Skip to content

පටුනට යන්න

‘මාගේ වචනයෙහි පවතින්න’

‘මාගේ වචනයෙහි පවතින්න’

‘මාගේ වචනයෙහි පවතින්න’

“ඔබ මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබවින්ම ඔබ මාගේ ගෝලයෝය.”—යොහන් 8:31, NW.

1. (අ) යේසුස් ස්වර්ගයට ගිය අවස්ථාවේදී, ඔහු පොළොවේ තබා ගියේ කුමක්ද? (ආ) අප දැන් සලකා බලන්නේ කිනම් ප්‍රශ්නද?

යේසුස් ක්‍රිස්තුස්, එනම් ක්‍රිස්තියානි ධර්මයේ ආරම්භකයා ස්වර්ගයට ගිය අවස්ථාවේ, ඔහු ගැන ලියවුණු පොතක්වත්, ඔහු විසින් තනපු ස්මාරකයක්වත්, ඔහු විසින් එකතු කරන ලද ධන සම්පතක්වත් පොළොවේ තබා ගියේ නැහැ. නමුත් ඔහු එක් දෙයක් තබා ගියා. ඇත්තෙන්ම ඔහු තබා ගියේ ඔහුගේ ගෝලයන්ව සහ ගෝලයන් වීමට අවශ්‍ය කරන සුවිශේෂී අවශ්‍යතාවනුයි. ඇත්ත වශයෙන්ම යේසුස්ගේ ගෝලයෙකු වෙන්න යමෙකුට වුවමනා නම් ඔහු විසින් සපුරාලිය යුතු වැදගත් අවශ්‍යතාවන් තුනක් ගැන ඔහු සඳහන් කළ බව යොහන්ගේ සුවිශේෂයෙන් අපට දැකගන්න පුළුවන්. මේ අවශ්‍යතා මොනවාද? ඒවා සපුරාලීමට අපට කරන්න පුළුවන් මොනවාද? අද දින අපි ක්‍රිස්තුස්ගේ ගෝලයන් ලෙස පෞද්ගලිකව සුදුසුකම් ලබන බවට අපට සහතික වෙන්න පුළුවන් කොහොමද? *

2. යොහන්ගේ සුවිශේෂයේ වාර්තා කර ඇති අන්දමට, ගෝලයන් වීම සඳහා සපුරාලිය යුතු වැදගත් අවශ්‍යතාවක් නම් කරන්න.

2 සිය මරණයට මාස හයකට පෙර, යේසුස් යෙරුසලමට ගියා. එහිදී සති ගණනක් පැවැත්වෙන කූඩාරම් මංගල්‍යයට සහභාගි වීමට එක්රොක් වී සිටි සමූහයන්ට ඔහු දේශනා කළා. මෙහි ප්‍රතිපලයක් වශයෙන්, මංගල්‍යය පැවැත්වෙන කාලයෙන් අඩක් ගෙවී ගිය පසු, “බොහෝදෙනෙක් ඔහු කෙරෙහි ඇදහිල්ල තැබූහ.” යේසුස් දිගටම දේශනා කරමින් සිටියා. මේ නිසා මංගල්‍යයේ අන්තිම දිනයේදී, තවත් වරක් “බොහෝදෙනෙක් ඔහු කෙරෙහි ඇදහිල්ල තැබූහ.” (යොහන් 7:10, 14, 31, 37; 8:30; NW) ඒ අවස්ථාවේදී යේසුස් නව ඇදහිලිවන්තයන් වෙතට සිය අවධානය යොමු කළ අතර, ගෝලයන් වීම සඳහා සපුරාලිය යුතු වැදගත් අවශ්‍යතාවක් ගැන සඳහන් කළා. එය ප්‍රේරිත යොහන් විසින් වාර්තා කර තිබෙන්නේ මෙහෙමයි. “ඔබ මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබවින්ම ඔබ මාගේ ගෝලයෝය.”—යොහන් 8:31, NW.

3. ‘[යේසුස්ගේ] වචනයෙහි පැවතීමට’ යමෙකුට අවශ්‍ය ගුණාංගය කුමක්ද?

3 මේ වචනවලින් නව ගෝලයන්ට ඇදහිල්ලේ ඌනතාවක් තිබෙනවා යන්න යේසුස් අඟවමින් සිටියා නොවේ. ඒ වෙනුවට, ඔහු පෙන්නුම් කරමින් සිටියේ ඔහුගේ සැබෑ ගෝලයන් බවට පත්වීමේ ප්‍රස්තාව ඔවුන් ඉදිරියේ තිබෙන බවයි. එහෙත්, එසේ වන්නේ ඔවුන් ඔහුගේ වචනයෙහි පැවතී සිටියොත් එනම්, විඳදරාගැනීම පෙන්නුම් කළොත් පමණයි. ඔවුන් ඔහුගේ වචනය පිළිගෙන තිබුණා. නමුත් දැන් ඔවුන් ඒ තුළ දිගටම පැවතීම අවශ්‍යයි. (යොහන් 4:34; හෙබ්‍රෙව් 3:14) ඇත්ත වශයෙන්ම, විඳදරාගැනීම නමැති ගුණාංගය සිය ගෝලයන් තුළ තිබිය යුතු කොතරම් වැදගත් ගුණාංගයක්ද කියා යේසුස් සැලකුවාද කියනවා නම්, යොහන්ගේ සුවිශේෂයේ වාර්තා කර ඇති පරිදි සිය ප්‍රේරිතයන් සමඟ පැවති අවසාන සංවාදයේදී යේසුස් දෙවරක්ම ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ මෙහෙමයි. “දිගටම මා අනුව එන්න.” (යොහන් 21:19, 22, NW) මුල් ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් හරියටම කළේ එයයි. (2 යොහන් 4) විඳදරාගැනීමට ඔවුන්ට උපකාරවත් වූයේ කුමක්ද?

4. විඳදරාගැනීමට මුල් ක්‍රිස්තියානීන්ට හැකිකම ලබා දුන්නේ කුමක්ද?

4 දශක හතක් පමණ ක්‍රිස්තුස්ගේ විශ්වාසවන්ත ගෝලයෙකුව සිටි ප්‍රේරිත යොහන් වැදගත් සාධකයකට යොමු දක්වූවා. ඔහු විශ්වාසවන්ත ක්‍රිස්තියානීන්ට ප්‍රශංසා කරමින් පැවසුවේ මෙසේයි. ‘ඔබ ශක්තිමත්ය. දෙවිගේ වචනය ඔබ තුළ පවතී. ඔබ දුෂ්ටයාව පරාජය කර තිබේ.’ ක්‍රිස්තුස්ගේ එම ගෝලයන් විඳදරාගත්තා. නැතහොත් ඔවුන් දෙවිගේ වචනය තුළ පැවත සිටියා. ඔවුන්ට එසේ කිරීමට හැකි වුණේ දෙවිගේ වචනය ඔවුන් තුළ පැවති නිසයි. ඔවුන්ට ඒ කෙරෙහි හෘදයාංගම අගය කිරීමක් තිබුණා. (1 යොහන් 2:14, 24, NW) ඒ හා සමානව, අද දිනත්, ‘අවසානය දක්වා විඳදරාගන්නට’ නම්, දෙවිගේ වචනය අප තුළ පවතින බවට අප සහතික වීම අවශ්‍යයි. (මතෙව් 24:13, NW) අපට එය කළ හැක්කේ කොහොමද? යේසුස් විසින් පවසන ලද උපමාවක මීට පිළිතුරු සපයා තිබෙනවා.

‘වචනය ඇසීම’

5. (අ) යේසුස්ගේ උපමාවක සඳහන්ව ඇති විවිධාකාර පස් වර්ග මොනවාද? (ආ) යේසුස්ගේ උපමාවේ බීජ සහ පස්වලින් නියෝජනය කරන්නේ කුමක්ද?

5 යේසුස් බීජ වපුරන්නෙකු පිළිබඳ උපමාවක් පැවසුවා. එය වාර්තා වී තිබෙන්නේ මතෙව්, මාක් සහ ලූක් සුවිශේෂවලයි. (මතෙව් 13:1-9, 18-23; මාක් 4:1-9, 14-20; ලූක් 8:4-8, 11-15; NW) ඔබ මේ වාර්තාවන් කියවන විට ඔබට පෙනී යන දෙයක් නම්, මෙම උපමාවේ ප්‍රධාන අංගයක් හැටියට එකම වර්ගයේ බීජ විවිධාකාර පස් වර්ග මත වැටී වෙනස් පල නිපදවන බවයි. පළමුව තද පසක්. දෙවෙනුව, නොගැඹුරු පසක්. තුන්වෙනුව කටු ගස්වලින් ගහන වූ පසක්. අනෙක් ඒවා මෙන් නොව, හතරවැන්න “සරු” පසක්. යේසුස් කළ පැහැදිලි කිරීමට අනුව, බීජ යනු දේවවචනයේ සඳහන් රාජ්‍ය පණිවුඩයයි. විවිධ හෘද තත්වයන් ඇති මනුෂ්‍යයන් මේ පස් වර්ග මගින් නියෝජනය කරනවා. විවිධාකාර පස්වලින් නියෝජනය කරන්නාවූ ජනයාට යම් දේවල් පොදුවේ තිබුණද, සරු පසෙන් නියෝජනය කරනු ලබන අයට අනෙක් අයට වඩා වෙනස් වූ ගති ලක්ෂණ තිබෙනවා.

6. (අ) යේසුස්ගේ උපමාවේ සඳහන් හතරවන ආකාරයේ පස අනෙකුත් පස් වර්ග තුනෙන් වෙනස් වන්නේ කෙසේද? තවද ඉන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) ක්‍රිස්තුස්ගේ ගෝලයන් වශයෙන් විඳදරාගැනීම පෙන්වීම සඳහා අත්‍යවශ්‍ය වන්නේ කුමක්ද?

6 මේ අවස්ථා හතරේදීම ජනයා ‘වචනය අසන’ බව ලූක් 8:12-15හි [NW] සඳහන් වාර්තාවෙන් පෙන්වනවා. කෙසේවෙතත්, ‘අවංක යහපත් සිතක් ඇති’ අය, ‘වචනය අසනවාට’ වඩා වැඩි යමක් කරනවා. ඔවුන් ඒවා ‘සිතෙහි තබාගෙන විඳදරාගනිමින් පල දරනවා.’ සරු පස මොළොක් මෙන්ම ගැඹුරු නිසා, බීජය හොඳින් මුල් බැස සරු පල නිපදවනවා. (ලූක් 8:8) ඒ හා සමානව, අවංක සිතක් ඇති අය දේවවචනය තේරුම්ගෙන, එය අගය කර, ඒ තුළ නිමග්න වෙනවා. (රෝම 10:10; 2 තිමෝති 2:7) දේවවචනය ඔවුන් තුළ පවතිනවා. මෙහි ප්‍රතිපලයක් වශයෙන්, ඔවුන් විඳදරාගැනීමෙන් යුතුව පල දරනවා. ඒ නිසා ක්‍රිස්තුස්ගේ ගෝලයන් වශයෙන් විඳදරාගැනීමට දේවවචනය කෙරෙහි ගැඹුරු හෘදයාංගම අගය කිරීමක් තිබීම අත්‍යවශ්‍යයි. (1 තිමෝති 4:15) එහෙත්, අපි දේවවචනය කෙරෙහි හෘදයාංගම අගය කිරීමක් වර්ධනය කරගන්නේ කෙසේද?

හෘදයේ තත්වය සහ ගැඹුරින් මෙනෙහි කිරීම

7. යහපත් සිතක් හා සම්බන්ධ වී තිබෙන්නේ කුමන ක්‍රියාවද?

7 බයිබලය නිතරම අවංක යහපත් සිතක් හා සම්බන්ධ කරන්නේ කුමන ක්‍රියාවදැයි හොඳින් බලන්න. “ධර්මිෂ්ඨයාගේ සිත උත්තර දෙන පිණිස විමසා බලයි [මෙනෙහි කරයි, NW].” (හිතෝපදේශ 15:28) “යෙහෝවා, මාගේ මුඛයෙහි වචන හා සිතෙහි භාවනාද [මෙනෙහි කිරීමද, NW] ඔබ ඉදිරියෙහි පිළිගැනීමට සුදුසු වේවා.” (ගීතාවලිය 19:14) “මාගේ සිතේ භාවනා කිරීම [මෙනෙහි කිරීම, NW] ප්‍රඥාව ගැන වන්නේය.”—ගීතාවලිය 49:3.

8. (අ) බයිබලය කියවන විට, අප වැළකිය යුත්තේ කුමකින්ද? නමුත් කළ යුත්තේ කුමක්ද? (ආ) දේවවචනය ගැන යාච්ඤාපූර්වකව මෙනෙහි කිරීමෙන් අපට කිනම් ප්‍රයෝජන ලැබිය හැකිද? (‘සත්‍යතාව තුළ ස්ථිරව පිහිටා සිට’ යන කොටුවද ඇතුළත් කරන්න.)

8 මේ බයිබල් ලේඛකයන් මෙන්, දෙවිගේ වචනය හා ඔහුගේ ක්‍රියාවන් ගැන අප අගය කිරීමකින් හා යාච්ඤාපූර්වකව මෙනෙහි කළ යුතුය. අප බයිබලය හෝ බයිබලය මත පදනම් ප්‍රකාශනවලින් කියවන විට, යම් දසුනක් නිසි සේ බලා ආස්වාදයක් ලබන්නේ නැතුව, තැනින් තැනට හනික ගමන් කරමින් ඡායාරූප ගන්නා සංචාරකයන්ට සමාන නොවිය යුතුයි. ඒ වෙනුවට, අප බයිබලය පාඩම් කරන විට, අප දකින “දසුනක්” නැවතී හොඳින් නරඹා ආස්වාදයක් ලැබීමට කාලය ගත යුතුයි. * අපි කියවන දේ ගැන අපි නිවී සැනසිල්ලේ හොඳින් කල්පනා කරන විට, දේවවචනය අපේ හදවතට බලපෑම් කරනවා. එය අපගේ චිත්තවේගීය හැඟීම් ස්පර්ශ කර, අපගේ සිතිවිලි නිසි ලෙස සකස් කරනවා. ඒ සමඟම අපගේ ඉතා පෞද්ගලික සිතිවිලි යාච්ඤාවෙන් දෙවිට පැවසීමට එය අපව පොලඹවනවා. මෙහි ප්‍රතිපලය නම්, යෙහෝවාට ඇති අපගේ බැඳීම ශක්තිමත් වීමයි. ඒ වගේම දෙවි කෙරෙහි අප තුළ ඇති ප්‍රේමය නිසා වඩාත් අභියෝගාත්මක තත්වයන් යටතේදී පවා දිගටම යේසුස්ව අනුගමනය කිරීමට අප පෙලඹෙනවා. (මතෙව් 10:22) එසේ නම්, එක දෙයක් පැහැදිලියි. එනම්, අන්තිමය දක්වාම විශ්වාසවන්තව සිටීමට අපට වුවමනා නම්, දෙවි පවසන දේ ගැන මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය දෙයක් බවයි.—ලූක් 21:19.

9. අපගේ හදවත් දේවවචනයට ප්‍රතිචාර දක්වමින් තිබෙන බවට අපට සහතික විය හැක්කේ කෙසේද?

9 එමෙන්ම දේවවචනය වන බීජයේ වර්ධනයට බාධාද තිබෙන බව යේසුස්ගේ උපමාවෙන් පෙන්වනවා. මේ නිසා, විශ්වාසවන්ත ගෝලයන් සේ දිගටම රැඳී සිටීම පිණිස, අප (1) උපමාවේ සඳහන් පරිදි පසේ අහිතකර තත්වයන් මගින් නියෝජනය වන බාධාවන් හඳුනාගත යුතුයි; (2) ඒවා නිවැරදි කිරීමට හෝ ඒවායින් වැළකීමට අවශ්‍ය පියවර ගත යුතුයි. මේ අන්දමින්, අපගේ හදවත රාජ්‍යය නමැති බීජයට ප්‍රතිචාරය දක්වන බවටත් පල දරමින් තිබෙන බවටත් සහතික වෙමු.

‘මඟ දිගේ වැටුණු,’ එනම් සිත වෙනතකට යොමු වී

10. යේසුස්ගේ උපමාවේ සඳහන් පළමු පස් වර්ගය ගැන විස්තර කරන්න. තවද එහි අර්ථය පැහැදිලි කරන්න.

10 බීජ වැටෙන පළමු ආකාරයේ පස නම්, ‘මඟ දිගෙයි.’ එම බීජ ‘පෑගුණේය.’ (ලූක් 8:5, NW) කෙතක මඟ හෙවත් නියරක තිබෙන පස්, ගොවීන් සහ වෙනත් අය නිතරම එහා මෙහා යෑම නිසා හොඳින් තද වී ඝන ස්වරූපයක් ගන්නවා. (මාක් 2:23) ඒ හා සමානව, මේ ලෝක සමාජය හරහා හඹාගෙන යන රැලිවලට හසු වන අය තමන්ගේ කාලය හා ශක්තිය ඒවාට යටවීමට ඉඩහරින අතර, දෙවිගේ වචනය ගැන හෘදයාංගයෙන්ම ඇගයීමක් ගොඩනැංවීමට බැරි තරමට ඒවායින් තම සිත වෙනතකට යොමු කරගෙන සිටිනවා. ඔවුන් දෙවිගේ වචනය අසනවා. නමුත් ඒවා ගැන මෙනෙහි කිරීමට අසමත් වෙනවා. ඒ නිසා ඔවුන්ගේ හදවත් තිබෙන්නේ කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැති තත්වයකයි. ඒ ගැන යම් ඇල්මක් ගොඩනැංවීමට පෙර, ‘ඔවුන් විශ්වාස කර ගැලවීම නොලබන පිණිස යක්ෂයා ඇවිත් ඔවුන්ගේ සිත්වලින් වචනය පැහැරගන්නවා.’ (ලූක් 8:12, NW) මෙය වළක්වාගත හැකිද?

11. අපගේ හදවත් තද පස් මෙන් තත්වයකට පත්වීම වැළැක්වීමට අපට හැක්කේ කොහොමද?

11 කෙතක මඟ දිගේ හෙවත් නියරක් අසල තිබෙන නිසරු පසට සමාන තත්වයකට හදවත පත්වීම වැළැක්වීමට බොහෝ දේ කළ හැකියි. පයින් පෑගී තද වී ඇති පස්, තවත් පෑගීමට නොදී හොඳින් හෑවොත් එම පස මෘදු වෙනවා. ඒ හා සමානව, දෙවිගේ වචනය පාඩම් කර මෙනෙහි කිරීමට කාලය ගන්නවා නම්, හදවත සරු, පල දරන පසක් බවට පත් වෙනවා. මෙහිලා මූලිකම කාරණය වන්නේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතුවලින් සිත වෙනතකට යොමු වන්නට ඉඩ නොදී සිටීමයි. (ලූක් 12:13-15) ඒ වෙනුවට, ජීවිතයේ “වඩා වැදගත් දේවල්” ගැන මෙනෙහි කිරීමට කාලය ගන්නා බවට සහතික වෙන්න.—පිලිප්පි 1:9-11, NW.

“පර්වතය මත” එනම් භයවීම

12. යේසුස් සඳහන් කළ උපමාවේ දෙවන ආකාර පසේ අංකුර මැලවී යෑමට නියම හේතුව කුමක්ද?

12 බීජ ප්‍රථම ආකාරයේ පස්වල වැටුණ විට ඒවා රැඳුණේ මතුපිට පමණයි. ඊට වෙනස්ව බීජ දෙවන ආකාරයේ පස්වල වැටුණ විට ඒවා නිකම්ම මතුපිට රැඳෙන්නේ නැහැ. ඒවා මුල් ඇද පැළ වෙනවා. නමුත් ඉර පායන විට, පැළවල අංකුර සූර්ය තාපයෙන් පිච්චී මැලවී යනවා. කෙසේවෙතත්, මෙන්න මේ විශේෂ දත්තය සැලකිල්ලට ගන්න. අංකුරය මැලවෙන නියම හේතුව තාපයම නොවේ. මක්නිසාද සරු පසේ වැවෙන පැළෑටියත් සූර්ය රශ්මියට නිරාවරණය වෙයි. නමුත්, එය මැලවී යන්නේ නැහැ. ඇත්තටම කියනවා නම්, එය හිරු එළිය නිසා හොඳින් සරුවට වැඩෙනවා. එහෙමනම් වෙනසක් ඇති වී තිබෙන්නේ ඇයි? යේසුස් පැහැදිලි කරන හැටියට, මෙම අංකුරය මැලවෙන්නේ, “මුල් නොතිබුණ” නිසයි. ඒ වගේම “තෙතමනය නොතිබුණ” නිසයි. (මතෙව් 13:5, 6, NW; ලූක් 8:6, NW) පර්වත තට්ටුව පිහිටා තිබෙන්නේ, උඩ පස් තට්ටුවට යටිනුයි. ඒ නිසා පර්වත තට්ටුව පසාරු කරගෙන යටට ගොස් තෙතමනය උරාගෙන පැළෑටියට හොඳින් මුල් ඇද වැඩීමට ඉඩ සැලැස්වීමට මුල්වලට හැකියාවක් නැහැ. අංකුර මැලවී යන්නේ පස ගැඹුරට විහිදෙන්නේ නැති නිසයි.

13. නොගැඹුරු පසක් හා සමාන වන්නේ කිනම් ආකාරයේ පුද්ගලයන්ද? ඔවුන් ප්‍රතික්‍රියා කරන ආකාරයට හේතු පාදක වන මූලික හේතුව කුමක්ද?

13 උපමාවේ එම කොටසින් කියැවෙන්නේ ‘ප්‍රීතියෙන් පිළිගන්නාවූ’ “කලකට” යේසුස්ව ජ්වලිතයෙන් අනුගමනය කරන පුද්ගලයන් ගැනයි. (ලූක් 8:13, NW) “හිංසා හෝ පීඩා” නමැති තද අව් රශ්මියට හසු වන විට, ඔවුන් කොතරම් භය වෙනවාද කිව්වොත් ඔවුන් තම ප්‍රීතිය හා ශක්තිය අහිමි කරගෙන යේසුස්ව අනුගමනය කිරීම අතහරිනවා. (මතෙව් 13:21, NW) කෙසේවෙතත් ඔවුන්ගේ භයට ප්‍රධානතම හේතුව වන්නේ විරුද්ධවාදිකම් නොවේ. ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් මිලියන ගණනකට විවිධාකාරයේ පීඩාවන් විඳදරාගැනීමට සිදු වුණත් තමන්ට විශ්වාසවන්තභාවය රැකිය හැකි බව ඔවුන් පෙන්වා තිබෙනවා. (2 කොරින්ති 2:4; 7:5) ඔවුන් භය වී ඉවතට ඇදී යෑමට තිබෙන නියම හේතුව නම්, ඔවුන්ගේ හදවත් පර්වතයක් බඳු තත්වයකට පත් වී තිබීම නිසා ගොඩනංවනසුලු හා ආත්මික දේවල් ගැඹුරින් මෙනෙහි කිරීමට ඉඩ කඩක් නොතිබීමයි. මෙහි ප්‍රතිපලයක් හැටියට, යෙහෝවා සහ ඔහුගේ වචනය කෙරෙහි ඔවුන් තුළ ඇති අගය කිරීම මතුපිටට සීමා වෙලා. ඒ නිසා යම් විරුද්ධවාදිකමකට එරෙහිව නැඟී සිටින්නට තරම් ශක්තියක් හදවතට නැහැ. එය දුර්වලයි. එවැනි දෙයක් ඇතිවීම වළක්වාගත හැක්කේ කොහොමද?

14. යම් පුද්ගලයෙක් තමාගේ හදවත නොගැඹුරු පසක් හා සමාන තත්වයකට පත්වීමෙන් වළක්වාගැනීමට කිනම් පියවර ගත යුතුද?

14 යම් පුද්ගලයෙක්, ගැඹුරින් කාවැදී ඇති දැඩි අමනාපයන්, සැඟවුණු ආත්මාර්ථකාමිත්වයක් හෝ ඒ හා සමාන අභ්‍යන්තරයේ සැඟවී ඇති තද හැඟීම් වැනි වූ කලුගල් බඳු බාධාවල් තමන්ගේ හදවතේ ලැගුම්ගෙන නොතිබෙන බවට වගබලා ගත යුතුයි. එවන් බාධාවක් දැනටමත් එසේ හදවතේ ලැගුම්ගෙන තිබෙනවා නම්, දෙවිගේ වචනයෙන් නික්මෙන බලයට හැකියි එය බිඳ දමන්නට. (යෙරෙමියා 23:29; එපීස 4:22; හෙබ්‍රෙව් 4:12) ඉන්පසු, යාච්ඤාපූර්වකව මෙනෙහි කිරීම නිසා පුද්ගලයාගේ හදවත තුළ ගැඹුරින් “වචනය පැලපදියම්” වෙයි. (යාකොබ් 1:21, NW) අධෛර්යයට පත් වී සිටින කාලවලදී එම තත්වයන්ට මුහුණ දෙන්නට ශක්තියත්, පරීක්ෂා හමුවේ විශ්වාසවන්තව සිටින්නට ධෛර්යයත් මේ මගින් ලැබෙයි.

“කටු ගස් අතරේ” එනම් බෙදුණු හදවතක වැටී

15. (අ) යේසුස් විසින් සඳහන් කළ තුන්වන ආකාරයේ පසට විශේෂයෙන් අපගේ අවධානය යොමු කිරීම වටින්නේ ඇයි? (ආ) අන්තිමේදී තුන්වන ආකාරයේ පසේ සිදු වෙන්නේ කුමක්ද? ඒ ඇයි?

15 තුන්වන ආකාරයේ පසට, එනම් කටු ගස් අතර තිබෙන පසට, විශේෂයෙන් අපගේ අවධානය යොමු කිරීම වටිනවා. ඊට හේතුව නම්, යම් ආකාරවලින් එය සරු පසට සමාන වීමයි. සරු පස මෙන්, කටු ගස් අතර ඇති පසේ වැටෙන බීජද මුල් ඇද අංකුර දමනවා. මුල් අවස්ථාවේදී, මෙම පස් වර්ග දෙක මත වර්ධනය වන නව පැළෑටියේ වැඩීමේ වෙනසක් වන්නේ නැහැ. කොහොම නමුත්, කල් යත්ම, යම් තත්වයන් වර්ධනය වී අන්තිමේදී පැළෑටිය යට කර දමනවා. සරු පසේ මෙන් නොව, මේ පසේ කටු ගස් බහුලව වැඩෙනවා. පැළෑටිය ටිකෙන් ටික පොළොවෙන් ඉහළට වැඩෙන විට, ‘ඒ සමඟ වැඩෙන කටු ගස්’ සමඟ සටනක යෙදෙනවා. කලක් යන තුරු මෙම පැළෑටි වර්ග දෙකම පසේ පෝෂණය, හිරු එළිය සහ ඉඩ කඩ උදුරාගන්නට එකිනෙකා පරයා සටන් කරන නමුත් අන්තිමේදී කටු ගස් පැළෑටියට උඩින් වැවී ඒවා ‘යට කර දමනවා.’—ලූක් 8:7, NW.

16. (අ) කටු ගස් සහිත පසෙන් සාදෘශ්‍ය කරන්නේ කිනම් පුද්ගලයන්වද? (ආ) සුවිශේෂ වාර්තා තුනට අනුව, කටු ගස්වලින් නියෝජනය කරන්නේ කුමක්ද?—පාද සටහන බලන්න.

16 කටු ගස් සහිත පස්වලින් නියෝජනය කරන්නේ කිනම් ආකාරයේ පුද්ගලයන්වද? යේසුස් පැහැදිලි කළේ මෙසේයි. “කටු ගස් අතරේ වැටුණු ඒවා නම්, අසා, මේ ජීවිතයේ කරදර නිසාත් ධනය නිසාත් සැපසෙල්ලම නිසාත් ගසාගෙන යන අයය. ඔවුන් සම්පූර්ණයෙන්ම යට වී, ඔවුන්ට කිසිවක් සම්පූර්ණ ලෙස ඉටු කිරීමට නොහැකි වන්නේය.” (ලූක් 8:14, NW) වපුරන්නාගේ බීජ හා කටු ගස් එම පසේ එකම කාලයේ වැඩෙනවාක් මෙන්, ඇතැම් පුද්ගලයන් දේවවචනය අධ්‍යයනය කිරීම සහ “සැපසෙල්ලම” භුක්ති විඳීම එකවර කරන්නට උත්සාහ කරනවා. දෙවිගේ වචනයේ සත්‍යතාව ඔවුන්ගේ හදවත්වල වපුරා තිබෙනවා. නමුත් හදවතේ අවධානය ඉල්ලා අනික් පැත්තෙන් තරඟ කරන වෙනත් වැඩ කටයුතු සමඟ තරඟ වදින්නට එයට සිදු වෙලා. මේ නිසා ඔවුන්ගේ සංකේත හදවත බෙදිලා. (ලූක් 9:57-62) මේ හේතුවෙන් දේවවචනය ගැන යාච්ඤාපූර්වකව අර්ථාන්විත ආකාරයකින් මෙනෙහි කරන්නට තිබිය යුතු ප්‍රමාණවත් කාලය ඔවුන්ට අහිමි වී ගොස්. දේවවචනය මුළුමනින්ම උරාගන්නට ඔවුන් අසමත්. ඒ නිසා විඳදරාගැනීමට අවශ්‍යම හෘදයාංගම අගය කිරීම ඔවුන්ට මදි. ටිකෙන් ටික ආත්මික නොවන වැඩ කටයුතුවලින් ආත්මික කාරණා කොතරම් වැසී යනවාද කියනවා නම්, ඒවා “සම්පූර්ණයෙන්ම යට වී” යනවා. * යෙහෝවා කෙරෙහි හෘදයාංගම ප්‍රේමයක් නැති අය අද්දකින්නේ කොතරම් දුක්ඛදායක අවසානයක්ද!—මතෙව් 6:24; 22:37.

17. යේසුස්ගේ උපමාවේ සඳහන් සංකේතමය කටු ගස් මගින් යට වී නොයන පිණිස අප ජීවිතයේ කිනම් තේරීම් කළ යුතුද?

17 ද්‍රව්‍යමය දේවලට වඩා ආත්මික කාරණාවලට මුල් තැන දීමෙන්, මේ ලෝකයේ දුක් කරදරවලට සහ සැපසෙල්ලමට හසු වී යට වී යෑමෙන් වළකින්නට අපට හැකියි. (මතෙව් 6:31-33; ලූක් 21:34-36) බයිබලය කියවීම සහ අප කියවන දෙය ගැන මෙනෙහි කිරීම කිසිවිටෙකත් අතපසු නොකළ යුතුයි. අපගේ ජීවිතය හැකි තරම් සරල කරගන්නවා නම්, හොඳ අවධානයකින් හා යාච්ඤාපූර්වකව මෙනෙහි කිරීමට අපට වැඩි කාලයක් ලැබෙනවා නිසැකයි. (1 තිමෝති 6:6-8) එසේ කර ඇති දෙවිගේ සේවකයන්, එනම් හරියට තම හදවතේ පස්වලින් කටු ගස් මුළුමනින්ම ගලවා දමා පල දරන පැළෑටියට වැඩීම පිණිස පසට වඩාත් පෝෂණය, හිරු එළිය සහ ඉඩ කඩ ලබා දී ඇති අය යෙහෝවාගේ ආශීර්වාද අද්දකිමින් සිටිනවා. අවුරුදු 26ක් වූ සැන්ඩ්‍රා මෙසේ කියනවා. “සත්‍යය තුළ මං භුක්ති විඳින ආශීර්වාද ගැන මෙනෙහි කරද්දී මට වැටහෙන දෙයක් තමයි, ඒ සමඟ සැසඳිය හැකි වෙන කිසිවක් දීමට ලෝකයට බැරි බව.”—ගීතාවලිය 84:11.

18. ක්‍රිස්තියානීන් හැටියට දේවවචනය තුළ පවතිමින් විඳදරාගැනීමට අපට හැක්කේ කොහොමද?

18 එසේ නම්, අප බාල වේවා මහලු වේවා, දෙවිගේ වචනය අප තුළ පවතින තාක් කල්, අප දේවවචනය තුළ පැවත ක්‍රිස්තුස්ගේ ගෝලයන් වශයෙන් විඳදරාගන්නවා ඇති. එමනිසා, අපගේ සංකේතමය හදවත්වල තිබෙන පස කිසිම විටෙකත් තද, නොගැඹුරු හෝ කටු ගස්වලින් ගහන පසක් නොව, නමුත් මෘදු හා ගැඹුරු පසක් ලෙස තබාගැනීමට වගබලා ගනිමු. මේ අයුරින්, අපට දේවවචනය හොඳින් මුළුමනින්ම උරාගැනීමට හැකි වන අතර, ‘විඳදරාගනිමින් පල දැරිය’ හැකියි.—ලූක් 8:15, NW.

[පාදසටහන්වල]

^ 1 ඡේ. මෙම ලිපිය මගින් අපි පළමු අවශ්‍යතාව සලකා බලමු. අනික් අවශ්‍යතා දෙක ඊළඟ ලිපි දෙකේ සලකා බලනවා ඇති.

^ 8 ඡේ. උදාහරණයක් වශයෙන්, ඔබ කියවා ඇති බයිබලයේ යම් කොටසක් ගැන යාච්ඤාපූර්වකව මෙනෙහි කර බැලීම පිණිස, ඔබට ඔබෙන්ම මෙසේ අසාගත හැකියි. ‘මේ කොටසින් යෙහෝවාගේ ගුණාංග එකක් හෝ ඊට වැඩි ගණනක් ගැන හෙළි වෙනවාද? බයිබලයේ තේමාව සමඟ එය සම්බන්ධ වන්නේ කොහොමද? එය මගේ ජීවිතයට අදාළ කරගත හැක්කේ කොහොමද? නැතහොත් අනුන්ට උපකාර කිරීමට මට එය යොදාගත හැක්කේ කොහොමද?’

^ 16 ඡේ. යේසුස්ගේ උපමාව පිළිබඳ සුවිශේෂ වාර්තා තුනට අනුව, යම් යම් දුක් කරදර වේදනාවන්ගෙන් සහ මේ ලෝකයේ සැපසෙල්ලමෙන්, එනම්, “මේ සමාජ ක්‍රමයේ කරදරවලින්,’ ‘ධනයේ මුළා කරවන බලපෑම්වලින්,’ ‘අනිකුත් දේවලට තිබෙන තෘෂ්ණා’ මගින් සහ ‘මේ ජීවිතයේ සැපසෙල්ලමෙන්ද’ එම බීජය යට වී යනවා.—මාක් 4:19; මතෙව් 13:22; ලූක් 8:14; යෙරෙමියා 4:3, 4; NW.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• අප ‘යේසුස්ගේ වචනයෙහි පැවතීම’ අවශ්‍ය වන්නේ ඇයි?

• දේවවචනයට අපගේ හදවත් තුළ පැවතීමට අපට ඉඩ දිය හැක්කේ කෙසේද?

• යේසුස්ගේ උපමාවේ සඳහන් සිව් ආකාර පස්වලින් නියෝජනය වන්නේ කිනම් ආකාරයේ පුද්ගලයන්වද?

• දෙවිගේ වචනය ගැන මෙනෙහි කිරීමට ඔබට කාලය සොයාගත හැක්කේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ කොටුව⁄පින්තූරය]

‘සත්‍යතාව තුළ ස්ථිරව පිහිටා සිට’

තමන් ‘සත්‍යතාව තුළ ස්ථිරව පිහිටා සිටින’ බව දීර්ඝ කාලයක් පුරා සේවය කර ඇති ක්‍රිස්තුස්ගේ ගෝලයන් බොහෝදෙනෙක් වසරින් වසර ඔප්පු කර තිබෙනවා. (2 පේතෘස් 1:12, NW) විඳදරාගැනීමට ඔවුන්ට උපකාරවත් වන්නේ කුමක්ද? ඔවුන්ගේ අදහස් සමහරක් ගැන සලකා බලන්න.

“මම සෑම දවසකම අවසානයේදී බයිබලයෙන් කොටසක් කියවලා යාච්ඤාවක් කියනවා. ඊට පස්සේ මම කියවපු දේ ගැන කල්පනා කරනවා.”—1939දී බව්තීස්ම වූ ජීන්.

“එතරම්ම උසස් කෙනෙක් වන යෙහෝවා අපට ගැඹුරින් ප්‍රේම කරන අන්දම ගැන මෙනෙහි කරන කොට, එය මට ආරක්ෂාවේ හැඟීමක් වගේම විශ්වාසවන්තව සිටීම සඳහා ශක්තියක් ලබා දෙනවා.”—1946දී බව්තීස්ම වූ පැට්‍රිෂියා.

“හොඳ බයිබල් අධ්‍යයන පුරුදුවලට ඇලී සිටීමෙන් හා ‘දෙවිගේ ගැඹුරු කාරණාවල’ නිමග්නව සිටීමෙන්, මට හැකි වී තිබෙනවා යෙහෝවාට දිගටම සේවය කරන්න.”—1 කොරින්ති 2:10; 1939දී බව්තීස්ම වූ ආනා.

“මම බයිබලය සහ අපගේ බයිබලය මත පදනම් ප්‍රකාශන කියවන්නේ මගේම හෘදය සහ චේතනාවන් පරීක්ෂා කිරීමේ අදහසින්.”—1943දී බව්තීස්ම වූ සෙල්ඩා.

“මගේ හොඳම වේලාව තමයි, කොහේ හරි ටිකක් ඇවිදගෙන ගිහිල්ලා මට ඇත්තටම හැඟෙන ආකාරය ගැන යෙහෝවාට යාච්ඤාවෙන් කියන වෙලාව.”—1947දී බව්තීස්ම වූ රැල්ෆ්.

“මම දවස පටන්ගන්නේ දිනපදය බලලා බයිබලයෙන් කොටසක් කියවලයි. මේක මට දවස පුරාම යමක් ගැන මෙනෙහි කරන්න මනසට අලුත් අදහසක් ලබා දෙනවා.”—1935දී බව්තීස්ම වූ මරි.

“මට නම්, බයිබල් පොතක් පදයෙන් පදය සාකච්ඡා කරනකොට, ඒක හරියට රස පැණියක් බොනවා වගේ.”—1946දී බව්තීස්ම වූ ඩැනියෙල්.

දේවවචනය ගැන යාච්ඤාපූර්වකව මෙනෙහි කිරීමට ඔබ කාලය ගන්නේ කොයි වේලාවේද?—දානියෙල් 6:10ආ; මාක් 1:35; ක්‍රියා 10:9.

[13වන පිටුවේ පින්තූරය]

ආත්මික කාරණාවලට ප්‍රමුඛත්වය දීමෙන්, අපට ‘විඳදරාගනිමින් පල දැරිය’ හැකියි