Skip to content

පටුනට යන්න

හඳුනාගැනීමට වටින දෙවි කෙනෙකි යෙහෝවා

හඳුනාගැනීමට වටින දෙවි කෙනෙකි යෙහෝවා

හඳුනාගැනීමට වටින දෙවි කෙනෙකි යෙහෝවා

ඔබේ ජීවිතයෙන් වටිනා යමක් ගිලිහී යමින් තිබෙනවා විය හැකිද? ඔබ දෙවි ගැන දන්නේ ස්වල්පයක් නම් ඇත්තෙන්ම ඔබේ ජීවිතයෙන් වටිනා යමක් ගිලිහී යමින් තිබෙනවා කියා පැවසිය හැකියි. එසේ පවසන්නේ මන්ද? බයිබලයේ සඳහන් වී ඇති දෙවි පිළිබඳව දැනහඳුනා ගැනීමෙන් ජීවිතයට මහත් ප්‍රයෝජන අත් වන බව මිලියන ගණනක් අද්දැක තිබෙන නිසාවෙනි. මෙම ප්‍රයෝජන විගස අද්දැකිය හැකි අතර අනාගතය දක්වාම ඒවා භුක්ති විඳිය හැක.

බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවිට අවශ්‍ය වන්නේ අප ඔහුව දැනහඳුනා ගන්නවා දැකීමටයි. “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයාණන් බව ඔවුන් දැනගන්නා පිණිස” කියා ගීතිකාකරු ලීවේය. යෙහෝවාව දැනහඳුනා ගැනීම අපගේම යහපතට දායක වන බව ඔහු දනියි. “ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙන යන්නෙත් නුඹේ දෙවි වූ යෙහෝවා වන මමය.” මහෝත්තම දෙවි වන යෙහෝවාව දැනහඳුනා ගැනීමෙන් අප ප්‍රයෝජන ලබන්නේ කෙසේද?—ගීතාවලිය 83:17; යෙසායා 48:17.

එයින් ලැබෙන නියම ප්‍රයෝජන අතරින් එදිනෙදා ජීවිතයේ මුහුණ පාන ගැටලු සාර්ථකව හසුරුවන්න අවශ්‍ය මඟ පෙන්වීමක්, අනාගතය පිළිබඳ ස්ථිර බලාපොරොත්තුවක් සහ සාමකාමී මනසක් ලැබීම සඳහන් කළ හැකියි. ඊට අමතරව, යෙහෝවාව හොඳින් දැනහඳුනා ගැනීමෙන් ලොව පුරා වෙසෙන ජනයාට බලපාන ඉතා වැදගත් ප්‍රශ්න දෙස වෙනස් ආකල්පයකින් බැලීමට අපට හැකි වෙයි. එම ප්‍රශ්න මොනවාද?

ඔබේ ජීවිතයට අරමුණක් තිබෙනවාද?

මිනිසා විස්මිත තාක්ෂණික දියුණුවක් ලබා තිබුණද ‘මම මෙහේ ඉන්නේ ඇයි? මම යන්නේ කොහේටද? ජීවිතයේ අර්ථය කුමක්ද?’ යන මූලික ප්‍රශ්න තවමත් සමහර පුද්ගලයන් විසින් අසනු ලබයි. යම් පුද්ගලයෙකුට මෙම ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන පිළිතුරු නොලැබුණ විට ඔහුගේ ජීවිතය ගෙවී යන්නේ නියම අරමුණක් නොමැතිවයි. බොහෝදෙනෙකුට මෙම අඩුව දැනී තිබේද? වර්ෂ 1990 අගභාගයේදී ජර්මනියේ කළ සමීක්ෂණයකදී අඩක් පමණ කියා සිටියේ නිතර නිතර හෝ යම් අවස්ථාවලදී ජීවිතයට අරමුණක් නැතැයි කියා ඔවුනට හැඟී තිබෙන බවයි. සමහරවිට ඔබ ජීවත් වන ප්‍රදේශයේ තත්වයද මීට සමාන විය හැකියි.

ජීවිතයට අරමුණක් නැති විට පුද්ගලයෙකුට තම ඉලක්ක ගොඩනැඟීමට ස්ථීර පදනමක් නොලැබේ. බොහෝදෙනෙකු මෙම අඩුව පිරිමසාගන්නේ උසස් රැකියාවක් ලබාගැනීමට හෝ ධනය රැස් කිරීමට වෙහෙසීමෙනි. එසේ වුවත් එම අඩුව ඉතා තදින්ම දැනිය හැකියි. ජීවිතයට අරමුණක් නැතිකම නිසාවෙන් සමහරෙකුට ජීවත් වීමට තිබෙන ආශාව පවා නැති වී ගොස් තිබේ. එක්තරා රූමත් තැනැත්තියකගේ අද්දැකීම වූයේ එයයි. එක් පුවත්පතක (International Herald Tribune) සඳහන් වූ ආකාරයට ඇය හැදී වැඩුණේ “උතුරා යන සැප සම්පත් මැද. ඇයට ඇති තරම් නිදහස තිබුණි.” ඇයට සැප සම්පත් තිබුණද ඇයට තනිකමක් දැනුණ අතර ඇගේ ජීවිතයට අරමුණක් නැහැයි කියාද ඇයට හැඟුණා. අවසානයේදී ඇය නිදි පෙති ගෙන ජීවිතය නැති කරගත්තාය. එලෙස තනිකමක් දැනුණ වෙනත් අයගේ පවා ජීවිත ඛේදනීය ලෙස අවසන් වූ ආකාරය ගැන සමහරවිට ඔබ අසා ඇති.

එසේ වුවත් ජීවිතය පිළිබඳව නියම ආකාරයෙන් පැහැදිලි කිරීමට විද්‍යාවට හැකියි කියා සමහරුන් කියනවා ඔබ අසා තිබේද? ජර්මනියේ පළ වන සතිපතා පුවත්පතක (Die Woche) ඒ පිළිබඳව මෙවන් අදහසක් පළ කර තිබුණි. “විද්‍යාව සත්‍යය වුණත් එය ආගමික සහ සදාචාරාත්මක පැත්තෙන් දුර්වලයි. පරිණාමවාදය පවතින්නේ තවමත් ප්‍රාථමික අවදියකයි. ඇරත් සියුම් හා වෙනස් වීම්වලට භාජන වන ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් පවා අස්වැසිල්ලක් හා ආරක්ෂිතභාවයක් ලබා දෙන්නේ නැත.” විද්‍යාත්මක සොයාගැනීම් මගින් ජීවිතයේ විවිධ පැති පැහැදිලි කිරීමට සෑහෙන උත්සාහයක් දරා තිබෙන අතර ජීවිතය පවත්වාගෙන යන ස්වභාවික චක්‍රයන් හා ක්‍රියාවලීන් ගැනද පැහැදිලි කර තිබේ. ඒ කෙසේවෙතත් අප මෙහි සිටින්නේ ඇයි සහ අප යන්නේ කොහේටද කියා අපට පැහැදිලි කර දෙන්න විද්‍යාව අසමත්. අප මුළුමනින්ම විද්‍යාව මත රැඳෙනවා නම් ජීවිතයේ අරමුණ කුමක්ද යන ප්‍රශ්නයට අපට කෙදිනකවත් පිළිතුරු ලැබෙන්නේ නැත. එයින් ඇති වී තිබෙන ප්‍රතිපලය ගැන එක් පුවත්පතක (Süddeutsche Zeitung) මෙසේ ප්‍රකාශ කර තිබුණි. “මඟ පෙන්වීම ලබාගැනීම සඳහා දැඩි අවශ්‍යතාවක් තිබේ.”

මඟ පෙන්වීම දීමට මැවුම්කරුට වඩා සුදුසුකම් ලබන්නේ වෙන කවුද? මුලින්ම මිනිසාව පොළොවේ පදිංචි කෙරෙව්වේ ඔහුයි. එමනිසා ඔවුන් මෙහි සිටින්නේ මන්ද කියා ඔහු දන්නා බව ස්ථිරයි. යෙහෝවා මිනිසාව මැව්වේ පොළොව ජනයාගෙන් පිරවීමට හා එහි රැකබලා ගන්නන් ලෙස කටයුතු කිරීමට කියා බයිබලයේ පැහැදිලි කරයි. මිනිසාගේ සෑම ක්‍රියාවකදීම ඔවුන් දෙවිගේ ගුණංග වන යුක්තිය, ප්‍රඥාව සහ ප්‍රේමය විදහා පෙන්වීමටද යුතුව තිබිණි. යෙහෝවා අපව මැව්වේ මන්ද යන කාරණය තේරුම්ගත් විට අප මෙහි සිටින්නේ ඇයි කියා අපට දැනගත හැකියි.—උත්පත්ති 1:26-28.

ඔබට කුමක් කළ හැකිද?

‘මම මෙහේ ඉන්නේ ඇයි? මම යන්නේ කොහේටද? ජීවිතයේ අර්ථය කුමක්ද?’ යන ප්‍රශ්නවලට ඔබට මෙතෙක් සෑහීමට පත් කරවන පිළිතුරු නොලැබුණා නම් ඔබ කුමක් කළ යුතුද? ඒ සඳහා බයිබලයෙහි නිර්දේශ කර ඇත්තේ යෙහෝවා දෙවිව හොඳින් දැනහඳුනා ගන්නා ලෙසටයි. “සදාකාල ජීවනය නම් මේය. එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔවුන් දැනුම ලබාගැනීමය” කියා යේසුස් පැවසුවේය. විශේෂයෙන්ම ප්‍රේමය ඇතුළු අනිකුත් දේවගුණාංග වර්ධනය කරගැනීමටත් පැමිණීමට තිබෙන දෙවිගේ මෙසියානු රාජ්‍යයේ ජීවත් වීම ඔබේ පෞද්ගලික ඉලක්කය කරගැනීමටත් ඔබට උනන්දු කර ඇත. එවිට ඔබේ ජීවිතයට අරමුණක් තිබෙන අතර ලස්සන, සුරක්ෂිත අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇතුව සිටීමටද ඔබට හැක. එවිට මෙතෙක් ඔබට පැහැදිලි නොවූ මූලික ප්‍රශ්නයන්ට පිළිතුරු ලැබෙනු ඇත.—යොහන් 17:3; දේශනාකාරයා 12:13.

මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණ විට එය ඔබේ ජීවිතයට කොතරම් දුරකට බලපායිද? මෙයට පිළිතුරු දීමට හොඳම පුද්ගලයා හාන්ස්. * වසර කිහිපයකට පෙර දෙවි පිළිබඳව ඔහුට යම් අපැහැදිලි විශ්වාසයක් තිබුණත් එය ඔහුගේ ජීවිතයට කිසිම බලපෑමක් කළේ නැත. හාන්ස් හිතුමනාපෙට මත්ද්‍රව්‍ය භාවිත කරමින් දුරාචාර ජීවිතයක් ගත කළේය. ඒ වගේම, සුළු සුළු අපරාධයන්වලද නිරත වූ ඔහු යතුරුපැදිවලටද ලොල්කමක් දැක්වීය. “මොනවා කළත් ජීවිතයෙහි හිස්බවක් තිබුණා. ජීවිතේ නියම තෘප්තියක් තිබුණේ නැහැ” කියා හාන්ස් පැවසුවේය. අවුරුදු විසිපහක් විතර වන විට ඔහු බයිබලය සුපරීක්ෂාකාරී ලෙස කියවා දෙවිව දැනහඳුනා ගැනීමට තීරණය කළේය. යෙහෝවාව හොඳින් දැනහඳුනා ගෙන ජීවිතයේ අර්ථය කුමක්ද කියා වටහාගත් පසු හාන්ස් තමන් ජීවිතය ගත කරන ආකාරය වෙනස් කර යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු ලෙස බව්තීස්ම විය. පසුගිය වසර දහය තුළ ඔහු පූර්ණ කාලීන සේවකයෙකු ලෙස කටයුතු කරයි. “යෙහෝවාට සේවය කිරීම තමයි ජීවිතය ගෙන යන්න තියෙන හොඳම ක්‍රමය. ඒකට සමාන කරන්න වෙන කිසිම දෙයක් නැහැ. යෙහෝවාව දැනගැනීමෙන් මගේ ජීවිතයට අරමුණක් ලැබුණා” කියා හාන්ස් ඍජුව කියා සිටියේය.

කොහොම නමුත්, බොහෝදෙනෙකුගේ සැලකිල්ලට භාජන වී ඇති එකම ගැටලුව ජීවිතයේ අරමුණ පමණක්ම නොවෙයි. ලෝක තත්වය දිනෙන් දින අභාවයට යමින් තිබේ. එමනිසා මිනිසා තවත් වැදගත් ප්‍රශ්නයකට මුහුණ දෙයි.

ඇයි මෙහෙම දෙයක් සිද්ධ වුණේ?

විපත්තියක් සිදු වුණ විට ඒ විපත්තියට පත් වුණ අයගේ මනසට එක විගස නැඟෙන්නේ ඇයි මේ දේ සිද්ධ වුණේ? යන ප්‍රශ්නයයි. එම විපත්තියට මුහුණ දීමේ හැකියාව බොහෝදුරට රඳා පවතින්නේ එම ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලබාගැනීම මතයි. සෑහීම ගෙන දෙන පිළිතුරක් නොලැබුණ විටදී වේදනාව දිගින් දිගටම පවතින අතර විපත්තියට පත් වූ පුද්ගලයා තුළ කෝපයක්ද ඇති විය හැක. බෘනීගේ අද්දැකීම සලකා බලන්න.

දැන් මැදි වියේ පසු වන මවක් වන බෘනී ඇගේ අද්දැකීම විස්තර කරන්නේ මෙසේයි. “ටික කාලයකට පෙර මගේ පුංචි දුව නැති වුණා. මම දෙවි කෙනෙකුව විශ්වාස කළ නිසා මම අපේ ගමේ පියතුමා ළඟට ගියා සහනයක් පතාගෙන. ඔහු කිව්වා, දෙවි මගේ දුව සූසානාව ස්වර්ගයට ගත්තා කියලා. දැන් එයා දේවදූතිකාවක් කියලාත් කිව්වා. මගේ දුවගේ මරණය නිසා මගේ මුළු ජීවිතයම වෙනස් වුණා විතරක් නෙමෙයි මගේ දුවව ගත්ත හින්දා මට දෙවි ගැන පිළිකුලකුත් ඇති වුණා.” බෘනීගේ දුක සහ වේදනාව වසර කිහිපයක් ගත වන තුරුත් තුනී වූයේ නැත. “පස්සේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් මට බයිබලයෙන් පෙන්නුවා දෙවි සමඟ අමනාප වීමට කිසිදු හේතුවක් නැහැ කියලා. යෙහෝවා සූසානාව ස්වර්ගයට ගත්තේවත් ඇය දේවදූතිකාවක්වත් නෙමෙයි. ඇගේ අසනීපයට හේතුව මිනිස් අසම්පූර්ණකම. යෙහෝවා ඇයව නැවත නැඟිටුවන තෙක් සූසානා මරණය නමැති නින්දේ සැතපී සිටිනවා. ඔහු මනුෂ්‍යාව සෑදුවේ පාරාදීස පොළොවක ජීවත් වීමට බවත් මෙය ළඟදීම ඉටු වන බවත් මම ඉගෙනගත්තා. යෙහෝවා කොයි වගේ පුද්ගලයෙක්ද කියා තේරුම්ගත් පසු මම තව තවත් ඔහුට ළං වුණා. මගේ වේදනාවත් ටිකෙන් ටික අඩු වෙලා ගියා.”—ගීතාවලිය 37:29; ක්‍රියා 24:15; රෝම 5:12.

මිලියන ගණන් මනුෂ්‍යයන් නොයෙක් ආකාරයේ විපත්තිවලට මුහුණ දෙයි. ජීවිත හානි, යුද්ධ, වසංගත හෝ ස්වභාවික විපත්ද මීට ඇතුළත් වේ. විපත්තිවලට යෙහෝවා වගකිව යුතු නැති බවත් මනුෂ්‍යයා දුක් විඳීම කිසි විටකත් ඔහුගේ අරමුණ නොවූ බවත් ඉතාමත් ඉක්මනින් නපුර නැති කරනු ලබන බවත් බෘනී බයිබලයෙන් දැනගත් විට ඇයට සහනයක් දැනුණි. දුෂ්ටකම දිනෙන් දින වැඩිවීම අප දැන් ජීවත් වන්නේ දැන් පවතින ක්‍රමයේ “අන්තිම දවස්වල” යන්නට ලකුණකි. අප සැවොම මහත් උනන්දුවෙන් බලා සිටින මෙම විස්මිත වෙනස සිදුවීම සඳහා ඇත්තේ තව ස්වල්ප කාලයයි.—2 තිමෝති 3:1-5; මතෙව් 24:7, 8.

දෙවිව දැනහඳුනා ගැනීම

දෙවි පිළිබඳව හාන්ස්ට සහ බෘනීට මුලින් තිබුණේ යම් අපැහැදිලි අදහසක්. ඔවුන් දෙවිව විශ්වාස කළේ ඔහු පිළිබඳව එතරම් දැනුමක් නොමැතිවයි. යෙහෝවා ගැන නිවැරදි ලෙස දැනගැනීම සඳහා කාලය වැය කළ විට ඔවුන්ගේ වෑයම්වලට ප්‍රතිඵල ලැබුණි. මෙතුළින්, අපේ කාලයේ තිබෙන වැදගත්ම ප්‍රශ්නවලට පවා පැහැදිලි පිළිතුරු සොයාගැනීමට ඔවුන්ට හැකි විය. මෙමගින් ඔවුන්හට සාමකාමී මනසක් මෙන්ම අනාගතය සඳහා සුරක්ෂිත බලාපොරොත්තුවක්ද ලැබුණි. යෙහෝවාට සේවය කරන තවත් මිලියන ගණනකගේ අද්දැකීමත් මෙයමයි.

දෙවි ගැනත් ඔහු අපෙන් ඉල්ලන්නේ කුමක්ද යන්න ගැනත් සඳහන් වන්නේ බයිබලයෙහිය. එමනිසා යෙහෝවාව දැනහඳුනා ගැනීම ආරම්භ වන්නේ බයිබලය සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කිරීමෙනි. පළමු සියවසේ සිටි සේවකයන් කළේ එයයි. ග්‍රීසියේ පිහිටි බෙරීයයේ තිබූ යුදෙව් සභාවේ සාමාජිකයන් ගැන ඉතිහාසඥ සහ වෛද්‍ය ලූක් මෙවන් වාර්තාවක් සපයයි. “ඔව්හු මහත් උනන්දුවකින් වචනය පිළිගෙන, මේ දේවල් සැබෑදැයි බලන පිණිස දිනපතා ලියවිලි හොඳින් පරීක්ෂා කළෝය.”—ක්‍රියා 17:10, 11, NW.

තවද, පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන් සභාව තුළ එකට රැස් විය. (ක්‍රියා 2:41, 42, 46, NW; 1 කොරින්ති 1:1, 2; ගලාති 1:1, 2; 2 තෙසලෝනික 1:1) අද දිනත් මෙය සැබෑවකි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සභා රැස්වීම් සඳහා රැස් වෙයි. එම රැස්වීම් විශේෂයෙන් සකසා තිබෙන්නේ පුද්ලයන්ට යෙහෝවා වෙත තව තවත් ළංවීමටත් ඔහුට සේවය කිරීමෙන් ප්‍රීතිය ලබාගැනීමටත්ය. ඔබේ ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවන්ව ඇසුරු කිරීමෙන් තවත් ප්‍රයෝජනයක් ලැබේ. මනුෂ්‍යයන් ටිකෙන් ටික තමන් නමස්කාර කරන දෙවිවරුන්ට සමාන වන්නා සේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද යම් දුරකට යෙහෝවා සතු ගුණාංග විදහා පෙන්වයි. එමනිසා, සාක්ෂිකරුවන් සමඟ එකට එක් රැස්වීම යෙහෝවාව තවත් හොඳින් දැනහඳුනා ගැනීමට අප උපකාරවත් වේ.—හෙබ්‍රෙව් 10:24, 25.

යෙහෝවාව පමණක් දැනගැනීමට මෙතරම් වෑයමක් දැරීම අවශ්‍යයි කියා ඔබට සිතෙනවාද? ඇත්තෙන්ම වෑයමක් දැරීම අවශ්‍යයි. මන්දයත් ඔබේ ජීවිතයේ අත් කරගැනීමට උත්සහ කරන වෙනත් බොහෝ දෑ වෙනුවෙන්ද වෑයමක් දැරිය යුතුයි. දක්ෂ මලල ක්‍රීඩකයෙකු තම පුහුණු වීම් කිරීම සඳහා කොතරම් වෑයමක් දරනවාද කියා මොහොතකට සිතන්න. උදාහරණයකට, හිම මත ලිස්සා යාමේ ඔලිම්පික් තරඟයෙන් රන් පදක්කම් දිනාගත් ප්‍රංශයේ ෂෝන් ක්ලෝඩ් කීලී, සාර්ථක ජාත්‍යන්තර තරඟකරුවෙකු වීමට අවශ්‍ය කරන්නේ කුමක්ද කියා පවසයි. “ඔලිම්පික් තරඟයට සූදානම් වෙන්න ඕනේ අවුරුදු දහයකට කලින්. අවුරුදු ගණනාවක සිට ඒ සඳහා සැලසුම් යෙදිය යුතුයි. ඒ වගේම හැම දවසකම ඒ ගැන කල්පනා කළ යුතුයි. . . . අවුරුද්දේ තුන්සිය හැටපස් දවසේම ශාරීරිකවත් මානසිකවත් ඒ සඳහා කැප විය යුතුයි.” ඒත් ඒ සෑම දෙයක්ම යොදනු ලබන්නේ විනාඩි දහයෙන් අවසන් වන එක ධාවන තරඟයක තරඟ වැදීම සඳහායි! යෙහෝවාව දැනහඳුනා ගැනීමෙන් අත් කරගත හැකි දෙය ඊට වඩා කොතරම් අනර්ඝද! එපමණක්ද නොව එය සදාකාලිකය.

දිනෙන් දින සමීප වන සබඳතාවක්

ජීවිතයේ වටිනාම දෙයක් නැති කරගන්න කාටද අවශ්‍ය? කාටවත් අවශ්‍ය නැත. එමනිසා, ඔබේ ජීවිතයට අරමුණක් නැහැයි කියා හැඟුණොත් එසේ නැතහොත් විපත්ති සිදු වන්නේ ඇයි කියා දැනගැනීමට අවශ්‍යයි කියා දැනුණොත් බයිබලයෙහි සඳහන් දෙවි වන යෙහෝවාව දැනහඳුනා ගැනීමට අදිටන් කරගන්න. ඔහු ගැන ඉගෙනීමෙන් ඔබේ ජීවිතය වඩා සතුටුදායක එකක් බවට හැරෙන අතර එය එසේ වන්නේ ටික කාලයකට නොව සදාකාලයටමයි.

අප යෙහෝවා ගැන ඉගෙනගැනීම කවදා හෝ නතර කරනවාද? වසර ගණනාවක් ඔහුට සේවය කරමින් සිටින අය තමන් ඔහු පිළිබඳව ඉගෙනගෙන තිබෙන දේවල් ගැනත් ඔහු පිළිබඳව තවමත් ඉගෙනගනිමින් සිටින අලුත් දේවල් ගැනත් පුදුමයට පත් වෙති. එම දේවල් ඉගෙනගැනීම අපගේ ප්‍රීතියට පමණක් නොව අපව තව තවත් දෙවි වෙතට ළං කරවීමටද හේතු වේ. අපත් ප්‍රේරිත පාවුල් ලියූ දේ සමඟ එකඟ වෙමු. “දෙවිගේ පොහොසත්කමත් ප්‍රඥාවත් දැනුමත් කොතරම් ගැඹුරුද! ඔහුගේ විනිශ්චයන් සොයා දැනගැනීමත්, ඔහුගේ මාර්ග තේරුම්ගැනීමත් කොතරම් අමාරුද! මන්ද, ‘යෙහෝවාගේ මනස දැනගත්තේ කවුද? ඔහුගේ උපදේශකයා වූයේ කවුද?’”—රෝම 11:33, 34, NW.

[පාදසටහන]

^ 12 ඡේ. නම් වෙනස් කර ඇත.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘මම මෙහේ ඉන්නේ ඇයි? මම යන්නේ කොහේටද? ජීවිතයේ අර්ථය කුමක්ද?’ යන මූලික ප්‍රශ්න තවමත් සමහර පුද්ගලයන් විසින් අසනු ලබයි

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“යෙහෝවා කොයි වගේ පුද්ගලයෙක්ද කියා තේරුම්ගත් පසු මම තව තවත් ඔහුට ළං වුණා”

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“යෙහෝවාට සේවය කිරීම තමයි ජීවිතය ගෙන යන්න තියෙන හොඳම ක්‍රමය. ඒකට සමාන කරන්න වෙන කිසිම දෙයක් නැහැ. යෙහෝවාව දැනගැනීමෙන් මගේ ජීවිතයට අරමුණක් ලැබුණා”