Skip to content

පටුනට යන්න

යෝෂුවාගේ මතක සටහන්

යෝෂුවාගේ මතක සටහන්

යෝෂුවාගේ මතක සටහන්

“මාගේ මෙහෙකරු වූ මෝසෙස් මළේය. එබැවින් දැන් නුඹත් මේ මුළු සෙනඟත් නැඟිට මා විසින් ඔවුන්ට, එනම් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන දේශයට මේ යොර්දානෙන් එතරව යන්න” යනුවෙන් යෙහෝවා යෝෂුවාට පැවසුවා. (යෝෂුවා 1:2) යෝෂුවාට ලැබී තිබුණේ මොනතරම් දුෂ්කර පැවරුමක්ද! ඔහු සතළිස් අවුරුද්දක් පුරාම මෝසෙස්ගේ මෙහෙකරු වශයෙන් කටයුතු කර තිබුණා. ඉන්පසු ඉහත සඳහන් වන ආකාරයට, තම ස්වාමියාගේ වගකීම කරට ගෙන බොහෝ අවස්ථාවලදී කරදරකාරී සෙනඟක් වූ ඊශ්‍රායෙල් පුත්‍රයන්ව පොරොන්දු දේශය කරා ගෙන යන්න කියා ඔහුට පවසනු ලැබුවා.

ඉටු කිරීමට තිබූ පැවරුම ගැන කල්පනා කර බැලීමේදී, තමා කලින් අද්දුටු පරීක්ෂණ සහ ඒවා ජයගත් ආකාරයත් යෝෂුවාට ආවර්ජනය වන්න ඇති. යෝෂුවා තමාගේ මතක සටහන්වලින් ඉමහත් ප්‍රයෝජනයක් ලැබූ බවට කිසිදු සැකයක් නැහැ. ඒවා වත්මන් ක්‍රිස්තියානීන්ටද ප්‍රයෝජනවත් විය හැකියි.

වහලෙක් හා අණ දෙන නිලධාරියෙක් ලෙස

වසර ගණනාවක් පුරා ඔහු අද්දුටු වහල්භාවයද යෝෂුවාගේ මතක සටහන් අතරේ තිබුණා. (නික්මයාම 1:13, 14; 2:23) එම කාලයේදී යෝෂුවා අද්දුටු දේවල් සම්බන්ධයෙන් බයිබලය නිහඬව සිටින නිසා, අපට කළ හැක්කේ ඒවා පිළිබඳව උපකල්පනය කරන එක විතරයි. සමහරවිට, ඊජිප්තුවේ වහලෙක්ව සිටි කාලයේදී යෝෂුවා දක්ෂ සංවිධායකයෙක් වීමට ඉගෙනගත්තා විය හැකියි. එමෙන්ම, ඊජිප්තුවෙන් පලා ආ හෙබ්‍රෙව්වරුන්ව මෙන්ම විශාල “මිශ්‍ර සමූහය” එක්රැස් කිරීමටත් සංවිධානය කිරීමටත් ඔහු සමහරවිට උපකාර කරන්න ඇති.—නික්මයාම 12:38.

යෝෂුවා අයත් වූයේ එප්‍රායිම් ගෝත්‍රයේ පවුලකටයි. එම ගෝත්‍රයේ අධිපතියා වූයේ එලිෂාමා නම් වූ ඔහුගේ සීයායි. ගෝත්‍ර තුන බැගින් වෙන් කර තිබූ ඊශ්‍රායෙලිතයන්ගේ එක් කණ්ඩායමකට අයත් වූ හමුදා භටයන් 1,08,100දෙනෙකුගේ නායකයා ලෙසද ඔහුගේ සීයා කටයුතු කළ බව පෙනෙන්න තිබෙනවා. (ගණන් කථාව 1:4, 10, 16; 2:18-24; 1 ලේකම් 7:20, 26, 27) එහෙත් ඊජිප්තුවෙන් පලා ගොස් වැඩි කල් ගත වෙන්න කලින් අමලෙක්වරු ඊශ්‍රායෙලිතයන්ට පහර දුන් විට, මෝසෙස් ප්‍රතිප්‍රහාරය සංවිධානය කිරීමට පත් කළේ යෝෂුවාවයි. (නික්මයාම 17:8, 9අ) ඔහු යෝෂුවාවම තෝරගත්තේ ඇයි? ඇයි ඔහුගේ සීයාව, එහෙමත් නැත්නම් ඔහුගේ පියාව නොතේරුවේ? ඒ පිළිබඳව එක් මූලාශ්‍රයක මෙම අදහස ඉදිරිපත් කර තිබෙනවා. “[යෝෂුවා] එප්‍රායිම් නම් ප්‍රධාන ගෝත්‍රයේ නායකයෙක් වූ නිසාත්, ඒ වන විටත් දක්ෂ සංවිධායකයෙක් ලෙස නම් දරා සිටි නිසාත්, ජනයාගේ විශ්වාසය දිනාගෙන සිටි නිසාත්, සටන්කරුවන්ව තෝරා පත් කිරීමට හා ඔවුන්ව සංවිධානය කිරීමට සුදුසුම තැනැත්තා ඔහු බව තීරණය කරමින් මෝසෙස් ඔහුගෙන් උපකාර පැතුවා.”

ඒ කොහොම වුණත්, යෝෂුවාව තෝරාගනු ලැබුවාට පසුව ඔහු මෝසෙස් අණ කළ සියල්ලම එලෙසම ඉටු කළා. යුද්ධ කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායෙලිතයන්ට කිසිම අද්දැකීමක් නොතිබුණත් දෙවි ඔවුන්ට උපකාර කරන බවට යෝෂුවාට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඉතිං, “හෙට මම දෙවිගේ සැරයටිය අතින් ගෙන හෙල මුදුනේ සිටින්නෙමි” කියා මෝසෙස් පැවසූ විට යෝෂුවා එය ප්‍රශ්න කරන්න ගියේ නැහැ. එවකට පැවති ප්‍රබලතම හමුදා බලය යෙහෝවා ටික කලකට පෙර විනාශ කර දමා තිබූ බව යෝෂුවාට සමහරවිට මතක් වෙන්න ඇති. ඊට පහුවදා, ඉර බසින තෙක්ම මෝසෙස් තම අත් ඉහළට ඔසවා තබාගත් විට ඊශ්‍රායෙලිතයන් පරද්දන්න කිසිම සතුරෙකුට නොහැකි වුණා. අමලෙක්වරුන්ව මුළුමනින්ම පරද්දනු ලැබුවා. ඉන්පසු, “මම අමලෙක්වරුන් ගැන සිහිවීම අහස යටින් සහමුලින්ම මකා [දමන්නෙමි]” යන දිව්‍ය නියෝගය පොතක ලියා, ‘යෝෂුවාට ඇසෙන පරිදි ප්‍රකාශ කරන’ මෙන් යෙහෝවා මෝසෙස්ට අණ කළා. (නික්මයාම 17:9ආ-14) යෙහෝවා එම විනිශ්චය ඉටු කරනු ඇති බව නිසැකයි.

මෝසෙස්ගේ මෙහෙකරු ලෙස

අමලෙක්වරුන් හා සම්බන්ධ සිද්ධියේදී යෝෂුවා හා මෝසෙස් අතර තිබුණ බැඳීම තවත් ශක්තිමත් වූ බව සිතිය හැකියි. අවුරුදු සතළියක කාලයක් පුරා, එනම් තම “තරුණ වියේ පටන්” [නව අනුවාදය] මෝසෙස්ගේ මරණය දක්වාම මෝසෙස්ගේ පෞද්ගලික සේවකයා හෝ “මෙහෙකරු” වශයෙන් කටයුතු කිරීමේ ගෞරවය යෝෂුවාට හිමි වුණා.—ගණන් කථාව 11:28.

එම සේවය පිරිනමන විට වරප්‍රසාද හා වගකීම් කිහිපයක්ද ඔහුට ලැබුණා. උදාහරණයකට, මෝසෙස්, ආරොන්, ආරොන්ගේ පුත්‍රයන් හා ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් සැත්තෑදෙනා සීනයි කන්දට නැඟ යෙහෝවාගේ තේජස දුටු අවස්ථාවේදී යෝෂුවාත් ඔවුන් අතරේ සිටින්න ඇති. මෙහෙකරුවෙක් ලෙස තම වගකීම් ඉටු කරමින් ඔහු මෝසෙස් සමඟ කන්දේ තවත් උඩට නැග්ගා. යෙහෝවා එහි සිටි බව සංකේතවත් කළ වලාකුළ තුළට මෝසෙස් ඇතුල් වූ විට යෝෂුවා ටිකක් ඈතින් ඔහු එන තෙක් බලා සිටි බවද පෙනෙන්න තිබෙනවා. යෝෂුවා දහවල් සතළියක්ද රාත්‍රි සතළියක්ද කන්ද උඩට වී සිටීම සැලකිය යුතු කාරණයක්. මෝසෙස් ගිවිසුමේ ලෑලි දෙක රැගෙන කන්දෙන් පහළට බැස එන විට ඔහුව හමුවීමට යෝෂුවා පෙර මඟ බලා සිටියා. එයින් පෙනී යන්නේ යෝෂුවා තම ස්වාමියා පැමිණෙන තෙක් විශ්වාසවන්තව බලා සිටි බවයි.—නික්මයාම 24:1, 2, 9-18; 32:15-17.

ඊශ්‍රායෙලිතයන් රන් වස්සාට නමස්කාර කිරීම හා සම්බන්ධ සිද්ධියෙන් පසුව පවා යෝෂුවා කඳවුරෙන් පිට පිහිටි සම්මුඛ වීමේ කූඩාරම තුළ මෝසෙස්ට දිගටම සේවය කරමින් සිටියා. එහිදී යෙහෝවා මෝසෙස් සමඟ මුහුණට මුහුණ ලා කතා කළා. නමුත් මෝසෙස් ආපසු කඳවුරට හැරී ගිය පසුවත් යෝෂුවා ‘කූඩාරමෙන් අහක්ව ගියේ නැහැ.’ සමහරවිට ඔහු එතැන රැඳී සිටියේ කූඩාරමට ඇතුල් වීමෙන් අපවිත්‍ර තත්වයක සිටි ඊශ්‍රායෙලිතයන්ව වැළැක්වීම සඳහා විය හැකියි. යෝෂුවා එම වගකීම සැලකුවේ මොනතරම් බැරෑරුම් ලෙසද කියා සිතා බලන්න!—නික්මයාම 33:7, 11.

ඉතිහාසඥ ජොසීෆස්ට අනුව, මෝසෙස් යෝෂුවාට වඩා අවුරුදු 35ක් වැඩිමල්. මෝසෙස්ව ඇසුරු කිරීමෙන් යෝෂුවාගේ ඇදහිල්ල බොහෝ සෙයින් ශක්තිමත් වූ බව නිසැකයි. ඔවුන් දෙදෙනා අතර පැවති සම්බන්ධය විස්තර කර තිබෙන්නේ, “මේරුභාවය හා යෞවනය අතරද ස්වාමියෙකු හා ශිෂ්‍යයෙකු අතරද පැවති ඇසුරක්” වශයෙන්. එම ඇසුර තුළින් යෝෂුවා “අධිෂ්ඨානපූර්වක, විශ්වාසවන්ත පුරුෂයෙක්” බවට පත් වුණා. මෝසෙස් වැනි අනාගතවක්තෲන් අප අතරෙහි නැති බව ඇත්තයි. නමුත් යෙහෝවාගේ සේවකයන්ගේ සභාවල වයස්ගත අය සිටිනවා. ඔවුන් ලද අද්දැකීම් නිසාත් ඔවුන් සතු ආත්මිකත්වය නිසාත් මේ අය සභාව ශක්තිමත් කරන දිරිගැන්වීමේ උල්පතක් වන බව ස්ථිරයි. ඔබ එවැනි අයව අගය කරනවාද? ඔවුන් සමඟ ඇසුරු කිරීමෙන් ඔබ ප්‍රයෝජන ලබනවාද?

කානාන්හි ඔත්තු බලමින්

ඊශ්‍රායෙලිතයන්ට නීතිය ලැබී වැඩි කල් යෑමට පෙර යෝෂුවාගේ ජීවිතයේ අතිවැදගත් සිද්ධියක් සිදු වුණා. පොරොන්දු දේශයේ ඔත්තු බැලීම සඳහා ඔහුගේ ගෝත්‍රය නියෝජනය කිරීමට ඔහුව තෝරාගනු ලැබුවා. එය කවුරුත් හොඳින් දන්නා කතාවක්. යෙහෝවා පොරොන්දු වූ ලෙසම එය ඇත්තෙන්ම “කිරි සහ මීපැණි ගලා [යන]” දේශයක් බව ඔත්තුකරුවන් 12දෙනාම පිළිගත්තත් ඔවුන්ගෙන් දසදෙනෙක් ඇදහිල්ල නොතබා බියට පත් වුණා. ඔවුන් සිතුවේ දේශයේ වැසියන්ව පන්නා දමන්න ඊශ්‍රායෙලිතයන්ට බැරි වේවි කියායි. නිසැකවම යෙහෝවා ඔවුන් සමඟ සිටින බැවින් බියපත් වී කැරලිගසන්න එපා කියා පවසමින් ජනයාව දිරිමත් කළේ යෝෂුවා සහ කාලෙබ් විතරයි. එවිට මුළු සෙනඟම තමන්ගේ විරෝධය පළ කරමින් ඔවුන් දෙදෙනාට ගල් ගසන බවට තර්ජනය කළා. සමහරවිට ඒ අවස්ථාවේදී යෙහෝවා මැදිහත් වී තම තේජස පෙනෙන්න සැලැස්වූයේ නැත්නම් ඔවුන් එසේ කරන්නත් ඉඩ තිබුණා. ඔවුන්ගේ ඇදහිල්ලේ මදිකම නිසා, ඊශ්‍රායෙල්හි ලියාපදිංචි වී සිටි වයස අවුරුදු 20 සිට ඉන් ඉහළ සියලුදෙනාම කානාන් දේශයට ඇතුල් වීමට කලින් මිය යන බව දෙවි පැවසුවා. පොරොන්දු දේශයට ඇතුල් වුණේ යෝෂුවා, කාලෙබ් සහ ලෙවීවරුන් පමණයි.—ගණන් කථාව 13:1-16, 25-29; 14:6-10, 26-30.

ඊජිප්තුවේදී යෙහෝවා කළ මහත් ක්‍රියා මුළු සෙනඟම දැක තිබුණේ නැද්ද? දෙවි ඔවුන්ට උදව් කරාවි යන කාරණය පිළිබඳව බහුතරයක්ම සැක කළ විට ඇදහිල්ල පෙන්වීමට යෝෂුවාට උපකාරවත් වුණේ කුමක්ද? යෙහෝවාගේ පොරොන්දු සහ ඔහුගේ ක්‍රියා සියල්ල ගැනම යෝෂුවා මෙනෙහි කළා. ඒවා ඔහුගේ මතකයේ ඉතා පැහැදිලිව සටහන් වී තිබෙන්න ඇති. අවුරුදු ගණනාවක් ගත වූ පසු, ‘යෙහෝවා ඊශ්‍රායෙල්ට කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත් නෑරී, සියල්ලම එසේ සිදු වුණ’ බව කීමට ඔහුට හැකි වුණේ එනිසයි. (යෝෂුවා 23:14) ඉතිං, යෙහෝවා අනාගතය සම්බන්ධයෙන් දී තිබුණ සෑම පොරොන්දුවක්ම නොවරදවාම ඉටු කරන බවටත් යෝෂුවාට ඇදහිල්ල තිබුණා. (හෙබ්‍රෙව් 11:6) මෙම කාරණය සලකා බලද්දී, යමෙකු තමන්ගෙන් මෙසේ ඇසීමට පෙලඹිය යුතුයි. ‘මගේ ඇදහිල්ල ගැන කුමක් කිව හැකිද? යෙහෝවාගේ පොරොන්දු පිළිබඳව අධ්‍යයනය කිරීමට හා ඒවා පිළිබඳව මෙනෙහි කිරීමට මා දරා තිබෙන වෑයම ඒවා පිළිබඳව නිසැකභාවයක් වර්ධනය කරගැනීමට ඉවහල් වී තිබෙනවාද? මතු පැමිණෙන මහත් පීඩාවේදී දෙවි තම ජනයාව ආරක්ෂා කරද්දී ඔහු මාවත් ආරක්ෂා කරන බව මා විශ්වාස කරනවාද?’

යෝෂුවා ඇදහිල්ල විතරක් නොවෙයි හරි දේ කිරීමට අවශ්‍ය ධෛර්යයද උපදවාගත්තා. යෙහෝවාගේ පැත්ත ගත්තේ ඔහුයි කාලෙබුයි විතරයි. එමෙන්ම මුළු සෙනඟම සූදානම් වී සිටියේ ඔවුන්ට ගල් ගසන්නයි. ඔබ ඒ තත්වයේ සිටියා නම් ඔබට කෙසේ හැඟේවිද? ඔබ තැතිගනීවිද? යෝෂුවාට නම් එසේ සිදු වුණේ නැහැ. තමන් විශ්වාස කළ දේ ප්‍රකාශ කිරීමට ඔහුටත් කාලෙබ්ටත් ශක්තිය තිබුණා. යෙහෝවා වෙනුවෙන් අපේ පක්ෂපාතකම පෙන්වීමට අපටත් යම් දවසක එවැනිම දෙයක් කිරීමට සිදු විය හැකියි.

යෝෂුවාගේ නම වෙනස් කළාය යන කාරණයත් ඔත්තුකරුවන් පිළිබඳ වාර්තාවෙන් අප ඉගෙනගන්නවා. ඔහුට මුලින්ම තිබූ නම, එනම් “ගැලවීම” යන අර්ථය ඇති හෝෂෙයා කියන නමට මෝසෙස් දිව්‍ය නාමයේ අකුරක් එකතු කරමින් එය “ගැලවීම දෙන්නේ යෙහෝවා” යන අර්ථය ඇති යෙහෝෂුවා නැත්නම් යෝෂුවා බවට වෙනස් කළා. සෙප්ටූඅජින්ට් පරිවර්තනයේ එය දක්වා ඇත්තේ “යේසුස්” යනුවෙන්. (ගණන් කථාව 13:8, 16) එම ශ්‍රේෂ්ඨ නාමයෙහි අර්ථයට එකඟව ගැලවීම දෙන්නේ යෙහෝවායි කියා යෝෂුවා නිර්භීතව ප්‍රකාශ කළා. පැහැදිලිවම, යෝෂුවාගේ නම වෙනස් කරනු ලැබුවේ අහම්බෙන් නොවෙයි. යෝෂුවා පිළිබඳව මෝසෙස්ට ඇති වූ පැහැදීම එයින් පිළිබිඹු වෙනවා. තවද අලුත් පරම්පරාවක් පොරොන්දු දේශය වෙතට ගෙන යෑම සඳහා යෝෂුවාට පසු කලෙක ලැබුණු වරප්‍රසාද ලත් පැවරුමටද එම නම හොඳින් ගැළපේ.

ඔවුන්ගේ පියවරුන් මිය යන තෙක් ඊශ්‍රායෙලිතයන් වෙහෙසකාරී ලෙස ගෙවූ අවුරුදු සතළියක්ම ගත කළේ පාළුකරයේ එහෙට මෙහෙට ඇවිදිමිනුයි. එම කාලයේදී යෝෂුවා කුමක් කළාද යන්න පිළිබඳව අපට කිසිම තොරතුරක් නැහැ. කොහොම වුණත්, එම කාලයේදී ඔහු බොහෝ දෑ ඉගෙනගන්න ඇති. කෝරා, දාතාන්, අබිරාම් සහ ඔවුන්ගේ අනුගාමිකයන්ටත්, බාල්පෙයෝර්ට දූෂ්‍ය ලෙස නමස්කාර කළ අයටත් දෙවි දඬුවම් කළේ ඔහුගේ ඇස් පනාපිටම වෙන්නට පුළුවන්. තවද, මෙරිබාහි වතුර හා සම්බන්ධ සිද්ධියේදී යෙහෝවාට ප්‍රශංසාව දීමට අසමත් වීම හේතුවෙන් මෝසෙස්ටත් පොරොන්දු දේශයට ඇතුල් වීමට ඉඩ නොලැබෙන බව දැනගත් විට ඔහුට මහත් දුකක් දැනුණ බව නම් ස්ථිරයි.—ගණන් කථාව 16:1-50; 20:9-13; 25:1-9.

මෝසෙස්ගේ අනුප්‍රාප්තිකයා ලෙස පැවරුම් ලබමින්

මෝසෙස්ගේ මරණය ළඟා වෙත්ම, ඊශ්‍රායෙලිතයන් “එඬේරෙක් නැති බැටළුවන් මෙන්” නොවන පිණිස අනුප්‍රාප්තිකයෙක් පත් කරන ලෙස මෝසෙස් දෙවිගෙන් ඉල්ලා සිටියා. යෙහෝවා ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඔහු පැවසුවේ, “ආත්මය ඇති මනුෂ්‍යයෙක්” වූ යෝෂුවාව මුළු සෙනඟ ඉදිරියේ පත් කරන්න කියායි. ඔහුට කීකරු වෙන්න කියාත් ඔවුන්ට අණ කරනු ලැබුවා. යෝෂුවාට ලැබුණේ මොනතරම් ගෞරවයක්ද! ඔහුගේ ඇදහිල්ලත් ඔහු සතු හැකියාවනුත් යෙහෝවා දැක තිබුණා. ඊශ්‍රායෙලිතයන්ගේ නායකයා වීම සඳහා විශ්වාසයෙන් යුතුව පත් කිරීමට මොහුට වඩා සුදුසුකම් ලත් කෙනෙක් සිටියේ නැති තරම්. (ගණන් කථාව 27:15-20) එහෙත් යෝෂුවාට විශාල අභියෝගවලට මුහුණ දෙන්න සිදු වන බව දැන සිටි මෝසෙස් යෙහෝවා ඔහු සමඟ සිටින බැවින් “ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න” කියා පවසමින් තම අනුප්‍රාප්තිකයාව දිරිමත් කළා.—ද්විතීය කථාව 31:7, 8.

දෙවිද එම වචනවලින් යෝෂුවාව දිරිමත් කළ අතර තවදුරටත් මෙසේද සඳහන් කළා. “මාගේ මෙහෙකරු වූ මෝසෙස් නුඹට අණ කළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්ට බලාගන්න . . . නුඹ යන සෑම තැනදීම නුඹට ශුභසිද්ධ වන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න. මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහ නොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට නුඹේ මාර්ගය සඵල වී නුඹට ශුභසිද්ධ වන්නේය. මා විසින් නුඹට අණ කර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. තැති නොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවි වූ යෙහෝවා නුඹ සමඟ සිටින්නේය.”—යෝෂුවා 1:7-9.

යෙහෝවාගේ වදන් තම සවනෙහි රැව් පිළිරැව් දෙමින් තිබියදීත් තමා එතෙක් අද්දුටු දේවල් ගැන සලකා බලද්දීත් යෝෂුවාට සැක සහිතව සිටීමට හේතුවක් තිබුණාද? ඊශ්‍රායෙල්වරුන් දේශය අත් පත් කරගන්නා බවට කිසිම සැකයක් තිබුණේ නැහැ. පළමුවෙනි අභියෝගය වූ පිටාර ගලමින් තිබූ යොර්දාන් ගඟෙන් එතෙර වීම ඇතුළු වෙනත් දුෂ්කරතා බොහොමයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වන බව ඇත්තයි. නමුත් “යොර්දානෙන් එතෙරව යන්න” කියා අණ කර තිබුණේ යෙහෝවාමයි. ඉතිං ඒ ගැන ආයෙත් දෙතුන් සැරයක් සිතීමට අවශ්‍ය වූවාද?—යෝෂුවා 1:2.

යෙරිකෝව අත් පත් කරගැනීම, ක්‍රමක්‍රමයෙන් සතුරන්ව යටත් කරගැනීම සහ දේශයේ ඉඩම් කොටස් වශයෙන් බෙදා වෙන් කිරීම වැනි යෝෂුවාගේ ජීවිතයේ විවිධ අද්දැකීම්වලින් හෙළි වන්නේ දෙවිගේ පොරොන්දු ඔහුගේ දෘෂ්ටියෙන් කිසිවිටෙක බොඳ වී ගියේ නැති බවයි. ඔහුගේ ජීවිතයේ අවසානයට ළඟා වෙත්ම, එනම් යෙහෝවා ඊශ්‍රායෙලිතයන්ට තම සතුරන්ගෙන් විවේකය දුන් පසු, යෝෂුවා මුළු සෙනඟව තමා වෙතට කැඳෙව්වා. එසේ කළේ දෙවි තමන් සමඟ කටයුතු කර තිබූ ආකාරය ආවර්ජනය කිරීමටත් මුළු හදින්ම දෙවිට සේවය කිරීමට ඔවුන්ව දිරිගැන්වීමටත්ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඊශ්‍රායෙලිතයන් තමන් යෙහෝවා සමඟ ඇති කරගෙන තිබූ ගිවිසුම නැවත ස්ථාපිත කළා. තවද ‘ඊශ්‍රායෙලිතයන් යෝෂුවාගේ සියලු දවස්වලදී යෙහෝවාට සේවය කළා.’ මේ සඳහා ඔවුන්ගේ නායක වූ යෝෂුවාගේ ආදර්ශය ඔවුන්ට මහත් දිරිගැන්වීමක් වූ බව නිසැකයි.—යෝෂුවා 24:16, 31.

යෝෂුවා අපට කදිම ආදර්ශයක්. අද සිටින ක්‍රිස්තියානීන් ඇදහිල්ලේ විවිධාකාර පරීක්ෂණවලට මුහුණ දෙනවා. යෙහෝවාගේ අනුමැතිය දිනාගැනීමට සහ අවසානයේදී ඔහුගේ පොරොන්දුවල ඉටුවීම අද්දැකීමට නම් අප එම පරීක්ෂණවලට සාර්ථකව මුහුණ දිය යුතුමයි. යෝෂුවාගේ සාර්ථකත්වයට පදනම වූයේ ඔහුගේ ශක්තිමත් ඇදහිල්ලයි. යෝෂුවා අද්දුටුවා හා සමාන දෙවිගේ මහත් ක්‍රියා අප දැක නැති බව ඇත්තයි. එහෙත් යමෙකුට ඒ පිළිබඳව යම් සැකයක් තිබේ නම්, යෙහෝවාගේ වචනවල විශ්වාසවන්තබව ඔප්පු කරන ඇසින් දුටු සාක්ෂි යෝෂුවාගේ නම දරන බයිබල් පොතෙහි සොයාගත හැකියි. දෙවිගේ වචනය දිනපතාම කියවා එහි සඳහන් කාරණා අදාළ කරගැනීමට අප වෑයම් කරනවා නම් යෝෂුවාට මෙන් අපටත් ප්‍රඥාව මෙන්ම සාර්ථකත්වය හිමි වනු නියතයි.

සමහරවිට සෙසු ක්‍රිස්තියානීන්ගේ හැසිරීම නිසා ඔබේ සිත පෑරෙනවාද? එහෙනම්, යෝෂුවාගේ විඳදරාගැනීම ගැන සිතා බලන්න. ඔහු අතේ කිසිදු වරදක් නොතිබුණත් නොඇදහිලිවන්ත ඊශ්‍රායෙලිතයන් සමඟ සතළිස් අවුරුද්දක් පුරාම පාළුකරයේ එහේ මෙහේ ඇවිදින්න ඔහුට සිදු වුණා. ඔබ විශ්වාස කරන දේ වෙනුවෙන් නැඟී සිටීම අපහසු දෙයක් බව ඔබට දැනෙනවාද? යෝෂුවා සහ කාලෙබ් කටයුතු කළ ආකාරය මතකයට නඟන්න. ඔවුන් පෙන්වූ ඇදහිල්ල හා කීකරුකම නිසා ඔවුන් අනර්ඝ ආශීර්වාද භුක්ති වින්දා. යෙහෝවා ඔහුගේ පොරොන්දු ඉටු කරන බවට යෝෂුවා තුළ තිබුණේ ස්ථිර ඇදහිල්ලක්. අපිත් එවැනිම ඇදහිල්ලක් වර්ධනය කරගන්න අදිටන් කරගනිමු!—යෝෂුවා 23:14.

[10වන පිටුවේ පින්තූරය]

මෝසෙස්ව ඇසුරු කිරීමෙන් යෝෂුවාගේ ඇදහිල්ල ශක්තිමත් වුණා

[10වන පිටුවේ පින්තූරය]

යෝෂුවාට හා කාලෙබ්ට යෙහෝවාගේ බලය කෙරෙහි නිසැකකමක් තිබුණා

[10වන පිටුවේ පින්තූරය]

යෙහෝවාව අත් නොහැරීමට යෝෂුවාගේ නායකත්වය සෙනඟට මහත් රුකුලක් වුණා