Skip to content

පටුනට යන්න

බ්‍රසීලයේදී ඒ ඇත්තෝ රාජ්‍ය පණිවිඩය “අසයි”

බ්‍රසීලයේදී ඒ ඇත්තෝ රාජ්‍ය පණිවිඩය “අසයි”

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

බ්‍රසීලයේදී ඒ ඇත්තෝ රාජ්‍ය පණිවිඩය “අසයි”

බිහිරි අයටද රාජ්‍ය පණිවිඩය දැනුම් දෙනු නියාවෙන් බ්‍රසීලයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් බොහෝදෙනෙක් බ්‍රසීලියානු සංඥා භාෂාව ඉගෙනගැනීමේ අභියෝගය භාරගත්තෝය. ඔවුන්ගේ වෑයම් මල් ඵල ගැන්වී ඇති බව මතු දැක්වෙන අද්දැකීම්වලින් නිදර්ශනය කෙරේ.

සැවෝ පවුලෝ නගරයේ ජීවත් වන ඊවා * නමැති බිහිරි තැනැත්තිය තම දරු තිදෙනා සමඟ බිහිරි පුරුෂයෙකු හා එක්ව විසීමට ගියායින් පසු සංඥා භාෂාව ඉගෙනීමට පටන්ගත්තාය. සාප්පු සංකීර්ණයකදී ඊවාටත් ඇගේ පෙම්වතාටත් බිහිරි සාක්ෂිකරුවන් කණ්ඩායමක් මුණගැසුණ අතර රාජ්‍ය ශාලාවේ පවත්වන රැස්වීමකට පැමිණෙන ලෙස එම සාක්ෂිකරුවන් විසින් ඔවුන්ට ආරාධනා කරනු ලැබීය. එය යම් සාමාජීය කටයුත්තක් විය යුතුයි කියා සිතමින් ඔවුන් එම ආරාධනය පිළිගත්තේය.

ඒ වන විට ඊවාට සංඥා භාෂාව පිළිබඳව තිබුණේ සීමිත දැනුමක්. එමනිසා රැස්වීමේ කියනු ලැබූ දේවල් ඊවාට තේරුම්ගියේ අල්ප වශයෙනි. පසුව සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් සංග්‍රහයක් සඳහා තමුන්ගේ නිවෙසට පැමිණෙන ලෙස ඇයට ආරාධනා කළෝය. පොළොව මත ජීවිතය සදහටම භුක්ති විඳින්න! යන පිංතූරු සහිත විවරණිකාව යොදාගෙන අනාගත භූමික පාරාදීසය පිළිබඳ දෙවිගේ පොරොන්දුව ගැන ඔවුහු එහිදී පැහැදිලි කළෝය. ඊවා ඇය ඉගෙනගත් දේවල් කෙරෙහි ඇල්මක් ඇති වූ අතර නොකඩවා රැස්වීමට පැමිණීමටද ඇය පටන්ගත්තාය.

බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් විය යුතු නිසා ඇය තම පෙම්වතාගෙන් සමුගත්තාය. තම පවුලෙන් දැඩි විරුද්ධවාදිකම් පැමිණයද ඇය දිගටම ආත්මිකව ප්‍රගතියක් ලබමින් 1995දී බව්තීස්ම වූවාය. ඉන් සය මසකට පසු ඈ පුරෝගාමියක (පූර්ණ කාලීන රාජ්‍ය ප්‍රකාශිකාවක්) ලෙස සේවය කළාය. එවක් පටන් ඇය බිහිරි පුද්ගලයන් හතරදෙනෙකුට කැපවීම සහ බව්තීස්මය කරා ළඟාවීමට උපකාර කර තිබේ.

කාලොස් උපතින්ම බිහිරිය. ඔහු කුඩා අවධියේ සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවා පමණක් නොව දුරාචාරමය ජීවිතයක් ගත කරමින් සොරකම්වලට පවා හවුල් වුණි. මැර කල්ලි සාමාජිකයන්ගෙන් එල්ල වූ තර්ජන නිසා ඔහු සැවෝ පවුලෝ නගරයට පලා ගොස් ෂාවොන් නමැති පුද්ගලයා සමඟ වාසය කළේය. ෂාවොන්ද බිහිරි පුද්ගලයෙකු වූ අතර ඔහු ගත කරමින් සිටියේද දුරාචාර ජීවිතයකි.

අවුරුදු කිහිපයක් ගිය පසු කාලොස්ට රාජ්‍ය පණිවිඩය ගැන දැනගැනීමට ලැබුණු අතර ඉන්පසුව ඔහු තම ජීවිතය යහමඟට ගෙන තම විවාහය පවා ලියාපදිංචි කිරීමට පියවර ගත්තේය. ශුද්ධ ලියවිලිමය ප්‍රමිතිවලට එකඟව තම ජීවිතය සකස් කරගත් පසු යෙහෝවාට වූ තම කැපවීම සංකේතවත් කරමින් ඔහු බව්තීස්ම විය. මේ අතරතුර ෂාවොන්ද ශුභාරංචිය ඉගෙනගෙන ඔහුගේ ජීවිතයෙහි විශාල පරිවර්තනයක් කර තිබුණේය. ඒ බවක් කාලොස් දැන සිටියේ නැත. යෙහෝවා පිළිම භාවිතය පිළි නොගන්න බව දැනගත් විට ෂාවොන් තමා ළඟ තිබූ “සාන්තුවරුන්ගේ” රූප සියල්ලම වීසි කළේය. කලින් ගත කරමින් සිටි ජීවන රටාව අත්හැරීමෙන් පසු ෂාවොන්ද බව්තීස්ම විය.

තමන්ගේ ජීවිත වෙනස් කරගෙන සිටි කාලොස් සහ ෂාවොන් රාජ්‍ය ශාලාවකදී එකිනෙකා මුණගැසුණු අවස්ථාවේදී ඔවුන් කර තිබූ සකස් කිරීම් දුටු විට දෙදෙනාම කොතරම් සතුටු වන්න ඇද්ද කියා සිතන්න! දැන් දෙදෙනාම වගකීම් උසුලන පවුල් මූලිකයන් සහ ජ්වලිත රාජ්‍ය ප්‍රචාරකයන්.

වර්තමානයේ සංඥා භාෂාවෙන් පවත්වන සභා 30ක්ද කණ්ඩායම් 154ක්ද බ්‍රසීලයේ පිහිටුවා තිබේ. තවද ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව 2500කට වඩා වැඩිය. ඉන් 1500දෙනෙක් බිහිරිය. බිහිරි අය සඳහා 2001දී බ්‍රසීලයේ පැවැත්වූ “දෙවිගේ වචනය උගන්වන්නෝ” නමැති දිස්ත්‍රික් සමුළුවට 3000කට අධික පිරිසක් සහභාගි වූ අතර 36දෙනෙක් බව්තීස්ම විය. යෙහෝවාගේ ආශීර්වාදයත් සමඟ තවත් බොහෝ බිහිරි අය රාජ්‍ය පණිවිඩය පිළිගනියි කියා අපි බලාපොරොත්තු වෙමු.

[පාදසටහන]

^ 4 ඡේ. නම් වෙනස් කර ඇත.