Skip to content

පටුනට යන්න

පෙර සහ පසු දේවවචනය සතු බලය ක්‍රියාත්මක වන අන්දම

පෙර සහ පසු දේවවචනය සතු බලය ක්‍රියාත්මක වන අන්දම

“දෙවිට ළං වෙන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය”

පෙර සහ පසු දේවවචනය සතු බලය ක්‍රියාත්මක වන අන්දම

ඔබට ටෝනි නමැති පුද්ගලයාව ඔහුගේ නහඹර වියේදී මුණගැසුණා නම් ඔබ දකින්නේ ඉතා රළු විප්ලවකාරී ළමයෙකුවයි. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ මැරකම්වලට ප්‍රසිද්ධ ස්ථානවල ඔහු ගැවසෙන ආකාරයද ඔබට දකින්න ලැබෙනු ඇති. ඔහු ආශ්‍රය කළ මිතුරන් අතර කල්ලිවලට සම්බන්ධ අයවලුන්ද සිටියේය. ඔවුන් බොහෝ අවස්ථාවලදී ගෙවල් බිඳීම්, කෝලහාල කිරීම් සහ ටවුම තුළ වෙඩි තබාගැනීම් ආදි ක්‍රියාවල නිරත වූ අයයි.

ටෝනි දුම්පානයට ඇබ්බැහි වුණේ වයස අවුරුදු නවයේදීයි. අවුරුදු 14දී දිනපතා මරිජුවානා භාවිත කළ ඔහු දුරාචාරමය ජීවිතයකටද යොමු විය. අවුරුදු 16ක් වන විට හෙරෝයින් භාවිතයට ඇබ්බැහි වූ ඔහු නතර වුණේ කොකේන් සහ LSD භාවිතයට ගැනීමෙනි. “ඇඟට හොඳට වදින ඕන දෙයක් මම ගත්තා.” ටෝනි පැවසුවේ එසේයි. ඉන්පසු ඔහු සංවිධානාත්මක ලෙස අපරාධයන් කරන මැර කණ්ඩායම් දෙකක් සමඟ මත්ද්‍රව්‍ය ගනු දෙනු කිරීමට පටන්ගත්තේය. වැඩි කල් නොගොස් ටෝනි නැඟෙනහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය සපයන්නෙක් ලෙස නම් දැරීය.

ටෝනි හෙරෝයින් සහ මරිජුවානාවලට ඇබ්බැහි වූ නිසා දිනකට යූරෝ ඩොලර් 160ක් හෝ 320ක් අතර මුදලක් ඒ සඳහා වැය වුණි. ඊටත් වඩා සිදු වූ අවාසිය වන්නේ ඔහුගේ පවුලට එයින් ඇති වූ බලපෑමයි. ඒ පිළිබඳව ඔහු මෙසේ පවසයි. “අපි ළඟ තිබුණ මත්ද්‍රව්‍ය සහ මුදල් පැහැරගැනීමට පැමිණි අපරාධකරුවන් බොහෝ අවස්ථාවලදී මගේ විතරක් නෙවෙයි මගේ භාර්යාවගේ මුහුණටත් පිස්තෝල සහ පිහි එල්ල කළා.” තුන්වතාවක් සිර ගෙදර සිටීමෙන් පසු තමන් ගත කරන ජීවන රටාව තමන්ව රැගෙන යන්නේ කොයිබටද කියා කල්පනා කිරීමට ටෝනි පෙලඹුණි.

ඔහු පල්ලියට යෑමට පුරුදු වී සිටියත් පව්කාරයන්ව නිරයේ දමා පුලුස්සමින් දඬුවම් කරන දෙවි කෙනෙකුට ළං විය නොහැකි බව ඔහුට හැඟුණි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඔහුව බැහැදැක දෙවි එවැනි කෙනෙක් නොවෙයි කියා කරුණු පැහැදිලි කළ විට ටෝනි පුදුමයට පත් වුණි. ජීවිතය හරි මඟට ගැනීමෙන් දෙවිගේ ආශීර්වාද භුක්ති විඳීමට තමාට හැකියි කියා දැනගත් විට ඔහු තවත් සතුටට පත් විය. ටෝනි තුළ එවන් පෙලඹීමක් ඇති වුණේ යේසුස්ගේ මෙම වදන් නිසයි. “දෙවිට සියල්ලම පුළුවන.” (මාර්ක් 10:27) විශේෂයෙන්ම ඔහුගේ හදවතට කාවැදුණ දිරිගන්වනසුලු වදන් වූයේ “දෙවිට ළං වෙන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය” යන්නයි.—යාකොබ් 4:8, NW.

තම ජීවිතය බයිබල් ප්‍රතිපත්ති අනුව සකසාගැනීම තමයි ටෝනිට ඊළඟට තිබුණ අභියෝගය. ඔහු පවසන්නේ මෙසේයි. “දුම්බීම නතර කරන්න තමයි මම මුලින්ම පියවර ගත්තේ. මීට කලිනුත් එය කරන්න මම කිහිපවතාවක්ම උත්සාහ කර තිබුණත් මම අසාර්ථක වුණා. නමුත් හෙරෝයින්, මරිජුවානා සහ අවුරුදු 15ක් තිස්සේ මම ඇබ්බැහි වී සිටි මත්ද්‍රව්‍ය ගැනීමේ පුරුද්දෙන් නිදහස් වීමට මට හැකි වුණේ යෙහෝවාගෙන් ලද බලය නිසා.”

බයිබලයේ කොතැනකවත් සඳහන් වී නැති ඉගැන්වීමක් වන මනුෂ්‍යයන්ව සදාකාලයටම නිරයකට දමා වද දෙන දෙවි කෙනෙකු පිළිබඳව ටෝනි සහ ඔහුගේ භාර්යාව කලින් පිළිගත්තෝය. නමුත් දැන් ඔවුන් එවැනි දෙවි කෙනෙකුට භය වී සිටිනවා වෙනුවට පාරාදීස පොළොවක සදාකාලිකව ජීවත් වීමේ බලාපොරොත්තු පිළිගෙන ඇත. (ගීතාවලිය 37:10, 11; හිතෝපදේශ 2:21) “දෙවිගේ ප්‍රමිතිවලට එකඟව මගේ ජීවිතය සකස් කරගැනීමට කාලය ගියා විතරක් නෙමෙයි ඒ සඳහා විශාල වෑයමක් දරන්නත් සිදු වුණා. ඒත් යෙහෝවාගේ උපකාරයෙන් මම ජයගත්තා” කියා ටෝනි පැවසුවේය.

කලින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි මෙම පුද්ගලයා ක්‍රිස්තියානියෙකු බවට පත් විය. ඔහු සහ ඔහුගේ භාර්යාව ඔවුන්ගේ කාලය සහ සම්පත් ස්වේච්ඡාවෙන් කැප කරමින් බයිබල් අධ්‍යාපන වැඩය සඳහා පැය දහස් ගණනක් වැය කර තිබේ. එමෙන්ම ඔවුන් දැන් දේවභය ඇති දුවකගේ සහ පුතෙකුගේ දෙමාපියන්. මේ විශාල වෙනස සිදු වුණේ දේවවචනය වන බයිබලයෙහි තිබෙන අද්විතීය බලය නිසයි. ඔව්, ප්‍රේරිත පාවුල් කියූ ලෙස “දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය.”—හෙබ්‍රේව් 4:12.

මෙවන් දිරිගන්වනසුලු අද්දැකීම් තිබුණද සමහරෙකු අසාධාරණ ලෙස කියා සිටින්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ බයිබල් අධ්‍යාපනය පවුල් විනාශ කරන්නක් මෙන්ම තරුණ අයගේ වටිනා හැකියාවන් මොට කරන්නක් බවයි. කෙසේ නමුත්, ටෝනිගේ අද්දැකීමෙන් එම ප්‍රකාශය බොරුවක් බව තහවුරු වේ.

ඉතාමත් භයානක ඇබ්බැහි වීම්වලින් තමන්ට ගොඩ ඒමට හැකි බව ටෝනි මෙන්ම බොහෝ අයද අද්දැක තිබේ. එසේ හැකි වී තිබෙන්නේ දෙවි කෙරෙහි වූ ඇදහිල්ලත් ඔහු මත මෙන්ම ඔහුගේ වචනය මත රඳා සිටීමත් සැලකිලිමත් සහ ප්‍රේමණීය ක්‍රිස්තියානි ආශ්‍රිතයන්ගේ සහයත් නිසාය. ටෝනි ඉතා සතුටින් තම වදන් අවසන් කළේ මෙලෙසයි. “බයිබල් ප්‍රතිපත්ති රැකීම නිසා මගේ දරුවන් ආරක්ෂාව ලබන බව මම අද්දැකලා තියෙනවා. ඒ වගේම මගේ විවාහ ජීවිතය බේරිලා තියෙන්නෙත් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත් නිසයි. මගේ අසල්වැසියෝ දැන් සැනසිල්ලේ නිදාගන්නවා. මොකද ඒ අය දන්නවා දැන් මම ඒ අයට තර්ජනයක් නොවෙයි කියලා.”

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“අවුරුදු 15ක් තිස්සේ මම ඇබ්බැහි වී සිටි මත්ද්‍රව්‍ය ගැනීමේ පුරුද්දෙන් නිදහස් වීමට මට හැකි වුණේ යෙහෝවාගෙන් ලද බලය නිසා”

[9වන පිටුවේ කොටුව]

ජීවිත වෙනස් කරන බයිබල් ප්‍රතිපත්ති

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බොහෝදෙනෙකුට එම නොමනා පුරුද්දෙන් ගොඩ ඒමට විවිධ බයිබල් ප්‍රතිපත්ති උපකාරවත් වී ඇත. එම බයිබල් ප්‍රතිපත්තිවලින් කිහිපයක් මතු දැක්වේ.

‘මාංසය සහ ආත්මය දූෂ්‍ය කරවන සෑම දෙයකින්ම අපි අපව පවිත්‍ර කරගනිමින් දේවභය ඇතිව ශුද්ධකම සම්පූර්ණ කරමු.’ (2 කොරින්ති 7:1, NW) මත්ද්‍රව්‍ය භාවිත කිරීම දෙවිගේ නිතීය උල්ලංගනය කරයි.

“ප්‍රඥාවේ පටන්ගැන්ම නම් යෙහෝවා කෙරෙහි භයවීමය. ශුද්ධ තැනැත්තා දැනගැනීම නුවණ වේ.” (හිතෝපදේශ 9:10) යෙහෝවා පිළිබඳවත් ඔහුගේ මාර්ග පිළිබඳවත් ලබා තිබෙන නිවැරදි දැනුම නිසා ඔහු කෙරෙහි ඇති වන ගෞරවය මත්ද්‍රව්‍යවල බලපෑම්වලින් නිදහස් වීමට බොහෝදෙනෙකුට උපකාරවත් වී තිබේ.

“නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න. නුඹේ සියලු මාර්ගවලදී ඔහුව සලකන්න. එවිට ඔහු නුඹේ මාවත් සමතලා කරනවා ඇත.” (හිතෝපදේශ 3:5, 6) දෙවි කෙරෙහි මුළු හෘදයෙන්ම විශ්වාසය තබා ඔහු මත රඳා සිටීමෙන් විනාශකාරී පුරුදුවලින් මිදීමට හැකියි.