Skip to content

පටුනට යන්න

අතේ ඇති අන්තිම සතේ පවා දෙන උදවිය

අතේ ඇති අන්තිම සතේ පවා දෙන උදවිය

අතේ ඇති අන්තිම සතේ පවා දෙන උදවිය

“ඔයාලාට පුළුවන් මට හිඟන්නා කියලා අපහාස කරන්න. ඒකට මම කේන්ති ගන්නේ නැහැ. මොකද මම මුදල් ඉල්ලන්නේ යේසුස් වෙනුවෙන්.” මෙසේ පැවසුවේ රෙපරමාදු දේවගැතියෙක්. ඔහුගේ එම ප්‍රකාශයෙන් එළිදරව් වන්නේ ආගමික මූල්‍යාධාර සම්බන්ධයෙන් යම් වාද විවාදයන් තිබෙන බවකි. ස්ථාපිත කරන ලද ආගමක පැවැත්ම රඳාපවතින්නේ එම ආගමික සංවිධානය ලබන මූල්‍යාධාර ප්‍රමාණය මත බව පෙනෙන්න තිබේ. මන්දයත් වැටුප් ගෙවීම, පල්ලි පන්සල් ගොඩනැඟීම හා නඩත්තු කිරීම මෙන්ම දේශනා කටයුතු සිදු කිරීම වැනි කාර්යයන් සඳහා මුදල් අවශ්‍යයි. මෙම වියදම් පියවනු ලබන්නේ කෙසේද?

මෙයට එකම විසඳුම දසයෙන් කොටස a දීම කියා බොහෝ පල්ලි සිතයි. “දෙවි තම රාජ්‍යය වෙනුවෙන් භූමික වශයෙන් මුදල් ලබාගන්නා මාර්ගය තමයි දසයෙන් කොටස දීම. ශුභාරංචිය පතළ කිරීම සඳහා අවශ්‍ය මුදල් දෙවි ලබාගන්නේ ඒ ක්‍රමයටයි.” එසේ පැවසුවේ මිෂනාරිවරයෙක් වන නෝර්මන් රොබට්සන්. දෙවිගේ සේවකයන්ට ඔවුන්ගේ වගකීම් සිහිගන්වන්න පසුබට විය යුතු නැති බවයි ඔහුගේ අදහස. ඔහු තරයේ මෙවන් ප්‍රකාශයක් කළේය. “දසයෙන් කොටස ඔබ දෙන්නේ ඔබට දීමට හැකියාව තිබෙන නිසා නෙවෙයි. එය කීකරුකමක්. දසයෙන් කොටස නොදීම දෙවිගේ අණ කඩ කිරීමක් වෙනවා. ඒ වගේම එය ඔහුට කරන වංචාවක්.”—Tithing—God’s Financial Plan.

සම්මාදම් දීම ක්‍රිස්තියානි නමස්කාරයේ කොටසක් විය යුතුයි යන කාරණය සමඟ ඔබ එකඟ වන බවට කිසි සැකයක් නැත. නමුත් නිතර නිතර මුදල් ඉල්ලීම ඔබට හිසරදයක්ද? එය ඔබව කුපිත කරවනවාද? “තමන්ගේ සංවිධානයේ ගැටලු විසඳාගැනීම සඳහා” ඔවුන් දසයෙන් කොටස ඉල්ලීම අතකොළුවක් කරගෙන තිබෙන බව පවසමින් බ්‍රසීලියානු දේවගැතියෙක් වන එනාසියෝ ස්ට්‍රයිඩර් පල්ලිවලට චෝදනා කරයි. එවන් ක්‍රියාවල් ඔහු හඳුන්වන්නේ “නීති විරෝධී, දූෂිත, දේවධර්මයට පටහැනි යමක්” ලෙසටයි. ඔහු පවසන ආකාරයට එමගින් “රැකියාවක් නොමැති අයට, වැන්දඹුවන්ට, මුඩුක්කු වැසියන්ට සහ නූගත් මිනිසුන්ට දෙවි තමන්ව අතහැර ඇතැයි කියා සිතීමට සලස්වන අතර එම පවුල්වල අය කුසගින්නේ සිටියත් ‘පූජකයාට’ ගෙවිය යුතු දේ අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි කියාද ඔවුනට හැඟෙයි.”

සමහරවිට ඔබ මෙසේ සිතනවා විය හැකියි. එනම් ‘දසයෙන් කොටස ගෙවීමට බල කරන පල්ලි එසේ ඉල්ලන්නේ ශුද්ධ ලියවිලිවලට එකඟවද? නැතිනම් ඔවුන් දෙවි දඬුවම් කරයි යන අනවශ්‍ය බියක් ගිහි ජනයාගේ සිත් තුළට ඇතුළත් කර සල්ලි උදුරාගන්නවාද? ඇතමුන්ගේ අදහස පරිදි, ඇත්තටම දෙවි අපගේ අතේ ඇති අන්තිම සතේ පවා දෙන්න කියා අපෙන් ඉල්ලනවාද?’

[පාදසටහන]

a දසයෙන් කොටස යනු පුද්ගලයෙකුගේ දළ ආදායමෙන් සියයට 10ක් ගෙවීමයි.