Skip to content

පටුනට යන්න

‘දෙවියනි, ඇයි මේ වගේ දේකට ඉඩහැරියේ?’

‘දෙවියනි, ඇයි මේ වගේ දේකට ඉඩහැරියේ?’

‘දෙවියනි, ඇයි මේ වගේ දේකට ඉඩහැරියේ?’

වෛද්‍යවරයා පැමිණෙන තුරු තම බිරිඳ වූ මාරියා සමඟ ඉඳගෙන සිටි අයුරු රිකාඩෝට තාම මතකයි. * මාරියාගේ අලුත්ම වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල කියවා බැලීමට ඔවුන් දෙදෙනාගෙන් එක්කෙනෙකුටවත් ධෛර්යයක් තිබුණේ නැහැ. ඊට පස්සේ, රිකාඩෝ කවරය ඇර වෛද්‍ය වාර්තා සටහනේ උඩ සිට පහළට ඉක්මනින් නෙත් යොමු කළා. “පිළිකාව” යන වචනය දුටු සැනින් දෙදෙනාම අඬන්න පටන්ගත්තේ එම වචනයේ තේරුම හොඳින් දැන සිටි නිසයි.

“හරිම කරුණාවන්ත දොස්තර කෙනෙක්. නමුත් තත්වයේ බරපතළකම පැහැදිලිවම අවබෝධ කරගෙන හිටිය ඔහු දිගින් දිගටම අපට කිව්වේ දෙවි කෙරෙහි විශ්වාසය තියාගන්න කියලයි” කියා රිකාඩෝ මතකය අවදි කරයි.

මාරියාට විකිරණ චිකිත්සාව දීමට පෙර ඇගේ දකුණු පාදය පාලනය කරගත නොහැකිව සෙලවෙන බව ඇගේ වෛද්‍යවරයා දැක්කා. තවදුරටත් පරීක්ෂණ කිරීමෙන් හෙළි වූයේ පිළිකාව ඇගේ මොළයටම ඔඩු දුවලා තිබෙන බවයි. විකිරණ චිකිත්සාව සතියක් දුන් පසු එය නවතා දැමීමට සිදු වුණා. සිහි මූර්ඡාගතියකට පත් වූ මාරියා ඉන් මාස දෙකකට පසු මිය ගියා. “ඇගේ වේදනාව කෙළවර වුණ එක මට සතුටක් වුණත් ඈ නැති පාලුව දරාගන්න බැරි තැන මාවත් මැරිලා යනවා නං හොඳයි කියලා හිතන තත්වෙට මම පත් වුණා. ‘දෙවියනි, ඇයි මේ වගේ දෙයක් වෙන්න ඉඩහැරියේ’ කියලා නිතරම මම අඬමින් දෙවිගෙන් ඇහැව්වා” කියා රිකාඩෝ පැහැදිලි කරයි.

ඛේදවාචකයත් සමඟම ප්‍රශ්න රැසක්

රිකාඩෝ මෙන් ලොව පුරා සිටින ගණන් කළ නොහැකි ජන සමූහයකට අනිවාර්යයෙන්ම දුක් වේදනාවලට මූණ දෙන්න සිදු වෙනවා. බොහෝ අවස්ථාවලදී දුක් විඳින්නේ අහිංසක අයයි. මිනිස්වර්ගයාට වින කරමින් ඉවක් බවක් නැතුව සිදු වූ අවි සන්නද්ධ ගැටුම් නිසා ඇති වී තිබෙන හද කම්පිත කරවන ශෝකය ගැන සිතා බලන්න. එහෙමත් නැත්නම් මිනිසුන් විසින් සිදු කර ඇති ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, ගෘහස්ථ සැහැසියාවන් හා වෙනත් නපුරු ක්‍රියාවන්ට ගොදුරු වූ බොහෝදෙනෙකු විඳින වේදනාව ගැනත් සිතා බලන්න. ඉතිහාසය පුරා සිදු වී ඇති අයුක්තියට හා හටගෙන ඇති වේදනාවන්වලට සීමාවක් නැති බව පෙනෙන්න තිබෙන්නේ ස්ත්‍රීන් සහ පුරුෂයන් එකිනෙකාට පීඩා කිරීමට කැමැත්තක් දක්වා තිබීම හේතුවෙනි. (දේශනාකාරයා 4:1-3) එපමණක් නොව, ස්වාභාවික ව්‍යසනයන්ට හෝ චෛතසික, මානසික හා ශාරීරික අසනීපවලට ගොදුරු වී අධික වේදනාවක් විඳින අයද සිටියි. එසේනම්, “එවැනි දුක් වේදනාවන්ට දෙවි ඉඩහරින්නේ ඇයි” කියා බොහෝදෙනෙකු ඇසීම පුදුමයක් නොවෙයි.

ආගමික විශ්වාසයන් තිබෙන අයට පවා දුක් වේදනාවලට මුහුණ දීම පහසු දෙයක් නොවෙයි. ප්‍රේමණීය, සියලු බලැති දෙවි කෙනෙකු මිනිසුන්ට මෙලෙස දුක් විඳින්න ඉඩහැර තිබෙන්නේ මොන හේතුවක් නිසාදැයි ඔබත් කල්පනා කළ හැකියි. අපේ මනසේ සාමය හා දෙවි සමඟ තිබෙන අපේ සබඳතාව පවත්වාගැනීම සඳහා එම ව්‍යාකූල කරවන ප්‍රශ්නයට සෑහීම ගෙන දෙන හා සත්‍යවාදී පිළිතුරක් සොයාගැනීම අත්‍යවශ්‍යයි. බයිබලයේ එවැනි පිළිතුරක් සපයයි. ඊළඟ ලිපියේ ඉදිරිපත් කර තිබෙන ආකාරයට එහි පවසන්නේ කුමක්දැයි සලකා බලන්න.

[පාදසටහන]

^ 2 ඡේ. නම් වෙනස් කර ඇත.

[3වන පිටුවේ පින්තූර]

දෙවි කෙරෙහි විශ්වාසය තබන්න කියලා වෛද්‍යවරයා නිතරම අපට කිව්වා