Skip to content

පටුනට යන්න

ගිනි උදුනක් වන් පීඩාවලින් පරීක්ෂා කරනු ලැබ

ගිනි උදුනක් වන් පීඩාවලින් පරීක්ෂා කරනු ලැබ

ජීවිත කතාව

ගිනි උදුනක් වන් පීඩාවලින් පරීක්ෂා කරනු ලැබ

පැවසුවේ පෙරක්ලීස් යානෝරීස්

පුස් ගඳ වහනය වූ සිරකුටියේ මම හිටියේ සීතලේ ගැහි ගැහීයි. තුනී බ්ලැන්කට්ටුවක් විතරක් පොරවගෙන එහි ඉඳගෙන හිටිය මට, මගේ තරුණ බිරිඳගේ මූණේ තිබුණ කිසි අනුකම්පාවක් නැති බැල්ම මැවිලා පෙනුණා. ඊට දවස් දෙකකට කලින් සොල්දාදුවෙක් අපේ ගෙදරට ඇවිත් මාව ඇදගෙන යන වෙලාවේ ලෙඩ වෙලා හිටිය අපේ චූටි දරුවෝ දෙන්නත් එක්ක ඈ තනි වුණ නිසයි ඈ එහෙම හිටියේ. වෙන ආගමක හිටි ඈ දවසක් මට පාර්සලයක් එක්ක ලියුමක් එවලා තිබුණා. ඒකෙ ලියලා තිබුණේ මෙහෙමයි. “මම ඔයාට මේ කෑම ටික එවනවා. ඔයත් ඔයාගේ ළමයි වගේම ලෙඩ වෙලා යන්න ඕන.” මම කවදාහරි මගේ පවුලේ අයව බලන්න පණ පිටින් ගෙදර යයිද?

ක්‍රිස්තියානි ඇදහිල්ල වෙනුවෙන් කළ අසීරු මෙන්ම දිගු සටනක් පිළිබඳ කතා පුවතේ එක සිද්ධියක් විතරයි ඒක. මේ සටනට පවුල් විරෝධතා, සමාජ හෙළාදැකීම්, නඩු හබ සහ දරුණු පීඩා ඇතුළත්ව තිබුණා. ඒත් සන්සුන් දේවබියැති පුද්ගලයෙකු වන මම මේ වගේ කාලකණ්ණි තැනකට ආවේ කොහොමද? ඒ ඇයි? පැහැදිලි කිරීමට මට අවසර.

උදාර සිහිනයක් තිබූ දිලිඳු කොල්ලෙක්

මම 1909දී ක්‍රීට්හි ස්ටාව්‍රෝමිනෝවල ඉපදෙනකොට යුද්ධය, දිලිඳු තත්වය සහ කෑම හිඟය නිසා රට තුළ නොසන්සුන්බවක් පැවතුණා. පසු කලක, මගේ බාල සහෝදර සහෝදරියන් හතරදෙනායි, මමයි ස්පාඤ්ඤ උණ මාරයාගෙන් බේරුණේ අනූනවයෙන්. මේ උණෙන් බේරගන්න මගේ දෙමාපියන් එක කාලෙක අපිව සති ගණනක් ගේ ඇතුලට කරගෙන හිටියා මට මතකයි.

දිලිඳු ගොවියෙකු වූ තාත්තා ආගම දහමට හුඟක් ලැදි නමුත් විවෘත මනසක් තිබුණ කෙනෙක්. ප්‍රංශයේ හා මැඩගස්කරයේ කලින් ඉඳලා තියෙන නිසා ඔහු ආගම පිළිබඳ පැතිරෙමින් තිබුණ අලුත් අදහස් ගැන දැනගෙන හිටියා. කොහොමනමුත්, අපේ පවුලේ අය පක්ෂපාතව හිටියේ ග්‍රීක් ඕතඩොක්ස් සභාවටයි. හැම ඉරිදාවකම අපි දේවමෙහෙයට ගියා. ප්‍රාදේශීය බිෂොප්වරයාගේ වාර්ෂික බැහැදැකීම කාලයේදී ඔහු නැවතුණේ අපේ නිවසෙයි. ගීතිකා කණ්ඩායමේ හිටිය මම පූජකයෙක් වෙන්න සිහින මැව්වා.

වර්ෂ 1929දී මම පොලිසියට බැඳුණා. උතුරු ග්‍රීසියේ තෙසලෝනිකාවල සේවය කළ අවදියේ මගේ තාත්තා මිය ගියා. සැනසිල්ලක් හා ආත්මික ඥානාලෝකයක් ලැබීමේ අරමුණින් ඒතොස් කන්දේ පිහිටි පොලිස් බලකායට මාරුවක් ඉල්ලගත්තා. ඕතඩොක්ස් ක්‍රිස්තියානීන් විසින් එය “ශුද්ධ කන්ද” ලෙස ගෞරවයෙන් සලකනු ලැබූ අතර ඒ අසල පිහිටි ප්‍රජාවේ ජීවත් වූයේ පැවිදි ජීවිතයක් ගත කරන අයයි. * මම එහෙ වසර හතරක් සේවය කරමින් පැවිදි ජීවිතය කොයි වගේ එකක්ද කියලා හොඳින් නිරීක්ෂණය කළා. දෙවිට ළං වෙනවා වෙනුවට පූජකයන්ගේ අශික්ෂිත දුරාචාරමය හැසිරීම සහ දූෂිත ක්‍රියා නිසා මා තුළ ඇති වුණේ මහ පිළිකුලක්. මම ගෞරවයෙන් සැලකුව නායක ස්වාමි කෙනෙක් මාව ලිංගික ක්‍රියාවලට පොලඹවගන්න හැදුවහම මට ඇති වුණේ පුදුම කලකිරීමක්. එවැනි කලකිරීමක් ඇති වෙලා තිබුණත්, දෙවිට සේවය කරන්නත්, පූජකයෙක් වෙන්නත් අවංකවම මට ඕන වෙලා තිබුණා. මම පූජකයෙකුගේ ලෝගුවක් ඇඳගෙන ඡායාරූපයකුත් ගත්තේ සිහිවටනයක් හැටියට තියාගන්න ඕන නිසයි. ඒත් අන්තිමේදී මම ආපහු ක්‍රීට්වලට ගියා.

“එයා මහ යක්ෂයෙක්!”

මම 1942 ෆ්‍රොසිනිව විවාහ කරගත්තා. එයා හොඳ පවුලකින් ආව ලස්සන ගෑණු ළමයෙක්. මගේ විවාහ ඥාතීන් ආගමට හුඟක් ලැදිව හිටිය නිසා පූජකයෙක් වෙන්න තිබුණ ආශාව විවාහයෙන් පස්සේ ආපහු අලුත් වුණා. * මගේ අධිෂ්ඨානය වුණේ සෙමනේරියක ඉගෙනගන්න ඇතන්ස්වලට යන්නයි. වර්ෂ 1943 අගභාගයේදී, ඇතන්ස්වලට යන්න මම ක්‍රීට්හි අයිරාක්ලියන් වරායට ආවත් එහෙට ගියේ නැහැ. ආත්මික සහනය ලබා දෙන වෙන උල්පතක් මට ලැබුණ නිසා වෙන්න ඇති ඒක එහෙම වුණේ. සිද්ධ වෙලා තිබුණේ මොකක්ද?

යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක ඇසුරු කරමින් හිටිය උද්‍යෝගිමත් තරුණ දේශකයෙක් වූ ඉමාන්වෙල් ලිඕනූඩාකිස් අවුරුදු කීපයක ඉඳලා ක්‍රීට් නගරය පුරාම අන් අයගේ ඇස් පාදන බයිබල් සත්‍යයන් උගන්වමින් හිටියා. * සාක්ෂිකරුවන් දේවවචනය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දුන් නිසා සමහරු බොරු ආගම අත්ඇරියා. ළඟපාත තිබුණ සිට්ටීයා නගරයේ, උද්‍යෝගිමත් සාක්ෂිකරුවන් කණ්ඩායමක් සංවිධානය වුණා. ඒ ප්‍රදේශයේ බිෂොප්වරයාට කේන්ති ගියා. මොකද ඔහු කාලයක් එක්සත් ජනපදයේ හිටිය හින්දා, යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශනාකරුවන් හැටියට මොනතරම් බලපෑමෙන් යුතු සෙනඟක්ද කියලා දැනගෙන හිටියා. ඔහුගේ බලප්‍රදේශයෙන් මෙම “මිථ්‍යා ලබ්ධිය” අතුගාලා දාන්න ඔහු තීරණය කළා. ඔහුගේ පෙලඹීම උඩ නොයෙකුත් බොරු චෝදනා මත පොලිසිය නිතරම සාක්ෂිකරුවන්ව නඩුහබවලට පටලවලා, හිරභාරයට ගත්තා.

මේ සාක්ෂිකරුවන්ගෙන් එක් කෙනෙක් මට බයිබල් සත්‍යය පැහැදිලි කරන්න උත්සාහ කළත් ඔහුට තේරුණා මම එච්චර උනන්දුවක් දක්වන්නේ නැති බව. ඒ නිසා ඔහුට වඩා අද්දැකීම් තිබුණ දේවසේවකයෙකුව එව්වා මාත් එක්ක කතා කරන්න. මං ඕනෑවට එපාවට තරහෙන් උත්තර දුන්න නිසා දෙවනි සාක්ෂිකරුවා ගිහින් ඔහුගේ පුංචි කණ්ඩායමට මෙහෙම කිව්වා. “පෙරක්ලීස්ට නම් කොහොමටවත් සාක්ෂිකාරයෙක් වෙන්න බැහැ. එයා මහ යක්ෂයෙක්!”

විරෝධතාවේ මුල් අද්දැකීම

දෙවි මාව ඒ විදිහට සැලකුවේ නැති එක මට සතුටක්. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සත්‍යය ඉගැන්වූ බව ඒත්තුගෙන හිටිය මගේ සහෝදරයා වූ ඩිමාස්තනිස් 1945 පෙබරවාරිවලදී දුක් විඳින සියල්ලන්ට සැනසීම යන පොත්පිංචය මට දුන්නා. * එහි අඩංගු තොරතුරු දැකලා මම පුදුමයට පත් වුණා. ඕතඩොක්ස් පල්ලියට යන එක වහාම නවත්තලා සිට්ටීයාවල හිටිය කුඩා කණ්ඩායමට බැඳුණ අපි අලුත ලැබුණ අපේ ඇදහිල්ල සම්බන්ධයෙන් අපේ නංගිලා මල්ලිලාට සාක්ෂි දැරුවා. ඒ හැමෝම බයිබල් සත්‍යය පිළිගත්තා. බොරු ආගමෙන් අයින් වෙන්න මම ගත්ත තීරණය නිසා හිතුව විදිහටම මගේ භාර්යාවයි ඇගේ පවුලේ අයයි මාව අයින් කළ අතර ඔවුන් මට විරුද්ධවාදිකම් පෑවා. මගේ මාමණ්ඩි ටික කාලයක් මාත් එක්ක කතා කළෙත් නැහැ. හැලහැප්පීම් නිසා දිගටම ගෙදර පැවතුණේ නොසන්සුන්තාවයක්. මේ දේවල් මැද්දේ මමයි, ඩිමාස්තනිසුයි 1945 මැයි 21වෙනිදා බව්තීස්ම වුණා. අපිව බව්තීස්ම කෙරුවේ සහෝදර මිනොස් කොකින්නාකිස්. *

මගේ සිහිනය සැබෑ කරගනිමින් දෙවිගේ අවංක දේවසේවකයෙකු හැටියට සේවය කරන්න මට අවස්ථාව ලැබීම මොනතරම් ප්‍රීතියක්ද! ගෙයින් ගෙට සේවයේ ගිය මුල්ම දවස මට තාම මතකයි. මගේ බෑග් එකේ පොත්පිංච 35ක් දාගෙන මම බස් රථයෙන් ගමකට ගියා. මම ගෙයින් ගෙට යන්න පටන්ගත්තේ බයාදු ගතියකින්. හැබැයි දිගින් දිගට යන්න යන්න මගේ නිර්භීතකම වැඩි වුණා. පූජකයෙක් කේන්තියෙන් ඇවිත්, එයත් එක්ක පොලිසියට එන්න කියලා තර්ජනය කරද්දීත්, ඒක ගණන් නොගෙන ඉන්න තරම් නිර්භීතකමක් මා තුළ තිබුණා. මම යන්නේ මුළු ගමේම ඉන්න අයව හම්බ වුණාට පස්සෙයි කියලා මම ඔහුට කිව්වා විතරක් නෙවෙයි ඒ විදිහටම කළා. මට ඇති වුණ සතුට කොච්චරද කියනවා නම් බස් එකක් එනකම්වත් නොඉඳ ආපහු කිලෝමීටර් 15ක් ඇවිදගෙනම ගෙදර ගියා.

කෲර චණ්ඩීන්ගේ ග්‍රහණයේ

වර්ෂ 1945 සැප්තැම්බර්වලදී, සිට්ටීයාවල අලුතෙන් පටන්ගත්ත සභාවේ තවත් වගකීම් ලැබුණා. වැඩි කල් නොගොස් ග්‍රීසියේ සිවිල් යුද්ධය පටන්ගත්තා. පක්ෂග්‍රාහී කණ්ඩායම් බද්ද වෛරයකින් එකිනෙකාට විරුද්ධව නැඟී සිටියා. පුළුවන් විදිහකින් සාක්ෂිකරුවන්ව ඉවත් කරන්න කියා බිෂොප් අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ප්‍රාදේශීය ගරිල්ලා කණ්ඩායමෙන් ඉල්ලා සිටියා. (යොහන් 16:2) ගරිල්ලා කණ්ඩායම අපේ ගමට එද්දී, ඔවුන්ට ලැබිලා තිබුණ “දේව-නියෝගය” ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් ඔවුන් කළ සාකච්ඡාව ඔවුන් සිටි බස් රියේම හිටිය මිත්‍රශීලී කාන්තාවකට ඇසී ඇය අපට අනතුරු ඇඟෙව්වා. අපි හැංගුණු අතර අප වෙනුවෙන් නෑදෑයෙක් මැදිහත් වුණ නිසා අපේ ජීවිත ගැලවුණා.

මේක තව තවත් පීඩා වැඩි වෙන්න හේතුවක් වුණා. පහර දීම් සහ බියගැන්වීමත් සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. ආපහු පල්ලියට යන්න, අපේ දරුවන්ව ක්‍රිස්තියානි කරන්න, කුරුසේ ලකුණ අඳින්න කියලා අපේ විරුද්ධවාදීන් අපිට බල කරන්න පටන්ගත්තා. එක අවස්ථාවකදී, ඔවුන් මගේ සහෝදරයාට කොච්චර පහර දුන්නද කියනවා නම් ඔහු මැරුණා කියලයි ඔවුන් හිතුවේ. මගේ සහෝදරියන් දෙදෙනාගේ ඇඳුම් ඉරලා, ඔවුන්ට තලනවා දැක්කහම මට දැනුණේ පුදුම වේදනාවක්. ඒ කාල වකවානුවේදී යෙහෝවාගේ සාක්ෂිකාර දරුවන් අටදෙනෙක්ව පල්ලිය මගින් බලෙන්ම ක්‍රිස්තියානි කළා.

මගේ අම්මා 1949දී මිය ගියා. අවමංගල්‍ය කටයුතු සිදු කළේ නීත්‍යනුකූලව නොවේ කියා අපට චෝදනා කරමින් පූජකයා නැවතත් අපේ පස්සෙන් පන්නන්න පටන්ගත්තා. මට විරුද්ධව නඩු දැම්මත් මා නිදොස් බව ඔප්පු වුණා. නඩුව අහද්දී මුලින්ම යෙහෝවාගේ නම සඳහන් කළ නිසා ඒක විශිෂ්ට සාක්ෂියක් වුණා. අපේ සතුරන්ට “අපව සිහි කල්පනාවට ගෙන ඒමට” තිබුණ එකම ක්‍රමය වුණේ අපිව අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමයි. මේක ඔවුන් කළේ 1949 අප්‍රියෙල්වලදීයි.

ගිනි උදුනක් වන් පීඩා මැද

අත්අඩංගුවට ගත් සහෝදරයන් තිදෙනා අතර මමත් හිටියා. ප්‍රදේශයේ තිබුණ පොලිසියේ රඳවගෙන හිටිය වෙලාවේ මගේ භාර්යාව මාව බලන්නවත් ආවේ නැහැ. අයිරාක්ලියන්වල සිරභාරයකටයි අපිව මුලින්ම ගෙන ගියේ. මුලදී සඳහන් කළ පරිදි මට ලොකු පාළුවක් දැනුණ අතර මා අධෛර්යයට පත් වෙලයි හිටියේ. මම මෙහෙට එනකොට සාක්ෂිකාරියක නොවූ මගේ භාර්යාවයි, අතදරුවන් දෙන්නවයි තනි කරලායි මට එන්න සිද්ධ වුණේ. උපකාර ඉල්ලලා මම යෙහෝවාට උනන්දුවෙන් යාච්ඤා කළා. හෙබ්‍රෙව් 13:5හේ සඳහන් දෙව්වදන් මගේ මනසට නැඟුණා. “මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමි.” යෙහෝවා කෙරෙහි නොසැලෙන විශ්වාසයක් තැබීම ඥානවන්ත දෙය බව මට වැටහුණා.—හිතෝපදේශ 3:5.

ග්‍රීසියේ ඇටිකා මුහුදු තීරයේ තියෙන පාළු දූපතක් වන මාක්‍රෝනිසොස්වලට අපිව පිටුවහල් කරන්න යන බව අපිට දැනගන්න ලැබුණා. එහෙ තිබුණ සිර කඳවුර බර වැඩ දෙමින් වධ හිංසා පමුණුවන එකක් වූ නිසා මාක්‍රෝනිසොස් කියන නම සඳහන් කිරීමෙන් පවා කෙනෙකුගේ ඇඟ සීතල වෙලා යනවා. එහෙට යන අතරතුර අපි පයිරියස්වල නතර වුණා. විලංගුලා සිටියත්, අපේ සෙසු ඇදහිලිවන්තයන් කීපදෙනෙක් ඇවිත් බෝට්ටුවට නැඟලා අපිව වැලඳගත්තහම අපි ධෛර්යයවත් වුණා.—ක්‍රියා 28:14, 15.

මාක්‍රෝනිසොස්හි ජීවිතය නපුරු සිහිනයක් වගේ. උදේ පටන් රෑ වෙන තුරුම සෙබළුන් සිරකරුවන්ට සැලකුවේ කෲර විදිහකටයි. සාක්ෂිකරුවන් නොවන සිරකරුවන් බොහෝදෙනෙකුගේ සිහි විකල් වුණා. සමහරු මැරුණා. වැඩිදෙනෙක් ආබාධිත තත්වයකට පත් වුණා. රාත්‍රි කාලයේදී වධ හිංසා වින්ද අයගේ අඳෝනාවන් සහ කෙඳිරිලි අපිට ඇහුණා. සීතල දවස්වල රාත්‍රියේදී සිනිඳු බ්ලැන්කටුවෙන් ලැබුණු පුංචි උණුහුමක් විතරයි තිබුණේ.

හැම උදේකම සාක්ෂිකරුවන්ගේ නම් අඬගහන නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ටිකෙන් ටික කඳවුර තුළ ප්‍රසිද්ධ වෙන්න පටන්ගත්තා. මේ ආකාරයට සාක්ෂියක් දෙන්න අපිට හුඟක් ප්‍රස්තාවල් තිබුණා. දේශපාලනමය හේතු නිසා සිරගත වෙලා හිටිය කෙනෙක් යෙහෝවාට ඔහුගේ ජීවිතය කැප කිරීම දක්වාම ප්‍රගතියක් ලබාගෙන තිබුණ නිසා ඔහුව බව්තීස්ම කිරීමේ වරප්‍රසාදය පවා මට ලැබුණා.

පිටුවහල් කරලා ඉන්නකොට මගේ දයාබර බිරිඳට නොකඩවාම මම ලිපි ලිව්වේ ඇගෙන් කිසිම ලිපියක් නොලැබයි. ඒත් මම නොනවත්වා ඇයව සනසවමින් මේක තාවකාලික පසුබෑමක් විතරයි, අපිට ආපහු සතුටින් ඉන්න පුළුවන් කියා සහතික වෙමින් ආදරයෙන් ඇයට ලිපි ලිව්වා.

මේ අතර, තවත් සහෝදරයන් ආව නිසා අපේ ගණන වැඩි වුණා. කාර්යාලයේ වැඩ කරද්දී, කඳවුරේ අණ දෙන කර්නල් එක්ක මම හොඳට යාළු වුණා. ඔහු සාක්ෂිකරුවන්ට ගරු කළ නිසා මම දිරිය වඩවාගෙන ඔහුගෙන් ඇහැව්වා ඇතන්ස්වල තියෙන අපේ කාර්යාලයෙන් බයිබල් පොත් පත් කීපයක් ගෙන්වාගන්න පුළුවන්ද කියලා. “ඒක කොහොමටවත් කරන්න බැහැ. ඒත් ඇතන්ස්වල ඉන්න ඕගොල්ලන්ගේ සෙනඟට ඇයි බැරි මගේ නමට ඕගොල්ලන්ට පාර්සලයක් එවන්න?” මට අදහගන්න බැරුව ගියා! ඊට දවස් කීපයකට පස්සේ ආව බෝට්ටුවකින් අපි බඩු බාද්දී පොලිස්භටයෙක් කර්නල්ට ආචාර කරලා “සර්, සර්ගේ බඩු පාර්සලේ ඇවිල්ලා” කියලා කිව්වා. “මොන බඩු පාර්සලේද?” ඔහු ඇහැව්වා. මම ඒ ළඟම හිටිය නිසා මට මේක ඇහුණා. ඉතින් මම ඔහුට රහසෙන් කිව්වා, “ඒක අපිට වෙන්න ඇති. ඔබ නියෝග කළ විදිහට ඔබේ නමට ඒක එවලා ඇති” කියලා. අපිව ආත්මිකව පෝෂණය කරන්න යෙහෝවා වගබලා ගත්ත එක විදිහක් තමයි ඒ.

අනපේක්ෂිත ආශීර්වාදයක් ලැබීමත් සමඟම පීඩා තවත් වැඩි වේ

වර්ෂ 1950 අගදී, මාව නිදහස් කළා. මම ආපහු ගෙදර ගියේ ලෙඩ වෙලා, සුදුමැලි වෙලා හරියට දරකෝටුවක් වගෙයි. මාව කොයි වගේ පිළිගනියිද කියලා සැකයකුත් තිබුණා. මගේ බිරිඳවයි දරුවන්වයි ආපහු දකින්න ලැබීම මොනතරම් සතුටක්ද! ඊටත් වඩා, ෆ්‍රොසිනිගේ වෛරය හිඳිලා තියෙනවා දැක්කහම මම පුදුමයට පත් වුණා. සිරභාරයේදී ලිව්ව ලිපිවලින් යහපතක් වෙලා. මගේ විඳදරාගැනීම සහ අඛණ්ඩ උත්සාහය ෆ්‍රොසිනිගේ හිතට කාවැදිලා. ඊට ටික දවසකට පස්සේ මම එයත් එක්ක සාමකාමීව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්තුවා. බයිබල් පාඩමක් කරන්න එයා කැමති වුණා. යෙහෝවා කෙරෙහිත්, ඔහුගේ පොරොන්දු කෙරෙහිත් ඈ ඇදහිල්ලක් වර්ධනය කරගත්තා. මගේ ජීවිතයේ ප්‍රීතිමත්ම දවසක් වුණේ 1952දී යෙහෝවාගේ කැප වූ සේවකයෙක් හැටියට මම එයාව බව්තීස්ම කළ දවසයි!

ක්‍රිස්තියානි ලෝකයද නැතහොත් ක්‍රිස්තියානි ධර්මයද—“ලෝකයේ ආලෝකය” කොයිකද? (සිංහලෙන් නැත) යන පොත්පිංචයෙන් පිටපතක් හැම පූජකයෙකුටම බෙදාහරින්න අපි 1955දී වැඩ පිළිවෙළක් දියත් කළා. තවත් සාක්ෂිකරුවන් කීපදෙනෙක් එක්ක මාවත් අත්අඩංගුවට අරගෙන නඩු පැවරුවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව නඩු කොච්චර තිබුණද කිව්වොත් අධිකරණයට සිද්ධ වුණා ඒ හැම එකක්ම අහන්න විශේෂ කාලයක් වෙන් කරන්න. එදා, පළාතේ හැම නීති කාර්යාලයකින්ම සෙනඟ එහි පැමිණ සිටි අතර නඩු ශාලාව පූජකයන්ගෙන් පිරිලා තිබුණා. බිෂොප්වරයා ආසන මැද තීරුවේ එහාට මෙහාට ඇවිද්දා. මම බලෙන් ආගමට හරවගන්නවා කියලා එක පූජකයෙක් මට විරුද්ධව පැමිණිල්ලක් දාලා තිබුණා. විනිශ්චයකාරයා ඔහුගෙන් මෙහෙම ඇහැව්වා. “විවරණිකාවක් කියවලා ආගමෙන් හැරෙන්න තරම් ඔබේ ඇදහිල්ල දුර්වලද?” පූජකයාට කට උත්තරත් නැතුව ගියා. මාව නිදහස් කළත්, සමහර සහෝදරයන්ව මාස හයකට හිරේට යැව්වා.

ඊළඟ වසර කීපයේදී, අපිව විටින් විට අත්අඩංගුවට ගත්තා. පිට පිට නඩු පැවරුවා. නිතරම අපේ නඩුවලට පෙනී සිටින්න සිදු වුණ නිසා අපේ නීතිඥයන්ට දිගටම වැඩ තිබුණා. මාව 17 වතාවක් අධිකරණයට ගෙන ගියා. මොන විරුද්ධවාදිකමක් තිබුණත් අපි නොකඩවාම දේශනා සේවයේ යෙදුණා. අපි මේ අභියෝගය සතුටින් භාරගත් අතර අපේ ඇදහිල්ල ගිනි උදුනක් වන් පීඩා නිසා පිරිපහදු වුණා.—යාකොබ් 1:2, 3.

නව වරප්‍රසාද සහ අභියෝගයන්

වර්ෂ 1957දී අපි ඇතන්ස්වල පදිංචියට ගියා. වැඩි කල් නොගොස් මාව අලුතින් පිහිටෙව්ව සභාවක සේවය කරන්න පත් කළා. මගේ භාර්යාවගේද හෘද පූර්ණ සහයෝගය ඇතුව අපි අපේ ජීවිත සරලව ගෙන ගිය අතර අපි මූලික අවධානය දුන්නේ ආත්මික ක්‍රියාකාරකම්වලටයි. මෙලෙස අපේ කාලයෙන් වැඩිහරියක් දේශනා වැඩයට කැප කරන්න අපිට පුළුවන් වුණා. ගත වූ වසර ගණනාව තුළ අවශ්‍යතාව ඇති විවිධ සභාවලට යන්න කියා අපෙන් ඉල්ලා සිටියා.

වර්ෂ 1963දී මගේ පුතාට වයස අවුරුදු 21ක් වූ අතර හමුදාවට බන්දවාගැනීම සම්බන්ධයෙන් පෙනී ඉන්න සිද්ධ වුණා. එසේ පෙනී සිටි සාක්ෂිකරුවන් සියලුදෙනාම මධ්‍යස්ථභාවය වෙනුවෙන් පියවර ගත් නිසා පහරකෑම්වලට, සරදම්වලට හා නින්දා කිරීම්වලට මූණ දෙන්න ඔවුන්ට සිද්ධ වුණා. මගේ පුතාගේ අද්දැකීමත් ඒකයි. ඒ නිසා මාක්‍රෝනිසොස්වලින් ගෙනාව මගේ බ්ලැන්කට්ටුව මම ඔහුට දුන්නේ කලින් අඛණ්ඩතාව රක්ෂා කර තිබූ අයගේ ආදර්ශය අනුගමනය කිරීම සඳහා සංකේතමය ආකාරයකින් ඔහුව දිරිගැන්වීමටයි. සහෝදරයන්ව යුද්ධාධිකරණය ඉදිරියට පමුණුවලා, වරදකරුවන් බවට පත් කර වසර දෙකේ සිට හතර දක්වා සිරදඬුවම් නියම කළා. නිදහස් වුණහම ආපහු ඔවුන්ව කැඳවා නැවතත් හිරේ දැම්මා. ආගමික සේවකයෙකු හැටියට මට පුළුවන් වුණා විවිධ සිරකඳවුරුවලට යන්න. ඒ නිසා මගේ පුතා සහ වෙනත් ඇදහිලිවන්ත සාක්ෂිකරුවන් එක්ක සුළු වශයෙන් සම්බන්ධයක් තියාගන්න මට පුළුවන් වුණා. මගේ පුතාව වසර හයකට වැඩි කාලයක් හිරේ තියාගත්තා.

යෙහෝවා දිගටම අපිව උසුලාගත්තා

ග්‍රීසියේ වැසියන්ට නැවතත් ආගමික නිදහස ලැබුණාට පස්සේ තාවකාලික විශේෂ පුරෝගමියෙක් ලෙස රෝඩ්ස් දූපතේ සේවය කිරීමේ වරප්‍රසාදය මට ලැබුණා. ඊට පස්සේ 1986දී මම මගේ ක්‍රිස්තියානි දේවසේවය පටන්ගත්ත ක්‍රීට්හි, සිට්ටීයාවල සේවය කිරීමේ අවශ්‍යතාවක් පැනනැඟුණා. මගේ තරුණ කාලේ ඉඳලා අඳුරන සෙසු ප්‍රේමණීය ඇදහිලිවන්තයන් එක්ක ආපහු සේවය කරන්න ලැබුණ පැවරුම මම භාරගත්තේ ලොකු සතුටකින්.

මගේ නෑදෑයන් 70කට කිට්ටු ගාණක් යෙහෝවාට පක්ෂපාතව සේවය කරනවා දැකීම පවුලේ වැඩිමලා වන මට හරි සතුටක්. ඒ ගණන එන්න එන්නම වැඩි වෙනවා. සමහරු වැඩිමහල්ලන්, සභා සේවකයන්, පුරෝගාමීන්, බෙතෙල් සාමාජිකයන් හා සංචාරක අවේක්ෂකයන් හැටියට සේවය කරලා තියෙනවා. වසර 58කට වඩා වැඩි කාලයක් පුරා ගිනි උදුනක් වන් පීඩාවලින් මගේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් වෙලායි තියෙන්නේ. දැන් මට වයස අවුරුදු 93යි. අතීතය ගැන හිතලා බලද්දී දෙවිට සේවය කිරීම නිසා මට පසුතැවෙන්න සිද්ධ වෙලා නැහැ. ඔහුගේ මෙම ප්‍රේමණීය ආරාධනාවට ප්‍රතිචාරය දක්වන්න ඔහු මට ශක්තිය දීලා තියෙනවා. “මාගේ පුත්‍රය, නුඹේ සිත මට දෙන්න, නුඹේ ඇස් මාගේ මාර්ග ගැන ප්‍රීති වේවා!”—හිතෝපදේශ 23:26.

[පාදසටහන්වල]

^ 9 ඡේ. වර්ෂ 1999 දෙසැම්බර් 1 මුරටැඹ 30-1 දක්වා පිටු බලන්න.

^ 11 ඡේ. ග්‍රීක් ඕතඩොක්ස් සභාවේ පූජකයන්ට විවාහ වීමට අවසර ඇත.

^ 12 ඡේ. ඉමාන්වෙල් ලිඕනූඩාකිස්ගේ ජීවිත කතාව 1999 සැප්තැම්බර් 1 මුරටැඹ 25-9 දක්වා පිටුවල බලන්න.

^ 15 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි. නමුත් දැන් මුද්‍රණය නොකෙරේ.

^ 15 ඡේ. මිනොස් කොකින්නාකිස් ලද නෛතික ජයග්‍රහණය පිළිබඳව 1993 සැප්තැම්බර් 1 මුරටැඹ 27-31 දක්වා පිටු බලන්න.

[27වන පිටුවේ කොටුව]

මාක්‍රෝනිසොස් භයානක දූපතක්

වර්ෂ 1947 සිට 1957 දක්වා වසර දහයක් පුරා වියළි හා පාළු වූ මාක්‍රෝනිසොස් දූපත සිරකරුවන් 1,00,000කට වැඩි සංඛ්‍යාවකගේ නිවහන වී තිබුණා. මේ අය අතර ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය හේතුවෙන් එහි යවා සිටි ඇදහිලිවන්ත සාක්ෂිකරුවන් ගණනාවක්ද හිටියා. ඔවුන්ව පිටිවහල් කිරීමට සාමාන්‍යයෙන්ම පෙලඹුවේ සාක්ෂිකරුවන් කොමියුනිස්ට්වාදීන් කියා බොරු චෝදනා නැඟූ ග්‍රීක් ඕතඩොක්ස් පූජකවරුන්.

මාක්‍රෝනිසොස්හි තිබූ “ප්‍රතිසංස්කරණ” ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාපිරොස් ලාරූස් බ්‍රිටෑනිකා මෙසේ පවසයි. “කෲර වධහිංසාවේ විධි, . . . ශිෂ්ට සම්පන්න ජාතියකට ජීවත් වීමට නුසුදුසු තත්වයන් සහ සිරකරුවන් වෙත ආරක්ෂක භටයන් දැක්වූ පහත් හැසිරීම . . . ග්‍රීසියේ ඉතිහාසයට නින්දාවක්.”

සමහර සාක්ෂිකරුවන්ට කියා සිටියේ ඔවුන් තම ආගමික විශ්වාසයන් අත්හරින්නේ නැත්නම් ඔවුන්ව කවදාවත් නිදහස් කරන්නේ නැහැ කියලයි. කෙසේනමුත්, සාක්ෂිකරුවන්ගේ ස්ථාවරත්වය නොබිඳී පැවතුණා. ඊට අමතරව, දේශපාලනික හේතු උඩ සිරකරුවන් වී සිටි සමහරු සාක්ෂිකරුවන්ව මුණගැසුණු නිසා බයිබල් සත්‍යය වැලඳගත්තා.

[27වන පිටුවේ පින්තූරය]

මිනොස් කොකින්නාකිස් (දකුණු පැත්තෙන් තුන්වෙනියාට) සහ මම (වම් පැත්තෙන් හතරවෙනියාට) මාක්‍රෝනිසොස් දණ්ඩන දූපතේදී

[29වන පිටුවේ පින්තූරය]

මා තරුණ කාලයේ සේවය කළ ක්‍රීට්හි සිට්ටීයාවලදී සෙසු සාක්ෂිකරුවෙකු සමඟ සේවයේ යෙදෙමින්