Skip to content

පටුනට යන්න

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයෙන් ඔබට අර්ථවත් වන්නේ කුමක්ද?

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයෙන් ඔබට අර්ථවත් වන්නේ කුමක්ද?

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයෙන් ඔබට අර්ථවත් වන්නේ කුමක්ද?

“නුසුදුසු ලෙස රොටිය කන හෝ ස්වාමීන්ගේ කුසලානෙන් බොන ඕනෑම කෙනෙක්, ස්වාමීන්ගේ ශරීරය ගැනත් රුධිරය ගැනත් වරදකරුවෙක් වන්නේය.”—1 කොරින්ති 11:27, NW.

1. වර්ෂ 2003 සඳහා පැවැත්වීමට සැලසුම් යොදා තිබෙන වැදගත්ම සැමරීම කුමක්ද? එහි මූලාරම්භය ගැන කුමක් පැවසිය හැකිද?

වර්ෂ 2003 සඳහා පැවැත්වීමට සැලසුම් යොදා ඇති වැදගත්ම සැමරීම අප්‍රියෙල් 16වන දින හිරු බැසයෑමෙන් අනතුරුව පැවැත්වේ. එදාට යෙහෝවාගේ සාක්ෂිකරුවන් එකට රැස් වන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීම පිණිසය. කලින් ලිපියෙහි සඳහන් වූ පරිද්දෙන් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ලෙසද හැඳින්වෙන මෙම අනුස්මරණය යේසුස් විසින් පිහිටුවන ලද්දේ තම ප්‍රේරිතයන් සමඟ පො.යු. 33 නීසාන් 14වන දිනේදී පාස්කුව පැවැත්වීමෙන් අනතුරුවය. සිහි කිරීමේදී භාවිත වන මුහුන් නොදැමූ රොටි හා රතු වයින්වලින් සංකේතවත් කරන්නේ ක්‍රිස්තුස්ගේ පව් රහිත ශරීරය හා ඔහු විසින් වගුරුවන ලද රුධිරයයි. ඇත්තෙන්ම උරුම කරගත් පාපයෙන් හා මරණයෙන් මිනිස්වර්ගයාව මිදිය හැකි එකම පූජාව මෙයයි.—රෝම 5:12; 6:23.

2. පළමුවන කොරින්ති 11:27හි වාර්තා වී ඇත්තේ කවර අනතුරු ඇඟවීමද?

2 සිහි කිරීමේ සංකේතවලට පංගුකාරයන් වන අය ඊට පංගුකාරයන් විය යුත්තේ ඊට සුදුසු වන ආකාරයකිනි. පුරාණ කොරින්තියේ ක්‍රිස්තියානීන්ට ලියූ විට ප්‍රේරිත පාවුල් එම කාරණය පැහැදිලි කළේය. ඇත්තෙන්ම එහි ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සුදුසු ලෙස අනුස්මරණය කරනු ලැබුවේ නැත. (1 කොරින්ති 11:20-22) පාවුල් මෙසේ ලීවේය. “නුසුදුසු ලෙස රොටිය කන හෝ ස්වාමීන්ගේ කුසලානයෙන් බොන ඕනෑම කෙනෙක්, ස්වාමීන්ගේ ශරීරය ගැනත් රුධිරය ගැනත් වරදකරුවෙක් වන්නේය.” (1 කොරින්ති 11:27, NW) එම වදන්වලින් අර්ථවත් වන්නේ කුමක්ද?

සමහරුන් එය පැවැත්වූයේ නුසුදුසු අයුරිනි

3. ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පැවැත්වූ අවස්ථාවලදී කොරින්තියේ සිටි බොහෝ ක්‍රිස්තියානීන් කටයුතු කරමින් සිටියේ කෙලෙසද?

3 කොරින්තියේ ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකු සිහි කිරීමට පංගුකාරයන් වූයේ නුසුදුසු ආකාරයකිනි. ඔවුන් අතර භේද තිබිණ. සමහරෙක් අඩුම තරමින් යම් කලකට තම රාත්‍රි ආහාරය රැස්වීමට ගෙන ගොස් ඊට පෙරාතුව හෝ ඒ අතරතුර අනුභව කළෝය. බොහෝවිට එවැනි අවස්ථාවලදී ඔවුන් කෑවෙත්, බිව්වෙත් සීමාව ඉක්මවා යමිනි. එබැවින් මානසිකව හෝ ආත්මිකව හෝ ඔවුන් අවදියෙන් සිටියේ නැත. එමනිසා ඔවුහු ‘ස්වාමීන්ගේ ශරීරය ගැනත් රුධිරය ගැනත් වරදකරුවෝ වූහ.’ රාත්‍රි ආහාරය කලින් අනුභව නොකළ අය සිටියේ කුසගින්නෙනි. එමනිසා සිත එක්තැන් කර තබාගැනීමට ඔවුන්ට නොහැකි විය. ඇත්තෙන්ම බොහෝදෙනෙකු පංගුකාරයන් වූයේ කිසිදු ගෞරවයක් නොපෙන්වමිනි. එමෙන්ම, එම අවස්ථාවේ ඇති බැරෑරුම්කම සම්පූර්ණයෙන්ම අවබෝධ කර නොගෙනය. ඔවුන් තමන්ටම විරුද්ධව විනිශ්චය පමුණුවාගැනීම පුදුමයක්ද!—1 කොරින්ති 11:27-34, NW.

4, 5. සිරිත් පරිදි සිහි කිරීමේ සංකේතවල පංගුකාරයන් වන අය විසින් ආත්ම-සෝදිසියක් කිරීම අත්‍යවශ්‍ය වන්නේ මන්ද?

4 සෑම වසරකම සිහි කිරීම ළං වෙත්ම, සිරිත් පරිදි සංකේතවල පංගුකාරයන් වන අය විසින් ආත්ම-සෝදිසියක් කිරීම අත්‍යවශ්‍යය. හවුලේ භුක්ති විඳින මෙම භෝජනයට සහභාගි වීම සඳහා ඔවුන්ගේ ආත්මික තත්වය නිරෝගී විය යුතුය. යේසුස්ගේ පූජාවට ආගෞරව කරන, එය සුළු කොට තැකීමට පවා පෙලඹෙන ඕනෑම කෙනෙකු, හවුලේ භුක්ති විඳින භෝජනයට අපවිත්‍රව සහභාගි වූ ඊශ්‍රායෙලිතයෙකුට සිදු වූවාක් මෙන් ‘දෙවිගේ සෙනඟ කෙරෙන් සිඳිනු ලැබීමේ’ අවදානමට ලක් වනු ඇත.—ලෙවී කථාව 7:20; හෙබ්‍රෙව් 10:28-31.

5 පාවුල් සිහි කිරීම සැසඳුවේ පුරාණ ඊශ්‍රායෙල්හි හවුලේ භුක්ති විඳි භෝජනයත් සමඟය. පංගුකාරයන් ක්‍රිස්තුස්ගේ ශරීරයෙහි පංගුකාරකම ලැබූ ආකාරය ගැන කතා කිරීමෙන් අනතුරුව, ඔහු මෙසේ පැවසීය. “ඔබට යෙහෝවාගේ කුසලානයෙනුත් භූතයන්ගේ කුසලානයෙනුත් බීමට නොහැක. ‘යෙහෝවාගේ මේසයටද’ භූතයන්ගේ මේසයටද සහභාගි වෙන්න ඔබට නොහැක.” (1 කොරින්ති 10:16-21, NW) සාමාන්‍යයෙන් සිහි කිරීමේ සංකේතවල පංගුකාරයෙකු වන කෙනෙක් බරපතළ පාපයක් කර ඇත්නම්, ඔහු යෙහෝවාට පාපොච්චාරණයක් කළ යුතු අතර, සභාවේ වැඩිමහල්ලන්ගෙන් ආත්මික උපකාර පැතීමද අවශ්‍යය. (හිතෝපදේශ 28:13; යාකොබ් 5:13-16) ඔහු සැබවින්ම පසුතැවිලි වී, එම පසුතැවිල්ලට ඔබින පල නිපදවනවා නම්, ඔහු නුසුදුසු ලෙස පංගුකාරයෙකු වනවා කියා පැවසිය නොහැක.—ලූක් 3:8.

ගෞරවය පෙන්වන නිරීක්ෂකයන් ලෙස පැමිණීම

6. ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයෙහි පංගුකාරයන් වීමේ වරප්‍රසාදය දෙවි සීමා කර තිබෙන්නේ කවුරුන් සඳහාද?

6 ක්‍රිස්තුස්ගේ සහෝදරයන් 1,44,000දෙනාගෙන් ඉතිරි වී ඇති අයට, දැන් යහපත කරමින් සිටින අය ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයෙහි පංගුකාරයන් විය යුතුද? (මතෙව් 25:31-40; එළිදරව් 14:1) නැත. දෙවි මෙම වරප්‍රසාදය සීමා කර තිබෙන්නේ ‘ක්‍රිස්තුස් හා සමඟ හවුල් උරුමක්කාරයන්’ වීමට තමන් ශුද්ධාත්මයෙන් ආලේප කර ඇති පුද්ගලයන්ට පමණි. (රෝම 8:14-18, NW; 1 යොහන් 2:20) එසේනම්, දේවරාජ්‍යයේ පාලනය යටතේ සමස්ත ලෝක පාරාදීසයක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇති අයගේ තත්වය කුමක්ද? (ලූක් 23:43; එළිදරව් 21:3, 4) ඔවුන් ස්වර්ගික බලපොරොත්තුවක් ඇති යේසුස්ගේ හවුල් උරුමක්කාරයන් නොවන නිසා, ඔවුන් සිහි කිරීමට පැමිණෙන්නේ ගෞරවය පෙන්වන නිරීක්ෂකයන් ලෙසය.—රෝම 6:3-5.

7. මුල් සියවසේ ක්‍රිස්තියානීන් සිහි කිරීමේ සංකේතවල පංගුකාරයන් විය යුතු බව දැන සිටියේ මන්ද?

7 මුල් සියවසේ සිටි සැබෑ ක්‍රිස්තියානීහු ශුද්ධාත්මයෙන් ආලේප කළ අය වූහ. අන්‍ය භාෂාවලින් කතා කිරීම වැනි ශුද්ධාත්මයේ ආශ්චර්යවත් දීමනාවලින් එකක් හෝ කිහිපයක් යොදාගැනීමට ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට හැකියාව තිබිණ. එමනිසා, තමන් ආත්මයෙන් ආලේප ලත් අය බවත්, සිහි කිරීමේ සංකේතවල පංගුකාරයන් විය යුතු බවත් දැනගැනීම එවැන් පුද්ගලයන්ට අසීරු යමක් නොවන්නට ඇත. කෙසේවෙතත්, අපගේ කාලයේදී මෙය නිශ්චය කරනු ලබන්නේ මතු දැක්වෙන දේවානුභාවය ලත් වදන් පදනම් කරගෙනය. “දෙවිගේ ආත්මය විසින් ගෙනයනු ලබන සියල්ලෝ, දෙවිගේ පුත්‍රයෝ වන්නෝය. මන්ද, ඔබ ලැබුවේ නැවත භය උපදවන වහල්භාවයේ ආත්මයක් නොව, පුත්‍රයන් ලෙස පිළිගැනීමේ ආත්මයකි. අප හඬ නඟා ‘අබ්බා, පියාණෙනි!’ යයි කියන්නේ ඒ ආත්මය මාර්ගයෙනි.”—රෝම 8:14, 15, NW.

8. මතෙව් 13වන පරිච්ඡේදයෙහි සඳහන් “තිරිඟු” හා “කිරිඳි” මගින් නියෝජනය කරනු ලබන්නේ කවුරුන්වද?

8 සියවස් ගෙවී යද්දී, “කිරිඳි” නොහොත් බොරු ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත කෙතක “තිරිඟු” ලෙස අව්‍යාජ ආලේප ලත් ක්‍රිස්තියානීහු වර්ධනය වූහ. (මතෙව් 13:24-30, 36-43) එක්දහස් අටසිය සැත්තෑගණන්වල සිට මෙම “තිරිඟු” වඩ වඩා පහසුවෙන් ප්‍රත්‍යක්ෂ විය. මේ අනුව ඉන් වසර කිහිපයකට පසුව ආලේප ලත් ක්‍රිස්තියානි අවේක්ෂකයන් හට මෙසේ පවසන ලදි. “වැඩිමහල්ලන් . . . [සිහි කිරීම සඳහා] එක්රැස් වන අය ඉදිරියෙහි මතු දැක්වෙන කොන්දේසි හා අවශ්‍යතා තැබිය යුතුය: (1) [ක්‍රිස්තුස්ගේ] රුධිරය කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටීම සහ (2) ස්වාමීන් හා ඔහුගේ සේවය වෙනුවෙන් මරණය දක්වා පවා කැප වී සිටීමය. එවිට මෙවැනි ආකල්පයකින් මෙසේ කැප වී සිටින සියලුදෙනාට ස්වාමීන්ගේ මරණය සැමරීම සඳහා එක් වන්නට ඔවුන් ඇරයුම් කළ යුතුය.”—Studies in the Scriptures, Series VI, The New Creation, 473වන පිටුව. *

“වෙනත් බැටළුවන්” සොයා

9. ‘මහත් සමූහයේ’ අනන්‍යතාව 1935දී පැහැදිලි කරන ලද්දේ කෙසේද? සිහි කිරීමේ සංකේතවල පංගුකාරයන්ව සිටි සමහරදෙනෙකුට මෙය බලපෑවේ කෙසේද?

9 කල් යත්ම, ක්‍රිස්තුස්ගේ ආලේප ලත් අනුගාමිකයන්ට අමතරව, යෙහෝවාගේ සංවිධානය වෙනත් අය කෙරෙහි අවධානය යොමු කිරීමට පටන්ගත්තේය. මේ හා සම්බන්ධව 1930 ගණන්වල මැදභාගයේදී වැදගත් ඉදිරි පියවරක් ගනු ලැබිණ. මෙම කාලපරිච්ඡේදයට කලින් දෙවිගේ සෙනඟ එළිදරව් 7:9හි සඳහන් “මහත් සමූහය” සැලකුවේ ස්වර්ගයෙහි නැවත-නැඟිටුවනු ලැබූ 1,44,000දෙනා සමඟ හවුල් වන ද්විතීයික ස්වර්ගික පංතියක් ලෙසය. වෙනත් වචනවලින් කිවහොත් ක්‍රිස්තුස්ගේ මනාලියගේ සහායට සිටින දෙවන මනාලියක් හෝ සහකාරියක් ලෙස ඔවුන්ව සලකන ලදි. (ගීතාවලිය 45:14, 15; එළිදරව් 7:4; 21:2, 9) එනමුත් 1935 මැයි 31වන දින අ.එ.ජ. වොෂිංටන් ඩී.සි.හි පැවැත්වූ සමුළුවක දෙන ලද කතාවකදී “මහත් සමූහය” අන්තිම කාලයේදී ජීවත් වන ‘වෙනත් බැටළුවන්ට’ යොමු දක්වන බව ශුද්ධ ලියවිල්ලෙන්ම පැහැදිලි කර දෙනු ලැබීය. (යොහන් 10:16) එම සමුළුවෙන් අනතුරුව, කලින් සිහි කිරීමේ සංකේතවල පංගුකාරයන් වූ සමහරක්දෙනෙක් තමන්ගේ බලාපොරොත්තුව භූමික එකක් මිසක ස්වර්ගික එකක් නොවන බව තේරුම්ගෙන එසේ කිරීම නතර කළෝය.

10. වත්මන් ‘වෙනත් බැටළුවන්ගේ’ බලාපොරොත්තුව හා වගකීම් ඔබ විස්තර කරන්නේ කෙලෙසද?

10 ‘වෙනත් බැටළුවන්’ සෙවීමට විශේෂ ප්‍රයත්නයක් දරා ඇත්තේ 1935 සිටය. මොවුහු මිදීමේ පූජාව කෙරෙහි ඇදහිල්ල ඇති, දෙවිට කැප වන, රාජ්‍යය ගැන දේශනා කිරීමේ කාර්යයේදී ආලේප ලත් ‘කුඩා රැළට’ අතහිත දෙන අය වෙති. (ලූක් 12:32, NW) මෙම වෙනත් බැටළුවන්ගේ බලාපොරොත්තුව පොළොව මත සදාකල් ජීවත් වීම වුවත්, වෙනත් සියලුම පැතිවලින් ඔවුහු වර්තමානයේ ඉතිරිව සිටින රාජ්‍ය උරුමක්කාරයන්ට සමාන වෙති. යෙහෝවාට නමස්කාර කරමින් නීතියට යටත්ව සිටි පුරාණ ඊශ්‍රායෙල්හි පදිංචි වූ විදේශිකයන් මෙන් අදදින වෙනත් බැටළුවෝද ආත්මික ඊශ්‍රායෙල්හි සාමාජිකයන් සමඟ එක් වී ශුභාරංචිය දේශනා කිරීම වැනි ක්‍රිස්තියානි වගකීම් භාරගනිති. (ගලාති 6:16) කෙසේවෙතත්, පදිංචියට පැමිණි විදේශිකයෙකුට ඊශ්‍රායෙල්හි රජුවත් පූජකයෙකුවත් වීමට නොහැකි වූවා සේ, වෙනත් බැටළුවන්ගෙන් කිසිවෙකුට ස්වර්ගික රාජ්‍යයෙහි පාලනය කිරීමටවත්, පූජකයන් ලෙස සේවය කරන්නටවත් නුපුළුවන.—ද්විතීය කථාව 17:15.

11. පුද්ගලයෙකු කැපවූ දිනය තමාට ඇති බලාපොරොත්තුවට බලපෑ හැකි බව පවසන්නේ මන්ද?

11 ඉතින්, 1930ගණන් වෙද්දී, ස්වර්ගික පංතියේ සාමාජිකයන් සමස්තයක් වශයෙන් තෝරාගෙන තිබුණු බවට ක්‍රමානුකූලව පැහැදිලි විය. දැන් දශක ගණනාවක් පුරා අවධානය දී තිබෙන්නේ භූමික බලාපොරොත්තුවක් ඇති වෙනත් බැටළුවන් සෙවීමටය. ආලේප ලත් කෙනෙක් ඇදහිල්ලෙන් වැටුණොත්, 1,44,000දෙනාගේ ගණනෙහි අඩුව පිරවීම සඳහා වෙනත් බැටළුවන්ගෙන් කෙනෙකු ලෙස දෙවිට බොහෝ කලක් තිස්සේ ඇදහිලිවන්තව සේවය කර ඇති අයෙකුව කැඳවීමට තිබෙන ඉඩ කඩ වැඩිය.

තම අපේක්ෂා ගැන වැරදි අදහසක් තිබීමට හේතු

12. පුද්ගලයෙකු සංකේතවල පංගුකාරයෙකු වීම නවතා දැමිය යුත්තේ කවර තත්වයන් හේතුවෙන්ද? ඒ මන්ද?

12 තමන්ට ස්වර්ගික කැඳවීම ඇති බවට ආලේප ලත් ක්‍රිස්තියානීන්ට අබමල් රේණුවක තරම්වත් සැකයක් නොමැත. එනමුත් මෙම කැඳවීම නොමැති පුද්ගලයන් සමහරෙකු සිහි කිරීමේ සංකේතවල පංගුකාරයන් වී ඇත්නම් කුමක් කිව හැකිද? තමන්ට කිසිම දාකවත් ස්වර්ගික බලාපොරොත්තුවක් තිබී නැති බව ඔවුන්ට තේරුම් ගොස් ඇති නිසා, තවදුරටත් පංගුකාරයන් වීම නවතා දැමීමට ඔවුන්ගේ හෘදය සාක්ෂිය පොලඹවනවාට කිසිදු සැකයක් නැත. ස්වර්ගික රජෙකු හා පූජකයෙකු වීමට කැඳවා සිටින කෙනෙකු ලෙස පෙනී සිටින නමුත්, සැබෑවටම එවන් කැඳවීමක් නැති බව දැන සිටි කෙනෙකුට දෙවිගේ අනුග්‍රහයක් නොතිබෙනු ඇත. (රෝම 9:16; එළිදරව් 20:6) අහංකාර ලෙස ආරොන්ගේ පෙළපතට හිමි පූජක තන්ත්‍රය ලබාගැනීමට තැත් කළ ලෙවීවරයෙකු වූ කෝරාට යෙහෝවා මරණ දඬුවම දුන්නේය. (නික්මයාම 28:1; ගණන් කථාව 16:4-11, 31-35) සිහි කිරීමේ සංකේතවල තමන් වැරදී පංගුකාරයෙකු වී ඇති බව යම් ක්‍රිස්තියානියෙකුට වැටහේ නම්, එසේ පංගුකාරයෙකු වීම නතර කර, යටහත් පහත්ව යෙහෝවාගෙන් සමාව ඉල්ලා යාච්ඤා කළ යුතුය.—ගීතාවලිය 19:13.

13, 14. තමාට ස්වර්ගික කැඳවීමක් ඇති බව වරදවා සිතා ගැනීමට ඇතැමුන් පෙලඹිය හැක්කේ මන්ද?

13 තමන්ට ස්වර්ගික කැඳවීමක් ඇති බව ඇතැමුන් වරදවා සිතන්නේ මන්ද? තම සහකරුවා හෝ සහකාරියගේ මරණය නිසා හෝ වෙනයම් විපත්තියක් නිසා හෝ මිහිපිට ජීවිතය ඔවුන්ට එපා විය හැක. නැත්නම්, තමා ආලේප ලත් ක්‍රිස්තියානියෙකු බව ප්‍රකාශ කර සිටින කිට්ටු මිතුරෙකුගේ බලාපොරොත්තුවම තමන්ට තිබීමේ ආශාව ඔවුන් තුළ ඇති වන්නට පුළුවන. මෙම වරප්‍රසාදය සඳහා අපේක්ෂිතයන්ව තෝරාගැනීමට දෙවි කිසිකෙනෙකුට පවරා නැත. තවද ආලේප කිරීම සනාථ කිරීම සඳහා පණිවිඩ සමඟින් කටහඬවල් ඇසීමට සැලැස්වීමෙන් ඔහු රාජ්‍ය උරුමක්කාරයන් ආලේප කරන්නේද නැත.

14 ඇතැම්විට සමහරුන් තමන්ට ස්වර්ගික කැඳවීමක් ඇති බව සිතීමට පෙලඹෙන්නේ සියලුම යහපත් අය ස්වර්ගයට යන බවට වූ බොරු ආගමික මතය නිසා විය හැකියි. එබැවින්, අතීතයේ තිබූ වැරදි මත හෝ වෙනත් හේතු සාධකවල බලපෑමට හසුවීමේ අවදානමට එරෙහිව අප අවදිව සිටිය යුතුය. නිදසුනකට, සමහරුන්ට තමුන්ගෙන් මෙවැනි ප්‍රශ්න ඇසිය හැක. ‘චිත්තවේගී හැඟීම් වෙනස් කරන බලපාන ඖෂධ මම භාවිත කරනවාද? දේවල් වරදවා තේරුම්ගන්නාසුලු, හැඟීම්වලට බර වූ කෙනෙක්ද මම?’

15, 16. තමුන් ආලේප ලත් අය කියා අතළොස්සක් වැරදි ලෙස නිගමනය කිරීමට ඉඩ කඩ තිබිය හැක්කේ මන්ද?

15 තවත් සමහරෙකුට තමුන්ගෙන් මෙසේ අසාගත හැකිය. ‘කැපීපෙනෙන්නට ආශාවක් මා තුළ තිබෙනවාද? දැන් නැතහොත් ක්‍රිස්තුස් සමඟ හෝ අනාගතයේදී හවුල් උරුමක්කාරයෙකු ලෙස බල තල දැරීමට දැඩි ආශාවක් මට තිබෙනවාද?’ මුල් සියවසේදී රාජ්‍ය උරුමක්කාරයන් ලෙස කැඳවනු ලැබූ සියලුදෙනාම සභාවෙහි වගකිව යුතු කාර්යභාරයන්වල නිරත වී සිටියේ නැත. ඇත්තෙන්ම ස්වර්ගික කැඳවීමක් තිබෙන උදවිය කැපීපෙනෙන්නට ආශා වන අයවත් ආලේප ලත් අය වීම ගැන පුරසාරම් දොඩන අයවත් නොවේ. ඔවුහු “ක්‍රිස්තුස්ගේ මනස” ඇති අයගෙන් බලාපොරොත්තු වන යටහත් පහත්කම විදහාපෙන්වති.—1 කොරින්ති 2:16, NW.

16 තමන්ට ස්වර්ගික කැඳවීමක් ඇති බවට සමහරුන් ඇතැම්විට නිගමනය කර ඇත්තේ ඔවුන් සෑහෙන බයිබල් දැනුම් සම්භාරයක් එක්රැස් කරගෙන ඇති නිසා විය හැකියි. එනමුත් ඇතැම් ආලේප ලත් අයට යම් උපදෙස් හා මඟ පෙන්වීම් දීමට පාවුල්ට සිදුවීමෙන් පෙනී යන්නේ ආත්මයෙන් ආලේප වූ පළියට කෙනෙකුට සුවිශේෂ අවබෝධයක් ලැබෙන්නේ නැති බවය. (1 කොරින්ති 3:1-3; හෙබ්‍රෙව් 5:11-14) තමාගේ සෙනඟට අයත් සෑමදෙනාටම ආත්මික ආහාර සැපයීම සඳහා දෙවි විසින් විධිවිධානයක් ක්‍රියාත්මක කර ඇත. (මතෙව් 24:45-47) එබැවින් ආලේප ලත් ක්‍රිස්තියානියෙකු වන නිසා, භූමික බලාපොරොත්තුවක් ඇති අයට වඩා වැඩි ප්‍රඥාවක් ලැබෙන බව කිසිවෙකු නොසිතිය යුතුය. ආත්මයෙන් ආලේප වී ඇති බවට සාක්ෂි ලැබෙන්නේ ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නවලට උත්තර දීමට, සාක්ෂි දැරීමට හෝ බයිබල් කතා දීමට තිබෙන දක්ෂතා නිසා නොවේ. භූමික බලාපොරොත්තුවක් ඇති ක්‍රිස්තියානීහුද මෙවැනි පැතිවලදී දක්ෂයෝ වෙති.

17. ආත්මයෙන් ආලේප වීම රඳා පවතින්නේ කුමක් මතද? කා මතද?

17 සෙසු ඇදහිලිවන්තයෙක් ස්වර්ගික කැඳවීම සම්බන්ධයෙන් අදහස් විමසනවා නම්, වැඩිමහල්ලෙකුට හෝ වෙනත් මේරූ ක්‍රිස්තියානියෙකුට ඔහු සමඟ එම කාරණය සාකච්ඡා කරන්නට පුළුවන. කෙසේවෙතත්, යමෙකුට වෙනත් කෙනෙකු වෙනුවෙන් තීරණයක් ගැනීමට නොහැක. සැබවින්ම මෙම කැඳවීම ඇති අයෙකුට තමාට මෙවැනි බලාපොරොත්තුවක් තිබේදැයි කියා වෙනත් කෙනෙකුගෙන් විමසීමට අවශ්‍යතාවක් නැත. ආලේප ලත් අයට “අලුත් උපතක් [දී තිබෙන්නේ] දිරාපත් වන බීජයකින් නොව, ජීවමාන වූ සහ සදාකල් වසන්නාවූ දෙවිගේ වචනය නමැති දිරාපත් නොවන ප්‍රජනක බීජයෙන්ය.” (1 පේතෘස් 1:23, NW) පුද්ගලයෙකු ස්වර්ගික බලාපොරොත්තුවක් සහිත ‘අලුත් මැවිල්ලක්’ බවට පත් කරන “බීජය” දෙවි පැලපදියම් කරන්නේ තම ආත්මයෙන් හා වචනයෙනි. (2 කොරින්ති 5:17, NW) තේරීම කරන්නේ යෙහෝවාය. ආලේප කිරීම “රඳා පවතින්නේ කැමති වන තැනැත්තා මතවත් දුවන තැනැත්තා මතවත් නොව, නමුත් . . . දෙවි මතය.” (රෝම 9:16, NW) ඉතින්, තමන්ට ස්වර්ගික කැඳවීමක් ඇති බවට යම් පුද්ගලයෙකුට නිසැක විය හැක්කේ කෙසේද?

ඔවුන්ට නිසැක වීමට හේතු

18. දෙවිගේ ආත්මය ආලේප ලත් අයගේ ආත්මය සමඟ සාක්ෂි දරන්නේ කෙලෙසද?

18 තමන්ට ස්වර්ගික බලාපොරොත්තුවක් ඇති බවට ආලේප ලත් අය නිසැක වන්නේ දෙවිගේ ආත්මයෙන් ලැබෙන සාක්ෂිය නිසාය. පාවුල් මෙසේ ලීවේය. “ඔබ ලැබුවේ . . . පුත්‍රයන් ලෙස පිළිගැනීමේ ආත්මයකි. අප හඬ නඟා, ‘අබ්බා, පියාණෙනි!’ යයි කියන්නේ ඒ ආත්මය මාර්ගයෙනි. ඒ ආත්මයම අපේ ආත්මය හා එක්ව, අප දෙවිගේ දරුවෝයයි සාක්ෂි දරන්නේය. ඉතින්, අපි දරුවෝ නම්, උරුමක්කාරයෝද වන්නෙමු. එනම් දෙවිගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස් හා සමඟ හවුල් උරුමක්කාරයෝය. නමුත් එසේ වන්නේ, අප ඔහු සමඟ මහිමයට පත් වන පිණිස, ඔහු සමඟ දුක් විඳිනවා නම් පමණි.” (රෝම 8:15-17, NW) ශුද්ධාත්මයේ බලපෑමට යටත් වන ආලේප ලත් අයගේ ආත්මය නොහොත් ඔවුන් තුළ බලපවත්වන මානසික ආකල්පය ඔවුන්ව පොලඹවන්නේ යෙහෝවාගේ ආත්මික දරුවන් ගැන ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන දේ තමුන්ටම අදාළ කරගැනීමටය. (1 යොහන් 3:2) ඔවුන් පුත්‍රයන් බවට වූ හැඟීම දෙවිගේ ආත්මය විසින් ඔවුන් තුළ ඇති කරනු ලබන අතර, එමගින් ඔවුන් තුළ අද්විතීය බලාපොරොත්තුවක් උත්පාදනය කෙරේ. (ගලාති 4:6, 7) පවුලේ සාමාජිකයන් හා මිතුරන් සමඟින් පරිපූර්ණ මනුෂ්‍යයන් ලෙස පොළොව මත සදහටම ජීවත් වීම සුවිශේෂී දෙයක් වුවද, දෙවි ඔවුන්ට දී ඇති බලාපොරොත්තුව එය නොවේ. ඔහු තම ආත්මය මාර්ගයෙන් ඔවුන් තුළ කොතරම් ප්‍රබල ස්වර්ගික බලාපොරොත්තුවක් ජනිත කර ඇද්ද කිවහොත්, ඕනෑම භූමික සබඳතාවක් හා අපේක්ෂාවක් පූජා කිරීමට ඔවුන් කැමතිය.—2 කොරින්ති 5:1-5, 8; 2 පේතෘස් 1:13, 14.

19. අලුත් ගිවිසුම ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ජීවිතයට බලපාන්නේ කෙසේද?

19 ආලේප ලත් ක්‍රිස්තියානීන්ට තමන්ගේ ස්වර්ගික බලාපොරොත්තුව ගැන, එනම්, අලුත් ගිවිසුම තුළට ඔවුන්ව ඇතුළත් කරගැනීම ගැන කිසිම සැකයක් නැත. යේසුස් සිහි කිරීම පිහිටුවද්දී එය ගැන සඳහන් කරමින් මෙසේ පැවසීය. “මේ කුසලානය, ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් ඇති කළ අලුත් ගිවිසුම නියෝජනය කරන්නේය.” (ලූක් 22:20, NW) මෙම අලුත් ගිවිසුමට අයත් පාර්ශ්වයන් වන්නේ දෙවි හා ආලේප ලත් අයයි. (යෙරෙමියා 31:31-34; හෙබ්‍රෙව් 12:22-24) මැදහත්කරු යේසුස්ය. අලුත් ගිවිසුම ක්‍රියාත්මක වන්නේ ක්‍රිස්තුස් විසින් වගුරුවන ලද රුධිරය කරණකොටගෙනය. යුදෙව්වන්ගෙන් පමණක් නොව අන්‍යජාතිකයන්ගෙන්ද යෙහෝවාගේ නාමය උදෙසා සෙනඟක් වෙන් කරගැනීමට මෙම අලුත් ගිවිසුම ඉවහල් විය. ප්‍රතිඵලයක් ලෙස ඔවුහු ආබ්‍රහම්ගේ ‘වංශයේ’ කොටසක් බවට පත් වූහ. (ගලාති 3:26-29; ක්‍රියා 15:14; NW) මෙම “සදාකාල ගිවිසුම” මාර්ගයෙන් සියලුම ආත්මික ඊශ්‍රායෙලිතයන්ට ස්වර්ගයෙහි අමරණීය ජීවිතයක් භුක්ති විඳීම සඳහා නැවත නැඟිටුවීමට මඟ සැලසේ.—හෙබ්‍රෙව් 13:20, NW.

20. ක්‍රිස්තුස් සමඟ ආලේප ලත් අයව සම්බන්ධ කරනු ලබන්නේ කවර ගිවිසුමටද?

20 තම බලාපොරොත්තුව ගැන ආලේප ලත් අය තුළ කිසිදු සැකයක් නොමැත. ඔවුන්ව අමතර ගිවිසුමක් තුළට, එනම් රාජ්‍ය ගිවිසුමක් තුළටද ගෙනැවිත් තිබේ. ක්‍රිස්තුස් සමඟ ඔවුන්ට තිබෙන පංගුකාරකම ගැන යේසුස් පැවසුවේ මෙසේය. “මාගේ පරීක්ෂාවලදී මා සමඟ දිගටම සිටියේ ඔබය. රාජ්‍යයක් සඳහා මාගේ පියාණන් මා සමඟ ගිවිසුමක් කර තිබෙන්නාක් මෙන්, මම ඔබ සමඟ ගිවිසුමක් ඇති කරමි.” (ලූක් 22:28-30, NW) ක්‍රිස්තුස් හා තම හවුල් රජවරුන් අතර පවතින මෙම ගිවිසුම සදහටම ක්‍රියාත්මක වේ.—එළිදරව් 22:5.

සිහි කිරීමේ සමය—ප්‍රීතිමත් කාලයකි

21. සිහි කිරීමේ සමයෙන් අපට ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැක්කේ කෙසේද?

21 සිහි කිරීමේ සමයට අයත් ආශීර්වාද බොහෝය. මෙම කාල පරිච්ඡේදය සඳහා සූදානම් කර තිබෙන බයිබල් කියවීමෙන් අපට ප්‍රයෝජන ගත හැකිය. තවද, යාච්ඤාව සඳහාද, යේසුස්ගේ භූමික ජීවිතය හා මරණය ගැන මෙනෙහි කිරීම සඳහාද රාජ්‍යය ගැන දේශනා කිරීමේ වැඩයෙහි සහභාගි වීම සඳහාද එය කදිම කාලයකි. (ගීතාවලිය 77:12; පිලිප්පි 4:6, 7) සිහි කිරීම පවත්වන අවස්ථාව අපට සිහිගන්වන්නේ යේසුස්ගේ මිදීමේ පූජාව හා සම්බන්ධ දෙවි හා ක්‍රිස්තුස් විසින් පෙන්වන ලද ප්‍රේමය ගැනය. (මතෙව් 20:28; යොහන් 3:16) මෙම සැපයුම අපට බලාපොරොත්තුවක් ලබා දෙයි. අපව සනසයි. එමෙන්ම එය ක්‍රිස්තුස්ට සමාන ගමන් මාර්ගයක් අනුගමනය කිරීමට අප තුළ තිබෙන අධිෂ්ඨානයද තවත් ශක්තිමත් කළ යුතුය. (නික්මයාම 34:6; හෙබ්‍රෙව් 12:3) ඇරත් දෙවිගේ සේවකයන් ලෙස වූ අපගේ කැපවීමට විශ්වාසවන්තව සිටීමටත්, දෙවිගේ ප්‍රිය පුත්‍රයාගේ පක්ෂපාතී අනුගාමිකයන් වීමටත් අපව ශක්තිමත් කිරීමට සිහි කිරීම ඉවහල් විය යුතුය.

22. දෙවි මිනිස්වර්ගයාට දුන් ශ්‍රේෂ්ඨතම දීමනාව කුමක්ද? ඒ සඳහා අපගේ කෘතඥතාව පෙන්වීමට එක් මාර්ගයක් සඳහන් කරන්න.

22 යෙහෝවා අපට දෙන්නේ මොනතරම් යහපත් දීමනාද! (යාකොබ් 1:17) ඔහුගේ වචනය අපට මඟ පෙන්වයි. ඔහුගේ ආත්මය අපට උපකාර කරයි. එමෙන්ම සදාතනික ජීවනය නමැති බලාපොරොත්තුව අපට තිබේ. දෙවිගේ ශ්‍රේෂ්ඨතම දීමනාව වනාහි ආලේප ලත් අයගේ හා ඇදහිල්ල දක්වන අන් සියලුදෙනාගේ පව් උදෙසා වූ යේසුස්ගේ පූජාවයි. (1 යොහන් 2:1, 2) ඉතින්, යේසුස්ගේ මරණය ඔබට කොතරම් අර්ථවත්බවකින් යුක්තද? ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පැවැත්වීම සඳහා 2003 අප්‍රියෙල් 16වන දා හිරු බැසයෑමෙන් අනතුරුව එක්රැස් වීමෙන් ඒ සඳහා කෘතඥතාව පෙන්වන අය අතර ඔබත් සිටීවිද?

[පාදසටහන]

^ 8 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි. එනමුත් දැන් මුද්‍රණය නොකෙරේ.

ඔබේ පිළිතුරු මොනවාද?

• සිහි කිරීමේ සංකේතවල පංගුකාරයන් විය යුත්තේ කවුරුන්ද?

• “වෙනත් බැටළුවන්” ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට පැමිණෙන්නේ ගෞරවය පෙන්නුම් කරන නිරීක්ෂකයන් හැටියට පමණි. ඒ මන්ද?

• ක්‍රිස්තුස්ගේ මරණය සිහි කරන අවස්ථාවේදී තමන් රොටි හා වයින්වල පංගුකාරයන් විය යුතු බව ආලේප ලත් ක්‍රිස්තියානීන් දන්නේ කෙසේද?

• සිහි කිරීමේ සමය කුමක් කිරීම සඳහා කදිම කාලයක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ ප්‍රස්තාරය/පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව

මිලියනවලින්

15,597,746

15

14

13,147,201

13

12

11

10

 9

 8

 7

 6

 5

4,925,643

 4

 3

 2

 1

878,303

63,146

1935 1955 1975 1995 2002

[18වන පිටුවේ පින්තූරය]

මෙම වසරේදී ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට ඔබ පැමිණෙනු ඇද්ද?

[21වන පිටුවේ පින්තූර]

වැඩියෙන් බයිබලය කියවීමටත්, රාජ්‍යය ගැන දේශනා කිරීමේ වැඩයෙහි සහභාගි වීමටත් සිහි කිරීමේ සමය කදිම කාලයකි