Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

එළිදරව් 20:8ට අනුව අවසාන පරීක්ෂණයේදී සාතන් විසින් අතිවිශාල සංඛ්‍යාවක් නොමඟ යවනු ලබන බව අප නිගමනය කළ යුතුද?

දහස් අවුරුදු පාලනය අවසානයේදී මෙසියානු රාජ්‍යය යටතේ ජීවත් වන්නාවූ සෙනඟ කෙරෙහි සාතන් ගෙනෙන්නාවූ අවසාන ප්‍රහාරය ගැන එළිදරව් 20:8හි විස්තර කර තිබේ. සාතන් සම්බන්ධව එම පදයේ සඳහන් කරන්නේ මෙසේයි. ඔහු “පොළොවේ සතර කොනේ සිටින්නාවූ ගොග් මාගොග් යන ජාතීන් මුළා කරන්ටත් ඔවුන් යුද්ධයට රැස් කරන්ටත් නික්ම එන්නේය. ඔවුන්ගේ ගණන මුහුදේ වැලි මෙන්ය.”

විද්‍යාත්මක ක්‍රම හා විවිධ උපකරණ භාවිතයේ දියුණුවක් තිබුණද, තවමත් “මුහුදේ වැලිවල” ප්‍රමාණය හෝ ගණන දැනගත නොහැකි වී තිබේ. එමනිසා එම ප්‍රකාශනයෙන් අදහස් වන්නේ නොදන්නාවූ අවිනිශ්චිත සංඛ්‍යාවකි. නමුත් එයින් අඟවන්නේ අතිවිශාල, අතිමහත් හා විශ්මයජනක සංඛ්‍යාවක්ද? එසේත් නැත්නම් එය නොදන්නා නමුත් සැලකිය යුතු ප්‍රමාණයකින් යුත් සංඛ්‍යාවක්ද?

බයිබලයේ “මුහුදේ වැලි මෙන්” යන යෙදුම විවිධ අවස්ථාවලදී යොදා තිබේ. උදාහරණයක් ලෙස උත්පත්ති 41:49හි කියවීමට තිබෙන්නේ මෙසේයි. “යෝසෙප් ධාන්‍ය මුහුදේ වැලි මෙන් රාශි වශයෙන්, ගණන් නොකර හරින තරමට රැස් කළේය. මක්නිසාද ඒවා ගණන් කළ නොහැකි විය.” මෙහිදී එම යෙදුමෙන් කාවද්දනු ලබන්නේ එය ගණන් කළ නොහැකි ප්‍රමාණයක් බවයි. එමෙන්ම යෙහෝවාද මෙසේ පැවසුවේය. “අහස් සේනාව ගණන් කරන්ටවත් මුහුදු වැලි මනින්ටවත් බැරුවාක් මෙන් මාගේ මෙහෙකරුවා වූ දාවිත්ගේ වංශයද මට සේවය කරන ලෙවීවරුන්ද වැඩි කරන්නෙමි.” ස්ථිරවම, අහසේ තරු හා මුහුදේ වැලි ගණන් කළ නොහැකිවා සේම යෙහෝවා දාවිත්ට වූ පොරොන්දුව ස්ථීර වශයෙන්ම ඉෂ්ට කළ යුතුව තිබුණේය.—යෙරෙමියා 33:22.

බොහෝ අවස්ථාවලදී “මුහුදේ වැලි” යන ප්‍රකාශයෙන් අඟවන්නේ විශාල හා සැලකිය යුතු ගණනක් හෝ ප්‍රමාණයක්. මික්මාෂ්හි පිලිස්තීය හමුදාව “මුහුදු වෙරළේ වැලි මෙන් වූ සෙනඟක්ද ඇතුව රැස් වී” සිටිනවා දුටු ගිල්ගාල්හි ඊශ්‍රායෙලිතයෝ දැඩි කම්පනයට පත් වූහ. (1 සාමුවෙල් 13:5, 6, විනිශ්චයකාරයන් 7:12) තවද “දෙවි ඉතා මහත් ප්‍රඥාවකුත් ඥානයකුත් මුහුදු වෙරළේ වැල්ල මෙන් විශාල වූ සිහියකුත් සාලමොන්ට දුන්නේය.” (1 රාජාවලිය 4: 29) මේ අවස්ථා දෙකේදීම එයින් විස්තර කර තිබෙන්නේ සැලකිය යුතු තරම් විශාල ප්‍රමාණයක් වුවද ඒවාට යම් සීමාවක් තිබුණි.

“මුහුදේ වැලි” කියා පැවසීමේදී එය නොදන්නා වුවද අතිවිශාල නොවන සංඛ්‍යාවකට යොමු දක්වන අවස්ථාද තිබේ. යෙහෝවා ආබ්‍රහම්ට පැවසුවේ “අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරළෙහි වැලි මෙන්ද නුඹේ වංශය බොහෝසෙයින් වැඩි කරන්නෙමි” කියායි. (උත්පත්ති 22:17) යෙහෝවා නැවත වරක් එම පොරොන්දුව ආබ්‍රහම්ගේ මුණුබුරා වන යාකොබ්ට දෙන විට ප්‍රකාශ කළේ “නුඹේ වංශය පොළොවෙහි ධූලි මෙන් වැඩි වන්නේය” යනුවෙනුයි. එම වදන් ප්‍රතිනාද කරමින් යාකොබ් මෙසේ ප්‍රකාශ කළේය. “මුහුදේ වැලි මෙන් වැඩි කරන්නෙමියි.” (උත්පත්ති 28:14, 32:12) එම වචනවල ඉටුවීම සලකා බලද්දී, ආබ්‍රහම්ගේ “වංශය” යේසුස් ක්‍රිස්තුස් හැර ගණනින් 144,000ක් වන අතර යේසුස් එම කණ්ඩායම “කුඩා රැළ” ලෙස හැඳින්වූයේය.—ලූක් 12:32; ගලාති 3:16, 29, එළිදරව් 7:4; 14:1, 3.

මෙම නිදර්ශනවලින් අපට උගත හැක්කේ කුමක්ද? “මුහුදේ වැලි මෙන්” යන ප්‍රකාශයෙන් සෑමවිටම අසීමිත, විශ්මයජනක සංඛ්‍යාවක් එසේත් නැත්නම් අතිවිශාල හෝ අතිමහත් ප්‍රමාණයක් ඇඟවෙන්නේ නැත. බොහෝවිට එයින් ඇඟවෙන්නේ නොදන්නා නමුත් යම්කිසි සීමාවක් ඇති සංඛ්‍යාවකි. එමනිසා දෙවිගේ සෙනඟ වෙත සාතන් එල්ල කරන අවසාන පරීක්ෂණයේදී ඔහුට සහාය දෙන කැරලිකාර සෙනඟ ගණන් කළ නොහැකි අතිවිශාල සංඛ්‍යාවක් නොවන නමුත් හානිකර බලපෑමක් එල්ල කළ හැකි සැලකිය යුතු සංඛ්‍යාවක් වෙයි කියා සිතීම සාධාරණයි. කෙසේවෙතත් අප තවමත් සංඛ්‍යාව දන්නේ නැත.