Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

දෙවිට වූ භාරයන් ඉටු කිරීමට අප සෑමවිටම බැඳී සිටිනවාද?

දේවවචනයෙහි භාරයක් යනුවෙන් විස්තර කර තිබෙන්නේ යම් ක්‍රියාවක් කිරීමට, යාගයක් ඔප්පු කිරීමට, විශේෂ සේවයකට පිවිසීමට හෝ පුද්ගලයන් විසින් අනිවාර්යයෙන් වැළකිය යුතු නැති ක්‍රියාවලින් පවා වැළකී සිටීමට කරන ස්ථිර පොරොන්දුවකි. යම් කොන්දේසියක් මත, එනම් දෙවිගෙන් යමක් ඉල්ලා දෙවි එය ඉටු කළහොත් ඒ වෙනුවෙන් යම් කාර්යයක් කිරීමට පොරොන්දු වෙමින් කරන ලද භාරයන් පිළිබඳ වාර්තා බයිබලයේ අන්තර්ගත වී තිබේ. මීට එක් උදාහරණයක් වන්නේ අනාගතවක්තෘ සාමුවෙල්ගේ මව වූ හන්නාගේ භාරය. “ඈ භාරයක් වෙමින්: සේනාවල යෙහෝවා, . . . ඔබගේ මෙහෙකාරී මතක නැති නොකර, ඔබගේ මෙහෙකාරීට පිරිමි දරුවෙක් දෙන්නේ නම්, ඔහුගේ ජීවිතයේ සෑමදාටම ඔහු යෙහෝවාට දෙන්නෙමි. දැළි පිහියක්ද ඔහුගේ හිස පිටට නොපැමිණෙන්නේයයි කීවාය.” (1 සාමුවෙල් 1:11) භාරයන් සිතේ කැමැත්තෙන්ම කරන බවද බයිබලයෙහි සඳහන් වී ඇත. නමුත් ප්‍රශ්නය වන්නේ දෙවිට ඔප්පු කරන භාරයන් කොතරම් බැරෑරුම්ද යන්නය.

මීට සාලමොන් පිළිතුරු දෙයි. “නුඹ දෙවිට භාරයක් වුණාම එය ගෙවන්ට ප්‍රමාද නොවෙන්න.” ඔහු තවදුරටත් පවසන්නේ, “නුඹ වුණ භාරය ගෙවන්න. නුඹ භාරයක් වී නොගෙවා සිටිනවාට වඩා භාරයක් නොවී සිටීම හොඳය” කියායි. (දේශනාකාරයා 5:4, 5) මෝසෙස් මාර්ගයෙන් ඉශ්‍රායෙල් ජාතියට දුන් නීතියෙහි මෙසේ සඳහන් විය. “නුඹේ දෙවි වූ යෙහෝවාට නුඹ භාරයක් වුණ කල්හි ඒක ගෙවන්ට ප්‍රමාද නොවෙන්න. මක්නිසාද නුඹේ දෙවි වූ යෙහෝවා ඒක නුඹෙන් අය කරනවාම ඇත. ඒක නුඹට පාපයක් වේ.” (ද්විතීය කථාව 23:21) මෙම කාරණාවලින් පැහැදිලි වන්නේ, දෙවිට භාරයක් වීම වගකීමක් බවයි. භාරයක් ඔප්පු කරන විට ඊට පිරිසිදු චේතනාවක් තිබිය යුතුයි. එලෙසම භාරයකින් පොරොන්දු වන සෑම දෙයක්ම ගෙවීමට හැකියාවක් තිබෙන බවට පුද්ගලයෙකු තුළ නිසැකකමක්ද තිබිය යුතුයි. එසේ නොහැකි නම් භාරයක් නොවී සිටීම වඩා හොඳය. දැන් පිළිතුරු ලැබිය යුතු ප්‍රශ්නය නම් අපගේ සෑම භාරයක්ම ඉටු කිරීමට අප බැඳී සිටිනවාද යන්නයි.

යම් භාරයක් වූ පසු එම භාරය දෙවිගේ කැමැත්තට පටහැනි යමක් කියා තේරුම් ගියොත්? නැතහොත් එය දුරාචාරය සැබෑ නමස්කාරයට කිසියම් ආකාරයකින් සම්බන්ධ කරවන ආකාරයේ භාරයක් නම් තත්වය කුමක්ද? (ද්විතීය කතාව 23:18) පැහැදිලිවම එවන් භාරයක් ගෙවීමට අප බැඳී නැත. ඒ වගේම, මෝසෙස්ගේ නීතියට අනුව ස්ත්‍රියක විසින් ඔප්පු කළ භාරයක් අවලංගු කිරීමට ඇගේ පියාට සහ ස්වාමිපුරුෂයාට බලය තිබුණි.—ගණන් කතාව 30:3-15.

මෙම තත්වය ගැන මොහොතකට සලකා බලන්න. එනම් යම් පුද්ගලයෙක් තමන් ජීවිත කාලයටම තනිකඩව සිටිනවාය කියා දෙවිට භාරයක් වූ පසු යම් දෙගිඩියාවකින් පෙළිය හැකියි. මෙම දෙගිඩියාව හේතුවෙන් තම භාරය ඉෂ්ට කිරීමට යෑමෙන් තමා දුරාචාරය සම්බන්ධයෙන් දෙවි දී තිබෙන දිව්‍ය ප්‍රමිති උල්ලංගනය කරන තත්වයට පත් වේදෝයි කියා ඔහුට හෝ ඇයට සිතෙන්න පුළුවන. එවැනි වාතාවරණයකදීත් භාරය ගෙවීමට කෙනෙක් බැඳී සිටිනවාද? දුරාචාරයෙන් වැළකී සිටීම සඳහා භාරය නොගෙවා ඊට දෙවිගෙන් සමාව අයැදීම බොහෝ යහපත් කියා නොසිතේද? මෙය භාරයක් වූ පුද්ගලයා තීරණය කළ යුතු දෙයක් වන අතර වෙනත් පුද්ගලයෙකුට එය තීරණය කළ නොහැකියි.

භාරය දුර දිග නොබලා හදිසියේ කළ එකක් නම් එම පුද්ගලයා භාරය ගෙවීමට බැඳී සිටිනවාද? යෙප්තා ගැන මොහොතකට අවධානය යොමු කළොත් දෙවිට වූ ඔහුගේ භාරය ඉටු කිරීම ඔහුට පහසු දෙයක් වූයේ නැත. එනමුත් ඔහු එය ඉටු කළේ ඉතා වගකීමකින් යුතුවයි. (විනිශ්චයකාරයන් 11:30-40) යම් පුද්ගලයෙක් දෙවිට වූ තම භාරයක් ගෙවීමට අසමත් වීම දෙවිව ‘උදහස් කරවීමටත්’ ඔහු ලබා තිබෙන ආත්මික උරුමය විනාශ වීමටත් හේතුවක් විය හැකියි. (දේශනාකාරයා 5:6) ඔව්, භාරයක් ගෙවීමේ වගකීම සුළුවට තැකීමෙන් දෙවිගේ අනුග්‍රහය නොලැබී යා හැකියි.

යේසුස් පැවසුවේ, “නුඹලාගේ වචනය, එසේය, එසේය කියාද, නැත, නැත කියාද වේවා. මීට වැඩි වූ යමක් ඇද්ද එය නපුරාගෙන් වේ” යනුවෙනි. (මතෙව් 5:37, අකුරු ඇල කළේ අපය) ක්‍රිස්තියානියෙක් දෙවිට වූ භාරයන් ඉටු කිරීමේදී පමණක් නොව දෙවි සමඟත් මනුෂ්‍යයන් සමඟත් කටයුතු කරන සෑම අවස්ථාවකදීම විශ්වාසවන්තකම පෙන්වීය යුතුයි. නමුත් යම් ක්‍රිස්තියානියෙක් තවත් පුද්ගලයෙක් සමඟ ගිවිසුමකට එළඹුණු පසුව එසේ කිරීම එතරම් නැණවත් දෙයක් නොවෙයි කියා පෙනී ගියේ නම් තත්වය කුමක්ද? එවන් අවස්ථාවක නම් දේවල් දෙස බැරෑරුම් ලෙස බැලිය යුතුයි. නමුත් සමහර විට දෙපාර්ශ්වයම තත්වය දෙස ගැඹුරින් බැලූ පසු ගිවිසුමට එළඹුණ අනෙක් පුද්ගලයා ඔහුව වගකීම්වලින් නිදහස් කිරීමට කැමැත්ත පළ කිරීමට ඉඩ තිබේ.—ගීතාවලිය 15:4; හිතෝපදේශ 6:2, 3.

භාරයක් වීම හෝ වෙනයම් දෙයක් හෝ වේවා අපගේ මූලික සැලකිල්ල යොමු විය යුත්තේ සෑමවිටම දෙවි සමඟ හොඳ සබඳතාවක් පවත්වාගැනීම කෙරෙහියි.

[30, 31වන පිටුවේ පින්තූර]

හන්නා තම භාරය ඔප්පු කිරීමට පසුබට වූයේ නැත

[30, 31වන පිටුවේ පින්තූර]

යෙප්තාට තම භාරය ඔප්පු කිරීමට අපහසු වුණත් ඔහු කැමැත්තෙන්ම තම භාරය ඔප්පු කළේය