Skip to content

පටුනට යන්න

මගේ ජීවිතය වෙනස් කළේ පුංචි ලියුම් කඩදාසියක්

මගේ ජීවිතය වෙනස් කළේ පුංචි ලියුම් කඩදාසියක්

ජීවිත කතාව

මගේ ජීවිතය වෙනස් කළේ පුංචි ලියුම් කඩදාසියක්

පැවසුවේ ඉරෙන් හොක්ස්ටන්බක්

මෙය සිදු වුණේ 1972 අඟහරුවාදා දවසක සවස් වරුවකයි. එතකොට මට වයස අවුරුදු 16යි. මගේ දෙමාපියන් සමඟ නෙදර්ලන්තයේ බ්‍රැරැබන්ට් පළාතේ ඉන්තෝවන් නගරයේ තිබුණ ආගමික රැස්වීමකට මම සහභාගි වුණා. එතන ඉන්නකොට මට මහා බයාදු ගතියක් දැනුණා. ඒ විතරක් නෙමෙයි මීට වඩා හොඳයි මම වෙන කොහේ හරි ගියා නම් කියලාත් මට හිතුණා. එතකොට තමයි තරුණ කාන්තාවන් දෙන්නෙක් පුංචි කඩදහි කොළයක් මට දුන්නේ. ඒකේ මෙහෙම ලියා තිබුණා. “ආදරණීය ඉරෙන්, අපි ඔයාට උදව් කරන්න හරි ආසයි.” මම එදා හිතුවේ නැහැ ඒ පුංචි ලියුම මගේ ජීවිතය වෙනස් කරන්න සමත් වෙයි කියලා. ඊළඟට සිදු වූ දේ පවසන්නට කලින් මගේ පවුල් පසුබිම ගැන ටිකක් කියන්න සතුටුයි.

මම ඉපදුණේ ඉන්දුනීසියාවේ බෙලිටන් දූපතේ. ඒ නිවර්තන දූපතේ තිබූ පාම් ගස් සුළඟට ලෙල දෙද්දී නැඟුණු සර සර හඬත් ළඟපාත තිබූ ඇළේ වතුර පාර නිසංසලේ ගලා යද්දී ඇසුණු සෞම්‍ය හඬත් අපේ නිවස අසල සිටි කුඩා දරු දැරියන් සෙල්ලම් කරන විට නැඟූ කෙළිලොල් සිනාවනුත් නිවස පුරා රැව් දුන් සංගීත රාවයනුත් තවමත් මගේ මතකයේ තියෙනවා. වර්ෂ 1960දී, මට වයස අවුරුදු 4ක් වෙනකොට අපේ පවුල ඉන්දුනීසියාවේ ඉඳන් නෙදර්ලන්තයට පදිංචියට ගියා. අපි නැවෙන් තමයි ගියේ. ඒක හරිම දිගු ගමනක්. එහේ යනකොට මම ආසම සෙල්ලම් බඩුවත් රැගෙන ගියා. ඒ, පොඩි බෙරකාරයෙක්. ඒ බෙරකාරයා නැඟූ ශබ්දය තවමත් මට මතකයි. අවුරුදු හතේදී මට වැලඳුණ රෝගයක් නිසා මගේ කන් ඇහෙන්නේ නැතුව ගියා. එදා ඉඳන් අවට කිසිම ශබ්දයක් මට ඇසුණේ නැහැ. මතකයන් විතරයි ඉතුරු වුණේ.

බිහිරෙකු සේ හැදී වැඩෙමින්

මගේ දෙමාපියන් මට දක්වපු ආදර සැලකිල්ල නිසා මුලදී කන ඇහෙන්නේ නැති එකේ අඩුව මට දැනුණේ නැහැ. මගේ කනේ ලොකු ශ්‍රව්‍යාධාරකයක් එල්ලා තිබුණ එකත් පුංචි මට විනෝදයක් වගේයි. ඒත්, ඒකෙන් වැඩි ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. අහල පහළ ළමයි මාත් එක්ක කතා කරන්න ඕනෑ වුණාම කියන්න ඕන දේ පාර දෙපස තිබෙන සිමෙන්තියේ රට හුණු කෑල්ලකින් ලියනවා. එතකොට මම උත්තර දෙනවා. ඒත් මගේ කටහඬ මට ඇහුණේ නැහැ.

මම වැඩි වියට පත් වෙනකොට මට තේරුණා මම අනිත් අයට වඩා වෙනස් කියලා. මට කන ඇහෙන්නේ නැති නිසා සමහර අය මාව විහිළුවකට අරන් කියලාත් මට තේරුණා. තවත් සමහරු එයාලාගේ ආශ්‍රයෙන් මාව ඈත් කළා. මට පාළුවක් තනිකමක් දැනෙන්න පටන්ගත්තා. එතකොටයි බිහිරිකමේ නියම ප්‍රතිවිපාක මට තේරුණේ. ටිකෙන් ටික වැඩි වියට පත් වෙනකොට කන් ඇහෙන මිනිසුන්ගේ ලෝකයට මම බය වුණා.

බිහිරි අයගේ විශේෂ පාසැලකට මාව යැවීම සඳහා මගේ දෙමාපියන් දරුවන් සියලුදෙනාවම රැගෙන ලිම්බර්ග් ප්‍රදේශයේ පිහිටි ගමක ඉඳන් ඉන්තෝවන් නගරයේ පදිංචියට ගියා. එහිදී මගේ පියාට රැකියාවක් සොයාගන්න සිදු වුණා. මගේ අක්කලා දෙන්නායි මල්ලියි අලුත් පාසැල්වලට ඇතුල් වුණා. ඔවුන් ඒ හැම දෙයක්ම කළේ මගේ යහපත වෙනුවෙන්. ඒ ගැන මම ඔවුන්ට කෘතඥ වෙනවා. පාසැලේදී මගේ කට හඬ පාලනය කරන්නත් පැහැදිලිව උච්චාරණය කරන්නත් මට ඉගැන්නුවා. මගේ ගුරුවරු සංඥා භාෂාව ඉගැන්නුවේ නැති වුණත් මගේ යාළුවෝ මට සංඥා භාෂාවෙන් කතා කරන්න ඉගැන්නුවා.

මගේම ලෝකයක ජීවත් වෙමින්

මම ටිකෙන් ටික වැඩි වියට පත් වෙනකොට, මගේ දෙමාපියන් මාත් එක්ක අදහස් හුවමාරු කරන්න උත්සාහ කළත් ඔවුන් පැවසූ හුඟාක් දේවල් මට තේරුම්ගන්න බැරි වුණා. එක උදාහරණයක් කියනවා නම්, මගේ දෙමාපියන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කරනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඒත් මට මතකයි අපේ පවුල එක දවසක් මිනිසුන් හුඟදෙනෙක් පුටුවල ඉඳන් ඉන්න ස්ථානයකට ගියා. හැමෝම ඉස්සරහ තමයි බලන් හිටියේ. සමහර අවස්ථාවල අත් පොළසන් දුන්නා. ආසනවලින් නැඟිට්ටා. මේ මිනිස්සු මේ හැම දෙයක්ම කළේ ඇයි? මට කිසි දෙයක් තේරුම්ගන්න බැරුව ගියා. පස්සේ තමයි මම දැනගත්තේ මම සහභාගි වෙලා තියෙන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකට කියලා. ඒ වගේම ඉන්තෝවන් නගරයේ තිබුණ පුංචි ශාලාවකටත් මගේ දෙමාපියන් මාව රැගෙන ගියා. එහි හිටිය හැමෝම කරුණාවන්තයි. ඒ වගේම මගේ පවුලේ අයත් එහේ හිටියේ හරි සතුටෙන්. මටත් කිසි අපහසුවක් දැනුණේ නැහැ. ඒත් අපි නිතර එහේ ගියේ ඇයි කියලා මම දැනගෙන හිටියේ නැහැ. දැන් මම දන්නවා ඒ පුංචි ශාලාව තමයි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාව කියලා.

අවාසනාවකට රැස්වීමේ වැඩසටහන මට තේරුම් කරලා දෙන්න පුළුවන් කෙනෙක් හිටියේ නැහැ. මට දැන් තේරෙනවා ඒ රැස්වීම්වලට ආව අය මට උදව් කරන්න උත්සාහ කරලා තියෙනවා කියලා. ඒත් මගේ කනේ දෝෂයත් එක්ක කටයුතු කරන්නේ කොහොමද කියලා ඒ අය දැනගෙන හිටියේ නැහැ. රැස්වීම්වලදී මාව කොන් වෙලා වගේ හැඟුණ නිසා, ‘මීට වඩා හොඳයි මම ඉස්කොලේ ගියා නම්’ කියලා මට හිතුණා. මට ඔය වගේ දේවල් හිතෙනකොට තමයි කාන්තාවන් දෙන්නෙක් අර පුංචි ලියුම් කඩදහිය මට දුන්නේ. මම මේ ලිපියේ මුලින් සඳහන් කළේ මේ ලියුම ගැන තමයි. මටම වෙන් වූ ලෝකයෙන් මිදිලා මිල කරන්න බැරි මිතුදමකට මුලපුරන්න මේ පුංචි ලියුම් කඩදහියට පුළුවන් වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ.

අගනා මිතුදමක් ගොඩනඟමින්

මට ඒ ලියුම දුන්න කොලට් සහ හර්මින් හිටියේ විසිවන වියේ මුල් භාගයේ පමණ. එයාලා මම යමින් හිටිය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවට ඇවිත් තිබෙන්නේ ස්ථාවර පුරෝගාමීන් හැටියට එහෙම නැත්නම් පූර්ණ කාලීන සේවය කිරීමේ අරමුණින් කියා මම දැනගත්තේ පස්සේ. කොලට් සහ හර්මින් සංඥා භාෂාව හරියට දන්නේ නැති වුණත් එයාලා කතා කරනකොට මම එයාලාගේ තොල් දිහා බලලා කියන්න හදන දේ තේරුම්ගත්තා. මේ විදිහට අපි හොඳින් අදහස් හුවමාරු කරගත්තා.

මාත් සමඟ බයිබලය පාඩම් කරන්නද කියා කොලට් සහ හර්මින් මගේ දෙමාපියන්ගෙන් ඇසූ විට එයාලා ගොඩාක් සතුටු වුණා. මේ තරුණියන් දෙදෙනා ඊටත් වඩා දේවල් කළා මං වෙනුවෙන්. එයාලා රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලදී ඉගෙනගත් දේවල් මට පහදා දෙන්නත් සභාවේ අනිත් අයව ආශ්‍රය කිරීමේදී මාව හවුල් කරගන්නත් සෑහෙන වෙහෙස මහන්සියක් ගත්තා. එයාලා දේශනා සේවයේදී යොදාගත හැකි ඉදිරිපත් කිරීම් මාත් සමඟ පුහුණු වුණා. දිව්‍යාණ්ඩු සේවා පාසැලේ ශිෂ්‍ය කතා සූදානම් කිරීමටත් මට උදව් කළා. පොඩ්ඩක් හිතන්න, කන් ඇසෙන මිනිසුන් ඉදිරිපිට කතාවක් දීමට තරම් ධෛර්යයක් මට දැන් තියෙනවා!

කොලට් සහ හර්මින් කරපු තවත් දෙයක් තමයි එයාලා කෙරෙහි විශ්වාසයක් තැබීමට මා තුළ පෙලඹීමක් ඇති කිරීම. එයාලාට ඉවසිලිවන්තකම තිබුණා. ඒ වගේම එයාලා මට නිතරම ඇහුම්කන් දුන්නා. මගේ අතින් සිදු වන වැරදිවලට අපිට හිනාගියා තමයි. ඒත් එයාලා මාව විහිළුවක් කරගත්තේවත් මාව අපහසුතාවයට පත් කළේවත් නැහැ. එයාලා මගේ හැඟීම් තේරුම්ගන්න උත්සාහ කළා. ඒ වගේම හැමෝටම සලකන විදිහට තමයි මටත් සැලකුවේ. මේ කරුණික ගැහැනු ළමයි දෙන්නා මට ලස්සන තෑග්ගක් දුන්නා. ඒ තමයි එයාලාගේ ආදරයයි මිතුදමයි.

යෙහෝවා දෙවිව විශ්වාසය තැබිය හැකි මිතුරෙකු ලෙස හඳුනාගැනීමට කොලට් සහ හර්මින් මට ඉගැන්වූ එක තමයි මේ හැම දෙයකටම වඩා වැදගත් වුණේ. මම රාජ්‍ය ශාලාවේ ඔහේ ඉඳගෙන සිටි ආකාරය විතරක් නෙවෙයි බිහිරි කෙනෙකු අත් විඳින දුෂ්කරතාත් යෙහෝවා දැක්කා කියා එයාලා මට වටහලා දුන්නා. අපි තුන්දෙනාව මිතුරන් වීමට සැලැස්සුවේ අපි හැමෝ තුළම යෙහෝවා කෙරෙහි තිබූ ආදරයයි. ඒ ගැන මම කෘතඥපූර්වක වෙනවා! යෙහෝවා මට දක්වපු සැලකිල්ලට මගේ හදවතෙහි ඔහු කෙරෙහි ප්‍රේමයක් පිබිදුණා. ඒ ප්‍රේමයෙහි ප්‍රතිඵලයක් හැටියට තමයි 1975 ජූලි මාසයේ දෙවිට වූ මගේ කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කළේ.

විශේෂ මිතුරෙක් සමඟ එකතු වී

ඉන්පසු ගත වූ වර්ෂ තුළදී තවත් බොහෝ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ව මම දැනහඳුනා ගත්තා. එක සහෝදරයෙක් මගේ විශේෂ මිතුරෙක් වුණා. ඊට පස්සේ ඔහු සමඟ මම යුග දිවි ගමන් ඇරඹුවේ 1980දීයි. විවාහ වී ටික කාලයකට පස්සේ අපි පුරෝගාමී සේවය ආරම්භ කළා. වර්ෂ 1994දී මගේ ස්වාමිපුරුෂයා වන හැරීට සහ මට විශේෂ පුරෝගාමීන් ලෙස ඕලන්ද සංඥා භාෂා ක්ෂේත්‍රයේ සේවය කිරීමට පැවරුමක් ලැබුණා. ඊළඟ අවුරුද්දේ තමයි මට අභියෝගාත්මකම පැවරුම භාරගන්න සිදු වුණේ. ඒ තමයි මගේ කන් ඇසෙන ස්වාමිපුරුෂයා, ආදේශක චාරිකා අවේක්ෂකයෙක් ලෙස විවිධ සභාවන් බැහැදැකීමට යන විට ඔහුත් සමඟ ඊට හවුල් වීම.

මම ඒ තත්වයට මුහුණ දුන්නේ මෙන්න මේ විදිහටයි. පළමු වතාවට අපි යම් සභාවකට ගිය විගසම පුළුවන් තරම් සහෝදර සහෝදරියන් පිරිසකට මාව මමම හඳුන්වලා දෙනවා. මම එයාලාට කියනවා මගේ කන ඇහෙන්නේ නැහැ. ඒ නිසා කතා කරනකොට මා දිහා බලන්න. ඒ වගේම වේගයෙන් කතා කරන්න එපා කියලා. සභා රැස්වීම්වලදී පිළිතුරු දෙන්නත් මම උත්සාහ කරන අතර එම සතියේ රැස්වීම්වල සහ ක්ෂේත්‍ර සේවයේ සිදු වන දේවල් කවුරු හරි මට තේරුම් කර දෙන්න සතුටුද කියලාත් මම අහනවා.

මෙම ක්‍රමය හොඳින් ක්‍රියාත්මක වුණා. සමහර අවස්ථාවල සහෝදර සහෝදරියන්ට මට කන ඇහෙන්නේ නැහැ කියලා අමතක වෙනවා. හිනා යන දේවල් තමයි සිදු වුණේ. එයාලා කියනවා මම නගරයේ ඇවිදගෙන යනකොට එයාලා කාර් එකේ ඉඳගෙන නළාව නාද කරනකොට මම කිසි ප්‍රතිචාරයක් දක්වන්නේ නැතිව ඔහේ යනවාලු. සමහරක් වේලාවට මටම අමතක වෙනවා මගේ සීමාවන්. මම මගේ ස්වාමිපුරුෂයාට කනට කොඳුරලා රහසක් කියනකොට, මට පෙනුණොත් ඔහුගේ මුහුණ රතු වෙනවා, එතකොට මම දන්නවා මගේ ‘කෙඳිරිල්ල’ ගොඩාක් සද්දයි කියලා.

කුඩා ළමයි පවා හිතන්නේ නැති විදිහට උදව් කළා. අපි පළමු වතාවට බැහැදැකීමට ගිය එක් සභාවක සමහර අය මාත් එක්ක කතා කිරීමට ටිකක් පස්ස ගහනවා කියලා අවුරුදු නවයක පොඩි පිරිමි ළමයෙකුට තේරුණා. පසුව ඔහු හිතුවා ඒ සඳහා යමක් කරන්න. ඔහු මා ළඟට ඇවිල්ලා, රාජ්‍ය ශාලාව මැද්දට මාව අතින් අල්ලගෙන ගෙනිහිල්ලා, ඔහුට පුළුවන් තරම් ශබ්දයකින් මෙහෙම කිව්වා. “ඉරෙන්ව ඔබට හඳුන්වලා දෙන්න මම ආසයි. ඇය බිහිරියි!” ඊට පස්සේ එතන හිටිය අය මා ළඟට ඇවිල්ලා තම තමන්ව හඳුන්වලා දුන්නා.

මගේ ස්වාමිපුරුෂයා සමඟ චාරිකා සේවයේ නිරත වන විට මගේ මිතුරන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙනවා. මගේම ලෝකයක තනි වෙලා ගත කළ කාලයට වඩා දැන් මම ගත කරන ජීවිතය මොන තරම් වෙනස්ද! කොලට් සහ හර්මින් පුංචි ලියුම් කඩදහිය දුන් දවසේ ඉඳන් මිතුදමක තිබෙන බලය මම අද්දැක්කා වගේම මට මුණගැසුණ සමහරක් අය මගේ ජීවිතයේ විශේෂිත පුද්ගලයන් වෙලා තියෙනවා. මේ හැම දෙයකටම වඩා ඉතා වටිනා මිතුරෙක් වන යෙහෝවාව දැනගන්න මට ලැබුණා. (රෝම 8:38, 39) බලන්න ඒ පුංචි ලියුම මගේ ජීවිතය වෙනස් කළ හැටි!

[24වන පිටුවේ පින්තූරය]

මගේ ආසම සෙල්ලම් බඩුවේ ශබ්දය මට තවම මතකයි

[25වන පිටුවේ පින්තූර]

දේශනා සේවයේදී සහ මගේ ස්වාමිපුරුෂයා වන හැරී සමඟ