Skip to content

පටුනට යන්න

‘බොහෝ පල දරමින් සිටින්න’

‘බොහෝ පල දරමින් සිටින්න’

‘බොහෝ පල දරමින් සිටින්න’

‘ඔබ බොහෝ පල දරමින් මාගේ ගෝලයන් බව ඔප්පු කරන්න.’—යොහන් 15:8, NW.

1. (අ) යේසුස් සිය ප්‍රේරිතයන්හට සඳහන් කළේ ගෝලයන් වීම සඳහා සපුරාලිය යුතු කිනම් අවශ්‍යතාවද? (ආ) අප අපෙන්ම ඇසිය යුත්තේ කිනම් ප්‍රශ්නයද?

ඒ යේසුස්ගේ මරණයට පෙර සැන්දෑවයි. යේසුස් සිය ප්‍රේරිතයන්ව දිරිගැන්වීම සඳහා ඉතා කුලුපග ලෙස අවංක කතා බහක යෙදීමට ඇති තරම් කාලය ගෙන තිබුණා. හැබැයි, දැන් මේ වෙලාවේ මධ්‍යම රාත්‍රියත් පසු වී තිබෙන්නට ඇති. නමුත් සිය කිට්ටු මිතුරන් කෙරෙහි දැඩි ප්‍රේමයකින් බැඳුණු යේසුස් දිගටම කතා කරමින් සිටියා. අනතුරුව, සිය සංවාදය මැදදී තමන්ගේ ගෝලයන් විසින් සපුරාලිය යුතු තවත් එක් අවශ්‍යතාවක් ගැන ඔහු ඔවුන්ට මතක් කළේ මෙසේයි. “මාගේ පියාණන් මහිමයට පැමිණෙන්නේ ඔබ බොහෝ පල දරමින් මාගේ ගෝලයන් බව ඔප්පු කිරීම තුළින්ය.” (යොහන් 15:8, NW) අප අද දින, ගෝලයෙකු වීමේ මෙම අවශ්‍යතාවය සපුරාලනවාද? ‘බොහෝ පල දැරීම’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒ ගැන සොයා බැලීමට, දැන් අපි ඒ රාත්‍රියේ පැවති සංවාදය දෙසට නැවතත් අපේ අවධානය යොමු කරමු.

2. යේසුස් සිය මරණයට පෙර රාත්‍රියේදී පැවසුවේ පල දැරීම පිළිබඳ කිනම් උපමාවද?

2 පල දරන මෙන් දුන් අවවාදය, යේසුස් සිය ප්‍රේරිතයන්හට පැවසූ උපමාවේ කොටසක්. ඔහු මෙසේ කීවා. “සැබෑ මිදි වැල මමය. වැවිලිකරු මාගේ පියාණන්ය. මා තුළ ඇති, පල නොදරන සෑම අත්තක්ම ඔහු ඉවත් කරන්නේය. නමුත් පල දරන සෑම අත්තක්ම, වැඩියෙන් පල දරන පිණිස ඔහු පවිත්‍ර කරන්නේය. මා ඔබට පැවසූ වචනය නිසා ඔබ දැනටමත් පවිත්‍රය. මා සමඟ එකඟත්වයෙන් සිටින්න. මමද ඔබ සමඟ එකඟත්වයෙන් සිටිමි. අත්ත මිදි වැලෙහිම පැවතී පල දරනවා මිස, තනිව පල දරන්න බැරුවාක් මෙන්, ඔබ මා සමඟ එකඟත්වයෙන් සිටින්නේ නැත්නම්, ඔබටත් පල දරන්න නොහැකිය. මිදිවැල මමය, අතු ඔබය. . . . මාගේ පියාණන් මහිමයට පැමිණෙන්නේ ඔබ බොහෝ පල දරමින් මාගේ ගෝලයන් බව ඔප්පු කිරීම තුළින්ය. පියාණන් මට ප්‍රේම කළාක් මෙන්ද, මා ඔබට ප්‍රේම කළාක් මෙන්ද ඔබත් මාගේ ප්‍රේමයෙහි පවතින්න. . . . ඔබ මාගේ ආඥා පවත්වනවා නම්, ඔබත් මාගේ ප්‍රේමයෙහි පවතිනවා ඇත.”—යොහන් 15:1-10, NW.

3. පල දැරීම සඳහා යේසුස්ගේ අනුගාමිකයන් කළ යුත්තේ කුමක්ද?

3 මේ උපමාව තුළ යෙහෝවා වැවිලිකරුයි. යේසුස් මිදි වැලයි. එමෙන්ම යේසුස් අමතමින් සිටි ප්‍රේරිතයන් අතුය. ප්‍රේරිතයන් යේසුස් සමඟ “එකඟත්වයෙන්” සිටීමට දැඩි ප්‍රයත්නයක් දරන තාක් කල්, ඔවුන් පල දරාවි. අනතුරුව යේසුස් පැහැදිලි කළා, මෙම අතිවැදගත් එක්සත්කම පවත්වාගැනීමේදී ප්‍රේරිතයන්ට සාර්ථක විය හැක්කේ කොහොමද කියා. “ඔබ මාගේ ආඥා පවත්වනවා නම්, ඔබත් මාගේ ප්‍රේමයෙහි පවතිනවා ඇත.” පසුව ප්‍රේරිත යොහන් සෙසු ක්‍රිස්තියානීන්හට එවැනිම වචන ලියන්නට යෙදුණා. ‘[ක්‍රිස්තුස්ගේ] ආඥා පවත්වන තැනැත්තා ඔහු සමඟ එකඟත්වයෙන් සිටී.’ * (1 යොහන් 2:24; 3:24, NW) මෙබැවින්, ක්‍රිස්තුස්ගේ ආඥා පැවැත්වීමෙන්, ඔහුගේ අනුගාමිකයන් ඔහු සමඟ එකඟත්වයෙන් සිටිනු ඇති අතර, අනෙක් අතට එම එක්සත්කම පල දැරීමට ඔවුන්ට ඉවහල් වෙයි. අප දැරිය යුතු පලවල කිනම් ලක්ෂණ තිබිය යුතුද?

වැඩීම සඳහා ඇති ඉඩ කඩ

4. යෙහෝවා පල නොදරන සෑම අත්තක්ම ‘ඉවත් කරයි’ යන කාරණයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

4 මිදි වැල පිළිබඳ උපමාවේ, යෙහෝවා පල නොදරන අතු ‘ඉවත් කරයි,’ නැතහොත් “කපා දමයි.” මින් අපට කියාපාන්නේ කුමක්ද? සියලු ගෝලයන් පල දැරිය යුතුය යන්න පමණක් නොව තමන්ගේ තත්වය හා සීමාවන් කුමක් වුවත්, සියල්ලන්ටම එසේ කිරීමට හැකියාවක් ඇති බවත් එය අපට පෙන්වනවා. නමුත් යේසුස්ගේ ගෝලයෙකුට හැකි ප්‍රමාණයට වඩා වැඩිපුර යමක් ඉටු කිරීමට අසමත් වෙනවා නම්, එවැනි තැනැත්තෙකුව ‘ඉවත් කිරීම’ හෙවත් නුසුදුස්සෙකු කිරීම යෙහෝවාගේ ප්‍රේමණීය මාර්ගවලට පටහැනි දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.—ගීතාවලිය 103:14; කොලොස්සි 3:24; 1 යොහන් 5:3.

5. (අ) පල දැරීමෙහිලා ප්‍රගතියක් ලැබීමට අපට හැකි බව යේසුස්ගේ උපමාවෙන් අඟවන්නේ කොහොමද? (ආ) අප සලකා බලනු ඇත්තේ කිනම් දෙයාකාරයක පලද?

5 මිදි වැල පිළිබඳ යේසුස්ගේ උපමාවෙන් අපට තවත් දෙයක් උගන්වනවා. ඒ තමයි, අපගේ තත්වයන්හි සීමාවන් තුළ වුවද, ගෝලයෙකු වශයෙන් අපගේ ක්‍රියාකාරකම්වල ප්‍රගතියක් ලැබීමට අප ඉඩ කඩ සලසා ගත යුතු බව. යේසුස් එය විස්තර කරන ආකාරය සැලකිල්ලට ගන්න. “මා තුළ ඇති, පල නොදරන සෑම අත්තක්ම ඔහු ඉවත් කරන්නේය. නමුත් පල දරන සෑම අත්තක්ම, වැඩියෙන් පල දරන පිණිස ඔහු පවිත්‍ර කරන්නේය.” (යොහන් 15:2, NW) උපමාවේ අවසානයට වෙන්න, යේසුස් සිය අනුගාමිකයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ “බොහෝ පල” දැරීමටයි. (යොහන් 15:8වන පදය) මෙහිදී අපට දෙන පණිවුඩය කුමක්ද? ගෝලයන් වශයෙන්, අප කිසිවිටෙකත් උදාසීන නොවිය යුතු බවයි. (එළිදරව් 3:14, 15, 19) ඒ වෙනුවට, අප පල දැරීමේදී ප්‍රගතිය ලැබිය හැකි ක්‍රම ගැන නිතරම සොයා බැලිය යුතුයි. වඩාත් බහුල වශයෙන් නිපදවීමට අප විසින් උත්සාහ කළ යුත්තේ කිනම් ආකාරයේ පලද? ඒවා නම්, (1) “ආත්මයේ පල” සහ (2) රාජ්‍යයේ පලයි.—ගලාති 5:22, 23, NW; මතෙව් 24:14.

ක්‍රිස්තියානි ගුණාංග නමැති පල

6. ආත්මයේ පල අතර පළමුව සඳහන් කර ඇති පලයේ වටිනාකම ගැන යේසුස් කාවැද්දුවේ කෙසේද?

6 “ආත්මයේ පල” අතර පළමුවෙන්ම ලැයිස්තු ගත කර ඇති පලය නම් ප්‍රේමයයි. දෙවිගේ ශුද්ධාත්මය ක්‍රිස්තියානීන් තුළ ප්‍රේමය නිපදවනවා. එසේ වන්නේ, පල දරන මිදි වැල පිළිබඳ උපමාව ගැන කතා කරන්නට මොහොතකට පෙර යේසුස් දුන් ආඥාවට ඔවුන් කීකරු වෙන නිසයි. ඔහු සිය ප්‍රේරිතයන්ට මෙසේ කීවා. “මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න.” (යොහන් 13:34, NW) ඇත්ත වශයෙන්ම, ඔහුගේ භූමික ජීවිතයේ එම අන්තිම රාත්‍රියේ කළ සංවාදය පුරා යේසුස් නැවත නැවතත් ප්‍රේරිතයන්ට මතක් කළේ ප්‍රේමය නමැති ගුණාංගය පෙන්වීමේ අවශ්‍යතාවයි.—යොහන් 14:15, 21, 23, 24; 15:12, 13, 17.

7. පල දැරීම ක්‍රිස්තු බඳු ගුණාංග විදහා පෑමට සම්බන්ධ වන ආකාරය ප්‍රේරිත පේතෘස් පෙන්වා දුන්නේ කෙසේද?

7 එම රාත්‍රියේ එතැන සිටි පේතෘස් තේරුම්ගත්තේ ක්‍රිස්තු බඳු ප්‍රේමය වගේම වෙනත් ගුණාංගද ක්‍රිස්තුස්ගේ අව්‍යාජ ගෝලයන් එකිනෙකාට විදහා පෑ යුතු බවයි. වසර ගණනාවකට පසුව, පේතෘස් ක්‍රිස්තියානීන්ව දිරිගැන්වූවා, ආත්ම දමනය, සහෝදර ස්නේහය සහ ප්‍රේමය යන ගුණාංග වගා කරන ලෙසට. එසේ කිරීම, අපව ‘අක්‍රිය වීමෙන් සහ පල නොදැරීමෙන්’ වළක්වන බවද ඔහු පැවසුවා. (2 පේතෘස් 1:5-8, NW) අපගේ තත්වය කුමක් වුවද, ආත්මයේ පල විදහා පෑම අපට කළ හැක්කකි. එමනිසා, අපි ප්‍රේමය, කරුණාව, මෘදුකම සහ වෙනත් ක්‍රිස්තු බඳු ගුණාංග උපරිම මට්ටමින් විදහා පෑමට දැඩි උත්සාහයක් ගනිමු. මන්ද “මෙවැනි දේවලට විරුද්ධව නීතියක් නැත.” නැත්නම් සීමාවක් නැත. (ගලාති 5:23, NW) එමනිසා අපි “බොහෝ පල” දරමු.

රාජ්‍යයේ පල දැරීම

8. (අ) ආත්මයේ පල සහ රාජ්‍යයේ පල අතර ඇති සම්බන්ධය කුමක්ද? (ආ) අපගේ සැලකිල්ලට භාජන විය යුත්තේ කිනම් ප්‍රශ්නයද?

8 වර්ණවත්, රස පිරුණු පලතුරුවලින් ගසක් අලංකාර කෙරෙනවා. කෙසේවෙතත්, එවන් පලතුරක නියම වටිනාකම ගසට දෙන අලංකාරයට වඩා වැඩි යමක් කරනවා. එම ගසේ ව්‍යාප්තියට එම පලතුරුවල බීජ මගින් කරන්නේ මහත් කාර්යයක්. ඒ හා සමානව, ආත්මයේ පලවල කාර්යය අපගේ ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය අලංකාර කිරීමට පමණක් සීමා වෙලා නැහැ. ප්‍රේමය හා ඇදහිල්ල වැනි ගුණාංග දේවවචනයේ සඳහන් රාජ්‍ය පණිවුඩය නමැති බීජය පැතිරවීමටත් අපව පොලඹවනවා. ප්‍රේරිත පාවුල් මේ දෙක අතර ඇති අතිවැදගත් සම්බන්ධය අවධාරණය කරන ආකාරය සැලකිල්ලට ගන්න. ඔහු පවසන්නේ මෙහෙමයි. “අපිත් [ආත්මයේ පලවලින් එකක් වන] ඇදහිල්ල පෙන්වන බැවින් කතා කරමු.” (2 කොරින්ති 4:13, NW) මේ අන්දමින්, පාවුල් තවදුරටත් පැහැදිලි කරන්නේ, අපි “තොල්වල පල, එනම් ප්‍රශංසාව නමැති පූජාව,” හෙවත් අප විසින් විදහා පෑ යුතු දෙවන ආකාරයේ පලය ‘දෙවිට ඔප්පු කළ’ යුතු බවයි. (හෙබ්‍රෙව් 13:15, NW) දෙවිගේ රාජ්‍ය ප්‍රකාශකයන් ලෙස වැඩියෙන් පල දැරීමට, ඇත්ත වශයෙන්ම “බොහෝ පල” දැරීමට අපේ ජීවිතවල ඉඩ කඩ තිබෙනවාද?

9. පල දැරීම ගෝලයන් සෑදීමට සමානද? පැහැදිලි කරන්න.

9 මීට නිසි පිළිතුරු දීමට, රාජ්‍යයේ පලවලට ඇතුළත් වන දෙය අප පළමුව තේරුම්ගත යුතුයි. පල දැරීම කියන්නේ ගෝලයන් සෑදීම කියා නිගමනය කිරීම නිවැරදිද? (මතෙව් 28:19) අප නිපදවන පල යනුවෙන් මූලික වශයෙන් අදහස් කරන්නේ යෙහෝවාගේ බව්තීස්ම ලත් නමස්කාරකයන් බවට පත්වීමට අප විසින් උපකාර කර ඇති පුද්ගලයන්ද? නැහැ. සැබෑ තත්වය එය නම්, ප්‍රතිචාරය අඩු බල ප්‍රදේශවල වසර ගණනාවක් පුරා විශ්වාසවන්ත ලෙස රාජ්‍ය පණිවුඩය ප්‍රකාශ කරමින් සිටින අපගේ හිතවත් සාක්ෂිකරුවන් සියලුදෙනාටම එය මහත් අධෛර්යයක් වනු ඇති. ඇත්තෙන්ම, අප නිපදවන රාජ්‍යයේ පල එම නව ගෝලයන් මගින් පමණක් නියෝජනය වන්නේ නම්, එසේ වෙහෙස මහන්සි වී වැඩ කරන සාක්ෂිකරුවන් යේසුස්ගේ උපමාවේ සඳහන් පල නොදරන අතුවලට සමාන වේවි! ඇත්ත වශයෙන්ම, සැබෑ තත්වය එය නොවේ. එසේනම්, අපගේ දේවසේවයේ මූලිකතම රාජ්‍යයේ පලය වන්නේ කුමක්ද?

රාජ්‍යයේ බීජ ව්‍යාප්ත කිරීමෙන් පලදායී වීම

10. රාජ්‍යයේ පල වනුයේ කුමක්ද යන්න සහ කුමක් නොවේද යන්න පිළිබඳව වපුරන්නා සහ විවිධ පස් වර්ග පිළිබඳ යේසුස්ගේ උපමාවෙන් පෙන්නුම් කරන්නේ කෙසේද?

10 යේසුස්ගේ උපමාවේ සඳහන් වපුරන්නා සහ විවිධ පස් වර්ග අපට මෙහිදී පිළිතුර ලබා දෙනවා. එය ඇත්තටම අඩු පලදාවක් සහිත බල ප්‍රදේශවල සාක්ෂි දරන අයට දිරිගැන්වෙනසුලු පිළිතුරක්. බීජ වනාහි දේවවචනයේ සඳහන් රාජ්‍ය පණිවුඩය බවත්, පස්වලින් නියෝජනය කරන්නේ මිනිසාගේ සංකේතමය හෘදය බවත් යේසුස් පැවසුවා. සමහරක් බීජ “සරු පස මත වැටී, වැඩුණු විට, . . . පල දැරීය.” (ලූක් 8:8, NW) කිනම් පලද? තිරිඟු දණ්ඩ අංකුරලා පරිණත වුණ පසු, එය පල ලෙස නිපදවන්නේ කුඩා තිරිඟු දඬු නොව නමුත් නව බීජයි. ඒ හා සමානව, ක්‍රිස්තියානියෙකු පල ලෙස නිපදවන්නේ අනිවාර්යයෙන්ම නව ගෝලයන් නොව නමුත් නව රාජ්‍ය බීජයි.

11. රාජ්‍යයේ පලදාව කෙසේ නිර්වචනය කළ හැකිද?

11 එමනිසා, මේ කාරණයේදී පලදාව යනු නව ගෝලයන්වත් යහපත් ක්‍රිස්තියානි ගුණාංගවත් නොවේ. වපුරන ලද බීජ රාජ්‍යය පිළිබඳ වචනය බැවින්, මෙම පලදාව, එම බීජ බහුල වශයෙන් තවත් බීජ බවට පත්වීම විය යුතුයි. මේ අවස්ථාවේදී පල දැරීම යොමු දක්වන්නේ රාජ්‍යය ගැන කතා කිරීමටයි. (මතෙව් 24:14) අපගේ තත්වය කුමක් හෝ වේවා එවන් රාජ්‍යයේ පල දැරීම, එනම් රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම, අපට කළ හැකි දෙයක්ද? ඔව්, එය කළ හැකියි! එම උපමාවේම යේසුස් ඊට හේතුව පැහැදිලි කර දෙනවා.

දෙවිගේ මහිමය සඳහා අපේ හොඳම දේ දීම

12. රාජ්‍යයේ පල දැරීම සියලු ක්‍රිස්තියානීන්ට කළ හැකි දෙයක්ද? පැහැදිලි කරන්න.

12 “සරු පසෙහි වැපුරූ බීජය, . . . එක්කෙනෙක් සිය ගුණයක්ද, එක්කෙනෙක් හැට ගුණයක්ද, තවත් කෙනෙක් තිස් ගුණයක්ද පල දරන්නේය.” (මතෙව් 13:23, NW) කෙත්වල වැපුරූ බීජවල පලදාව තත්වයන් අනුව වෙනස් වෙන්නට පුළුවන්. එසේම, ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහිලා අපට කළ හැකි දෙය අපගේ තත්වයන් අනුව වෙනස් විය හැකියි. ඇරත් යේසුස් පෙන්නුවා ඔහු මෙම තත්වය පිළිගත් බව. සමහරක් අයට වඩාත් වැඩි අවස්ථා තිබිය හැකි අතර, තවත් අයට වඩාත් හොඳ සෞඛ්‍යයක් හා වඩාත් හොඳ ශරීර ශක්තියක් තිබෙනවා විය හැකියි. මෙසේ, අපට කළ හැකි දෙය අනෙක් අයට කළ හැකි දෙයට වඩා වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. නමුත් එමගින් අපේ උපරිමය නියෝජනය වෙනවා නම්, යෙහෝවා එයින් සන්තෝෂ වෙනවා. (ගලාති 6:4) මහලු වී සිටීම නිසා හෝ දුර්වල සෞඛ්‍යයකින් පෙළීම නිසා දේශනා වැඩය තුළ අප කරන කොටස සීමා වී ඇතත්, අපගේ දයානුකම්පිත පියාණන් වන යෙහෝවා අපව ‘පල දරමින් සිටින’ කෙනෙකු හැටියට සලකන බවට කිසිදු සැකයක් නැහැ. ඒ ඇයි? ‘අපිට තිබෙන සියල්ලම’ අපි ඔහුට දෙන නිසයි. ඒ අපගේ මුළු ආත්මයෙන් කරන සේවයයි. *මාක් 12:43, 44; ලූක් 10:27.

13. (අ) “දිගටම” රාජ්‍යයේ පල දරමින් සිටීමට අපට තිබෙන මූලිකම හේතුව කුමක්ද? (ආ) ප්‍රතිචාරය අඩු බල ප්‍රදේශවල පල දරමින් සිටීමට අපට උපකාරවත් වනු ඇත්තේ කුමක්ද? (21වන පිටුවේ කොටුව බලන්න.)

13 රාජ්‍යයේ පලදාව නිපදවීමට අපට හැක්කේ කොතරම් ප්‍රමාණයකට වුවද, අප එය කරන්නේ ඇයි කියා මනසේ තබාගෙන සිටින විට, ‘දිගටම පල දරමින් සිටින්න’ අප පෙලඹෙනවා ඇති. (යොහන් 15:16, NW) යේසුස් මෙහිදී මූලිකම හේතුව සඳහන් කළා. “මාගේ පියාණන් මහිමයට පැමිණෙන්නේ ඔබ බොහෝ පල දරමින් මාගේ ගෝලයන් බව ඔප්පු කිරීම තුළින්ය.” (යොහන් 15:8, NW) ඔව්, අපගේ දේශනා කිරීමේ කටයුත්ත, මිනිස් සංහතිය ඉදිරියේ යෙහෝවාගේ නාමය විශුද්ධ කරනවා. (ගීතාවලිය 109:30) තම දිවියේ හැත්තෑවන දශකයේ මැද භාගයේ සිටින ඔනර් නම් විශ්වාසවන්ත සාක්ෂිකාරිය අදහස් දක්වන්නේ මෙහෙමයි. “අඩු ප්‍රතිචාරයක් තිබෙන ප්‍රදේශවල වුණත් මහෝත්තමයාණන්ව නියෝජනය කිරීමට ලැබීම වරප්‍රසාදයක්.” ස්වල්පදෙනෙක් පමණක් ප්‍රතිචාරය දක්වන බල ප්‍රදේශයක පවා දිගටම දේශනා කරන්නේ මන්දැයි 1974 පටන් ජ්වලිතවත් සාක්ෂිකරුවෙකු වී සිටින ක්ලෝඩියෝගෙන් ඇසූ විට, යොහන් 4:34හි යේසුස්ගේ වචනයි ඔහු උපුටා දැක්වූවේ. “මාගේ කෑම නම්, මා එවූ තැනැත්තාගේ කැමැත්ත කර, ඔහුගේ කාර්යය සම්පූර්ණ කිරීමය.” ක්ලෝඩියෝ තවදුරටත් මෙසේ කීවා. “යේසුස් වගේ, මට වුවමනා කරන්නේ රාජ්‍ය ප්‍රකාශකයෙකු වශයෙන් මගේ වැඩේ පටන්ගන්න විතරක් නොවේ, ඉවර කරන්න.” (යොහන් 17:4, NW) ලොව වටාම සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් මීට එකඟයි.—21 වන පිටුවේ තිබෙන “‘විඳදරාගනිමින් පල දරන’ අන්දම” යන කොටුව බලන්න.

දේශනා කිරීමට හා ඉගැන්වීමට

14. (අ) යොහන් බව්තීස්ත සහ යේසුස්ට තිබූ කාර්යයෙහි දෙවැදෑරුම් අරමුණ වූයේ කුමක්ද? (ආ) අද දින ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් ඔබ විස්තර කරන්නේ කෙසේද?

14 සුවිශේෂ පොත්වල සඳහන් පළමු රාජ්‍ය ප්‍රකාශකයා යොහන් බව්තීස්තය. (මතෙව් 3:1, 2; ලූක් 3:18) ඔහුගේ මූලික අරමුණ වූයේ, ‘සාක්ෂි දැරීමයි.’ තවද ඔහු එසේ කළේ හෘදයාංගම ඇදහිල්ලකින් හා ‘සියලු ආකාරයේ පුද්ගලයන් විශ්වාස කරනු’ ඇතිය යන බලාපොරොත්තුවෙනුයි. (යොහන් 1:6, 7, NW) ඇත්ත වශයෙන්ම, යොහන් දේශනා කළ සමහරෙක් ක්‍රිස්තුස්ගේ ගෝලයන් බවට පත් වුණා. (යොහන් 1:35-37) මෙබැවින්, යොහන් දේශනා කරන්නෙකු වගේම ගෝලයන් සාදන්නෙකුද වුණා. යේසුස් පවා දේශනා කරන්නෙක්ව හා ගුරුවරයෙක්ව සිටියා. (මතෙව් 4:23; 11:1) එසේනම්, රාජ්‍ය පණිවුඩය දේශනා කිරීමට පමණක් නොව නමුත් එය පිළිගන්නාවූ පුද්ගලයන්ට ඔහුගේ ගෝලයන් බවට පත්වීම සඳහා උපකාර කිරීමටත් යේසුස් සිය අනුගාමිකයන්ට අණ කිරීම පුදුමයක් නොවේ. (මතෙව් 28:19, 20) මේ අනුව බලන කල, අපගේ වැඩය දේශනා කිරීමේ හා ඉගැන්වීමේ වැඩවල සම්මිශ්‍රණයක්.

15. පොදු යුගයේ පළමු සියවසේදී කරන ලද දේශනා වැඩය හා අද දින කෙරීගෙන යන එම වැඩය අතර තිබෙන සමානකම් මොනවාද?

15 පාවුල්ගේ දේශනාවන්ට සහ ඉගැන්වීම්වලට සවන් දුන් පොදු යුගයේ පළමු සියවසේ විසූ අය අතුරින් ‘සමහරු ඔහු කී දේවල් විශ්වාස කළෝය. සමහරු විශ්වාස නොකළෝය.’ (ක්‍රියා 28:24, NW) අද දින ප්‍රතිචාරයත් බොහෝදුරට ඒ හා සමානයි. කනගාටුවට කරුණක් නම්, අද දින වපුරන රාජ්‍යයේ බීජවලින් වැඩි හරියක් වැටෙන්නේ පල නොදරන පස් මතයි. එසේ වුවත්, ඇතැම් බීජ තවමත් සරු පස් මත වැටී, මුල් ඇද, අංකුර දමන්නේ යේසුස් පුරෝකථනය කළ ලෙසමයි. ඇත්ත වශයෙන්ම, වසරේ සෑම සතියකම 5,000කට වැඩි සාමාන්‍යයක් ක්‍රිස්තුස්ගේ අව්‍යාජ ගෝලයන් බවට පත් වෙනවා! තවත් වැඩිදෙනෙක් පවසන ලද දේවල් විශ්වාස කළේ නැතත්, මෙම නව ගෝලයන් ‘කී දේවල් විශ්වාස කරනවා.’ රාජ්‍ය පණිවුඩයට හෘදයාංගම ප්‍රතිචාරයක් දැක්වීමට ඔවුන්ට උපකාර කළේ කුමක්ද? බොහෝවිට, වෙනසක් ඇති කළේ අලුත වපුරන ලද බීජවලට වතුර දැමීමයි. එනම් සාක්ෂිකරුවන් විසින් පෙන්වන ලද පෞද්ගලික උනන්දුවයි. (1 කොරින්ති 3:6) බොහෝ උදාහරණවලින් අපි උදාහරණ දෙකක් පමණක් සලකා බලමු.

වෙනසක් සිදු කරන්නේ පෙන්වනු ලබන පෞද්ගලික උනන්දුවයි

16, 17. අපගේ දේවසේවයේදී අපට හමු වන අය කෙරෙහි පෞද්ගලික උනන්දුවක් පෙන්වීම වැදගත් වන්නේ ඇයි?

16 බෙල්ජියමේ එක්තරා යෞවන සාක්ෂිකාරියක් වන කැරොලින්, රාජ්‍ය පණිවුඩය කෙරෙහි උනන්දුවක් නොපෙන්වූ එක් වයසක කාන්තාවක්ව බැහැදකින්නට ගියා. මේ තැනැත්තියගේ අත වෙළුම් පටියකින් බැඳ තිබූ නිසා කැරොලින් සහ ඇගේ මිතුරිය උපකාර කරන්නට ඉදිරිපත් වුණද, ඇය එය ප්‍රතික්ෂේප කළා. දවස් දෙකකට පමණ පසු, එම දෙදෙනාම නැවතත් එම ස්ත්‍රියගේ නිවසට ගියේ ඇගේ දුක සැප සොයා බලන්නටයි. “වෙනසක් ඇති වුණේ මෙතැනින්” යයි කැරොලින් පැවසුවා. “අපි ඈ ගැන පුද්ගලයෙකු හැටියට ඇත්තටම උනන්දු වුණ එක ගැන ඇය හුඟක් පුදුම වුණා. ඇය ඇගේ නිවසට අපිට ආරාධනා කළා විතරක් නෙමේ, බයිබල් පාඩමක්ද පටන්ගත්තා.”

17 එක්සත් ජනපදයේ වෙසෙන සාක්ෂිකාරියක වන සැන්ඩිද ඇය දේශනා කරන අය කෙරෙහි පෞද්ගලික උනන්දුවක් දක්වනවා. දිනපතා ඇය පුවත්පතක බිලිඳු උපත් දැන්වීම් පරීක්ෂා කර බලා අනතුරුව එම දරුවන්ගේ නව දෙමාපියන්ව බැහැදකින්නට යන්නේ මගේ බයිබල් කතන්දර පොතත් රැගෙනයි. * සාමාන්‍යයෙන් මව දරුවා සමඟ නිවසේ සිටින නිසාත් පැමිණෙන අමුත්තන්ට දරුවාව පෙන්වන්නට මව මහත් සතුටක් දක්වන නිසාත්, බොහෝවිට සිදු වන්නේ සංවාදයක් ආරම්භ වීමයි. “දරුවා සමඟ කිට්ටු සම්බන්ධතාවක් ගොඩනැඟීමට කියවීමේ ඇති වැදගත්කම ගැන මම දෙමාපියන්ට කතා කරනවා” යයි සැන්ඩි පැහැදිලි කරනවා. “ඊට පස්සේ මම කතා කරන්නේ අද සමාජයේ දරුවෙකුව හදා වඩා ගැනීමේදී මුහුණ දෙන්නට සිදු වන අභියෝග ගැන.” එවැනි බැහැදැකීමක ප්‍රතිපලයක් වශයෙන්, මෑතකදී මවක් සහ දරුවන් හයදෙනෙක් යෙහෝවාට සේවය කරන්නට පටන්ගත්තා. අපත් මෙලෙසම මූලික පියවර ගෙන පෞද්ගලික උනන්දුවක් දක්වනවා නම්, අපටත් දේවසේවයේදී ඒ හා සමාන ප්‍රීතියක් භුක්ති විඳින්නට හැකියාව ලැබේවි.

18. (අ) ‘බොහෝ පල දැරීමේ’ අවශ්‍යතාව අප සියල්ලන්ටම ඉටු කළ හැකි දෙයක් වන්නේ ඇයි? (ආ) ඔබ විසින් සපුරාලීමට අදිටන් කරගෙන සිටින්නේ යොහන්ගේ සුවිශේෂයේ සඳහන් ගෝලයන් වීමට ඕනෑ කරන කිනම් අවශ්‍යතා තුනද?

18 ‘දිගටම පල දරමින් සිටීමේ’ අවශ්‍යතාව අපට ඉටු කළ හැකි යමක් බව දැනගැනීම කොතරම් දිරිගැන්වෙනසුලු දෙයක්ද! අප බාල හෝ වේවා මහලු හෝ වේවා, අපට හොඳ සෞඛ්‍යයක් තිබුණත් අප අසනීප තත්වයක සිටියත්, ප්‍රතිචාරයක් තිබෙන හෝ ප්‍රතිචාරය අඩු ප්‍රදේශවල දේශනා කළත්, අප සියලුදෙනාටම බොහෝ පල දැරිය හැකියි. ඒ කෙසේද? වඩාත් පූර්ණ ආකාරයකට ආත්මයේ පල විදහා පෑමෙන් හා අපගේ හැකියාවන්ගේ උපරිමයෙන් දෙවිගේ රාජ්‍යයේ පණිවුඩය පතුරුවාලීමෙන්. ඒ අතරම, ‘යේසුස්ගේ වචනයෙහි පැවතීමටත්’ ‘අප අතර ප්‍රේමය පවත්වාගැනීමටත්’ අපි මහත් සේ උත්සාහ කරමු. ඔව්, යොහන්ගේ සුවිශේෂයේ සඳහන් ගෝලයන් වීමට ඕනෑ කරන වැදගත් අවශ්‍යතා තුන සපුරාලමින්, අපි ‘සැබවින්ම [ක්‍රිස්තුස්ගේ] ගෝලයෝ’ බව ඔප්පු කරමු.—යොහන් 8:31; 13:35, NW.

[පාදසටහන්වල]

^ 3 ඡේ. උපමාව තුළ මිදි වැලේ අතු මගින් යේසුස්ගේ ප්‍රේරිතයන් සහ දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ ස්ථානයක් ලැබීමට යන වෙනත් ක්‍රිස්තියානීන්ට යොමු දැක්වුවද, මෙම උපමාව තුළ තිබෙන සත්‍යතාවන්ගෙන් අද දින ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් සියල්ලන්ටම ප්‍රයෝජන ගත හැකියි.—යොහන් 3:16; 10:16.

^ 12 ඡේ. මහලු වයස හෝ අසනීප නිසා තම නිවෙස්වලට කොටු වී සිටින අයට ලිපි මගින් සාක්ෂි දැරිය හැකියි. නැතහොත්, හැකි නම් දුරකථනයෙන් හෝ සමහරවිට තමන්ව බැලීමට එන අය සමඟ ශුභාරංචිය බෙදාගන්නටත් ඔවුන්ට හැකියි.

^ 17 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලදි.

පුනරීක්ෂණය සඳහා ප්‍රශ්න

• අප වඩාත් බහුල ලෙස නිපදවිය යුත්තේ කිනම් ආකාරයේ පලදාවක්ද?

• ‘බොහෝ පල දැරීම’ අපට අත් කරගත හැකි ඉලක්කයක් වන්නේ ඇයි?

• අප සලකා බලා ඇත්තේ යොහන්ගේ සුවිශේෂයේ සඳහන් ගෝලයන් වීම සඳහා සපුරාලිය යුතු කිනම් වැදගත් අවශ්‍යතා තුනද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ කොටුව⁄පින්තූරය]

“විඳදරාගනිමින් පල දරන” අන්දම

ප්‍රතිචාරය අඩුවෙන් දක්වන බල ප්‍රදේශවල රාජ්‍යයේ පණිවුඩය විශ්වාසවන්ත ලෙස දිගටම දේශනා කිරීමට ඔබට උපකාරවත් වන්නේ කුමක්ද? මේ ප්‍රශ්නයට උපකාරවත් පිළිතුරු සමහරක් මෙන්න.

“බල ප්‍රදේශයේ වෙසෙන අයගේ ප්‍රතිචාරය කුමක් වුවද, යේසුස්ගේ පූර්ණ අනුබලය අපට තිබෙනවා යන කාරණය, ශුභවාදී වීමටත් අත්නෑර නොකඩවා සේවය කරගෙන යෑමටත් අප තුළ මහත් පෙලඹීමක් ඇති කරනවා.”—හැරි, වයස 72යි; බව්තීස්ම වූයේ 1946දී.

දෙවෙනි කොරින්ති 2:17 යන බයිබල් පදය සෑමවිටම මාව දිරිගන්වා තිබෙනවා. අප දේවසේවයේ හවුල් වෙන්නේ ‘දෙවි ඉදිරියෙහි ක්‍රිස්තුස් සමඟ එකඟත්වයෙන්’ [NW] බව එහි කියනවා. දේවසේවයෙහි නිරත වෙන විට, මම මගේ හොඳම මිතුරන් සමඟ භුක්ති විඳින්නේ කදිම ඇසුරක්.”—ක්ලෝඩියෝ, වයස 43යි; බව්තීස්ම වූයේ 1974දී.

“අවංකව කියනවා නම්, මම දේශනා කිරීම සලකන්නේ පෞද්ගලිකව කරන්නට තිබෙන සටනක් හැටියටයි. ඒත්, ගීතාවලිය 18:29හි තිබෙන වචනවල සත්‍යතාව මා අද්දකිනවා. ‘මාගේ දෙවි කරණකොටගෙන පවුරකින් පනිමි.’”—ජෙරාඩ්, වයස 79යි; බව්තීස්ම වූයේ 1955දී.

“දේවසේවයේදී මට එක බයිබල් පදයක්වත් කියවන්නට පුළුවන් නම්, යමෙකුගේ සිත බයිබලය මගින් සෝදිසියට ලක් වුණාය කියන හැඟීමෙන් මට සෑහීමක් ලැබෙනවා.”—එලනර්, වයස 26යි; බව්තීස්ම වූයේ 1989දී.

“මම වෙනස් ක්‍රම අත්හදා බලමින් සිටිනවා. කොච්චර ක්‍රම තියෙනවාද කියනවා නම්, මගේ ජීවිතයේ ඉතිරි කාලයේදී මට සේරම ක්‍රම අත්හදා බැලීමට ලැබෙන්නේ නැහැ.”—පෝල්, වයස 79යි; බව්තීස්ම වූයේ 1940දී.

“ලැබෙන නිෂේධාත්මක ප්‍රතිචාර මම පෞද්ගලිකව ගන්නේ නැහැ. මිනිස්සුත් එක්ක කතා කරලා ඔවුන්ට සවන් දීලා නිදහසේ සුහද ලෙස කතාව පටන්ගන්නයි මම බලන්නෙ.”—ඩැනියෙල්, වයස 75යි; බව්තීස්ම වූයේ 1946දී.

“මම දේශනා කරපු හින්දා තමන්ට සාක්ෂිකරුවන් වෙන්න ලැබුණාය කියලා කියන අලුත බව්තීස්ම වී සිටින අයව මට හම්බ වෙලා තියෙනවා. පස්සේ වෙනත් කෙනෙක් ඒ අය සමඟ බයිබලය පාඩම් කරලා ප්‍රගතිය ලබන්න උදව් කළා කියන එක මම දැනගෙන හිටියේ නැහැ. අපේ දේවසේවය කණ්ඩායමක් හැටියට කරන දෙයක්ය කියලා දැනගැනීම මගේ සතුටට හේතුවක්.”—ජෝන්, වයස 66යි; බව්තීස්ම වූයේ 1954දී.

‘විඳදරාගනිමින් පල දැරීමට’ ඔබට උපකාරවත් වන්නේ කුමක්ද?—ලූක් 8:15, NW.

[20වන පිටුවේ පින්තූර]

ආත්මයේ පල විදහා පෑමෙන් සහ රාජ්‍යයේ පණිවුඩය ප්‍රකාශ කිරීමෙන් අපි බොහෝ පල දරන්නෙමු

[23වන පිටුවේ පින්තූරය]

‘බොහෝ පල දරමින් සිටින්න’ කියා යේසුස් සිය ප්‍රේරිතයන්ට පැවසූ විට ඔහු ඉන් අදහස් කළේ කුමක්ද?