Skip to content

පටුනට යන්න

දුක් විඳින්නන්ට සැනසීම

දුක් විඳින්නන්ට සැනසීම

දුක් විඳින්නන්ට සැනසීම

දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි යන ප්‍රශ්නය සම්බන්ධයෙන් බොහෝ දාර්ශනිකයන් හා දේවධර්මාධරයන් සියවස් ගණනාවක් පුරා කල්පනා කර තිබෙනවා. දෙවි සියලු බලැති කෙනෙකු නිසා සමහරෙකු පවසන්නේ දුක් වේදනාවලට වගකිව යුතු ප්‍රධානතම තැනැත්තා ඔහු විය යුතුයි කියායි. දෙවන සියවසේදී එළිදැක්වූ මිථ්‍යා ප්‍රබන්ධයක් වන ද ක්ලෙමන්ටයින් හොමිලිස් ප්‍රකාශනයේ ලේඛක පවසා සිටියේ දෙවි සිය අත් දෙකෙන්ම ලෝකය පාලනය කරන බවයි. එම ප්‍රකාශනයට අනුව, ඔහුගේ “වමත” වන යක්ෂයා මාර්ගයෙන් ඔහු දුක් වේදනා හා පීඩා පමුණුවන අතර “දකුණත” වන යේසුස් මාර්ගයෙන් ඔහු ගැලවීම ලබා දෙයි සහ ආශීර්වාද කරයි.

දුක් වේදනා ඇති කළේ නැතත් ඒවාවලට ඉඩහැරීමට දෙවිට හැකි බව පිළි නොගන්නා වෙනත් අය දුක් වේදනා පවතින බව ප්‍රතික්ෂේප කිරීමට තෝරගෙන තිබෙනවා. “නපුර මායාවකි, සැබෑ පදනමක් නැත්තකි” කියා මේරි බේක එඩී ලිව්වා. “පාපය, අසනීප හා මරණය යනු කිසිත් නැති තත්වයන් ලෙස වටහාගන්නවා නම්, ඒවා අතුරුදහන් වනු ඇත.”—සයන්ස් ඇන්ඩ් හෙල්ත් විත් කී ටු ද ස්ක්‍රිප්චර්ස්.

ඉතිහාසයේ, විශේෂයෙන්ම පළමුවෙනි ලෝක මහා යුද්ධයේ සිට අපේ දවස දක්වා සිදු වී ඇති ඛේදජනක සිද්ධීන්වල ප්‍රතිඵලයක් වශයෙන් බොහෝදෙනෙකුගේ නිගමනය වී තිබෙන්නේ දුක් වේදනා වැළැක්වීමට දෙවිට නොහැකි බවයි. “මම හිතන විදිහට දෙවෙනි ලෝක මහා යුද්ධයේදී සිදු වුණ සමූලඝාතනයෙන් සර්වබලධාරිත්වය දෙවිට ආවේණික ලක්ෂණයක් බව පැවසීම ව්‍යර්ථ වෙනවා” කියා යුදෙව් ප්‍රවීණයෙකු වූ ඩේවිඩ් වුල්ෆ් සිල්වමන් ලිව්වා. “දෙවි සම්බන්ධයෙන් යම් තාක් දුරකට හෝ අවබෝධයක් ලැබීමට නම් ඔහුගේ යහපත්කම සහ නපුර පැවතීමට තිබෙන හේතුව අතර අනුකූලතාවක් තිබිය යුතු බව අප තේරුම්ගත යුතුයි. කෙසේනමුත් මෙම අදහස පිළිගත හැකි වන්නේ ඔහු සර්වබලධාරි කෙනෙක් නොවේ නම් පමණි.” කියාද ඔහු තවදුරටත් පැවසුවා.

කෙසේවුවද, දෙවි යම් ආකාරයකින් දුක් වේදනාවලට දායක වෙනවා, එය වැළැක්වීමට ඔහුට නොහැකියි එහෙමත් නැත්නම් දුක් වේදනා අපේ මනසේ විතරක් පවතින දෙයක් කියා පැවසීමෙන් දුක් විඳින්නන්ට ලැබෙන්නේ සුළු සහනයක් පමණයි. එමෙන්ම, ඊටත් වඩා වැදගත් දෙයක් වන්නේ, එවැනි විශ්වාසයන් බයිබලයේ විස්තර කර තිබෙන යුක්තිසහගත, බලවන්ත හා සැලකිලිමත් දෙවිගේ ගුණාංගවලට මුළුමනින්ම පටහැනි වීමයි. (යෝබ් 34:10, 12; යෙරෙමියා 32:17; 1 යොහන් 4:8) එසේනම්, දුක් වේදනාවලට ඉඩහැර තිබීමට හේතුව ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

දුක් වේදනාවල මූලාරම්භය කුමක්ද?

දෙවි මිනිසුන් මැව්වේ දුක් විඳීමට නොවෙයි. ඊට පටහැනිව, ඔහු මුල් මනුෂ්‍ය යුවළ වූ ආදම් හා ඒවට පරිපූර්ණ මොළයක් හා ශරීරයක් දී, ඔවුන්ගේ නිවහන වශයෙන් ලස්සන උයනක්ද තනා දුන්නා. අර්ථවත්, සෑහීම ගෙන දෙන වැඩ කොටසක් ඔවුන්ට පැවරුවා. (උත්පත්ති 1:27, 28, 31; 2:8) කෙසේවුවද, ඔවුන්ගේ නිරතුරු සතුට රඳාපැවතුණේ ඔවුන් දෙවිගේ පාලනය අවබෝධ කරගැනීම හා යහපත කුමක්ද නපුර කුමක්ද කියා තීරණය කිරීමට ඔහුට ඇති අයිතිය වටහාගෙන සිටීම මතයි. එම දිව්‍යමය අයිතිය නියෝජනය වුණේ “යහපත හා නපුර දැනගැනීම” නමැති ගහකින්. (උත්පත්ති 2:17) එම ගහෙන් කන්න එපා කියා ඔහු දුන් ආඥාවට ආදම් හා ඒව කීකරු වූවා නම් ඔවුන් දෙවිට යටහත් පහත්භාවය පෙන්වා තිබෙනවායයි කිව හැකියි. *

ආදම් හා ඒව දෙවිට අකීකරු වීම කනගාටුවට කරුණක්. පසු කලෙක යක්ෂයා වන සාතන් වශයෙන් හඳුන්වනු ලැබූ කැරලිකාර ආත්ම පුද්ගලයෙක් ඒවට ඒත්තුගැන්නුවේ දෙවිට කීකරු වීමෙන් ඇයට යහපතක් වෙන්නේ නැහැ කියායි. ඇත්ත වශයෙන්ම ඔහු උත්සාහ කළේ ඉතා සිත්ගන්නා වටිනා දෙයක්, එනම් යහපත හා නපුර තෝරාගැනීම සඳහා තිබෙන අයිතිය නොහොත් ස්වාධීනත්වය දෙවි ඇයට නොදී සිටින බව ඇඟවීමටයි. ඇරත්, ඇය එම ගසෙන් කෑවොත් ‘ඇගේ ඇස් ඇරෙන බවත් ඇය යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන වන බවත්’ සාතන් ස්ත්‍රීට කීය. (උත්පත්ති 3:1-6; එළිදරව් 12:9) ස්වාධීනව කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් මුළා වූ ඒව තහනම් පලය කෑ අතර ආදම්ද පසුව එම දේම කළා.

එදාම ආදම් සහ ඒව සිය කැරලිකාරකම වෙනුවෙන් ප්‍රතිඵල විඳින්න පටන්ගත්තා. දිව්‍ය පාලනය ප්‍රතික්ෂේප කිරීම නිසා, දෙවිට යටත් වීමෙන් ලබාගන්න තිබූ ආරක්ෂාව හා ආශීර්වාද ඔවුන්ට අහිමි වුණා. දෙවි ඔවුන්ව පාරාදීසයෙන් නෙරපුව අතර ආදම්ට මෙසේද පැවසුවා. “නුඹ නිසා භූමිය ශාප ලද්දීය. නුඹේ ජීවිතයේ සියලු දවස්වලම නුඹ වෙහෙසින් යුක්තව එයින් කන්නෙහිය. නුඹ භූමියෙන් ගන්නා ලද බැවින් එයට හැරී යන තෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය.” (උත්පත්ති 3:17, 19) ආදම් සහ ඒවට අසනීප, වේදනාව, මහලු වයස හා මරණය විඳින්න සිද්ධ වුණා. දුක් වේදනා විඳීම මිනිසාගේ ජීවිතයේ කොටසක් වී තිබෙනවා.—උත්පත්ති 5:29.

ප්‍රශ්නය නිරාකරණය කිරීම

කෙනෙක් මෙසේ ඇසිය හැකියි. ‘ආදම් සහ ඒවගේ පාපය නොසලකාහරින්න දෙවිට බැරි වුණාද?’ නැහැ, එහෙම කළා නම්, ඔහුගේ අධිකාරියට දෙන ගෞරවය තවත් අඩු වෙන්න තිබුණා. සමහරවිට එය අනාගත කැරලිකරුවන්ට දිරි දීමක් හා මීටත් වඩා දරුණු දුක් වේදනාවලට අත වැනීමක් විය හැකියි. (දේශනාකාරයා 8:11) ඊට අමතරව, එවැනි අකීකරුකමක් ඉවසා සිටියා නම් දෙවිද එම වැරදි ක්‍රියාවට පංගුකාරයෙකු වෙයි. බයිබල් ලේඛක මෝසෙස් අපට සිහිගන්වන්නේ “ඔහු පර්වතයය, ඔහුගේ ක්‍රියාව සම්පූර්ණය. මක්නිසාද ඔහුගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය. ඔහු විශ්වාස වූ අයුතුකමෙන් තොර වූ දෙවි කෙනෙක, ඔහු වනාහි ධර්මිෂ්ඨය, අවංකය” කියාය. (ද්විතීය කථාව 32:4) තමාටම අවංක වීමට නම් දෙවිට සිදු වුණා ආදම් හා ඒවට ඔවුන්ගේ අකීකරුකමේ ප්‍රතිඵල විඳින්න ඉඩහරින්න.

කැරලිගැසීමට මුල් මිනිස් යුවළ පෙලඹවූ අදෘශ්‍යමාන තැනැත්තා වන සාතන් සමඟම ඔවුන් දෙදෙනාවද ඒ මොහොතේම දෙවි විනාශ නොකළේ මන්ද? එසේ කිරීමට ඔහුට බලය තිබුණා. එසේ කළා නම් ආදම් සහ ඒවගෙන් දුක් වේදනා හා මරණයට උරුමකම් කියන දරු පරපුරක් බිහි නොවෙන්න ඉඩ තිබුණා. කෙසේවුවද, එවෙලේම දිව්‍යමය බලය යෙදුවා නම්, තම බුද්ධිමත් මැවිලි කෙරෙහි තම පරමාධිපත්‍යයේ යුක්තිසහගතබව තහවුරු කිරීමට දෙවිට නොහැකි වේවි. එපමණක්ද නොව, ආදම් සහ ඒව දරුවන් නොමැතිව මිය ගියා නම් ඉන් පෙනී යන්නේ පරිපූර්ණ ජනිතයන්ගෙන් පොළොව පිරවීම සඳහා වූ දෙවිගේ අරමුණ අසාර්ථක වූ බවයි. (උත්පත්ති 1:28) තවද “දෙවි මිනිසුන් මෙන් නොවේ . . . ඔහු යමක් පොරොන්දු වේද එය ඉටු කරයි. ඔහු යමක් පැවසුවහොත් එලෙසම කරයි.”—ගණන් කථාව 23:19, ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන්.

යෙහෝවා දෙවි ඔහුගේ පරිපූර්ණ ප්‍රඥාවෙන් තීරණය කළේ සීමිත කාලයකට කැරලිකාරකමට ඉඩහැරීමටයි. දෙවිගෙන් ස්වාධීන වීමේ ප්‍රතිඵල අද්දකින්න කැරලිකරුවන්ට ඕනෑ තරම් ඉඩ ප්‍රස්තාව තිබුණා. කිසිම සැකයක් නැතුව මිනිස්වර්ගයාට දිව්‍යමය මඟ පෙන්වීම අවශ්‍ය බව සහ මිනිසාගේ හා සාතන්ගේ පාලනයට වඩා දෙවිගේ පාලනයේ ශ්‍රේෂ්ඨත්වය ඉතිහාසයෙන් පෙන්නුම් කරාවි. ඒ අතරතුර, පොළොව සඳහා වූ තම මුල් අරමුණ ඉටු වන බවට වගබලා ගැනීමට දෙවි පියවර ගත්තා. “වංශය” හෝ “දරු පරපුර” පැමිණෙන බවටත්, එම තැනැත්තා ‘සාතන්ගේ හිස පොඩි කරන’ බවට එනම් ඔහුගේ කැරලිකාරකම හා එහි හානිදායක ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම තුරන් කරන බවටත් ඔහු පොරොන්දු වුණා.—උත්පත්ති 3:15.

එම පොරොන්දු වංශය වන්නේ යේසුස් ක්‍රිස්තුස්. අපට 1 යොහන් 3:8හි කියවීමට තිබෙන්නේ මෙසේයි. “දෙවිගේ පුත්‍රයා ප්‍රකාශ කරනු ලැබුවේ . . . යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිසය.” ඔහු මෙය කළේ, ආදම්ගේ දරුවන්ට උරුමව තිබූ පාපයෙන් සහ මරණයෙන් මුදවාගැනීම සඳහා තම පරිපූර්ණ මිනිස් ජීවිතය පුද කිරීමෙන් හා මිදීමේ මිලයක් ගෙවීම මගින්. (යොහන් 1:29; 1 තිමෝති 2:5, 6) යේසුස්ගේ පූජාව කෙරෙහි සැබවින්ම ඇදහිල්ල තබන අයට දුක් වේදනාවලින් සදහටම සහනයක් ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා. (යොහන් 3:16; එළිදරව් 7:17) මෙය සිදු වනු ඇත්තේ කවදාද?

දුක් වේදනාවලට නිමාවක්

දෙවිගේ අධිකාරිය ප්‍රතික්ෂේප කිරීම නිසා වචනයෙන් විස්තර කළ නොහැකි තරමට දුක් වේදනා ඇති වී තිබෙනවා. එසේනම්, දෙවි විශේෂ ක්‍රමයකට තම අධිකාරිත්වය මෙහෙයවමින් මිනිසාගේ දුක් වේදනා නිම කර, පොළොව සඳහා වූ සිය මුල් අරමුණ ඉටු කිරීම යෝග්‍යයි. යේසුස් සිය අනුගාමිකයන්ට යාච්ඤා කිරීමට ඉගැන්වූ අවස්ථාවේ, මෙම දිව්‍යමය සැපයුම ගැන සඳහන් කළා. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, . . . ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.”—මතෙව් 6:9, 10.

මිනිස් පාලනය අත්හදා බැලීමට දෙවි මිනිසාට ඉඩහැර තිබූ කාලය නිමවීමට ආසන්නයි. බයිබල් අනාවැකි ඉටු කරමින් 1914දී ඔහු තම රාජ්‍යය ස්වර්ගයෙහි පිහිටුවා යේසුස් ක්‍රිස්තුස්ව එහි රජු ලෙස පත් කරනු ලැබුවා. * වැඩි කල් නොගොස් එය සියලුම මිනිස් ආණ්ඩු විනාශ කර නැති කර දමාවි.—දානියෙල් 2:44, 45ආ.

යේසුස් මිහිතලයේ ගත කළ කෙටි කාලයේදී සිදු කළ දේවසේවයෙන්, දිව්‍යමය පාලනය යළි ස්ථාපිත කිරීමත් සමඟම මිනිස්වර්ගයාට ලැබෙන ආශීර්වාද උරගා බැලීමට අවස්ථාවක් දෙනු ලැබුවා. මිනිස් සමාජයේ දිලිඳු මෙන්ම අසාධාරණයට ලක් වූ සාමාජිකයන් කෙරෙහි යේසුස් දයාව පෙන්වූ බවට සුවිශේෂවල සාක්ෂි තිබෙනවා. ඔහු රෝගීන්ව සුව කළා; කුසගිනිවූවන්ට කන්න දුන්නා; මළවුන්ව නැඟිට්ටෙව්වා. සොබාදහමේ බලවේගයන් පවා ඔහුගේ හඬට කීකරු වුණා. (මතෙව් 11:5; මාර්ක් 4:37-39; ලූක් 9:11-16) සිතා බලන්න, කීකරු වන මුළු මිනිස්වර්ගයාටම ප්‍රයෝජන ලැබිය හැකි වන ලෙස යේසුස් තම මිදීමේ මිල පූජාව භාවිත කර සියල්ල පවිත්‍ර කරන විට ඔහු මොනතරම් මහත් දෙයක් කරනු ඇද්ද! ක්‍රිස්තුස්ගේ පාලනය මගින් දෙවි “[මිනිස්වර්ගයාගේ] ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණය තවත් නොවන්නේය. වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය” කියා බයිබලයේ පොරොන්දු වෙයි.—එළිදරව් 21:4.

දුක් විඳින්නන්ට සැනසීම

අපේ ප්‍රේමණීය, සියලු බලැති දෙවි යෙහෝවා අප ගැන සැලකිලිමත් වන බවත්, නොබෝ කලකින් ඔහු මිනිස්වර්ගයාට සහනය ගෙනෙන බවත් දැනගැනීමට ලැබීම මොනතරම් දිරිය වඩවන්නක්ද! සාමාන්‍යයෙන්, දරුණු රෝගයකින් පෙළෙන කෙනෙක් තමාව සුව වේවියයි සිතන දැඩි වේදනාකාරී ප්‍රතිකාරයක් වුවත් කැමැත්තෙන්ම පිළිගනියි. එලෙසම, දෙවි කාරණා හසුරුවන ආකාරය අනුව, සදාකාල ආශීර්වාද ලැබෙන බව අප දැනගෙන සිටිනවා නම් අප තාවකාලිකව කොතෙක් දුෂ්කරතාවලට මුහුණ දුන්නත් එම දැනුමට හැකියි අපව උසුලා සිටින්න.

කලින් ලිපියේ සඳහන් කළ රිකාඩෝ බයිබල් පොරොන්දුවලින් සැනසීම ලබාගැනීමට ඉගෙනගත් කෙනෙක්. “මගේ නෝනා මැරුණාට පස්සේ මට ඕන වුණේ අනිත් අයගෙන් ඈත් වෙලා ඉන්නයි. ඒත් මේකෙන් මගේ නෝනව ආපහු ලැබෙන්නෙ නැහැ, මගේ දුක තව තවත් වැඩි වෙන එක විතරයි වෙන්නේ කියලා වැඩි කල් යන්න කලින් මට තේරුණා” යයි ඔහු මතකයට නඟයි. නැවතත් රිකාඩෝ සුපුරුදු පරිදි ක්‍රිස්තියානි රැස්වීම්වලට යමින් අනිත් අය සමඟ බයිබල් පණිවිඩය බෙදාගැනීමෙහි නිරත වුණා. “යෙහෝවාගේ ප්‍රේමණීය උපකාරය මට ලැබුණහම සහ පුංචි පුංචි දේවල් වෙනුවෙන් පවා මම යාච්ඤා කරද්දී ඒවාට උත්තර ලැබුණ හැටි දැක්කහම මම තව තවත් ඔහුට ළං වුණා” කියා රිකාඩෝ පවසයි. “දෙවි මේ වගේ ප්‍රේමණීය කෙනෙක් බව දැනගෙන ඉන්න එක ඇත්තෙන්ම මට ලොකු ශක්තියක් වුණා මගේ දරුණුතම පරීක්ෂණයේදී විඳදරාගන්න.” ඔහු මෙසේද පවසයි. “මගේ නෝනා නැතුව මට තාමත් හරිම පාලුයි. ඒත් දැන් මට හොඳටම විශ්වාසයි යෙහෝවා ඉඩහරින කිසිම දෙයකට බැහැ කියලා අපිට සදහටම හානියක් කරන්න.”

රිකාඩෝ සහ තවත් මිලියන සංඛ්‍යාතදෙනෙකු මෙන් ඔබත් මිනිස්වර්ගයා දැන් අද්දකින දුක් වේදනා “මතක් කරනු ලබන්නේවත් සිහිවෙන්නේවත් නැති” කාලය එන තෙක් ආශාවෙන් බලා සිටිනවාද? (යෙසායා 65:17) “යෙහෝවා සම්බ වෙන්ට සිටිද්දී ඔහුව සොයා, ඔහු ළංව සිටිද්දී ඔහුට යාච්ඤා කරන්න” කියා බයිබලයේ දී ඇති උපදෙස ඔබ පිළිපදිනවා නම් දෙවිගේ රාජ්‍යයේ ආශීර්වාද ඔබට නොඅඩුව ලැබෙන බවට සහතික වන්න.—යෙසායා 55:6.

මෙය කිරීමට උපකාරයක් වශයෙන් දෙවිගේ වචනය කියවීම හා පරෙස්සමින් අධ්‍යයනය කිරීම ඔබේ ජීවිතයේ අතිවැදගත් අංගයක් කරගන්න. දෙවිවත්, ඔහු විසින් එවනු ලැබූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැනගැනීමට පියවර ගන්න. දෙවිගේ ප්‍රමිති අනුව ජීවත් වෙන්න පරිශ්‍රමයක් දරමින් ඔහුගේ පරමාධිපත්‍යයට යටත් වීමට කැමති බව පෙන්වන්න. ඔබ පරීක්ෂාවලට මුහුණ දෙනවා විය හැකි වුවත් එවැනි ක්‍රියාමාර්ගයකින් ඔබට වඩාත් විශාල සතුටක් ලැබේවි. එමෙන්ම අනාගතයේදී, දුක් වේදනාවලින් තොර ලෝකයක ප්‍රීතියෙන් ජීවත් වෙන්න ඔබට ප්‍රස්තාව ලැබේවි.—යොහන් 17:3.

[පාදසටහන්වල]

^ 7 ඡේ. ද ජෙරූසලම් බයිබල්හි උත්පත්ති 2:17 සඳහා වූ පාදසටහනේ දැක්වෙන පරිදි “යහපත හා නපුර දැනගැනීම” යනු “යහපත හා නපුර කුමක්ද . . . කියා තීරණය කිරීමටත්, ඒ අනුව ක්‍රියා කිරීමටත් ඇති බලයයි. එනම්, හරි වැරැද්ද තේරීමේ සම්පූර්ණ නිදහස ලැබීම නිසා තමා මැවිල්ලක්ය යන කාරණය පිළිගැනීමට මිනිසා අකමැත්ත පළ කිරීමයි.” එය තවදුරටත් මෙසේද පවසයි. “මුල්ම පාපය දෙවිගේ පරමාධිපත්‍යයට එරෙහිව එල්ල කළ ප්‍රහාරයකි.”

^ 17 ඡේ. වර්ෂ 1914ට සම්බන්ධ බයිබල් අනාවැකි පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතේ 10වන හා 11වන පරිච්ඡේද බලන්න.

[6, 7වන පිටුවේ කොටුව]

අපට දුක් වේදනාවලට සාර්ථකව මුහුණ දිය හැක්කේ කෙසේද?

“නුඹලාගේ හැම කරදර [දෙවි] පිට තබන්න.” (1 පේතෘස් 5:7) අප දුක් වේදනා විඳදරාගෙන සිටින විට හෝ අපේ ප්‍රේමනීයයෙක් වේදනා විඳින හැටි දකින විට ව්‍යාකූලත්වය, කෝපය හා අත්හැර දමා ඇති බව යනාදි හැඟීම් ඇතිවීම සම්පූර්ණයෙන්ම ස්වාභාවිකයි. එහෙත්, යෙහෝවා අපේ හැඟීම් තේරුම්ගන්න බවට නිසැක වන්න. (නික්මයාම 3:7; යෙසායා 63:9) අතීතයේ සිටි ඇදහිලිවන්ත මිනිසුන් කළාක් මෙන් අපටත් හැකියි අපේ හද පත්ලේ ඇති දේ නොසඟවා ඔහුට කියන්නත්, අපට ඇති සැකයන් හා කරදර ගැන පවසන්නත්. (නික්මයාම 5:22; යෝබ් 10:1-3; යෙරෙමියා 14:19; හබක්කුක් 1:13) ප්‍රාතිහාර්යමය ලෙස ඔහු අපේ පීඩා ඉවත් නොකරනවා විය හැකි වුවත්, අපේ හෘදයාංගම යාච්ඤාවලට ප්‍රතිචාරය දක්වමින් ඒවා සමඟ කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රඥාව හා ශක්තිය අපට දෙන්න ඔහුට හැකියි.—යාකොබ් 1:5, 6.

ඔබට යම් අමුතු දෙයක් සිද්ධ වන්නාක් මෙන් ඔබ විඳින වේදනාකාරී පීඩාව ගැන පුදුම නොවන්න.” (1 පේතෘස් 4:12, නිව් ඉන්ටනැෂනල් වර්ෂන්) පේතෘස් මෙහිදී කතා කරන්නේ පීඩා ගැන වුවත් ඇදහිලිවන්තයෙකු විඳින ඕනෑම දුක් වේදනාවකටත් ඔහුගේ වචන හොඳින් අදාළ වෙයි. අගහිඟකම්, අසනීප හා වියෝවීම් නිසා මිනිසා වේදනා විඳිනවා. බයිබලයේ පවසන්නේ “කාලයත් හදිසි කාරණාත්” සියල්ලන්ටම සිද්ධ වෙන බවයි. (දේශනාකාරයා 9:11) ඒවා වත්මන් මනුෂ්‍ය සමාජයේ පවතින සාමාන්‍ය දේවල්. මෙය වටහාගැනීම, දුක් වේදනා සහ අභාග්‍යසම්පන්න දේවල් සමඟ කටයුතු කිරීමට අපට උපකාරවත් වෙයි. (1 පේතෘස් 5:9) සියල්ලටම වඩා, “යෙහෝවාගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා” ඇති බවට කර තිබෙන සහතිකය මතකයට නඟාගැනීම විශේෂයෙන්ම සැනසිල්ලට හේතුකාරකයක් වනු ඇත.—ගීතාවලිය 34:15; හිතෝපදේශ 15:3; 1 පේතෘස් 3:12.

“බලාපොරොත්තුවෙහි ප්‍රීති වෙන්න.” (රෝම 12:12) අහිමි වූ සතුට ගැන සිතමින් සිටිනවා වෙනුවට, සියලු දුක් වේදනාවන් කෙළවර කරන බවට දෙවි දී ඇති පොරොන්දුව ගැන මෙනෙහි කිරීමට අපට හැකියි. (දේශනාකාරයා 7:10) හිස්වැස්මකින් ලැබෙන ආරක්ෂාව යම් සේද මෙම මනා ස්ථාපිත බලාපොරොත්තුවෙන් ලැබෙන සුරක්ෂිතභාවයද එලෙසමයි. එම බලාපොරොත්තුව මගින් ජීවිතයේ දුක් ගැහැට සුමට කෙරෙන අතර අපේ මනසට, චිත්තවේගයන්වලට හෝ ආත්මික සෞඛ්‍යයට එම දුක් ගැහැටවලින් දැඩි හානියක් එල්ල නොවන බවට සහතික කරගැනීමටද එය උපකාරවත් වෙයි.—1 තෙසලෝනික 5:8.

[5වන පිටුවේ පින්තූරය]

ආදම් සහ ඒව දිව්‍ය පාලනය ප්‍රතික්ෂේප කළා

[7වන පිටුවේ පින්තූරය]

දුක් වේදනාවලින් තොර ලෝකයක් ලබා දෙන බවට දෙවි පොරොන්දු වෙයි