Skip to content

පටුනට යන්න

හරියාකාරව සත්‍යතාවේ වචනය හසුරුවන්න අපට උපකාරවත් වන්නේ කුමක්ද?

හරියාකාරව සත්‍යතාවේ වචනය හසුරුවන්න අපට උපකාරවත් වන්නේ කුමක්ද?

හරියාකාරව සත්‍යතාවේ වචනය හසුරුවන්න අපට උපකාරවත් වන්නේ කුමක්ද?

පුවත්පතකට තොරතුරු සපයන එක්තරා නාට්‍ය විචාරකයෙක් දවසක් නාට්‍යයක් නරඹන්න ගියා. නාට්‍යය ඔහුගේ සිතට ඇල්ලුවේ නැති නිසා ඔහු පසුව මෙසේ ලිව්වා. “වැදගැම්මකට නැති නාට්‍යයක් නරඹන්න කැමති නම් ඔබ මේ නාට්‍යය බැලිය යුතුමයි.” පසුව, නාට්‍යයේ සංවිධායකයන් එම විචාරකයාගේ ලිපියෙන් වචන පෙළක් උපුටා දක්වමින් වෙළඳ දැන්වීමක් සකස් කළා. ඔවුන් උපුටා දැක්වූයේ, “මේ නාට්‍යය බැලිය යුතුමයි” කියන වචන ටිකයි! වෙළඳ දැන්වීමේ විචාරකයාගේ වචන නිවැරදිව උපුටා දක්වා තිබූ බව ඇත්තයි. නමුත් එසේ කර තිබුණේ ඔහුගේ ප්‍රකාශයේ අවට පාඨ සම්බන්ධයට කොහෙත්ම නොගැළපෙන අයුරින්. ඒ නිසා ඔවුන් ඉදිරිපත් කර තිබුණේ ඔහුගේ මතයට මුළුමනින්ම පටහැනි වූ අදහසක්.

යම් ප්‍රකාශයක අවට පාඨ සහ පසුබිම සැලකිල්ලට ගැනීම කොතරම් වැදගත්ද කියා මෙම නිදසුනින් පැහැදිලි වෙනවා. අවට පාඨවලට සහ පසුබිමට නොගැළපෙන අයුරින් යම් ප්‍රකාශයක් උපුටා දැක්වීමෙන් එහි නියම අර්ථය විකෘති විය හැකියි. සාතනුත් ශුද්ධ ලියවිල්ල යොදාගනිමින් යේසුස්ව මුළා කිරීමට වෑයම් කළේ එවැනිම ආකාරයකින්. (මතෙව් 4:1-11) අනික් අතට, යම් ප්‍රකාශයක අවට පාඨ සහ පසුබිම සැලකිල්ලට ගැනීම, එහි අර්ථය වඩා නිවැරදිව වැටහාගැනීමට අපට උපකාරවත් වෙනවා. ඒ නිසා අප යම් බයිබල් පාඨයක් අධ්‍යයනය කරද්දී, ලේඛකයා ලියූ දේ වඩාත් හොඳින් තේරුම්ගැනීම සඳහා නිතරම එහි අවට පාඨ වෙතටත් පසුබිම වෙතටත් අවධානය යොමු කිරීම නුවණට හුරුයි.

සුපරීක්ෂාකාරීව හසුරුවන්න

අවට පාඨ කියන්නේ, ලිඛිත හෝ වාචික ප්‍රකාශයක සඳහන් යම් වචනයකට හෝ වචන ඛණ්ඩයකට පෙර හෝ පසුව එන කොටස්වලටයි. සාමාන්‍යයෙන් එම කොටස්, වචනයේ හෝ වචන ඛණ්ඩයේ අර්ථය කෙරෙහි යම් බලපෑමක් ඇති කරනවා. පසුබිම කියන්නේ යම් සිද්ධියකට හෝ තත්වයකට හේතුපාදක වූ සිදුවීම්, තත්වයන්, තොරතුරු හෝ දත්තවලටයි. ශුද්ධ ලියවිලි පාඨයක අවට පාඨ හා පසුබිම සැලකිල්ලට ගැනීම විශේෂයෙන්ම වැදගත් වන්නේ ප්‍රේරිත පාවුල් තිමෝතිට ලියූ මෙම ඔවදන හේතුකොටගෙනයි. ‘අනුමැතිය ලත් කෙනෙකු මෙන්ද, සත්‍යතාවේ වචනය හරියාකාරව හසුරුවන ලැජ්ජා වීමට කිසි හේතුවක් නැති වැඩකාරයෙකු මෙන්ද දෙවි ඉදිරියෙහි පෙනී සිටීමට උපරිම වෑයමක් දරන්න.’ (2 තිමෝති 2:15, NW) දෙවිගේ වචනය හරියාකාරව හැසිරවීම සඳහා මුලින්ම අප ඒ ගැන හරි වැටහීමක් ලබා, ඉන්පසු එය අවංකව හා නිවැරදිව අන්‍යයන්ට පැහැදිලි කරන්න අවශ්‍යයි. බයිබලයේ කර්තෘ වන යෙහෝවා කෙරෙහි අපට තිබෙන ගෞරවය මේ කාරණය සම්බන්ධව අවංක වෑයමක් දැරීමට අප තුළ පෙලඹීමක් ඇති කරවයි. ඒ සඳහා අවට පාඨ සහ පසුබිම සලකා බැලීම අපට ඉතා වටිනා ආධාරකයක් වේවි.

දෙවෙනි තිමෝති පොතේ පසුබිම

නිදසුනකට, අපි දෙවෙනි තිමෝති නමැති බයිබල් පොත පරීක්ෂා කර බලමු. * මුලින්ම, අපට පොතෙහි පසුබිම පිළිබඳව ප්‍රශ්න කිහිපයක් අසන්න පුළුවන්. දෙවෙනි තිමෝති පොත ලිව්වේ කවුද? එය ලිව්වේ කවදාද? එය ලියවුණේ කුමන තත්වයන් යටතේද? ඉන්පසු අපට මෙසේද ඇසිය හැකියි. පොතේ නමෙහි සඳහන් වන “තිමෝති” නමැති පුද්ගලයා මුහුණ දුන්නේ කුමන තත්වයන්ටද? එහි සඳහන් තොරතුරු ඔහුට අවශ්‍ය වූයේ මන්ද? එම ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරුවලින් පොත සම්බන්ධයෙන් අපේ අගය බොහෝ සෙයින් වැඩි වන අතර අද දින අපට එතුළින් ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද කියා වටහාගැනීමටද ඒවා මහෝපකාරී වෙයි.

දෙවෙනි තිමෝති 1:1, 2 පොතේ මුල් ඡේදවලින් හෙළි වන්නේ එය ප්‍රේරිත පාවුල් තිමෝතිට ලියූ ලිපියක් බවයි. පාවුල් එය ලිව්වේ ශුභාරංචිය දේශනා කිරීම හේතුවෙන් විලංගු ලා සිටි සිරකරුවෙක් බවට පත්ව සිටි අවස්ථාවකදී බව අනිකුත් ඡේදවලින් පැහැදිලි වෙනවා. බොහෝදෙනෙකු විසින් අත්හැර දමා සිටි පාවුල්ට හැඟුණේ තමාගේ අන්තිමය අත ළඟ බවයි. (2 තිමෝති 1:15, 16; 2:8-10; 4:6-8) මේ නිසා, ඔහු පොත ලියන්න ඇත්තේ ඔහුව රෝමයේ දෙවෙනි වරට සිර කරනු ලැබූ විටදී විය හැකියි. එය පො.යු. 65 පමණ වන්නට ඇති. පෙනෙන විදිහට, ඉන් ටික කලකට පසුව නීරෝ ඔහුට මරණ දණ්ඩනය නියම කළා.

දෙවෙනි තිමෝති පොතේ පසුබිම එයයි. එහෙත් පාවුල් තිමෝතිට ලිව්වේ තමා මුහුණ දෙමින් සිටි ගැටලු ගැන මැසිවිලි නැඟීමට නොවන බව සැලකිල්ලට ගැනීම වටී. ඒ වෙනුවට, ඉදිරියේදී මුහුණ දීමට සිදු වන දුෂ්කර කාලවල් ගැන ඔහු තිමෝතිට අනතුරු ඇඟෙව්වා. ඒ වගේම, ආත්මික දෘෂ්ටිය බොඳ කළ හැකි දේවලින් වැළකී සිටීමටත් වැඩි වැඩියෙන් ‘ශක්තිය උපදවාගැනීමටත්’ [NW] පාවුල්ගේ උපදෙස් අන්‍යයන්ට කියා දීමටත් ඔහු තිමෝතිට දිරිගැන්නුවා. එවිට, පාවුල්ගේ උපදෙස් ලැබූ අයටත් අන්‍යයන්ට උපකාර කිරීමට අවශ්‍ය සුදුසුකම් ලබාගත හැකි වුණා. (2 තිමෝති 2:1-7) දුෂ්කර කාලවලදී පවා පරාර්ථකාමී ලෙස අන්‍යයන් ගැන සැලකිල්ල දැක්වීම පිළිබඳව මොනතරම් කදිම ආදර්ශයක්ද! තවද එම උපදෙස් අද දින සිටින අපට කොතරම් යෝග්‍යද!

පාවුල් තිමෝතිව හඳුන්වන්නේ ‘ප්‍රේමවන්ත දරුවෙක්’ ලෙසයි. (2 තිමෝති 1:2) මෙම යෞවන සහෝදරයාව ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ කිහිප වතාවක්ම හඳුන්වා තිබෙන්නේ පාවුල්ගේ විශ්වාසවන්ත සහකරුවෙක් වශයෙනුයි. (ක්‍රියා 16:1-5; රෝම 16:21; 1 කොරින්ති 4:17) පෙනෙන ආකාරයට, පාවුල් තිමෝතිට මෙම ලිපිය ලියද්දී ඔහු වයස අවුරුදු තිස්ගණන්වල පසු වෙමින් සිටියත් ඔහුව සැලකුවේ යෞවනයෙක් හැටියටයි. (1 තිමෝති 4:12) නමුත් ඒ වන විටත් අවුරුදු 14ක් පමණ ‘පාවුල් සමඟ දාසයෙකු මෙන් සේවය කළ’ [NW] ඔහු විශ්වාසවන්තකම පිළිබඳව ඉතා හොඳ නමක් දරා සිටියා. (පිලිප්පි 2:19-22) තිමෝති යෞවනයෙකු මෙන් පෙනී සිටියත්, “වචන ගැන තරඟ නොකර” ඇදහිල්ල සහ විඳදරාගැනීම වැනි වඩා වැදගත් දේවල් වෙතට අවධානය යොමු කරන්න කියා වෙනත් වැඩිමහල්ලන්ට උපදෙස් දීමේ වගකීම පාවුල් ඔහුට භාර දුන්නා. (2 තිමෝති 2:14) සභාවේ වැඩිමහල්ලන්ව සහ සභා සේවකයන්ව පත් කරන්නත් තිමෝතිට අධිකාරිය තිබුණා. (1 තිමෝති 5:22) එහෙත් තම අධිකාරිය හෙබවීම පිළිබඳව ඔහුට යම් බයාදුකමක් දැනුණා විය හැකියි.—2 තිමෝති 1:6, 7.

මෙම යෞවන වැඩිමහල්ලාට බරපතළ අභියෝගයන් කිහිපයකට මුහුණ දෙන්න සිදු වුණා. උදාහරණයකට, හිමෙනියස් සහ පිලේතස් යන පුද්ගලයන් දෙදෙනා, ඒ වන විටත් ‘නැවත නැඟිටීම සිදු වී ඇති’ බව උගන්වමින් “සමහරුන්ගේ ඇදහිල්ල [පෙරළමින්]” සිටියා. (2 තිමෝති 2:17, 18) තිබෙන්නේ ආත්මික නැවත නැඟිටීමක් පමණයි කියාත් ක්‍රිස්තියානීන් හා සම්බන්ධයෙන් ගත් කල එය ඒ වන විටත් සිදු වෙලා ඉවරයි කියාත් ඔවුන් විශ්වාස කළ බව පෙනේ. ක්‍රිස්තියානීන් තම පාප සම්බන්ධයෙන් මැරී සිටියත් දෙවිගේ ආත්මය මගින් ඔවුන්ව ජීවත් කර තිබෙනවා යන පාවුල්ගේ ප්‍රකාශය ඔවුන් සමහරවිට වැරදි ලෙස උපුටා දැක්වුවා විය හැකියි. (එපීස 2:1-6) ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන එවැනි අයගේ බලපෑම එන්න එන්නම වැඩි වන බවට පාවුල් අනතුරු ඇඟෙව්වා. ඔහු මෙසේ ලිව්වා. “ඔවුන් සුවදායී ඉගැන්වීම නොඉවසන කාලපරිච්ඡේදයක් පැමිණෙන්නේය. . . . ඔවුහු සත්‍යයට කන් නොදී, මිථ්‍යා කතාවලට හැරෙන්නෝය.” (2 තිමෝති 4:3, 4, NW) පාවුල් කල් ඇතුව දුන් එම අනතුරු ඇඟවීමෙන් පෙනී යන්නේ තිමෝති හදිසිතාවේ හැඟීමකින් යුතුව ප්‍රේරිතවරයාගේ උපදෙස් පිළිපැදිය යුතු වූ බවයි.

අද දිනට පොතේ ඇති වටිනාකම

පාවුල් දෙවෙනි තිමෝති පොත ලීවේ අඩුම තරමින් මෙම හේතු තුන නිසා බව ඉහත සඳහන් තොරතුරුවලින් පැහැදිලි වෙනවා. (1) තම මරණය අත ළඟ බව දැන සිටි ඔහු තවදුරටත් උපකාර පිරිනැමීමට තමා නොසිටින කාලයට තිමෝතිව සූදානම් කිරීමට වෑයම් කළා. (2) තිමෝතිගේ භාරයේ තිබූ සභාවන් ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන්නන්ගෙන් සහ වෙනත් හානිකර බලපෑම්වලින් ආරක්ෂා කිරීම සඳහා තිමෝතිව සන්නද්ධ කිරීමට ඔහුට වුවමනාවක් තිබුණා. (3) යෙහෝවාගේ සේවයෙහි කඩිසරව යෙදී සිටින්නත්, බොරු ඉගැන්වීම්වලට එරෙහිව ස්ථිර පියවර ගනිද්දී දේවානුභාවයෙන් ලත් ශුද්ධ ලියවිලිවල අඩංගු නිවැරදි දැනුම මත රඳා සිටින්නත් තිමෝතිව දිරිගන්වන්න ඔහුට අවශ්‍ය වුණා.

දෙවෙනි තිමෝති පොතේ මෙම පසුබිම තේරුම්ගත් විට එහි තොරතුරු අද දින සිටින අපට වඩාත් අර්ථවත් වෙනවා. අදත් හිමෙනියස් සහ පිලේතස් වැනි තමන්ගේම අදහස් මුදුන්පත් කරගන්නා මෙන්ම අපේ ඇදහිල්ල පෙරළීමට වෙර දරන ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන අය සිටිනවා. ඒ වගේම, අප දැන් ජීවත් වන්නේ පාවුල් අනාවැකියකින් විස්තර කළ ‘කටයුතු කිරීමට අසීරු අර්බුදකාරී කාලවලයි.’ “ක්‍රිස්තුස් යේසුස් තුළ භක්තිවන්ත ලෙස ජීවත් වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය” යන පාවුල්ගේ අනතුරු ඇඟවීමේ සත්‍යතාව බොහෝදෙනෙකු දැනටමත් අද්දැක තිබෙනවා. (2 තිමෝති 3:1, NW, 12) අපට ස්ථිරව සිටිය හැක්කේ කෙසේද? තිමෝති හා සමානව අපිත් වසර ගණනාවක් පුරා යෙහෝවාට සේවය කර ඇති අයගේ උපදෙස් පිළිපැදිය යුතුයි. ඒ වගේම, පෞද්ගලික අධ්‍යයනය, යාච්ඤාව සහ ක්‍රිස්තියානි ඇසුර තුළින් අපට ‘වඩ වඩා ශක්තිය උපදවාගන්න’ පුළුවන්. අපට එසේ කළ හැකි වන්නේ යෙහෝවාගේ මහත් කරුණාවේ ප්‍රතිඵලයක් වශයෙන්. තවද, නිවැරදි දැනුම කෙරෙහි පූර්ණ නිසැකකමක් තබමින් “සුවදායී වදන්වල රටාව අල්ලාගෙන සිටින්න” යන පාවුල්ගේ අවවාදය පිළිපැදීමටද අපට හැකියි. —2 තිමෝති 1:13, NW.

“සුවදායී වදන්වල රටාව”

පාවුල් කතා කරමින් සිටියේ කුමන “සුවදායී වදන්” ගැනද? ඔහු එම යෙදුම භාවිත කරන්නේ සත්‍ය ක්‍රිස්තියානි මූලධර්ම විස්තර කිරීමටයි. තිමෝතිට ලියූ පළමුවෙනි ලිපියේදී පාවුල් පැහැදිලි කළා “සුවදායී වදන්” කියන්නේ ප්‍රධාන වශයෙන්ම ‘යේසුස් ක්‍රිස්තුස්ගේ වචනවලටයි’ කියා. (1 තිමෝති 6:3, NW) සුවදායී වදන්වල රටාව අනුකරණය කිරීමෙන් අප තුළ සිහිකල්පනාව, අන්‍යයන්ට සැලකිල්ල දැක්වීම වැනි ගුණාංග සහ ප්‍රේමණීය ස්වභාවයක් වර්ධනය වෙනවා. යේසුස්ගේ දේවසේවය සහ ඉගැන්වීම් බයිබලයේ අන් සෑම ඉගැන්වීමකටම එකඟ වන නිසා “සුවදායී වදන්” යන යෙදුම බයිබලයේ අඩංගු සෑම ඉගැන්වීමක් සඳහාම යොදාගැනීම යෝග්‍යයි.

සෑම වැඩිමහල්ලෙකුටම මෙන් තිමෝතිටද සුවදායී වදන්වල රටාව ‘විශ්වාසයෙන් යුතුව භාර දී තිබුණ යහපත්’ දෙයක්. එය ආරක්ෂා කළ යුතුව තිබුණා. (2 තිමෝති 1:13, 14, NW) තිමෝතිට මේ අවවාදයට එකඟව කටයුතු කරන්නද සිදු වුණා. ‘වචනය දේශනා කරන්න. හිතකර කාලවලදීත් දුෂ්කර කාලවලදීත් හදිසිතාවේ හැඟීමකින් යුතුව එහි යෙදී සිටින්න. සියලු ආකාර බොහෝ ඉවසිලිවන්තකමින්ද ඉගැන්වීමේ කලාව යොදාගනිමින්ද අවවාද කරන්න, තරවටු කරන්න, උනන්දු කරන්න.’ (2 තිමෝති 4:2, NW) ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන්නන්ගේ ඉගැන්වීම් තිමෝතිගේ දවස්වලදී පැතිරෙමින් තිබූ බව තේරුම්ගත් විට සුවදායී වදන් ඉගැන්වීමේ හදිසිතාව පාවුල් කාවැද්දුවේ මන්ද කියා අපට තේරුම්ගත හැකියි. බොහෝ ඉවසිලිවන්තකමින් හා හොඳ ඉගැන්වීමේ කලාවක් යොදාගනිමින් ‘අවවාද කිරීමෙන්, තරවටු කිරීමෙන් සහ උනන්දු කිරීමෙන්’ තිමෝතිට රැළ ආරක්ෂා කරන්න සිදු වූ බවත් අපට වැටහෙනවා.

තිමෝතිට පැවරුණේ කාට වචනය දේශනා කරන්නටද? අවට පාඨ සලකා බැලූ විට වැඩිමහල්ලෙකු වශයෙන් තිමෝති වචනය දේශනා කළ යුතුව තිබුණේ ක්‍රිස්තියානි සභාව තුළ බව පෙනී යනවා. විරුද්ධකරුවන්ගෙන් එල්ල වූ පීඩනය නිසා තම ආත්මික සමබරතාව රැකගැනීමටත් මිනිස් දර්ශනයන්, පෞද්ගලික අදහස් හෝ වැදගැම්මකට නැති අනුමාන කිරීම් උගන්වනවා වෙනුවට දෙවිගේ වචනය නිර්භීතකමින් ප්‍රකාශ කිරීමටත් තිමෝතිට සිදු වුණා. එසේ කිරීම නිසා වැරදි ආකල්ප තිබූ අයගෙන් විරුද්ධවාදීකම් එල්ල වීමට ඉඩ කඩ තිබූ බව ඇත්තයි. (2 තිමෝති 1:6-8; 2:1-3, 23-26; 3:14, 15) කොහොමවුණත්, පාවුල්ගේ උපදෙස් පිළිපැදීමෙන් ඇදහිල්ලට විරුද්ධව කැරලිගැසීමට එරෙහිව දිගටම පියවර ගැනීමට පාවුල්ට මෙන් තිමෝතිටත් පුළුවන්කම තිබුණා.—ක්‍රියා 20:25-32.

වචනය දේශනා කිරීම සම්බන්ධයෙන් පාවුල් පැවසූ වදන් සභාවට අයත් නොවන අයට දේශනා කිරීම සම්බන්ධයෙනුත් අදාළ වෙනවාද? එසේ අදාළ වන බව අවට පාඨවලින් පැහැදිලි වෙනවා. පාවුල් තවදුරටත් මෙසේ පවසනවා. “එහෙත් ඔබ, සියල්ලෙහිදී සිහිකල්පනාව ඇතිව සිටින්න, නපුර විඳින්න, එවැන්ජලිස්තවරයෙකුගේ කාර්යය කරන්න, ඔබේ දේවසේවය සම්පූර්ණයෙන් ඉටු කරන්න.” (2 තිමෝති 4:5, NW) එවැන්ජලිස්ත වැඩය, එනම් නොඇදහිලිවන්තයන්ට ගැලවීම පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම ක්‍රිස්තියානි දේවසේවයේ අතිවැදගත් අංගයක්. (මතෙව් 24:14; 28:19, 20) තවද, “දුෂ්කර කාලවලදී” පවා දෙවිගේ වචනය සභාව තුළ දේශනා කරනවා වගේම, සභාවට අයත් නොවන අයටත් දුෂ්කර තත්වයන් යටතේ අප පසු බසින්නේ නැතුව දේශනා කරනවා.—1 තෙසලෝනික 1:6.

අපේ දේශනා කිරීමේ හා ඉගැන්වීමේ වැඩය පදනම් වන්නේ දෙවිගේ ආනුභාවය ලත් වචනය මතයි. බයිබලය කෙරෙහි අපට පූර්ණ නිසැකකමක් තිබෙනවා. පාවුල් තිමෝතිට පැවසුවේ, ‘දේවානුභාවයෙන් දෙන ලද මුළු ලියවිල්ල ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, දේවල් හරිගැස්වීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්‍රයෝජනවත්’ වන බවයි. (2 තිමෝති 3:16, NW) බයිබලය දෙවිගේ ආනුභාවය ලත් වචනය බව පෙන්වීමට මෙම වදන් බොහෝවිට නිවැරදිව උපුටා දක්වනවා. එහෙත් පාවුල් එම වදන් ලිව්වේ කුමන අරමුණක් ඉටු කිරීමටද?

පාවුල් කතා කරමින් සිටියේ සභාව තුළ ‘අවවාද කිරීමේ, දේවල් හරිගැස්වීමේ සහ ධර්මිෂ්ඨකමින් හික්මවීමේ’ වගකීම දැරූ වැඩිමහල්ලෙකුටයි. එමනිසා, ඔහු තිමෝතිට සිහිගන්වමින් සිටියේ බාල වයසේ සිටම ඔහුට ඉගැන්වූ දේවානුභාවය ලත් වචනයේ ප්‍රඥාව කෙරෙහි විශ්වාසය තබන්න කියායි. තිමෝති හා සමානව අද දින සිටින වැඩිමහල්ලන්ටත් වරදකරුවන්ට අවවාද කරන්න සිදු වෙනවා. එසේ කරද්දී, ඔවුන් සැමවිටම බයිබලය කෙරෙහි නිසැකකමක් පෙන්විය යුතුයි. තවද, ශුද්ධ ලියවිලි දේවානුභාවයෙන් ලියා ඇති නිසා ඒ මත පදනම් වූ සෑම අවවාදයක්ම ඇත්තෙන්ම පැමිණෙන්නේ දෙවිගෙන්. එමනිසා බයිබලය මත පදනම් වූ අවවාද ප්‍රතික්ෂේප කරන ඕනෑම කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ මනුෂ්‍යයන්ගේ අදහස් නොව, යෙහෝවාගෙන් නික්මෙන ආනුභාවය ලත් උපදෙස්.

දෙවෙනි තිමෝති පොත දිව්‍ය ප්‍රඥාවෙන් කොතරම් සපිරිද! පසුබිම හා අවට පාඨ සැලකිල්ලට ගනිමින් එහි උපදෙස් පරීක්ෂා කර බලද්දී එය ඊට වඩා කොතරම් අර්ථාන්විතද! මෙම පොතෙහි සඳහන් දේවානුභාවය ලත් කදිම තොරතුරු අප මෙහිදී යන්තමින් සලකා බැලුවා විතරයි. එහෙත් අප බයිබලය කියවද්දී පසුබිම හා අවට පාඨ සලකා බැලීම කොතරම් ප්‍රයෝජනවත්ද කියා පෙන්වීමට එය ප්‍රමාණවත්. එසේ කිරීමෙන් අප ‘සත්‍යතාවේ වචනය හරියාකාරව හසුරුවන’ බවට සහතික කරගත හැකියි.

[පාදසටහන]

^ 7 ඡේ. වැඩිමනත් තොරතුරු දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (it-සිංහලෙන් නොමැත), නමැති පොතේ 2වන වෙළුමෙහි, 1105-8 දක්වා පිටු බලන්න.

[27වන පිටුවේ පින්තූරය]

පාවුල්ට වුවමනා වුණේ සභාවන් ආරක්ෂා කිරීමට තිමෝතිව සන්නද්ධ කරන්නයි

[30වන පිටුවේ පින්තූරය]

දේවානුභාවයෙන් ලත් වචනයේ අඩංගු ප්‍රඥාව කෙරෙහි විශ්වාසය තබන්න කියා පාවුල් තිමෝතිට මතක් කළා