Skip to content

පටුනට යන්න

රැකියාව පිළිබඳව සමබර දෘෂ්ටියක් වර්ධනය කරගත හැකි අයුරු

රැකියාව පිළිබඳව සමබර දෘෂ්ටියක් වර්ධනය කරගත හැකි අයුරු

රැකියාව පිළිබඳව සමබර දෘෂ්ටියක් වර්ධනය කරගත හැකි අයුරු

අධික පීඩනයක් පවතින වත්මන් ලෝක වෙළෙඳ ආර්ථිකය, සිත්පිත් නැති තරඟකාරිත්වය හා මහා පරිමාණයෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම යනාදි හේතු නිසා මිනිසුන් සෑම දවසකම රැකියාවට යන්නේ සතුටින් නොවේ. එහෙත්, රැකියාවක් කිරීමෙන් අප තෘප්තියක් ලබාගත යුතුයි. ඒ මන්ද? තමන් කරන වැඩවලින් තෘප්තියක් ලබන දෙවිගේ ස්වරූපයෙන් අපව මවා තිබීම එයට හේතුවයි. නිදසුනක් වශයෙන්, දිගු කාල පරිච්ඡේදවලින් යුත් මැවීමේ ‘දවස්’ හය අවසානයේදී තමන් කළ දේවල් දෙස ආපසු හැරී බලද්දී දෙවි පැමිණි නිගමනය ගැන උත්පත්ති 1:31හි මෙසේ සඳහන් වේ. “දෙවි තමන් සෑදූ සියල්ලම දුටුවේය. බලව ඒ ඉතා යහපත්ව තිබුණේය.”

“සන්තෝෂවත් දෙවි” ලෙස යෙහෝවාව හැඳින්වීමට නිසැකවම බලපාන එක් හේතුවක් වන්නේ වැඩ කිරීමට ඔහු දක්වන ඇල්මයි. (1 තිමෝති 1:11, NW) එසේනම්, ඔහුව අනුකරණය කිරීමට වඩ වඩා වෑයම් කරද්දී අප ලබන සන්තෝෂයද වැඩි වන්නේ නැද්ද? මේ සම්බන්ධයෙන් පුරාණ ඊශ්‍රායෙලයේ විසූ විශිෂ්ට ඉඳිකරන්නෙකු හා සංවිධායෙකු වූ සාලමොන් රජ මෙසේ ලීවේය. “කොයි මනුෂ්‍යයෙක් නුමුත් කා බී තමාගේ මුළු වෑයමේදී සැප භුක්ති විඳින්නේ නම් එය දෙවිගේ දීමනාවක්ය.”—දේශනාකාරයා 3:13.

වේගයෙන් වෙනස්කම් සිදු වන මේ කාලයේදී රැකියාව පිළිබඳව සමබර හා යහපත් දෘෂ්ටියක් වර්ධනය කරගැනීම පහසු දෙයක් නොවිය හැකියි. එනමුත් ප්‍රේමණීය ලෙස තමන් ලබා දෙන මඟ පෙන්වීම්වලට අවනත වන අයට යෙහෝවා දෙවි ආශීර්වාද කරයි. (ගීතාවලිය 119:99, 100) මෙවැනි අය විශ්වාසය තැබිය හැකි වටිනා සේවකයන් බවට පත්වීම නිසා ඔවුන්ගේ රැකියාව අහිමි වීමට තිබෙන ඉඩ කඩද අඩුයි. එමෙන්ම මොවුන් තමන්ගේ ජීවිතය මෙන්ම රැකියාව දෙස බලන්න පුරුදු වන්නේ හුදෙක් ආර්ථික දෘෂ්ටි කෝණයකින්ම නොව ආත්මික දෘෂ්ටි කෝණයකිනි. මෙහි ප්‍රතිඵලයක් හැටියට, වගකීමෙන් යුතුව තම ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබී තිබේ. එපමණක්ද නොව, තමන්ගේ ප්‍රීතිය හා සුරක්ෂිතබව තම රැකියාව හෝ අස්ථිර රැකියා වෙළෙඳපොළ මත රඳා නොතිබෙන බව තේරුම්ගැනීමටද ඔවුන්ට හැකි වී තිබේ. (මතෙව් 6:31-33; 1 කොරින්ති 2:14, 15) රැකියාවේදී කඩිසරව නමුත් සමබරව වැඩ කිරීමට ඔවුන්ගේ ආත්මික දෘෂ්ටි කෝණය ඔවුන්ට උපකාරවත් වේ.

දෙවිව සතුටු කරමින් කඩිසරව වැඩ කිරීමට පුරුදු වන්න

සමහරුන් වෙන කිසිම දෙයකට වඩා රැකියාවට ප්‍රමුඛත්වය දෙමින් එයටම ඇලීගැලී සිටිති. තවත් සමහරු වැඩ අවසන් කර ගෙදර යන තුරු නොඉවසිල්ලෙන් බලා සිටිති. මේ සම්බන්ධයෙන් තබාගත යුතු සමබර දෘෂ්ටිය කුමක්ද? මෙයට බයිබලය මෙසේ පිළිතුරු සපයයි. “වෙහෙසීමෙන්ද හිස් වූ උත්සාහයෙන්ද දෑත පුරවාගන්නවාට වඩා නිශ්චලකමෙන් එක මිටක් පුරවාගන ඉඳීම හොඳය.” (දේශනාකාරයා 4:6) වෙහෙස මහන්සි වී දිගු වේලාවක් වැඩ කිරීම ඇත්තෙන්ම ‘හිස් වූ උත්සාහයකි.’ ඇත්තෙන්ම ඉන් අපේක්ෂිත ඉලක්ක අත් කරගත නොහැක. මෙසේ වන්නේ මන්ද? මීට හේතුව වන්නේ, එසේ වැඩ කිරීමෙන් අපගේ විශිෂ්ටතම සන්තෝෂය රඳා පවතින දේවල් වන පවුලේ අය හා මිතුරන් සමඟ තිබෙන අපේ සම්බන්ධතාවන්ට, අපේ සෞඛ්‍යයට හා අපේ ආයු කාලයට පවා හානි පැමිණිය හැකි නිසයි. (1 තිමෝති 6:9, 10) වැඩ කිරීම සම්බන්ධයෙන් තිබිය යුතු සමබර දෘෂ්ටිය වන්නේ ආරවුල් හා දැඩි මානසික පීඩනයක් ඇති කරන අධික වැඩවලින් හෙම්බත් නොවී යම් සාමයක් භුක්ති විඳිමින් සම්පත් සීමිත ප්‍රමාණයක් ඇතුව වුවත් සෑහීමට පත්ව සිටීමයි.

බයිබලය එවන් සමබර දෘෂ්ටියක් තබාගැනීමට උනන්දු කළද අලසකම කිසිසේත් අනුමත නොකරයි. (හිතෝපදේශ 20:4) අලසකම ආත්ම ගරුත්වයට හානි පමුණුවන දෙයකි. අන් අය අප කෙරෙහි දැක්විය හැකි ගෞරවය නැති වී යෑමටද එය හේතු වේ. එයින් සිදු කෙරෙන බරපතළම හානිය වන්නේ දෙවි සමඟ තිබෙන අපේ සබඳතාව බිඳී යා හැකිවීමයි. වැඩ කිරීමට අකමැති තැනැත්තා අන් අයගේ වියදමින් ආහාර ලැබීමට වටින්නේ නැති බව බයිබලයෙහි ඍජුව පවසා තිබේ. (2 තෙසලෝනික 3:10) එවැනි තැනැත්තෙකු තමාගේ මාර්ග වෙනස් කරගෙන ගෞරාන්විත ලෙස තමාගේත් තමන්ගෙන් යැපෙන්නන්ගේත් අවශ්‍යතා සපුරාලීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. එලෙස වෙහෙස වී වැඩ කිරීමෙන් දිලිඳු අයට උපකාර කිරීමට පවා ඔහුට හැකි වනු ඇත. ඇත්තෙන්ම එසේ කිරීමට දේවවචනය අපව දිරිමත් කරයි.—හිතෝපදේශ 21:25, 26; එපීස 4:28.

වැඩ කිරීම අගය කොට සැලකීමට දරුවන්ව කුඩා කල පටන් පුහුණු කරන්න

වැඩ කිරීම හා සම්බන්ධ යහපත් පුරුදු ඉබේම ඇති වන්නේ නැත. මේවා කුඩා කල පටන් ඉගෙනගත යුතුයි. මේ නිසා දෙමාපියන්ට බයිබලයේ මෙසේ උපදෙස් දී තිබේ. “දරුවෙකු [හෝ දැරියක] සුදුසු මාර්ගයෙහි පුහුණු කරන්න. එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.” (හිතෝපදේශ 22:6) නැණවත් දෙමාපියෝ වැඩ කරමින් දරුවන්ට යහපත් ආදර්ශයක් තබනවාට අමතරව නිවසේ තිබෙන ඔවුන්ගේ වයසට සරිලන වැඩ කොටස් කිරීම සඳහා ඔවුන්වද කුඩා කාලයේ පටන්ම පුහුණු කිරීමට පටන්ගනිති. ගෙදර දොරේ සමහර වැඩ කිරීමට ළමුන් අකමැති විය හැක. එනමුත් ඔවුන් හොඳින් ඉටු කළ යම් වැඩක් සඳහා ඔවුන්ට ප්‍රශංසා කරද්දී විශේෂයෙන්ම මව හා පියා එසේ කරද්දී තමන්ද පවුලේ වටිනා සාමාජිකයන් බව ඔවුන් තේරුම්ගනු ඇත. කනගාටුවට කරුණක් නම් සමහර දෙමාපියන් දරුවන් වෙනුවෙන් හැම වැඩක්ම කිරීමයි. මෙය ඔවුන්ට ආදරය පෙන්වීමක් කියා ඔවුන් සිතුවද එය සැබෑ ආදරයක් නොවේ. එවන් දෙමාපියන් හිතෝපදේශ 29:21හි [නව අනුවාදය] පවසන මෙම වදන් සිතට ගැනීම හොඳයි. “මෙහෙකරුවෙකු [හෝ දරුවෙකු] බාල වියේ සිටම සව් සැප දී ඇති කළත්, අන්තිමේදී ඔහු තුළ කළගුණ සැලකීමක් නැත.”

වගකීමේ හැඟීමෙන් යුතුව කටයුතු කරන දෙමාපියෝ තම දරුවන්ගේ අධ්‍යාපනය ගැනද දැඩි උනන්දුවක් දක්වමින් පාසැල් අධ්‍යාපනය ලබන කාලයේදී ඉගෙගැනීමට හා මහන්සි වී වැඩ කිරීමට ඔවුන්ව දිරිමත් කරති. පසුකාලයේදී ඔවුන් රැකියාවක් කරන විට එසේ වැඩ කිරීම ඔවුන්ට ප්‍රයෝජනවත් වනු ඇත.

රැකියාවක් තෝරාගැනීමේදී නැණවත් වන්න

අප තෝරාගත යුත්තේ කුමන ආකාරයේ රැකියාවක්ද කියා බයිබලයේ සඳහන් නොවුවද අපේ ආත්මික අභිවෘද්ධියට, අප දෙවිට කරන සේවයට හා වෙනත් වැදගත් වගකීම්වලට බාධාවක් නොවන රැකියාවක් තෝරාගැනීම සම්බන්ධයෙන් කදිම මඟ පෙන්වීම් එහි සඳහන් වේ. නිදසුනක් වශයෙන්, ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “ඇත්තේ තව කෙටි කාලයකි. මෙතැන් පටන් . . . මේ ලෝකය භුක්ති විඳින අය මුළුමනින්ම එය භුක්ති නොවිඳින්නන් මෙන්ද විය යුතුය. මන්ද, මේ ලෝකයේ ස්වභාවය වෙනස් වන්නේය.” (1 කොරින්ති 7:29-31, NW) වත්මන් සමාජ ක්‍රමය තුළ කිසිම දෙයක් ස්ථිර හෝ කල් පවතී කියා සිතිය නොහැක. අපේ මුළු කාලයම හා ශ්‍රමයම එවැනි දෙයකට වැය කිරීම හරියට අපි ජීවිත කාලය පුරාම ඉතිරි කරගත් මුදල් ජලයට යට වන ඉඩමක නිවසක් තැනීම සඳහා ආයෝජනය කරනවා හා සමානයි. එය මොනතරම් අනුවණ ආයෝජනයක්ද!

‘මුළුමනින්ම එය භුක්ති නොවිඳීම’ යන ප්‍රකාශය වෙනත් බයිබල් පරිවර්තනවල සඳහන් වන්නේ “[එහි] ඇලීගැලී නොසිටින්න” හා “[එය] අධික ලෙස භුක්ති නොවිඳින්න” යනුවෙනි. (නව අනුවාදය; පැරණි අනුවාදය) වත්මන් සාමාජ ක්‍රමයේ ආයු කාලය “කෙටි” බවත් එහි “ඇලීගැලී” සිටීම හෝ එය ‘අධික ලෙස භුක්ති විඳීම’ බලාපොරොත්තු සුන්වීමට හා කනගාටුවට අනිවාර්යෙන්ම හේතු වන බවට වූ සත්‍යය නැණවත් අය කවදාවත් සුළු කොට නොසලකති.—1 යොහන් 2:15-17.

‘දෙවි කිසිසේත් ඔබෙන් අහක්ව යන්නේ නැත’

අපේ අවශ්‍යතාවන් අපටත් වඩා හොඳින් යෙහෝවා දනියි. සිය අරමුණ ඉටු වෙද්දී කාලය නමැති ප්‍රවාහයේ අප සිටින්නේ කොතැනද කියාත් ඔහු දනියි. මේ නිසා ඔහු අපට මේ දෙය මතක් කර දෙයි. “ඔබට ඇති දෙයින් තෘප්තියට පත්ව, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මන්ද, ‘මා කිසිසේත් ඔබෙන් අහක්ව යන්නේවත් කිසිසේත් ඔබව අත්හරින්නේවත් නැත’ යයි [දෙවි] කියා ඇත.” (හෙබ්‍රෙව් 13:5, NW) මොනතරම් සැනසිලිදායක වදන්ද! දෙවි මෙන් ඔහුගේ සෙනඟ කෙරෙහි ප්‍රේමණීය සැලකිල්ලක් පෙන්වමින් යේසුස් රැකියාව හා ද්‍රව්‍යමය දේවල් කෙරෙහි තබාගත යුතු නිසි දෘෂ්ටිය ගැන සිය ගෝලයන්ට ඉගැන්වීම සඳහා සිය ප්‍රසිද්ධ කන්ද උඩ දේශනාවෙන් සැලකිය යුතු කොටසක් වෙන් කළේය.—මතෙව් 6:19-33.

එම ඉගැන්වීම්වලට අවනත වීමට යෙහෝවාගේ සාක්ෂිකරුවෝ මහත් පරිශ්‍රමයක් දරති. නිදසුනක් වශයෙන්, විදුලි කාර්මිකයෙකු ලෙස වැඩ කරන සාක්ෂිකරුවෙකුට නිතිපතා අතීකාල සේවයේ නිරත වන්න කියා ඔහුගේ ස්වාමියෙක් පැවසූ විට ඔහු එයට අකමැති විය. මෙයට හේතුව කුමක්ද? ඔහු තම පවුලේ අය සමඟ ගත කිරීමටත් ආත්මික දේවල නිරත වීමටත් යෙදවූ කාලය රැකියාව සඳහා යොදවන්න ඔහු කැමති වූයේ නැති නිසාය. මොහු විශ්වාසය තැබිය හැකි ඉතා හොඳ සේවකයෙකු වූ නිසා ස්වාමියා ඔහුගේ කැමැත්තට ගරු කළේය. සැමවිටම දේවල් එලෙස සිදු නොවන බව සැබෑවකි. ඇතැම් අවස්ථාවලදී තමන් ගත කරන සමබර ජීවන රටාව දිගටම පවත්වාගෙන යෑම සඳහා වෙනත් රැකියාවක් සොයාගැනීමටද සිදු විය හැකියි. කෙසේවෙතත්, තමන්ගේ යහපත් හැසිරීම නිසාත් රැකියාවේදී කඩිසරව වැඩ කිරීමේ යහපත් ආචාර ධර්මය පිළිපැදීම නිසාත් තම ස්වාමිවරුන්ගේ ප්‍රසාදය තමන්ට ලැබී තිබෙන බව යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසය තබන අය අද්දකිති.—හිතෝපදේශ 3:5, 6.

සියලුම රැකියාවලින් තෘප්තිය ලබන කලක්

වර්තමානයේ පවතින අසම්පූර්ණ සමාජ ක්‍රමය තුළ කවදාවත් ගැටලු හා අස්ථාවරභාවයන්ගෙන් තොර රැකියා මෙන්ම රැකියා අපේක්ෂාද නොතිබෙනු ඇත. ලෝක තත්වය දවසින් දවස අස්ථාවර වෙද්දී, ආර්ථිකය ඉහළ පහළ යද්දී, ඇතැම් අවස්ථාවලදී එය බිඳ වැටෙද්දී, තත්වය තව තවත් දරුණු අතට හැරිය හැකියි. එනමුත් මෙම තත්වය පවතින්නේ කෙටි කාලයකටය. රැකියාවක් නොමැති කිසිවෙක් නොසිටින කාලයක් වැඩිකල් නොගොස් පැමිණෙනු ඇත. එපමණක්ද නොව, ඒ කාලයේදී කරන සෑම රැකියාවකින්ම තෘප්තියක්ද සතුටක්ද ලැබිය හැකි වනු ඇත. මෙවන් දෙයක් සිදු විය හැක්කේ කෙසේද? එවන් වෙනසක් ඇති කරන්නේ කුමකින්ද?

යෙහෝවා ඔහුගේ අනාගතවක්තෘවරයෙකු වූ යෙසායා මාර්ගයෙන් ඒ කාලය ගැන මෙසේ පැවසුවේය. “බලව, මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි. පළමු දේ මතක් කරනු ලබන්නේවත් සිහි වන්නේවත් නැත.” (යෙසායා 65:17) මෙහිදී ඔහු කතා කරමින් සිටියේ ඔහු ගෙනෙන අලුත් ආණ්ඩුවක් ගැනයි. එම ආණ්ඩුව යටතේ සම්පූර්ණයෙන්ම අලුත් හා වෙනස් මිනිස් සමාජයක් සැබවින්ම බිහි වනු ඇත.—දානියෙල් 2:44, 45.

ඒ කාලයේදී මිනිසුන් ජීවත් වන ආකාරය හා වැඩ කරන ආකාරය ගැන කලින් සඳහන් කළ අනාවැකියේම මෙසේ සඳහන් වේ. “ඔවුහු ගෙවල් ගොඩනගා ගන එහි වාසය කරන්නෝය. මිදි වතු වවා එහි පල කන්නෝය. ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසය කරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත. මක්නිසාද මාගේ සෙනඟගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය. මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය. ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේවත් විපත්තිය පිණිස උපදවන්නේවත් නැත. මක්නිසාද ඔවුහු යෙහෝවාගෙන් ආශීර්වාද ලබන්නන්ගේ වංශයය. ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමඟ වන්නෝය.”—යෙසායා 65:21-23.

දෙවි පිළියෙළ කර තිබෙන නව ලෝකය මගින් ඇති කිරීමට නියමිතව තිබෙන්නේ මොනතරම් සුවිශේෂි වෙනසක්ද! ඔබ “නිරර්ථකයේ වෙහෙසෙන්නේ” නැති ඔබ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ලබන “පල” පූර්ණ ලෙස භුක්ති විඳීමට හැකි වන එවන් ලෝකයක ජීවත් වෙන්න ඔබ කැමති නැද්ද? එහෙත් එවන් ආශීර්වාද භුක්ති විඳින්නේ “යෙහෝවාගෙන් ආශීර්වාද ලබන්නන්ගේ වංශය” බව සැලකිල්ලට ගන්න. යෙහෝවා ගැනත් ඔහු අපේක්ෂා කරන දේවල් ගැනත් ඉගෙනගැනීමෙන් “ආශීර්වාද ලබන්නන්ගේ වංශයේ” කෙනෙකු වීමට ඔබටත් පුළුවනි. යේසුස් මෙසේ පැවසුවේය. “සදාකාල ජීවනය නම් මේය. එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔවුන් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3, NW) දෙවිගේ වචනය වන බයිබලය ගැන ක්‍රමානුකූලව ඉගෙනගැනීමට උපකාරවත් වන පාඩමක් මගින් එම ජීවනදායක දැනුම ලබාගැනීමට ඔබට උපකාර කරන්න යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සතුටු වෙති.

[6වන පිටුවේ කොටුව]

“නොනවතින ඉල්ලුමක්”

“ඔබ කුමක් කළත්, මිනිසුන්ට නොව, යෙහෝවාට කරන්නාක් මෙන්, මුළු ආත්මයෙන්ම එහි යෙදී සිටින්න” කියා බයිබලයේ සඳහන් වේ. (කොලොස්සි 3:23, NW [3:24 පැ.අ.]) මෙම කදිම ප්‍රතිපත්තියට අනුකූල වෙමින් තමන්ගේ රැකියාවේදී වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ යහපත් ආචාර ධර්මය පිළිපදින කෙනෙකුට රැකියාවක් දෙන්න කවුරුත් කැමතියි. මෙය සැලකිල්ලට ගනිමින් ජේ. ජේ. ලූන නමැත්තා සකස් කළ එක් පොතක (How to Be Invisible) සේවා යෝජකයන්ට නිර්දේශ කර තිබෙන්නේ යම් ආගමික කණ්ඩායමක සිටින ක්‍රියාශීලී සාමාජිකයන්ව රැකියාවන් සඳහා බඳවාගන්න කියාය. ඔහු තවදුරටත් මෙසේද සඳහන් කරයි. “ඇත්තටම එසේ කිරීමේදී සිදු වන්නේ සේවා යෝජකයන් [යෙහෝවාගේ] රැකියා සඳහා සාක්ෂිකරුවන්ව බඳවාගැනීමයි.” මෙයට හේතු කිහිපයක් ඔහු ඉදිරිපත් කරන අතර, ඉන් එක් හේතුවක් වන්නේ අවංකකම සම්බන්ධයෙන් ඔවුන් උසුලන ප්‍රසිද්ධියයි. ඔවුන්ට විවිධ රැකියා ක්ෂේත්‍රවල “නොනවතින ඉල්ලුමක්” ඇතිවීමට එය හේතු වේ.

[5වන පිටුවේ පින්තූර]

ආත්මික දේවල් මෙන්ම විනෝදය භුක්ති විඳීමට ඉඩ කඩ සැලසෙන සමබර රැකියාවකින් තෘප්තිය ලැබේ