ආගම නිසා පීඩා විඳින්නේ ඇයි?
ආගම නිසා පීඩා විඳින්නේ ඇයි?
ජනයා සිය ආගම නිසා පීඩා විඳිය යුතු බව ඔබ සිතනවාද? බොහෝදුරට ඔබ එවැනි අදහසක් නොදරනු ඇත. අඩුම තරමින් ඔවුන් අන් අයගේ අයිතිවාසිකම්වලට ඇඟිලි නොගසා සිටින තෙක්වත්, එසේ නොකළ යුතු යයි ඔබ සිතනවා ඇත. එහෙත් ආගමක් ඇදහීම නිසා පීඩා පැමිණවීම සම්බන්ධයෙන් බලන කල ඊට දිගු ඉතිහාසයක් ඇති අතර තවමත් එය සිදු වෙමින් පවතී. උදාහරණයකට, 20වන සියවස පුරා යුරෝපයේ සහ ලෝකයේ වෙනත් ප්‍රදේශවල සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙකුගේ අයිතිවාසිකම් පැහැරගනු ලැබූ අතර ඔවුන්ට කුරිරු වධ හිංසාද පමුණුවන ලදි.
එම කාලය පුරා, යුරෝපයේ බලවත්ම ඒකාධිපති පාලනයන් දෙක යටතේ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ අමානුෂිකව දිගු කාලීනව හා සැලසුම්සහගතව එල්ල කරන ලද හිංසා පීඩාවලට ලක් වූවෝය. ආගම නිසා පීඩා විඳීම ගැන ඔවුන්ගේ අද්දැකීමෙන් අපට උගන්වන්නේ කුමක්ද? එමෙන්ම වධ හිංසා අද්දකිද්දී ඔවුන් ප්‍රතික්‍රියා කළ ආකාරයෙන් අපට කුමක් උගත හැකිද?
“ලෝකයේ කොටසක් නොවේ”
යෙහෝවාගේ සාක්ෂිකරුවෝ නීතිය රකින, සාමයට ලැදි මෙන්ම සදාචාරසම්පන්න සෙනඟක් වීමට වෙර දරති. ඔවුන් ආණ්ඩුවලට විරුද්ධ වන්නේ හෝ ඒවා සමඟ ගැටුම් ඇති කරගැනීමට උත්සාහ කරන්නේ හෝ ප්‍රාණ පරිත්‍යාගිකයන් වීමට වුවමනාවෙන් පීඩාවලට අත වනන්නේ හෝ නැත. මෙම ක්‍රිස්තියානීහු දේශපාලනික වශයෙන් මධ්‍යස්ථව සිටිති. මෙසේ කරන්නේ යේසුස්ගේ මෙම වචනවලට එකඟවය. “මා ලෝකයේ කොටසක් නොවන්නා සේම [මාගේ අනුගාමිකයෝද] ලෝකයේ කොටසක් නොවෙති.” (යොහන් 17:16, NW) බොහෝ රජයන් සාක්ෂිකරුවන්ගේ මධ්‍යස්ථ ස්ථාවරය අගය කරයි. එහෙත් ක්‍රිස්තියානීන් ලෝකයේ කොටසක් නොවිය යුතුය යන බයිබල් ප්‍රතිපත්තියට ඒකාධිපති පාලකයන් දක්වන්නේ සුළු ගෞරවයකි.
මෙයට හේතුව 2000 නොවැම්බර් මාසයේදී ජර්මනියේ හයිඩ්ල්බර්ග් විශ්වවිද්‍යාලයේ පැවති සම්මේලනයකදී පැහැදිලි කරනු ලැබීය. සම්මේලනයේ තේමාව වූයේ, “මැඩලීම හා ආත්මාභිමානය: ජාතික සමාජවාදී හා කොමියුනිස්ට්වාදී ආඥාදායකත්වයන් යටතේ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ” යන්නය. හානා-ආරෙන්ට් ඒකාධිපතිවාදය සම්බන්ධ පර්යේෂණ ආයතනයේ ආචාර්ය ක්ලෙමන්ස් ෆෝල්න්හාල්ස් මෙසේ නිරීක්ෂණය කළේය. “ඒකාධිපති පාලකයන් තම ක්‍රියාකාරකම් දේශපාලනයට පමණක් සීමා කරන්නේ නැත. ඔවුහු සෑම පුද්ගලයෙකුගෙන්ම පූර්ණ යටත් වීමක් බලාපොරොත්තු වෙත්.”
සැබෑ ක්‍රිස්තියානීන් යෙහෝවා දෙවිට පමණක් මුළුමනින්ම පක්ෂපාත වීමට පොරොන්දු වී සිටින බැවින්, මනුෂ්‍ය පාලනයට “පූර්ණ” යටත්කමක් දැක්වීමට ඔවුන්ට නොහැකියි. ඒකාධිපති ආඥාදායකත්වයන් යටතේ වෙසෙන සාක්ෂිකරුවන්ට පෙනී ගොස් ඇති දෙයක් නම්, රජයෙන් ඉල්ලන දේ සහ තම ඇදහිල්ල සම්බන්ධයෙන් අවශ්‍ය වන දේ අතර ඇතැම්විට ගට්ටනයක් ඇති වන බවය. එවැනි දෙමංසලකදී ඔවුන් කුමක් කර ඇද්ද? ඉතිහාසය දෙස බලන කල, යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් විසින් ප්‍රකාශ කරන ලද ප්‍රතිපත්තිය වන “මනුෂ්‍යයන්ට වඩා දෙවිට අප විසින් කීකරු විය යුතුය” යන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින්ද සිය ජීවිතවලට අදාළ කරගෙන තිබෙන බව පෙනේ.—ක්‍රියා 5:29.
කෲරතම පීඩා මැද පවා සාක්ෂිකරුවන් දහස් ගණනක් තම ඇදහිල්ලට පක්ෂපාත වෙමින් දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් මධ්‍යස්ථව සිට ඇත. විඳදරාගන්න ඔවුන්ට හැකි වූයේ කෙලෙසද? එසේ කිරීමට ඔවුන්ට ශක්තිය ලැබුණේ කොතැනින්ද? ඔවුන් වෙනුවෙන් පිළිතුරු දීමට ඔවුන්ටම ඉඩ හරිමු. එමෙන්ම සාක්ෂිකරුවන් මෙන්ම සාක්ෂිකරුවන් නොවන්නන් ඇතුළු සෑමදෙනාටම මෙම අද්දැකීම්වලින් කුමක් උගත හැකිදැයි දැන් අපි බලමු.
[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
ජර්මනියේ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ 20වන සියවසේ ඒකාධිපති පාලනයන් දෙක යටතේ දිගු කාලයක් පුරා කුරිරු වධහිංසා වින්දෝය
[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“ඒකාධිපති පාලනයේ ක්‍රියාකාරකම් දේශපාලනයට පමණක් සීමා වන්නේ නැත. සෑම පුද්ගලයෙකුගෙන්ම පූර්ණ යටත් වීමක් බලාපොරොත්තු වෙත්.” ආචාර්ය ක්ලෙමන්ස් ෆෝල්න්හාල්ස්
[4වන පිටුවේ පින්තූරය]
ඇදහිල්ලට ද්‍රෝහී නොවූ නිසා කුසරෝ පවුලට ඔවුන්ගේ නිදහස අහිමි වුණා
[4වන පිටුවේ පින්තූරය]
යෝහානස් හාම්ස්ව සිය විශ්වාසයන් නිසා නාට්සි බන්ධනාගාරයකදී ඝාතනයට ලක් කරනු ලැබීය