Skip to content

පටුනට යන්න

නූතන ග්‍රීක් බයිබලයක් සම්පාදනයේදී ඇති වූ අපමණ බාධා

නූතන ග්‍රීක් බයිබලයක් සම්පාදනයේදී ඇති වූ අපමණ බාධා

නූතන ග්‍රීක් බයිබලයක් සම්පාදනයේදී ඇති වූ අපමණ බාධා

නිදහස් චින්තනයේ උපත සිදු වූ ස්ථානය කියා ඇතැම් අවස්ථාවලදී හඳුන්වනු ලබන ග්‍රීසියේ පොදු ජනයා භාවිත කරන භාෂාවෙන් බයිබලය පරිවර්තනය කිරීමට ගිය අවස්ථාවලදී අපමණ බාධාවලට මුහුණු දීමට සිදු වූ බව අසන්න ලැබුණොත් ඔබ පුදුමයට පත් විය හැකියි. කාටත් කියවීමට පහසු ග්‍රීක් භාෂාවෙන් බයිබලයක් සම්පාදනය කිරීමේදී කවුරුන් හෝ එයට එරෙහි වෙයි කියා සිතාගත හැකිද? එම කාර්යය නතර කිරීමට යම් අය කටයුතු කළා නම්, එසේ කළේ මන්ද?

ශුද්ධ ලියවිලිවලින් සැලකිය යුතු කොටසක් මුලින්ම ලියනු ලැබුවේ ග්‍රීක් භාෂාවෙන් නිසා ග්‍රීක් භාෂාව කතා කරන ජනයාට වැඩි වාසියක් තිබෙනවා කියා යමෙකු සිතිය හැකියි. කෙසේවෙතත් නූතන ග්‍රීක් භාෂාව අතරත් සෙප්ටූඅජින්ට් කියා හඳුන්වනු ලබන හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල ග්‍රීක් පරිවර්තනයෙහි හා ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල සඳහන් ග්‍රීක් භාෂාව අතරත් සැලකිය යුතු වෙනස්කම් තිබේ. ඇත්තෙන්ම පසුගිය සියවස් හයක සිට ග්‍රීක් භාෂාව කතා කරන ජනයාගෙන් බහුතරයකට බයිබලයේ සඳහන් ග්‍රීක් භාෂාව විදේශීය භාෂාවක් හා සමානව තේරුම්ගැනීම දුෂ්කර විය. අතීත යෙදුම් වෙනුවට අලුත් යෙදුම් හඳුන්වා දී තිබෙන අතර වාග් මාලාව, ව්‍යාකරණ හා වාක්‍ය රටා වෙනස් වී තිබේ.

සෙප්ටුඅජන්ට් පසුකාලීනව භාවිත කළ ග්‍රීක් භාෂාවට පරිවර්තනය කිරීම සඳහා වෑයමක් දරා තිබෙන බවට 3වන සියවසේ සිට 16වන සියවස දක්වා වූ කාලය අතරතුර සකස් කළ ග්‍රීක් අත්පිටපත් සංග්‍රහයක් සාක්ෂි දරයි. තුන්වන සියවසේ විසූ නියොකායිසාරියෙහි බිෂොප් වූ ග්‍රෙගරි (පො.යු. 213 පමණ සිට 270 පමණ දක්වා) සෙප්ටුඅජින්ට්හි අඩංගු දේශනාකාරයා පොත සරල ග්‍රීක් භාෂාවට පරිවර්තනය කළේය. එකොළොස්වන සියවසේ මැසිඩෝනියාවේ විසූ ටෝබයස් බෙන් එලෙයාසර් නම් යුදෙව්වෙකු විසින් සෙප්ටුඅජින්ට්හි අඩංගු පංච පුස්තකයෙන් යම් කොටස් එදිනෙදා භාවිත කරන ග්‍රීක් භාෂාවට පරිවර්තනය කරන ලදි. එහිදී ඔහු හෙබ්‍රෙව් අකුරු පවා භාවිත කළේය. මෙසේ කළේ ග්‍රීක් භාෂාව පමණක් කතා කළත් හෙබ්‍රෙව් අක්ෂර කියවූ මැසිඩෝනියානු යුදෙව්වන්ගේ ප්‍රයෝජනය සඳහාය. මේ ආකාරයෙන් පංච පුස්තකය සම්පූර්ණයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1547දී කොන්ස්තන්තිනෝපල්හිදීය.

අඳුර මැද තරමක ආලෝක ධාරාවක්

බයිසන්ටයින් අධිරාජ්‍යය යටතේ තිබූ ග්‍රීක් භාෂාව කතා කරන ජනයා විසූ ප්‍රදේශ 15වන සියවසේදී ඔටොමන් අධිරාජ්‍යය අතට පත්වීමෙන් පසු එම ප්‍රදේශවල ජීවත් වූ බහුතරයකට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි විය. ඔටොමන් අධිරාජ්‍යය යටතේ ඕතඩොක්ස් සභාව මහත් වරප්‍රසාද භුක්ති වින්දත් තම සාමාජිකයන්ට දුප්පතුන්,නූගත් ගොවියන් හා කම්කරුවන් ලෙස ජීවත් වීමට ඔවුහු ඉඩහැරියෝය. මේ ගැන ග්‍රීක් ලේඛකයෙකු වූ තෝමස් ස්පෙලියොස් මෙසේ අදහස් දැක්වුවේය. “ඕතඩොක්ස් සභාවේ සහ එහි අධ්‍යාපන ක්‍රමයේ වැදගත්ම ඉලක්කය වූයේ ඉස්ලාම් ධර්මයෙන් එල්ල වූ විනාශකාරී බලපෑම්වලින් හා රෝමානු කතෝලික සභාවේ වහසි බස්වලින් තම සහෝදර සාමාජිකයන්ව ආරක්ෂා කරගැනීමයි. මෙහි ප්‍රතිඵලයක් හැටියට ග්‍රීක අධ්‍යාපනයේ කිසිම දියුණුවක් සිදු වූයේ නැත.” බලාපොරොත්තු තබාගත නොහැකි එවන් වාතාවරණයක් මැද කනස්සල්ලෙන් පසු වුණු ජනයාට බයිබලයේ අඩංගු ගීතාවලිය පොතෙන් සැනසිල්ල ලබා දීමේ අවශ්‍යතාව බයිබලයට ඇලුම් කළ අයට හැඟුණි. වර්ෂ 1543 සිට 1835 දක්වා කාලය තුළ එදිනෙදා කතා කරන ග්‍රීක් භාෂාවට පරිවර්තනය කළ ගීතාවලිය පොතේ පරිවර්තන 18ක් තිබිණ.

සම්පූර්ණ ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලම තමාගේ කාලයේ ජීවත් වූ ජනයා භාවිත කළ ග්‍රීක් භාෂාවට මුලින්ම පරිවර්තනය කළේ කැල්ලිප්පොලිස්හි ග්‍රීක ජාතික පූජකයෙකු වූ මැක්සිමස් කැලිපොලිටිස් විසින් 1630දීය. ඔහු මෙම කර්තව්‍යය සිදු කළේ කොන්ස්තන්තිනෝපල්හි කුලදෙටුවෙකු මෙන්ම ඕතඩොක්ස් පල්ලියේ ප්‍රතිසංස්කරණයන් කිරීමට තැත් කළ සිරිල් ලුකාරිස්ගේ මඟ පෙන්වීම හා අනුග්‍රහය යටතේය. කෙසේවෙතත්, සභාව ඇතුලේ සිටි ඇතැම් අය ලුකාරිස්ට විරුද්ධ වූහ. ලුකාරිස් සිදු කිරීමට තැත් කළ කිසිම ප්‍රතිසංස්කරණයක් ඔවුන් පිළි නොගත් අතර සාමාන්‍ය ජනයාගේ භාෂාවෙන් කළ කිසිම බයිබල් පරිවර්තනයක් සමඟ එකඟ වූයේද නැත. a ඔහුව ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගසා ගෙල මිරිකා මරා දමන ලදි. කෙසේවෙතත්, මැක්සිමස් පරිවර්තනය කළ පිටපත් 1,500ක් පමණ 1638දී මුද්‍රණය කරන ලදි. මෙම පරිවර්තනයට ප්‍රතිචාරයක් වශයෙන් වසර 34කට පසු යෙරුසලමේ තිබෙන ඕතඩොක්ස් පල්ලියේ කවුන්සලයක් මගින් මෙම ප්‍රකාශය කළේය. ශුද්ධ ලියවිලි “සෑම කෙනෙකුම නොකියවිය යුතුයි. ඒවා කියවිය යුත්තේ යෝග්‍ය පර්යේෂණ කිරීමෙන් පසු ආත්මික කාරණා ගැඹුරින් සොයාබලන අය විසින් පමණි.” මින් අදහස් කළේ ශුද්ධ ලියවිල්ල කියවිය යුත්තේ උගත් පූජක පක්ෂය විසින් පමණක් බවයි.

මැක්සිමස්ගේ පරිවර්තනය ලන්ඩනයේදී සංශෝධනය කර ප්‍රකාශයට පත් කිරීමට, 1703දී ලෙස්බොස් දිවයිනෙන් පැමිණි ග්‍රීක ජාතික පූජකයෙකු වූ සෙරෆිම් වෑයම් කළේය. මූල්‍යමය වශයෙන් සහයෝගය දෙන බවට ඉංග්‍රීසි රජය කළ පොරොන්දුව කඩ වූ විට ඔහු තමාගේම වියදමින් සංශෝධිත පිටපත මුද්‍රණය කළේය. “සෑම දේවභක්තික ක්‍රිස්තියානියෙකුම” බයිබලය කියවීමේ අවශ්‍යතාව, සෙරෆිම් දැවෙන ජ්වලිතයකින් ලියූ එහි පෙරවදනෙහි අවධාරණය කර තිබිණ. සභාවේ උසස් නිලතල දැරූ පූජකයන් “ජනයාව නූගතුන් ලෙස තබාගැනීමෙන් තමන්ගේ වැරදි වසාගැනීමට ආශාවෙන් සිටින” බවට ඔහු එම පෙර වදනෙහි චෝදනා කළේය. අපේක්ෂා කළ ආකාරයට ඕතඩොක්ස් සභාවට අයත් විරුද්ධවාදීන් ඊට ප්‍රතිචාරයක් ලෙස ඔහුවද රුසියාවේදී අත්අඩංගුවට ගෙන සයිබීරියාවට පිටුවහල් කරන ලදි. එහිදී 1735දී ඔහු මිය ගියේය.

එම කාල වකවානුවේදී ග්‍රීක් භාෂාව කතා කරන ජනයාගේ දැඩි ආත්මික කුසගින්න ගැන ග්‍රීක් ජාතික පූජකවරයෙක් අදහස් දක්වමින් මැක්සිමස්ගේ පරිවර්තනයේ පසුකාලීනව සිදු කළ සංශෝධිත පිටපත ගැන මෙසේ සඳහන් කළේය. “අනිත් අයට වගේම ග්‍රීක් භාෂාව කතා කරන අයගේ අතටද ශුද්ධ බයිබලය ලැබී තිබේ. ඔවුන් මෙය පිළිගත්තේ මහත් ඇල්මකින් හා උතුරා යන සතුටකිනි. ඔවුහු එය කියවූහ. ඔවුන්ට දැනුණු වේදනාව පහ වී ගිය බවක් ඔවුන්ට හැඟුණි. දෙවි කෙරෙහි ඇති ඔවුන්ගේ ඇදහිල්ල . . . ගින්නක් මෙන් ඇවිළිණ.” කෙසේවෙතත්, සාමාන්‍ය ජනයා බයිබලයේ තිබෙන දේවල් තේරුම්ගත්තොත් ශුද්ධ ලියවිල්ලට පටහැනි තමන්ගේ විශ්වාසයන් හා ක්‍රියාවන් හෙළි වෙයි කියා ආගමික නායකයෝ බිය වූහ. මේ නිසා එම බයිබල් පරිවර්තනවල සියලුම පිටපත් පුලුස්සා දැමීමට කොන්ස්තන්තිනෝපල්හි කුලදෙටුවන්ගේ විනිශ්චය සභාව විසින් 1823දී හා නැවතත් 1836දී නියෝගයක් නිකුත් කරන ලදි.

එඩිතර පරිවර්තකයෙක්

මෙවන් දරුණු විරුද්ධවාදීකම් මැද බයිබල් දැනුම ලබාගැනීම සඳහා දැවෙන ආශාවක් පැවති කාලයේදී කැපීපෙනෙන පුද්ගලයෙක් නැඟී සිටියේය. බයිබලය නූතන ග්‍රීක් භාෂාවට පරිවර්තනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළේ ඔහු විසිනි. මේ එඩිතර මිනිසා නියෝෆිටොස් වේම්වාස්ය. ඔහු පිළිගත් භාෂාවේදියෙකු මෙන්ම ප්‍රසිද්ධ බයිබල් විශාරදයෙකුද විය. “ජාතියේ ගුරුවරයෙකි” යනුවෙන් හැඳින්වූ ගුරුවරුන්ගේ ලැයිස්තුවටද ඔහු ඇතුළත් විය.

ජනයාට ආගම පිළිබඳ දැනුමක් නොමැති වීම ගැන ඕතඩොක්ස් සභාව වගකිව යුතු බව වේම්වාස් පැහැදිලිව දුටුවේය. ජනයාව ආත්මික නිදිබර ගතියෙන් අවදි කිරීමට නම් එදා සිටි සාමාන්‍ය ජනයා කතා කරන ග්‍රීක් භාෂාවෙන් බයිබලය පරිවර්තනය කළ යුතු බව ඔහු තරයේ විශ්වාස කළේය. වර්ෂ 1831දී ඔහු තවත් විද්වතුන් කිහිපදෙනෙකුගේද උපකාරය ඇතුව එදා සිටි ජනයා කියවූ පොත් පත් ලියා තිබූ ග්‍රීක් භාෂාවෙන් බයිබලය පරිවර්තනය කිරීමට පටන්ගත්තේය. ඔහුගේ සම්පූර්ණ පරිවර්තනය 1850දී ප්‍රකාශයට පත් කරන ලදි. ග්‍රීක ඕතඩොක්ස් සභාවෙන් ඔහුට සහයෝගය නොලැබුණු නිසා ඔහුගේ පරිවර්තනය ප්‍රකාශයට පත් කිරීමටත් බෙදාහැරීමටත් ඔහු බ්‍රිතාන්‍ය හා විදේශීය බයිබල් සමාගම්වල සහයෝගය ලබාගත්තේය. “ප්‍රොතෙස්තන්තවාදියා” [විරුද්ධවාදියා] කියා ඕතඩොක්ස් පල්ලිය ඔහුව හංවඩු ගැසූ අතර වැඩි කල් යන්න කලින් ඔහු කොන් කරන ලදි.

වේම්වාස්ගේ පරිවර්තනය කිං ජේම්ස් අනුවාදයට සමීප පරිවර්තනයකි. ඔහුගේ පරිවර්තනයේද එම අනුවාදයේ තිබූ ඇතැම් අඩුලුහුඬුකම් දක්නට තිබුණි. එයට හේතුව ඒ කාලයේ තිබූ බයිබල් දැනුම මෙන්ම භාෂාව පිළිබඳ දැනුමද සීමිත වීමය. කෙසේවෙතත් වසර ගණනාවක් පුරා ජනයාට ග්‍රීක් භාෂාවෙන් ලබාගත හැකිව තිබූ තේරුම්ගැනීමට පහසුම බයිබලය එය විය. මෙහි තිබෙන සිත්ගන්නාසුලු දෙයක් නම් දෙවිගේ නම “ඉඕවා” යනුවෙන් හතර වතාවක් එහි සඳහන් වී තිබීමයි.—උත්පත්ති 22:14; නික්මයාම 6:3; 17:15; විනිශ්චයකාරයන් 6:24.

මෙය ඇතුළු තේරුම්ගැනීමට පහසු වෙනත් බයිබල් අනුවාදවලට ජනයා සාමාන්‍යයෙන් දැක්වූයේ කෙබඳු ප්‍රචාරයක්ද? වචනවලින් විස්තර කළ නොහැකි තරම් හොඳ ප්‍රතිචාරයක් ලැබිණ. බයිබල් තොගයක් ඇතුව ග්‍රීසියේ එක් දූපතකට යාත්‍රාවකින් ළඟා වූ බ්‍රිතාන්‍ය සහ විදේශීය බයිබල් සමාගමේ නියෝජිතයෙක් “බයිබල් ලබාගැනීමට බෝට්ටුවලින් පැමිණි විශාල ළමුන් පිරිසක් පොර කකා සිටි නිසා මොනතරම් කරදරයකට පත් වූවාද කියනවා නම්, ඉක්මන් කර වරායෙන් පිටත්ව යමුයි කියා කපිතාන්ට නියෝග කරන්නට ඔහුට සිදු විය.” එසේ ඉක්මනින් පිටත්ව නොගියා නම් තමන් ලබාගත් මුළු බයිබල් තොගයම එතැන දමා එන්නයි ඔහුට සිදු වන්නේ. එනමුත් මේ කාලයේදී විරුද්ධවාදීන් නිහඬව සිටියාම නොවේ.

මෙවැනි පරිවර්තන ලබාගන්න එපා කියා ඕතඩොක්ස් සභාවේ පූජකයෝ ජනයාට අනතුරු ඇඟවූහ. නිදසුනක් වශයෙන් ඇතන්ස් නුවර සිටි ජනයා ළඟ තිබූ බයිබල් රාජසන්තක කරන ලදි. වර්ෂ 1833දී ක්‍රීතයේ ඕතඩොක්ස් බිෂොප්වරයා පූජකාරාමයක තිබී සොයාගත් “නව ගිවිසුම” පුලුස්සා දැමුවේය. එක් පූජකයෙක් මේ නායක පූජකයා එම දිවයිනෙන් මාරු වී යන තුරු එක පිටපතක් සඟවා තබාගත්තේය. අසල්වැසි ගම්මානවල සිටි වැසියෝද තමන්ගේ පිටපත් සඟවා තබාගත්හ.

වසර කිහිපයකට පමණ පසු කෝෆූ දිවයිනේ තිබූ ග්‍රීක ඕතඩොක්ස් සභාවට අයත් ශුද්ධ වූ සභා සංගමය විසින් වේම්වාස්ගේ පරිවර්තනය තහනම් කරන ලදි. මෙය විකිණීම තහනම් කළ අතර මුද්‍රණය කර තිබූ පිටපත්ද විනාශ කරනු ලැබීය. මෙම බයිබලය පුලුස්සා දමනු ලැබුවේ චියොස්, සිරොස් හා මයිකනාස් යන දිවයින්වල සිටි පූජකයන්ගේ එදිරිවාදීකම්වල ප්‍රතිඵලයක් වශයෙනි. බයිබලය පරිවර්තනය කිරීමේ කාර්යය මර්දනය කිරීමට දැරූ වෑයම් එතැනින් නතර නොවීය.

රැජිනක් බයිබලය සොයන්න උනන්දු වෙයි

ග්‍රීක් භාෂාව කතා කරන ජනයාට ඒ වන විටත් බයිබලය ගැන එතරම් දැනුමක් නොතිබූ බව 1870 ගණන්වල ග්‍රීසියේ සිටි ඔල්ගා නම් රැජින තේරුම්ගත්තාය. ශුද්ධ ලියවිලි පිළිබඳ දැනුමෙන් ජාතියට සැනසිල්ලක් හා ප්‍රබෝධයක් ලැබෙන බව විශ්වාස කළ ඇය, වේම්වාස්ගේ අනුවාදයට වඩා සරල භාෂාවෙන් බයිබලය පරිවර්තනය කළ හැකි මං සොයාබැලුවාය.

ඇතන්ස්හි අග්‍රබිෂොප් සහ ශුද්ධ සභා සංගමයේ ප්‍රධානියා වූ ප්‍රොකොපියස් මේ කාර්යය කිරීමට රැජිනව දිරිමත් කළහ. ඔවුන් මෙය කළේ නිල මට්ටමින් නොවේ. මේ සඳහා නිල අනුමැතිය ලබාගැනීම සඳහා ඇය ශුද්ධ සභා සංගමයේ අවසරය ඉල්ලා සිටි විට එය ප්‍රතික්ෂේප කරන ලදි. එයින් අධෛර්යට පත් නොවූ ඇය අනුමැතිය සඳහා අලුත් අයදුම්පතක් භාර දුන්නාය. වර්ෂ 1899දී එයද ප්‍රතික්ෂේප කරන ලදි. අනුමැතිය නොදීම ගණනකට නොගත් ඇය තමන්ගේම වියදමින් සීමිත පිටපත් ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළාය. වර්ෂ 1900දී ඇය තමන්ගේ ඉලක්කය සපුරාගත්තාය.

දරදඬු විරුද්ධවාදීන්

වර්ෂ 1901දී ඇතන්ස් නුවර ප්‍රමුඛ පෙළේ පුවත්පතක් වූ දි ඇක්‍රොපොලිස් නම් පුවත්පතේ මතෙව්ගේ සුවිශේෂයේ පරිවර්තනයක් පළ විය. එදා සිටි ජනයා කතා කරන භාෂාවෙන් එය පරිවර්තනය කරනු ලැබුවේ එංගලන්තයේ ලීවර්පූල්හි සේවය කළ ඇලෙක්සැන්ඩර් පාලිස් නම් පරිවර්තකයා විසිනි. පාලිස්ගේ හා ඔහු සමඟ සේවය කළ අයගේ පරමාර්ථය වූයේ ‘ග්‍රීක්වරුන්ව දැනුවත් කිරීම’ හා පරිහානියෙන් ‘ජාතියව බේරාගැනීමට උපකාර කිරීම’ බව පෙනෙන්න තිබිණ.

ඕතඩොක්ස් ආගමේ දේවධර්මය හැදැරූ සිසුන් හා ඔවුන්ගේ මහාචාර්යවරුන් එම පරිවර්තනය හැඳින්වූයේ “ජාතියේ අනර්ඝතම ශුද්ධ වස්තුවලට කළ නිග්‍රහයක්” හා ශුද්ධ ලියවිල්ලට පරිභව කිරීමක් ලෙසය. මෙම පරිවර්තනය හෙළා දකිමින් කොන්ස්තන්තිනෝපල්හි කුලදෙටු IIIවන ඕආකිම් ලියවිල්ලක් ප්‍රකාශයට පත් කළේය. මෙම මතභේදය නිසා දේශපාලනික බෙදීම්ද ඇති විය. එකිනෙකා හා සටන් වදින දේශපාලනික කණ්ඩායම් විසින් එම මතභේදය සූක්ෂ්ම ලෙස උපයෝගි කරගන්නා ලදි.

ඇතන්ස්හි මාධ්‍ය ව්‍යාපාරයේ සිටි ඇතැම් බලවත් කොටස් විසින් පාලිස්ගේ පරිවර්තනයට පහරගසන්නට පටන්ගන්නා ලදි. ඔහුට සහයෝගය දුන් අයව ඔවුන් හැඳින්වූයේ ග්‍රීක සමාජය කඩාකප්පල් කරන “අදේවවාදීන්,” “ද්‍රෝහීන්” හා “විදේශීය බලවතුන්ගේ නියෝජිතයන්” ලෙසය. වර්ෂ 1901 නොවැම්බර් 5-8 දක්වා වූ දිනවලදී ඇතන්ස් නුවර කෝලහාලයක් ඇති කිරීමට ග්‍රීක් ඕතඩොක්ස් සභාවට අයත් දැඩි සංස්ථිතික මතධාරී පිරිස් විසින් ශිෂ්‍යයන්ව උසිගන්වන ලදි. ඔවුහු දි ඇක්‍රොපොලිස් පුවත්පත පළ කරන කාර්යාලයට පහර දී රජ මාළිගාව වටේ පෙළපාළි ගියෝය. ඊළඟට ඇතන්ස් විශ්වවිද්‍යාලය බලෙන් අත් පත් කරගෙන, ආණ්ඩුවට ඉල්ලා අස්වීමට බල කර සිටියහ. මෙම කෝලහාලයේ උත්සන්න අවස්ථාවේදී හමුදාව සමඟ ඇති වූ ගැටුම්වලින් අටදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඊළඟ දවසේදී ඉල්ලා අස් වෙන මෙන් රජ අග්‍රබිෂොප් ප්‍රොකොපොයිස්ගෙන් ඉල්ලා සිටියේය. දින දෙකකට පසු මුළු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස් විය.

මාස දෙකකට පසු නැවතත් එම ශිෂ්‍යයෝ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර පාලිස්ගේ පරිවර්තනයේ පිටපතක් ප්‍රසිද්ධියේම පුලුස්සා දැමූහ. මෙම පරිවර්තනය බෙදාහැරීමට එරෙහිව සම්මුතියක් සකස් කළ අතර මින් ඉදිරියට එවැන්නක් කළොත් දැඩි දඬුවම් නියම කිරීමට ඉල්ලා සිටින ලදි. නූතන ග්‍රීක් භාෂාවෙන් බයිබලයේ කිසිම අනුවාදයක් පාවිච්චි කිරීම තහනම් කිරීමට එම සිද්ධිය හේතු විය. ඇත්තෙන්ම එය මොනතරම් අඳුරු කාලයක් වීද!

“යෙහෝවාගේ වචනය සදාකාලේටම පවතින්නේය”

නූතන ග්‍රීක් භාෂාවෙන් තිබූ බයිබලය භාවිත කිරීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය 1924දී අවලංගු කරන ලදි. බයිබලය පොදු ජනයාගෙන් ඈත් කර තැබීමට ග්‍රීක් ඕතඩොක්ස් සභාව ගත් වෑයම් එම වසරේ සිට මුළුමනින්ම අසාර්ථක විය. මේ කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් වෙනත් රටවල් ගණනාවක සිදු කරමින් තිබූ බයිබල් අධ්‍යාපනික වැඩය ග්‍රීසියේද දියත් කර තිබිණ. ග්‍රීක් භාෂාව කතා කරන දහස් ගණනකට බයිබල් සත්‍යය පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගැනීම සඳහා උපකාර කිරීමට 1905 සිට ඔවුන් භාවිත කළේ වේම්වාස්ගේ පරිවර්තනයයි.

බයිබලය නූතන ග්‍රීක් භාෂාවෙන් සැපයීම සඳහා පසුගිය වසර ගණනාව පුරා විශාරදයන් හා මහාචාර්යවරුන් ප්‍රශංසනීය වෑයමක් දරා තිබේ. අද වන විට සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් ග්‍රීක් භාෂාවෙන් බයිබල් පරිවර්තන 30ක් පමණ තිබෙන අතර, ඒවා තේරුම්ගැනීමෙන් යුතුව සාමාන්‍ය ග්‍රීක පාඨකයෙකුට කියවිය හැක. මෙම පරිවර්තනයන් අතර අනගි මැණිකක් බඳු පරිවර්තනය වන්නේ ශුද්ධ ලියවිලි පිළිබඳ නව ලෝක පරිවර්තනයේ ග්‍රීක් අනුවාදයයි. ලොව පුරා සිටින දශලක්ෂ 16ක් පමණ වන ග්‍රීක් භාෂාව කතා කරන ජනයාගේ ප්‍රයෝජනය සඳහා එම පරිවර්තනය මුදාහැරියේ 1997දීය. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් සම්පාදනය කර තිබෙන මෙම අනුවාදය දෙවිගේ වචනය කියවීමට පහසු හා තේරුම්ගැනීමට හැකි ආකාරයෙන් පරිවර්තනය කර තිබේ. එමෙන්ම මෙය විශ්වාසවන්ත ලෙස මුල් ලියවිල්ලට එකඟතාවක් දක්වයි.

නූතන ග්‍රීක් භාෂාවෙන් බයිබලයක් සම්පාදනය කිරීමේදී මුහුණ දුන් අපමණ බාධා මගින් යම් වැදගත් කරුණක් පැහැදිලි වෙයි. එනම් මිනිසුන්ගේ සතුරුකම් හා අපමණ බාධා මැද පවා ‘යෙහෝවාගේ වචනය සදාකාලයටම පවතින’ බවයි.—1 පේතෘස් 1:25.

[පාදසටහන]

a සිරිල් ලුකාරිස් ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 2000 පෙබරවාරි 15 මුරටැඹ සඟරාවේ 26-9 දක්වා පිටු බලන්න.

[27වන පිටුවේ පින්තූරය]

සම්පූර්ණ ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ල මුලින්ම ග්‍රීක් භාෂාවට පරිවර්තනය කිරීමේ කටයුතු 1630දී මෙහෙයවනු ලැබුවේ සිරිල් ලුකාරිස් විසිනි

[හිමිකම් විස්තර]

Bib. Publ. Univ. de Genève

[28වන පිටුවේ පින්තූර]

කථික ග්‍රීක් භාෂාවෙන් කර තිබෙන පරිවර්තන සමහරක්: ගීතාවලිය මුද්‍රණය කළේ: (1) 1828දී ඉලාරියන් විසින්, (2) 1832දී වේම්වාස් විසින්, (3) 1643දී ජූලියනස් විසින්. “පරණ ගිවිසුම” මුද්‍රණය කළේ (4) 1840දී වේම්වාස් විසිනි

ඔල්ගා රැජින

[හිමිකම් විස්තර]

බයිබල්: National Library of Greece; ඔල්ගා රැජින: Culver Pictures

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

පැපිරස්: ඩබ්ලින්හි පිහිටි Chester Beatty පුස්තකාලයේ භාරකරුවන්ගේ කාරුණික අනුග්‍රහය ඇතුවය.

[29වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

පැපිරස්: ඩබ්ලින්හි පිහිටි Chester Beatty පුස්තකාලයේ භාරකරුවන්ගේ කාරුණික අනුග්‍රහය ඇතුවය