Skip to content

පටුනට යන්න

“ඔයා හරි, ජීවිතය සුන්දරයි”

“ඔයා හරි, ජීවිතය සුන්දරයි”

“ඔයා හරි, ජීවිතය සුන්දරයි”

ඔබ ජීවිතයේ සැබෑ යථාර්ථය දැනගන්න කැමතිද? පෝලන්තයේ ස්ටැෂ්චින් නගරයේ ජීවත් වන යෙහෝවාගේ සාක්ෂිකාරියක් වන අවුරුදු දහ අටක් වයසැති මාග්දාලේනා ඇගේ ද්විතීයික පාසැලේ යෙහෙළියක් වන කාටාර්ෂේනාට එය දැනගැනීමට උපකාර කළා. කාටාර්ෂේනා අදේවවාදී මතවල තදින්ම එල්බගෙන සිටි තැනැත්තියක්. නමුත් මාග්දාලේනා ඇයට බයිබලයේ සඳහන් විස්තර ගැන කතා කළ විට ඇය ඒ පිළිබඳව අවංක උනන්දුවක් දැක්වූවා.

මාග්දාලේනා බයිබලය සම්බන්ධව කියා දුන් තොරතුරු ගැන කාටාර්ෂේනා අගය කළත් ඒවා සම්පූර්ණයෙන්ම පිළිගැනීම ඇයට අපහසු දෙයක් වුණා. එක් අවස්ථාවකදී මාග්දාලේනා සමඟ සැබෑ මිතුරන් ගැන කථා කරමින් සිටින විට කාටාර්ෂේනා පැවසුවේ මෙසේයි. “ඔයාට නම් ඉතින් බයිබලය තියෙනවා. පිළිපදින්න ඕන ප්‍රතිපත්ති මොනවාද කියලා ඔයා දන්නවා. ඒ වගේම යහළුවන් හොයාගන්න ඕනේ කොහෙන්ද කියලාත් දන්නවා. නමුත් දැන් තියෙන යම් තත්වයක් නිසා මේ ප්‍රතිපත්ති පිළිගන්න බැරි අය ගැන මොනවාද කියන්න පුළුවන්?”

කාටාර්ෂේනා එංගලන්තයේ ලන්ඩන් නුවරට ගිය අවස්ථාවේදී ඇගේ ජීවිතයේ විශාල පෙරළියක් වුණා. ඇය එහිදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය බලන්න ගියා. ඔවුන් දැක්වූ කරුණාව කෙරෙහි ඇය මහත් සේ පැහැදුණා. ඔවුන් කළ සමහර කුඩා දේවල්, උදාහරණයක් ලෙස දොර විවෘත කර දෙමින්, ඒ වගේම ඇයට සාවධානව ඇහුම්කන් දෙමින් අවංකව දැක්වූ සැලකිල්ල ඇගේ සිත්ගත්තා.

වර්ෂ 2001 සැප්තැම්බර් මස අලුත් පාසැල් වාරය පටන්ගත් විට බයිබලය දිගටම පාඩම් කිරීමට කාටාර්ෂේනා තීරණය කළා. බයිබල් ප්‍රතිපත්ති කෙරෙහි අගය දැක්වීමටත් ඒ වගේම ඒවා එදිනෙදා ජීවිතයට අදාළ කරගැනීමටත් ඇය පටන්ගත්තා. ළඟකදී ඇය මාග්දාලේනාට මෙසේ පැවසුවා. “මට හිතෙන්නේ මම අලුත් ජීවිතයක් පටන්ගත්තා කියලා.” ඒ වගේම ඇය මාග්දාලේනාට සෙලියුලර් දුරකථනයෙන් පණිවිඩයක් එවා තිබුණේ මෙසේයි. “අද මට කළ බයිබල් පාඩමට ගොඩාක් ස්තුතියි. ඔයා හරි, ජීවිතය සුන්දරයි! මෙවැනි යහපත් දේවල්වලට ඇත්තටම ස්තුති කරන්න ඕනේ කාටද කියලා දැනගන්න ලැබීමත් හරි සතුටක්.”