Skip to content

පටුනට යන්න

ඔබේ දෑත් සවි කරගන්න

ඔබේ දෑත් සවි කරගන්න

ඔබේ දෑත් සවි කරගන්න

බයිබලයේ අත යන වචනය 1800කට වැඩි වාර ගණනක් සඳහන් වේ. අත සම්බන්ධ කර විවිධ ආප්තෝපදේශයන් ලියා තිබේ. උදාහරණයකට, පවිත්‍ර අත්වලින් අඟවන්නේ නිර්දෝෂිභාවයයි. (2 සාමුවෙල් 22:21; ගීතාවලිය 24:3, 4) දෑත් විදහා යන්නෙන් අදහස් කරන්නේ අන්‍යයන්ට ත්‍යාගශීලී වීමය. (ද්විතීය කථාව 15:11; ගීතාවලිය 145:16) සතුරාගෙන් බේරෙන තැනැත්තා එම සතුරා අතින් ගැලවෙන බව පැවසේ. (1 සාමුවෙල් 4:3) කෙනෙකු තම දෑත් පහළට හෙළීමෙන් අදහස් කරන්නේ අධෛර්යයට පත්වීමයි. (2 ලේකම් 15:7) එමෙන්ම දෑත් සවි කරගැනීම යනු යම් කාර්යයක් ඉටු කිරීම සඳහා සැදී පැහැදී, බලවත්ව සිටීමය.—1 සාමුවෙල් 23:16.

අදදින අපේ දෑත් සවි කරගැනීමට හදිසි අවශ්‍යතාවක් තිබේ. අප ජීවත් වන්නේ “අවදානම් සහිත තීරණාත්මක කාලවල්” තුළය. (2 තිමෝති 3:1, NW) අධෛර්යය වන විට අපේ මිනිස් නැඹුරුවාව වන්නේ දෑත් අකුළාගැනීමය. ගැටවරයන් පාසැල් අධ්‍යාපනය අතරමඟ නවතාලන අයුරු, ස්වාමිපුරුෂයන් තම පවුල හැරදා යන සැටි, මව්වරුන් තම දරුවන් අත්හැර දමා යන අයුරු දැකීම සාමාන්‍ය දෙයක් වී ඇත. ක්‍රිස්තියානීන් වන අප දෙවිට කරන සේවයේදී මුහුණ දෙන පීඩා විඳදරාගැනීමට අපේ දෑත් සවිමත් කරගත යුතුය. (මතෙව් 24:13) එසේ කිරීමෙන් අපි යෙහෝවාගේ හද සතුටු කරන්නෙමු.—හිතෝපදේශ 27:11.

දෑත් සවිමත් වන අයුරු

යෙරුසලමේ තිබූ යෙහෝවාගේ දේවමාලිගාව යළි ගොඩනඟා සම්පූර්ණ කිරීම සඳහා එස්රාගේ කාලයේ යුදෙව්වන්ට තම දෑත් සවිමත් කරගැනීමට අවශ්‍ය වී තිබිණ. ඔවුන්ගේ දෑත් සවි වූයේ කෙසේද? වාර්තාවේ මෙසේ පැවසේ. “[ඔවුහු] මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් ප්‍රීතියෙන් පැවැත්තුවෝය. මක්නිසාද දෙවිගේ එනම් ඊශ්‍රායෙල්හි දෙවිගේ ගෘහයේ වැඩට ඔවුන්ගේ අත් සවි කරන හැටියට අෂූර්හි රජුගේ සිත ඔවුන් වෙතට හැරවීමෙන් යෙහෝවා ඔවුන් ප්‍රීති කෙරෙව්වේය.” (එස්රා 6:22) පැහැදිලිවම, දෙවිගේ සෙනඟට යළි යෑමට ඉඩහැරීමට “අෂූර්හි රජුගේ” සිත යෙහෝවා පොලඹනු ලැබුවේ සිය ක්‍රියාකාරි බලයෙනි. එමෙන්ම පටන්ගත් කාර්යය නිම කිරීම සඳහා සෙනඟව දිරිගන්වනු ලැබුවේද එම බලයමයි.

පසුව, යෙරුසලමේ තාප්ප අලුත්වැඩියා කිරීම අවශ්‍ය වූ විට එම කාර්යය සඳහා නෙහෙමියා තම සහෝදරයන්ගේ දෑත් සවිමත් කළේය. අපට මෙසේ කියවීමට තිබේ. “මාගේ දෙවිගේ යහපත් හස්තය මා කෙරෙහි තිබෙන බවද රජු මට කී වචන ගැනද ඔවුන්ට දැන්වීමි. ඔව්හුද: අපි නැඟිට ගොඩනඟමුයයි කීවෝය. මෙසේ ඔව්හු ඒ යහපත් වැඩේ සඳහා තමුන්ගේ අත් සවි කරගත්තෝය.” සවිමත් දෑතින් යුතුව නෙහෙමියාට හා ඔහුගේ සෙසු යුදෙව්වන්ට පුදුමාකාර ලෙස දින 52කින් යෙරුසලමේ තාප්ප යළි ගොඩනැඟීමට හැකි විය.—නෙහෙමියා 2:18; 6:9, 15.

එලෙසම, රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට යෙහෝවා අපේ දෑත්ද සවිමත් කරන්නේය. (මතෙව් 24:14) ඔහු එසේ කරන්නේ ‘ඔහුගේ කැමැත්ත කරන පිණිස, සියලු යහපත් දේ අපට සපයමිනි.’ (හෙබ්‍රෙව් 13:21) ශ්‍රේෂ්ඨතම මෙවලම් සපයමින් ඔහු අපේ දෑත් සවි කර තිබේ. අපට බයිබලය හා බයිබලය මත පදනම් පොත්, සඟරා, විවරණිකා, පත්‍රිකා සහ ශ්‍රව්‍ය හා දෘශ්‍ය කැසට් පට ලැබී තිබෙන්නේ ලොව පුරා සිටින ජනයා කරා ළඟාවීමටය. ඇත්තෙන්ම, අපේ ප්‍රකාශන භාෂා 380කින් පමණ ලබාගත හැක. ඊට අමතරව, සභා රැස්වීම්, එක්රැස්වීම් හා සමුළු මගින් යෙහෝවා අපට දිව්‍යමය අධ්‍යාපනයක් හා පුහුණුවක් ලබා දෙමින් අපේ සේවය සම්පූර්ණ කිරීමට මෙම කදිම උපකරණය භාවිත කරන අයුරු පෙන්වා දෙයි.

යෙහෝවා නානා විධ ක්‍රමවලින් අපේ දෑත් සවිමත් කළත් අපේ පැත්තෙනුත් වෑයමක් දැරීම ඔහු අපේක්ෂා කරයි. අෂූරියානු ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කිරීමට එලිෂාගෙන් උපකාරය පැතීම සඳහා පැමිණි යෙහෝවාෂ්ට ප්‍රොපේත එලිෂා පැවසූ දේ සිහියට නඟාගන්න. ඊගස් කීපයක් රැගෙන, ඒවා පොළොවට ගසන්නැයි එලිෂා රජුට කීවේය. බයිබල් වාර්තාවේ මෙසේ පැවසේ. “ඔහු තුන් වරක් ගසා නැවතුණේය. එවිට දෙවිගේ මනුෂ්‍යයා ඔහු කෙරෙහි උදහස් වී: නුඹ පස්වරක් හෝ හයවරක් ගසන්ට යුතුව තිබුණේය. එසේ කළේ වී නම් නුඹ සිරියවරුන් විනාශ වන තුරු ඔවුන්ට පහර දෙනවා ඇත. නුමුත් දැන් නුඹ තුන් වරක් පමණක් සිරියවරුන්ට පහර දෙන්නෙහියයි කීවේය.” (2 රාජාවලිය 13:18, 19) ජ්වලිතව දැඩි ප්‍රයත්නයක් දැරීමට අසමත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන්, සිරියවරුන් සමඟ කළ සටනින් යෙහෝවාෂ් ලැබුවේ සීමිත ජයග්‍රහණයකි.

යෙහෝවා පවරා ඇති දේ ඉටු කිරීමට අපට වුවමනා නම් එම ප්‍රතිපත්තියම අදාළ වේ. අපේ ගමන් මඟෙහි ඇති බාධක ගැන හෝ පැවරුම කොතරම් අසීරු එකක් විය හැකිදැයි කල්පනා කරමින් සිටිනවාට වඩා, ජ්වලිතයෙන් හා මුළු හදවතින්ම එය ඉටු කිරීමට වෑයම් කළ යුතුය. අපේ දෑත් සවිමත් කරගෙන අප උපකාරය සඳහා යෙහෝවා කෙරෙහි රඳා සිටිය යුතුය.—යෙසායා 35:3, 4.

යෙහෝවා අපේ දෑත් සවිමත් කරයි

අපට උපකාර කිරීමට හා ඔහුගේ කැමැත්ත කිරීම සඳහා අපේ දෑත් සවිමත් කිරීමට යෙහෝවා අසමත් නොවනු ඇත. ඇත්ත වශයෙන්ම, දෙවි ප්‍රාතිහාර්යකින් අපට සෑම දෙයක්ම කර නොදෙනු ඇත. දිනපතා බයිබලය කියවීම, රැස්වීම්වලට නිතිපතා සූදානම් වී සහභාගි වීම, හැකි තරම් දුරට දේවසේවයෙහි හවුල් වීම හා නිතර ඔහුට යාච්ඤා කිරීම යනාදිය මගින් අපේ කොටස කිරීම ඔහු අපෙන් අපේක්ෂා කරයි. අපට ප්‍රස්තාව තිබෙන විට විශ්වාසවන්තව හා උද්‍යෝගයෙන් අපේ කොටස කරනවා නම්, අපෙන් අපේක්ෂා කරන දේ කිරීමට යෙහෝවා අපට ශක්තිය දෙනු ඇත.—පිලිප්පි 4:13.

එක්තරා ක්‍රිස්තියානියෙකුගේ අද්දැකීම සලකා බලන්න. එකම වසරේ ඔහුගේ බිරිඳත්, මවත් මියගියේය. ඔහුගේ ලේලිය ඔහුගේ පුතා හැර දමා ගොස්, ක්‍රිස්තියානි ජීවිත මාර්ගයෙන්ද ඉවත් වූ අවස්ථාවේදීද ඔහුගේ වේදනාව එලෙසම පැවතුණි. “අපට පරීක්ෂාවන් තෝරගන්නවත්, ඒවා පැමිණිය යුතු වෙලාව හා කොයි තරම් ප්‍රමාණයකට පැමිණිය යුතුද කියාවත් තීරණය කරන්න අපට බැරි බව මම වටහාගත්තා” කියා මෙම සහෝදරයා පැවසුවේය. ඒවාවලට සාර්ථකව මුහුණ දෙන්න ඔහු ශක්තිය ලබාගන්නේ කෙසේද? “යාච්ඤාව හා පෞද්ගලික පාඩම වතුරෙහි නොගිලී සිටිය හැකි ජීවිත ආරක්ෂක ඇඳුමක් වගේ වුණා. ඒ වගේම මගේ ආත්මික සහෝදර සහෝදරියන්ගේ සහයෝගයත් මට විශාල සැනසීමක් ගෙන දුන්නා. ඒ සියල්ලටමත් වඩා, අසීරු අවස්ථා උද්ගත වෙන්න කලින්ම යෙහෝවා එක්ක හොඳ පෞද්ගලික සබඳතාවක් වර්ධනය කරගැනීමේ වැදගත්කම වටහාගන්නත් මට පුළුවන් වෙලා තියෙනවා.”

ඔබ කුමන තත්වයකට මුහුණ දුන්නත් යෙහෝවා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීමටත්, ඔබේ දෑත් සවි කරගැනීම සඳහා ඔහු සපයා තිබෙන සෑම සැපයුමකින්ම මනා ප්‍රයෝජන ගැනීමටත් වගබලා ගන්න. එවිට යෙහෝවාට උසස්ම ගණයේ සේවයක් ඉදිරිපත් කිරීමටත්, එමගින් ඔහුගේ නාමයට ප්‍රශංසාව හා ගෞරවය ගෙන ඒමටත් ඔබට හැකි වනු ඇත.—හෙබ්‍රෙව් 13:15.

[31වන පිටුවේ පින්තූරය]

ජ්වලිතව දැඩි ප්‍රයත්නයක් දැරීමට අසමත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන්, සිරියවරුන් සමඟ කළ සටනින් යෙහෝවාෂ් ලැබුවේ සීමිත ජයග්‍රහණයකි