Skip to content

පටුනට යන්න

යෙහෝවාට ප්‍රසන්න අයුරින් අපේ දවස් ගැණිය හැක්කේ කෙසේද?

යෙහෝවාට ප්‍රසන්න අයුරින් අපේ දවස් ගැණිය හැක්කේ කෙසේද?

යෙහෝවාට ප්‍රසන්න අයුරින් අපේ දවස් ගැණිය හැක්කේ කෙසේද?

“ඊයේ හිරු උදාවත් හිරු බැස්මත් අතර යම් මොහොතකදී, දියමන්ති බඳු විනාඩි හැටක් බැගින් යුත් රන් වැනි වූ හෝරාවන් දෙකක් ගිලිහී ගියේය. ගිලිහී ගිය දේ යළි සොයා දෙන ලෙසට ඉල්ලීමක් නොකෙරේ. තෑග්ගක් පිරිනමනු නොලැබේ. එය සදහටම ගිලිහී ගොසිනි!”—අමෙරිකානු ජාතික ලේඛිකාවක් වන ලිඩියා එච්. සිගර්නි (1791-1865).

අප ජීවත් වන්නේ ඉතා කෙටි කාලයකට බවත් අපි ජීවත් වන දවස් ඉතා වේගයෙන් ඉදිරියට ඇදී යන බවත් අපට දැනෙනවා. ජීවිතය කොයිතරම් කෙටිද යන්න පිළිබඳව මෙනෙහි කළ දාවිත් නම් ගීතිකාකරු මෙසේ යාච්ඤා කිරීමට පෙලඹුණා. “යෙහෝවා, මාගේ දිවි කෙළවරත් මාගේ දවස්වල ගණන කොපමණද කියාත් මට දැනගන්ට සැලැස්සුව මැනව. මම කොපමණ බෙලහීනයෙම්දැයි මට දැනේවා [මාගේ ජීවිතය කොතරම් කෙටිදැයි මට දැනගන්න සලස්සන්න, NW]. බැලුව මැනව, ඔබ මාගේ දවස් වියතක් මෙන් කළේය. මාගේ වයස ඔබ ඉදිරියෙහි කිසිත් නැතුවාක් මෙනි.” තම කතාවෙන් හා ක්‍රියාවෙන් යෙහෝවාට ප්‍රසන්න වන අයුරින් ජීවත් වීම සඳහා දාවිත් තුළ දැඩි උනන්දුවක් තිබුණ බව පැහැදිලියි. තමා දෙවි මත රඳා සිටි බව පිළිබිඹු කරමින් ඔහු මෙසේ පැවසුවා. “මාගේ බලාපොරොත්තුව ඔබ කෙරෙහිය.” (ගීතාවලිය 39:4, 5, 7) ඇත්තෙන්ම යෙහෝවා දාවිත්ට සවන් දුන්නා. ඔහුගේ ක්‍රියාකාරකම් කිරා මැන බලා ඔහුට ඒ අනුව ආශීර්වාද කළා.

දවසේ සෑම මොහොතකදීම යම් කාර්යයක නිරත වීම නැත්නම් වේගයෙන් ඉදිරියට ඇදී යන කාර්යබහුල ජීවිතයකට කොටුවීම පහසුවෙන්ම සිදු විය හැකියි. මෙය අපේ දැඩි සැලකිල්ලට භාජනය විය හැකි කාරණයක්. ඒ, විශේෂයෙන්ම අපේ ජීවිතයේ කළ යුතු දේවල් හා ලබන්න තිබෙන අද්දැකීම් බොහොමයක් ඇති නිසයි. අපේ සැලකිල්ලට භාජන වී ඇත්තේ දාවිත්ගේ සැලකිල්ලට භාජන වූ දේමද? එනම් දෙවිගේ අනුමැතිය දිනාගත හැකි අයුරින් ජීවත් වීම යන කාරණයද? යෙහෝවා අප එකිනෙකා දෙස බලමින් සුපරීක්ෂාකාරී ලෙස අපව විභාග කරන බවට නම් කිසිම සැකයක් නැහැ. අවුරුදු 3,600කට පමණ ඉහතදී, යෙහෝවා තමාගේ සිතුවිලි හා ක්‍රියාකලාපයන් දුටු බවත් තමාගේ සෑම පියවරක්ම ගණන් කළ බවත් යෝබ් නමැති දේවභයැති මනුෂ්‍යයා පිළිගත්තා. යෝබ් මෙසේ ඇසුවා. “ඔහු විභාග කරන කල මා කවර උත්තරයක් දෙන්ටද?” (යෝබ් 31:4-6, 14) ආත්මික කාරණාවලට ප්‍රමුඛත්වය දීමෙන්, දෙවිගේ ආඥාවලට කීකරු වීමෙන් හා අපේ කාලය නැණවත්ව යොදාගැනීමෙන්, අපට දෙවිගේ අනුමැතිය දිනාගත හැකි අයුරින් අපේ දවස් ගැණිය හැකියි. දැන් අපි මේ කාරණාවලට කිට්ටු අවධානයක් යොමු කරමු.

ආත්මික කාරණාවලට ප්‍රමුඛත්වය දෙන්න

“වඩා වැදගත් දේවල් සහතික කරගන්න” කියා පවසමින් ආත්මික ප්‍රමුඛතා නිශ්චය කරගැනීමට ශුද්ධ ලියවිලි අපට උනන්දු කරන්නේ ඉතා යෝග්‍ය ලෙසයි. මෙම වඩා වැදගත් දේවල් මොනවාද? ඒවාට “නිවැරදි දැනුම හා සියලු ආකාර විචාර බුද්ධිය” [NW] ඇතුළත් වෙනවා. (පිලිප්පි 1:10, 11) යෙහෝවාගේ අරමුණ පිළිබඳව දැනුම වර්ධනය කරගැනීම සඳහා කාලය නැණවත්ව භාවිත කළ යුතු බව ඇත්තයි. නමුත්, ආත්මික කාරණාවලට ප්‍රමුඛත්වය දීම ආශීර්වාදවලින් පිරි තෘප්තිමත් ජීවිතයකට දායක වන බව නිසැකයි.

ප්‍රේරිත පාවුල් අපට මතක් කර දෙන්නේ “යෙහෝවාට පිළිගත හැකි දේ කුමක්ද යන්න නිතරම ස්ථිර කරගන්න” කියායි. මෙසේ ස්ථිර කරගැනීමට නම්, අපේ හදවතේ ඇති චේතනා හා ආශාවන් පිළිබඳව ආත්ම සෝදිසියක් කිරීම අවශ්‍ය වෙනවා. පාවුල් තවදුරටත් මෙසේ කියනවා. “දෙවිගේ කැමැත්ත කුමක්දැයි දිගින් දිගටම වටහාගන්න.” (එපීස 5:10, 17, NW) එසේ නම්, යෙහෝවාට පිළිගත හැකි දේවලට අයත් වන්නේ කුමක්ද? බයිබල් හිතෝපදේශයක මෙම පිළිතුර සොයාගත හැකියි. “ප්‍රඥාව ප්‍රධාන දෙයය. එබැවින් ප්‍රඥාව ලබාගන්න. එසේය, නුඹ ලබාගන්නා සියල්ල ඇතුළුව, නුවණ [අවබෝධය, NW] ලබාගන්න. ඇය ශ්‍රේෂ්ඨ කරන්න. ඈද නුඹ උසස් කරන්නීය.” (හිතෝපදේශ 4:7, 8) යමෙක් දිව්‍ය ප්‍රඥාව අත් කරගෙන එය ක්‍රියාවට නංවනවා නම් ඔහු යෙහෝවාගේ හදවතට ප්‍රීතිය ගෙන දෙනවා. (හිතෝපදේශ 23:15) එම ප්‍රඥාව කොතරම් ප්‍රියමනාපද කිව්වොත් එය කිසිවිටෙක අපෙන් පැහැරගැනීමටවත් විනාශ කිරීමටවත් නොහැකියි. ඇත්තෙන්ම කියනවා නම් එය “නපුරාගේ මාර්ගයෙන්ද ප්‍රයෝග කතා කරන මිනිසුන්ගෙන්ද” අපව ආරක්ෂා කරනවා. අපට ගැලවීමද අත් කර දෙනවා.—හිතෝපදේශ 2:10-15.

එසේනම්, ආත්මික කාරණා සැහැල්ලුවට ගැනීමේ ආකල්පයෙන් වැළකී සිටීම කොයිතරම් බුද්ධිමත්ද! යෙහෝවාගේ කියමන් සඳහා අගයෙන් පිරි හදවතක්ද ඔහු පිළිබඳව හිතකර භයක්ද අප වර්ධනය කරගත යුතුයි. (හිතෝපදේශ 23:17, 18) අපේ ජීවිතයේ ඕනෑම කාලයකදී එවන් ආකල්පයක් වර්ධනය කරගත හැකි බව ඇත්තයි. එහෙත් බයිබල් ප්‍රතිපත්ති අප තුළ පැලපදියම් කරගැනීමට හා මෙවන් ජීවන රටාවක් ආරම්භ කිරීමට හොඳම කාලය වන්නේ යෞවන සමයයි. ප්‍රඥාවන්ත සාලමොන් රජ අවවාද කළේ ‘ඔබේ යෞවන දවස්වලදී ඔබේ [උත්තරීතර, NW] මැවුම්කරුව සිහි කරන්න’ කියායි.—දේශනාකාරයා 12:1.

යෙහෝවාව අගය කිරීමට ඉගෙනගත හැකි ප්‍රධානතම ක්‍රමය වන්නේ දිනපතාම ඔහුට යාච්ඤා කිරීමයි. තම සිතේ තිබෙන සෑම කාරණයක්ම යෙහෝවාට පැවසීමේ වැදගත්කම දාවිත් වටහාගෙන සිටියා. ඔහු මුළු හදින්ම ඉල්ලා සිටියේ, “යෙහෝවා මාගේ යාච්ඤාව අසා, මාගේ මොරගැසීමට කන් දුන මැනව. මාගේ කඳුළු දැක නිශ්ශබ්ද [නොවනු] මැනව” කියායි. (ගීතාවලිය 39:12) ඇතැම්විට ඔබ දෙවි සමඟ කතා කරද්දී ඔබේ දෙනෙතට කඳුළු උනන තරම් කුලුපගබවක් ඔබට දැනෙනවාද? අපේ සිතේ තිබෙන පෞද්ගලික කාරණා ගැන යෙහෝවාට කතා කිරීමට හා ඔහුගේ වචනය ගැන මෙනෙහි කිරීමට අප වැඩි වැඩියෙන් පෙලඹෙන විට ඔහුට වඩ වඩා ළං වන බව නම් නිසැකයි.—යාකොබ් 4:8.

කීකරුකම ඉගෙනගන්න

දෙවි මත තමා රඳා පැවතිය යුතු බව වටහාගත් තවත් කෙනෙක් වන්නේ මෝසෙස්. ජීවිතය ගැටලුවලින් පිරී ඇති බව දාවිත්ට මෙන් මෝසෙස්ටද පෙනී ගියා. එමනිසා ඔහු යෙහෝවාගෙන් අයැද සිටියේ ‘ඥානවන්ත සිතක් ලබාගන්නා පිණිස තමාගේ දවස් ගණින්ට’ ඔහුට උගන්වන්න කියායි. (ගීතාවලිය 90:10-12) ඥානවන්ත සිතක් ලබාගත හැකි එකම ක්‍රමය වන්නේ යෙහෝවාගේ නීති හා ප්‍රතිපත්ති ඉගෙනගෙන ඒ අනුව ජීවත් වීමයි. මෙය මෝසෙස් දැන සිටියා. තවද පොරොන්දු දේශයට ඇතුල් වීමට පෙර ඊශ්‍රායෙල් ජාතියට දෙවිගේ නීති පිළිබඳව මතක් කර දීමෙන් මෙම අතිවැදගත් සත්‍යය ඔවුන්ට කාවැද්දවීමටද ඔහු වෑයම් කළා. ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කිරීමට යෙහෝවා පසු කලෙක තෝරාගන්නා ලද සෑම රජෙකුගෙන්ම අපේක්ෂා කළේ දෙවිගේ නීතියේ පෞද්ගලික පිටපතක් සාදාගෙන ජීවිතයේ සියලු දවස්වලදී එය කියවීමයි. එය කළ යුතු වූයේ දෙවි කෙරෙහි භයක් වර්ධනය කරගැනීමට ඉගෙනගන්නා පිණිසයි. මෙයින් රජුගේ කීකරුකම පරීක්ෂා කරනු ලැබුවා. ඔහුගේ හෘදය උඩඟු වී තමාගේ සහෝදරයන්ට වඩා උසස් වීමේ අවදානමෙන්ද ඔහුව ආරක්ෂා කෙරුණා. තවද ඔහු රජකම් කරන දවස් ගණන වැඩි කරගැනීමටද එය ඉවහල් වුණා. (ද්විතීය කථාව 17:18-20) යෙහෝවා නැවත වරක් දාවිත්ගේ පුත් සාලමොන්ටද ඒ පොරොන්දුව මෙසේ ප්‍රකාශ කළා. “ඉඳින් නුඹේ පිය වූ දාවිත් හැසුරුණාක් මෙන් නුඹ මාගේ පනත්ද ආඥාද රක්ෂා කරමින් මාගේ මාර්ගවල හැසිරෙන්නෙහි නම් නුඹේ දවස්ද වැඩි කරන්නෙමි.”—1 රාජාවලිය 3:10-14.

දෙවි කීකරුකම සලකන්නේ බැරෑරුම් දෙයක් ලෙසයි. යෙහෝවා අපෙන් අපේක්ෂා කරන දේවල හා ඔහුගේ ආඥාවල සමහර පැති එතරම්ම වැදගත් නොවන බව සිතා ඒවා සැහැල්ලුවට ගන්නවා නම්, එම ආකල්පය ඔහුගේ සැලකිල්ලට ලක් වන බවට නම් කිසිම සැකයක් නැහැ. (හිතෝපදේශ 15:3) මෙම කාරණය දැනගැනීම නිසා, යෙහෝවාගේ මඟ පෙන්වීම් පිළිගැනීම සැම විටම පහසු නොවුවත් ඒවා ගැඹුරු ගෞරවයකින් සැලකීමට අප තුළ පෙලඹීමක් ඇති විය යුතුයි. දෙවිගේ නීති හා ආඥා පිළිපැදීමට අප දරන උත්සාහයට ‘බාධා කිරීමට’ සාතන් උපරිම වෑයමක් දරනවා.—1 තෙසලෝනික 2:18.

විශේෂයෙන්ම වැදගත් වන කාරණයක් නම්, නමස්කාරය සඳහාත් එකිනෙකාගේ ඇසුර භුක්ති විඳීම සඳහාත් එකට එක්රැස් වීමට දී ඇති ශුද්ධ ලියවිලිමය ආඥාව පිළිපැදීමයි. (ද්විතීය කථාව 31:12, 13; හෙබ්‍රෙව් 10:24, 25) එසේ නම්, ‘සැබවින්ම වැදගත් වන දේ කිරීම සඳහා අවශ්‍ය අධිෂ්ඨාන ශක්තිය හා අඛණ්ඩ වෑයම මා තුළ තිබෙනවාද’ කියා අපගෙන්ම අසාගැනීම යෝග්‍යයි. ආර්ථික සුරක්ෂිතභාවය අත් කරගැනීම සඳහා, රැස්වීම් අතපසු කර ඒවායින් ලබන උපදෙස් හා ක්‍රිස්තියානි ඇසුර අහිමි කරගැනීමෙන් යෙහෝවා සමඟ ඇති අපේ සම්බන්ධය දුර්වල විය හැකියි. ප්‍රේරිත පාවුල් ලීවේ මෙසේයි. “නුඹලාට ඇති දෙයින් සතුටු වී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමි [යනුවෙන් යෙහෝවා] කියා තිබේ.” (හෙබ්‍රෙව් 13:5) අපි මුළු කැමැත්තෙන්ම යෙහෝවාගේ ආඥාවලට කීකරු වීමෙන් පෙන්වන්නේ ඔහු අපව රැකගන්නා බවට වූ පොරොන්දුව පිළිබඳව අපට පූර්ණ නිසැකකමක් තිබෙන බවයි.

යේසුස් කීකරුකම ඉගෙනගනිමින් එයින් ප්‍රයෝජන නෙළාගත්තා. අපටත් එසේ කිරීමට පුළුවන්. (හෙබ්‍රෙව් 5:8) අපි කීකරුකම වඩ වඩා වර්ධනය කරගන්නා විට සුළු කාරණාවලදී පවා කීකරුකම පෙන්වීම වඩා පහසු දෙයක් බවට පත් වෙනවා. අපේ අඛණ්ඩතාව නිසා අන්‍යයන්ගේ නපුරු හා කෲර සැලකිලිවලට පවා අප භාජන විය හැකි බව ඇත්තයි. රැකියා ස්ථානයේදී, පාසැලේදී හෝ ආගමික වශයෙන් බෙදුණු පවුල් පසුබිමක් තුළදී මෙය විශේෂයෙන්ම අද්දැකීමට සිදු විය හැකියි. එහෙත් ‘යෙහෝවාට ප්‍රේම කොට, ඔහුගේ හඬට කීකරු වී, ඔහුට ඇලුම් වී සිටියොත් ජීවනය ලැබී ඔවුන්ගේ දවස්වල ගණන වැඩි වෙනවා’ යනුවෙන් ඊශ්‍රායෙල්වරුන්ට කී ප්‍රකාශයෙන් අපටද සැනසිල්ලක් ලබාගත හැකියි. (ද්විතීය කථාව 30:20) මේ පොරොන්දුව අපටද අදාළ වෙනවා.

කාලය නැණවත්ව භාවිත කරන්න

යෙහෝවාට ප්‍රසන්න වන අයුරින් අපේ දවස් ගණන් කිරීමට උපකාරවත් වන තවත් දෙයක් වන්නේ කාලය නැණවත්ව භාවිත කිරීමයි. කාලය මුදල් වගේ නොවෙයි. එය ඉතිරි කරගත නොහැකියි. වැය කළේ නැත්නම් එය සදහටම අපෙන් ගිලිහී යනවා. ගෙවී ගිය එක පැයක්වත් අපට ආපසු ලබාගත නොහැකියි. කරන්න තිබෙන සෑම දෙයක්ම ඉටු කිරීමට ප්‍රමාණවත් කාලයක් නැති බව අපට නිතරම හැඟෙනවා. ඒ නිසා, අප සතු කාලය වැය කරන්නේ අපේ ජීවිතයේ ඉලක්ක අත් කරගැනීමට ඉවහල් වන ආකාරයකටද කියා ඇසීම යෝග්‍යයි. රාජ්‍යය දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ වැඩයේ නිතිපතාම සහභාගි වීම සෑම ක්‍රිස්තියානියෙකුගේම ප්‍රධානතම ඉලක්කයක් විය යුතුයි.—මතෙව් 24:14; 28:19, 20.

කාලය නැණවත්ව භාවිත කරන්න පෙලඹෙන්නේ එය කොතරම් වටිනවාද කියා අප වටහාගත්තොත් පමණයි. එපීස 5:16 [NW] ඉතා යෝග්‍ය ලෙස අපට උනන්දු කරන්නේ ‘මොනයම් පරිත්‍යාගයක් හෝ කරමින් සුදුසු (අවශ්‍ය) කාලය සොයාගන්න’ කියායි. මෙයින් අදහස් කරන්නේ කාලය සොයාගන්න නම්, එතරම්ම වැදගත් නොවන දේවල් අපි පරිත්‍යාග කළ යුතු බවයි. මේ සඳහා කාලය කා දමන ක්‍රියාකාරකම් අවම කරගන්න අවශ්‍යයි. අධික ලෙස රූපවාහිනිය නැරඹීම, අන්තර්ජාලය තරණය කිරීම, වැදගැම්මකට නැති ලෞකික පොත් පත් කියවීම හෝ ප්‍රමාණය ඉක්මවා විනෝදාස්වාදයේ යෙදීම මගින් අප සෑහෙන්න වෙහෙසට පත් විය හැකියි. ඒ වගේම ද්‍රව්‍යමය දේවල් අනවශ්‍ය ප්‍රමාණයක් රැස් කරගැනීම නිසා ඥානවන්ත සිතක් වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය කාලය ගිලිහී යන්න පුළුවන්.

කාලය නිසි ලෙස සංවිධානය කිරීමට දිරි දෙන අය පවසන්නේ “නිශ්චිත මෙන්ම පැහැදිලි ඉලක්ක නොතබා කාලයෙන් නියම ප්‍රයෝජන අත් කරගත නොහැකි” බවයි. ඉලක්ක තැබීමේදී නිශ්චිත, මැනිය හැකි, අත් කරගත හැකි, යථාර්ථවාදී හා කාල සීමාවක් නියම කරගත් ඉලක්ක තබන්න කියා ඔවුන් යෝජනා කරනවා.

අපේ බයිබල් කියවීම දියුණු කරගැනීම එක් වටිනා ඉලක්කයක්. මුල් පියවර වන්නේ අපේ ඉලක්කය නිශ්චිත එකක් කරගැනීමයි. එනම් මුළු බයිබලයම කියවීමට ඉලක්ක කරගැනීමයි. ඊළඟට, අපේ ඉලක්කය මැනිය හැකි ආකාරයකින් සකස් කරගත යුතුයි. මෙයින් අදහස් කරන්නේ අපේ ප්‍රධාන ඉලක්කය කරා ගමන් කිරීම සඳහා පුංචි ඉලක්ක තබාගෙන ඒවා අත් කරගැනීමයි. මෙසේ කළ විට අප කොතරම් දුරට දියුණුවක් ලබා ඇද්ද කියා අපටම මැන බලාගන්න පුළුවන්. යම් වීර්යයක් දැරීමටත් දියුණුවක් ලබාගැනීමටත් ඉලක්ක මාර්ගයෙන් අප දිරිගැන්වීමක් ලැබිය යුතුයි. තවද ඒවා අත් කරගත හැකි මෙන්ම යථාර්ථවාදී ඉලක්ක විය යුතුයි. පෞද්ගලික දක්ෂතාවන්, කුසලතාවන් සහ අප සතු කාලයත් සැලකිල්ලට ගන්න අවශ්‍යයි. සමහර අයට ඉලක්ක අත් කරගැනීමට වැඩි කාලයක් අවශ්‍ය විය හැකියි. අවසාන වශයෙන්, අපේ ඉලක්කය යම් කාල සීමාවක් ඇතුළත අත් කරගැනීමට තීරණය කළ යුතුයි. යම් දිනයක් නියම කිරීමෙන්, ඉලක්කය ඉටු කරගැනීමට අප තුළ ඇති පෙලඹීම හා උනන්දුව ප්‍රවර්ධනය විය හැකියි.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ හෝ ලෝ වටා විසිර ඇති එහි විවිධ ශාඛාවල සේවය කරන ලෝක ව්‍යාප්ත බෙතෙල් පවුලේ සාමාජිකයන් නිශ්චිත ඉලක්කයක් තබාගන්නවා. එය නම්, බෙතෙල්හි සේවය කරන මුල්ම අවුරුද්ද තුළදී මුළු බයිබලයම කියවීමයි. ප්‍රයෝජන අත් කර දෙන අයුරින් බයිබලය කියවීම, ආත්මික වර්ධනයටත් ප්‍රයෝජන ලබන පිණිස ඔවුන්ට උගන්වන යෙහෝවා සමඟ වඩා කිට්ටු සම්බන්ධයක් ඇති කරගැනීමටත් දායක වන බව ඔවුන් වටහාගෙන තිබෙනවා. (යෙසායා 48:17) අපටත් පුළුවන්ද නිතිපතා බයිබලය කියවීමට ඉලක්ක කරගන්න?

යෙහෝවාට ප්‍රසන්න වන අයුරින් අපේ දවස් ගණන් කිරීමේ ප්‍රයෝජන

ආත්මික කාරණාවලට ප්‍රමුඛත්වය දීමෙන් ආශීර්වාද රැසක් භුක්ති විඳිය හැකියි. එක අතකින් එය ජීවිතයට තෘප්තිමත් බවක් මෙන්ම අරමුණක් එක් කර දෙනවා. යාච්ඤාවෙන් යෙහෝවා සමඟ නිතරම කතා කිරීම තුළින් අපි ඔහුට වඩ වඩා ළං වෙනවා. යාච්ඤා කිරීමෙන් පවා අප පෙන්වන්නේ අප ඔහුව විශ්වාස කරන බවයි. දිනපතාම බයිබලය මෙන්ම “විශ්වාස වූ නුවණ ඇති දාසයා” විසින් සපයන ලද බයිබල් ප්‍රකාශන කියවීමෙන් පෙන්වන්නේ දෙවි කතා කරන විට ඔහුට ඇහුම්කන් දීමට අප කැමැත්තක් දක්වන බවයි. (මතෙව් 24:45-47) ඥානවන්ත සිතක් වර්ධනය කරගෙන නිවැරදි තීරණ ගැනීමට හා නිවැරදි තේරීම් කිරීමට මෙය උපකාරවත් වෙනවා.—ගීතාවලිය 1:1-3.

යෙහෝවාගේ ආඥාවලට කීකරු වීම බරක් නොවෙයි. ඇත්තෙන්ම එසේ කිරීමෙන් අපට මහත් ප්‍රීතියක් අත් වෙනවා. (1 යොහන් 5:3) යෙහෝවාට ප්‍රසන්න වන අයුරින් අපේ සෑම දවසක්ම ගණන් කිරීමට පුරුදු වන විට ඔහු සමඟ තිබෙන සම්බන්ධය තව තවත් ශක්තිමත් වන අතර, සෙසු ක්‍රිස්තියානීන්ට ආත්මික වශයෙන් උපකාර කිරීමටද අප පෙලඹෙනවා. එවැනි ක්‍රියා තුළින් අපට පුළුවන් යෙහෝවා දෙවිව සතුටට පත් කරන්න. (හිතෝපදේශ 27:11) ඇත්තෙන්ම, දැනුත් සදාකාලයටත් යෙහෝවා දෙවිගේ අනුමැතිය දිනාගැනීමට වඩා උතුම් ආශීර්වාදයක් ගැන අපට සිතිය හැකිද?

[21වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානීන් ආත්මික කාරණා සලකන්නේ ඉතා බැරෑරුම් ලෙසයි

[22වන පිටුවේ පින්තූර]

ඔබ කාලය භාවිත කරන්නේ නැණවත් ලෙසද?

[23වන පිටුවේ පින්තූරය]

යෙහෝවාට ප්‍රසන්න වන අයුරින් අපේ සෑම දවසක්ම ගණන් කිරීමට පුරුදු වන විට ඔහු සමඟ තිබෙන සම්බන්ධය තව තවත් ශක්තිමත් වෙනවා