Skip to content

පටුනට යන්න

එපා ඉඩ දෙන්න ඔබේ දරුවාගේ සිත අයාලේ යන්න!

එපා ඉඩ දෙන්න ඔබේ දරුවාගේ සිත අයාලේ යන්න!

එපා ඉඩ දෙන්න ඔබේ දරුවාගේ සිත අයාලේ යන්න!

දක්ෂ කුඹල්කරුවෙකුගේ දෑතින් වටිනාකමක් නැති මැටි පිඩක් මනබඳින භාණ්ඩයක් බවට පරිවර්තනය විය හැකියි. එවැනි නොවටිනා දෙයකින් වටිනා භාණ්ඩ රැසක් සෑදිය හැක්කේ නිපුණ ශිල්පීන් ටිකදෙනෙකුට පමණයි. සියවස් ගණනාවක් පුරා කෝප්ප, පිඟන්, හැළි වළං, ඇසුරුම් බඳුන් හා විසිතුරු මල් බඳුන් ලබාගැනීම සඳහා සමාජය කුඹල්කරුවා මත රඳා ඇත.

දෙමාපියෝද තම දරුවන්ගේ චරිතය හා පෞද්ගලිකත්වය හැඩගැස්වීමෙන් සමාජය වෙනුවෙන් ඉටු කරන්නේ මිල කළ නොහැකි යහපතකි. බයිබලයේ අප හැම කෙනෙකුවම මැටි හා සන්සන්දනය කර තිබෙන අතර ‘මැටිවලට’ සමාන කළ හැකි තම දරුවන්ව සකස් කිරීමේ වැදගත් කාර්යය දෙවි දෙමාපියන්ට පවරා තිබේ. (යෝබ් 33:6; උත්පත්ති 18:19) අලංකාර මැටි බඳුනක් නිමැවීම පහසු දෙයක් නොවන්නා සේම දරුවෙකු වගකීම් දැරිය හැකි සමබර ආකල්ප ඇති වැඩිහිටියෙකු කිරීමද පහසු දෙයක් නොවෙයි. එවැනි පරිවර්තනයක් අහම්බෙන් සිදු නොවේ.

අපේ දරුවන්ගේ සිත් සකස් කරන බොහෝ බලවේගයන් ක්‍රියාත්මක වෙමින් පවතී. අභාග්‍යයකට මෙන් මේවායින් සමහරක් විනාශකාරීයි. එබැවින් ඥානවන්ත දෙමාපියෙකු දරුවාගේ සිත අයාලේ යෑමට ඉඩ නොහැර ඔහුව හෝ ඇයව ‘සුදුසු මාර්ගයෙහි’ පුහුණු කරනු ඇත්තේ ‘වයස්ගත වූ කලත් ඔහු එයින් අහක්ව නොයන්නේය’ යන නිසැකකම ඇතුවයි.—හිතෝපදේශ 22:6.

දරුවෙකු ඇති දැඩි කරන දිගු කාලය පුරා වැදගත් ක්‍රියාවලියන් රැසක් කිරීමට සිදු වේ. දරුවාගේ සිතට අභියෝග කරන නිෂේධාත්මක බලපෑම් පලවාහැරීම සඳහා ඥානවන්ත ක්‍රිස්තියානි දෙමාපියන්ට කාලය කැප කිරීමට සිදු වනු ඇත. “ක්‍රිස්තියානි ක්‍රමයට අනුව” තම දරුවාට ඉවසිලිවන්තව “උපදෙස් හා අවවාද” දීමේදී දෙමාපියන්ගේ ප්‍රේමයේ තරම පරීක්ෂණයට ලක් වෙයි. (එපීස 6:4, ද නිව් ඉංග්ලිෂ් බයිබල්) කුඩා අවදියේදීම ඔවුන්ව පුහුණු කරනවා නම් දෙමාපියන්ට තම වැඩ කොටස පහසු වනු ඇති බව නොකිවමනාය.

කුඩා අවදියේ පටන්

කුඹල්කරුවන් කැමැත්තක් දක්වන්නේ නිසි හැඩය ගන්වමින් භාණ්ඩයක් සෑදිය හැකි මෙන්ම එය සෑදූ පසු හැඩය වෙනස් නොවී තබාගත හැකි ආකාරයේ පදම් කළ මැටිවලින් තම කාර්යය නිම කිරීමටයි. මැටි පිරිපහදු කළ පසු මාස හයක් ඇතුළත එය භාවිත කිරීමට ඔවුහු කැමැත්තක් දක්වති. එලෙසම, තම දරුවාගේ සිත සකස් කිරීමට පටන්ගැනීම සඳහා හොඳම කාලය වන්නෙත් ඔවුන් යමක් හොඳින් පිළිගන්නා මෙන්ම ඔවුන්ව පහසුවෙන් හැඩගැස්වීමට පුළුවන් අවදියයි.

ළමා විශේෂඥයන් පවසන්නේ දරුවෙකුට මාස අටක් වන විට ඔහු තම මව් භාෂාවේ ශබ්ද වටහාගැනීමට ඉගෙනගෙන, තම දෙමාපියන් සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගෙන, යම්කිසි අවබෝධයක් ඇතුව දේවල් කිරීමේ හැකියාව වර්ධනය කරගෙන, තමා වටා ඇති ලෝකය ගවේෂණය කිරීමට පටන්ගෙන තිබෙන බවයි. ඔහුගේ සිත සකස් කිරීමට සුදුසුම කාලය ඔහුගේ පුංචි කාලයයි. තිමෝති මෙන් ඔබේ දරුවාද ‘ළදරු වියේ පටන් ශුද්ධ ලියවිලි දැන සිටී’ නම් එය මොනතරම් ප්‍රයෝජනයක් වේවිද!—2 තිමෝති 3:15, NW. *

ළදරුවෝ සාමාන්‍යයෙන්ම තම දෙමාපියන් අනුකරණය කරති. හඬවල්, වදන් සහ අංග චලනයන් අනුකරණය කරනවාට අමතරව දෙමාපියන් ආදරය, කරුණාව හා දයාව පෙන්වන විට ඔව්හු එම ගුණාංගද ඉගෙනගනිති. යෙහෝවාගේ නීතිවලට අනුව අපේ දරුවන්ව පුහුණු කිරීමට අපට වුවමනා නම් ප්‍රථමයෙන්ම අපේ සිත් තුළ දෙවිගේ ආඥා තිබෙන බව ඔප්පු කළ යුතුයි. එවැනි අගය කිරීමක් තිබේ නම් යෙහෝවා සහ ඔහුගේ වචනය ගැන නිතිපතා තම දරුවන් සමඟ කතා කිරීමට දෙමාපියන්ව පෙලඹෙනු ඇත. “නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනය කරන කලද නැගිටින කලද ඒවා ගැන කතා කරන්න” කියා බයිබලයේ අවවාද කරයි. (ද්විතීය කථාව 6:6, 7) ෆ්‍රැන්සිස්කෝ සහ රෝසා තම කුඩා දරු දෙදෙනා සමඟ මෙය ප්‍රායෝගිකව කරන ආකාරය සම්බන්ධයෙන් මෙසේ පැහැදිලි කරති. *

“එදිනෙදා කරන කතා බහට අමතරව අපි හැම දවසකම අඩුම තරමින් විනාඩි 15ක්වත් ඔවුන් එක්ක වෙන වෙනම කතා කරන්න උත්සාහ කරනවා. ගැටලුවක් තිබෙන බව දැනුණහම අපි ඊට වඩා වැඩි වේලාවක් ඔවුන් එක්ක ගත කරන අතර ඇත්තෙන්ම ඔවුන්ට තවත් ගැටලු තිබෙන බව එවිට අපිට දැනගන්න ලැබෙනවා. උදාහරණයක් කියනවා නම්, පස් හැවිරිදි අපේ පුතා මෑතකදී පාසැලට ගිහින් ඇවිත් අපිට කිව්වා එයා මීට පස්සේ යෙහෝවාව විශ්වාස කරන්නේ නැහැ කියලා. පංතියේ ළමයෙක් දෙවි කෙනෙක් නැහැ කියලා එයාට විහිළු කරලා තිබුණා.”

දරුවන් තම මැවුම්කරු කෙරෙහි ඇදහිල්ල වර්ධනය කරගත යුතු බව මෙම දෙමාපියන්ට වැටහිණ. දෙවිගේ මැවිල්ලට ඔවුන් ස්වභාවයෙන්ම ආකර්ෂණය වන අවස්ථාවල එවැනි ඇදහිල්ලක් ගොඩනැඟීමට දෙමාපියන්ට හැකියි. සතුන්ව අල්ලන්න, මල් කඩන්න, එහෙමත් නැත්නම් මුහුදු වෙරළේ සෙල්ලම් කරන්න දරුවන් මොනතරම් ආසද! මැවිල්ල හා මැවුම්කරු අතර ඇති සම්බන්ධය තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කරන්න දෙමාපියන්ට හැකියි. (ගීතාවලිය 100:3; 104:24, 25) ඔවුන් යෙහෝවාගේ මැවිල්ල සඳහා ඇති කරගන්නා ගරුබිය හා ගරුත්වය ඔවුන්ගේ ජීවිතය පුරාවටම තිබිය හැකියි. (ගීතාවලිය 111:2, 10) එවැනි අගයක් තිබෙන විට දරුවාට පුළුවන් දෙවිව සතුටු කිරීමට ආශාවක් සහ ඔහුව අසතුටු කිරීමට ඇති බියක් වර්ධනය කරගන්න. එවිට ‘නපුරෙන් දුරුවීමට’ ඔහු පෙලඹේ.—හිතෝපදේශ 16:6.

කුඩා දරුවන් වැඩිදෙනෙක් විමසිලිමත් මෙන්ම ඉගෙනීමට යුහුසුලු අය වුවත් ඔවුන් කීකරුවීමට නිරන්තරයෙන්ම නැඹුරුවාවක් දක්වන්නේ නැහැ. (ගීතාවලිය 51:5) ඔවුන් සමහර අවස්ථාවලදී තමන්ට කැමති දේ කිරීමට හෝ ඕන ඕන දේ ලබාගැනීමට තරම් මුරණ්ඩු විය හැකියි. දෙමාපියන් ස්ථිරව, ඉවසිලිවන්තව සිටිය යුතු අතර මෙම ආකල්ප කිඳාබැසීම වැළැක්වීම සඳහා ඔවුන්ව හික්මවිය යුතුයි. (එපීස 6:4) සාර්ථක ලෙස දරුවන් පස්දෙනෙකු ඇති දැඩි කර ඇති ෆිලිස් හා පෝල්ගේ අද්දැකීම වූයේද එයයි.

ෆිලිස් මෙසේ මතකය අවදි කරයි. “හැම දරුවෙකුටම ඔහුටම ආවේණික වූ පෞද්ගලිකත්වයක් තිබුණත් ඒ හැම එක්කෙනාටම ඕන වුණේ තමන්ට කැමති දේ කරන්නයි. ලේසි නැහැ, ඒත් අන්තිමේදී ‘නැහැ’ කියන වචනයේ තේරුම ඔවුන් ඉගෙනගත්තා.” ඇගේ සැමියා වූ පෝල් මෙසේ පැවසුවා. “තේරුම්ගන්න පුළුවන් වයසක හිටිය කාලයේදී අපි බොහෝවිට අපේ තීරණවලට හේතු ඔවුන්ට පහදා දුන්නා. අපි හැම වෙලාවෙම කරුණාවන්ත වෙන්න වෑයම් කළත් දෙවි අපිට දීලා තියෙන අධිකාරියට ගරු කරන්න අපි ඔවුන්ට ඉගැන්නුවා.”

දරුවෙකු හැදී වැඩෙන කාලයේදී ඔහුට ගැටලු ඇතිවීමට ඉඩ කඩ තිබෙන අතර ඔහුගේ නොමේරු සිත අලුත් පරීක්ෂා බොහෝමයකට මුහුණ දෙන නහඹර වියේදී ලොකුම අභියෝගයන් එන බව දෙමාපියන් වැඩිදෙනෙකුට හැඟී ඇත.

නහඹරයෙකුගේ සිතට ළංවීම

මැටි වියළෙන්න කලින් කුඹල්කරුවා තම කාර්යය සම්පුර්ණ කළ යුතුයි. භාණ්ඩය නිම කිරීමට අතිරේක වෙලාවක් ගැනීම සඳහා මැටිවල තෙතමනය හා මෙළෙක් ගතිය තබාගැනීමට ඔහු මැටිවලට වතුර එක් කිරීමට ඉඩ ඇත. එලෙසම, තම නහඹරයාගේ සිත මුරණ්ඩු වීම වළකාගැනීමට දෙමාපියන් වෙහෙස මහන්සි විය යුතුයි. ඇත්තෙන්ම, ඔවුන්ගේ ප්‍රධාන මෙවලම වන්නේ බයිබලයයි. එය යොදාගනිමින් “අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමටත්, . . . සෑම යහපත් ක්‍රියාවක් සඳහාම [දරුවන්ව] සම්පූර්ණයෙන් සූදානම්” කිරීමටත් ඔවුන්ට හැකියි.—2 තිමෝති 3:15-17, NW.

කෙසේවුවද, නහඹරයෙකු කුඩා කාලයේදී මෙන් ඉක්මනින්ම දෙමාපියන්ගේ උපදෙස් පිළි නොගැනීමට ඉඩ ඇත. නහඹරයන් තම මිතුරන්ට වැඩි අවධානයක් දීමට පටන්ගත හැකි නිසා දෙමාපියන් සමඟ විවෘතව මෙන්ම කැමැත්තෙන්ම සංවාදයක නොයෙදෙනවා විය හැකියි. දෙමාපියන්ගේ හා දරුවන්ගේ කාර්යභාරය නව මුහුණුවරක් ගන්න නිසා ඉවසීම හා දක්ෂතා වැඩි කිරීමට කාලයකි එය. ශාරීරික හා චිත්තවේගීය වෙනස්කම් අනුව හැඩගැසීමට නහඹරයාට සිදු වේ. ජීවිත කාලයටම බලපෑ හැකි තීරණ ගැනීම හා ඉලක්ක තැබීම අරඹන්නත් ඔහුට සිදු වේ. (2 තිමෝති 2:22) මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී තම සිතට විනාශකාරී බලපෑමක් විය හැකි බලවේගයක් වන තුල්‍ය පීඩනය සමඟද ඔහු කටයුතු කළ යුතුය.

එක් විශේෂිත සිද්ධියකින් එවැනි පීඩනයක් එල්ල වන්නේ කලාතුරකිනි. එය සාමාන්‍යයෙන් ඇති වන්නේ අධිෂ්ඨානය දුර්වල කරවන අදහස් හෝ එක පෙළට සිදු වන සිද්ධීන් ගණනාවක් මගිනි. ඒවා බොහෝදෙනෙකුගේ දුර්වල තැනට පහර දෙයි. අනිත් යෞවනයන් අතර තමන් කොන් වේවිය යන දැඩි බිය බොහෝදෙනෙකු සතු එම දුර්වලකමයි. තමා ගැනම වුවමනාවට සිතීම හා තමාව පිළිගනු ලැබීමට කැමති වීම යන කාරණය සමඟ පොරබදන යෞවනයෙක් අනිත් යෞවනයන් ඉදිරිපත් කරන “ලෝකයේ දේවල්” අනුමත කිරීමට පටන්ගත හැකියි.—1 යොහන් 2:15-17; රෝම 12:2.

තුල්‍යයන්ගේ බලපෑම තවත් වැඩි කිරීමට අසම්පූර්ණ සිතේ ස්වභාවික ආශාවන්ද හේතු විය හැකි අතර මේ නිසා කාරණා තවත් දරුණු වෙන්න පුළුවන්. “කැමති දෙයක් කරමින් විනෝද වෙන්න” වැනි උපදෙස් සිතට බෙහෙවින් ප්‍රිය විය හැකියි. මාරියා තම අද්දැකීම මෙසේ සිහියට නඟයි. “මොන ප්‍රතිඵලයක් ලැබුණත් හිතේ හැටියට විනෝද වෙන්න යෞවනයන්ට අයිතියක් තියෙනවා කියලා හිතුව අනිත් යාළුවන්ට (නහඹරයන්ට) මම ඇහුම්කන් දුන්නා. මගේ ඉස්කෝලේ යාළුවෝ කරපු දේම කරන්න මටත් ඕන වුණ නිසා මම ලොකු අමාරුවක නොවැටී බේරුණේ අනූනවයෙන්.” දෙමාපියෙකු වශයෙන් ඔබට වුවමනා වන්නේ එවැනි පීඩනවලින් ජයගැනීමට ඔබේ නහඹරයාට උදව් කිරීමට වුවත් කෙසේද ඔබට එසේ කළ හැකි වන්නේ?

ඔබේ වචනයෙන් හා ක්‍රියාවෙන් ඔබ සැලකිලිමත් වන බව ඔහුට යළි යළිත් තහවුරු කරන්න. යම් දේවල් ගැන ඔහුට හැඟෙන ආකාරය දැනගැනීමට ප්‍රයත්නයක් දරන්න. ඔහුගේ ගැටලු තේරුම්ගැනීමට වෑයම් කරන්න. ඔබ පාසැල් ගිය කාලයේදී මුහුණ දුන් ගැටලුවලට වඩා ඒවා බෙහෙවින් අසීරු ඒවා විය හැකියි. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සියල්ල නොසඟවා කීමට හැකි කෙනෙකු ලෙස ඔබව දකින්න ඔබේ දරුවාට පුළුවන් විය යුතුයි. (හිතෝපදේශ 20:5) ඔහුගේ කායික ඉරියව්වලින් හෝ මනෝ ස්වභාවයන්ගෙන් ඔහුගේ චිත්තපීඩාව හෝ ව්‍යාකූලත්වය දැකගැනීමට ඔබට හැකි වෙයි. ඔහුගේ නිහඬ ආයාචනාවලට ප්‍රතිචාරය දක්වමින් ‘ඔහුගේ සිත සනසවන්න.’—කොලොස්සි 2:2.

හරි දේ ගැන ස්ථිර වීම අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත. ඇතැම් අවස්ථාවලදී අදහස් ගැටෙන බව බොහෝ දෙමාපියන්ට දැනී ඇති නමුත් හරි පදනමක් මත තම තීරණය ගෙන තිබෙන විට එය වෙනස් කිරීම ඔවුන්ට කළ නොහැකි දෙයකි. තවත් දෙයක් නම්, ආදරෙන් හික්මවනවාද, එසේ කිරීම අවශ්‍ය නම් එය කරන්නේ කෙලෙසද කියා තීරණය කිරීමට පෙර ඔබ තත්වය හොඳින් තේරුම්ගෙන තිබෙන බව සහතික වෙන්න.—හිතෝපදේශ 18:13.

සභාව තුළින් පවා

මැටි බඳුනක් නිම කර ඇති බව පෙනිය හැකි නමුදු එය පෝරණුවේ පුළුස්සා නොතිබුණහොත් එතුළට දමන දියරයන් මගින්ම එය කැඩී බිඳී යා හැකියි. බයිබලයේ පරීක්ෂා සහ දුෂ්කරතා එම දැවීමේ ක්‍රියාවලිය හා සන්සන්දනය කරන්නේ අප ඇත්තෙන්ම කුමනාකාරයේ පුද්ගලයන්ද කියා ඒවා මගින් පිළිබිඹු වෙන නිසායි. විශේෂයෙන්ම අපේ ඇදහිල්ල හා බැඳි පරීක්ෂා ගැන බයිබලයේ කතා කරන නමුත් පොදුවේ අනිකුත් පරීක්ෂා සම්බන්ධයෙන්ද එම කාරණය අදාළ වන බව නොකිවමනායි. (යාකොබ් 1:2-4) යෞවනයන් මුහුණ දෙන ඇතැම් අසීරු පරීක්ෂා පැමිණෙන්නේ සභාව තුළින්ම වීම පුදුමයට කරුණකි.

ඔබේ නහඹර දරුවා හොඳ ආත්මික සෞඛ්‍යයකින් සිටින බව පෙනෙන්න තිබුණත් සිතේ තිබෙන දෙගිඩියාව නිසා ඔහු ඇතුළාන්තයෙන් සටනක් කරමින් සිටිනවා විය හැකියි. (1 රාජාවලිය 18:21) උදාහරණයක් බලමු. රාජ්‍ය ශාලාවට පැමිණි අනෙක් යෞවනයන්ගේ ලෞකික අදහස්වලට මෙගන් මුහුණ දුන්නා.

“ක්‍රිස්තියානි ආගම නීරස එකක්, විනෝදයට බාධාවක් කියා සලකපු කණ්ඩායමක බලපෑමට මං අහු වුණා. ඔවුන් මේ වගේ දේවල් කිව්වා. ‘මට 18 වුණ ගමන්ම මම සත්‍යය අත්අරිනවා’ එහෙම නැත්නම් ‘මං බලාගෙන ඉන්නේ කොයි වෙලේ හරි සත්‍යයෙන් ඈත් වෙන්නයි.’ තමන්ගේ අදහස්වලට විරුද්ධ යමක් පැවසුව යෞවනයන්ව ඔවුන් ඈත් කළා. ශුද්ධවන්තයන් කියලා ඔවුන්ට නමකුත් දැම්මා.”

අනිත් අයව පොලඹවන්න නරක ආකල්පයක් තිබෙන එක්කෙනෙක් හෝ දෙන්නෙක් ප්‍රමාණවත්. කණ්ඩායමේ සිටින්නන් සාමාන්‍යයෙන් පෙලඹෙන්නේ කණ්ඩායමේ වැඩිදෙනෙක් කරන දේ කරන්නයි. අනුවණකම හා බොරු චණ්ඩිකම මඟින් නැණ නුවණ හා විනීතකම යටපත් විය හැකියි. අනිත් අයව අනුගමනය කිරීමට යෑමෙන් ක්‍රිස්තියානි යෞවනයන් කරදරේ වැටීම පිළිබඳ කනගාටුදායක සිද්ධීන් බොහෝ රටවලින් අසන්න ලැබී ඇත.

ඇත්තෙන්ම, නහඹරයන්ට ප්‍රීතිමත් ඇසුරක් යම් දුරකට අවශ්‍යයි. දෙමාපියෙකු වශයෙන් එය ලබා දීමට ඔබට හැක්කේ කෙසේද? ඔවුන්ට විනෝද වෙන්න සැලැස්විය හැකි ආකාරය ගැන හොඳින් සිතා බලා පවුලේ සාමාජිකයන් සමඟ හෝ යෞවන හා වැඩිහිටි මිශ්‍ර කණ්ඩායමක් සමඟ ආශා හිතෙන යමක් කිරීමට සැලසුම් යොදන්න. ඔබේ දරුවාගේ මිතුරන්ව දැනහඳුනා ගන්න. ඔවුන්ව ආහාර වේලකට කැඳවන්න. නැතහොත් ඔවුන් සමඟ සන්ධ්‍යාවක් ගත කරන්න. (රෝම 12:13) සංගීත භාණ්ඩයක් ඉගෙනගැනීම හෝ තවත් භාෂාවක් හෝ ශිල්පයක් ප්‍රගුණ කිරීම වැනි වැඩදායක ක්‍රියාකාරකමක නියැළීමට ඔබේ දරුවාව උනන්දු කරන්න. බොහෝදුරට, නිවසේ සුරක්ෂිත පරිසරය තුළම මෙය කිරීමට ඉඩ කඩ තිබේ.

පාසැල් යෑම ආරක්ෂාවක් විය හැක

නහඹරයෙකුට විනෝදයට නිසි තැන දීමට පාසැල් යෑමද උපකාරවත් විය හැක. වසර 20ක් පුරා විද්‍යාලයක පරිපාලකයෙකුව සිටි ලොලී මෙසේ පවසයි. “සාක්ෂිකාර යෞවනයන් බොහෝදෙනෙක් පාසැල් අධ්‍යාපනය ලබනවා මම දැකලා තියෙනවා. හුඟදෙනෙක් හොඳින් හැසිරුණ නමුත් අනිත් ශිෂ්‍යයන් එක්ක බැලුවහම සමහරුන්ගේ නම් ඒතරම් වෙනසක් පේන්න තිබුණේ නැහැ. නිරන්තරයෙන්ම හොඳ ආදර්ශ වුණේ තම අධ්‍යාපන කටයුතු කෙරෙහි උනන්දුවක් දැක්වුව අයයි. දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය කෙරෙහි ක්‍රියාශීලී උනන්දුවක් දැක්වීමත්, ඔවුන්ගේ ගුරුවරුන්ව දැනහඳුනා ගැනීමත් හොඳ වාර්තාවක් ලබාගැනීමත් වැදගත් බව තම දරුවන්ට ඒත්තුගන්වන්න කියලා මම තදින්ම දෙමාපියන්ට අවවාද කරන්න කැමතියි. විශිෂ්ට වාර්තා ලබාගනු ඇත්තේ සමහරෙක් විය හැකි නමුත් සෑහීම ගෙන දෙන මට්ටමකට ළඟාවීමට හා තම ගුරුවරුන්ගේ ගෞරවයට පාත්‍රවීමට සියල්ලන්ට හැකියි.”

එවැනි පාසැල් අධ්‍යාපනයක් ලැබීම නහඹරයන්ට ආත්මික ප්‍රගතියක් ලැබීමටද උපකාරවත් විය හැක. හොඳ අධ්‍යාපන පුරුදු, මානසික හික්මවීම හා වගකීමේ හැඟීමක් ඇතුව කටයුතු කරන ආකාරය ඔවුන්ට උගන්වන්න එයට හැකියි. හොඳින් කියවීමට හා අදහස් ග්‍රහණය කරගැනීමට තිබෙන ඔවුන්ගේ හැකියාව නිසැකවම ඔවුන්ට දේවවචනය පිළිබඳ වඩාත් හොඳ ශිෂ්‍යයන් හා ගුරුවරුන් වීමට ඉවහල් වනු ඇත. (නෙහෙමියා 8:8) පාසැල් වැඩවලට සහ ආත්මික අධ්‍යයනයට කාලය මිඩංගු කිරීමට ඔවුන්ට සිදු වන නිසා විනෝදයට වැඩි කාලයක් නොදී ඊට නිසි තැන දීමට ඔවුන්ට හැකි වේ.

ගෞරවය ඔබට මෙන්ම යෙහෝවාට

පුරාණ ග්‍රීසියේ තිබූ බොහෝ මල්බඳුන්වල කුඹල්කරුවාගේ සහ එය අලංකාර කළ තැනැත්තාගේ අත්සන් දක්නට ලැබුණා. ඒ හා සසඳන කල පවුලක දරුවන් ඇඹීමට සාමාන්‍යයෙන් දෙදෙනෙක් හවුල් වෙනවා. පියා සහ මව යන දෙදෙනාම දරුවාගේ සිත සකස් කිරීමෙහි හවුල් වන අතර උපමාලංකාරයෙන් දක්වතොත් ඔබේ දරුවාට ඔබ දෙදෙනාගේම “අත්සන්” තබා ඇත. සාර්ථක කුඹල්කරුවෙකු හෝ අලංකාරකරන්නෙකු මෙන් වටිනා මෙන්ම ප්‍රසන්න යෞවනයෙකු බිහි කිරීමට ඔබ දැරූ ප්‍රයත්නය ගැන ඔබට ආඩම්බර විය හැකියි.—හිතෝපදේශ 23:24, 25.

මෙම ශ්‍රේෂ්ඨ ප්‍රයත්නයේ සාර්ථකත්වය බොහෝදුරට රඳා පවතින්නේ ඔබේ දරුවාගේ සිත කෙතරම් දුරකට ඔබ සකස් කර තිබෙනවාද යන කාරණය මතයි. ඔබට මෙසේ කීමට හැකි වේවිය යන්න අපේ ප්‍රාර්ථනයයි. “ඔහුගේ දෙවිගේ ව්‍යවස්ථාව ඔහුගේ සිතෙහිය. ඔහුගේ අඩිවලින් එකක්වත් නොලිස්සන්නේය.” (ගීතාවලිය 37:31) අයාලේ යෑමට නොදී දරුවෙකුගේ සිත රැකගැනීම ඉතා වැදගත්.

[පාදසටහන්වල]

^ 8 ඡේ. සමහර දෙමාපියෝ ඔවුන්ගේ අලුත උපන් ළදරුවාට ඇසෙන සේ බයිබලය කියවති. සැනසීම ගෙන දෙන කටහඬ ඇසීම හා මෙම ප්‍රීතිමත් අද්දැකීම දරුවාගේ ජීවිතයේ ඉතිරි කාලයේදී කියවීම සඳහා ආශාවක් ඇති කරන උත්තේජකයක් විය හැකියි.

^ 9 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.