Skip to content

පටුනට යන්න

“සෝදිසියෙන් සිටින්න”

“සෝදිසියෙන් සිටින්න”

“සෝදිසියෙන් සිටින්න”

“මා ඔබට කියන දේ සියලුදෙනාටම කියමි, සෝදිසියෙන් සිටින්න.”—මාර්ක් 13:37, NW.

1, 2. (අ) තමා සතු වටිනා දේවල් ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් එක් මිනිසෙකු ඉගෙනගත් පාඩම කුමක්ද? (ආ) සොරෙකු පිළිබඳ යේසුස්ගේ උපමාවෙන් අවදිව සිටීම ගැන අප ඉගෙනගන්නේ කුමක්ද?

ක්වාන් තමන් සතු වටිනා දේවල් තබා තිබුණේ ඔහුගේ නිවසේ ඇඳ යටයි. ඒවා නිවසේ තැබිය හැකි සුරක්ෂිතම තැන එය කියායි ඔහු සිතුවේ. කෙසේ වෙතත් එක් රාත්‍රියකදී ඔහුත් ඔහුගේ භාර්යාවත් නිදාගෙන සිටින අතරතුරේදී සොරෙක් නිදන කාමරයට ඇතුල් වූයේය. සොරා කෙළින්ම නිදන කාමරයට ඇතුල් වීමෙන් පැහැදිලි වන්නේ වටිනා ද්‍රව්‍ය සොයා බැලිය යුතු තැන ඔහු දැන සිටි බවයි. ඔහු කිසිම ශබ්දයක් නොකර ඇඳ යට තිබූ වටිනා ද්‍රව්‍ය සෑම එකක්ම අරගත්තේය. එපමණක්ද නොවෙයි, ඇඳ ළඟ තිබූ ලාච්චුවේ ක්වාන් දමා තිබූ මුදල්ද සොරකම් කරන ලදි. තමාගේ වටිනා ද්‍රව්‍ය සොරකම් කර තිබූ බව ක්වාන් දැනගත්තේ පසුදා උදෑසනයි. නිදාගෙන සිටින මිනිසෙකුට ඔහු සතු වටිනා ද්‍රව්‍ය ආරක්ෂා කරගත නොහැකි බවටවූ වේදනාකාරී පාඩම කාලයක් යන තෙක් ක්වාන්ට අමතක නොවනු ඇත.

2 මෙය ආත්මික අර්ථයෙන්ද සත්‍යයකි. ආත්මිකව නිදාගෙන සිටියහොත් අපේ බලාපොරොත්තුව සහ ඇදහිල්ල අපට ආරක්ෂා කරගත නොහැක. මේ නිසයි පාවුල් මහත් ඕනෑකමින් මෙම දිරිගැන්වීම කළේ. “අපි අන් අය මෙන් නිදා නොසිට, අවදිව, සිහිකල්පනාව ඇතිව සිටිමු.” (1 තෙසලෝනික 5:6, NW) අවදිව සිටීම කොතරම් අත්‍යවශ්‍ය දෙයක්ද කියන කාරණය පෙන්වා දීමට යේසුස් සොරෙකු පිළිබඳ උපමාව යොදාගත්තේය. විනිශ්චයකරුවෙකු ලෙස තමාගේ පැමිණීම සනිටුහන් කරන සිද්ධීන් විස්තර කිරීමෙන් පසු ඔහු මෙසේ අනතුරු ඇඟවූයේය. “සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබේ ස්වාමීන් කොයි දවසේ පැමිණෙනවාදැයි ඔබ දන්නේ නැත. නමුත් මේ දේ දැනගන්න. එනම්, සොරා කොයි රැකවල් යාමයේ එන්නේදැයි ගෙහිමියා දැන සිටියා නම්, ඔහු අවදිව සිට තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙනු ඇත. එහෙයින් ඔබත් සූදානමින් සිටින බව පෙන්වන්න. මන්ද ඔබ නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා පැමිණෙන්නේය.” (මතෙව් 24:42-44, NW) තමා පැමිණෙන්නේ කොයි වේලාවේද කියා සොරෙකු කලින් දැනුම් දෙන්නේ නැත. ඔහු පැමිණීමට සූදානමින් සිටින්නේ කිසිවෙකු ඔහුගේ පැමිණීම අපේක්ෂා නොකරන වේලාවකයි. මේ හා සමානව යේසුස් පැවසූ පරිදි මේ ක්‍රමයේ අවසානය පැමිණෙන්නේද ‘අප නොසිතන පැයකදීය.’

“අවදිව සිටින්න, ඇදහිල්ලේ ස්ථිරව සිටින්න”

3. විවාහ මංගල්‍යයකට ගිය තම ස්වාමියා ආපසු පැමිණෙන තෙක් බලා සිටින දාසයන් පිළිබඳ උපමාව යොදාගනිමින් අවදිව සිටීමේ ඇති වැදගත්කම යේසුස් පෙන්වා දුන්නේ කෙසේද?

3 විවාහ මංගල්‍යයකට ගිය තමන්ගේ ස්වාමියා ආපසු පැමිණෙන තෙක් බලා සිටින දාසයන් සමඟ යේසුස් ක්‍රිස්තියානීන්ව සැසඳුවේය. මේ ගැන ලූක්ගේ සුවිශේෂයේ සඳහන් වේ. තම ස්වාමියා පැමිණෙන විට ඔහුව පිළිගැනීම සඳහා ඔවුන් අවදියෙන් සිටීම අවශ්‍යයි. මේ හා සමාන දෙයක් ගැන යේසුස් මෙසේ පැවසුවේය. “ඔබ නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා පැමිණෙන්නේය.” (ලූක් 12:40, NW) වසර ගණනාවක සිට යෙහෝවාට සේවය කර තිබෙන සමහරුන් අප ජීවත් වන මේ කාලය සම්බන්ධයෙන් තිබිය යුතු හදිසිතාවේ හැඟීම නැති කරගත හැකියි. අවසානය පැමිණීමට තව දිගු කාලයක් තිබෙනවා කියා එවැනි කෙනෙකු නිගමනය කිරීමට ඉඩ තිබේ. එනමුත්, එසේ සිතීමේ ප්‍රතිඵලයක් හැටියට ආත්මික දේවලට යොමු වී තිබෙන අවධානය ද්‍රව්‍යමය ඉලක්ක කෙරෙහි යොමු විය හැකියි. මේ ආකාරයෙන් අවධානය වෙනතකට යොමුවීමෙන් අප ආත්මිකව නිදිකිරා වැටෙන තත්වයකට පත් විය හැක.—ලූක් 8:14; 21:34, 35.

4. සෝදිසියෙන් සිටීමට අප තුළ පෙලඹීමක් ඇති කරනු ඇත්තේ කුමන කාරණය ඒත්තුගැනීමද? යේසුස් මෙය පැහැදිලි කළේ කෙසේද?

4 යේසුස්ගේ එම උපමාවෙන් අපට තවත් පාඩමක් ඉගෙනගත හැකියි. දාසයන් තම ස්වාමියා පැමිණෙන පැය නොදැන සිටියත් ඔහු පැමිණෙන රාත්‍රිය ඔවුහු පෙනෙන විදිහට දැන සිටියෝය. තම ස්වාමියා වෙනත් රාත්‍රියක පැමිණෙයි කියා ඔවුන් සිතුවා නම් ඔහු පැමිණෙන රාත්‍රිය පුරා අවදියෙන් සිටීම ඔවුන්ට දුෂ්කර දෙයක් වීමට ඉඩ තිබිණ. එනමුත් ස්වාමියා පැමිණීමට නියමිත රාත්‍රිය කුමක්ද කියා ඔවුහු දැන සිටියහ. මෙය අවදියෙන් සිටීමට ඔවුන්ට මහත් දිරිගැන්වීමක් විය. මේ හා සමාන ආකාරයකින්, බයිබල් අනාවැකිවලින් පැහැදිලිව අනාවරණය වන්නේ අප ජීවත් වන්නේ අවසාන කාලයේ බවයි. එහෙත් අවසානය පැමිණෙන දවස හෝ පැය ගැන එම අනාවැකි අපට යමක් පවසන්නේ නැත. (මතෙව් 24:36) අවසානය පැමිණෙමින් තිබෙන බව විශ්වාස කිරීම අවදියෙන් සිටීමට අපට උපකාරවත් වන නමුත් සෝදියෙන් සිටීමට අප තුළ වඩාත් ප්‍රබල පෙලඹීමක් ඇති කරනු ඇත්තේ ඇත්තටම යෙහෝවාගේ දවස ළඟයි කියන කාරණය අප හොඳින් ඒත්තුගෙන සිටීමය.—ශෙපනියා 1:14

5. “අවදිව සිටින්න” කියා පාවුල් කළ දිරිගැන්වීමට අපට ප්‍රතිචාරය දැක්විය හැක්කේ කෙසේද?

5 “අවදිව සිටින්න. ඇදහිල්ලේ ස්ථිරව සිටින්න” කියා ලියමින් ප්‍රේරිත පාවුල් කොරින්තිවරුන්ව දිරිමත් කළේය. (1 කොරින්ති 16:13) ප්‍රේරිත පාවුල් ලීවාක් මෙන් අවදිව සිටීම හා ක්‍රිස්තියානි ඇදහිල්ලෙහි දිගටම ස්ථිරව සිටීම අතර සම්බන්ධයක් තිබේ. අපට අවදිව සිටිය හැක්කේ කෙසේද? දේවවචනය ගැන වඩාත් ගැඹුරු දැනුමක් ලබාගැනීමෙනි. (2 තිමෝති 3:14, 15) යහපත් පෞද්ගලික අධ්‍යයන පුරුදු හා රැස්වීම්වලට නිතිපතා පැමිණීම අපේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීමට උපකාරවත් වේ. යෙහෝවාගේ දවස මනසේ ප්‍රමුඛව තබාගැනීමද අපේ ඇදහිල්ලේ වැදගත් අංගයකි. එමනිසා අපි ජීවත් වන්නේ වත්මන් ක්‍රමයේ අවසානයට ආසන්න කාලයක බවට තහවුරු කෙරෙන ශුද්ධ ලියවිල්ලේ සඳහන් සාක්ෂි කලින් කලට නැවත සලකා බලනවා නම් පැමිණෙමින් තිබෙන අවසානය පිළිබඳ වැදගත් සත්‍යයන් අපේ මනසින් මැකී නොයනු ඇත. * බයිබල් අනාවැකිවල ඉටුවීම කියාපාන ලෝක සිද්ධීන් ගැන සැලකිලිමත් වීමත් හොඳයි. ජර්මනියේ සිටින එක් සහෝදරයෙක් මෙසේ ලීවේය. “යුද්ධ, භූමිකම්පා, අපරාධ හා අපේ පාථිවි ග්‍රහයාව දූෂණය කිරීම හා සම්බන්ධ ප්‍රවෘත්ති දකින සෑම අවස්ථාවකදීම මගේ මනසට කාවදින්නේ අවසානය ළඟ බවයි.”

6. කාලය ගෙවී යත්ම ආත්මිකව අවදිව නොසිටින තත්වයට පත්වීමේ නැඹුරුවාව යේසුස් නිදර්ශනය කළේ කෙසේද?

6 අවදියෙන් සිටින්න කියා අවවාද කරමින් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට පැවසූ දේවල් සඳහන් තවත් වාර්තාවක් මාර්ක් 13වන පරිච්ඡේදයේ අපට කියවීමට තිබේ. මේ පරිච්ඡේදයේ සඳහන් දේවලට අනුව යේසුස් ඔහුගේ අනුගාමිකයන්ගේ තත්වය දුර රටකට ගොස් සිටින තම ස්වාමියා ආපසු පැමිණෙන තෙක් බලා සිටින දොරටු පාලකයෙකුගේ තත්වය සමඟ සැසඳුවේය. තම ස්වාමියා ආපසු පැමිණෙන්නේ කුමන පැයේද කියා දොරටු පාලකයා දැන සිටියේ නැත. ඔහුට කරන්න තිබුණේ දිගටම අවදියෙන් සිටීමයි. ස්වාමියා පැමිණිය හැකි යාමවල් හතරක් ගැන යේසුස් සඳහන් කළේය. හතරවන යාමය පැවතියේ අලුයම තුනේ සිට උදෑසන හිරු උදා වෙන තෙක්ය. මෙම අවසාන යාමයේදී දොරටු පාලකයා පහසුවෙන්ම නින්දට වැටිය හැකියි. අනපේක්ෂිත ලෙස සතුරෙකුව අල්ලාගැනීමට හොඳම වේලාව හැටියට සොල්දාදුවන් සලකන්නේ එම යාමය බව පැවසේ. මේ හා සමානව අප අවට තිබෙන ලෝකය ආත්මික අර්ථයකින් තද නින්දේ පසු වන මේ අවසාන පැයේදී අවදියෙන් සිටීම සඳහා අප කරන සටන පෙරට වඩා ප්‍රබල විය හැකියි. (රෝම 13:11, 12) මේ නිසයි, යේසුස් ඔහුගේ උපමාවේදී පුන පුනා මෙසේ දිරිමත් කරන්නේ. “ප්‍රවේසමෙන් සිටින්න, අවදිව සිටින්න. . . . සෝදිසියෙන් සිටින්න. . . . මා ඔබට කියන දේ සියලුදෙනාටම කියමි, සෝදිසියෙන් සිටින්න.”—මාර්ක් 13:32-37, NW.

7. පවතින සැබෑ අනතුර කුමක්ද? මේ සම්බන්ධයෙන් අපට නිතරම පාහේ බයිබලයෙන් ලබාගත හැකි දිරිගැන්වීම කුමක්ද?

7 තමන් දේවසේවයේ නිරත වූ කාලයේ අවස්ථා බොහොමයකදී හා නැවත නැඟිටීමෙන් පසුවද සුපරීක්ෂාකාරීව සිටීමට යේසුස් සිය අනුගාමිකයන්ව දිරිමත් කළේය. ඇත්තෙන්ම වත්මන් සමාජ ක්‍රමයේ අවසානය ගැන ශුද්ධ ලියවිලිවල සඳහන් කර තිබෙන සෑම අවස්ථාවකදීම පාහේ අවදියෙන් හෝ සෝදිසියෙන් සිටින ලෙසට කර තිබෙන අනතුරු ඇඟවීම්ද අපට සොයාගැනීමට තිබේ. * (ලූක් 12:38, 40; එළිදරව් 3:2; 16:14-16, NW) ආත්මික අර්ථයෙන් නිදිබරව සිටීම ඇත්තෙන්ම සැබෑ අනතුරක් බව පැහැදිලියි. එවන් අනතුරු ඇඟවීම් අප සියලුදෙනාටම අවශ්‍යයි!—1 කොරින්ති 10:12; 1 තෙසලෝනික 5:2, 6.

අවදියෙන් සිටීමට නොහැකි වූ ප්‍රේරිතයන් තිදෙනෙක්

8. ගෙත්සෙමන උයනේදී අවදියෙන් සිටින්න කියමින් ප්‍රේරිතයන් තිදෙනාගෙන් යේසුස් කළ ඉල්ලීමට ඔවුන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

8 අවදියෙන් සිටීම සඳහා යහපත් චේතනා ඇතුව සිටීමට වඩා වැඩි දෙයක් කිරීම අවශ්‍යයි. මේ බව පේතෘස්, යාකොබ් සහ යොහන්ගේ ආදර්ශය සලකා බලද්දී අපට වටහාගත හැකියි. පක්ෂපාත ලෙස යේසුස්ව අනුගමනය කළ මොවුන් තිදෙනා ආත්මික පුරුෂයන් වූ අතර ඔහු කෙරෙහි දැඩි සෙනෙහසක්ද ඔවුන් තුළ තිබිණ. කෙසේවෙතත් පො.යු. 33 නීසාන් 14වනදා රාත්‍රියේදී අවදියෙන් සිටීමට ඔවුහු අසමත් වූහ. පාස්කුව පැවැත්වූ ඉහළ මහලේ තිබූ කාමරයෙන් පිට වී යෑමෙන් පසු මේ ප්‍රේරිතයන් තිදෙනා යේසුස් සමඟ ගෙත්සෙමන උයනට පිය නැඟූහ. යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවේය. “මැරෙන තරමටම මම අතිශයින් ශෝකව සිටිමි. ඔබ මා සමඟ මෙහි නැවතී සෝදිසියෙන් සිටින්න.” (මතෙව් 26:38, NW) යේසුස් තුන්වතාවක් දැඩි උනන්දුවකින් සිය ස්වර්ගික පියාට යාච්ඤා කර, සිය මිතුරන් ළඟට පැමිණි තුන්වතාවේදීම ඔහුට දැකගත හැකි වූයේ ඔවුන් තිදෙනා නිදාගෙන සිටින බවයි.—මතෙව් 26:40, 43, 45.

9. පෙනෙන විදිහට ප්‍රේරිතයන් නිදිබරව සිටීමට හේතු වූයේ කුමක්ද?

9 එම රාත්‍රියේදී මේ ඇදහිලිවන්ත පුරුෂයන් යේසුස්ගේ බලාපොරොත්තු කඩ කළේ මන්ද? එක හේතුවක් නම් ඔවුන් වෙහෙසට පත්ව සිටීමයි. රාත්‍රිය බොහෝ සෙයින් ඉකුත් වී තිබිණ. පෙනෙන විදිහට එය මධ්‍යම රාත්‍රියෙන් පසු යාමය විය. “ඔවුන්ගේ දෙනෙත් විඩාබරව තිබිණ.” (මතෙව් 26:43, NW) එහෙත් යේසුස් මෙසේ පැවසුවේය. “ඔබ වරදට නොපෙලඹෙන පිණිස සෝදිසියෙන් සිට නොකඩවා යාච්ඤා කරන්න. සිත නම් කැමතිය, නමුත් මාංසය දුර්වලය.”—මතෙව් 26:41, NW.

10, 11. (අ) වෙහෙසට පත්ව සිටියත් ගෙත්සෙමෙන උයනේදී සෝදිසියෙන් සිටීමට යේසුස්ට උපකාරවත් වූයේ කුමක්ද? (ආ) සෝදිසියෙන් සිටින්න කියා යේසුස් සිය ප්‍රේරිතයන් තිදෙනාගෙන් ඉල්ලා සිටි විට ඔවුන්ට සිදු වූ දෙයින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

10 අතිවැදගත්කමකින් යුත් එම රාත්‍රියේදී යේසුස්ද වෙහෙසට පත් වී සිටි බව නිසැකයි. කෙසේවෙතත්, නින්දට වැටෙනවා වෙනුවට නිදහසේ ගත කිරීමට ලැබුණු එම අතිශය වැදගත් අවසාන මොහොත ඔහු ගත කළේ මහත් උනන්දුවෙන් යාච්ඤා කරමිනි. ඊට දවස් කිහිපයකට කලින් ඔහු සිය අනුගාමිකයන්ව යාච්ඤා කිරීමට දිරිමත් කරමින් මෙසේ පැවසුවේය. “සිදු වන්න නියමිත මේ සියල්ලෙන් බේරෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටීමට හැකියාව ලැබෙන පිණිසද දිගටම අයැදිමින් අවදිව සිටින්න.” (ලූක් 21:36, NW; එපීස 6:18) යේසුස්ගේ එම උපදේශය පිළිපදිමින් යාච්ඤා කිරීම සම්බන්ධයෙන් ඔහු තැබූ කදිම ආදර්ශය අප අනුකරණය කරනවා නම් මුළු හදින්ම යෙහෝවාට කරන අපගේ අයැදීම්, ආත්මිකව අවදිව සිටීමට අපට උපකාරවත් වෙනවාට සැකයක් නැත.

11 සිය ගෝලයන් තේරුම් නොගත් දෙයක්, එනම් වැඩි වේලාවක් යන්න කලින් තමන්ව අත්අඩංගුවට ගෙන මරණයට නියම කරන බව යේසුස් තේරුම්ගෙන සිටියේය. ඔහු මුහුණ දෙන පීඩා වද කණුවේදී ඉතාමත් උග්‍ර තත්වයකට පත් වනු ඇත. මේ දේවල් ගැන යේසුස් ඔහුගේ ප්‍රේරිතයන්ට අනතුරු අඟවා තිබුණත් ඔහු පවසමින් සිටි දේවල් ඔවුන් වටහාගෙන තිබුණේ නැත. එමනිසයි යේසුස් අවදිව සිටිමින් යාච්ඤා කරද්දී ඔවුන් නින්දට වැටුණේ. (මාර්ක් 14:27-31; ලූක් 22:15-18) ප්‍රේරිතවරුන්ගේ මෙන්ම අපේ මාංසයද දුර්වලයි. එමෙන්ම තවමත් අප නොදන්න දේවල්ද තිබේ. කෙසේවෙතත්, අප ජීවත් වන කාලයේදී හදිසිතාවෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව අප වටහාගත්තේ නැත්නම් අප ආත්මික අර්ථයෙන් නින්දට වැටිය හැකියි. අපට නොනිදා සිටිය හැක්කේ අප අවදියෙන් සිටියහොත් පමණි.

අත්‍යවශ්‍ය ගුණාංග තුනක්

12. පාවුල් සිහිකල්පනාව ඇතුව සිටීම සමඟ සම්බන්ධ කර දක්වන්නේ කුමන ගුණාංග තුනද?

12 අපේ හදිසිතාවේ හැඟීම දිගටම පවත්වාගැනීමට අපට හැක්කේ කෙසේද? යාච්ඤාවේ හා යෙහෝවාගේ දවස මනසේ තබාගෙන සිටීමේ වැදගත්කම අප දැනටමත් තේරුම්ගෙන ඇත. මීට අමතරව අප වර්ධනය කරගත යුතු අත්‍යවශ්‍ය ගුණාංග තුනක් ගැන සඳහන් කරමින් පාවුල් මෙසේ පවසයි. “දිවා කාලයට අයත් අපි, සිහිකල්පනාව ඇතිව සිටිමු. ඇදහිල්ල සහ ප්‍රේමය නමැති ළයවැස්මද, ගැලවීමේ බලාපොරොත්තුව නමැති ආරක්ෂක තොප්පියද පැළඳ සිටිමු.” (1 තෙසලෝනික 5:8, NW) අප දිගටම ආත්මිකව අවදියෙන් සිටීමේදී ඇදහිල්ල, බලාපොරොත්තුව සහ ප්‍රේමය මගින් කෙරෙන කාර්යභාරය ගැන දැන් අපි කෙටියෙන් සලකා බලමු.

13. අප අවදියෙන් සිටීමේදී ඇදහිල්ල මගින් කෙරෙන කාර්යය කුමක්ද?

13 යෙහෝවා සිටින බවටත් “ඕනෑකමින් ඔහුව සොයන අයට ඔහු විපාක දෙන්නෙකු” බවටත් නොසැලෙන ඇදහිල්ලක් අපට තිබිය යුතුයි. (හෙබ්‍රෙව් 11:6, NW) අවසානය ගැන යේසුස් පැවසූ අනාවැකිවල ප්‍රථම ඉටුවීම මුල් සියවසේදී සිදු විය. එමගින් අපේ කාලයේදී ඒවායේ මහත් ඉටුවීමක් තිබෙන බවට වූ අපේ ඇදහිල්ල තවත් ශක්තිමත් කරයි. යෙහෝවාගේ දවස පැමිණෙන තෙක් මහත් උනන්දුවෙන් බලා සිටීමටද අපේ ඇදහිල්ල අපට උපකාර කරයි. “[අනාවැකිමය දර්ශනය] බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. . . . එය පසු නොබැස පැමිණෙනවාම ඇත” කියා නිසැක වීමටද අපට උපකාරවත් වන්නේ අපේ එම ඇදහිල්ලයි.—හබක්කුක් 2:3.

14. අවදියෙන් සිටීමේදී බලාපොරොත්තුව නමැති ගුණාංගය අපට තිබීම අත්‍යවශ්‍ය වන්නේ මන්ද?

14 යෙහෝවාගේ ඇතැම් පොරොන්දු ඉටු වන තෙක් බලා සිටීමට සිදු වුවත් දුෂ්කරතා විඳදරාගැනීමට අපට උපකාරවත් වන අප සතු නිසැක බලාපොරොත්තුව “ජීවිතයට නැංගුරමක්” මෙන්ය. (හෙබ්‍රෙව් 6:18, 19, NW) මීට අවුරුදු 70කට ඉහතදී බව්තීස්ම වූ අනූ ගණන්වල පසු වන ආත්මයෙන් ආලේප ලත් සහෝදරියක වන මාග්‍රට් මෙසේ පිළිගනියි. “මගේ ස්වාමිපුරුෂයා 1963දී පිළිකාවකින් මියැදෙමින් ඉන්නකොට අවසානය ඉක්මනට එනවා නම් කොච්චර හොඳද කියලා මට හැඟුණා. ඒ වුණත් මම ඒ කාලයේ හිතුවේ මං ගැන විතරයි කියලා දැන් මට වැටහෙනවා. රාජ්‍ය වැඩය ලොව පුරා කොතෙක් දුරට සිදු කෙරෙයිද කියන කාරණය ගැන ඒ කාලයේදී අපිට කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. රාජ්‍ය වැඩය පටන්ගෙන වැඩි කලක් ගොස් නැති ප්‍රදේශ ගණනාවක් දැන් පවා තිබෙනවා. මේ හින්දා යෙහෝවා ඉවසන එක ගැන මම සතුටු වෙනවා.” ප්‍රේරිත පාවුල් අපට මෙසේ සහතික කරයි. “විඳදරාගැනීමෙන් දෙවිගේ අනුමැතිය ලැබෙන්නේය, දෙවිගේ අනුමැතියෙන් බලාපොරොත්තුව ඇති වන්නේය. ඒ බලාපොරොත්තුව කලකිරීමකට මඟ පාදන්නේ නැත.”—රෝම 5:3-5, NW.

15. අප දිගු කාලයක පටන් බලා සිටිනවා කියා පෙනෙන්න තිබුණත් ප්‍රේමය අපව පොලඹවනු ඇත්තේ කුමක් කිරීමටද?

15 ක්‍රිස්තියානි ප්‍රේමයද සුවිශේෂි ගුණාංගයකි. මන්ද අප කරන සෑම දෙයක් පිටුපසම තිබෙන මූලික චේතනාව එය වන බැවිනි. යෙහෝවාගේ කාල සටහන කුමක් වුවත් අප ඔහුට සේවය කරන්නේ අප ඔහුට ප්‍රේම කරන නිසයි. අසල්වැසියා කෙරෙහි තිබෙන ප්‍රේමය රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට අපව පොලඹවයි. රාජ්‍යයේ ශුභාරංචිය කොතරම් කාලයක් පුරා දේශනා කිරීමට සිදු වුවත්, එකම නිවසට කොතරම් වාර ගණනක් නැවත නැවත යන්නට සිදු වුවත්, මෙම දේශනා කිරීමේ කාර්යයෙහි නිරතව සිටීමට අපව පොලඹවන්නේ අසල්වාසීන් සඳහා තිබෙන ප්‍රේමයයි. පාවුල් ලීවාක් මෙන් “දැන් ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය යන මේ තුන පවතින්නේය. නමුත් මේවායින් උතුම්ම එක වන්නේ ප්‍රේමයය.” (1 කොරින්ති 13:13, NW) දිගටම විඳදරාගැනීමටත් අවදිව සිටීමටත් ප්‍රේමය අපට උපකාර කරයි. “[ප්‍රේමය] සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටින්නේය. සියල්ල විඳදරාගන්නේය. ප්‍රේමය සැමදා සපල වේ.”—1 කොරින්ති 13:7, 8, NW.

“ඔබට තිබෙන දේ තදින් අල්ලාගන්න”

16. අත් දෙක බැඳගෙන සිටිනවා වෙනුවට අප වර්ධනය කරගත යුතු ආකල්පය කුමක්ද?

16 අප ජීවත් වන්නේ තීරණාත්මක කාලයකයි. මේ කාලයේ සිදු වන ලෝක සිද්ධීන් අපට නිතරම සිහිගන්වන්නේ අප අන්තිම දවස්වල අවසාන භාගයේ සිටින බවයි. (2 තිමෝති 3:1-5) මෙය අත් දෙක බැඳගෙන සිටීමට නොව ‘අපට තිබෙන දේ තදින් අල්ලාගෙන සිටීමට’ කාලයයි. (එළිදරව් 3:11) “යාච්ඤා කිරීම පිණිස අවදියෙන්” සිටීමෙන් හා ඇදහිල්ල, බලාපොරොත්තුව සහ ප්‍රේමය වර්ධනය කරගැනීමෙන් පරීක්ෂණයේ අවසන් පැයට අප සූදානම්ව සිටින බව පෙන්වීමට අපට හැකි වනු ඇත. (1 පේතෘස් 4:7, NW) ස්වාමීන්ගේ සේවයෙහි අපට කරන්න බොහෝ දේ තිබේ. දේවභක්තික ක්‍රියාවල කඩිසරව නියැලීමද හොඳින් අවදිව සිටීමට අපට උපකාරයකි.—2 පේතෘස් 3:11.

17. (අ) ඉද හිට ඇති වන බලාපොරොත්තු කඩවීම් නිසා අප අධෛර්යයට පත් නොවිය යුත්තේ මන්ද? (21වන පිටුවේ තිබෙන කොටුව බලන්න.) (ආ) අපට යෙහෝවාව අනුකරණය කළ හැක්කේ කෙසේද? මෙසේ කරන අයට බලාපොරොත්තු විය හැකි ආශීර්වාදය කුමක්ද?

17 යෙරෙමියා මෙසේ ලීවේය. “මාගේ කොටස නම් යෙහෝවාය . . . එබැවින් ඔහු කෙරෙහි බලාපොරොත්තු වන්නෙමි. යෙහෝවා ගැන බලා සිටින්නන්ටත් ඔහු සොයන ආත්මයටත් ඔහු යහපත්ය. යෙහෝවාගෙන් වන ගැලවීම නිශ්චලව බලා සිටීම මනුෂ්‍යයෙකුට හොඳය.” (විලාප ගී 3:24-26) අප අතර සිටින සමහරුන් බලා සිටින්නේ කෙටි කාලයක සිටයි. තවත් සමහරුන් යෙහෝවාගෙන් වන ගැලවීම වසර ගණනාවක් තිස්සේ බලා සිට ඇත. කෙසේවෙතත් බලා සිට තිබෙන මේ කාලපරිච්ඡේදය ඉදිරියේ තිබෙන සදාකාලය සමඟ සසඳන විට මොනතරම් කෙටි කාලයක්ද! (2 කොරින්ති 4:16-18) යෙහෝවාගේ නියමිත කාලය පැමිණෙන තෙක් බලා සිටින අතරේදී අත්‍යවශ්‍ය ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගනිමින් යෙහෝවාගේ ඉවසීමෙන් ප්‍රයෝජන ලබන අපි සත්‍යය වැලඳගැනීමට අන් අයටත් උපකාර කරන්න කරන්නෙමු. එසේනම් අපි සියලුදෙනාම සෝදිසියෙන් සිටිමු. යෙහෝවාව අනුකරණය කරමින් ඉවසිලිවන්තව සිටිමු. ඔහු අපට දී තිබෙන බලාපොරොත්තුවට ස්තුතිවන්ත වෙමු. අපි විශ්වාසවන්තව අවදිව සිටින අතරතුරේදී සදාකාල ජීවනයේ බලාපොරොත්තුව තදින් අල්ලාගෙන සිටිමු. මේ දේවල් කරද්දී පුරෝකථනය කර තිබෙන මේ පොරොන්දුවල ඉටුවීම අප අද්දකිනවාට සැකයක් නැත. “දේශය ඔබට උරුම වන පිණිස යෙහෝවා ඔබව උසස් කරන්නේය. දුෂ්ටයන් සිඳිනු ලබන කල ඔබ එය දකින්නෙහිය.”—ගීතාවලිය 37:34

[පාදසටහන්වල]

^ 5 ඡේ. වර්ෂ 2000 ජනවාරි 15 මුරටැඹ සඟරාවේ 12වන හා 13වන පිටුවල සඳහන් අප “අන්තිම දවස්වල” ජීවත් වන බවට තිබෙන සාක්ෂි හය නැවත සලකා බැලීම ප්‍රයෝජනවත් විය හැකියි.—2 තිමෝති 3:1.

^ 7 ඡේ. “අවදිව සිටින්න” යනුවෙන් පරිවර්තනය කර තිබෙන ග්‍රීක් ක්‍රියා පදයේ පදගතාර්ථයෙන් අදහස් වන්නේ ‘නින්ද පලවාහැරීම’ කියාත් එයින් “අවදියෙන් සිටීම පමණක් නොව, යමක් සිදුවීම අපේක්ෂාවෙන් සිටින අය තුළ දැකිය හැකි සෝදිසියෙන් සිටීමද අදහස් වනවා” කියාත් ඒ ගැන අදහස් දක්වමින් භාෂාවේදියෙකු වන ඩබ්. ඊ. වයින් පැහැදිලි කරයි.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• වත්මන් සමාජ ක්‍රමයේ අවසානය ළඟ බව ඒත්තුගෙන සිටින අපට එය තව තවත් තහවුරු කරගත හැක්කේ කෙසේද?

• පේතෘස්, යාකොබ් සහ යොහන් යන ප්‍රේරිතයන්ගෙන් අපට ඉගෙනගත හැකි පාඩම් මොනවාද?

• දිගටම ආත්මිකව සුපරීක්ෂාවෙන් සිටීමට අපට උපකාරවත් වන්නේ කුමන ගුණාංග තුනද?

• ‘අපට තිබෙන දෙය තදින් අල්ලාගෙන සිටීමට’ කාලය මෙය වන්නේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ කොටුව⁄පින්තූරය]

“බලා සිටින තැනැත්තා සන්තෝෂවත්ය.”—දානියෙල් 12:12, NW

තමන් මුර කරමින් සිටින ගොඩනැඟිල්ලට සොරෙකු ඇතුල් වෙන්න සැලසුම් කරමින් සිටින බවට මුරකරුවෙකුට සැකයක් ඇති වුණා කියා සිතන්න. අන්ධකාරය හාත්පස පැතිරී යද්දී මේ මුරකරුවා කුඩා ශබ්දයකට පවා දැඩි වුවමනාවකින් සවන් දෙයි. මෙසේ කරන්නේ ඒ ශබ්දය සොරා පැමිණ සිටින බවට යම් ඉඟියක්ද කියා දැනගන්නයි. පැයක් පැයක් පාසා ඔහු ඇස් කන් හොඳින් ඇරගෙන සිටියි. ගස්වල කොළ සෙලවෙන හඬ හෝ පූසෙකු යමකට කඩා පනින හඬ වැනි ව්‍යාජ අනතුරු ඇඟවීම්වලින් පවා ඔහු කොතරම් නොමඟ යා හැකිද කියා සිතාගැනීම අමාරු නැත.—ලූක් 12:39, 40.

“අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ එළිදරව් වීම ගැන වුවමනාවෙන් බලා සිටින” අයටද ඒ හා සමාන දෙයක් සිදු විය හැකියි. (1 කොරින්ති 1:7, NW) යේසුස් ඔහුගේ නැවත නැඟිටීමෙන් පසු ‘ඊශ්‍රායෙල්ට රාජ්‍යය නැවත පිහිටුවා දෙයි’ කියා ප්‍රේරිතයෝ සිතූහ. (ක්‍රියා 1:6) ඊට වසර ගණනකට පසු, තෙසලෝනියේ සිටි ක්‍රිස්තියානීන්ටද යේසුස් පැමිණ සිටින කාලය අනාගතයේදී සිදු වන්නක් බව මතක් කර දීමට සිදු විය. (2 තෙසලෝනික 2:3, 8, NW) කෙසේවෙතත්, යෙහෝවාගේ දවස සම්බන්ධයෙන් තමන් තබාගෙන සිටිඅපේක්ෂාවන් ඒ වන විට ඉටු නොවූ නිසා යේසුස්ගේ මුල් අනුගාමිකයන් ජීවනයට යන මඟෙහි ගමන් කිරීම අත්හැර දැමුවේ නැත.—මතෙව් 7:13.

මේ කාලයේද වත්මන් සමාජ ක්‍රමයේ අවසානය සම්බන්ධයෙන් පෙනෙන්න තිබෙන ප්‍රමාදයන් හේතුවෙන් අපගේ බලාපොරොත්තු සුන් වී යා හැකියි. එහෙත් අප අවදියෙන් සිටීම අත්හැර දැමීමට එයට ඉඩ නොහැරිය යුතුයි. අවදියෙන් සිටින මුරකරුවෙකු ව්‍යාජ අනතුරු ඇඟවීම්වලින් නොමඟ යා හැකි වුවත් ඔහු දිගටම සෝදිසියෙන් සිටිය යුතුයි! මේක තමයි ඔහුට පැවරී තිබෙන කාර්යය. ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන්ද මෙය සත්‍යයක්.

[18වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ දවස ළඟ බව ඔබ හොඳින් ඒත්තුගෙන තිබේද?

[19වන පිටුවේ පින්තූර]

රැස්වීම්, යාච්ඤාව සහ යහපත් අධ්‍යයන පුරුදු සෝදිසියෙන් සිටීමට අපට උපකාරවත් වේ

[22වන පිටුවේ පින්තූරය]

මාග්‍රට් මෙන් අපිත් ඉවසිලිවන්තව සිටිමු. ක්‍රියාශීලීව සෝදිසියෙන් සිටිමු