Skip to content

පටුනට යන්න

දේවවචනය පෞද්ගලිකව අධ්‍යයනය කර තෘප්තිය ලබන්න

දේවවචනය පෞද්ගලිකව අධ්‍යයනය කර තෘප්තිය ලබන්න

දේවවචනය පෞද්ගලිකව අධ්‍යයනය කර තෘප්තිය ලබන්න

“ඔබගේ කර්මාන්ත සියල්ල ගැන භාවනා කරන්නෙමි. ඔබගේ ක්‍රියා ගැන මෙනෙහි කරන්නෙමි.”—ගීතාවලිය 77:12.

1, 2. (අ) මෙනෙහි කිරීම සඳහා අප කාලය වෙන් කරගත යුත්තේ ඇයි? (ආ) ‘මෙනෙහි කිරීම’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

 යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් වශයෙන්, අපගේ ප්‍රධානතම සැලකිල්ල යොමු විය යුත්තේ දෙවි සමඟ ඇති අපගේ සම්බන්ධතාව හා ඔහුට සේවය කිරීමට අප තුළ ඇති චේතනාව කෙරෙහිය. කෙසේවෙතත්, අදදින වැඩිදෙනා ජීවත් වන්නේ මෙනෙහි කිරීම සඳහා වේලාවක් වෙන් කිරීමට කොහෙත්ම ඉඩ කඩ ලබා නොදෙන ඉතා කාර්ය බහුල සමාජයකය. වෙළඳපොළේ ඇති සියලුම බඩු තමන්ගේ නිවසට ගෙන ඒමේ අටියෙන් ජීවිත ගමනේ හති දමමින් ඒවා පසුපස දිව යන ඔවුහු, කිසිම තේරුමක් හෝ හරයක් නැති විනෝද සාගරවල කිමිදෙති. කිසිම ඵලක් නැති එවැනි දේවලින් වැළකී සිටීමට අපට හැක්කේ කෙසේද? කෑම බීම වැනි අත්‍යවශ්‍ය කටයුතු සඳහා අප සෑම දවසකම යම් නිශ්චිත කාලයක් මිඩංගු කරනවාක් මෙන්ම, යෙහෝවා කළ දේවල් සහ කටයුතු කළ ආකාරයන් ගැන මෙනෙහි කිරීමටද කාලය මිඩංගු කළ යුතුය.—ද්විතීය කථාව 8:3; මතෙව් 4:4.

2 ඔබ කවදා හෝ මොහොතකට නැවතී මෙනෙහි කර තිබෙනවාද? මෙනෙහි කිරීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? එක් ශබ්දකෝෂයකට අනුව මෙම වචනයෙන් අර්ථවත් වන්නේ “යමෙකුගේ සිතිවිලි යමක් මත නාභිගත කිරීමයි; ගැඹුරට කල්පනා කිරීමයි.” තවද යම් තොරතුරු සලකා බැලීම, විශේෂයෙන් නිසසලව, බැරෑරුම් හැඟීමකින් යුතුව මෙන්ම පරෙස්සමින් හා ගැඹුරට යමක් ගැන සිතා බැලීමයි. මෙය අපට අතිශයින් වැදගත් වන්නේ මන්ද?

3. ආත්මික දියුණුව ලබාගැනීම සමඟ ඍජුවම සම්බන්ධ වී ඇත්තේ කුමක්ද?

3 ප්‍රේරිත පාවුල් සිය හවුල් සේවක තිමෝතිට ලියූ දෙයින් සැලකිය යුතු එක් කාරණයක් අපට මතක් කර දිය යුතුය. “මා එන තුරු, ප්‍රසිද්ධියේ කියවීමෙහිද අනුශාසනා කිරීමෙහිද ඉගැන්වීමෙහිද මහත් ඕනෑකමින් දිගටම යෙදී සිටින්න. . . . ඔබේ දියුණුව සියල්ලන්ටම පෙනෙන පිණිස, මේ දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්න. ඒ දේවල් තුළ නිමග්න වී සිටින්න.” එසේය, දියුණුව හා ප්‍රගතිය අපේක්ෂා කෙරිණි. එලෙසම පාවුල්ගේ වචනවලින් පෙන්වූයේ ආත්මික දේවල් ගැන ගැඹුරට කල්පනා කිරීම සහ දියුණුවක් ලැබීම අතර ඍජු සම්බන්ධතාවක් තිබූ බවයි. එය අදදිනත් සත්‍යයකි. ආත්මික දියුණුව ලැබීමෙහිලා තෘප්තියක් භුක්ති විඳීමට නම්, දෙවිගේ වචනයට සම්බන්ධ කාරණා ගැන අප නොකඩවා “ගැඹුරින් කල්පනා” කළ යුතුය. ඒ තුළ “නිමග්න” විය යුතුය. —1 තිමෝති 4:13-15, NW.

4. නිතිපතා යෙහෝවාගේ වචනය ගැන ගැඹුරින් කල්පනා කර බැලීමට ආධාරකයන් සේ ඔබට යොදාගත හැකි සැපයුම් මොනවාද?

4 මෙනෙහි කිරීම සඳහා ඔබට හොඳම කාලය තෝරාගැනීම රඳා පවතින්නේ ඔබ මත සහ ඔබගේ පවුලේ ජීවන රටාව මතයි. බොහෝදෙනෙක් දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම නමැති පොත කියවා සෑම උදෑසනකම බයිබලයේ පාඨයක් ගැඹුරින් මෙනෙහි කරති. ලොව වටා බෙතෙල් නිවාසවල ස්වේච්ඡාවෙන් සේවය කරන 20,000ක් පමණ දෙනෙකු තම දවස ආරම්භ කරන්නේ විනාඩි 15කට බයිබල් පාඨයක් සලකා බලමිනි. සෑම උදෑසනකම තමාගේම වචනවලින් විස්තරයක් ඉදිරිපත් කරන්නේ බෙතෙල් සාමාජිකයන්ගෙන් ස්වල්පදෙනෙකු වුවත්, පවසනු ලබන හා කියවනු ලබන දේ ගැන සෙසු අය ගැඹුරින් කල්පනා කරති. තවත් සාක්ෂිකරුවන් යෙහෝවාගේ වචනය ගැන ගැඹුරින් කල්පනා කරන්නේ තම රැකියාවට යන අතරතුරය. ඔවුන් එසේ කරන්නේ සමහරක් භාෂාවලින් ලබාගත හැකිව තිබෙන බයිබලය සහ මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල පටිගත කරන ලද කැසට් පටවලට සවන් දීමෙනි. ගෘහිණියන්ගෙන් බොහෝදෙනෙකු මෙය කරන්නේ ගෙදර දොරේ වැඩ කටයුතු කරන අතරතුරය. ඇත්ත වශයෙන්ම ඔවුන් මෙහිදී කරන්නේ ගීතිකාකාර ආසාප්ව අනුකරණය කිරීමයි. ඔහු ලීවේ මෙසේයි. “යාහ්ගේ ක්‍රියා සඳහන් කරන්නෙමි. මක්නිසාද ඔබගේ පුරාණ ආශ්චර්යයන් සිහි කරන්නෙමි. ඔබගේ කර්මාන්ත සියල්ල ගැන භාවනා කරන්නෙමි. ඔබගේ ක්‍රියා ගැන මෙනෙහි කරන්නෙමි.”—ගීතාවලිය 77:11, 12.

ඒකාන්ත ප්‍රතිඵල ලැබෙන්නේ හරි ආකල්පයකිනි

5. පෞද්ගලික පාඩම අපහට වැදගත් විය යුත්තේ ඇයි?

5 රූපවාහිනි යන්ත්‍ර, වීඩියෝ සහ පරිගණකවලින් ගහන අපගේ මේ නවීන යුගයේ කියවීම ඉතා බරපතළ ලෙස දුර්වල වී ඇත. නැතහොත් කියවීමේ සෑහෙන පසුබැසීමක් දක්නට තිබේ. මෙය නම් යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර කොහෙත්ම තිබිය යුතු දෙයක් නොවේ. ඇරත්, බයිබලය කියවීම හරියට යෙහෝවා හා අපව සම්බන්ධ කරන පෙකණි වැලක් වැනිය. මීට වසර දහස් ගණනාවකට පෙර, ඊශ්‍රායෙල්හි නායකයා ලෙස මෝසෙස් වෙනුවට යෝෂුවා පත් විණි. යෙහෝවාගේ ආශීර්වාද ලබාගැනීමට දෙවිගේ වචනය යෝෂුවා විසින්ම කියවීම අවශ්‍ය විය. (යෝෂුවා 1:8; ගීතාවලිය 1:1, 2) මෙය අදදිනත් අවශ්‍යතාවකි. කෙසේවෙතත්, ඇතැම්හු තමන් ලබා තිබෙන සීමිත අධ්‍යාපනය නිසා කියවීමේදී දුෂ්කරතා අද්දකිති. නැතහොත් එය මහා මානසික බරක් ලෙස සලකති. එසේනම්, දේවවචනය කියවීමටත් අධ්‍යයනය කිරීමටත් අප තුළ වුවමනාවක් ඇති කරගන්න උපකාරවත් වන්නේ කුමක්ද? මීට පිළිතුර අපට හිතෝපදේශ 2:1-6හි වාර්තා කර ඇති සාලමොන්ගේ වචනවලින් සොයාගත හැකියි. කරුණාකර ඔබේ බයිබලය විවෘත කර මෙම පද කියවන්න. අනතුරුව අපි ඒවා එක්ව සාකච්ඡා කරමු.

6. දෙවි පිළිබඳ දැනුම කෙරෙහි අපට තිබිය යුත්තේ කිනම් ආකල්පයක්ද?

6 මුලින්ම අපට මෙම අවවාදය දැකගත හැකියි. ‘මාගේ පුත්‍රය, ඔබ මාගේ කීම් පිළිගෙන, මාගේ ආඥා ඔබ වෙත තබාගෙන, ප්‍රඥාවට ඇහුම්කන් දී [අවධානය යොමු කර, NW] ඥානයට ඔබේ සිත යොමු [විචාර බුද්ධියට ඔබේ හෘදය නැඹුරු, NW] කරන්නෙහි නම්, . . .’ (හිතෝපදේශ 2:1, 2) අපට මෙම වචනවලින් ඉගෙනගත හැක්කේ කුමක්ද? එය නම්, අප එක් එක්කෙනාට පෞද්ගලික වශයෙන් මේ ගැන වගකීමක් පැවරෙන බවයි. මෙහි එක්තරා කොන්දේසියක් තිබේ. ‘ඔබ මාගේ කීම් පිළිගන්නවා නම්’ යන්න ඒ කොන්දේසියයි. මෙහි “නම්” යන්න මහත් වැදගත්කමකින් යුත් යෙදුමකි. මන්දයත් මිනිස් සංහතියේ වැඩිදෙනෙකු දේවවචනයට අවධානය යොමු නොකරන නිසාය. අප දේවවචනය අධ්‍යයනය කිරීමෙහිලා ප්‍රීතිය අත් කරගැනීමට නම්, අප යෙහෝවාගේ කියමන් කැමැත්තෙන්ම පිළි අරගෙන, අපට අහිමි වෙනවාට අප අකමැති නිධානයක් සේ එය සැලකිය යුතුය. අපගේ දවසේ එදිනෙදා වැඩකටයුතුවල වැඩ බහුලකම නිසා දේවවචනය අධ්‍යයනය කිරීම අතපසු නොකිරීමට වගබලා ගත යුතුය. එය අතපසු කළහොත්, ප්‍රතිඵලයක් ලෙස දේවවචනය ගණන් නොගෙන සිටීමට හා එහි ඇති වටිනාකම සැක කිරීමට පවා අප තුළ නැඹුරුවාවක් ඇති වෙන්නට පුළුවන.—රෝම 3:3, 4.

7. අප අපට හැකි සෑම අවස්ථාවකදීම ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීමත් ඒවාට අවධානය යොමු කිරීමත් අවශ්‍ය වන්නේ මන්ද?

7 අපගේ ක්‍රිස්තියානි රැස්වීම්වලදී දේවවචනය පහදා දෙන විට, අප ඊට සැබවින්ම ‘අවධානය යොමු කරනවාද?’ ඊට පරෙස්සමින් සවන් දෙනවාද? (එපීස 4:20, 21) විචාර බුද්ධිය ලැබීම සඳහා අප ‘අපේ හෘදයන් නැඹුරු කරනවාද?’ සමහරවිට කථිකයා වැඩි අද්දැකීම් ලබා නැති කෙනෙකු වෙන්නට පුළුවනි. නමුත් ඔහු දේවවචනය හසුරුවමින් සිටින විට, ඔහු අපගේ තියුණු හා පූර්ණ අවධානය ලැබීමට වටී. ඇත්තෙන්ම, යෙහෝවාගේ ප්‍රඥාවට අවධානය දෙන පිණිස අප හැකි සෑම විටකම ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණ සිටිය යුතුයි. (හිතෝපදේශ 18:1) පොදු යුගයේ 33දී යෙරුසලමේ උඩු මහලක පැවති රැස්වීමට ඒම අතපසු කළ අය අද්දුටු බලාපොරොත්තු කඩවීම ගැන සිතා බලන්න! අපගේ රැස්වීම් එම පෙන්තකොස්ත රැස්වීම තරම් උත්කර්ෂවත් අවස්ථාවක් නොවුණද, අපගේ ප්‍රධාන ග්‍රන්ථය වන බයිබලයේ කාරණා එහිදී සාකච්ඡා කෙරේ. මෙසේ, අප අපගේ බයිබල් දිගහැර කියවමින් රැස්වීම්වලදී අවධානය යොමු කරන්නේ නම්, සෑම රැස්වීමක්ම අපට මහත් ආශීර්වාදයක් වනවා නොඅනුමානය.—ක්‍රියා 2:1-4; හෙබ්‍රෙව් 10:24, 25.

8, 9. (අ) පෞද්ගලික අධ්‍යයනය සඳහා අපෙන් අවශ්‍ය කරවන්නේ කුමක්ද? (ආ) රත්‍රන්වල වටිනාකම ඔබ දෙවි පිළිබඳ අවබෝධයක් ලැබීම සමඟ සසඳන්නේ කෙසේද?

8 මෙම ප්‍රඥාවන්ත රජුගේ ඊළඟ වචන මේවායි. ‘එසේය, ඔබ නුවණට හඬගසා, ඥානයට [විචාර බුද්ධියට, NW] ඔබේ ශබ්දය නඟන්නෙහි නම්, . . .’ (හිතෝපදේශ 2:3) මෙම වචනවලින් අපහට ගොඩනඟා ගැනීමට උනන්දු කරන ආකල්පය හෝ ස්ප්‍රීතුව කුමක්ද? එය නම්, යෙහෝවාගේ වචනය තේරුම්ගැනීමට ඇති දැඩි ආශාවයි. ඉන් අඟවන්නේ විචාර බුද්ධිය අත් කරගැනීමේ අටියෙන් එනම් යෙහෝවාගේ කැමැත්ත කුමක්ද කියා වටහාගැනීම සඳහා අධ්‍යයනය කිරීමට ඇති කැමැත්තයි. ඇත්ත වශයෙන්ම මෙයට ප්‍රයත්නයක් දැරීම අවශ්‍ය කරන අතර, එය අපව සාලමොන්ගේ ඊළඟ වචන හා නිදර්ශනයක් කරා ගෙන යයි.—එපීස 5:15-17.

9 ඔහු තවදුරටත් මෙසේ කියයි. ‘ඔබ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාග කරන්නෙහි නම්, . . .’ (හිතෝපදේශ 2:4) මින් අපගේ මනසට නඟන්නේ වටිනවායයි කියනු බලන රිදී සහ රත්‍රන් වැනි ලෝහ වර්ග සොයාගැනීම සඳහා සියවස් ගණනාවක්ම ආකර කැණූ මිනිසුන්වය. මිනිසුන් රත්‍රන් ලබාගැනීම සඳහා මිනී මරා ඇත. තවත් අය ඒවා සොයාගැනීම සඳහා මුළු ජීවිත කාලයම වැය කර තිබේ. එහෙත් රත්‍රන්වල ඇති සැබෑ වටිනාකම කුමක්ද? ඔබ කාන්තාරයක අතරමං වී පිපාසයෙන් මිය යමින් සිටින්නේ නම්, ඔබ වඩාත් කැමති රත්‍රන් කැබැල්ලකටද නැතහොත් වතුර වීදුරුවකටද? එහෙත් රත්‍රන්වල ඇති ආරූඪ කරනු ලැබූ හා වෙනස් වන වටිනාකම නිසා මිනිසුන් මොනතරම් ජ්වලිතයකින් එය සෙවීමට මහන්සි වී තිබෙනවාද! a එසේනම්, අප ඊටත් වඩා කොතරම් ජ්වලිතයකින් යුතුව ප්‍රඥාව, විචාර බුද්ධිය සොයා දෙවි සහ ඔහුගේ කැමැත්ත පිළිබඳව අවබෝධය ලබාගත යුතුද! එවන් සෙවිල්ලකින් අපට ලැබෙන සමහරක් ප්‍රයෝජන මොනවාද?—ගීතාවලිය 19:7-10; හිතෝපදේශ 3:13-18.

10. අප දේවවචනය අධ්‍යයනය කරනවා නම්, අපට සොයාගත හැක්කේ කුමක්ද?

10 සාලමොන්ගේ අවවාදයේ තවදුරටත් මෙසේ කියැවේ. ‘ඔබ යෙහෝවා කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය. දෙවි හැඳිනගැනීමටද [දෙවි පිළිබඳ දැනුම ලැබීමටද, NW] පැමිණෙන්නෙහිය.” (හිතෝපදේශ 2:5) එය මොනතරම් පුදුමසහගත සිතිවිල්ලක්ද! එනම්, පව්කාර මිනිසුන් වන අපට විශ්වයේ පරමාධිපති වන යෙහෝවා “දෙවි පිළිබඳ දැනුම” ලබාගත හැකියි. (ගීතාවලිය 73:28; ක්‍රියා 4:24) දාර්ශනිකයෝ සහ ලෝකයේ ප්‍රඥාවන්ත මිනිසුන් ලෙස හඳුන්වනු ලැබ සිටින අය, ශතවර්ෂ ගණනාවක් පුරා ජීවිතයේ සහ විශ්වයේ අභිරහස් තේරුම්ගැනීමට වෑයම් කරමින් සිටිති. කෙසේවෙතත්, ඔවුහු “දෙවි පිළිබඳ දැනුම” ලබාගැනීමට අපොහොසත් වී සිටිති. ඒ මන්ද? එය වසර දහස් ගණනාවක් තිස්සේ දේවවචනය වන බයිබලයෙන් ලබාගත හැකිව තිබුණත්, ඉතා සරල දෙයක් ලෙස එය සලකා බැහැර කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් එහි තේරුම වටහාගැනීමට ඔවුන්ට නොහැකි වී තිබේ.—1 කොරින්ති 1:18-21.

11. පෞද්ගලික අධ්‍යයනයෙන් ලබාගත හැකි සමහරක් ප්‍රයෝජන මොනවාද?

11 සාලමොන් හුවා දක්වන තවත් වැදගත් දිරිගැන්වීමක් මෙන්න. “ප්‍රඥාව දෙන්නේ යෙහෝවාය. ඔහුගේ මුඛයෙන් දැනගැන්මද ඥානයද [විචාර බුද්ධියද, NW] පැමිණෙන්නේය.” (හිතෝපදේශ 2:6) යෙහෝවා සිය කැමැත්තෙන්ම ඉතා ත්‍යාගශීලී ලෙස ප්‍රඥාව, දැනුම සහ විචාර බුද්ධිය දෙයි. එය දෙන්නේ ඒවා සොයන්නට කැමති වන ඕනෑම පුද්ගලයෙකුටය. ඇත්ත වශයෙන්ම, දේවවචනය පෞද්ගලිකව අධ්‍යයනය කරන්නට ප්‍රයත්නය, හික්මවීම සහ පරිත්‍යාගය අවශ්‍ය කළද, එසේ කිරීම ඉතා වැදගත් දෙයක් සේ අගය කිරීමට අපට සෑම හේතුවක්ම තිබේ. අඩු තරමින් අපට මුද්‍රිත බයිබලයේ පිටපත් ඇත. ඉපැරණි කාලවලදී කරනු ලැබුවාක් මෙන්, එය අතින් පිටපත් කරගන්නට අපට අවශ්‍ය වන්නේ නැත.—ද්විතීය කථාව 17:18, 19.

යෙහෝවාට ඔබින ලෙස ගමන් කිරීමට

12. දෙවි පිළිබඳ දැනුම අත් කරගැනීමෙහිලා අපගේ චේතනාව විය යුත්තේ කුමක්ද?

12 අප කරන පෞද්ගලික පාඩම පිටුපස ඇති අපේ චේතනාව විය යුත්තේ කුමක්ද? අනික් අයට වඩා කැපීපෙනෙන්නටද? විශාල දැනුම් සම්භාරයක් තියෙනවා කියා පෙන්වන්නටද? ඇවිදින බයිබල් විශ්වකෝෂයක් වීමටද? නැත. අපගේ ඉලක්කය වන්නේ ක්‍රිස්තුස් සතුව තිබූ අනුන්ව ප්‍රබෝධවත් කළ ඒ කදිම ස්ප්‍රීතුව විදහාපාමින්, අනුන්ට උපකාර කිරීමට සෑමවිටකම සෑදී පැහැදී සිටිමින් ක්‍රිස්තියානි ධර්මය ගැන කතා කරන්නටය. එමෙන්ම එය පිළිපදින්නටය. (මතෙව් 11:28-30) ප්‍රේරිත පාවුල් අනතුරු ඇඟවූයේ මෙසේයි. “දැනුම අහංකාරය උපදවන්නේය. නමුත් ප්‍රේමය කෙනෙකුව ගොඩනංවන්නේය.” (1 කොරින්ති 8:1, NW) එබැවින්, මෝසෙස් යෙහෝවාට කතා කළ විට ඔහුට තිබූ යටහත් පහත් ආකල්පයම අපටත් තිබිය යුතුයි. “ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබෙන හැටියට මා විසින් ඔබ හැඳිනගන්නා පිණිස [කරුණාකර, NW] ඔබගේ මාර්ගය දැන් මට පෙන්නුව මැනව.” (නික්මයාම 33:13) එසේය, අප දැනුම ලැබීමට ආශා කළ යුත්තේ මිනිසුන් ඉදිරියෙහි කැපීපෙනීමට නොව දෙවිව සතුටු කිරීමටයි. දෙවිට ඔබින ඔහුගේ යටහත් පහත් සේවකයන් වීමටයි අපට වුවමනා වන්නේ. එම ඉලක්කය අත් කරගැනීමට අපට හැක්කේ කෙසේද?

13. දෙවිට ඔබින සේවකයෙකු බවට යමෙකු පත්වීමට නම් අවශ්‍ය කරන්නේ කුමක්ද?

13 දෙවිව සතුටු කළ හැකි අන්දම ගැන පාවුල් තිමෝතිට අවවාද කළේ මෙලෙසයි. “සත්‍යයේ වචනය හරියාකාරව පැහැදිලි කරන, ලැජ්ජා වීමට කිසි හේතුවක් නැති වැඩකාරයෙකු සහ අනුමැතිය ලැබූ තැනැත්තෙකු ලෙස දෙවි ඉදිරියෙහි පෙනී සිටීමට හැකි උපරිමය කරන්න.” (2 තිමෝති 2:15, NW) “හරියාකාරව පැහැදිලි කරන” යන යෙදුම පැමිණෙන්නේ සංයුක්ත ග්‍රීක ක්‍රියා පදයකිනි. එහි මුල් තේරුම වූයේ, “කෙළින් කැපීම” යන්නයි. (කිංඩම් ඉන්ටර්ලීනියර්) ඇතමුන් කියන විදිහට, මින් අඟවන්නේ ඇඳුම් මසන්නෙකු යම් රටාවකට ඇඳුමක් කැපීමය. නැතහොත් ගොවියෙක් යම් ක්‍රමයකට කුඹුරක් හෑමය. කුමක් වුවත් අවසාන ප්‍රතිඵලය විය යුත්තේ කරන ලද කාර්යය කෙළින්, කිසි ඇදයක් නැතිව කර තිබීමයි. මෙයින් අප වටහාගන්නා කරුණ වන්නේ, තිමෝති දෙවිට ඔබින දෙවි විසින් අනුමත කරන ලද සේවකයෙකු වීමට නම් ඔහුගේ ඉගැන්වීම හා හැසිරීම සත්‍යතාවේ වචනයට අනුකූලව තිබෙන බවට සහතික වීම සඳහා ඔහු තම ‘උපරිමය කළ’ යුතු බවයි.—1 තිමෝති 4:16.

14. අප කරන හා කියන දේට අපගේ පෞද්ගලික අධ්‍යයනය බලපෑ යුත්තේ කෙසේද?

14 ‘සියලු යහපත් ක්‍රියාවලින් ඵල දරමින්, දෙවි ගැන නිවැරදි දැනුමෙන් වර්ධනය වෙමින්’ ‘යෙහෝවාව සම්පූර්ණයෙන්ම සතුටු කිරීමේ අරමුණින් ඔහුට ඔබින ලෙස ගමන් කිරීමට’ පාවුල් කොලොස්සියේ විසූ සෙසු ඇදහිලිවන්තයන්ගෙන් ඉල්ලා සිටි විට අවධාරණය කළේත් එම කාරණයමයි. (කොලොස්සි 1:10, NW) මෙහිදී පාවුල් සඳහන් කරන්නේ යෙහෝවාට ඔබින ලෙස ගමන් කිරීම සඳහා ‘සියලු යහපත් ක්‍රියාවලින් ඵල දැරීම’ මෙන්ම ‘දෙවි ගැන නිවැරදි දැනුමෙන් වර්ධනය වීම’ අවශ්‍ය බවයි. වෙනත් වචනවලින් කියනවා නම්, දෙවි ඉදිරියේ වටින්නේ අප දැනුම කොතරම් අගේ කොට සලකනවාද යන්න පමණක් නොව, නමුත් අප කරන කියන දෙයින් දේවවචනයට කොතරම් සමීපව ඇලී සිටිනවාද යන්නයි. (රෝම 2:21, 22) මින් අදහස් කරන්නේ අප දෙවිව සතුටු කිරීමට කැමති නම්, අපගේ පෞද්ගලික අධ්‍යයනය අපගේ සිතිවිලිවලට හා අපගේ හැසිරීමට බලපෑම් කළ යුතු බවයි.

15. අපගේ මනස හා සිතිවිලි ආරක්ෂා කිරීමටත් පාලනය කිරීමටත් අපට හැක්කේ කෙසේද?

15 අදදින, සාතන් ඉතා බලගතු ලෙස වෑයම් කරන්නේ අපගේ මනස තුළ සටනක් ඇති කරවමින් අපේ ආත්මිකත්වය විනාශ කිරීමටයි. (රෝම 7:14-25) එම නිසා, අපගේ දෙවි වන යෙහෝවාට ඔබින බව ඔප්පු කිරීම පිණිස අපි අපේ මනස සහ සිතිවිලි ආරක්ෂා කරගත යුත්තෙමු. පාලනය කළ යුත්තෙමු. අපට තිබෙන ආයුධය නම්, ‘දෙවි පිළිබඳ දැනුමයි.’ එය ‘සෑම සිතුවිල්ලක්ම ක්‍රිස්තුස්ට කීකරු කරවන පිණිස ඒවා වහල් කරගැනීමට’ අපට ඉවහල් වෙයි. ආත්මාර්ථකාමී, මාංසික සිතිවිලි අපේ මනස්වලින් මුලිනුපුටා දැමීමට අපට වුවමනාය. මෙය, දිනපතා බයිබලය අධ්‍යයනය කිරීම කෙරෙහි අවධානය දීමට අපට තිබෙන බලවත්ම හේතුවකි. —2 කොරින්ති 10:5, NW.

තේරුම්ගැනීමට ආධාරක

16. යෙහෝවා අපට උගන්වන විට, අපටම ප්‍රයෝජන ලබාගැනීමට හැක්කේ කෙසේද?

16 යෙහෝවා අපට උගන්වන දේවලින් ආත්මික හා ශාරීරික ප්‍රයෝජන ලැබේ. එය නිරස වූ, පොතට පමණක් සීමා වූ දෙයක් නොවේ. මේ නිසා අපට මෙසේ කියවීමට තිබේ. ‘ප්‍රයෝජන ලබාගැනීමට ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු මාර්ගයෙහි ඔබ ගෙන යන්නෙත් ඔබේ දෙවි වූ යෙහෝවා වන මමය.’ (යෙසායා 48:17) යෙහෝවා ප්‍රයෝජන ගෙන දෙන තම මාර්ගයේ යෑමට අපට සලස්වන්නේ කොහොමද? පළමුව, අපට ඔහුගේ දේවානුභාවය ලත් වචනය වන බයිබලය තිබේ. අපගේ මූලික ග්‍රන්ථය එයයි. අප නිතර නිතර බැලිය යුත්තේ එයයි. ක්‍රිස්තියානි රැස්වීම්වලදී බයිබලය පෙරළා බැලීම ඉතා යහපත් දෙයක් වන්නේ මේ නිසයි. මේ මගින් ඇති වන ප්‍රයෝජනදායක ප්‍රතිඵල ගැන අපට ක්‍රියා 8වන පරිච්ඡේදයේ වාර්තා කර ඇති එතියෝපීය නිලධාරියා පිළිබඳ වාර්තාවෙන් දැකගත හැකියි.

17. එතියෝපීය නිලධාරියා සම්බන්ධ කාරණයේදී සිදු වූයේ කුමක්ද? මින් අපට පැහැදිලිව කියාපාන්නේ කුමක්ද?

17 එතියෝපීය නිලධාරියා යුදෙව් ආගමට හැරී සිටි තැනැත්තෙකි. ඔහු දෙවි කෙරෙහි අවංක විශ්වාසයක් තිබූ අයෙකු වූ අතර, ශුද්ධ ලියවිලි අධ්‍යයනය කළේය. ඔහු තම රථයෙන් ගමන් කරමින් සිටියදී යෙසායාගේ පාඨයෙන් කියවමින් සිටින විට, ෆිලිප් ඔහු වෙතට දුව ගොස් ඔහුගෙන් මෙසේ ඇසීය. “ඔබ කියවන්නේ කුමක්ද කියා ඔබ ඇත්තෙන්ම දන්නවාද?” නිලධාරියා උත්තර දුන්නේ කෙසේද? “යමෙකු මට මඟපෙන්නුවොත් මිස, මා එය දැනගන්නේ කෙසේදයයි කියා රථයට නැඟ තමා සමඟ හිඳගන්නා මෙන් ෆිලිප්ගෙන් බැගෑපත්ව අයැදීය.” අනතුරුව ශුද්ධාත්මයෙන් මඟ පෙන්වනු ලැබූ ෆිලිප්, යෙසායාගේ අනාවැකිය තේරුම්ගැනීමට නිලධාරියාට උපකාර කළේය. (ක්‍රියා 8:27-35, NW) මින් පෙනී යන්නේ කුමක්ද? අප පෞද්ගලිකව බයිබලය කියවීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. යෙහෝවා සිය ආත්මය යොදාගනිමින් විශ්වාස වූ නුවණ ඇති දාස පංතිය පාවිච්චි කරන්නේ නියම කාලයේදී ඔහුගේ වචනය තේරුම් කර දීමටයි. ඔහු මෙය කරන්නේ කෙසේද? —මතෙව් 24:45-47; ලූක් 12:42.

18. විශ්වාස වූ නුවණ ඇති දාසයා අපට උපකාර කරන්නේ කෙසේද?

18 දාස පංතිය “විශ්වාස වූ නුවණ ඇති” යනුවෙන් හඳුන්වා තිබුණත්, එම පංතිය නොවරදිනසුලු අය කියා යේසුස් පැවසුවේ නැත. ඇදහිලිවන්ත ආලේප ලත් සහෝදරයන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම තවමත් සෑදී තිබෙන්නේ අසම්පූර්ණ ක්‍රිස්තියානීන්ගෙනි. සමහරක් අවස්ථාවලදී පළමු සියවසේ ඇතැම් පුරුෂයන්හට වැරදුණාක් මෙන්ම ඉතා හොඳ චේතනා තිබෙන විට පවා ඔවුන්ට වරදින්නට පුළුවන. (ක්‍රියා 10:9-15; ගලාති 2:8, 11-14) එහෙත්, ඔවුන්ගේ චේතනාව පවිත්‍රය. එමෙන්ම, දේවවචනය හා එහි අඩංගු පොරොන්දු කෙරෙහි අපගේ විශ්වාසය ගොඩනැංවීමට අවශ්‍ය බයිබල් අධ්‍යයන ආධාරක ලබා දීම සඳහා යෙහෝවා යොදාගන්නේ ඔවුන්වය. පෞද්ගලික අධ්‍යයනය සඳහා දාස පංතිය අපට දී ඇති හොඳම සැපයුම වන්නේ ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනයයි. (සිංහලෙන් නැත) එය දැන් සම්පූර්ණයෙන්ම හෝ කොටසක් වශයෙන් භාෂා 42කින් ලබාගත හැකි අතර පිටපත් මිලියන 114ක් වෙළුම් ගණනාවකින් මුද්‍රණය කර තිබේ. මෙය අපගේ පෞද්ගලික අධ්‍යයනයේදී අපට බලපෑමෙන් යුක්තව පාවිච්චි කළ හැක්කේ කෙසේද?—2 තිමෝති 3:14-16.

19. අපගේ පෞද්ගලික අධ්‍යයනයට උපකාරවත් වන්නාවූ නව ලෝක පරිවර්තනය—යොමු සටහන් සහිතව නමැති බයිබලයේ අඩංගු සමහරක් අංගයන් මොනවාද?

19 ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය—යොමු සටහන් සහිතව (සිංහලෙන් නැත) නමැති බයිබලය උදාහරණයකට සලකා බලන්න. ඒ තුළ හරස් යොමු සටහන් තීරු, පාද සටහන් මෙන්ම “බයිබල් වචන සූචිය” සහ “පාද සටහන් වචන සූචිය” යන ආකාරයෙන් සංක්ෂිප්ත තේමා පටුනක් අඩංගු වන අතර සිතියම් සහ වගු සහිතව විෂයන් 43ක් පුළුල් ලෙස ආවරණය කරන උපග්‍රන්ථයක්ද ඇත. තවද බයිබලයේ මෙම අද්විතීය පරිවර්තනය බිහි කිරීම සඳහා පාදක කොටගත් මූලාශ්‍රයන් බොහොමයක් ගැන පැහැදිලි කරන්නාවූ ‘හැඳින්වීමක්ද’ එහි අඩංගුය. ඔබට තේරෙන භාෂාවකින් එය පළ වී තිබේ නම්, මෙම අංගෝපාංගයන් හොඳින් දැනගෙන ඒවායේ අඩංගු දේවල් සම්බන්ධයෙන් මනා හුරුවක් ලබාගන්න. අප භාවිත කරන බයිබලයේ මෙම අංගෝපාංගයන් තිබුණත් නැතත්, අපගේ අධ්‍යයනය සඳහා පදනම සපයන මූලික දේ බයිබලයයි. තවද නව ලෝක පරිවර්තනය දෙවිගේ රාජ්‍ය පාලනය හුවා දක්වන දිව්‍ය නාමයට නිසි අවධාරණයක් දෙන පරිවර්තනයක් වේ.—ගීතාවලිය 149:1-9; දානියෙල් 2:44, 45; මතෙව් 6:9, 10.

20. අපගේ පෞද්ගලික අධ්‍යයනය සම්බන්ධයෙන් අප කිනම් ප්‍රශ්නවලට පිළිතුරු ලබාගත යුතුද?

20 දැන් අපට මෙසේ අසන්නට පුළුවන. ‘බයිබලය තේරුම්ගැනීම සඳහා අපට තවදුරටත් තිබෙන්නේ කිනම් උපකාරද? පෞද්ගලික අධ්‍යයනය සඳහා අපට කාලය සොයාගත හැක්කේ කෙසේද? අපට අප කරන අධ්‍යයනය වඩාත් බලපෑමෙන් යුක්තව කළ හැක්කේ කෙසේද? අපගේ අධ්‍යයනය අනික් අයට බලපෑ යුත්තේ කෙසේද?’ ඊළඟ ලිපිය තුළ අපගේ ක්‍රිස්තියානි ප්‍රගමනයට අයත් වන්නාවූ මෙම වැදගත් අංගයන් ගැන අපි සලකා බලමු.

[පාදසටහන]

a වර්ෂ 1979 පටන් රත්‍රන්වල වටිනාකම වෙනස් වී ඇති අතර, රත්‍රන් අවුන්සයක මිල 1980දී අමෙරිකානු ඩොලර් 850ක උපරිමයත් 1999දී අමෙරිකානු ඩොලර් 252.80ක අවමයත් අතර පරාසයක ඉහළ පහළ ගොස් ඇත.

ඔබට මතකද?

• ‘මෙනෙහි කිරීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

• දේවවචනය අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් අපට තිබිය යුතු ආකල්පය කුමක්ද?

• අපගේ පෞද්ගලික අධ්‍යයනයේදී අපට තිබිය යුතු චේතනාව කුමක්ද?

• බයිබලය තේරුම්ගැනීමට අපට තිබෙන ආධාරක කවරේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

සෑම උදෑසනකම බයිබල් පාඨයක් සලකා බැලීමෙන් දවස පටන්ගැනීම ආත්මික ශක්තියට ඉවහල් වන බව බෙතෙල් පවුලේ සාමාජිකයෝ වටහාගනිති

[15වන පිටුවේ පින්තූර]

ගමන් කරන විට පටිගත කළ බයිබල් කැසට් පටිවලට සවන් දීමෙන් වටිනා කාලය හොඳින් යොදාගත හැකියි

[16වන පිටුවේ පින්තූරය]

රත්‍රන් ලබාගැනීම සඳහා මිනිසුන් බොහෝ කලක් වෙහෙස මහන්සි වී වැඩ කර ඇත. දේවවචනය අධ්‍යයනය කිරීම සඳහා ඔබ කොතරම් ප්‍රයත්නයක් දරනවාද?

[හිමිකම් විස්තර]

Courtesy of California State Parks, 2002

[17වන පිටුවේ පින්තූර]

බයිබලය යනු සදාකාල ජීවනයට මඟ පෙන්විය හැකි නිධානයකි