Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යෙසායා 30:21හි යෙහෝවාගේ හඬ “ඔබට පිටුපසින්” ඇසෙන බව පවසතත්, කලින් පදයෙහි යෙසායා 30:20 “ඔබේ ඇස් ඔබේ උදාර උපදේශකව දකින ඇස් විය යුතුයි” කියා පවසමින් යෙහෝවා ඉදිරියෙන් සිටින බව අඟවන්නේ මන්ද?

යෙසායා 30:20, 21හි [NW] මෙසේ පවසයි. “ඔබේ උදාර උපදේශක තවත් සැඟ වී නොසිටින්නේය. ඔබේ ඇස් ඔබේ උදාර උපදේශකව දකින ඇස් විය යුතුයි. ඔබ දකුණට හැරෙන විට හෝ වමට හැරෙන විට ‘ජනයෙනි, මාර්ගය මෙයයි. මෙහි ඇවිදින්න’ යයි ඔබට පිටුපසින් කියන හඬක් ඔබේ කන්වලට ඇසෙනු ඇත.”

එම කොටස වචනානුසාරයෙන් ගත් කල එන අදහස නම්, පාඨකයා උදාර උපදේශක වන යෙහෝවාව දකින්නේ තමන්ට ඉදිරියෙන් වන නමුත් ඔහුගේ හඬ ඇසෙන්නේ පිටුපසින් බවය. කෙසේවෙතත්, මෙම වචන උපමාලංකාරයෙන් පවසා ඇති බැවින් තේරුම්ගත යුත්තේද ඒ ආකාරයෙන්මය.

විසිවන පදය කියවද්දි මනසේ මැවෙන්නේ තම ස්වාමියාගේ උපදෙස් පරිදි වැඩ කිරීමට නිරන්තරයෙන් සූදානම්ව සිටින සේවකයෙකුගේ පින්තූරයකි. තම ස්වාමියා තමාගෙන් අපේක්ෂා කරන දේ අවබෝධ කරගැනීම සඳහා සේවකයා ඉතා ඕනෑකමින් ස්වාමියාගේ අත දෙස බලා සිටින්නාක් මෙන්, යෙහෝවාගේ සෙනඟද යෙහෝවා තම භූමික සංවිධානය තුළින් අද දින දෙන බයිබලය මත පදනම් තත්කාලීන උපදෙස් වෙත හොඳින් අවධානය යොමා සිටිති. (ගීතාවලිය 123:1, 2) ඇත්තෙන්ම, ඔවුහු “විශ්වාස වූ නුවණ ඇති දාසයා” මගින් යෙහෝවා දෙන ඕනෑම මඟ පෙන්වීමක් කෙරෙහි අවධානය යොමා, ඔහුගේ උපදෙස් පරිදි වැඩ කරති.—මතෙව් 24:45-47.

එසේනම්, ඔහුගේ සේවකයන්ට පිටුපසින් ඇසෙන හඬ ගැන කුමක් කිව හැකිද? පිටුපසින් ඇසෙන හඬ, දෙවි ලිඛිත වචනය තුළින් අතීතයේදී කතා කළ හඬ බව නිගමනය කිරීම සාධාරණය. එම හඬ අවබෝධ කර දෙන්නේ “විශ්වාසවන්ත ගබඩාකාරයා” මගිනි. (ලූක් 12:42, NW) බයිබලය උද්‍යෝගයෙන් අධ්‍යයනය කිරීම මගින් හා එහි ඇති ප්‍රතිපත්ති තමන්ට අදාළ කරගැනීම මගින් දෙවිගේ නවීන දින සේවකයෝ ඔහුගේ හඬ අසති. එසේ කිරීමට ඔවුන්ට උපකාරවත් වන්නේ “විශ්වාසවන්ත ගබඩාකාරයා” වන “විශ්වාස වූ නුවණ ඇති දාසයා” විසින් සූදානම් කර තිබෙන ප්‍රකාශනයි. උදාර උපදේශකයා සපයන කාලෝචිත මඟ පෙන්වීම මත රඳා සිටීමෙන් හා ඒ ගැන සාවධානව සිටීමෙන්ද, සියවස් ගණනකට පෙර ලියූ දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමෙන්ද තමන් ඉදිරියේ ඔහු සිටිනාකාරය ඔවුන් උපමාලංකාරයෙන් දකින අතර පිටුපසින් එන ඔහුගේ හඬද ඔවුන්ට ඇසේ.—රෝම 15:4.