Skip to content

පටුනට යන්න

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අනුස්මරණය කළ යුත්තේ මන්ද?

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අනුස්මරණය කළ යුත්තේ මන්ද?

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අනුස්මරණය කළ යුත්තේ මන්ද?

“මා ඔබට භාර දුන් දේ ස්වාමීන්ගෙන් මම ලැබුවෙමි.”—1 කොරින්ති 11:23, NW.

1, 2. පොදු යුගයේ 33 පාස්කු රාත්‍රියේදී යේසුස් කළේ කුමක්ද?

පැමිණ සිටි අය අතර යෙහෝවාගේ ඒකජාතක පුත්‍රයාද සිටියේය. ‘ඔහුගේ පරීක්ෂාවලදී ඔහු සමඟ දිගටම සිටි’ පුරුෂයන් 11දෙනෙක්ද සිටියෝය. (ලූක් 22:28, NW) එදින පො.යු. 33 මාර්තු 31වන බ්‍රහස්පතින්දා සවස විය. බොහෝදුරට යෙරුසලමට ඉහළින් රාත්‍රි අහස් තලයෙහි පුන් සඳක් පායන්නට ඇත. එම අවස්ථාවේදී පාස්කු මංගල්‍යය පැවැත්වීමේ කටයුතු යේසුස් ක්‍රිස්තුස් හා තම ප්‍රේරිතයන් විසින් නිම කර තිබුණා පමණි. යූදස් ඉස්කාරියොත් නමැති ද්‍රෝහියාව පිටත් කර තිබුණු නමුත්, අන් අයට විසිර යෑමට කාලය එළඹ තිබුණේ නැත. ඒ මන්ද? යේසුස් ඉමහත් වැදගත්කමකින් යුත් යමක් කරන්නට සූදානම් වූ මොහොත පැමිණි බැවිනි. ඔහු කළේ කුමක්ද?

2 සුවිශේෂ ලේඛක මතෙව් එම අවස්ථාවේදී සිටි නිසා, අපි ඔහුට සවන් දෙමු. ඔහු ලීවේ මෙලෙසය. “යේසුස් රොටියක් ගෙන, ආශීර්වාද කොට, එය කඩා ගෝලයන්ට දුන්නේය. ඔහු කතා කොට: ‘රැගෙන කන්න. මෙය මාගේ ශරීරය නියෝජනය කරන්නේය’යි කීවේය. තවද, ඔහු කුසලානක් ගෙන, ස්තුති කිරීමෙන් පසු, එය ඔවුන්ට දෙමින් මෙසේ කීවේය: ‘ඔබ සියල්ලෝම මෙයින් බොන්න. මන්ද මෙය බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන මගේ “ගිවිසුමේ රුධිරය” නියෝජනය කරන්නේය.’” (මතෙව් 26:26-28, NW) මෙය එක් වරක් පවත්වා නිම කළ යුතු යමක් වීද? එහි වැදගත්කම කුමක් වූවාද? එය අදදින අපට යම් වැදගත්කමකින් යුක්තද?

“මෙය නොකඩවා කරන්න”

3. පොදු යුගයේ 33 නීසාන් 14වන දා රාත්‍රියේ යේසුස් කළ දේ වැදගත් වූයේ මන්ද?

3 පොදු යුගයේ 33 නීසාන් 14වන දින රාත්‍රියේදී යේසුස් ක්‍රිස්තුස් ගත් පියවර සුළු පටු එකක් නම් නොවීය. විසි වසරකට පසුව පවා මෙම ආදර්ශය අනුගමනය කරමින් සිටි කොරින්තියේ ආලේප ලත් ක්‍රිස්තියානීන්ට ලියූ විට ප්‍රේරිත පාවුල් ඒ ගැන සාකච්ඡා කළේය. පාවුල් පො.යු. 33දී යේසුස් හා ප්‍රේරිතයන් 11දෙනා සමඟ සිටියේ නැතත්, එම අවස්ථාවේදී සිදු වූ දේ ගැන ඇතැම් ප්‍රේරිතයන්ගෙන් තොරතුරු දැනගත් බවට සැකයක් නැත. එපමණක්ද නොව, එම සිද්ධියේ ඇතැම් අංග සම්බන්ධයෙන් දේවානුභාවයෙන් ලද එළිදරව්වකින්ද පාවුල් සාක්ෂි ලැබූ බවට පෙනී යයි. පාවුල් මෙසේ පැවසීය. “මා ඔබට භාර දුන් දේ ස්වාමීන්ගෙන් මම ලැබුවෙමි. එනම්, ස්වාමීන් වන යේසුස්, තමාව පාවා දෙනු ලැබූ රාත්‍රියේදී රොටියක් ගෙන, ස්තුති දීමෙන් පසු, එය කඩා, ‘ඔබ උදෙසා වූ මාගේ ශරීරය මෙයින් නියෝජනය වන්නේය. මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න’ යයි කීවේය. එසේම, ඔහු සන්ධ්‍යා භෝජනය ගත් පසු, කුසලානයත් රැගෙන, ‘මේ කුසලානය, මාගේ රුධිරය මාර්ගයෙන් වූ අලුත් ගිවිසුම නියෝජනය කරන්නේය. යම් පමණ වර ඔබ මෙයින් පානය කරන්නහුද එපමණ වර මා සිහි කරන පිණිස මෙය කරන්න’ යයි කීවේය.”—1 කොරින්ති 11:23-25, NW.

4. ක්‍රිස්තියානීන් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අනුස්මරණය කළ යුත්තේ මන්ද?

4 “මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න” යයි යේසුස් ආඥා කළ බව සුවිශේෂ ලේඛක ලූක්ද සනාථ කරයි. (ලූක් 22:19, NW) “මා සිහි කිරීම පිණිස මේක කරන්න” ලෙසද, (සිංහල පරණ අනුවාදය) “මා සමරනු වස් මෙය කරන්න” ලෙසද (The Jerusalem Bible) මෙය පරිවර්තනය වී තිබේ. ඇත්ත වශයෙන්ම මෙම අනුස්මරණය පොදුවේ හඳුන්වනු ලබන්නේ ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීම ලෙසය. පාවුල් ඊට ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය යන නමද දෙයි. මෙය ස්ථාපිත කළේ රාත්‍රි කාලයේ නිසා එය යෝග්‍ය නමක් වේ. (1 කොරින්ති 11:20, NW) ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අනුස්මරණය කිරීමට ක්‍රිස්තියානීන්ට ආඥා කර ඇත. එනමුත් මෙම අනුස්මරණ උත්සවය පිහිටුවනු ලැබුවේ මන්ද?

එය ස්ථාපිත කිරීමට හේතු

5, 6. (අ) යේසුස් සිහි කිරීම ස්ථාපිත කළ එක් හේතුවක් විස්තර කරන්න. (ආ) ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ස්ථාපිත කළ තවත් හේතුවක් සඳහන් කරන්න.

5 සිහි කිරීම ස්ථාපිත කිරීමට එක් හේතුවක් යේසුස්ගේ මරණයෙන් ඉටු වන එක් දෙයක් හා බැඳී තිබිණ. ඔහු මිය ගියේ තම ස්වර්ගික පියාණන්ගේ පරමාධිපත්‍යයට පක්ෂපාතව සිටින්නෙකු ලෙසය. එමනිසා, ක්‍රිස්තුස්, මිනිසුන් දෙවිට සේවය කරන්නේ ආත්මාර්ථකාමී චේතනා මුදුන්පත් කරගැනීමට පමණක්ය යන බොරු චෝදනාව එල්ල කළ සාතන් නමැති යක්ෂයාව බොරුකාරයෙකු බවට ඔප්පු කළේය. (යෝබ් 2:1-5) යේසුස් විශ්වාසවන්තව මිය ගිය හෙයින් මෙම චෝදනාව බොරු බවට ඔප්පු වූ අතර, යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කිරීමටද එය හේතුවක් විය.—හිතෝපදේශ 27:11.

6 ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ස්ථාපිත කිරීමට තවත් හේතුවක් වන්නේ යේසුස් පරිපූර්ණ, පව් රහිත මිනිසෙකු ලෙස විඳි මරණය මාර්ගයෙන් ‘බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය මිදීමේ මිලයක් ලෙස දුන්’ බව අපට මතක් කර දීම පිණිසය. (මතෙව් 20:28, NW) මුල් මිනිසා දෙවිට විරුද්ධව පව් කළ විට, පරිපූර්ණ මිනිස් ජීවිතය හා ඉන් විවෘත වන සියලුම අපේක්ෂා ඔහුට අහිමි විය. කෙසේවෙතත්, “දෙවි ලෝකයට මොනතරම් ප්‍රේම කළාදයත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” කියා යේසුස් පැවසීය. (යොහන් 3:16, NW) ඇත්ත වශයෙන්ම, “පාපය විසින් ගෙවන කුලී නම් මරණයය. නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි දෙන තෑග්ග නම් සදාකාල ජීවනයය.” (රෝම 6:23, NW) යේසුස්ගේ යාගික මරණය තුළින් යෙහෝවා සහ ඔහුගේ පුත්‍රයා යන දෙදෙනාම පෙන්වා තිබෙන ඉමහත් ප්‍රේමය ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පැවැත්වීමෙන් අපට සිහිගැන්වේ. මෙලෙස පෙන්නුම් කර ඇති ප්‍රේමයට අප කොතරම් ස්තුතිවන්ත විය යුතුද!

පැවැත්විය යුත්තේ කවදාද?

7. ආලේප ලත් ක්‍රිස්තියානීන් සිහි කිරීමේ පංගුකාරයන් වන සෑම වතාවකදීම ස්වාමීන්ගේ මරණය ප්‍රකාශ කරන්නේ කෙසේද?

7 ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ගැන කතා කරමින් පාවුල් පැවසුවේ මෙලෙසය. “මේ රොටි කන, මේ කුසලානයෙන් බොන සෑම වතාවකදීම ඔබ, ස්වාමීන් පැමිණෙන තුරු ඔහුගේ මරණය ප්‍රකාශ කරන්නහුය.” (1 කොරින්ති 11:26, NW) සෑම ආලේප ලත් ක්‍රිස්තියානියෙකුම තම මරණය දක්වා සිහි කිරීමේ සංකේතවල පංගුකාරයන් වනු ඇත. මෙසේ, යෙහෝවා දෙවි සහ ලෝකයා ඉදිරියෙහි ඔවුහු යේසුස්ගේ මිදීමේ පූජාව නමැති දෙවිගේ සැපයුම කෙරෙහි තම ඇදහිල්ල නැවත නැවත ප්‍රකාශ කරති.

8. ආලේප ලත් ක්‍රිස්තියානීන් සමූහය ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය කොපමණ කාලයකට අනුස්මරණය කළ යුතු වීද?

8 ආලේප ලත් ක්‍රිස්තියානීන් සමූහය ක්‍රිස්තුස්ගේ මරණය කොතරම් කාලයකට අනුස්මරණය කරනු ඇද්ද? පාවුල් පැවසුවේ “ස්වාමීන් පැමිණෙන තුරු” බවයි. පෙනෙන විදිහට මින් යොමු දක්වන්නේ නැවත නැඟිටීමක් මාර්ගයෙන් තම ආලේප ලත් අනුගාමිකයන් ස්වර්ගයට භාරගැනීම සඳහා යේසුස් පැමිණෙන අවස්ථාවන්ටය. එසේ නම් එම අවස්ථාවන් තෙක් මෙම සැමරීම් අඛණ්ඩව සිදු වනු ඇත. යේසුස් එසේ පැමිණෙන්නේ තමා “පැමිණ සිටින කාලය” අතරතුරේදීය. (1 තෙසලෝනික 4:14-17, NW) මෙම අදහස යේසුස් තම පක්ෂපාත ප්‍රේරිතයන් 11දෙනාට පැවසූ වදන්වලට අනුකූලතාවක් දක්වයි. “මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කර, මා සිටින තැන ඔබත් සිටින පිණිස, මා නැවත පැමිණ ඔබව මාගේ ගෙට පිළිගන්නෙමි.”—යොහන් 14:3, NW.

9. මාක් 14:25හි වාර්තා වී ඇති යේසුස්ගේ වදන්වලින් අදහස් වන්නේ කුමක්ද?

9 සිහි කිරීම ස්ථාපිත කළඅවස්ථාවේදී යේසුස් වයින් කුසලානයට යොමු දක්වමින් තම විශ්වාසවන්ත ප්‍රේරිතයන්ට මෙසේ පැවසීය. “දෙවිගේ රාජ්‍යයෙහිදී මා අලුත් වයින් බොන දවස එන තුරු මිදි වැලෙන් ලැබෙන ඵලයෙන් මම තවත් කිසිසේත් නොබොන්නෙමි.” (මාක් 14:25, NW) යේසුස් ස්වර්ගයෙහි සැබෑ වයින් නොබොන නිසා, වයින්වලින් සමහර අවස්ථාවන්හිදී සංකේතවත් කරනු ලබන ප්‍රීතිය භුක්ති විඳීම ඔහුගේ සිතෙහි තිබුණු බවට සැකයක් නැත. (ගීතාවලිය 104:15; දේශනාකාරයා 10:19) රාජ්‍යයෙහි එකට සිටීම ඔහුද ඔහුගේ අඩිපාරේ ගමන් කරන අනුගාමිකයන්ද ඉමහත් ආශාවකින් අපේක්ෂා කළ ප්‍රීතිමත් අද්දැකීමක් වනු ඇත.—රෝම 8:23; 2 කොරින්ති 5:2.

10. සිහි කිරීම සැමරිය යුත්තේ කෙලෙසද?

10 යේසුගේ මරණය මාසිකව, සතිපතා හෝ දිනපතා සැමරිය යුතුද? නැත. යේසුස් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පිහිටෙව්වෙත්, ඔහුව මරනු ලැබුවෙත් පාස්කු දවසේදීය. මෙම පාස්කු උත්සවය සමරනු ලැබුවේ පො.යු.පෙ. 1513දී ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ වහල්භාවයෙන් මිදී ගිය දා ‘සිහිවීම’ පිණිසයි. (නික්මයාම 12:14) මෙම පාස්කුව පවත්වනු ලැබුවේ වසරකට එක් වරක් පමණි. එනම් නීසාන් යන යුදෙව් මාසයේ 14වන දිනයේදීය. (නික්මයාම 12:1-6; ලෙවී කථාව 23:5) මින් අඟවනු ලබන්නේ පාස්කුව සමරනු ලැබුවාක් මෙන් යේසුස්ගේ මරණය සැමරිය යුතු බවය. එනම්, මාස්පතා, සතිපතා හෝ දිනපතා නොව වාර්ෂිකවය.

11, 12. මුල් කාලවල සිහි කිරීම පැවැත්වීම පිළිබඳව ඉතිහාසයෙන් එළිදරව් වන්නේ මොනවාද?

11 මේ අනුව, නීසාන් 14වන දිනයේදී වාර්ෂිකව සිහි කිරීම සැමරීම යෝග්‍ය වේ. එක් ආශ්‍රේය ග්‍රන්ථයක මෙසේ පැවසේ. “සුළු ආසියාවේ ක්‍රිස්තියානීන්ව හඳුන්වනු ලැබුවේ ක්වාර්ටෝඩෙසිමන්වරුන් [දාහතරවන දා සමරන්නන්] ලෙසය. මෙම නම පැටබැඳුණේ පස්කා [ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජන] උත්සවය නොවරදවාම නීසාන් 14වන දිනයේදී පැවැත්වීමේ චාරිත්‍රය හේතුකොටගෙනය . . . එම දිනය සිකුරාදා හෝ සතියේ වෙනත් ඕනෑම දවසක යෙදෙනවා විය හැක.”—The New Schaff-Herzog Encyclopedia of Religious Knowledge, IV වෙළුම, 44වන පිටුව.

12 පොදු යුගයේ දෙවන සියවසේ පැවති මෙම පුරුද්ද ගැන අදහස් දක්වමින් ඉතිහාසඥ ජේ. එල්. ෆොන් මෝෂයිම් පවසන්නේ මෙම ක්වාර්ටෝඩෙසිමන්වරුන්, සිහි කිරීම නීසාන් 14වන දිනයේදී පැවැත්වූයේ “ක්‍රිස්තුස්ගේ ආදර්ශය නීතියක් හා සමාන බලගතුකමින් යුත් යමක් සේ සැලකූ බැවිනි.” තවත් ඉතිහාසඥයෙකු පවසන්නේ මෙසේය. “ආසියාවේ ක්වාර්ටෝඩෙසිමන් සභාවල පිළිවෙත දිව ගියේ යෙරුසලමේ සභාවේ පිළිවෙතට අනුකූලවය. දෙවන සියවසේ නීසාන් 14වන දිනයේදී මෙම සභාවෝ තම පස්කා උත්සවයේදී ක්‍රිස්තුස්ගේ මරණයෙන් උදා වූ මිදීම අනුස්මරණය කළෝය.”—Studia Patristica, V වෙළුම, 1962, 8වන පිටුව.

රොටිවලින් අර්ථවත් වන දේ

13. ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ස්ථාපිත කළ විට යේසුස් භාවිත කළේ කවර වර්ගයේ රොටිද?

13 යේසුස් සිහි කිරීම ස්ථාපිත කළ අවස්ථාවේදී, “ඔහු රොටියක් ගෙන ආශීර්වාද කොට එය කඩා [ප්‍රේරිතයන්ට]” දුන්නේය. (මාක් 14:22, NW) එම අවස්ථාවේදී භාවිත කළ රොටි පාස්කු මංගල්‍යයේදී භාවිත කළ රොටි වර්ගයම විය. (නික්මයාම 13:6-10) එය මුහුන් නොදමා පුලුස්සනු ලැබූ නිසා, ඊට පැතලි හැඩයක් තිබූ අතර, යම් දුරකට කර කර ගා හැපෙන විස්කෝතු හා සමාන විය. කෑමට පෙර එය කැබලිවලට කඩන්නට සිදු විය. යේසුස් දහස් ගණනකට රොටි බහුල ලෙස සැපයූ අවස්ථාවේදී එයද යම් දුරකට ‘ක්‍රැකර්’ විස්කෝතු හා සමාන වූයේය. එසේ පැවසීමට හේතුව එය බෙදාහැරීම සඳහා ඔහු එම රොටි කැඩූ බැවිනි. (මතෙව් 14:19; 15:36) පෙනෙන විදිහට, සිහි කිරීමේ රොටි කැඩීමේ කටයුත්තට කිසිම ආත්මික වැදගත්කමක් නැත.

14. (අ) සිහි කිරීමට භාවිත කරන රොටිවලට මුහුන් දැමීම නුසුදුසු වන්නේ මන්ද? (ආ) ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයේදී භාවිතය සඳහා ලබාගැනීමට හෝ පිලිස්සීමට හැක්කේ කවර වර්ගයේ රොටිද?

14 සිහි කිරීම ස්ථාපිත කළ විට භාවිත කළ රොටි සම්බන්ධයෙන් යේසුස් පැවසුවේ මෙලෙසය. “ඔබ උදෙසා වූ මාගේ ශරීරය මෙයින් නියෝජනය වන්නේය.” (1 කොරින්ති 11:24, NW; මාක් 14:22) මෙම රොටිවලට මුහුන් දමා නොතිබීම යෝග්‍ය විය. ඒ මන්ද? මුහුන්වලින් අයහපත්කම, දුෂ්ටකම හෝ පව්කාරකම නියෝජනය විය හැකි බැවිනි. (1 කොරින්ති 5:6-8) මෙම රොටිවලින් නියෝජනය වූයේ යේසුස්ගේ පරිපූර්ණ, පව් රහිත මිනිස් සිරුරයි. උචිත ලෙස මිදීමේ පූජාවක් ඔප්පු කර තිබුණේ එම සිරුරයි. (හෙබ්‍රෙව් 7:26; 10:5-10) මෙය සිහියේ තබාගනිමින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් යේසුස් විසින් තබන ලද මෙම ආදර්ශය අනුගමනය කරන්නේ සිහි කිරීමේ උත්සවයේදී මුහුන් නොදැමූ රොටි භාවිත කිරීමෙනි. ඇතැම් ප්‍රදේශවල ඔවුහු ලුණු හා කුළු බඩු රහිත, බිත්තර, ළූණු වැනි අමතර දේවල් එකතු කර නැති යුදෙව් රොටි වර්ගයක්ද භාවිත කරති. එසේ නැත්නම්, ජලය ස්වල්පයක් සමඟ මිශ්‍ර කර ඇති පොතු සහිත ධාන්‍ය (හැකි නම් තිරිඟු) පිටිවලින් මුහුන් නොදැමූ රොටි සාදන්නට පුළුවන. පිටි ගුලිය තුනියට පැතලි කළ යුතුය. රොටිය තුනී කොට තෙල් මදක් දැමූ තැටියක හෝ පැතලි සාස්පානක පිලිස්සිය හැක.

වයින්වලින් අර්ථවත් වන දේ

15. ක්‍රිස්තුස් තම මරණයේ සිහි කිරීම ස්ථාපිත කළ අවස්ථාවේදී භාවිත කළ කුසලානෙහි අන්තර්ගතය විස්තර කරන්න.

15 මුහුන් නොදැමූ රොටි අතිනත යැවීමෙන් පසු, යේසුස් කුසලානක් ගෙන “ස්තුති කර, එය [ප්‍රේරිතයන්ට] දුන්නේය. ඒ සියල්ලෝම එයින් බීවෝය.” යේසුස් ඒ ගැන පැහැදිලි කළේ මෙලෙසය. “මෙය බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන මාගේ ‘ගිවිසුමේ රුධිරය’ නියෝජනය කරන්නේය.” (මාක් 14:23, 24, NW) මෙම කුසලානෙහි අන්තර්ගතය කෙසේ විස්තර කළ හැකිද? ඒ නැවුම් මිදි යුෂ නොව, පැසවුණු වයින්ය. ශුද්ධ ලියවිල්ලෙහි වයින් ගැන කතා කරන විට, මිදිවලින් ගන්නා නොපැසුණු යුෂ ඊට අදාළ කර නොමැත. නිදසුනකට, යේසුස් පැවසුවාක් මෙන් “පරණ සම් භාජන” පැළීමට සලස්වන්නේ මිදි යුෂ නොව පැසවුණු වයින්ය. තවද ක්‍රිස්තුස්ගේ සතුරන් චෝදනා කළේ ඔහු “වයින් බීමට ලොල් වූ මිනිසෙකි” කියාය. මෙතැන සඳහන් කෙරෙන වයින් නිකම්ම මිදි යුෂ වූවා නම්, ඔවුන්ගේ චෝදනාවට කිසිදු තේරුමක් නොතිබෙනු ඇත. (මතෙව් 9:17; 11:19; NW) පාස්කු මංගල්‍යයේදී පැසවුණු වයින් භාවිත කළ අතර, තම මරණයේ සිහි කිරීම ස්ථාපිත කළ අවස්ථාවේදීද යේසුස් එය භාවිත කළේය.

16, 17. සිහි කිරීම සඳහා යෝග්‍ය වන්නේ කවර අන්දමේ වයින් වර්ගද? ඒ මන්ද?

16 කුසලානෙහි අන්තර්ගතයෙන් නියෝජනය වන්නේ යේසුස් විසින් වගුරුවන ලද රුධිරයයි. එමනිසා ඊට සුදුසු සංකේතයක් වන්නේ රතු වයින් පමණි. “මෙය බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන මාගේ ‘ගිවිසුමේ රුධිරය’ නියෝජනය කරන්නේය” කියා පැවසුවේ ඔහුමය. ඇරත්, ප්‍රේරිත පේතෘස් ලීවේ මෙලෙසය. “සම්ප්‍රදායට අනුව ඔබ [ආලේප ලත් ක්‍රිස්තියානීන්] ඔබේ මුතුන්මිත්තන්ගෙන් ලැබුවාවූ නිෂ්ඵල වූ ඔබේ හැසිරීමේ රටාවෙන් ඔබව මුදනු ලැබුවේ රිදී හෝ රන් වැනි දිරනසුලු දේවල්වලින් නොව කියා ඔබ දන්නහුය. ඒ වෙනුවට එසේ [මුදනු] ලැබුවේ නිකැලැල් සහ පලුද්දක් නොමැති බැටළුවෙකුගේ ලේ මෙන් වූ අනර්ඝ ලෙයින්ය. එනම් ක්‍රිස්තුස්ගේ ලෙයින්ය.”—1 පේතෘස් 1:18, 19, NW.

17 සිහි කිරීම ස්ථාපිත කළ විට යේසුස් භාවිත කළ වයින් වර්ගය මිදිවලින් සාදන ලද රතු වයින් වූ බවට කිසිදු සැකයක් නැත. කෙසේවෙතත්, වර්තමානයේ මිල දී ගත හැකි ඇතැම් රතු වයින් වර්ගවලට මද්‍යසාරය හෝ බ්‍රැන්ඩි නැත්නම් බෙහෙත් පෑලෑටි හෝ කුළුබඩු එකතු කර ඇති නිසා, ඒවා සිහි කිරීම සඳහා සුදුසු වන්නේ නැත. යේසුස්ගේ රුධිරයේ කිසිදු අඩුවක් තිබුණේ නැත. අමතර යමක් ඊට එකතු කිරීම අවශ්‍ය නොවීය. එබැවින්, පෝර්ට්, ෂෙරි සහ වර්මත් වැනි වයින් වර්ග භාවිත කිරීම නුසුදුසුය. සිහි කිරීමට භාවිත කරන වීදුරුවෙහි දැමිය යුත්තේ පැනි රස නොදැමූ, වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර නොකරන ලද රතු වයින් පමණි. මිදි යොදාගනිමින් නිවසෙහි සාදන ලද පැනි රස නොදැමූ රතු වයින් භාවිත කළ හැකි අතර, රතු බර්ගන්ඩි සහ ක්ලැරෙට් වැනි වයින් වර්ගද භාවිත කරන්නට පුළුවන.

18. සිහි කිරීමේ රොටි හා වයින් යොදාගෙන යේසුස් යම් ප්‍රාතිහාර්යයක් සිදු නොකළේ මන්ද?

18 මෙම භෝජනය ස්ථාපිත කළ අවස්ථාවේදී යේසුස් භාවිත කළ සංකේත තම මාංසය හා රුධිරයට මාරු කරමින් යම් ප්‍රාතිහාර්යයක් සිදු කළේ නැත. මිනී මස් කෑම හා මිනිස් රුධිරය බීම දේවනීතිය උල්ලංගනය කරන බරපතළ වරදකි. (උත්පත්ති 9:3, 4; ලෙවී කථාව 17:10) එම අවස්ථාවේදී යේසුස් තවමත් සිටියේ රුධිරය සංසරණය වන සිරුරකින් යුත් ජීවමාන මිනිසෙකු ලෙසය. ඔහුගේ සිරුර පරිපූර්ණ පූජාවක් ලෙස ඔප්පු කළෙත්, ඔහුගේ රුධිරය වගුරුවන ලද්දෙත් සිහි කිරීම පැවැත්වූ රාත්‍රියෙන් පසු උදා වූ ඊළඟ දවසේ අපරභාගයේදීය. (යුදෙව් දිනදර්ශනයට අනුව එය සිදු වූයේ නීසාන් 14වන දිනයේදීමය.) එබැවින් සිහි කිරීමේ රොටි සහ වයින්වලට සංකේතාත්මක අරුතක් තිබෙන අතර, ඒවායින් ක්‍රිස්තුස්ගේ මාංසය හා රුධිරය නියෝජනය කෙරේ. *

සිහි කිරීම හවුලේ භුක්ති විඳින භෝජනයක්

19. ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පවත්වද්දී එක පිඟානකට හා වීදුරුවකට වඩා වැඩියෙන් භාවිත කිරීමට අවකාශ ඇත්තේ මන්ද?

19 යේසුස් සිහි කිරීම ස්ථාපිත කළ අවස්ථාවේදී ඔහු තම විශ්වාසවන්ත ප්‍රේරිතයන්ට ආරාධනා කළේ පොදු කුසලානකින් බීමටය. මතෙව්ගේ සුවිශේෂයෙහි මෙසේ සැල වේ. “[යේසුස්] කුසලානක් ගෙන, ස්තුති කිරීමෙන් පසු, එය ඔවුන්ට දෙමින් මෙසේ කීවේය: ‘ඔබ සියල්ලෝම මෙයින් බොන්න.’” (මතෙව් 26:27, NW) එම අවස්ථාවේදී සිටියේ එක මේසයක් වටා අසුන්ගෙන සිටි පංගුකාරයන් 11දෙනෙකු පමණි. එමනිසා කුසලාන කිහිපයක් නොව එක “කුසලානක්” භාවිත කිරීම ගැටලුවක් නොවීය. මන්දයත් එකම කුසලානය එකිනෙකා අතිනත යැවීම අපහසු කාර්යයක් නොවන හෙයිනි. මෙම අවුරුද්දේදී, මිලියන සංඛ්‍යාතයක් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සඳහා ලොව වටා ඇති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා 94,000කට වඩා වැඩි ගණනක එක්රැස් වනු ඇත. එකම රාත්‍රියේදී මෙම උත්සවය සඳහා මෙතරම් මහත් සංඛ්‍යාවක් රැස් වන නිසා, සියලුදෙනා සඳහා එකම කුසලානක් කොහොමටවත් භාවිත කළ නොහැකිය. තවද මෙම ප්‍රතිපත්තිය විශාල සභාවලටද අදාළ වේ. මේ නිසා, සාධාරණ කාල සීමාවක් ඇතුළත සබයේ සියලුදෙනා අතිනත යැවීමට වීදුරු කිහිපයක්ම භාවිත කෙරේ. ඒ හා සමානව, රොටි සඳහාද එක පිඟානකට වැඩිය භාවිත කළ හැකිය. භාවිත කෙරෙන වීදුරුව හෝ කුසලානය එක්තරා විශේෂ හැඩයක ඒවා විය යුතු බවට ශුද්ධ ලියවිල්ලෙහි කිසිදු ඇඟවීමක් කොට නැත. කෙසේවෙතත්, වීදුරුව හා පිඟාන එම අවස්ථාවේ ඇති ගෞරවනීයභාවය පිළිබිඹු කරන ආකාරයේ ඒවා විය යුතුය. අතිනත යවන විට, වයින් ඉහිරීමේ අවදානමෙන් වැළකීමට හැකි වන සේ වීදුරුව වයින්වලින් පුරවද්දී එය යම් ප්‍රමාණයකට පමණක් පිරවීම නුවණට හුරුය.

20, 21. සිහි කිරීම හවුලේ භුක්ති විඳින භෝජනයක් කියා පැවසිය හැක්කේ මන්ද?

20 එක රොටි පිඟානකට හා වයින් වීදුරුවකට වඩා වැඩියෙන් භාවිත කළද, සිහි කිරීම හවුලේ භුක්ති විඳින භෝජනයකි. පුරාණ ඊශ්‍රායෙල්හි දෙවිගේ ශුද්ධස්ථානයට සත්වයෙකු ගෙන ඒමෙන් හවුලේ භුක්ති විඳින භෝජනයක් සැපයීමට පුරුෂයෙකුට හැකි විය. එහිදී එම සත්වයාව ඝාතනය කර උගේ කොටසක් පූජාසනය පිට පුලුස්සන ලදි. තවත් කොටසක් පූජාව ඔප්පු කළ පූජකයාටද, තවත් කොටසක් පූජකයන් වූ ආරොන්ගේ පුත්‍රයන්ටද දෙන ලදි. ඒත් සමඟම පූජාව ඔප්පු කළ තැනැත්තා හා ඔහුගේ පවුලද එම භෝජනයට හවුල් වූහ. (ලෙවී කථාව 3:1-16; 7:28-36) සිහි කිරීමද හවුලේ භුක්ති විඳින භෝජනයකි. මන්දයත් ඒ සඳහා සියලුදෙනාම එකට හවුල් වන නිසාය. *

21 හවුලේ භුක්ති විඳින මෙම භෝජනයට මෙම විධිවිධානයේ කර්තෘ හැටියට යෙහෝවාද සම්බන්ධය. පූජාව යේසුස්ය. තවද හවුලේ සහභාගිවන්නන් ලෙස ආලේප ලත් ක්‍රිස්තියානීහු එම සංකේතවල පංගුකාරයෝ වෙති. යෙහෝවාගේ මේසයෙහි අනුභව කිරීමෙන් අර්ථවත් වන්නේ පංගුකාරයන් ඔහු සමඟ සාමයෙන් සිටින බවයි. එහෙයින් පාවුල් මෙසේ ලීවේය. “අප ආශීර්වාද කරන ආශීර්වාදයේ කුසලානය යනු, ක්‍රිස්තුස්ගේ රුධිරයේ පංගුකාරකමක් නොවේද? අප කඩන රොටිය යනු, ක්‍රිස්තුස්ගේ ශරීරයෙහි පංගුකාරකමක් නොවේද? රොටිය එකක් වන බැවින් අපි බොහෝදෙනෙක් වුවද එකම ශරීරයක් වෙමු. අපි සියලුදෙනා ඒ රොටියේ පංගුකාරයෝ වෙමු.”—1 කොරින්ති 10:16, 17, NW.

22. සිහි කිරීම සම්බන්ධයෙන් අප විසින් තවමත් සලකා බැලිය යුතු ප්‍රශ්න කවරේද?

22 ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය යෙහෝවාගේ සාක්ෂිකරුවන් වාර්ෂිකව පවත්වන එකම ආගමික සැමරීම වේ. මෙය උචිත වන්නේ “මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න” කියා යේසුස් තම අනුගාමිකයන්ට ආඥා කළ හෙයිනි. සිහි කිරීමේදී අප අනුස්මරණය කරන්නේ යේසුස්ගේ මරණයයි. එය වනාහි යෙහෝවාගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගතබව ආරක්ෂා කිරීමට ඉවහල් වූ මරණයකි. අප දුටු පරිදි, හවුලේ භුක්ති විඳින මෙම භෝජනයේදී ක්‍රිස්තුස් පූජා කළ මිනිස් සිරුර රොටිවලින් අර්ථවත් කරන අතර, ඔහු වැගිරෙවූ රුධිරය වයින්වලින් අර්ථවත් කෙරේ. කෙසේවෙතත්, මෙම සංකේතමය රොටි හා වයින්වල පංගුකාරයන් වන්නේ අතළොස්සක් පමණි. ඒ මන්ද? පංගුකාරයන් නොවන මිලියන ගණන් අයටත් සිහි කිරීම සැබවින්ම අර්ථවත් යමක්වෙයිද? ඇත්තෙන්ම, ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයෙන් ඔබට අර්ථවත් විය යුත්තේ කුමක්ද?

[පාදසටහන්වල]

^ 18 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන Insight on the Scriptures 2වන වෙළුමේ 271වන පිටුව බලන්න.

^ 20 ඡේ. සිංහල බයිබලයේ “ශාන්ති පූජාව” ලෙස දක්වා ඇති යෙදුම මුල් හෙබ්‍රෙව් භාෂාවෙන් දක්වන ලද්දේ “හවුලේ භුක්ති විඳින පූජාව” ලෙසය.

ඔබේ පිළිතුරු මොනවාද?

• යේසුස් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ස්ථාපිත කළේ මන්ද?

• සිහි කිරීම සැමරිය යුත්තේ කෙලෙසද?

• සිහි කිරීමේදී භාවිත කෙරෙන මුහුන් නොදැමූ රොටිවලින් අර්ථවත් වන්නේ කුමක්ද?

• සිහි කිරීමේදී භාවිත කෙරෙන වයින්වලින් නියෝජනය කරන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ස්ථාපිත කළේ යේසුස්ය