Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

බයිබලය මත අත තබා තමන් සත්‍යය පවසන බවට ක්‍රිස්තියානියෙකු උසාවියේදී දිවුරුම් දීම ශුද්ධ ලියවිලිවලට එකඟද?

මේ සම්බන්ධයෙන් එක් එක් කෙනා පෞද්ගලිකව තීරණයක් ගත යුතුයි. (ගලාති 6:5) උසාවියකදී සත්‍යය පවසන බවට දිවුරුම් දීම සම්බන්ධයෙන් බයිබලයෙහි විරුද්ධත්වයක් ප්‍රකාශ කර නැත.

දිවුරුම් දීම පුරාණයේ සිට පැවත එන ප්‍රචලිත ක්‍රියාවකි. අතීතයේදී ග්‍රීකයන් විසින් අත් අහසට ඔසවා හෝ පූජාසනය මත තබා දිවුරුම් දෙනු ලැබීය. රෝමානු වැසියෙක් දිවුරුම් දෙන විට ඔහු ගලක් අතට ගෙන ප්‍රතිඥා දුන්නේ මෙසේයි. “මම සිතා මතා වංචා කළොත් නුවර සහ බලකොටුව රැක දෙන ජුපිටර් දේවතාවන් විසින් මම මේ ගල අහකට වීසි කරන්නා හා සමානව මගේ ජීවිතයේ සියලු යහපත් දේවල් මගෙන් ඈත් කරනු ලැබේවා.”—ජෝන් මැක්ලින්ටොක් සහ ජේම්ස් ස්ට්‍රෝංගේ Cyclopedia of Biblical, Theological, and Ecclesiastical Literature නමැති කෘතියේ VIIවන වෙළුමේ 260වන පිටුව.

මෙවන් ක්‍රියාවලින් යම් දේවල් සනාථ වේ. එනම්, මනුෂ්‍යයන්ව සහ ඔවුන්ගේ ක්‍රියාකලාපයන් නිරීක්ෂණය කරන දෙවි කෙනෙක් සිටින බවත් ඔහුට ගණන් දීමට යුතු බවත් පිළිගැනීමට මනුෂ්‍යයා තුළ තිබෙන නැඹුරුවාවයි. පුරාණ කාලයෙහි සිටම යෙහෝවාගේ සැබෑ නමස්කාරකයින් තේරුම්ගත් දෙයක් වන්නේ තමන් කරන කියන දේ දෙවි දන්න බවයි. (හිතෝපදේශ 5:21; 15:3) ඔවුන් දිවුරුම් දුන්නේ හරියට දෙවි ඔවුන් ඉදිරියෙහි සිටිනවා, නැතහොත් ඔහු එයට සාක්ෂි දෙනවා හා සමානවයි. බෝවස්, දාවිත්, සාලමොන් සහ ශෙදකියා එසේ කළ බවට නිදසුන් තිබේ. (රූත් 3:13; 2 සාමුවෙල් 3:35; 1 රාජාවලිය 2:23, 24; යෙරෙමියා 38:16) සැබෑ දෙවිගේ නමස්කාරකයින්ද තමන්ව දිවුරුම්වලින් බැඳ තැබීමට අන්‍යයන්ට ඉඩ දී තිබුණි. ආබ්‍රහම් සහ යේසුස් ක්‍රිස්තුස් සම්බන්ධයෙන්ද මෙය සැබෑ වුණි.—උත්පත්ති 21:22-24; මතෙව් 26:63, 64.

යම් පුද්ගලයෙක් යෙහෝවා ඉදිරියෙහි දිවුරුමක් දෙන විට යම් අවස්ථාවලදී ශාරීරික අංග චලනයක් කළේය. ආබ්‍රම් (ආබ්‍රහම්) සොදොම් නුවරෙහි රජුට මෙසේ පැවසුවේය. “අහසත් පොළොවත් හිමි වූ මහෝත්තම දෙවි වූ යෙහෝවාට මාගේ අත ඔසවා දිවුළෙමි.” (උත්පත්ති 14:23) දේවදූතයෙක් දානියෙල්ට කතා කරන අවස්ථාවේදී “තමාගේ දකුණතද වමතද අහස දෙසට ඔසවා, සදාකාලයටම ජීවත් වන තැනැත්තා ගැන [දිවුරුවේය].” (දානියෙල් 12:7) දෙවිද යමක් ගැන දිවුරුම් දෙන විට සංකේතාත්මකව අත ඔසවන බව සඳහන් වී තිබේ.—ද්විතීය කතාව 32:40අ, 42ආ; යෙසායා 62:8.

දිවුරුම් දීම සම්බන්ධයෙන් ශුද්ධ ලියවිල්ලෙහි කිසි විරුද්ධත්වයක් ප්‍රකාශ කර නැත. එසේවුවත් ක්‍රිස්තියානියෙකු තමන් කියන සෑම දෙයක් සම්බන්ධයෙන්ම දිවුරුම් දීමක් කළ යුතු නැත. යේසුස් පැවසුවේ “නුඹලාගේ වචනය: එසේය, එසේය කියාද, නැත නැත කියාද වේවා” යනුවෙනි. (මතෙව් 5:33-37) ශ්‍රාවක යාකොබ්ද මෙවැනිම ප්‍රකාශයක් කළේය. “නොදිවුරන්න” කියා ඔහු කී විට ඔහු අනතුරු අඟවමින් සිටියේ සිතා බැලීමකින් තොරව දෙන්නාවූ දිවුරුම් පිළිබඳවයි. (යාකොබ් 5:12) උසාවියකදී සත්‍යය පවසන බවට පොරොන්දු දීම වැරදියි කියා යේසුස්වත් යාකොබ්වත් පැවසුවේ නැත.

එසේනම්, උසාවියකදී ක්‍රිස්තියානියෙකුගෙන් තමන් පවසන්නේ සත්‍යයක් කියා ප්‍රතිඥා දෙන ලෙස ඉල්ලා සිටියහොත් තත්වය කුමක්ද? එවන් දිවුරුමක් දීමට හැකියි කියා ඔහුට හැඟී යා හැකියි. එසේ නොමැති නම් ඔහු අසත්‍යයක් නොකියන බවට ප්‍රතිඥාවක් දීමට හැකියි.—ගලාති 1:20.

උසාවියකදී දිවුරුම් දීමට අත් එසවීම හෝ බයිබලය මත අත තැබීම ඇතුළත් වන විට ක්‍රිස්තියානියෙකු ඊට එකඟව කටයුතු කිරීමට තීරණය කළ හැකියි. එවන් තීරණයක් ගැනීමේදී අංග චලනයන් සහිත දිවුරුම් දීම් පිළිබඳව ශුද්ධ ලියවිලි අදර්ශයන් ඔහුගේ මතකයට නැඟෙනවා විය හැකියි. ක්‍රිස්තියානියෙකුට වැදගත්ම දේ වන්නේ යම් කිසි ආකාරයක අංග චලනයක් කිරීම නොව තමන් සත්‍යය පවසන බවට දිවුරුම් දෙන්නේ දෙවි ඉදිරියෙහිය යන කාරණය සිහියේ තබාගැනීමයි. ඇත්තෙන්ම එවන් දිවුරුම් දීමක් බැරෑරුම් කාරණයක් වේ. ක්‍රිස්තියානියෙකුගෙන් උසාවියේදී ප්‍රශ්න අසනු ලබන විටදී ඔහුට එම ප්‍රශ්නයට පිළිතුරු දිය හැකි බවත් තමන් එසේ කළ යුතු බවත් ඔහුට හැඟේ නම්, සත්‍යය පවසන බවට තමන් දිවුරුම් දී තිබෙන බව ඔහු මතකයේ තබාගත යුතුය. මන්ද සත්‍යය කතා කිරීම ක්‍රිස්තියානියෙකුගෙන් සෑමවිටම අපේක්ෂා කරන්නකි.