Skip to content

පටුනට යන්න

ගුරුවරුන් වීමට අපව සූදානම් කරවන පෞද්ගලික පාඩම

ගුරුවරුන් වීමට අපව සූදානම් කරවන පෞද්ගලික පාඩම

ගුරුවරුන් වීමට අපව සූදානම් කරවන පෞද්ගලික පාඩම

“ඔබේ දියුණුව සියල්ලන්ටම පෙනෙන පිණිස, මේ දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්න. ඒ දේවල් තුළ නිමග්න වී සිටින්න. ඔබ ගැනත් ඔබේ ඉගැන්වීම ගැනත් නිරන්තර අවධානයක් යොමු කරන්න.”—1 තිමෝති 4:15, 16, NW.

1. පෞද්ගලික අධ්‍යයනය සහ වේලාව ගැන සැබෑවක් වන්නේ කුමක්ද?

 ‘සෑම දේටම නියමිත කාලයක් ඇත’ යනුවෙන් බයිබලයෙහි දේශනාකාරයා 3:1හි පැවසේ. පෞද්ගලික අධ්‍යයනය සම්බන්ධයෙන්ද එය සත්‍යයක් වන බව නොකිවමනාය. නුසුදුසු වේලාවක හෝ නුසුදුසු ස්ථානයක සිට ආත්මික දේවල් ගැන ගැඹුරින් කල්පනා කර බැලීම අසීරු කටයුත්තක් බව බොහෝදෙනෙක් වටහාගනිති. නිදසුනක් වශයෙන්, දවස පුරා වෙහෙස මහන්සි වී වැඩ කර, බඩ කට පිරෙන්න රාත්‍රි ආහාරය ගත්තායින් පසුව අධ්‍යයනය කරන්නට ඔබට සිතෙනවාද? විශේෂයෙන්ම ඔබේ ප්‍රියතම හාන්සි පුටුවේ වාඩි වී හෝ රූපවාහිනිය ඉදිරිපිට වාඩි වී සිටිනවා නම්, එසේ කරන්නට ඔබට සිතෙනවාද? එසේ සිතීම උගහටය. එසේනම්, විසඳුම කුමක්ද? අප දරන ප්‍රයත්නයෙන් උපරිම ඵල නෙළාගැනීම සඳහා අධ්‍යයනය කරන්නේ කොයි වේලාවේද කොහේද යන්න අපට තේරීමට සිදු වන බව පැහැදිලිය.

2. පෞද්ගලික අධ්‍යයනය සඳහා බොහෝවිට හොඳම වේලාව ලෙස ගැනෙන්නේ කුමන වේලාවද?

2 බොහෝදෙනෙකු තමන්ට අධ්‍යයනය කිරීම සඳහා හොඳම වේලාව ලෙස දකින්නේ හිමිදිරි පාන්දරයි. මන්ද සාමාන්‍යයෙන් වැඩිදෙනෙකුට තමන් මනසින් පිබිද සිටින වේලාව එය වන නිසයි. තවත් අය දහවලේ ලබන විවේක කාලය කෙටි වේලාවකට අධ්‍යයනය සඳහා යොදති. වැදගත් ආත්මික ක්‍රියාකාරකම් සඳහා යෙදවිය හැකි කාලය පිළිබඳව පහත දැක්වෙන උදාහරණ සලකා බලන්න. ඉපැරණි ඊශ්‍රායෙලයේ දාවිත් රජ මෙසේ ලීවේය. “උදය ඔබගේ කරුණාගුණය මට ඇසෙන්ට සැලැස්සුව මැනව. මක්නිසාද ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා විසින් යා යුතු මාර්ගය මට දැක්වුව මැනව. මක්නිසාද ඔබ දෙසට මාගේ සිත ඔසවමි.” (ගීතාවලිය 143:8) අනාගතවක්තෘ යෙසායා ඒ හා සමාන අගය කිරීමක් පෙන්වූයේ මෙසේයි. “විඩා වූ අයට වචනවලින් පිහිට වෙන්ට දැනගන සිටීමට ස්වාමි වූ යෙහෝවා උගතුන්ගේ දිව මට දී තිබේ. ගෝලයන් [උගන්වනු ලැබූවන්, NW] මෙන් ඇසීමට ඔහු උදයක් පාසා පුබුදුවන්නේය. මාගේ කන පුබුදුවන්නේය.” මෙහිදී අප වටහාගත යුතු ප්‍රධාන කාරණය වන්නේ දවසේ වේලාව කුමක් වුවත්, අධ්‍යයනයට සහ යෙහෝවා සමඟ කතා කිරීමට අප තෝරාගත යුත්තේ අපගේ මානසික තත්වය වඩාත් තියුණුව පවතින වේලාවක් බවයි.—යෙසායා 50:4, 5; ගීතාවලිය 5:3; 88:13.

3. ඵලදායී අධ්‍යයනයකට වඩාත් හිතකර තත්වයන් මොනවාද?

3 වඩාත් ඵලදායී අධ්‍යයනයකට හේතු පාදක වන තවත් සාධකයක් වන්නේ, අප වඩාත් සුවපහසු පුටුවක හෝ සෝපාවක වාඩි නොවීමය. මානසික වශයෙන් අවදියෙන් සිටීමට මෙය ඉවහල් නොවේ. අප අධ්‍යයනයේ යෙදෙන විට අපගේ මනස උත්තේජනය විය යුතුය. ඕනෑවට වඩා ශාරීරිකව සැපපහසුවෙන් සිටීමෙන් සිදු වෙන්නේ ඊට විරුද්ධ දෙයයි. තවද අධ්‍යයනය සහ මෙනෙහි කිරීම සඳහා තවත් වැදගත් කාරණයක් වන්නේ නිසසල, නිහඬ, බාධාවන් නැති තැනක් තෝරාගැනීමයි. ගුවන් විදුලිය, රූපවාහිනිය ඉදිරියේ හෝ ළමුන් සෙල්ලම් කරන තැනක අධ්‍යයනය කරන්නට ගියහොත් ඔබට හොඳම ප්‍රතිඵල ලැබෙන්නේ නැත. මෙනෙහි කරන්නට වුවමනා වූ විට යේසුස් ගියේ නිසංසල ස්ථානයකටයි. එමෙන්ම යාච්ඤා කිරීම සඳහා හුදෙකලා නිදහස් තැනක් තෝරාගැනීමේ වටිනාකම ගැනද හේ කතා කළේය.—මතෙව් 6:6; 14:13; මාර්ක් 6:30-32.

පිළිතුරු දීමට අපව සූදානම් කරවන පෞද්ගලික අධ්‍යයනය

4, 5. ඕනෑ කරන්නේ විවරණිකාව ප්‍රායෝගික වශයෙන් උපකාරයක් වන්නේ කුමන ආකාරයෙන්ද?

4 පෞද්ගලික අධ්‍යයනය වඩාත් තෘප්තිමත් එකක් වන්නේ යම් විෂයක් ගැන වඩාත් ගැඹුරින් හැදෑරීම සඳහා අප විවිධ බයිබල් අධ්‍යයන ආධාරකයන් පාවිච්චි කරන විටය. විශේෂයෙන්ම යමෙකු අසන අවංක ප්‍රශ්නවලට පිළිතුරු දීමට සොයන විටය. (1 තිමෝති 1:4; 2 තිමෝති 2:23) ආරම්භක පියවරක් වශයෙන්, බොහෝ නවකයෝ දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? a යන විවරණිකාව අධ්‍යයනය කරති. දැන් එය භාෂා 261කින් ලබාගත හැකියි. එය ඉතා සරලය. නමුත් මුළුමනින්ම බයිබලය මත පදනම් වූ ඉතා නිශ්චිතව කරුණු ගෙනහැර දක්වන ප්‍රකාශනයකි. සැබෑ නමස්කාරය පිරිනැමීම සඳහා දෙවිට අපෙන් අවශ්‍ය කරන්නේ මොනවාද කියා ඉක්මනින් තේරුම්ගැනීමට එය පාඨකයන්ට උදව් වෙයි. කෙසේවෙතත්, එය පිළියෙළ කර තිබෙන්නේ සෑම විෂයක් ගැනම සවිස්තරාත්මක අධ්‍යයනයක් කිරීමේ අරමුණින් නොවේ. ඔබගේ බයිබල් ශිෂ්‍යයා සාකච්ඡාවට බඳුන් වෙන යම් යම් බයිබල් විෂයන් ගැන යම් උනන්දුමත් ප්‍රශ්න අසනවා නම්, එම ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා ඔබට උපකාරවත් වන බයිබලයේ අඩංගු තොරතුරු වැඩියෙන් සොයාගැනීමට ඔබට හැක්කේ කෙසේද?

5 තමන්ගේ භාෂාවෙන් මුරටැඹ පුස්තකාලය තැටි මාර්ගයෙන් (CD-ROM) ලබාගත හැකි අයට පරිගණකයකින් ඉතා පුළුල් තොරතුරු සම්භාරයක් ඉතා පහසුවෙන් ලබාගත හැකියි. නමුත් මෙම උපකරණ පහසුකම් නැති අය ගැන කුමක් කිව හැකිද? දැන් අපි ඕනෑ කරන්නේ විවරණිකාවේ සලකා බලා ඇති මාතෘකා දෙකක් ගැන පරීක්ෂා කර බලමු. මේවා ගැන ඇති අපගේ අවබෝධය පුළුල් කරගත හැකි ආකාරයත් වඩාත් සවිස්තරාත්මකව පිළිතුරු දිය හැකි ආකාරයත් සලකා බලමු. විශේෂයෙන්ම යමෙක් දෙවි කවුද සහ යේසුස් කුමන ආකාරයේ කෙනෙකුද කියා යම් ප්‍රශ්න නඟන්නේ නම්, මෙවැනි අයට පිළිතුරු දීමේදී මෙය වැදගත්ය.—නික්මයාම 5:2; ලූක් 9:18-20; 1 පේතෘස් 3:15.

දෙවි කවුද?

6, 7. (අ) දෙවි සම්බන්ධයෙන් කිනම් ප්‍රශ්නය පැනනඟීද? (ආ) යම් දේශනයකදී එක්තරා ආගමික පූජකයෙකු කළ ඉතා බරපතළ අතපසු කිරීම කුමක්ද?

6 ඕනෑ කරන්නේ විවරණිකාවේ 2වන පාඩම දෙවි කවුද යන අතිවැදගත් ප්‍රශ්නයට පිළිතුරු දෙයි. මෙය මූලික කාරණයකි. මන්ද යමෙකු දෙවි කවුද කියා දන්නේ නැත්නම් හෝ ඔහුගේ පැවැත්ම ගැන සැක කරනවා නම් සැබෑ දෙවිට නමස්කාර කිරීමට ඔහුට බැරිය. (රෝම 1:19, 20; හෙබ්‍රෙව් 11:6) කෙසේවෙතත්, ලොව වටා ජනයා දෙවි කවුද යන්න ගැන මත සිය ගණනක් දරති. (1 කොරින්ති 8:4-6) දෙවිගේ අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා සෑම ආගමික දර්ශනයකටම වෙනම පිළිතුරක් තිබේ. ක්‍රිස්තියානි ලෝකයේ ආගම් වැඩි ගණනක් දෙවිව සලකන්නේ ත්‍රිත්වයක් ලෙසටයි. එක්සත් ජනපදයේ එක්තරා පූජකයෙක් “ඔබ දෙවියන්ව දන්නවාද?” යන මැයෙන් දේශනයක් ඉදිරිපත් කළේය. මේ පූජකයා කිහිප වතාවක්ම හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලෙන් උපුටාගැනීම් කළත්, ඔහු එක වතාවක්වත් දිව්‍ය නාමය ගැන සඳහන් කළේ නැත. ඇත්තෙන්ම, ඔහු කියෙව්වේ යෙහෝවා හෝ යාහ්වේ වෙනුවට “ස්වාමීන්” යන අපැහැදිලි, නිර්නාමික පදය යොදා තිබෙන බයිබල් පරිවර්තනයකිනි.

7 මෙම පූජකයා යෙරෙමියා 31:33, 34 (නව අනුවාදය) උපුටා දැක්වූ අවස්ථාවේදී අතපසු කළේ මොනතරම් වැදගත් කාරණයක්ද! එහි සඳහන් වන්නේ මෙසේයි. “සමිඳාණන් [හෙබ්‍රෙව්, “යෙහෝවා”] හඳුනාගන්න කියා, එකිනෙකා තම තමාගේ අසල්වැසියාටද සහෝදරයාටද උගන්වන්නට වුවමනා වන්නේ නැත. මන්ද, ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලන්ම මා හැඳින ගනු ඇත. . . . මෙසේ පවසන්නේ ස්වාමීන් [හෙබ්‍රෙව්, යෙහෝවා] වන මමය.” ඔහු භාවිත කළ පරිවර්තනයෙන් යෙහෝවා යන සුවිශේෂී වූ දිව්‍ය නාමය ඉවත් කර ඇත.—ගීතාවලිය 83:17.

8. දෙවිගේ නාමය භාවිත කිරීමේ වැදගත්කම පැහැදිලිව පෙන්වා දෙන්නේ කුමකින්ද?

8 ගීතාවලිය 8:9 [NW] යෙහෝවාගේ නාමය භාවිත කිරීමේ වැදගත්කම කොතරම්ද කියා පෙන්වා දෙයි. “අපගේ ස්වාමි වූ යෙහෝවා, ඔබගේ නාමය මුළු පොළොවෙහි කොපමණ මහිමාන්විතද!” මෙය මේ සමඟ සසඳන්න. “අපගේ ස්වාමි වූ ස්වාමීන්, ඔබගේ නාමය මුළු පොළොවෙහි කොපමණ උතුම්ද!” (සංශෝධිත පැරණි සිංහල අනුවාදය, නව අනුවාදය, පොදු නව අනුවාදයද බලන්න.) එහෙත්, මුල් ලිපියේ සඳහන් වුණාක් මෙන් අප අපව ආත්මිකව ආලෝකනය කිරීමට දේවවචනයට ඉඩහරිනවා නම්, “දෙවි පිළිබඳ දැනුම” [NW] අපට අත් කරගත හැකියි. එහෙත්, දිව්‍ය නාමයේ වැදගත්කම පිළිබඳ අපගේ ප්‍රශ්නවලට විගස පිළිතුරු දෙන්නේ කිනම් බයිබල් අධ්‍යයන ආධාරකද?—හිතෝපදේශ 2:1-6.

9. (අ) දිව්‍ය නාමය පාවිච්චි කිරීමේ වැදගත්කම පැහැදිලි කිරීමට අපට උපකාරවත් වන්නේ කිනම් ප්‍රකාශනයද? (ආ) දෙවිගේ නාමයට ගෞරවය පෙන්වීමට පරිවර්තකයන් බොහෝදෙනෙකු අසමත් වී තිබෙන්නේ කෙසේද?

9 භාෂා 69කින් පරිවර්තනය කර ඇති සදහටම පවතින දිව්‍ය නාමය b (na, සිංහලෙන් නැත) නමැති විවරණිකාවට අපි අවධානය යොමු කරමු. එහි “දෙවිගේ නාමය—එහි අරුත හා උච්චාරණය” (පිටු 6-11) යන තේමාවෙන් යුත් කොටස පැහැදිලිව පෙන්වන්නේ හෙබ්‍රෙව් ටෙට්‍රාග්‍රැමටනය (ග්‍රීක් අර්ථයට අනුව “අකුරු හතර”) ඉපැරණි හෙබ්‍රෙව් පාඨය තුළ 7,000 වාරයක් පමණ දක්නට තිබෙන බවයි. එහෙත්, යුදෙව් ආගමේ සහ ක්‍රිස්තියානි ලෝකයේ පූජකයෝ සහ පරිවර්තකයෝ හිතාමතා තමන්ගේ බයිබල් පරිවර්තනවලින් එය ඉවත් කර ඇත. c දෙවිගේ නමින් ඔහුව ඇමතීම මොවුන් ප්‍රතික්ෂේප කරනවා නම්, තමන්ට දෙවි සමඟ පිළිගත් සම්බන්ධතාවක් තිබෙනවායයි පැවසීමට ඔවුන්ට හැක්කේ කෙසේද? ඔහුගේ අරමුණු මොනවාද කියාත් ඔහු කවුද කියාත් තේරුම්ගැනීමට මාර්ගය පාදන්නේ ඔහුගේ සැබෑ නාමයයි. එපමණක්ද නොව, දෙවිගේ නාමය පාවිච්චි කරන්නේවත් නැත්නම්, “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා” යනුවෙන් කියන යේසුස්ගේ ආදර්ශ යාච්ඤාවේ ඇති වටිනාකම කුමක්ද?—මතෙව් 6:9, NW; යොහන් 5:43; 17:6.

යේසුස් ක්‍රිස්තුස් යනු කවරෙක්ද?

10. යේසුස්ගේ ජීවිතය සහ දේවසේවය පිළිබඳව සම්පූර්ණ චිත්‍රයක් අපට ලබාගත හැක්කේ කිනම් ආකාරවලින්ද?

10 ඕනෑ කරන්නේ විවරණිකාවේ 3වන පාඩම “යේසුස් ක්‍රිස්තුස් කියන්නේ කාටද?” යන මාතෘකාවෙන් යුක්තයි. එහි ඡේද හයක් පමණක් යොදාගෙන යේසුස්ගේ ආරම්භය, ඔහු පොළොවට පැමිණීමේ අරමුණ යන කාරණා ගැන කෙටියෙන් කරුණු ගෙනහැර දක්වයි. කෙසේවෙතත්, ඔබට යේසුස්ගේ ජීවිතය පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ලබාගැනීමට වුවමනා නම් සුවිශේෂ වාර්තාවලට අමතරව භාෂාවන් 111කින් ලබාගත හැකිව තිබෙන මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති ඉතා වටිනා මෙවලමෙන් තොරතුරු සොයාගත හැක. d මෙම පොත, ක්‍රිස්තුස්ගේ ජීවිතය සහ ඉගැන්වීම් ගැන කාලයේ අනුපිළිවෙළින් දිග හැරී ඇති සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන අතර එය පදනම් වී ඇත්තේ සුවිශේෂ හතර මතය. යේසුස්ගේ ජීවිතයේ සිද්ධීන් සහ දේවසේවය සම්බන්ධ තොරතුරු පරිච්ඡේද 133කින් ආවරණය කර තිබේ. වෙනත් විග්‍රහාත්මක ආකාරයකින් මෙම චරිතය දෙස බැලීමට ඔබට තීක්ෂ්ණ බුද්ධිය පොතේ 2වන වෙළුමේ “යේසුස් ක්‍රිස්තුස් [Jesus Christ]” යන කොටස පරීක්ෂා කළ හැකියි.

11. (අ) යේසුස් ගැන තමන් විශ්වාස කරන දේ සම්බන්ධයෙන් ගත් කල, යෙහෝවාගේ සාක්ෂිකරුවන් වෙනස් වන්නේ කෙසේද? (ආ) ත්‍රිත්ව මූලධර්මය පැහැදිලි ලෙස නිෂ්ප්‍රභ කරන සමහරක් බයිබල් පාඨයන් කවරේද? තවද මේ සම්බන්ධයෙන් උපකාරවත් වන්නේ කිනම් ප්‍රකාශනයද?

11 යේසුස් පිළිබඳව ක්‍රිස්තියානි ලෝකයේ ඇති මහා මතභේදය කේන්ද්‍රගතව පවතින්නේ ඔහු “දෙවිගේ පුත්‍රයා” මෙන්ම “පුත්‍ර දෙවියන්” යන්න මතයි. වෙනත් වචනවලින් කියතොත් ඒ මතභේදයට හේතු වන්නේ ත්‍රිත්ව ඉගැන්වීමයි. කතෝලික සභාවේ ඉගැන්වීම් (සිංහලෙන් නැත) නමැති පොත එම ඉගැන්වීම හඳුන්වන්නේ “ක්‍රිස්තියානි ඇදහිල්ලේ ප්‍රධාන අභිරහස” ලෙසය. ක්‍රිස්තියානි ලෝකයේ ආගම්වලට වඩා වෙනස්ව යෙහෝවාගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ යේසුස් යනු දිව්‍ය ආරම්භයක් ඇති පුද්ගලයෙකු මිස දෙවි නොවන බවයි. මෙම විෂය ගැන ඉතා කදිම විග්‍රහයක් භාෂා 95කට පරිවර්තනය කර ඇති ඔබ ත්‍රිත්වය විශ්වාස කළ යුතුද? (සිංහලෙන් නැත) යන විවරණිකාවේ සොයාගත හැක. e ත්‍රිත්ව මූලධර්මය නිෂ්ප්‍රභ කිරීමට යොදාගෙන ඇති ශුද්ධ ලියවිලි පද ගණනාවක් එහි දක්නට තිබෙන අතර මාර්ක් 13:32 සහ 1 කොරින්ති 15:24, 28ද ඒ අතර වෙයි.

12. අපගේ අවධානය යොමු විය යුතු තවත් වැදගත් ප්‍රශ්නයක් වන්නේ කුමක්ද?

12 දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව ඉහත කරන ලද සාකච්ඡාවලින් අපට පැහැදිලිව යමක් කියාපායි. එනම්, බයිබලය ගැන හුරුවක් නැති අයට නිවැරදි දැනුම ලබාගැනීම පිණිස බයිබල් සත්‍යය දැනගැනීමට උපකාර කිරීමේ අටියෙන් අපට පෞද්ගලික අධ්‍යයනය කළ හැකි ක්‍රම තිබෙන බවයි. (යොහන් 17:3) එහෙත්, වසර ගණනාවක් පුරා ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කර තිබෙන අය ගැන කුමක් කිව හැකිද? කාලයක් පුරා බයිබල් දැනුම එක්රැස් කරගෙන තිබෙන ඔවුන් යෙහෝවාගේ වචනය පෞද්ගලිකව අධ්‍යයනය කිරීම කෙරෙහි තවමත් අවධානය යොමු කළ යුතුද?

‘නිරන්තර අවධානයක් යොමු කළ යුත්තේ’ ඇයි?

13. පෞද්ගලික අධ්‍යයනය ගැන ඇතමුන්ට ඇත්තේ කිනම් වැරදිසහගත දෘෂ්ටියද?

13 වසර ගණනාවක් පුරා සභාවේ සාමාජිකයන් ලෙස සිටි ඇතමුන් තමන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස පළමු වසර කිහිපය තුළදී ලබාගත් බයිබල් දැනුම මත හුදෙක් රඳා සිටීමේ පුරුද්දට වැටී තිබෙනවා වෙන්නට පුළුවන. ඒ නිසා ඔවුන් මෙසේ තර්ක කිරීමේ උගුලට පහසුවෙන් වැටිය හැකියි. “ඔය අලුත් අය වගේ ඔච්චර පාඩම් කරන්න නම් මට අවශ්‍ය නැහැ. ඇරත්, මම අවුරුදු ගණනාවක් තිස්සේ බයිබලය කී සැරයක් කියෙව්වද? ප්‍රකාශන කී සැරයක් පාඩම් කළාද?” මෙය හරියට මෙසේ කියනවා වැනියි. “දැන් මට ඉස්සර වගේ කෑම ගැන එච්චර හිතන්න ඕනේ නැහැ. මම ඉස්සර කොච්චර කාලා තියෙනවාද?” හොඳ සෞඛ්‍යයක් ඇතුව හා ක්‍රියාශීලීව සිටීම සඳහා පෝෂ්‍යදායක, හොඳින් පිළියෙළ කරන ලද ආහාරවලින් අපගේ ශරීරයට නිරන්තර පෝෂණයක් අවශ්‍ය බව අපි දනිමු. අපගේ ආත්මික සෞඛ්‍යය හා ශක්තිය හොඳ මට්ටමක පවත්වාගැනීමේදී මෙය ඊටත් වඩා කොතරම් සත්‍යයක් වෙනවාද!—හෙබ්‍රෙව් 5:12-14.

14. අප අප ගැනම නිරන්තර අවධානයක් යොමු කළ යුත්තේ ඇයි?

14 අප බොහෝ කලක් මුළුල්ලේ බයිබල් ශිෂ්‍යයන්ව සිටියත් නැතත්, එවකට මේරූ, වගකීම් හෙබවූ අවේක්ෂකයෙකුව සිටි තිමෝතිට පාවුල් දුන් උපදෙසට අපත් අවනත විය යුතුය. “ඔබ ගැනත් ඔබේ ඉගැන්වීම ගැනත් නිරන්තර අවධානයක් යොමු කරන්න. මේ දේවල් තුළ පවතින්න. එසේ කිරීමෙන් ඔබවත් ඔබට සවන් දෙන්නන්වත් ඔබ ගලවාගන්නෙහිය.” (1 තිමෝති 4:15, 16, NW) අප පාවුල්ගේ අවවාදය සිතට ගත යුත්තේ ඇයි? “යක්ෂයාගේ උපායන්ට [‘කපටි ක්‍රියාවලට’, NW පාද සටහන]” එරෙහිව හා “ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ට ආත්ම සමූහයන්ට” එරෙහිව සටන් කිරීමට අපට සිදු වන බවද පාවුල් ගෙනහැර දැක්වූ බව මතක් කරගන්න. තවද ප්‍රේරිත පේතෘස් අනතුරු ඇඟවූයේ යක්ෂයා “කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින්” සිටින බවයි. ඒ “කවරෙකු” අපගෙන් ඕනෑම කෙනෙකු වන්නට පුළුවන. කිසිම අනතුරක් වෙන එකක් නැහැ කියා සිතාගෙන අප උදාසීනව කටයුතු කිරීමම, ඔහු අපව ගිලීමට දරන වෑයමේ පළමු දොරටුව විවෘත කර දීමක් විය හැකියි.—එපීස 6:11, 12, NW; 1 පේතෘස් 5:8.

15. අපේ ආත්මික ආරක්ෂාව සඳහා තිබෙන්නේ මොනවාද? එය නඩත්තු කිරීමට අපට හැක්කේ කෙසේද?

15 එසේනම්, අපගේ ආරක්ෂාවට තිබෙන්නේ මොනවාද? ප්‍රේරිත පාවුල් අපට මතක් කර දෙන්නේ මෙයයි. “නපුරු දවසේදී විරෝධය දැක්වීමට ඔබට හැකි වන පිණිස ඔබ සියල්ල සම්පූර්ණ ලෙස කළායින් පසු, ස්ථිරව සිටීමට හැකි වන පිණිස, දෙවිගෙන් වූ මුළු යුද්ධායුධ කට්ටලයම ගන්න.” (එපීස 6:13, NW) එම ආත්මික යුද්ධායුධ කට්ටලයේ ප්‍රබලත්වය රඳා පවතින්නේ එය මුල් අවස්ථාවේදී තිබූ තත්වය මත නොව එය නිතිපතා ක්‍රමයකට නඩත්තු කිරීම මතයි. එම නිසා, සම්පූර්ණ ඇඳුම් කට්ටලයට දෙවිගේ වචනය පිළිබඳ අලුතෙන්ම එකතු කරන ලද දැනුම ඇතුළත් විය යුතුය. මෙය මගින් එක්තරා වැදගත් කරුණකට අපගේ මනස් යොමු කෙරේ. එය නම්, යෙහෝවා සිය වචනයෙන් හා විශ්වාස වූ නුවණ ඇති දාස පංතිය මගින් හෙළි කරන ලද සත්‍යතාවන් පිළිබඳ අවබෝධය අප උරාගනිමින් සිටිය යුතු බවයි. අපගේ ආත්මික යුද්ධායුධ කට්ටලය නඩත්තු කිරීම පිණිස නිතිපතා බයිබලයද බයිබල් ප්‍රකාශනද පෞද්ගලිකව අධ්‍යයනය කිරීම අතිවැදගත්ය.—මතෙව් 24:45-47; එපීස 6:14, 15.

16. අපගේ “ඇදහිල්ල නමැති විශාල පලිහ” හොඳින් නඩත්තු කරන බවට අපට ස්ථිර විය හැක්කේ කෙසේද?

16 අපව ආරක්ෂා කරන ආයුධ කට්ටලයේ අතිවැදගත් අංගයක් වන “ඇදහිල්ල නමැති විශාල පලිහ” ගැන පාවුල් සඳහන් කරයි. බොරු චෝදනා සහ ඇදහිල්ල අත්හැර ගිය අයගේ ඉගැන්වීම් නමැති සාතන්ගේ ගිනිමය මිසයිල මෙම පලිහ මගින් ඉවතට යන්න සලස්වා නිවා දමන්නට අපට හැකියි. (එපීස 6:16, NW) අප අපගේ ඇදහිල්ල නමැති පලිහ කොතරම් ශක්තිමත්ද යන්න පරීක්ෂා කිරීමත්, එය නඩත්තු කර ශක්තිමත් කරගැනීම සඳහා කිනම් පියවර ගත හැකිද යන්න ගැන සෝදිසි කර බැලීමත් අත්‍යවශ්‍යය. නිදසුනක් ලෙස ඔබට ඔබෙන්ම මෙසේ අසන්නට පුළුවන. ‘මුරටැඹ යොදාගෙන සතිපතා කරන බයිබල් අධ්‍යයනයට මම සූදානම් වන්නේ කෙසේද? රැස්වීම අතරතුරේදී “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස” හොඳින් කල්පනා කර පිළිතුරු දීම සඳහා මා ප්‍රමාණවත් අයුරින් සූදානම් වී තිබෙනවාද? සඳහන් කර ඇති මුත් උපුටා දක්වා නැති ශුද්ධ ලියවිලි පද මා බයිබලය පෙරළා කියවනවාද? රැස්වීමේදී උද්‍යෝගයෙන් යුතුව සහභාගි වීමෙන් මා අනුන්ව දිරිගන්වනවාද?’ අපගේ ආත්මික ආහාර ඝනය. ඒවායින් පූර්ණ ප්‍රයෝජන ගැනීමට ඒවා හොඳින් ජීර්ණය විය යුතුය.—හෙබ්‍රෙව් 5:14; 10:24.

17. (අ) අපගේ ආත්මිකත්වය දුර්වල කිරීමට උත්සාහ දැරීමේදී සාතන් යොදාගනිමින් සිටින්නේ කිනම් විෂක්ද? (ආ) සාතන්ගේ විෂ දළ ප්‍රහාරයට එරෙහිව තිබෙන විෂ නාශක ඖෂධය කුමක්ද?

17 පහත වැටුණු මාංසයේ දුර්වලකම් සාතන් දනී. තවද ඔහුගේ උපායන් ඉතා සටකපටය. ඔහු තම නපුරු බලපෑම පතුරුවන එක් ක්‍රමයක් වන්නේ, රූපවාහිනියේ, අන්තර් ජාලයේ, වීඩියෝ පටවල සහ මුද්‍රිත ප්‍රකාශනවල ඉතා පහසුවෙන් කාමුක දර්ශන දැකබලා ගන්නට සැලැස්වීමයි. ඇතැම් ක්‍රිස්තියානීන් තමන්ගේ ආරක්ෂක ස්ථාවරය රැක නොගෙන තමන්ව දුර්වල කරන්නට මෙම විෂට ඉඩහැර තිබෙන අතර මෙය සභාවේ වරප්‍රසාද අහිමි වීමට හෝ ඊටත් වඩා බරපතළ විපාකවලට මුහුණ දීමටත් හේතු වී ඇත. (එපීස 4:17-19) සාතන්ගේ විෂ දළවල ප්‍රහාරයට එරෙහිව තිබෙන විෂ නාශක ඖෂධය කුමක්ද? අප අපගේ නිතිපතා බයිබල් අධ්‍යයනය, අපගේ ක්‍රිස්තියානි රැස්වීම් සහ දෙවිගෙන් ලැබෙන සම්පූර්ණ යුද්ධායුධ කට්ටලය නොසලකා නොහැරිය යුතුයි. මෙය, හරි වැරැද්ද අතර වෙනස වටහාගැනීමටත් දෙවි වෛර කරන දේට වෛර කිරීමටත් අපට හැකියාව ලබා දෙයි.—ගීතාවලිය 97:10; රෝම 12:9.

18. ‘ආත්මයේ කඩුව’ අපගේ ආත්මික සටනට අපට උපකාරවත් විය හැක්කේ කොහොමද?

18 අප නිතිපතා අපගේ පෞද්ගලික අධ්‍යයනයේ යෙදෙනවා නම්, දේවවචනය පිළිබඳව අප ලබා ඇති නිවැරදි දැනුම මගින් ස්ථිර ලෙස අපවම ආරක්ෂා කරගැනීමට අපට හැකි වෙනවා පමණක් නොව, ‘දෙවිගේ වචනය නමැති ආත්මයේ කඩුව’ මගින් ප්‍රබල පහරවල් එල්ල කරන්නටද හැකි වෙනවා ඇත. දෙවිගේ වචනය, “කොයිම දෙමුහත් කඩුවකටත් වඩා තියුණුය. ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන් කරන තරමට කාවදින්නේය. සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.” (එපීස 6:17; හෙබ්‍රෙව් 4:12) අප එම “කඩුව” භාවිත කිරීමෙහිලා දක්ෂයන් වෙනවා නම් අපව වරදට පෙලඹෙන අවස්ථාවන් උදා වන විට හානියක් නැහැ කියා පෙනෙන්ට තිබෙන, නැත්නම් අපගේ සිත් ඇදගත හැකි වූ දේවල නියම ස්වරූපය පැහැදිලිව දැකගැනීමටද අපට හැකි වෙනවා ඇත. එය හරියට කඩුවකින් ඒවා පසාරු කරගෙන ගොස් නියම ස්වභාවය අපටම හෙළි වන්නාක් මෙනි. එපමණක්ද නොව නපුරාගේ මර උගුල්වලට අසු විය හැකි මලපත් ලෙසද අප ඒවා දකිනවා ඇත. නපුරු දේ ප්‍රතික්ෂේප කර යහපත් දේ කිරීමට අපට උපකාර කරන්නේ අප තුළ ගබඩා කරගෙන ඇති බයිබල් දැනුම හා අවබෝධයයි. එසේනම් අප සියල්ලන්ම අපගෙන් මෙසේ අසාගත යුතුය. ‘මගේ කඩුව තියුණුද, මොට්ටද? යම් වැරදි අදහසකට පහර දීමට මාව ශක්තිමත් කරවන බයිබල් පද මතක තබාගැනීම මට අමාරු දෙයක් වී තිබෙනවාද?’ එසේනම්, බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කිරීමේ හොඳ පුරුදු දිගටම පවත්වාගනිමින් යක්ෂයාට එරෙහිව සිටිමු.—එපීස 4:22-24.

19. අප අපගේ පෞද්ගලික අධ්‍යයනයේ යෙදෙනවා නම්, අපට කිනම් ප්‍රයෝජන අපේක්ෂා කළ හැකිද?

19 පාවුල් මෙසේ ලීවේය. “මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන් දෙන ලදි. එය, ඉගැන්වීමටත්, තරවටු කිරීමටත්, දේවල් ඍජුව තැබීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්‍රයෝජනවත්ය. එමගින් දෙවිගේ මිනිසා, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම සම්පූර්ණයෙන් සමර්ථව මුළුමනින්ම සන්නද්ධව සිටින්නේය.” තිමෝතිට ඔහු කී වචන අප අපේ සිතටගන්නවා නම්, අපට අපේම ආත්මිකත්වය ශක්තිමත් කරගත හැකි අතර අපගේ දේවසේවය වඩාත් බලපෑමෙන් යුක්තව කළ හැකි වෙයි. ආත්මික මනසක් ඇති වැඩිමහල්ලන් සහ සභා සේවකයන් සභාවට මහත් ප්‍රයෝජනයක් ගෙන දිය හැකි අතර අප සියලුදෙනාටම ඇදහිල්ලේ ස්ථිරව සිටීමටද හැකි වේ.—2 තිමෝති 3:16, 17, NW; මතෙව් 7:24-27.

[පාදසටහන්වල]

a සාමාන්‍යයෙන්, ඕනෑ කරන්නේ විවරණිකාව අධ්‍යයනය කරන අලුතින් උනන්දුව දක්වන කෙනෙක්, සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොත ඊළඟට පාඩම් කරයි. මේ ප්‍රකාශන දෙකම පළ කර තිබෙන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසිනි. ආත්මික ප්‍රගතියට හරස් වන්නාවූ බාධාවන් ඉවත් කරගැනීමට ඒවායේ තිබෙන යෝජනා උපකාරවත් වනු ඇත.

b යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලදි. ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය [it, සිංහලෙන් නැත] නමැති ප්‍රකාශනය තමන්ගේ භාෂාවෙන් තිබෙන අයට එහි 2වන වෙළුමේ “යෙහෝවා [Jehovah]” යන මාතෘකාව යටතේ බැලිය හැක. ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොතේ පිටු 111-14ද බලන්න.

c ස්පාඤ්ඤ හා කැටලෝනියන් පරිවර්තනයන් කිහිපයක හෙබ්‍රෙව් ටෙට්‍රාග්‍රැමටනය “යාවේ,” “යාහ්වේ,” “ජාහ්වේ” සහ “ජෙහෝවා” යනුවෙන් පරිවර්තනය කර ඇති බව විශේෂයෙන් සඳහනක් කළ යුතුය. මෙසේ කිරීමෙන් ඔවුන් පොදු පිළිවෙතෙන් බැහැරව ක්‍රියා කර ඇත.

d යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

e යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

ඔබට මතකද?

• බලපෑමෙන් යුත් පෞද්ගලික අධ්‍යයනයකට දායක වන්නේ කිනම් තත්වයන්ද?

• දෙවිගේ නාමය සම්බන්ධව බොහෝ පරිවර්තකයන් කර ඇති වරද කුමක්ද?

• ත්‍රිත්ව ඉගැන්වීම නිෂ්ප්‍රභ කිරීමට ඔබ පාවිච්චි කරන බයිබල් පද මොනවාද?

• අප වසර ගණනාවක් පුරා සත්‍ය ක්‍රිස්තියානීන්ව සිටියද, සාතන්ගේ උපායන්වලින් අපවම ආරක්ෂා කරගැනීම සඳහා අප කළ යුත්තේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[19වන පිටුවේ පින්තූර]

බලපෑමෙන් යුත් පෞද්ගලික අධ්‍යයනයක් සඳහා සුදුසු වටපිටාවක් අවශ්‍ය වන අතර හැකි තරම් බාධාවන් අවම කරගත යුතුයි

[23වන පිටුවේ පින්තූර]

ඔබගේ “කඩුව” තියුණුද, මොට්ටද?