Skip to content

පටුනට යන්න

ඔබට සැබවින්ම ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල තිබේද?

ඔබට සැබවින්ම ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල තිබේද?

ඔබට සැබවින්ම ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල තිබේද?

“දෙවිගේ රාජ්‍යය ළඟා වී තිබේ. ජනයෙනි, පසුතැවිලි වී ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල ඇතිව සිටින්න.”—මාක් 1:15, NW.

1, 2. ඔබ මාක් 1:14, 15 පැහැදිලි කරනු ඇත්තේ කෙසේද?

වර්ෂය පො.යු. 30 විය. යේසුස් ගලීලය පුරා තම සුවිශේෂ දේවසේවය ආරම්භ කර තිබිණ. ඔහු “දෙවිගේ ශුභාරංචිය” දේශනා කළ අතර, ගලීල වැසියන් බොහෝදෙනෙකුගේ සිතට කාවැදුණේ ඔහුගේ මෙම ප්‍රකාශයයි. “නියම කරන ලද කාලය සම්පූර්ණ වී ඇත. දෙවිගේ රාජ්‍යය ළඟා වී තිබේ. ජනයෙනි, පසුතැවිලි වී ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල ඇතිව සිටින්න.”—මාක් 1:14, 15, NW.

2 යේසුස්ට තම දේවසේවය ආරම්භ කිරීමටත්, දිව්‍ය අනුමැතිය ලබාගැනීමට හේතු පාදක වනු ඇති තීරණයක් ගැනීම සඳහා ජනයාහට අවස්ථාවක් ලබා දීමටත් “නියම කරන ලද කාලය” පැමිණ තිබිණ. (ලූක් 12:54-56, NW) ‘දෙවිගේ රාජ්‍යය ළඟා වී තිබුණේ’ අනාගත රජු හැටියට යේසුස් පෙනී සිටි නිසාය. ඔහුගේ දේශනා සේවයේ ප්‍රතිඵලයක් ලෙස නිසි හෘද තත්වයක් ඇති අය පසුතැවිලි වූවෝය. කෙසේවෙතත්, ඔවුන් “ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල” ඇතුව සිටියේ කෙසේද? අපටත් ඒ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටීමට හැක්කේ කෙසේද?

3. තමුන්ට ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල ඇති බව ජනයා පෙන්වන්නේ කුමක් කිරීමෙන්ද?

3 යේසුස් කළාක් මෙන් ප්‍රේරිත පේතෘස්ද ජනයාගෙන් උදක්ම ඉල්ලා සිටියේ පසුතැවිලි වන්නටයි. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී යෙරුසලමට පැමිණි යුදෙව්වන්ව අමතමින් පේතෘස් මෙසේ පැවසීය. “ඔබ සියලුදෙනා පසුතැවිලි වී ඔබේ පව්වලට සමාව ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් බව්තීස්ම වන්න. එවිට, නොමිලේ දෙන ශුද්ධාත්මය නමැති දීමනාව ඔබට ලැබෙන්නේය.” ප්‍රතිඵලයක් ලෙස දහස් ගණනක් පසුතැවිලි වෙමින්, බව්තීස්ම වී යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වූහ. (ක්‍රියා 2:38, 41, NW; 4:4) පොදු යුගයේ 36දී පසුතැවිලි වූ අන්‍ය ජාතිකයෝද ඒ හා සමාන පියවර ගත්තෝය. (ක්‍රියා 10:1-48) අදදිනත් ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටීම හේතුවෙන් දහස් ගණනක් පෙලඹෙන්නේ තමන් කළ පව් සම්බන්ධයෙන් පසුතැවිලි වී, දෙවිට කැප වී බව්තීස්ම වන්නටය. ගැලවීමේ ශුභාරංචිය පිළිගෙන ඇති ඔවුහු යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටිති. ඒත් සමඟම ඔවුහු ධර්මිෂ්ඨකමට එකඟව හැසිරෙමින් දේවරාජ්‍යය සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලිව පෙන්වමින් සිටිති.

4. ඇදහිල්ල යනු කුමක්ද?

4 එනමුත් ඇදහිල්ල යනු කුමක්ද? ප්‍රේරිත පාවුල් ලීවේ මෙසේය. “ඇදහිල්ල යනු බලාපොරොත්තු වන දේවල් ගැන සහතික වූ අපේක්ෂාවය. නොපෙනෙන නමුත් සැබෑ වූ දේවල් ගැන පැහැදිලි සාක්ෂියය.” (හෙබ්‍රෙව් 11:1, NW) දෙවි තම වචනයෙහි පොරොන්දු වී ඇති සෑම දෙයක්ම නිසැකවම ඉටු කරනු ඇති බවට අප තුළ තිබෙන ඇදහිල්ල අපට ස්ථිර කරයි. එක්තරා ඉඩමක් අපට හිමි වන බව දක්වන ඔප්පුවක් අප සතුවීම එයට සම කළ හැකිය. මීට අමතරව, නොපෙනෙන දේවල් සම්බන්ධයෙන් අප සතු “පැහැදිලි සාක්ෂිය” වන්නේ ඇදහිල්ලය. වෙනත් වචනවලින් කිවහොත් ඒ කෙරෙහි ස්ථිරව විශ්වාස කිරීමට අපට තිබෙන සාක්ෂීන්ය. එවැනි දේවල් අපගේ ඇස්වලින් නුදුටුවද, ඒවා සැබෑ බව අපට ඒත්තු යන්නේ මනසින් අප වටහාගන්නා දේ හා අපගේ හදවත තුළ ඇති වන කෘතඥපූර්වක හැඟීම් නිසාය.—2 කොරින්ති 5:7; එපීස 1:18.

අපට ඇදහිල්ල අවශ්‍යයි!

5. ඇදහිල්ල එතරම්ම වැදගත් වන්නේ මන්ද?

5 අප ආත්මික දේවල් සඳහා අවශ්‍යතාවක් ඇතුව ඉපදුණත්, ඇදහිල්ල ඇතුව ඉපදෙන්නේ නැත. ඇත්තෙන්ම කියනවා නම්, “සියල්ලන්ටම ඇදහිල්ල නැත.” (2 තෙසලෝනික 3:2, NW) කෙසේ නමුත්, දෙවිගේ පොරොන්දු උරුම කරගැනීමට ක්‍රිස්තියානීන්ට ඇදහිල්ල තිබිය යුතුමය. (හෙබ්‍රෙව් 6:12, NW) ඇදහිල්ල ඇතුව සිටි කිහිපදෙනෙකුගේ ආදර්ශ ගැන සඳහන් කිරීමෙන් අනතුරුව පාවුල් මෙසේ ලීවේය. “එබැවින් සාක්ෂිකරුවන්ගෙන් යුත් මෙපමණ විශාල වලාකුළකින් අප වට වී සිටින නිසා, සියලු බරද අපව පහසුවෙන් පටලවාගන්නා ඒ පාපයද අහක දමා, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම විඳදරාගැනීමෙන් යුක්තව දුවමු. එසේ කරද්දී අපේ ඇදහිල්ලේ ප්‍රධාන නියෝජිතයාද එය පරිපූර්ණ කරන්නාද වන යේසුස් දෙසම බලා සිටිමු.” (හෙබ්‍රෙව් 12:1, 2, NW) “අපව පහසුවෙන් පටලවාගන්නා ඒ පාපය” කුමක්ද? එය ඇදහිල්ලේ ඌනතාව වේ. වරෙක තිබුණු ඇදහිල්ල අහිමි කරගැනීමද ඊට ඇතුළත්ය. ශක්තිමත් ඇදහිල්ලක් පවත්වාගැනීමට අප ‘යේසුස් දෙසම බලා සිටිමින්’ ඔහුගේ ආදර්ශය අනුගමනය කළ යුතුය. ඒත් සමඟම දුරාචාරය ප්‍රතික්ෂේප කරමින්, මාංසයේ ක්‍රියාවලට එරෙහිව පොර අල්ලමින්, ද්‍රව්‍යවාදයෙන්, ලෞකික දර්ශන හා ශුද්ධ ලියවිල්ලට විරුද්ධව දිවයන සම්ප්‍රදායන්වලින්ද වැළකී සිටීම අවශ්‍යය. (ගලාති 5:19-21; කොලොස්සි 2:8; 1 තිමෝති 6:9, 10; යූද් 3, 4) මීට අමතරව, දෙවි අප සමඟ සිටින බවත්, ඔහුගේ වචනයෙහි උපදෙස් සැබවින්ම ප්‍රතිඵලදායක බවත් අපි විශ්වාස කළ යුත්තෙමු.

6, 7. ඇදහිල්ල උදෙසා යාච්ඤා කිරීම උචිත වන්නේ මන්ද?

6 අපගේම අධිෂ්ඨාන ශක්තියෙන් අප තුළ ඇදහිල්ලක් ඇති කරගැනීමට අපට නුපුළුවන. ඇදහිල්ල යනු දෙවිගේ ශුද්ධාත්මය නොහොත් ක්‍රියාකාරී බලයෙන් නිපදවෙන ඵලවලින් එකකි. (ගලාති 5:22, 23) එසේනම්, අපගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට අපට අවශ්‍ය නම් කුමක් කළ යුතුද? යේසුස් මෙසේ පැවසීය. “ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා නම්, ස්වර්ගයෙහි සිටින පියාණන්, තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් ශුද්ධාත්මය දේවිද?” (ලූක් 11:13, NW) එසේනම්, අපි ශුද්ධාත්මය ඉල්ලා යාච්ඤා කරමු. මන්දයත් ඉතා අසීරු අවස්ථාවන්හිදී පවා දේවකැමැත්ත කිරීමට අවශ්‍ය ඇදහිල්ල අප තුළ ජනිත කරවන්නට එයට හැකි බැවිනි.—එපීස 3:20.

7 ඇදහිල්ල තවදුරටත් වැඩි කරගැනීම සඳහා යාච්ඤා කිරීම උචිතය. යේසුස් පිරිමි දරුවෙකුට වැහී සිටි භූතයෙකු පලවාහැරීමට ගිය අවස්ථාවකදී එම දරුවාගේ පියා මෙසේ අයැද සිටියේය. “මට ඇදහිල්ල තිබේ. මට ඇදහිල්ල අවශ්‍ය පැතිවලට උපකාර කරන්න!” (මාක් 9:24, NW) යේසුස්ගේ ගෝලයෝද “අපේ ඇදහිල්ල තවත් වැඩි කරන්න” කියා පැවසූහ. (ලූක් 17:5, NW) එමනිසා ඇදහිල්ල ඉල්ලා අප කරන යාච්ඤාවලට දෙවි පිළිතුරු සපයන බවට නිසැකකම ඇතුව ඇදහිල්ල උදෙසා යාච්ඤා කරමු.—1 යොහන් 5:14.

දේවවචනය කෙරෙහි ඇදහිල්ල අත්‍යවශ්‍යය

8. දේවවචනය කෙරෙහි ඇදහිල්ල අපට උපකාර කළ හැක්කේ කෙසේද?

8 තම යාගික මරණයට ටික කලකට පෙර, යේසුස් තම අනුගාමිකයන්ට මෙසේ කියා සිටියේය. “ඔබේ සිත් කැලඹීමට ඉඩ නොදෙන්න. දෙවි කෙරෙහි ඇදහිල්ල පෙන්වන්න. මා කෙරෙහිද ඇදහිල්ල පෙන්වන්න.” (යොහන් 14:1, NW) ක්‍රිස්තියානීන් හැටියට අපට දෙවි හා ඔහුගේ පුත්‍රයා කෙරෙහි ඇදහිල්ල ඇත. එනමුත් දේවවචනය ගැන කුමක් කිව හැකිද? අප එය අධ්‍යයනය කර, අපට ලබාගත හැකි හොඳම උපදෙස් හා මඟ පෙන්වීම් එමගින් සැපයෙන බවට පූර්ණ ඇදහිල්ල ඇතුව එහි කරුණු අදාළ කරගන්නවා නම්, අපගේ ජීවිතයෙන් හොඳ ප්‍රතිඵල නෙළාගැනීමට එය ප්‍රබල බලපෑමක් විය හැක.—හෙබ්‍රෙව් 4:12.

9, 10. යාකොබ් 1:5-8හි ඇදහිල්ල සම්බන්ධයෙන් පවසා ඇති දේ ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?

9 අසම්පූර්ණ මනුෂ්‍යයන් වශයෙන් අප ගෙවන ජීවිතය නොයෙකුත් කරදර ගැටලුවලින් පිරී පවතී. කෙසේවෙතත්, දේවවචනය කෙරෙහි ඇදහිල්ල අපට සැබවින්ම උපකාරයක් විය හැක. (යෝබ් 14:1) නිදසුනකට, යම් පීඩාවක් සමඟ කටයුතු කරන්නේ කෙසේද කියා අප දන්නේ නැතැයි සිතන්න. දේවවචනය අපට ලබා දෙන්නේ මෙම උපදෙසයි. “ඔබෙන් යමෙකුට ප්‍රඥාව මදි නම්, දෙවි සියල්ලන්ට නොමසුරුව දෙන හෙයින්ද, දොස් තැබීමකින් තොරව දෙන හෙයින්ද, ඔහු නොකඩවා දෙවිගෙන් ඉල්ලාවා. එවිට ඔහුට එය දෙනු ලැබේ. නමුත් ඔහු කිසි සේත් සැක නොකොට, ඇදහිල්ලෙන් යුක්තව නොකඩවා ඉල්ලාවා. මන්ද සැක කරන්නා සුළඟකින් ගෙනයනු ලබන, ඔබ මොබ විසි වෙන මුහුදු රැල්ලක් මෙනි. ඇත්තෙන්ම ඒ මිනිසා තමාට යෙහෝවාගෙන් කිසිම දෙයක් ලැබේයයි නොසිතාවා. ඔහු දෙගිඩියාවෙන් සිටින මිනිසෙකි. ඔහු තම සියලු මාර්ගවල අස්ථිරව සිටින්නේය.”—යාකොබ් 1:5-8, NW.

10 අපට ප්‍රඥාවේ ඌනතාවක් තිබෙන නිසාවත්, ඒ සඳහා යාච්ඤා කරන නිසාවත් යෙහෝවා දෙවි අපට දොස් තබන්නේ නැත. ඒ වෙනුවට මුහුණ දීමට සිදු වන එම පීඩාව ගැන සමබර ආකල්පයක් දැරීමට ඔහු අපට උපකාර කරයි. අපට උපකාරවත් වන ශුද්ධ ලියවිලි පද, සෙසු ඇදහිලිවන්තයන් මාර්ගයෙන් හෝ අපගේ බයිබල් අධ්‍යයනය මාර්ගයෙන් අපගේ අවධානයට යොමු වන්නට පුළුවන. එසේ නැතහොත් වෙනයම් ක්‍රමයකින් යෙහෝවාගේ ශුද්ධාත්මය අපට මඟ පෙන්වීමක් දිය හැකිය. අප ‘කිසි සේත් සැක නොකොට, ඇදහිල්ලෙන් යුක්තව නොකඩවා ඉල්ලනවා’ නම් පීඩාවන්ට උර දීමට අවශ්‍ය ප්‍රඥාව අපගේ ස්වර්ගික පියාණන් අපට දානය කරනු ඇත. අප සුළඟකින් ගෙනයනු ලබන ඔබ මොබ විසි වෙන මුහුදු රැල්ලක් හා සමාන නම්, දෙවිගෙන් කිසිවක් ලැබෙයි කියා අපට අපේක්ෂා කළ නොහැකිය. ඒ මන්ද? යාච්ඤාව හා වෙනත් දේවල් සම්බන්ධයෙන්, ඇත්තෙන්ම ඇදහිල්ල පෙන්වීම සම්බන්ධයෙන් පවා අප දෙගිඩියාවෙන් හා අවිනිශ්චිතභාවයකින් සිටින බව මින් අදහස් කරන බැවිනි. එමනිසා අප දේවවචනය හා එයින් ලබාගත හැකි මඟ පෙන්වීම කෙරෙහි ස්ථිර ඇදහිල්ලක් ඇතුව සිටීම අවශ්‍යය. දේවවචනය උපකාර හා මඟ පෙන්වීම සපයන බව පෙන්වන උදාහරණ කිහිපයක් සලකා බලමු.

ඇදහිල්ල හා අවශ්‍යතා සැපිරීම

11. දේවවචනය කෙරෙහි ඇදහිල්ල, අපගේ දෛනික අවශ්‍යතා සම්බන්ධයෙන් අපට ලබා දෙන්නේ කවර සහතිකයද?

11 අප දැන් දුගීකමින් හෝ වෙනයම් අගහිඟතාවකින් පෙළෙනවා නම් කුමක් කිව හැකිද? දේවවචනය කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටීමෙන්, යෙහෝවා දෙවි අපගේ දෛනික අවශ්‍යතා සපුරාලන බවට හා ඔහුට ප්‍රේම කරන අය සඳහා නව ක්‍රමයේදී බහුල සැපයුම් ලබා දෙන බවට සහතික වූ අපේක්ෂාව අපට ලැබේ. (ගීතාවලිය 72:16; ලූක් 11:2, 3) සාගත කාලයකදී යෙහෝවා තම අනාගතවක්තෘ එලියාට ආහාර සැපයූ ආකාරය ගැන මෙනෙහි කිරීම අපව දිරිගන්වන්නක් විය හැක. පසු අවස්ථාවක දෙවි ආශ්චර්යවත් ලෙස පිටි හා තෙල් සැපයුමක් සිඳී නොයෑමට සලස්වමින් ස්ත්‍රියකගේ, ඇගේ දරුවාගේ හා එලියාගේ දිවි රැක දුන්නේය. (1 රාජාවලිය 17:2-16) බබිලෝනීය හමුදාවන් යෙරුසලම වට කළ අවස්ථාවේදී යෙහෝවා යෙරෙමියාගේ අවශ්‍යතා සපුරාලූයේ ඒ හා සමානවයි. (යෙරෙමියා 37:21) යෙරෙමියා හා එලියාට ආහාර බහුලව නොතිබුණත්, යෙහෝවා ඔවුන්ව බලාගත්තේය. අදදින ඔහු කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටින අයටද ඔහු ඒ හා සමාන දෙයක් කරයි.—මතෙව් 6:11, 25-34.

12. අපගේ දෛනික අවශ්‍යතා සපුරාගැනීමේදී ඇදහිල්ල උපකාරවත් වන්නේ කෙසේද?

12 අප ද්‍රව්‍යමය අතින් ධනවත් නොවුවත්, ඇදහිල්ල ඇතුව සිටීමත්, බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමත් අපගේ අවශ්‍යතා සපුරාගන්නට උපකාරවත් වනු ඇත. නිදසුනක් ලෙස, බයිබලය අපට මඟ පෙන්වන්නේ අවංක, දක්ෂ, වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයන් වන්නට කියාය. (හිතෝපදේශ 22:29; දේශනාකාරයා 5:18, 19; 2 කොරින්ති 8:21) වෙහෙස වී වැඩ කරන්නෙකු වශයෙන් හොඳ කීර්ති නාමයක් ඉසිලීමේ වටිනාකම අප කිසිවිටෙකත් අවතක්සේරු නොකළ යුතුය. හොඳ රැකියාවක් ලබාගැනීමට ඇති අවස්ථා හිඟ ප්‍රදේශවලදී පවා, අන් අයට වඩා අවංක, දක්ෂ හා කාර්යශූර වැඩකරුවන්ට වැඩි තැනක් ලැබේ. මෙවැනි වැඩකරුවන්ට ද්‍රව්‍යමය වශයෙන් එතරම් ධන සම්භාරයක් නොතිබුණද, ඔවුන්ට සාමාන්‍යයෙන් මූලික අවශ්‍යතා සපුරාගත හැකි අතරම, ඔවුන්ගේම වෙහෙස මහන්සියෙන් උපයාගත් ආහාර අනුභව කිරීමේ තෘප්තියද ඔවුහු භුක්ති විඳිති.—2 තෙසලෝනික 3:11, 12.

වියෝ දුක දරාගැනීමට ඇදහිල්ල අපට උපකාරයකි

13, 14. වියෝ දුක දරාගැනීමට ඇදහිල්ල අපට උපකාරවත් වන්නේ කෙසේද?

13 ඔබ ප්‍රේම කරන කෙනෙකු මිය ගිය විට ශෝකයක් ඇතිවීම ස්වාභාවික දෙයක් බව දේවවචනයෙහි යථාර්ථවාදීව දක්වා ඇත. විශ්වාසවන්ත වූ කුලදෙටු ආබ්‍රහම්ට තම ආදරණීය බිරිඳගේ මරණයේදී ඉමහත් දුකක් දැනිණ. (උත්පත්ති 23:2) තම පුත්‍ර අබ්සලොම්ගේ මරණය ගැන ආරංචිය ලැබූ දාවිත්ගේ ශෝකයට නිමක් තෙරක් නොතිබුණු තරම්ය. (2 සාමුවෙල් 18:33) පරිපූර්ණ යේසුස් පවා තම මිත්‍ර ලාසරුස් මිය ගිය විට හඬා වැලපුණේය. (යොහන් 11:35, 36) අප ප්‍රේම කරන අයෙකු මිය ගිය විට අපට දරාගත නොහැකි තරම් ශෝකයක් ඇති වුවද, එම දුක දරාගැනීමට දේවවචනයෙහි සඳහන් පොරොන්දු කෙරෙහි ඇදහිල්ල අපට උපකාරයක් විය හැක.

14 පාවුල් පැවසුවේ මෙසේය. ‘ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක් ඇතැයි මමත් දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටිමි.’ (ක්‍රියා 24:15, NW) මහත් සමූහයක් යළිත් ජීවත් කරවීම සඳහා වූ දෙවිගේ විධිවිධානය කෙරෙහි අපට ඇදහිල්ල තිබිය යුතුය. (යොහන් 5:28, 29) ඒ මහත් සමූහය අතර, දැන් මරණ නින්දෙහි පසු වෙමින් දෙවිගේ නව ලෝකයේදී නැවත නැඟිටීමක් බලාපොරොත්තුවෙන් සිටින ආබ්‍රහම් හා සාරා, ඊසාක් හා රෙබෙකා, යාකොබ් සහ ලෙයා සඳහන් කරන්නට පුළුවන. (උත්පත්ති 49:29-32) අප ප්‍රේම කරන අය මරණ නින්දෙන් අවදි කර, ඔවුන්ට මිහිපිට ජීවත් වීමට ප්‍රස්තාව ලබා දෙන විට අප කොයි කාටත් මොනතරම් ප්‍රීතියක් දැනේවිද! (එළිදරව් 20:11-15) ඒ අතරතුරේදී ඇදහිල්ල, ශෝකය සම්පූර්ණයෙන්ම තුරන් නොකළද, වියෝ දුක දරාගැනීමට උපකාර කරන දෙවිට ළංව සිටීම සඳහා එය දායක වේ.—ගීතාවලිය 121:1-3; 2 කොරින්ති 1:3.

මානසික පීඩනයෙන් සිටින අයට ඇදහිල්ල ශක්තියකි

15, 16. (අ) ඇදහිල්ල ඇති අය පවා මානසික පීඩනයෙන් පෙළීම දුර්ලභ ගණයේ සිදුවීමක් නොවන බව අපට පැවසිය හැක්කේ මන්ද? (ආ) මානසික පීඩනය සමඟ කටයුතු කිරීමට කුමක් කළ හැකිද?

15 ඇදහිල්ල ඇති අය පවා මානසික පීඩනයට හසු විය හැකි බව දේවවචනයෙහි පෙන්වා ඇත. යෝබ් දරුණු පරීක්ෂණයකට මුහුණ දුන් විට, ඔහුට දැනුණේ දෙවි ඔහුව අත්හැර ඇති බවකි. (යෝබ් 29:2-5) නෙහෙමියා දොම්නසින් සිටියේ යෙරුසලම සහ එහි පවුරු නටබුන් වූ තත්වයක පැවති නිසාය. (නෙහෙමියා 2:1-3) යේසුස්ව නාඳුනන බවට ප්‍රකාශ කිරීමෙන් පසු පේතෘස් මානසිකව කොතරම් ඇද වැටුණාද කිවහොත් ඔහු “මහත් ශෝකයෙන් හැඬුවේය.” (ලූක් 22:62, NW) මේ නිසා පාවුල් තෙසලෝනික සභාවේ සිටි සෙසු ඇදහිලිවන්තයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ “මානසික පීඩනයෙන් සිටින අයට සහනයක් ගෙන දෙන ආකාරයෙන් කතා කරන්න” කියාය. (1 තෙසලෝනික 5:14, NW) එමනිසා, ඇදහිල්ල ඇති අයත් මානසික පීඩනයෙන් පෙළෙනවා යන්න අදහන්නට බැරි දුර්ලභ ගණයේ සිදුවීමක් නම් නොවේ. එසේනම්, මානසික පීඩනය සමඟ කටයුතු කිරීම සඳහා අපට කළ හැක්කේ කුමක්ද?

16 අපට මානසික පීඩනයක් ඇති වන්නේ අප දරුණු ගැටලු කිහිපයකට මුහුණ දෙමින් සිටින නිසා විය හැකිය. එම ගැටලු සියල්ල එක දැවැන්ත ගැටලුවක් ලෙස සලකනවා වෙනුවට, බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් අපට ඒවා එකිනෙක විසඳාගැනීමට පුළුවන්කමක් තිබේ. මෙයින්, අපට ඇති වන මානසික පීඩනය අඩුවීමට ඉඩ ඇත. ප්‍රයෝජනවත් තවත් දෙයක් නම් අප කරන දේවලදී සමබරතාව රැකීම හා ප්‍රමාණවත් නින්දක් ලබාගැනීමය. අපට එක දෙයක් ගැන ස්ථිර විය හැකිය. එනම් අපගේ ආත්මික ශුභසිද්ධියට දෙවි සහ ඔහුගේ වචනය කෙරෙහි ඇදහිල්ල දායක වේ. මන්දයත් ඔහු සැබවින්ම අප ගැන සලකන බවට වූ අපගේ ස්ථිර විශ්වාසය ඉන් ශක්තිමත් වන හෙයිනි.

17. යෙහෝවා අප ගැන සලකන බව අප දන්නේ කෙසේද?

17 පේතෘස් මෙම සැනසීම ගෙන දෙන පොරොන්දුව දුන්නේය. “දෙවි සුදුසු කාලයේදී නුඹලා උසස් කරන පිණිස ඔහුගේ බලවත් හස්තයට යටත් වෙන්න. ඔහු නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර ඔහු පිට තබන්න.” (1 පේතෘස් 5:6, 7) ගීතිකාකරු ගායනා කළේ මෙසේය. ‘යෙහෝවා වැටෙන සියල්ලන්ට ආධාර කරයි. නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවයි.’ (ගීතාවලිය 145:14) මෙම පොරොන්දු තිබෙන්නේ දේවවචනයෙහිය. එමනිසා අප ඒවා විශ්වාස කළ යුතුය. මානසික පීඩනය දිගටම පැවතිය හැකි දෙයක් වුවද, අපගේ සෑම කරදරයක්ම, දුකක්ම, කනස්සල්ලක්ම අපගේ ප්‍රේමණීය ස්වර්ගික පියාණන් පිට තැබිය හැකි බව දැනසිටීම අපගේ ඇදහිල්ල කොතරම් ශක්තිමත් කරවන්නක්ද!

ඇදහිල්ල හා වෙනත් පරීක්ෂා

18, 19. අසනීප දරාගැනීමට හා අසනීපවලින් පෙළෙන සෙසු ඇදහිලිවන්තයන් සනසාලන්නට ඇදහිල්ල අපට උපකාරවත් වන්නේ කෙසේද?

18 අප හෝ අප ප්‍රේම කරන කෙනෙකු යම් බරපතළ අසනීපයකින් පෙළෙන විට, අපගේ ඇදහිල්ල දැඩි පරීක්ෂාවකට ලක් වන්නට පුළුවන. එපෆ්‍රොදිතස්, තිමෝති හා ත්‍රොෆිමස් වැනි ක්‍රිස්තියානීන්ව ආශ්චර්යවත් ලෙස සුව කළ බවට බයිබලයෙහි කිසිදු වාර්තාවක් නොතිබුණද, තම අසනීප දරාගැනීමට යෙහෝවා ඔවුන්ට උපකාර කළ බවට සැකයක් නැත. (පිලිප්පි 2:25-30; 1 තිමෝති 5:23; 2 තිමෝති 4:20) මීට අමතරව, “දිළින්දා සලකන්නා” ගැන ගීතිකාකරු ගැයූ පරිදි, “යෙහෝවා ඔහුව ගිලන්ව ඔත් යහනේදී උසුලන්නේය. රෝගයේදී ඔබ ඔහුගේ මුළු යහන සකස් කරන්නේය.” (ගීතාවලිය 41:1-3) ගීතිකාකරුගේ මෙම වදන්, අසනීපවලින් පෙළෙන සෙසු ඇදහිලිවන්තයන්ව සනසාලන්නට උපකාරවත් වන්නේ කෙසේද?

19 ආත්මික උපකාර සැපයිය හැකි එක් මාර්ගයක් නම් අසනීප වී සිටින අය සමඟ යාච්ඤා කිරීම හා ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමය. අදදින යම් ආශ්චර්යවත් සුවයක් දෙන මෙන් නොඉල්ලුවද, තම අසනීපය දරාගැනීමට ශක්තිය හා දුර්වලව සිටින මෙවැනි අවස්ථාවලදී විඳදරාගෙන සිටීමට අවශ්‍ය ආත්මික ශක්තිය ඔවුන්ට දෙන මෙන් දෙවිගෙන් ඉල්ලීමට අපට පුළුවන. යෙහෝවා ඔවුන්ව උසුලන අතර, ‘තමා ලෙඩින්යයි කිසි වැසියක් නොකියන’ කාලය දෙස පුල පුලා බලා සිටීමෙන් ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් වනු ඇත. (යෙසායා 33:24) නැවත නැඟිටුවන ලද යේසුස් ක්‍රිස්තුස් හා දේවරාජ්‍යය මාර්ගයෙන් කීකරු මිනිස්වර්ගයාට පාපයෙන්, රෝගවලින් හා මරණයෙන් සදාතනික නිදහසක් ලැබෙන බව දැනගැනීම මොනතරම් සැනසිල්ලක්ද! එම උදාර අපේක්ෂා අපට ලබා දීම වෙනුවෙන් ‘අපගේ සියලු රෝග සුව කරන’ යෙහෝවාට ස්තුති කරමු.—ගීතාවලිය 103:1-3; එළිදරව් 21:1-5.

20. ‘විපත්තිදායක’ මහලු විය තුළදී අපව ඉසිලීමට ඇදහිල්ලට හැකි බව පැවසිය හැක්කේ මන්ද?

20 හොඳ සෞඛ්‍යය හා කාය ශක්තිය පහ වී යන ‘විපත්තිදායක’ මහලු විය තුළදී අපව ඉසිලීමටද ඇදහිල්ලට පුළුවන. (දේශනාකාරයා 12:1-7) එමනිසා අප අතර සිටින මහලු අයට වියපත් වූ ගීතිකාකරු මෙන් මෙසේ යාච්ඤා කරන්නට පුළුවන. “ස්වාමි වූ යෙහෝවා, මාගේ බලාපොරොත්තුව ඔබය. . . . මහලු වයසේදී මා ඉවත නොහළ මැනව. මාගේ ශක්තිය පිරිහෙන කල මා අත්නෑරිය මැනව.” (ගීතාවලිය 71:5, 9) යෙහෝවාගේ උපකාරය සඳහා අවශ්‍යතාවක් ගීතිකාකරුට දැනුණේ, දෙවිගේ සේවයේ දිගු කාලයක් පුරා නිරත වෙමින් වියපත් වී ඇති අපගේ සෙසු ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකුට දැනෙන්නාක් මෙනි. ඔවුන් තුළ තිබෙන ඇදහිල්ල හේතුවෙන්, යෙහෝවාගේ සදාකාලික හස්තයන් ඔවුන්ව නිරතුරුව දරාගන්නා බවට විශ්වාසයෙන් සිටින්නට ඔවුන්ට පුළුවන.—ද්විතීය කථාව 33:27.

දේවවචනය කෙරෙහි ඇදහිල්ල පවත්වාගන්න

21, 22. අපට ඇදහිල්ල තිබේ නම්, එය දෙවි සමඟ අපගේ සබඳතාවට බලපාන්නේ කෙසේද?

21 ශුභාරංචිය හා මුළු දේවවචනය කෙරෙහිම ඇදහිල්ල පවත්වාගැනීම යෙහෝවා වෙත තව තවත් ළඟාවීමට අපට උපකාරයකි. (යාකොබ් 4:8) ඔහු පරමාධිපති ස්වාමීන් වන බව ඇත්තය. ඒත් සමඟම ඔහු අපගේ මැවුම්කරු හා පියාණන්ද වේ. (යෙසායා 64:8; මතෙව් 6:9; ක්‍රියා 4:24) ගීතිකාකරු ගායනා කළේ මෙසේය. “ඔබ මාගේ පියාණෝය. මාගේ දෙවිය. මාගේ ගැලවීමේ පර්වතයය.” (ගීතාවලිය 89:26) අපද යෙහෝවා හා ඔහුගේ ආනුභාවය ලත් වචනය කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටිනවා නම්, ඔහු ‘අපගේ ගැලවීමේ පර්වතය’ ලෙස සලකන්නට අපටද පුළුවන. එය මොනතරම් හද උණුසුම් කරවන වරප්‍රසාදයක්ද!

22 යෙහෝවා ආත්මයෙන් ජනිත වූ ක්‍රිස්තියානීන්ගේ මෙන්ම භූමික බලාපොරොත්තුවක් ඇති ඔවුන්ගේ සහායකයන්ගේද පියාණෝය. (රෝම 8:15) අපගේ ස්වර්ගික පියාණන් කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටීම කිසිදාකවත් බලාපොරොත්තු සුන් තත්වයකට මඟ පෙන්වන්නේ නැත. දාවිත් මෙසේ පැවසීය. “මාගේ පියාද මවුද මා අත්හැරියෝය. නමුත් යෙහෝවා මා පිළිගනියි.” (ගීතාවලිය 27:10) තවද යෙහෝවා “තමන්ගේ මහත් නාමය නිසා තමන් සෙනඟ අත්නොහරින” බවට නිසැකකමද අපට තිබේ.—1 සාමුවෙල් 12:22.

23. යෙහෝවා සමඟ කල්පවතින සබඳතාවක් භුක්ති විඳීම සඳහා අපට අවශ්‍ය වන්නේ කුමක්ද?

23 කෙසේවෙතත්, යෙහෝවා සමඟ කල් පවතින සබඳතාවක් භුක්ති විඳීමට නම්, අප ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටිය යුතු අතර ශුද්ධ ලියවිල්ල දේවවචනය ලෙස අවිවාදයෙන්ම පිළිගත යුතුය. (1 තෙසලෝනික 2:13) යෙහෝවා කෙරෙහි පූර්ණ ඇදහිල්ලක් ඇතුව සිටිය යුතු අප, ඔහුගේ වචනයට අපගේ මාවතට එළියක් වීමට ඉඩ දිය යුතුය. (ගීතාවලිය 119:105; හිතෝපදේශ 3:5, 6) ඔහු අපට පෙන්වන දයානුකම්පාව, දයාව සහ උපකාරය කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇතුව ඔහු වෙත යාච්ඤාවෙන් එළඹෙද්දී අපගේ ඇදහිල්ල වර්ධනය වනු නිසැකය.

24. රෝම 14:8හි ඉදිරිපත් කර තිබෙන්නේ කවර සැනසීම ගෙන දෙන අදහසද?

24 ඇදහිල්ල අපව පෙලඹුවේ යෙහෝවාට සදාකාලයටම කැපවීමටයි. අප මිය ගියද, ශක්තිමත් ඇදහිල්ලක් ඇතුව සිටින අපි නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් ඇති ඔහුගේ කැප වූ සේවකයෝ වන්නෙමු. එසේය, “අප ජීවත් වුණත් මිය ගියත් අප යෙහෝවාගේය.” (රෝම 14:8, NW) එසේනම්, දේවවචනය කෙරෙහි අපගේ නිසැකකම පවත්වාගනිමින්, ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටින අතරතුරේදී එම සැනසීම ගෙන දෙන අදහස අපගේ සිතෙහි නිදන් කරගනිමු.

ඔබේ පිළිතුර කුමක්ද?

• ඇදහිල්ල යනු කුමක්ද? අපට මෙම ගුණාංගය අවශ්‍ය වන්නේ මන්ද?

• ශුභාරංචිය කෙරෙහි හා මුළු දේවවචනය කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටීම අත්‍යවශ්‍ය වන්නේ මන්ද?

• නොයෙකුත් පරීක්ෂාවලට මුහුණ දීම සඳහා ඇදහිල්ල අපට උපකාර කරන්නේ කෙසේද?

• ඇදහිල්ල පවත්වාගෙන යෑමට අපට උපකාර කරනු ඇත්තේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12වන පිටුවේ පින්තූර]

යෙහෝවා යෙරෙමියා හා එලියාව රැකබලා ගත්තේ ඔවුන්ට ඇදහිල්ල තිබුණු නිසාය

[13වන පිටුවේ පින්තූර]

යෝබ්, පේතෘස් හා නෙහෙමියාට ශක්තිමත් ඇදහිල්ලක් තිබිණ

[15වන පිටුවේ පින්තූර]

යෙහෝවා සමඟ කල්පවතින සබඳතාවක් භුක්ති විඳීමට නම්, අප ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටීම අවශ්‍යය