Skip to content

පටුනට යන්න

පෙරට වඩා වැඩියෙන් දැන් අවදිව සිටින්න

පෙරට වඩා වැඩියෙන් දැන් අවදිව සිටින්න

පෙරට වඩා වැඩියෙන් දැන් අවදිව සිටින්න

“අපි අන් අය මෙන් නිදා නොසිට, අවදිව, සිහිකල්පනාව ඇතිව සිටිමු.”—1 තෙසලෝනික 5:6, NW.

1, 2. (අ) පොම්පෙයි සහ හර්කියුලේනියම් මොන වගේ නගර වූවාද? (ආ) පොම්පෙයි හා හර්කියුලේනියම් නගරවල විසූ බොහෝ වැසියන් නොසලකාහැරිය අනතුරු ඇඟවීම කුමක්ද? එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද?

අපගේ පොදු යුගයේ පළමු සියවසේදී සමෘද්ධිමත් වී තිබූ පොම්පෙයි සහ හර්කියුලේනියම් නමැති රෝම නගර දෙක පිහිටා තිබුණේ විසූවියස් කන්ද අසලය. ධනවත් රෝමවරු තමන්ගේ නිවාඩු කාලය ගත කිරීම සඳහා එම නගරවලට ඇදී ගියහ. දහස් ගණනකට අසුන්ගත හැකි නාට්‍ය ශාලා එහි පිහිටා තිබිණ. පොම්පෙයි නගරයේ විසූ සියලුදෙනාටම පාහේ අසුන්ගත හැකි දැවැන්ත අර්ධ චක්‍රාකාර නෘත්‍යාගාරයක් එහි ඉදි කර තිබිණ. පොම්පෙයි නගරයේ තැබෑරුම් 118ක් තිබූ බව එහි කැණීම් කටයුතු කළ අය විසින් ගණන් බලා තිබේ. එම තැබෑරුම්වලින් සමහරක් සූදු කෙළීම සඳහාද ගණිකා වෘත්තියේ නියැලීම සඳහාද යොදාගෙන තිබිණ. දුරාචාරය හා ද්‍රව්‍යවාදය එම නගරයේ හාත්පස පැතිර තිබූ බව බිතු සිතුවම්වලින් හා වෙනත් නටඹුන්වලින් අනාවරණය වේ.

2 පොදු යුගයේ 79 අගෝස්තු 24වනදා විසූවිසස් කන්ද පුපුරන්න පටන්ගත්තේය. මුල් පිපිරීමේදී එම නගර දෙක මතට ලාවා කැබලි හා අළු වරුෂාවක් මෙන් ඇද හැළිණ. කෙසේවෙතත්, නගරවැසියන්ට පලා යන්න අවස්ථාවක් තිබෙන්න ඇති කියා ගිනි කඳු පිළිබඳ තොරතුරු හදාරන විද්‍යාඥයෝ විශ්වාස කරති. ඇත්තෙන්ම, බොහෝදෙනෙකු එම නගර දෙකෙන් ඉවත් වූ බවක් පෙනෙන්න තිබේ. කෙසේවෙතත්, ගිනි කන්ද පිපිරී යෑමේ අනතුර සැහැල්ලුවට ගත් තවත් අය එසේ නැතහොත් අනතුරු ඇඟවීමේ ලකුණු නොසලකාහැරිය අය එහිම රැඳී සිටින්න තීරණය කළහ. එක් දිනක් මධ්‍යම රාත්‍රියෙහි පමණ ලෝදිය, ඝන ලාවා කැබලි හා පර්වත කොටස් විශාල ප්‍රමාණයක් එකවිටම හර්කියුලේනියම් නගරය මතට ඇද හැළුණු අතර මෙමගින් එහි ඉතිරිව සිටි සියලුදෙනාම මරණයට පත් වූහ. පසුදා උදෑසන ඒ හා සමාන සිද්ධියකින් පොම්පෙයි නගරයේ සිටි සෑම කෙනෙක්මද මියගියහ. අනතුරු ඇඟවීම් සැලකිල්ලට නොගැනීම නිසා මුහුණ දීමට සිදු වූයේ මොනතරම් දරුණු ඛේදවාචකයකටද!

යුදෙව් සමාජ ක්‍රමයේ අවසානය

3. යෙරුසලමේ විනාශය අතරත් පොම්පෙයි හා හර්කියුලේනියම් නගරවල සිදු වූ විනාශය අතරත් තිබෙන සමානකම කුමක්ද?

3 පොම්පෙයි හා හර්කියුලේනියම් නගරවලට සිදු වූ තැතිගන්වනසුලු අවසානයට වඩා ඊට අවුරුදු නවයකට කලින් මිනිසුන් විසින් සිදු කරන ලද යෙරුසලමේ විනාශය අතිශය දරුණු එකක් විය. “හමුදාවක් විසින් මෙතෙක් සිදු කර තිබෙන දරුණුතම වටලෑම්වලින් එකක්” ලෙස විස්තර කෙරෙන යෙරුසලම වටලෑමෙන් යුදෙව්වන් දශලක්ෂයකට වඩා වැඩිදෙනෙකු මියගිය බව වාර්තා වේ. කෙසේවෙතත් පොම්පෙයි සහ හර්කියුලේනියම් නගරවලට සිදු වූ විනාශය හා සමානව යෙරුසලමේ සිදු වූ විනාශයද අනතුරු ඇඟවීම් නොකර සිදු වූවක් නොවේ.

4. සමාජ ක්‍රමයක අවසානය ආසන්න බවට යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට අනතුරු අඟවමින් දුන් අනාවැකිමය ලකුණ කුමක්ද? මෙය මුලින්ම මුල් සියවසේදී ඉටු වූයේ කෙසේද?

4 යේසුස් ක්‍රිස්තුස් යෙරුසලම් නගරයේ විනාශය ගැන පුරෝකථනය කර තිබිණ. එම විනාශයට කලින් යුද්ධ, ආහාර හිඟකම්, භූමිකම්පා සහ නොපනත්කම් වැනි ජන සමාජය තැතිගන්වන දේවල් සිදු වන බවද ඔහු කලින්ම පැවසුවේය. බොරු අනාගතවක්තෘවරුන් ක්‍රියාශීලීව කටයුතු කරන බවත් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ලොව පුරා දේශනා කරනු ලබන බවත් එම පුරෝකථනයේ සඳහන් විය. (මතෙව් 24:4-7, 11-14) යේසුස්ගේ වදන් විශාල වශයෙන් ඉටු වන්නේ අදදින වුවත් ඒ කාලයේද එම වදන් සුළු වශයෙන් ඉටු විය. යූදා දේශයේ දරුණු සාගතයක් පැවති බව ඉතිහාසයේ වාර්තා වේ. (ක්‍රියා 11:28) යෙරුසලම විනාශ වීමට ටික කලකට ඉහතදී එහි භූමිකම්පාවක් සිදු වූ බව යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් වාර්තා කරයි. යෙරුසලමේ අවසානය ළඟා වෙමින් පැවති කාලයේදී යුදෙව් දේශපාලනික කොටස් අතර කැරලිගැසීම් අඛණ්ඩව පැවති අතර අභ්‍යන්තර යුද්ධද සිදු විය. යුදෙව්වන් හා වෙනත් ජාතීන් විසූ ඇතැම් නගරවල සමූල ඝාතනයන්ද සිදු විය. මෙවන් තත්වයක් පැවතියද රාජ්‍යයේ ශුභාරංචිය “අහසින් යට මුළු මැවිල්ලෙහි” දේශනා කරමින් තිබිණ.—කොලොස්සි 1:23.

5, 6. (අ) පොදු යුගයේ 66දී ඉටු වූයේ යේසුස් පැවසූ කුමන අනාවැකිමය වදන්ද? (ආ) අවසානයේදී පො.යු. 70දී යෙරුසලම විනාශ වූ විට එතරම් විශාල පිරිසක් මරුමුවට පත් වූයේ මන්ද?

5 අවසානයේදී, එනම් පො.යු. 66දී යුදෙව්වරු රෝමයට විරුද්ධව කැරලිගැසූහ. සෙස්ටියස් ගැලස්ගේ නායකත්වය යටතේ පැමිණි හමුදාව යෙරුසලම වැටලූ අවස්ථාවේදී යේසුස්ගේ අනුගාමිකයන්ට ඔහු පැවසූ මෙම වදන් මතක් විය. “සේනාවන් කඳවුරු බැඳ යෙරුසලම වටලා සිටිනවා ඔබ දකින කල, ඇගේ පාළු කිරීම ළං වී තිබෙන බව දැනගන්න. එවිට යුදයේ සිටින අය කඳුවලට පලා යන්න. නුවර තුළ සිටින අය පිටත්ව යන්න. ගම්බද පළාත්වල සිටින අය නුවරට ඇතුල් නොවන්න.” (ලූක් 21:20, 21, NW) යෙරුසලමෙන් පිට වී යෑමට කාලය පැමිණ තිබිණ. එහෙත් පිට වී යන්නේ කෙසේද? බලාපොරොත්තු නොවූ ආකාරයට ගැලස් තමන්ගේ හමුදාව ඉවත් කරගත් අතර, එහි ප්‍රතිඵලයක් හැටියට යෙරුසලමේ හා යුදයේ සිටි ක්‍රිස්තියානීන්ට යේසුස්ගේ වදන්වලට කීකරු වී කඳුවලට පලා යෑමට මාර්ගය විවෘත විය.—මතෙව් 24:15, 16.

6 යුදෙව් කැරැල්ල අවසානයකට ගෙන ඒමට අදිටන් කරගෙන සිටි සෙන්පති ටයිටස්ගේ නායකත්වය යටතේ රෝම හමුදාව අවුරුදු හතරකට පසුව ආපසු පැමිණියේය. ඔවුන් පැමිණියේ පාස්කුව සැමරීමට ආසන්න කාලයකයි. සෙන්පති ටයිටස්ගේ හමුදාව යෙරුසලම වට කර එහි සිටි කිසිවෙකුට ගැලවී යා නොහැකි වන ලෙස “උල් කළ කණුවලින් වැටක්” බැන්දේය. (ලූක් 19:43, 44, NW) යුධ තර්ජනයක් තිබුණද රෝම අධිරාජ්‍යය පුරා සිටි යුදෙව්වෝ අතිවිශාල පිරිසක් පාස්කුව සැමරීම සඳහා යෙරුසලමට රැස් වූහ. ඔවුන් උගුලට හසු විය. ජොසීෆස් වාර්තා කරන ආකාරයට රෝමය විසින් යෙරුසලම වටලාගෙන සිටි කාලය අතරතුර මියගිය අයගෙන් බහුතරයක් එසේ වෙනත් දේශවලින් යෙරුසලම් නගරයට පැමිණි අසරණ අමුත්තන්ය. * අවසානයේදී යෙරුසලම විනාශ කර දැමූ අවස්ථාවේදී රෝම අධිරාජ්‍යය පුරා සිටි සියලුම යුදෙව්වන්ගෙන් හතෙන් එකක් පමණ ඝාතනය කරන ලදි. යෙරුසලමේ සහ එහි පිහිටි දේවමාළිගාවේ විනාශයත් සමඟම මෝසෙස්ගේ නීතිය මත පදනම්ව තිබූ යුදෙව් රජය හා එහි ආගමික ක්‍රමය අවසන් විය. *මාර්ක් 13:1, 2.

7. යෙරුසලමේ විනාශයෙන් තම දිවි රැකගැනීමට ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ට හැකි වූයේ මන්ද?

7 යුදෙව් ක්‍රිස්තියානීන්ද පොදු යුගයේ 70දී මරුමුවට පත්වීමට හෝ යෙරුසලමේ සිටි සෙසු අය සමඟ වහල්භාවයට පත්වීමට ඉඩ තිබිණ. කෙසේවෙතත් ඉතිහාසයෙන් සොයාගත හැකි සාක්ෂිවලින් පැහැදිලි වන්නේ අවුරුදු 37කට පෙර යේසුස් කළ අනතුරු ඇඟවීමට ඔවුන් අවනත වූ බවයි. නගරය අත්හැර දමා ගිය ඔවුන් ආපසු එහි පැමිණියේ නැත.

ප්‍රේරිතයන් කළ කාලෝචිත අනතුරු ඇඟවීම්

8. පේතෘස් දුටු අවශ්‍යතාව කුමක්ද? ඔහුගේ මනසෙහි තිබුණා විය හැක්කේ යේසුස්ගේ කුමන වදන්ද?

8 සමස්ත වත්මන් සමාජ ක්‍රමය අවසානයකට ගෙන එන මීටත් වඩා දරුණු විනාශයක් වේගයෙන් ළඟා වෙමින් පවතී. යෙරුසලමේ විනාශය සිදුවීමට අවුරුදු හයකට කලින් ප්‍රේරිත පේතෘස් හදිසිතාවෙන් යුත් කාලෝචිත උපදේශයක් දුන්නේය. විශේෂයෙන්ම අපේ කාලයේ සිටින ක්‍රිස්තියානීන්ට අදාළ වන එම උපදේශය වන්නේ අවදිව සිටින්න යන්නයි. “ස්වාමීන්ගේ [යේසුස් ක්‍රිස්තුස්ගේ] ආඥාව” නොසලකා නොහරින පිණිස ඔවුන් සතු “නිරවුල්ව සිතීමේ හැකියාවන්” පුබුදුවාලීමේ අවශ්‍යතාව පේතෘස් දුටුවේය. (2 පේතෘස් 3:1, 2, NW) අවදිව සිටින්න කියා ක්‍රිස්තියානීන්ගෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටීමේදී යේසුස් ඔහුගේ මරණයට දවස් කිහිපයකට කලින් සිය ප්‍රේරිතයන්ට පැවසූ මෙම වදන් පේතෘස්ගේ මනසෙහි තිබුණා විය හැකියි. “නියම කරන ලද කාලය කවදාදැයි ඔබ නොදන්නා හෙයින් පරෙස්සමින් සිටින්න, අවදිව සිටින්න.”—මාර්ක් 13:33, NW.

9. (අ) ඇතැමුන් තමන් තුළ වර්ධනය වීමට ඉඩහරිනු ඇති අනතුරුදායක ආකල්පය කුමක්ද? (ආ) සැක කිරීමේ ආකල්පයක් තිබීම බෙහෙවින් විනාශකාරී වන්නේ මන්ද?

9 අද සිටින සමහරු සමච්චල් කරමින් මෙසේ අසති. “තමන් පැමිණ සිටින බවට ඔහු කළ පොරොන්දුවට කුමක් වී තිබේද?” (2 පේතෘස් 3:3, 4, NW) තත්වයන් කවදාවත් වෙනස් වන්නේ නැති බවත් ලෝකයේ පටන්ගැන්මේ සිට සෑම දෙයක්ම පවතින විදිහටම තිබෙන බවත් එවැනි අයට හැඟේ. මෙලෙස සැක කිරීම අනතුරුදායකයි. ආත්මාර්ථකාමි අභිලාෂයන් කරා අපව ටිකෙන් ටික ගෙන යමින් අප තුළ තිබෙන හදිසිතාවේ හැඟීම දුර්වල කිරීමට සැක කිරීම්වලට හැකියි. (ලූක් 21:34) එපමණක්ද නොව, පේතෘස් පෙන්වා දුන්නාක් මෙන් එවැනි සමච්චල්කරන්නෝ ලෝක ව්‍යාප්ත සමාජ ක්‍රමයක් විනාශ කර දමමින් නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්ම අමතක කර දමති. ඇත්තෙන්ම එම විනාශය මගින් එදා පැවති ලෝකය මුළුමනින්ම වෙනස් විය.—උත්පත්ති 6:13, 17; 2 පේතෘස් 3:5, 6.

10. නොඉවසිලිමත් විය හැකි අයව පේතෘස් දිරිමත් කරන්නේ කුමන වදන් යොදාගෙනද?

10 පේතෘස් මෙහිදී ඔහුගේ ලිපිය කියවන අයට ඉවසීම වර්ධනය කරගැනීමට උපකාර කරයි. ඔහු මෙය කරන්නේ බොහෝ අවස්ථාවලදී දෙවි පියවර ගැනීමට ඉක්මන් නොවීමට හේතුව ඔවුන්ට මතක් කර දෙමිනි. මුලින්ම ඔහු මෙසේ පවසයි. “යෙහෝවාට එක දවසක් අවුරුදු දහසක් මෙන්ය. අවුරුදු දහසක් එක දවසක් මෙන්ය.” (2 පේතෘස් 3:8) යෙහෝවා සදාකාලයටම ජීවත් වන නිසා සියලුම කරුණු සැලකිල්ලට ගනිමින් පියවර ගැනීමට සුදුසුම කාලය කුමක්ද කියා තීරණය කිරීමට ඔහුට හැක. අනතුරුව පේතෘස් කතා කරන්නේ සෑම තැනකම සිටින මිනිසුන් පසුතැවිලි වී ගැලවීම ලබාගන්නවා දැකීමට යෙහෝවාට තිබෙන ආශාව ගැනයි. දෙවිගේ ඉවසීම බොහෝදෙනෙකුගේ ගැලවීමට හේතු වේ. දෙවි වහාම ක්‍රියා කළා නම් බොහෝදෙනෙකු විනාශ වනු ඇත. (1 තිමෝති 2:3, 4; 2 පේතෘස් 3:9) කෙසේවෙතත් යෙහෝවා කවදාවත් පියවර ගන්නේ නැහැ කියා ඔහුගේ ඉවසීමෙන් අදහස් කරන්නේ නැත. “සොරෙකු මෙන් යෙහෝවාගේ දවස [අනිවාර්යයෙන්ම] පැමිණෙන්නේය” කියාද පේතෘස් පවසයි.—2 පේතෘස් 3:10.

11. ආත්මිකව අවදිව සිටීමට අපට උපකාරවත් වනු ඇත්තේ කුමක්ද? මෙය යෙහෝවාගේ දවස යම් ආකාරයකින් “වේගවත්” කරනු ඇත්තේ කෙසේද?

11 පේතෘස් කළ සැසඳීම සැලකිල්ලට ගැනීම වටී. සොරුන්ව අල්ලාගැනීම පහසු දෙයක් නොවේ. එනමුත් නිදිකිරා වැටෙන මුරකරුවෙකුට වඩා මුළු රාත්‍රිය පුරාම අවදිව සිටින මුරකරුවෙකුට සොරෙකුගේ පැමිණීම හඳුනාගැනීමට පහසුයි. මුරකරුවෙකුට අවදිව සිටිය හැක්කේ කෙසේද? මුළු රාත්‍රිය පුරාම එක තැනක වාඩි වී සිටිනවාට වඩා එහා මෙහා ඇවිදීමෙන් අවදියෙන් සිටීමට ඔහුට හැකි වේ. ඒ හා සමානව, ක්‍රිස්තියානීන් වශයෙන් ආත්මිකව ක්‍රියාශීලීව සිටීමද අවදියෙන් සිටීමට අපට උපකාරවත් වේ. “ශුද්ධ වූ හැසිරීමට සහ දේවභක්තියට අදාළ ක්‍රියාවල” හැකි තරම් නියැලී සිටින්න කියා පේතෘස් අපව උනන්දු කරන්නේ ඒ නිසාය. (2 පේතෘස් 3:11, NW) එවන් ක්‍රියාවල නියැලීමෙන් “යෙහෝවාගේ දවස පැමිණෙන කාලය දිගටම මනසෙහි ප්‍රමුඛව තබාගැනීමට” අපට හැකි වේ. ‘මනසෙහි ප්‍රමුඛව තබාගන්න’ යනුවෙන් පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනය “වේගවත් කිරීම” යනුවෙන්ද වචනානුසාරයෙන්ම පරිවර්තනය කළ හැකියි. (2 පේතෘස් 3:12, NW; පාදසටහන [2 පේතෘස් 3:11, පැ.අ.]) යෙහෝවාගේ කාල සටහන අපට වෙනස් කළ නොහැකි බව ඇත්තයි. ඔහුගේ දවස පැමිණෙනු ඇත්තේ ඔහු විසින් නියම කරන ලද පැයේදීය. එනමුත් අපි ඔහුගේ සේවයෙහි කඩිසරව යෙදී සිටිනවා නම් අද සිට එම දවස දක්වා තිබෙන කාලය වඩාත් වේගයෙන් ගෙවී යන්නාක් මෙන් අපට දැනෙන්න පුළුවනි.—1 කොරින්ති 15:58.

12. පුද්ගලයන් හැටියට අප එක් එක්කෙනාට යෙහෝවාගේ ඉවසීමෙන් ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද?

12 එබැවින්, යෙහෝවාගේ දවස ප්‍රමාදයි කියා හැඟෙන අයව මෙහිදී දිරිමත් කරනු ලබන්නේ පේතෘස්ගේ උපදේශයට අවනත වෙමින් යෙහෝවාගේ නියමිත කාලය දක්වා ඉවසිලිවන්තව බලා සිටින්න කියාය. ඇත්තෙන්ම, දෙවිගේ ඉවසීම නිසා ලැබී තිබෙන අමතර කාලය නැණවත් ලෙස පාවිච්චි කිරීමට අපට හැකියි. උදාහරණයක් හැටියට අපට පුළුවන්, අප තුළ තිබිය යුතු ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගැනීමට. එමෙන්ම තවත් බොහෝදෙනෙකු සමඟ ශුභාරංචිය බෙදාගැනීමටද අපට පුළුවනි. අප අවදිව සිටිනවා නම් පවතින සමාජ ක්‍රමය අවසානයේදී අප “පලුද්දක් නොමැතිව, නිකැළැල්ව සහ සමාදානයෙන්” සිටින අය බව යෙහෝවාට පෙනී යනු ඇත. (2 පේතෘස් 3:14, 15, NW) මෙය මොනතරම් උතුම් ආශීර්වාදයක් වනු ඇද්ද!

13. විශේෂයෙන් අදදිනට උචිත වන්නේ තෙසලෝනිකයේ විසූ ක්‍රිස්තියානීන්ට පාවුල් පැවසූ කුමන වදන්ද?

13 පාවුල්ද තෙසලෝනිකවරුන්ට ලියූ ඔහුගේ පළමු ලිපියේදී අවදියෙන් සිටීමේ අවශ්‍යතාව ගැන කතා කරයි. ඔහු මෙසේ උපදෙස් දෙයි. “අපි අන් අය මෙන් නිදා නොසිට, අවදිව, සිහිකල්පනාව ඇතිව සිටිමු.” (1 තෙසලෝනික 5:2, 6, NW) ලෝකයේ පවතින සමස්ත සමාජ ක්‍රමයම වේගයෙන් විනාශය කරා ළඟා වෙමින් තිබෙන නිසා එසේ සිටීමේ අවශ්‍යතාව කොතරම්ද! යෙහෝවාට නමස්කාර කරන අය ජීවත් වන්නේ ආත්මික දේවල් කෙරෙහි උනන්දුවක් නොදක්වන ජනයාගෙන් ගහන ලෝකයකයි. මේ තත්වය ඔවුන්ටද බලපෑ හැකියි. මේ නිසයි, පාවුල් මෙසේ උපදෙස් දෙන්නේ. “ඇදහිල්ල සහ ප්‍රේමය නමැති ළයවැස්මද, ගැලවීමේ බලාපොරොත්තුව නමැති ආරක්ෂක තොප්පියද පැළඳ සිහිකල්පනාව ඇතුව සිටිමු.” (1 තෙසලෝනික 5:8, NW) පාවුල්ගේ මෙම උපදේශය පිළිපදිමින් සිහිකල්පනාව ඇතුව සිටීමට අපට හැක්කේ දේවවචනය නිතිපතා අධ්‍යයනය කිරීමෙන් හා රැස්වීම්වලට පැමිණ අපේ සහෝදර සහෝදරියන් සමඟ නිතිපතා ඇසුරු කිරීමෙනි.—මතෙව් 16:1-3.

මිලියන ගණනක් දිගටම සෝදිසියෙන් සිටිති

14. ආත්මිකව අවදිව සිටින්න කියා පේතෘස් දුන් උපදේශය අද සිටින බොහෝදෙනෙක් පිළිපදින බව පෙනී යන්නේ කුමන සංඛ්‍යා ලේඛනවලින්ද?

14 අවදිව සිටින්න කියා දේවානුභාවයෙන් කර තිබෙන දිරිගැන්වීමට යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙන බොහෝදෙනෙක් අද සිටිත්ද? ඔව් බොහෝදෙනෙක් සිටිති. පසුගිය 2002 සේවා වසරේදී නව ඉහළ ප්‍රචාරක සංඛ්‍යාවක් වූ 63,04,645දෙනෙක් දේවරාජ්‍යය ගැන අනිත් අයට පැවසීම සඳහා පැය 1,20,23,81,302ක් වැය කිරීමෙන් තමන් ආත්මිකව අවදිව සිටින බවට සාක්ෂි සපයා තිබේ. දෙදහස් එකට වඩා 2002දී ප්‍රචාරකයන්ගේ වැඩිවීම සියයට 3.1කි. මේ අය දේවරාජ්‍යය ගැන අනිත් අයට කතා කිරීමේ වැඩයේ හවුල් වුණේ ඕනෑවට එපාවට නොවේ. මෙය ඔවුන්ගේ ජීවිතවල ප්‍රධානතම කාර්යයක් විය. ඔවුන් බොහෝදෙනෙකු තුළ තිබුණේ එල් සැල්වදෝරයේ ජීවත් වන එඩ්වාඩෝ හා නොයිමි තුළ තිබූ ආකල්පයයි.

15. බොහෝදෙනෙකු ආත්මිකව අවදියෙන් සිටින බව පෙන්වන එල් සැල්වදෝරයෙන් ලැබී තිබෙන අද්දැකීම කුමක්ද?

15 මීට අවුරුදු කිහිපයකට කලින් එඩ්වාඩෝ සහ නොයිමි පාවුල් පැවසූ මෙම වදන් සැලකිල්ලට ගත්හ. “මේ ලෝකයේ ස්වභාවය වෙනස් වන්නේය.” (1 කොරින්ති 7:31, NW) ඔවුහු දෙදෙනා තමන්ගේ ජීවිත සරල කරගෙන පූර්ණ කාලීන සේවය කරන්න පටන්ගත්හ. කාලය ගෙවී යත්ම ඔවුහු චාරිකා හා දිස්ත්‍රික් වැඩවල යෙදීම ඇතුළු බොහෝ ආකාරවලින් ආශීර්වාද භුක්ති වින්දහ. දැඩි අසීරුතාවලට මුහුණ දීමට සිදු වුවද පූර්ණ කාලීන සේවයේ නිරත වීම සඳහා සැපපහසු ජීවිතයක් භුක්ති විඳින්න තිබූ අවස්ථාව අත්හැරීමට තමන් ගත් තීරණය නිවැරදි බවට එඩ්වාඩෝ හා නොයිමිට අබමල් රේණුවක තරම්වත් සැකයක් නැත. එල් සැල්වදෝරයේ සිටින පුරෝගාමීන් 2,454දෙනා ඇතුළු ප්‍රචාරකයන් 29,269න් වැඩි පිරිසක් ඒ හා සමාන ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයක් විදහාපෙන්වා ඇත. පසුගිය වසරේ එම රටේ සිටි ප්‍රචාරකයන්ගේ ගණනෙහි සියයට 2ක වැඩිවීමක් තිබීමට එක් හේතුවක් වූයේ එයයි.

16. අයිවරි කොස්ට්හි සිටින එක් යෞවනයෙක් තුළ තිබූ ආකල්පය කුමක්ද?

16 එවන් ආකල්පයක් අයිවරි කොස්ට්හි වෙසෙන යෞවන ක්‍රිස්තියානියෙකුද පෙන්වා ඇත. ඔහු ශාඛා කාර්යාලයට මෙසේ ලීවේය. “මම සභා සේවකයෙක් හැටියට සේවය කරනවා. ඒ වුණත් මා විසින් හොඳ ආදර්ශයක් තබන්නේ නැතුව පුරෝගාමී සේවය කරන්න කියලා සහෝදරයන්ට කියන්න මට බැහැ. ඒ හින්දා මම කරමින් සිටි හොඳ වැටුපක් ලැබුණු රැකියාවෙන් අයින් වෙලා ස්වයං රැකියාවක් කරන්න මම පටන්ගත්තා. මේ නිසා දේවසේවය සඳහා වැඩි කාලයක් හොයාගන්න මට පුළුවන් වුණා.” අයිවරි කොස්ට්හි සේවය කරන පුරෝගාමීන් 983දෙනාගෙන් මේ යෞවනයාද එක් අයෙකි. එම රටේ පසුගිය වසරේ වාර්තා වූ ප්‍රචාරකයන්ගේ ගණන 6,701ක් වූ අතර මෙය සියයට 5ක වැඩිවීමකි.

17. බෙල්ජියමේ යෞවන සාක්ෂිකාරියක් සාක්ෂිකරුවන් ගැන වෙනත් අය තුළ තිබූ අගතිසහගත හැඟීම් නිසා පසුබට නොවී සාක්ෂි දැරුවේ කෙසේද?

17 තම ආගමික විශ්වාසයන් ප්‍රකාශ කිරීමේදී ජනයාගේ නොරිස්සීම්වලටද අගතිසහගත මෙන්ම අයුතුසහගත සැලකීම්වලටද දිගින් දිගටම මුහුණ දීමට බෙල්ජියමේ සිටින රාජ්‍ය ප්‍රකාශකයන් 24,961දෙනාට සිදු වී තිබේ. කෙසේවෙතත් ඔවුහු නිර්භීතව හා ජ්වලිතව සේවය කරගෙන යති. පාසැලේදී ආචාර ධර්ම පාඩම ඉගෙනගැනීමේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව නිකායක් ලෙස විස්තර කරනවා දුටු දහසය හැවිරිදි යෙහෝවාගේ සාක්ෂිකාර දැරියක් ඔවුන් පිළිබඳ සත්‍යය පැහැදිලි කිරීමට අවසර ඉල්ලා සිටියාය. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය හඳුනාගනිමු නමැති වීඩියෝ පටය සහ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔවුහු කවරහුද? (සිංහලෙන් නැත) නමැති විවරණිකාව යොදාගනිමින් ඇත්තටම සාක්ෂිකරුවන් කියන්නේ කවුද කියා පැහැදිලි කර දීමට ඇයට හැකි විය. ඇය ඉදිරිපත් කළ තොරතුරු බෙහෙවින් අගය කරනු ලැබූ අතර ඊළඟ සතියේදී ශිෂ්‍යයන්ට දුන් පරීක්ෂණයකට ඇතුළත් කර තිබූ ප්‍රශ්න සියල්ලම යෙහෝවාගේ සාක්ෂිකරුවන් නමැති ක්‍රිස්තියානි ආගම හා සම්බන්ධ ඒවා විය.

18. ආර්ථික ගැටලු තිබුණද ආජන්ටිනාවේ සහ මොසැම්බික්හි සිටින ප්‍රචාරකයන් යෙහෝවාට කරන සේවයෙන් තමන්ගේ සිත් වෙනතකට යොමු කර නැති බව පෙනෙන්නේ කුමකින්ද?

18 මේ අන්තිම දවස්වලදී ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකුට ඉතාමත් දුෂ්කර ගැටලුවලට මුහුණ දීමට සිදු වී ඇත. එහෙත් තමන්ගේ සිත් වෙනත් දේවල් කෙරෙහි යොමු නොකර තබාගැනීමට ඔවුහු වෑයම් කරති. ආජන්ටිනාව ආර්ථික ගැටලුවලින් පෙළීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධව සිටියද පසුගිය අවුරුදේදී එහි සාක්ෂිකරුවන් 1,26,709දෙනෙකුගේ නව ඉහළ සංඛ්‍යාවක් වාර්තා විය. තවමත් මොසැම්බික්හි දිලිඳුකම හාත්පස පැතිර පවතී. මෙවන් තත්වයක් මැද පවා සාක්ෂි දැරීමේ වැඩයෙහි සහභාගිවූවන්ගේ ගණන 37,563දෙනෙකු ලෙස වාර්තා වූ අතර මෙය සියයට 4ක වැඩිවීමකි. ඇල්බේනියාවේ බොහෝදෙනෙක් ගත කරන්නේ දුෂ්කර ජීවිතයක් වුවද සියයට 12ක කදිම වර්ධනයක් එහි සිදු වී ඇති අතර ප්‍රචාරකයන් 2,708ක නව ඉහළ සංඛ්‍යාවක්ද එම රටින් වාර්තා වී ඇත. යෙහෝවාගේ සේවකයන් රාජ්‍යය හා සම්බන්ධ කටයුතුවලට මුල් තැන දෙන විට ඔහුගේ ආත්මය ඔවුන් මත ක්‍රියාත්මක වීම වැළැක්වීමට දුෂ්කර ගැටලුවලට හැකි වී නොමැති බව පැහැදිලියි.—මතෙව් 6:33.

19. (අ) බයිබල් සත්‍යය සඳහා කුසගින්නෙන් පෙළෙන බැටළු ගුණැති ජනයා තව බොහෝදෙනෙකු සිටින බව පෙනී යන්නේ කුමකින්ද? (ආ) යෙහෝවාගේ සේවකයන් අවදියෙන් සිටින බව පෙනෙන්නේ වාර්ෂික වාර්තාවේ වෙනත් කුමන තොරතුරුවලින්ද? (12-15 දක්වා පිටුවල තිබෙන ප්‍රස්තාරය බලන්න.)

19 පසුගිය අවුරුද්දේ ලොව පුරා මාසිකව පවත්වන ලද බයිබල් පාඩම් 53,09,289ක සාමාන්‍යයෙන් පැහැදිලි වන්නේ බයිබලයේ සඳහන් සත්‍යයට පිපාසයක් දක්වන බැටළු ගුණැති මනුෂ්‍යයන් තව බොහෝ පිරිසක් සිටින බවයි. සිහි කිරීමට පැමිණි 1,55,97,746ක නව ඉහළ සංඛ්‍යාව අතර සිටි වැඩිදෙනෙකු තවමත් ක්‍රියාශීලී ලෙස යෙහෝවාට සේවය කරන අය නොවේ. දැනුමෙන්ද යෙහෝවාටත් අපේ සහෝදරත්වයටත් තිබෙන ප්‍රේමයෙන්ද ඔවුන් දිගටම වර්ධනය වෙනවා දැකීම අපේ ආශාවයි. ‘වෙනත් බැටළුවන්ගෙන්’ සමන්විත “මහත් සමූහය” ආත්මයෙන් ආලේප ලත් තම සහෝදරයන් සමඟ එකතු වී මැවුම්කරුට ‘ඔහුගේ මාළිගාවේ සිට රෑ දහවල්’ සේවය කරමින් ලබන අඛණ්ඩ වර්ධනය දැකීම, ඇත්තෙන්ම ඉමහත් ප්‍රීතියට හේතුවකි.—එළිදරව් 7:9, 15; යොහන් 10:16.

ලොත්ගෙන් පාඩමක්

20. ලොත්ගෙන් හා ඔහුගේ භාර්යාවගෙන් අපට කුමක් ඉගෙනගත හැකිද?

20 දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් තුළ පවා තිබෙන හදිසිතාවේ හැඟීම තාවකාලිකව නැති වී යා හැකියි. ආබ්‍රහම්ගේ සහෝදරයාගේ පුත්‍රයා වූ ලොත් ගැන සිතා බලන්න. දෙවි ඉක්මනින්ම සොදොම් සහ ගොමෝරාව විනාශ කරන බව ලොත්ව හමුවීමට පැමිණි දේවදූතයන් දෙදෙනෙක් ඔහුට පැවසූහ. “දුෂ්ටයන්ගේ සල්ලාල ජීවිතය කරණකොටගෙන තද පීඩාවට පැමිණියාවූ” ලොත් තමන්ට දැනගන්න ලැබුණු ඒ ආරංචිය ගැන පුදුම නොවන්න ඇති. (2 පේතෘස් 2:7) එහෙත් දේවදූතයන් දෙදෙනා ඔහුට ආරක්ෂාව සපයමින් සොදොම් නගරයෙන් ඔහුව පිටතට කැඳවාගෙන යෑමට පැමිණි අවස්ථාවේදී ඔහු ‘ප්‍රමාද වෙමින්’ සිටියේය. ඔහුවත් ඔහුගේ පවුලේ අයවත් නගරයෙන් පිටතට ඇදගෙන යෑමට දේවදූතයන් දෙදෙනාට සිදු විය. ඉන්පසු ආපසු නොබලන්න කියා දේවදූතයන් දුන් අනතුරු ඇඟවීම ලොත්ගේ භාර්යාව විසින් නොසලකාහරින ලදි. කාරණා සැහැල්ලුවට ගැනීමේ ආකල්පය නිසා ඇගේ ජීවිතයද ඇයට අහිමි විය. (උත්පත්ති 19:14-17, 26) යේසුස් අනතුරු ඇඟෙව්වේ “ලොත්ගේ භාර්යාව සිහි කරන්න” කියාය.—ලූක් 17:32.

21. වෙන කවරදාකටත් වඩා මේ කාලයේදී අවදියෙන් සිටීම අත්‍යවශ්‍ය දෙයක් වන්නේ මන්ද?

21 පොම්පෙයි හා හර්කියුලේනියම් නගරවල සිදු වූ දරුණු විනාශය සහ යෙරුසලමේ විනාශය ආසන්නයේදී සිදු වූ දේවලින් මෙන්ම නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්ම හා ලොත්ගේ සිද්ධිය යන මේ සෑම දෙයකින්ම පැහැදිලි වන්නේ අනතුරු ඇඟවීම් බැරෑරුම් ලෙස සැලකීමේ තිබෙන වැදගත්කමයි. අවසාන කාලය හා සම්බන්ධ ලකුණ යෙහෝවාගේ සේවකයන් වශයෙන් අපි හඳුනාගෙන සිටිමු. (මතෙව් 24:3) අපි බොරු ආගම්වලින්ද ඉවත් වී සිටින්නෙමු. (එළිදරව් 18:4) මුල් සියවසේ ක්‍රිස්තියානීන් මෙන් අපත් ‘යෙහෝවාගේ දවස පැමිණීම මනසෙහි ප්‍රමුඛව තබාගෙන සිටීම’ අවශ්‍යයි. (2 පේතෘස් 3:12, NW [2 පේතෘස් 3:11, පැ.අ.]) වෙන කවරදාකටත් වඩා අප අවදිව සිටිය යුත්තේ මේ කාලයේදීයි. අවදියෙන් සිටීම සඳහා අපට ගත හැකි පියවර මොනවාද? එමෙන්ම වර්ධනය කරගත හැකි ගුණාංග මොනවාද? ඊළඟ ලිපියේදී මේ කාරණා සලකා බලනු ලැබේ.

[පාදසටහන්වල]

^ 6 ඡේ. මුල් සියවසේදී යෙරුසලමේ වැසියන් 1,20,000කට වඩා වැඩි පිරිසක් සිටියා කියා සිතිය නොහැකියි. යූසීබියස්ගේ ගණන් බැලීම්වලට අනුව යුදෙව් පළාතේ සිට වැසියන් 3,00,000ක් පො.යු. 70දී පාස්කුව සැමරීම සඳහා යෙරුසලමට ගමන් කළෝය. මියගිය ඉතිරි අය රෝම අධිරාජ්‍යයේ වෙනත් පළාත්වලින් යෙරුසලමට පැමිණි අය විය යුතුයි.

^ 6 ඡේ. යෙහෝවාගේ දෘෂ්ටි කෝණයෙන් බලන විට මෝසෙස්ගේ නීතිය වෙනුවට අලුත් ගිවිසුම පිහිටුවන ලද්දේ පො.යු. 33දීය.—එපීස 2:15.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• යුදෙව් ක්‍රිස්තියානීන්ට යෙරුසලමේ විනාශයෙන් බේරීමට හැකි කරවූයේ කවර සිදුවීමද?

• ප්‍රේරිත පේතෘස්ගේ හා පාවුල්ගේ ලිපිවල තිබෙන උපදෙස් අවදියෙන් සිටීමට අපට උපකාරවත් වන්නේ කෙසේද?

• තමන් නොනිදා අවදිව සිටින බවට සාක්ෂි සපයන්නේ කවුද?

• ලොත් සහ ඔහුගේ භාර්යාව ගැන තිබෙන වාර්තාවෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12-15වන පිටුවේ වගුව]

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 2002 සේවා වසරේ ලෝක ව්‍යාප්ත වාර්තාව

[9වන පිටුවේ පින්තූරය]

පොදු යුගයේ 66 යෙරුසලමෙහි සිටි ක්‍රිස්තියානීහු යේසුස්ගේ අනතුරු ඇඟවීමට අවනත වූහ

[10වන පිටුවේ පින්තූර]

ක්‍රියාශීලීව කටයුතු කිරීමෙන් අවදියෙන් සිටීමට ක්‍රිස්තියානීන්ට හැකි වේ