‍යයෝ “සුළඟෙන් මුවා වෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද වන්නෝය.” (යෙසායා 32:2) එවැනි කාරුණික ආරක්ෂාව සපයන්නන් සහනය ගෙන දෙන අතර රැළෙහි ගෞරවයද ඔවුන්ට ලැබෙනවා නියතයි. ඒ විතරක් නොවෙයි, දෙවිගේ අනුමැතියද ලැබෙනවාට කිසිම සැකයක් නැහැ.—පිලිප්පි 2:29; 1 තිමෝති 5:17.

නොමසුරුව සහය දෙන භාර්යාවෝ

දෙවිගේ සෙනඟ මෙම වැඩිමහල්ලන්ට හා ඔවුන්ට සහයෝගය දෙන භාර්යාවන්ට ඉතා ස්තුතිවන්ත වෙයි. සහයෝගය දීමට නම් මෙම භාර්යාවන්ට බොහෝවිට පරිත්‍යාගයන් කිරීමට සිදු වෙනවා. සමහර අවස්ථාවලදී පුරුෂයන් සභාවේ කටයුතුවල නියැලෙන විට හෝ එඬේර බැහැදැකීම් කරන විට භාර්යාවන් ගෙදර තනි වෙනවා. තවත් සමහර අවස්ථාවලදී කලින් සිටම සූදානම් කරගත් යම් පෞද්ගලික කටයුත්තක් සභාවේ පැනනඟින හදිසි අවශ්‍යතාවක් නිසා කල් දැමීමට සිදු වෙයි. “ඒ වුණත්” මිෂෙල් පැවසුවේ “ මගේ මහත්තයා එඬේර බැහැදැකීම්වල හෝ රැස්වීම්වලට සූදානම් වීම වගේ වැඩවල යෙදිලා ඉන්නකොට මම මතක් කරගන්නවා එයා දෙවිගේ වැඩකයි යෙදී ඉන්නේ කියලා. ඒ නිසා මම මගේ උපරිමයෙන් එයාට සහයෝගය දෙනවා.”

වැඩිමහල්ලෙකු හා විවාහ වී සිටින ෂෙරිල් පැවසුවේ මෙහෙමයි. “මම දන්නවා සභාවේ ඉන්න සහෝදර සහෝදරියන්ට කතා කරන්න වැඩිමහල්ලන් අවශ්‍යයි කියලා. ඒගොල්ලන්ට මගේ මහත්තයා එක්ක ඕනෑම වෙලාවක කතා කරන්න පුළුවන් කියන හැඟීම ඒ අයට තියෙනවාට මම කැමතියි.” දෙවිගේ රැළ බලාගැනීමට තම ස්වාමිපුරුෂයන්ට සහයෝගය දෙන මිෂෙල් හා ෂෙරිල් මෙම පරිත්‍යාගයන් කරන්නේ කැමැත්තෙන්. වැඩිමහල්ලන්ට උපකාර කරන ඔවුන්ගේ භාර්යාවන්ව ඇත්තෙන්ම අගය කළ යුතුයි.

කෙසේවෙතත් කාර්යබහුල වැඩිමහල්ලෙක් තම භාර්යාවගේ හා දරුවන්ගේ ආත්මිකත්වය හා අනෙකුත් අවශ්‍යතාවන් නොසලකා හැරීම සුදුසු නැහැ. විවාහක වැඩිමහල්ලෙක් “නිදොස්ව එක භාර්යාවකට පුරුෂයාව, අවකල් ක්‍රියාව ගැන දෝෂාරෝපණය නොලත් කීකරු වූ ඇදහිලිවන්ත දරුවන් සිටින” කෙනෙක් විය යුතුයි. (තීතස් 1:6) දේවවචනයේ පවසා ඇති ආකාරයට ක්‍රිස්තියානි අවේක්ෂකයෙක් තම පවුල රැකබලා ගත යුතුයි.—1 තිමෝති 3:1-7.

කාර්යබහුල වැඩිමහල්ලෙකුට සහයෝගය දෙන භාර්යාවකගේ වටිනාකම මිල කළ නොහැකියි. විවාහ වූ වැඩිමහල්ලන්ට හැඟෙන්නේ ඒ විදිහටයි. එය හරියට බයිබලයේ පවසන ආකාරයට “යමෙකු යහපත් භාර්යාවක් සොයාගත්තේද? ඔහු යහපත් දෙයක් සොයාගත්තේය.” (හිතෝපදේශ 18:22, NW) මෙම වැඩිමහල්ලන් වචනයෙන් හා ක්‍රියාවෙන් තම භාර්යාවන්ට හෘදයාංගම අගය පෙන්වයි. එකට කරන අවංක යාච්ඤා හා අධ්‍යයනයට අමතරව මෙම ක්‍රිස්තියානි යුවළයන් මුහුදු වෙරළේ එකට ඇවිදීම, සොබා සෞන්දර්ය නැරඹීම සඳහා කැලෑ තරණය කිරීම, උද්‍යානවල ඇවිදීම වැනි ක්‍රියාකාරකම්වල යෙදෙන්න කාලය වෙන් කරගනියි. ඇත්ත වශයෙන්ම වැඩිමහල්ලන් තම භාර්යාවන්ට ප්‍රේමණීය සැලකිල්ල දැක්වීම තුළින් සතුටක් ලබනවා.—1 පේතෘස් 3:7.

පරාර්ථකාමී ලෙස දෙවිගේ රැළට එඬේරකම් කරන වැඩිමහල්ලන් යෙහෝවාගේ රැළට ආත්මික ප්‍රබෝධයක් සපයන උල්පත් වේ. ඔවුන් ඇත්ත වශයෙන්ම සභාවට ලැබී තිබෙන ‘තෑගි වශයෙන් මනුෂ්‍යයන්’ වන අතර සභාවට ආශීර්වාදයක්!—එපීස 4:8, NW; 11-13.