Skip to content

පටුනට යන්න

අපට නිවහනක් වූ මිෂනාරි පැවරුමක්

අපට නිවහනක් වූ මිෂනාරි පැවරුමක්

ජීවිත කතාව

අපට නිවහනක් වූ මිෂනාරි පැවරුමක්

පැවසුවේ ඩික් වෝල්ඩ්‍රන්

නිරිතදිග අප්‍රිකාවට (දැන් එය හඳුන්වන්නේ නැමීබියාව කියායි) අපි ගොඩබැස්සේ 1953 සැප්තැම්බර් මාසයේ ඉරිදා දහවලකයි. අපි ඇවිත් සතියකටත් වඩා අඩු කාලයකින් මේ රටේ අගනුවර වන වින්ඩ්හොක්හිදී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන්නයි අපි සූදානම් වෙමින් හිටියේ. දුර ඈත ඕස්ට්‍රේලියාවේ ඉඳන් මේ අප්‍රිකානු රටට එන්න අපි තුළ පෙලඹීමක් ඇති කළේ මොකක්ද? තරුණියන් තුන්දෙනෙක් එක්ක මගේ භාර්යාවත් මමත් මේ රටට ආවේ දේවරාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කරන මිෂනාරිවරුන් හැටියටයි.—මතෙව් 24:14.

මගේ ජීවිත ගමන ආරම්භ වුණේ විශේෂ වසරක් වන 1914දී ඕස්ට්‍රේලියාවේයි. එය පෘථිවි ගෝලයේ පහළට වෙන්න පිහිටා තියෙන මහාද්වීපයක්. මහා ආර්ථික පරිහානිය පැවති කාලයේදී මම නහඹරයෙක්. මගේ පවුලේ අයගේ අවශ්‍යතා සපුරාලීම සඳහා මටත් යම් දේවල් කරන්න තිබුණා. ඒ කාලයේ කරන්න රස්සාවක් තිබුණේ නැහැ. ඒ වුණත් මම කැලෑ හාවුන්ව දඩයම් කරන්න ක්‍රමයක් හොයාගත්තා. ඒ කාලයේ ඕස්ට්‍රේලියාවේ කැලෑ හාවෝ හරියට හිටියා. මට පුළුවන් වුණා මගේ පවුලේ අයට ආහාර සඳහා අඩුවක් නැතුව හා-මස් සපයන්න.

එක්දහස් නවසිය තිස් නවයේදී දෙවන ලෝක මහා යුද්ධය පටන්ගත් කාලයේ මෙල්බෝන් නගරයේ තිබුණු ට්‍රෑම්ප් කාර් හා බස් රථ සමාගමක රැකියාවක් හොයාගන්න මට පුළුවන් වුණා. ඒ බස් රථවල මිනිස්සු 700ක් පමණ වැඩ මුර ක්‍රමයට වැඩ කළා. හැම වැඩ මුරයකදීම මට අලුත් රියැදුරුන් හා කොන්දොස්තරුවන්ව හමු වුණා. “ඔයාගේ ආගම මොකක්ද?” කියලා මම හුඟාක් අවස්ථාවලදී එයාලාගෙන් ඇහැව්වා. එයාලාගේ විශ්වාසයන් ගැන මට පැහැදිලි කර දෙන්න කියලා මම එයාලාට කිව්වා. මට සෑහීමට පත් වෙන්න පුළුවන් උත්තර දුන්නේ යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් විතරයි. දේවබියැති ජනයා සදහටම ජීවත් වෙන පාරාදීස පොළොවක් ගැන බයිබලයේ තියෙන පණිවිඩය එයා මට පැහැදිලි කර දුන්නා.—ගීතාවලිය 37:29.

මේ කාලයේදී මගේ අම්මාත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක සාකච්ඡා කරන්න පටන්ගෙනයි තිබුණේ. මම වැඩට ගිහිල්ලා ගෙදර එද්දී මගේ කෑම පිඟාන ළඟ සැනසිල්ල (Consolation) කියන සඟරාවේ පිටපතක් තබා තිබුණා (දැන් හඳුන්වන්නේ පිබිදෙව්! කියායි). ඒකෙන් මම කියවපු දේවලට මගේ සිත ඇදීගියා. කල් ගතවීමත් සමඟම මේක තමයි සැබෑ ආගම කියා මම තීරණය කළා. මම ක්‍රියාශීලීව සභාවේ කටයුතුවල හවුල් වූ අතර, 1940 මැයි මාසයේදී බව්තීස්ම වුණා.

මෙල්බෝන් නුවර පුරෝගාමී නිවාසයක් තිබුණා. එහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේවසේවකයන් 25දෙනෙක් විතර නතර වෙලා හිටියා. මමත් එයාලා එක්ක ඒ ගෙදර නතර වෙලායි හිටියේ. දේශනා සේවයේදී එයාලාගේ ප්‍රීතිමත් අද්දැකීම් ගැන මට දවසක් දවසක් පාසා අසන්න ලැබුණු නිසා පුරෝගාමී සේවය සඳහා ආශාවක් මා තුළ ඇති වෙන්න පටන්ගත්තා. පසුව මම පුරෝගාමී සේවයට අයදුම් කළා. මගේ අයදුම් පිළිගෙන, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ඕස්ට්‍රේලියාවේ ශාඛා කාර්යාලයේ සේවය කරන්න මට ආරාධනා කළා. මේ විදිහට මම බෙතෙල් පවුලේ සාමාජිකයෙක් වුණා.

සිරගත වීම හා තහනම

බෙතෙල් එකේ මගේ පැවරුම්වලින් එකක් වුණේ ලී මෝලක වැඩ කිරීමයි. අපි ඉන්ධන ලබාගත්තේ අඟුරුවලින්. ඒ සඳහා අපිට සිදු වුණා ලී කපන්න. මේ ඉන්ධන පාවිච්චි කළේ ශාඛා කාර්යාලයේ වාහන සඳහායි. මොකද යුද්ධය පැවති ඒ කාලයේ ඉන්ධන හිඟයක් තිබුණා. දොළොස්දෙනෙක් ලී මෝලේ වැඩ කළා. අපි ඔක්කොමදෙනාට අනිවාර්ය හමුදා සේවයට බැඳෙන්න අණක් ලැබී තිබුණා. වැඩි දවසක් යන්න කලින් අපිව මාස හයකට සිරගත කළේ බයිබලයේ සඳහන් දෙයට එකඟව අපි හමුදා සේවයට බැඳීම ප්‍රතික්ෂේප කළ හින්දායි. (යෙසායා 2:4) සිරකඳවුරකට අයිති ගොවිපොළක වැඩ කරන්න අපිව යැව්වා. එහිදී අපිට කරන්න දුන් වැඩ මොනවාද කියලා දන්නවාද? හරි පුදුමයි, බෙතෙල් එකේදී පුහුණු කළ දෙයම කරන්නයි අපිට ලැබුණේ. ඒ කියන්නේ ලී කපන එකයි අපිට දුන්න වැඩය.

අපි ඉතාමත් හොඳින් ලී කපන වැඩය කළ නිසා සිරගෙදර ප්‍රධානියා අපිට බයිබලයකුයි අපේ පොත් පතුයි දුන්නා. මෙහෙම කළේ ඒවා අපි ළඟ තබා නොගත යුතුයි කියා දැඩි නීති පනවා තිබියදීයි. මිනිසුන් සමඟ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මම ප්‍රයෝජනවත් පාඩමක් ඉගෙනගත්තේ මේ කාලයේදීයි. බෙතෙල් එකේ වැඩ කරද්දී එක සහෝදරයෙක් එක්ක පෑහිලා වැඩ කරන්න මට බැරි වුණා. අපේ පෞද්ගලිකත්වයන් හුඟාක් වෙනස්. මාත් එක්ක එක සිරකුටියේ දැම්මේ කාවද කියලා ඔබට හිතන්න පුළුවන්ද? ඔව්, ඒ සහෝදරයාවත් දැම්මේ මම ඉන්න සිරකුටියටමයි. සිරකුටියේ ඉන්න කාලේ අපි දෙන්නටම එකිනෙකාව හොඳින් හඳුනාගන්න කාලය තිබුණා. ඉතාමත් කිට්ටු දිගු කල් පවතින මිත්‍රත්වයක් අපිට ඇති කරගන්න පුළුවන් වුණේ සිරගෙදර එකට හිටිය හින්දායි.

කලකට පස්සේ ඕස්ට්‍රේලියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සේවා කටයුතු තහනම් කළා. සියලුම අරමුදල් රජයට පවරාගත් නිසා බෙතෙල් සහෝදරයන්ට සෑහෙන්න මුදල් හිඟකමක් තිබුණා. එක දවසක් බෙතෙල් සහෝදරයෙක් මා ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා. “ඩික් මට ඕනේ ටවුමට ගිහිල්ලා ටිකක් සාක්ෂි දරලා එන්න. ඒ වුණත් මට ටවුමට යන්න සපත්තු දෙකක් නැහැ. වැඩ කරද්දී දාන සපත්තු දෙක විතරයි තියෙන්නේ.” එයාට උදව් කරන්න ලැබුණු එක ගැන මම සතුටු වුණා. එයා මගේ සපත්තු දෙක දාගෙන ටවුමට ගියා.

පස්සේ මට දැනගන්න ලැබුණා දේශනා කළ හින්දා එයාව අත්අඩංගුවට අරගෙන සිරගත කරලා තියෙනවා කියලා. මේ සටහන එයාට යවනකං මට ඉස්පාසුවක් තිබුණේ නැහැ. “ඔයාට සිද්ධ වුණ දේ ගැන කනගාටුයි. හැබැයි ඉතින් මට සන්තෝෂයි, මගේ සපත්තු දෙකේ මගේ කකුල් දෙක නැති එක ගැන.” ඒ වුණාට වැඩි කල් යන්න කලින් මාව දෙවන වතාවටත් සිරගත කළා. මාව සිරගත කළේ මගේ මධ්‍යස්ථ ස්ථාවරය නිසායි. නිදහස ලැබුණාට පස්සේ මට ලැබුණු පැවරුම වුණේ බෙතෙල් පවුලේ අයට ආහාර සපයන ගොවිපොළ බලාගැනීමයි. අපි විරුද්ධව තිබුණ නඩුවක් අපි ඒ කාලයේදී දිනුව හින්දා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතුවලට පනවලා තිබුණු තහනම ඉවත් කළා.

ජ්වලිත එවැන්ජලිස්තවරියක සමඟ විවාහ වීම

ගොවිපොළේ වැඩ කර කර ඉන්න කාලේදී මම විවාහය ගැන සෑහෙන්න හිතන්න පටන්ගත්තා. තරුණ පුරෝගාමී සහෝදරියක් වූ කොරෙලි ක්ලෝගන්ට මගේ සිත ඇදීගියා. බයිබලයේ සඳහන් පණිවිඩය කෙරෙහි කොරෙලිගේ පවුලේ මුලින්ම උනන්දුවක් දැක්වූයේ ඇගේ ආච්චියි. ඇය මිය යන්න ළංව සිටි කාලයේදී ඇය කොරෙලිගේ අම්මාට (ඇගේ නම වීරා) මෙහෙම කියලා තිබුණා. “ඔයාගේ දරුවන්ව ඇති දැඩි කරනකොට දෙවිට ප්‍රේම කරන්නත් සේවය කරන්නත් එයාලාට උගන්වන්න. එතකොට කවදා හරි දවසක අපිට පාරාදීස පොළොවේදී හමු වෙන්න පුළුවන්.” කලකට පසු එක් පුරෝගාමියෙක්, න් ජීවත් වන දශලක්ෂ ගණනක් කිසිදා මිය නොයනු ඇත (සිංහලෙන් නැත) කියන ප්‍රකාශනය රැගෙන වීරාගේ නිවසේ දොරට තට්ටු කළා. කොරෙලිගේ ආච්චි පැවසූ එම වචනවල ලොකු අර්ථයක් ගැබ් වෙලා තියෙන බව වීරාට වැටහුණා. මිනිසුන් පාරාදීස පොළොවක ජීවත් වීම දෙවිගේ අරමුණ බව ඒ පොත් පිංචයෙන් ඇය තේරුම්ගත්තා. (එළිදරව් 21:4) ඇය 1930 ගණන්වල මුල්භාගයේදී බව්තීස්ම වුණා. ඇගේ අම්මා ඇයව දිරිගැන්වූ දෙය කරමින් ඇය තමන්ගේ දරුවන් තුන්දෙනා වන ලූසි, ජීන් හා කොරෙලිට දෙවි කෙරෙහි ප්‍රේමයක් ඇති කරගන්න උපකාර කළා. ඒ වුණත් කොරෙලිගේ තාත්තා දැඩි ලෙස ඊට විරුද්ධ වුණා. පවුලේ අයගෙන් ඒ වගේ විරුද්ධවාදීකම් එන බවට යේසුස් අනතුරු අඟවා තිබුණා.—මතෙව් 10:34-36.

ක්ලෝගන් පවුල සංගීතයට ලැදි පවුලක්. මේ පවුලේ හැම දරුවෙකුටම සංගීත භාණ්ඩයක් වාදනය කිරීමේ හැකියාව තියෙනවා. කොරෙලි වාදනය කළේ වයලීනයයි. ඇය 15වන වියට පා තැබූ 1939දී ඇය සංගීතය සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක් ලබාගත්තා. ඒත් දෙවන ලෝක මහා යුද්ධයේ ආරම්භයත් සමඟම කොරෙලි ඇගේ අනාගතය ගැන ගැඹුරින් සිතා බලන්න පටන්ගත්තා. තමාගේ ජීවිතයේ ඉදිරි කාලයේදී කරන්නේ මොනවාද කියා තීරණය කිරීමට කාලය පැමිණ තිබුණා. එක් පැත්තකින් ඇයට අවස්ථාවක් තිබුණා, සංගීත ක්ෂේත්‍රයේ වෘත්තියක් ලබාගන්න. මේ කාලය වන විටත් ඇයට මෙල්බෝන් තූර්ය වාදක කණ්ඩායමට සම්බන්ධ වීමට ආරාධනාවක් ලැබිලායි තිබුණේ. අනිත් අතට ඇගේ කාලය රාජ්‍ය පණිවිඩය දේශනා කිරීමේ අතිවැදගත් කාර්යය සඳහා යෙදවීමේ අවස්ථාවත් ඇය ඉදිරියේ තිබුණා. මේ ගැන සෑහෙන්න කල්පනා කිරීමෙන් පසු කොරෙලි සහ ඇගේ සහෝදරියන් දෙදෙනා 1940දී බව්තීස්ම වුණා. ඉන්පසු පූර්ණ කාලීන දේවසේවිකාවන් ලෙස සේවය කිරීමට ඔවුන් කටයුතු සූදානම් කළා.

කොරෙලි පූර්ණ කාලීනව දේවසේවය කිරීමට තීරණය කිරීමත් සමඟම වාගේ ඕස්ට්‍රේලියාවේ ශාඛා කාර්යාලයේ වගකීම් රැසක් ඉසිලූ සහෝදරයෙකු වූ ලොයිඩ් බැරී සමඟ කතා කිරීමට ඇයට අවස්ථාවක් ලැබුණා. පසු කලෙක එම සහෝදරයා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සේවය කළා. ඔහු මෙල්බෝන් නුවරට ඇවිත් කතාවක් දුන්නාට පස්සේ කොරෙලිට මෙහෙම කිව්වා. “මම ආපහු බෙතෙල් එකට යන්නයි යන්නේ. මම යන කෝච්චියේම ගිහින් බෙතෙල් පවුලේ අයත් එක්ක සේවය කරන්න කැමතිද?” ඇය කැමැත්තෙන්ම ඒ ආරාධනාව පිළිගත්තා.

යුද්ධය තිබුණු අවුරුදුවලදී ක්‍රියාත්මක වුණ තහනම යටතේදී ඕස්ට්‍රේලියාවේ ඉන්න සහෝදර සහෝදරියන්ට බයිබල් පොත් පත් සැපයීමේදී බෙතෙල් පවුලේ සිටි කොරෙලි හා වෙනත් සහෝදරියන් විශාල වැඩකොටසක් කළා. සහෝදර මැල්කම් වේල්ගේ අධික්ෂණය යටතේ එයාලා මුද්‍රණ කටයුතුවලට අයත් වැඩවලින් සෑහෙන කොටසක් කළා. නව ලෝකය සහ දරුවන් (සිංහලෙන් නැත) නමැති පොත් මුද්‍රණය කළේ තහනම පැවති කාලයේදීයි. ඒ වගේම තහනම පැවති අවුරුදු දෙකකට වැඩි කාලයේදී මුරටැඹ සඟරාවේ සෑම පිටපතක්ම මුද්‍රණය කළා.

පොලීසියට හසු නොවීම සඳහා 15 වතාවක් විතර මුද්‍රණ යන්ත්‍රය එහෙ මෙහෙ අරං ගියා. එක් අවස්ථාවකදී බයිබල් පොත් පත් මුද්‍රණය කළේ බිම් මට්ටමට පහළින් තිබෙන පතුල් මහලෙයි. මේවා හඳුනාගන්න බැරි විදිහට අපි වෙනත් පොත් පත්ද මුද්‍රණය කළා. අනතුරක් තිබෙන බවට යම් ඇඟවීමක් දුටු විට පතුල් මහලට ඒ බව දැන්වීම සඳහා අමුත්තන් පිළිගැනීමේ ස්ථානයේ සිටි සහෝදරිය බොත්තමක් ඔබමින් සීනුවක් නාද කළා. ඒ සීනුව ඇහෙද්දී මුද්‍රණ කටයුතුවල හවුල් වුණ සහෝදරියන්ට පුළුවන් වුණා, සෝදිසි කර බලන කෙනෙක් එන්න කලින් ඒවා සඟවන්න.

ඒ වගේ එක සෝදිසි කිරීමකදී සහෝදරියෝ කිහිපදෙනෙක් හොඳටම භය වුණා. මොකද මුරටැඹ සඟරාවක් කාටත් පේන විදිහට මේසයක් උඩ තබා තිබුණා. එදා ආපු පොලිස් නිලධාරියා සෝදිසි කරන්න පටන්ගත්තේ ලිපිගොනු ඇතුළත් ඔහුගේ බෑගය හරියටම ඒ මුරටැඹ සඟරාව උඩ තියලායි. කිසි දෙයක් සොයාගන්න බැරි වුණ හින්දා ඔහුගේ බෑගයත් අරගෙන එතැනින් පිට වෙලා ගියා!

තහනම ඉවත් කළාට පස්සේ ශාඛා කාර්යාලයට අයත් දේපොළ නැවත සහෝදරයන්ට ලැබුණු අතර, සහෝදරයන් හුඟදෙනෙකුට අවස්ථාව ලැබුණා විශේෂ පුරෝගාමීන් හැටියට විවිධ ප්‍රදේශවලට ගොස් සේවය කරන්න. ඒ කාලේදී තමයි කොරෙලි ග්ලෙන් ඉනිස්වල සේවය කරන්න ගියේ. අපි 1948 ජනවාරි මස පළවෙනිදා විවාහ වුණාට පස්සේ මමත් එහෙට ගිහින් කොරෙලිත් එක්ක පුරෝගාමී සේවය කරන්න පටන්ගත්තා. අපි ඒ පැවරුම අවසන් කරලා වෙන එකකට යද්දී හොඳින් දියුණුව ලබමින් තිබූ සභාවක් එහි පිහිටුවලා තිබුණා.

අපිට ඊළඟ පැවරුම ලැබුණේ රොක්හැම්ටන්වලටයි. ඒ වුණාට අපිට එහෙ නවාතැනක් හොයාගන්න බැරි වුණා. ඒ හින්දා අපි කළේ උනන්දුව දැක්වූ කෙනෙකුගේ ගොවිපොළේ බිම් කෑල්ලක කූඩාරමක් ගසාගෙන එහි නතර වීමයි. මාස නවයක් අපේ නිවහන වුණේ ඒ කූඩාරමයි. ඊට වඩා වැඩි කාලයක් අපිට ඒකේ නතර වෙලා ඉන්න තිබුණා. ඒ වුණාට වැස්ස කාලේදී ඇති වූ ලොකු කුණාටුවක් හින්දා ඒ කූඩාරම ඉරුණා. ඉන්පසු කඩා හැළුණු මෝසම් වැස්ස නිසා වතුර දාලා අපේ කූඩාරම ගහගෙන ගියා. a

විදේශීය පැවරුමක්

රොක්හැම්ටන්වල ඉන්න කාලයේදී අපිට ආරාධනාවක් ලැබුණා, මිෂනාරි සේවයට අවශ්‍ය පුහුණුව ලබාගැනීම සඳහා ගිලියද් වොච්ටවර් බයිබල් පාසැලේ 19වන පන්තියට සහභාගි වෙන්න කියලා. අපි 1952දී උපාධි ලැබීමෙන් පස්සේ ඒ කාලයේ නිරිතදිග අප්‍රිකාව කියා හැඳින්වූ රටටයි අපිව යැව්වේ. මේ විදිහටයි අපි මේ රටට මුලින්ම ආවේ.

අපේ මිෂනාරි සේවය ගැන තමන්ට හැඟෙන ආකාරය ප්‍රකාශ කරන්න එහි සිටිය ක්‍රිස්තියානි ලෝකයේ පූජකයන්ට වැඩි කල් ගත වුණේ නැහැ. ඔවුන් එක දිගට ඉරිදාවල් හයක් දේශනා කූඩුවේ සිටගෙන එයාලාගේ සභාවේ අයට අපෙන් ප්‍රවේසම් වෙන්න කියා අනතුරු ඇඟෙව්වා. අපි එද්දී දොරවල් අරින්න එපා කියා ඔවුන් මිනිසුන්ට කිව්වා. ඒ විතරක් නෙමෙයි, අපිට බයිබලය පෙරළන්න ඉඩ දෙන්න එපා කියලාත් කිව්වා. මොකද බයිබලයේ කියන දේවලට ඇහුම්කන් දුන්නොත් මිනිසුන් වියවුල් වෙයි කියා ඔවුන් පැවසුවා. එක ප්‍රදේශයක අපි පොත් පත් සඟරා කිහිපයක් තබා ගියා. ඒ වුණත් ඒ ප්‍රදේශයේ පූජකයාත් අපි පස්සෙන් ඇවිත් ගෙයින් ගෙට ගිහින් ඒවා එකතු කරගත්තා. දවසක් අපි ඒ පූජකයා අධ්‍යයන කටයුතු කරන කාමරේදී ඔහුත් සමඟ සාකච්ඡාවක් කළා. එතකොට අපි දැක්කා අපේ පොත් පත් ගොඩාක් එයා ළඟ තියෙනවා.

වැඩි කල් යන්න කලින් ඒ ප්‍රදේශයේ සිටිය බලධාරීන්ද අපේ වැඩකටයුතු ගැන සොයා බලන්න පටන්ගත්තා. කොමියුනිස්ට් සබඳතා අපිට තියෙන්න ඇතැයි කියා ඔවුන් සැක කළා. කිසිම සැකයක් නැහැ පූජකයා ඔවුන්ව පොලඹවන්න ඇති. ඒ අය අපේ ඇඟිලි සලකුණු ලබාගත්තා. අපි සාකච්ඡා පැවැත්වූ කිහිපදෙනෙකුගෙන් ප්‍රශ්න කළා. මේ විරුද්ධවාදීකම් මැද පවා අපේ රැස්වීම්වලට පැමිණි ගණන දිගටම වැඩි වුණා.

ඕවැම්බෝ, හිරේරෝ හා නමා කියන මුල්ම ප්‍රදේශ වාසීන් අතර බයිබලයේ සඳහන් පණිවිඩය පතුරුවාහරින්න දැඩි ආශාවක් ඇති වුණේ අපි ඒ ප්‍රදේශයේ පදිංචියට ගිය මුල් කාලයේ ඉඳන්මයි. කොහොමවුණත් මේක එතරම් ලෙහෙසි දෙයක් වුණේ නැහැ. ඒ කාලයේදී නිරිතදිග අප්‍රිකාවත් පැවතියේ වර්ණභේදී දකුණු අප්‍රිකාවේ ආණ්ඩුවේ පාලනය යටතේ. සුදු ජාතිකයන් වන අපිට ආණ්ඩුවේ අවසරක් නැතුව කලු ජාතිකයන් සිටින ප්‍රදේශවලට යන්න ඉඩ දුන්නේ නැහැ. අපි කලින් කලට අවසර ඉල්ලුවත් බලධාරීන් අපිට අවසර දුන්නේ නැහැ.

අපේ විදේශීය පැවරුමේ අවුරුදු දෙකක් සේවය කළාට පස්සේ අපිව පුදුමයට පත් කළ දෙයක් සිදු වුණා. කොරෙලිට දරුවෙක් ලැබෙන්න ඉන්න බව අපි දැනගත්තා. අපේ දුව ෂාලට් ඉපදුණේ 1955 ඔක්තෝබර් මාසයේයි. අපිට මිෂනාරි සේවය දිගටම කරගෙන යන්න බැරි වුණත් මට පුළුවන් වුණා, අර්ධ කාලීන රැකියාවක් හොයාගෙන ටික කලකට හෝ පුරෝගාමියෙක් හැටියට සේවය කරන්න.

අපේ යාච්ඤාවලට ලැබුණු උත්තරයක්

අපි 1960දී තවත් අභියෝගයකට මුහුණ දුන්නා. කොරෙලිට ඇගේ ගෙදරින් ලියුමක් ආවා. අම්මාට හොඳටම අසනීපයි, කොරෙලි ගෙදර ආවේ නැත්නම් ආයේ කවදාවත් අම්මාව දකින්න ලැබෙන්නේ නැහැ කියලා ඒකේ ලියලා තිබුණා. ඒ හින්දා නිරිතදිග අප්‍රිකාවෙන් පිට වෙලා ආපහු ඕස්ට්‍රේලියාවට යන්න අපි සැලසුම් කළා. මේ අතරතුර තවත් විශේෂ දෙයක් සිදු වුණා. අපි පිට වෙලා යන්න සූදානම් වෙලා හිටිය සතියේම මට ඒ ප්‍රදේශයේ බලධාරීන්ගෙන් ලියුමක් ලැබුණා. එහි සඳහන් වුණේ කලු ජාතිකයන් සිටි කටුටූරා කියන නගරයට යන්න මට අවසර ලැබී තිබෙන බවයි. ඉතින් අපි ඒ වේලාවේ මොනවාද කළේ? සෑහෙන උත්සාහයක් දරලා අවුරුදු හතකට පස්සේ අපිට ලැබුණු මේ අවසර පත්‍රය ආපසු දෙනවාද? අපි කරන්න පටන්ගත් වැඩය තව කාට හරි කරන්න පුළුවන්නේ කියලා හිතන එක හරිම ලෙහෙසි දෙයක් වුණා. ඒ වුණත් මේක යෙහෝවාගේ ආශීර්වාදයක් නෙමේද? අපේ යාච්ඤාවලට ලැබුණු උත්තරයක් නෙමේද?

මම ඉක්මනටම තීරණයක් ගත්තා. මම මෙහෙම ඉන්නවා. මොකද අපි ඔක්කොමදෙනා ඕස්ට්‍රේලියාවට ගියොත් ස්ථිර පදිංචිය සඳහා අවසර ලබාගන්න අපි දරපු වෙහෙස මහන්සිය අපතේ යන්න තිබුණා. ඒ ගැන මට භයක් දැනුණු හින්දායි මම ඒ වගේ තීරණයක් ගත්තේ. ඊළඟ දවසේදී මම මගේ ගමන අවලංගු කරලා කොරෙලිවයි ෂාලට්වයි දිගු නිවාඩුවක් සඳහා ඕස්ට්‍රේලියාවට පිටත් කළා.

ඒ දෙන්නා පිට වෙලා ගිය කාලයේදී මම කලු ජාතිකයන් සිටින ඒ නගරයේ සාක්ෂි දරන්න පටන්ගත්තා. මිනිසුන් තුළ තිබුණු උනන්දුව මාව පුදුමයට පත් කළා. කොරෙලි හා ෂාලට් ආපහු එද්දී කලු ජාතිකයන් සිටි නගරයේ හුඟදෙනෙක් රැස්වීම්වලට එමිනුයි හිටියේ.

මේ කාලය වෙනකොට මට පරණ කාර් එකක් තිබුණා. උනන්දුව දක්වන අයව මම රැස්වීම්වලට ගෙනාවේ ඒකෙනුයි. එක රැස්වීමක් සඳහා මම ගමන් වාර හතර පහක් ගියා. එක වතාවකදී හත් අටදෙනෙක්, සමහර අවස්ථාවලදී නවදෙනෙකුවත් දාගෙන ආවා. අන්තිම එක්කෙනා කාර් එකෙන් බහිද්දී කොරෙලි පොඩි විහිළුවක් කරමින් මෙහෙම ඇහැව්වා. “තව කීදෙනෙක් සීට් එක යට ඉන්නවාද?”

දේශනා සේවයෙන් හොඳ ප්‍රතිඵල නෙළාගන්න නම් ඒ ප්‍රදේශයේ මිනිසුන් කතා කරන භාෂාවෙන් පොත් පත් සඟරා අපට අවශ්‍ය වුණා. මේ නිසා මට විශේෂ අවස්ථාවක් ලැබුණා නව ලොවක ජීවිතය නමැති පත්‍රිකාව හිරේරෝ, නමා, නඩොංගා හා කවාන්යාමා කියන දේශීය භාෂා හතරෙන් පරිවර්තනය කිරීම සඳහා සැලසුම් කරන්න. පරිවර්තකයන් හැටියට යොදාගත්තේ අපිත් එක්ක බයිබලය පාඩම් කරමින් හිටිය හොඳ අධ්‍යාපනයක් ලබා තිබුණු අයවයි. ඒ වුණත් මට සිද්ධ වුණා, හැම වාක්‍යයක්ම නිවැරදිව පරිවර්තනය කර තිබෙන බව තහවුරු කරගැනීම සඳහා ඔවුන් එක්ක ඉඳගෙන ඒවා පරීක්ෂා කරලා බලන්න. නමා කියන භාෂාවට තියෙන වචන ගණන සීමිතයි. උදාහරණයක් හැටියට මම උත්සාහ කළා, “මුලදී ආදම් පරිපූර්ණ මිනිසෙක්” කියන අදහස ඉදිරිපත් කරන්න. පරිවර්තකයා කිව්වා, “පරිපූර්ණ” කියන වචනය සඳහා ඒ භාෂාවෙන් වචනයක් ඔහුගේ මනසට එන්නේ නැහැ කියලා. ඔහු අන්තිමේදී කිව්වා “ආහ්, මට අදහසක් ආවා. මුලදී ආදම් ඉදුණු පීච් ගෙඩියක් වගෙයි” කියලා දාමු කියා.

නිවහනක් කරගත් අපේ පැවරුමෙන් තෘප්තිමත් වී

දැන් නැමීබියාව කියා හඳුන්වන මේ රටට අපි මුලින්ම ආ දා සිට අවුරුදු 49ක් පමණ ගත වෙලා තියෙනවා. කලු ජාතිකයන් සිටින නගර හා ගම්වලට ඇතුල් වෙන්න අවසර ගන්න අවශ්‍ය නැහැ. නැමීබියාව පාලනය කරනු ලබන්නේ වර්ග භේද නොසලකන ව්‍යවස්ථාවකට අනුව අලුත් ආණ්ඩුවක් විසිනුයි. අද වෙනකොට වින්ඩ්හොක්වල විශාල සභා හතරක් පහසුකම් තියෙන රාජ්‍ය ශාලාවල එක්රැස් වෙනවා.

ගිලියද් පාසැලේදී අපේ සවනට වැටුණු මේ වචන නිතරම අපිට මතක් වෙනවා. “විදේශ පැවරුම ඔබේ නිවහන කරගන්න.” යෙහෝවා කාරණා හසුරුවා තිබෙන ආකාරයෙන් අපි තේරුම්ගෙන තිබෙන්නේ අපි ජීවත් වෙන මේ විදේශීය රට අපේ නිවහන වීම ඔහුගේ කැමැත්ත වූ බවයි. මේ රටේ ඉන්න සහෝදර සහෝදරියන්ටත් ඔවුන්ගේ විවිධ සංස්කෘතිවලටත් ඇලුම් කරන්න අපි ඉගෙනගෙන තිබෙනවා. ඔවුන්ගේ ප්‍රීතියේදී අපි ඔවුන් එක්ක සිනහ වෙලා තියෙනවා. ඔවුන්ගේ දුකේදී අපි ඔවුන් එක්ක අඬලාත් තියෙනවා. අපේ කාර් එකේ හිර වෙලා රැස්වීම්වලට ආපු අයගෙන් සමහර අය සභාවල ශක්තිමත් කණු වගේ සේවය කරනවා. අපි මේ රටට 1953දී එන විට ශුභාරංචිය දේශනා කරන දේශීය ප්‍රචාරකයන් සිටියේ දහයකටත් වඩා අඩු ගණනක්. මුලදී කුඩා ගණනක් වූ ප්‍රචාරකයන් ගණන දැන් 1,200කටත් වඩා වැඩියි. යෙහෝවා ඔහුගේ පොරොන්දුව ඉටු කරමින් අපත් තවත් අයත් ‘සිටුවා වතුර දමා’ තිබෙන දේශයට වර්ධනය දී තිබෙනවා.—1 කොරින්ති 3:6.

මුලින්ම ඕස්ට්‍රේලියාවෙත් දැන් නැමීබියාවෙත් අපි සේවය කර තිබෙන අවුරුදු ගණනාව දෙස ආපසු හැරිලා බලද්දී කොරෙලිටත් මටත් ලොකු තෘප්තියක් දැනෙනවා. දැනුත් සදහටමත් යෙහෝවාගේ කැමැත්ත කරන්න ඔහු අපිට දිගටම ශක්තිය ලබා දෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි ඔහුට යාච්ඤා කරනවා.

[පාදසටහන]

a මේ දුෂ්කර පැවරුමේදී වෝල්ඩ්‍රන් යුවළ විඳදරාගත් ආකාරය ගැන ඔවුන්ගේ නම් සඳහන් කර නැති හැඟීම් දනවනසුලු වාර්තාවක් 1952 දෙසැම්බර් 1 මුරටැඹ (සිංහලෙන් නැත) සඟරාවේ 707-8 දක්වා පිටුවල විස්තර කර ඇත.

[26, 27වන පිටුවේ පින්තූරය]

ඕස්ට්‍රේලියාවේ රොක්හැම්ටන්වල අපේ පැවරුමට පිටත්ව යෑම

[27වන පිටුවේ පින්තූරය]

ගිලියද් පාසැලට යෑම සඳහා වරායට පැමිණි අවස්ථාව

[28වන පිටුවේ පින්තූරය]

නැමීබියාවේ සාක්ෂි දැරීමෙන් අපි ඉමහත් ප්‍රීතියක් ලබනවා