Skip to content

පටුනට යන්න

රැකියාවේ සුරක්ෂිතභාවය හා තෘප්තිය අනතුරේ

රැකියාවේ සුරක්ෂිතභාවය හා තෘප්තිය අනතුරේ

රැකියාවේ සුරක්ෂිතභාවය හා තෘප්තිය අනතුරේ

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නිකුත් කර තිබෙන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අනුව “වැඩ කිරීමට තිබෙන අයිතිය” සියලුම මිනිසුන් සතු මූලික අයිතිවාසිකමකි. කෙසේවෙතත්, එම අයිතිවාසිකම භුක්ති විඳීම පිළිබඳව නිසැකකමක් සැමවිටම තබාගත නොහැක. මන්ද රැකියාවක සුරක්ෂිතභාව රඳා පවතින්නේ රටේ ආර්ථිකය හා ලෝක වෙළෙඳපොළේ තත්වය ඇතුළු විවිධ දේවල් මත වන බැවිනි. රැකියාව අහිමි වන විට හෝ එයට තර්ජනයක් එල්ල වන බොහෝ අවස්ථාලවදී පෙළපාළි, කැරලිගැසීම් හා වැඩ වර්ජන දියත් කරනු ලැබේ. මෙවන් තත්වයන් සිදු නොවන්නේ රටවල් අතළොස්සක පමණි. “රැකියාව” යන වචනය “මිනිසුන්ගේ හැඟීම් ප්‍රබල ලෙස ඇවිස්සීමට තුඩු දෙන දෙයක් බව නිතරම පාහේ දැකගත හැකි වී තිබේ” කියා එක් ලේඛකයෙක් පැවසුවේය.

රැකියාවක් කිරීම අප සැමටම වැදගත් දෙයක් වීමට හේතු රැසක් තිබේ. රැකියාවකින් අපට ආදායමක් ලැබෙනවාට අමතරව එය අපේ මානසික හා චිත්තවේගීය ශුභසිද්ධියටද දායක වේ. සමාජයේ ඵලදායක සමාජිකයෙකු වීමටත් අරමුණක් සහිත ජීවිතයක් ගත කිරීමටත් මිනිසුන් තුළ තිබෙන ආශාව රැකියාව මගින් තෘප්තිමත් කෙරේ. එමෙන්ම එය යම් ප්‍රමාණයකට ආත්ම ගරුවත්වයක්ද අප තුළ ඇති කරවයි. මේ හේතුව නිසා සමහරු තමන්ගේ අවශ්‍යතා සපුරාගැනීමට ඕනෑවටත් වඩා මුදල් තිබුණත් විශ්‍රාම යා හැකි වුවත් තමන් කරමින් සිටින රැකියාව අත් නොහැර දිගටම කරගෙන යති. රැකියා නොමැති වීමේ ප්‍රතිඵලයක් හැටියට බරපතළ සමාජ ගැටලු ඇති විය හැකියි. සැමටම රැකියාවක් තිබීම මොනතරම් වැදගත් දෙයක්ද කියා ඉන් පැහැදිලි නොවේද!

අනිත් අතට, රැකියාවත් තිබුණද එය කරගෙන යෑමේදී පීඩන රැසකට මුහුණ දීමට සිදුවීම නිසා තම රැකියාවෙන් තෘප්තියක් නොලබන අයද සිටිති. නිදසුනක් වශයෙන්, වර්තමානයේදී අධික තරඟකාරී ආර්ථියක් බිහි වී තිබීම නිසා වියදම් කපාහැරීමේ අරමුණින් සමාගම් රැසක් සේවක පිරිස් අඩු කර තිබේ. මේ තත්වය නිසා ඉතිරිව සිටින සේවකයන්ට අමතර වැඩ කන්දරාවක් කිරීමට සිදු විය හැකියි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට දැනෙන පීඩනය වැඩි වේ.

නවීන තාක්ෂණය නිසා ජීවිතය වඩාත් පහසු වන බවත් වැඩ කිරීමේ කාර්යක්ෂමතාව වැඩි වන බවත් සිතුවද එමගින් රැකියා ස්ථානවල තිබෙන පීඩනය තව තවත් වැඩ විය හැකියි. නිදසුනක් වශයෙන්, පරිගණක, ෆැක්ස් යන්ත්‍ර හා අන්තර් ජාලය මගින් රැකියාවෙන් පසු ඉතිරි වැඩ ගෙදර ගෙන යෑමට මිනිසුන්ට අවස්ථාව සලසා දී තිබෙන්නේ නිවස හා කාර්යාලය අතර වෙනස නැති කර දමමිනි. එක සේවකයෙක් තමන් වැඩ කරන සමාගමෙන් තමාට දී තිබෙන පේජර් යන්ත්‍රය හා ජංගම දුරකථනය සැලකුවේ තම ස්වාමියා තමාව බැඳ තබාගැනීමට යොදාගන්න අදෘශ්‍යමාන දම්වැලක් ලෙසයි.

ආර්ථිකයේ මෙන්ම රැකියා ස්ථානවලද වේගයෙන් වෙනස්කම් සිදු වන මේ කාලයේ ජීවත් වන වයසින් වැඩි බොහෝදෙනෙකු තුළ බියක් පවතී. වැඩි වෙමින් පවතින මෙම බියට හේතු වී තිබෙන්නේ විශ්‍රාම යෑමටත් කලින්ම තමන්ව අකාර්යක්ෂම පුද්ගලයන් කියා සලකයි කියන හැඟීමයි. මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් කෙනෙකුව සිටි ක්‍රිස් සිඩොටි මේ ගැන මෙසේ සඳහන් කළේය. “ඔබ අවුරුදු 40ට අඩු කෙනෙකු නොවේ නම් පරිගණක හා නව තාක්ෂණය සමඟ ඔබට වැඩ කළ නොහැකි බවට මතයක් පවතින බව දක්නට තිබේ.” මේ නිසා ඉතා දක්ෂ සේවකයන් ලෙස කලින් සලකන ලද හොඳ සේවකයන්ව පවා මේ කාලයේදී සලකනු ලබන්නේ වැඩ කරන්න බැරි තරමට වයසට ගොස් ඇති අය ලෙසයි. මෙය මොනතරම් කනගාටුදායක තත්වයක්ද!

රැකියාවේදී යහපත් ආචාර ධර්මයක් ලෙස සලකන කඩිසර ලෙස වැඩ කිරීම මෙන්ම තමන් වැඩ කරන සමාගමට පක්ෂපාත වීම එතරම් වැදගත් දෙයක්කොට නොසලකන බව පසුගිය කාලයේ සිට දක්නට තිබීම පුදුමයක් නොවේ. “කොටස් වෙළෙඳ පොළේ සුළු වෙනස්කම් සිදු වන අවස්ථාවලදී පවා සමාගම් විසින් එහි සේවකයන්ව ඉවත් කරන විට පක්ෂපාතව වැඩ කිරීම යල්පැණ ගිය දෙයක් බවට පත් වේ” කියා ප්‍රංශයේ පළ වන සඟරාවක (Libération) සඳහන් විය. “ඔබ වැඩ කළ යුත්තේ ඔබේ යහපත තකා මිස ඔබ වැඩ කරන සමාගමේ යහපත ගැන සිතා නොවේ” කියා එහි තවදුරටත් සඳහන් විය.

එක පිට එක ගොඩ ගැසෙන මෙවන් ගැටලු කන්දරාවක් මැද වුවත් රැකියාවක් කිරීමට වූ මිනිසාගේ මූලික අවශ්‍යතාව එලෙසම පවතී. මේ නිසා, වේගයෙන් වෙනස්කම් සිදු වන මේ කාලයේදී රැකියාව පිළිබඳව සමබර දෘෂ්ටියක් ඇති කරගන්නා අතරතුරේ රැකියාවේ සුරක්ෂිතභාවය හා ඉන් ලබන තෘප්තිය දිගටම රැකගත හැක්කේ කෙසේද?

[3වන පිටුවේ පින්තූරය]

රැකියා ස්ථානවල පීඩනය වැඩිවීමට නවීන තාක්ෂණය හේතු විය හැක