Skip to content

පටුනට යන්න

ඔබේ මුළු හදවතින්ම යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න

ඔබේ මුළු හදවතින්ම යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න

ඔබේ මුළු හදවතින්ම යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න

“ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාසය තබන්නෝය.”—ගීතාවලිය 9:10, NW.

1, 2. මිනිසුන් සුරක්ෂිතභාවය පතා නිෂ්ඵල ලෙස විශ්වාසය තබන ඇතැම් දේවල් මොනවාද?

අද දින බොහෝ දේවල් මගින් අපේ ශුභසිද්ධියට තර්ජනයක් එල්ල වන විට සාමාන්‍යයෙන් අප කරන්නේ ආරක්ෂාව ලබාගත හැකි යමෙකුගේ හෝ යම් දෙයක උපකාරය පැතීමයි. හුඟාක් සල්ලි තිබෙනවා නම් තමන්ගේ අනාගතය සුරක්ෂිතයි කියා සමහරු සිතති. කෙසේවෙතත් මුදල් කියන්නේ වහා වෙනස් වනසුලු ආරක්ෂකයෙකි. මේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වේ. “තමාගේ වස්තුව කෙරෙහි විශ්වාස කරන්නා වැටෙන්නේය.” (හිතෝපදේශ 11:28) තවත් අය තමන්ගේ බලාපොරොත්තු තබන්නේ මිනිස් නායකයන් කෙරෙහියි. එනමුත් දක්ෂතම නායකයන්ට පවා වැරදෙයි. යම් දවසක ඔවුන් සියලුදෙනාම මිය යනු ඇත. නැණවත් ලෙස බයිබලයේ පවසන්නේ “අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබන්න” කියාය. (ගීතාවලිය 146:3) අපේම උත්සාහයන් මත පවා විශ්වාසය තැබීමට එරෙහිව දේවානුභාවයෙන් ලියා තිබෙන එම වදන්වලින් අනතුරු ඇඟවීමක් කරයි. මන්ද, අපත් ‘මනුෂ්‍ය පුත්‍රයන්ගේ’ ගණයට අයිති වන බැවිනි.

2 පුරාණ ඊශ්‍රායෙල් ජාතියේ නායකයන් ‘බොරුව රක්ෂාස්ථානයක්’ කරගෙන එය කෙරෙහි විශ්වාසය තැබීම ගැන අනාගතවක්තෘ යෙසායා ඔවුන්ව විවේචනය කළේය. (යෙසායා 28:15-17) ආරක්ෂාව සොයා යෑමේදී ඔවුන් කළේ අසල්වැසි ජාතීන් සමඟ දේශපාලනික මිත්‍රකම් ඇති කරගැනීමයි. එවන් මිත්‍රකම් කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි විය. ඒවා බොරු මිත්‍රකම්ය. ඒ හා සමානව අද දින සිටින ආගමික නායකයන් බොහෝදෙනෙක් දේශපාලනික නායකයන් සමඟ මිත්‍ර සබඳතා ගොඩනඟා ගනිති. එම මිත්‍රකම්ද ‘බොරුවක්’ බව ඔප්පු වනු ඇත. (එළිදරව් 17:16, 17) එම නායකයන් කල්පවතින සුරක්ෂිතභාවයක් ගෙන එන්නේ නැත.

යෝෂුවා හා කාලෙබ් තැබූ යහපත් ආදර්ශය

3, 4. යෝෂුවා හා කාලෙබ් දුන් වාර්තාව අනෙක් ඔත්තුකරුවන් දසදෙනා දුන් වාර්තාවට වඩා වෙනස් වූයේ කෙසේද?

3 එසේනම්, අපට සුරක්ෂිතභාවය සොයාගත හැක්කේ කොතැනින්ද? මෝසෙස්ගේ කාලයේ විසූ යෝෂුවා සහ කාලෙබ් විශ්වාසය තැබූ තැනැත්තාගෙනි. ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ වහල්භාවයෙන් නිදහස ලබා වැඩි කල් යන්නට මත්තෙන් පොරොන්දු දේශය වූ කානාන් දේශයට ඇතුල් වන මායිමේ සිටියහ. එම දේශය සෝදිසි කර බැලීමට පුරුෂයන් දොළොස්දෙනෙකුව යවන ලදි. ඔවුහු එම දේශය පිළිබඳ තමන්ගේ වාර්තාව ලබා දීම සඳහා දවස් 40කට පසු නැවත පැමිණියහ. ඊශ්‍රායෙල්වරුන්ට කානාන්හි සමෘද්ධිමත් ජීවිතයක් ගත කළ හැකි බව පැවසුවේ යෝෂුවා හා කාලෙබ් පමණි. දේශය පදිංචියට සුදුසු බව සෙසු අය පිළිගත්තත් ඔවුහු මෙසේද පැවසූහ. “දේශයෙහි සිටින සෙනඟ බලවත්ය. නුවරවල්ද ප්‍රාකාර සහිතව ඉතා මහත්ය. . . . ඒ සෙනඟට විරුද්ධව යන්ට අපට නොහැකිය. මක්නිසාද ඔවුන් අපට වඩා බලවත්ය.”—ගණන් කථාව 13:27, 28, 31.

4 දේශය සෝදිසි කිරීමට ගිය දසදෙනාගේ වාර්තාවට සවන් දුන් ඊශ්‍රායෙල්වරු බියට පත් වී මෝසෙස්ට විරුද්ධව කොඳුරන්ට පටන්ගත්හ. අවසාන වශයෙන්, යෝෂුවා සහ කාලෙබ් මහත් හැඟීමෙන් යුතුව මෙසේ පවසන්නට විය. “අප සෝදිසි කරන්ට ගිය දේශය හොඳ දේශයක්ය. යෙහෝවා අප කෙරෙහි ප්‍රසන්න වන්නේ නම් කිරි සහ මී පැණි ගලා යන ඒ දේශයට අප පමුණුවා ඒක අපට දෙනවා ඇත. යෙහෝවාට විරුද්ධව කැරලිගැසීමක් නම් නොකරන්න. ඒ දේශයේ සෙනඟට භය නොවන්න.” (ගණන් කථාව 14:6-9) කෙසේවෙතත් ඊශ්‍රායෙල්වරුන් ඔවුන් දෙදෙනාට සවන් දීම ප්‍රතික්ෂේප කළ අතර එහි ප්‍රතිඵලයක් හැටියට ඒ කාලයේදී ඔවුන්ට පොරොන්දු දේශයට යෑමට ඉඩ නොදෙන ලදි.

5. යෝෂුවා සහ කාලෙබ් හොඳ වාර්තාවක් දුන්නේ මන්ද?

5 දසදෙනා නරක වාර්තාවක් දෙද්දී යෝෂුවා සහ කාලෙබ් හොඳ වාර්තාවක් දුන්නේ මන්ද? දොළොස්දෙනාම දුටුවේ එකම බලවත් නුවරවල් හා ජාතීන්වයි. එම දේශය අත් පත් කරගැනීමට තරම් ඊශ්‍රායෙල්වරුන් බලවත් නැහැ කියා දසදෙනා පැවසූ දෙය බොරුවක් නොවේ. යෝෂුවා සහ කාලෙබ්ද ඒ බව දැන සිටියහ. කෙසේවෙතත් දසදෙනා කාරණා දෙස බැලුවේ මාංශික දෘෂ්ටියකිනි. අනිත් අතට යෝෂුවා සහ කාලෙබ් යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබූහ. යෙහෝවා ඊජිප්තුවේදී හා රතු මුහුද අසලදී මෙන්ම සීනයි කන්ද පාමුලදී කළ බලවත් ක්‍රියා ඔවුන් දැක තිබිණ. එපමණක්ද නොව, දශක කිහිපයක් ගත වී තිබියදීත් එම බලවත් ක්‍රියා ගැන ඇසීමෙන් පමණක් දෙවිගේ සෙනඟව ගලවාගැනීම සඳහා ඇගේ ජීවිතය පවා පරදුවට තැබීමට රාහබ් තුළ පෙලඹීමක් ඇති විය. (යෝෂුවා 2:1-24; 6:22-25) යෙහෝවා සිදු කළ දේවල් සියැසින් දුටු යෝෂුවාට සහ කාලෙබ්ට දෙවි ඔහුගේ සෙනඟ වෙනුවෙන් ඉදිරියේදීත් සටන් කරන බවට සම්පූර්ණ විශ්වාසයක් තිබිණ. අවුරුදු හතළියකට පසු ඊශ්‍රායෙල් ජාතියේ නව පරම්පරාවක් යෝෂුවාගේ නායකත්වය යටතේ පොරොන්දු දේශය අත් පත් කරගත් විට යෝෂුවා සහ කාලෙබ් එලෙස විශ්වාසය තැබීම ඥානවන්ත දෙයක් වූ බව තහවුරු විය.

අප යෙහෝවා කෙරෙහි නිසැකව විශ්වාසය තැබිය යුතු වීමට හේතු

6. ක්‍රිස්තියානීන් අද දින පීඩනවලට මුහුණ දෙන්නේ මන්ද? ඔවුන් විශ්වාසය තැබිය යුත්තේ කවුරුන් කෙරෙහිද?

6 ඊශ්‍රායෙල්වරුන් හා සමාන තත්වයක සිටින අපද මේ “අවදානම් සහිත තීරණාත්මක කාලවලදී” අපේම ශක්තියෙන් මුහුණ දිය නොහැකි පීඩාකාරී තත්වයන් අද්දකින්නෙමු. (2 තිමෝති 3:1, NW) සදාචාරමය හා ආත්මික වශයෙන්ද, ඇතැම් අවස්ථාවලදී ශාරීරික වශයෙන්ද අපි පීඩනවලට මුහුණ දෙන්නෙමු. මෙම පීඩා ඇති කරන්නේ මනුෂ්‍යයන්ට වඩා බලවත් කෙනෙකු වන සාතන් නමැති යක්ෂයා නිසා අපේම ශක්තියෙන් ඒවාට සාර්ථකව මුහුණ දීමට අපට නොහැක. (එපීස 6:12; 1 යොහන් 5:19) අපට උපකාරය ලබාගත හැක්කේ කොහෙන්ද? පූරාණයේ විසූ ඇදහිලිවන්ත මිනිසෙක් යෙහෝවාට යාච්ඤා කරද්දී මෙසේ පැවසුවේය. “ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාසය තබන්නෝය.” (ගීතාවලිය 9:10, NW) අප ඇත්තටම යෙහෝවාව දන්නවා නම්, ඔහුගේ නාමයේ අර්ථය තේරුම්ගෙන සිටිනවා නම්, යෝෂුවා හා කාලෙබ් මෙන්ම අපත් ඔහු කෙරෙහි විශ්වාසය තබනු ඇත.—යොහන් 17:3, NW.

7, 8. (අ) යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට මැවිල්ල අපට හේතු සපයන්නේ කෙසේද? (ආ) යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට බයිබලය සපයන හේතු මොනවාද?

7 අප යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබිය යුත්තේ මන්ද? යෝෂුවා හා කාලෙබ් යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට එක් හේතුවක් වූයේ ඔහු බලය විදහා පෙන්වන ආකාරය ඔවුන් දැක තිබීමයි. අපත් ඒ පිළිබඳ සාක්ෂි දැක ඇත. උදාහරණයකට බිලියන ගණන් මන්දාකිණිවලින් සමන්විත විශ්වය ඇතුළු යෙහෝවාගේ මැවිලි ගැන සිතන්න. යෙහෝවාගේ පාලනය යටතේ පවතින අතිප්‍රබල බලයක් ගැබ් වී තිබෙන දේවලින් පැහැදිලි වන්නේ ඔහු සර්වපරාක්‍රම තැනැත්තා බවයි. මැවිල්ලේ විස්මයන් ගැන අප ගැඹුරින් කල්පනා කරද්දී යෝබ් යෙහෝවා ගැන පැවසූ මෙම වදන් සමඟ එකඟ වීමට අපටද සිදු වේ. “ඔහුව වළක්වන්නේ කවුද? ඔබ මක්කරනවාදැයි ඔහුට කියන්න පුළුවන් කාටද?” (යෝබ් 9:12) ඇත්තෙන්ම යෙහෝවා අපේ පැත්තේ සිටිනවා නම් විශ්වයේ තිබෙන කිසිම දෙයකට අප භය විය යුතු නැත.—රෝම 8:31.

8 යෙහෝවාගේ වචනය වන බයිබලය ගැනද සිතා බලන්න. දිව්‍ය ප්‍රඥාව අසීමිත ලෙස අඩංගු වන මෙම මූලාශ්‍රය ඉතාමත් බලවත්. වැරදි පුරුදු අත්හැර ගැනීමටත් අපේ ජීවිත යෙහෝවාගේ කැමැත්තට එකඟව හැඩගස්වා ගැනීමටත් එය අපට උපකාරවත් වන ආකාරයෙන් අපි එහි බලය අද්දකින්නෙමු. (හෙබ්‍රෙව් 4:12) අප යෙහෝවාව නමින් දැනහඳුනා ගෙන ඔහුගේ නාමයෙන් අර්ථවත් වන දේ තේරුම්ගත්තේ බයිබලය මාර්ගයෙනි. (නික්මයාම 3:14) යෙහෝවාට ඔහුගේ අරමුණු ඉටු කරගැනීම සඳහා ඔහු කැමති ඕනෑම තත්වයකට පත්වීමට හැකි බව අපි වටහාගෙන සිටින්නෙමු. මෙසේ ප්‍රේමණීය පියෙකු, ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙකු හෝ ජයග්‍රාහි සෙන්පතියෙකුවීමට ඔහුට පුළුවනි. එමෙන්ම ඔහුගේ වචනය සැමවිටම සැබෑ වී තිබෙන ආකාරයද අපි දකින්නෙමු. අපි දේවවචනය අධ්‍යයනය කරන විට ගීතිකාකරු පැවසූ මෙම වදන් පැවසීමට අප තුළද පෙලඹීමක් ඇති වේ. “මම ඔබගේ වචනය කෙරෙහි විශ්වාසය තබා ඇත්තෙමි.”—ගීතාවලිය 119:42, NW; යෙසායා 40:8.

9. මිදීමේ මිලය හා යේසුස්ගේ නැවත නැඟිටීම මගින් යෙහෝවා කෙරෙහි තිබෙන අපේ විශ්වාසය ශක්තිමත් වන්නේ කෙසේද?

9 යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට තවත් හේතුවක් වන්නේ මිදීමේ මිලයයි. (මතෙව් 20:28) මිදීමේ මිලයක් සපයමින් අප වෙනුවෙන් මිය යෑමට දෙවි ඔහුගේම පුත්‍රයාව එවීම මොනතරම් විශිෂ්ට ක්‍රියාවක්ද! ඇත්තෙන්ම මිදීමේ මිලයට මහත් බලයක් ඇත. පසුතැවිලි වී අවංක හදවතකින් යෙහෝවා වෙතට හැරෙන සියලුම ජනයාගේ පාප එයින් වසා දැමේ. (යොහන් 3:16; හෙබ්‍රෙව් 6:10; 1 යොහන් 4:16, 19) මිදීමේ මිලය ගෙවීම සඳහා යේසුස්ව නැවත නැඟිටවීම අවශ්‍ය විය. ඇසින් දුටු සාක්ෂිකරුවන් සියගණනක් විසින් සත්‍යයක් බව තහවුරු කරන ලද මෙම ප්‍රාතිහාර්යය යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට හේතු වන තවත් දෙයකි. අපේ බලාපොරොත්තුව සුන් නොවී නිසැකවම ඉටු වන බවට එය සහතිකයක් වේ.—ක්‍රියා 17:31; රෝම 5:5; 1 කොරින්ති 15:3-8.

10. යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට අපට පෞද්ගලිකව තිබෙන හේතු මොනවාද?

10 මේවා අපට යෙහෝවා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබිය හැකිවීමට හා තැබිය යුතු වීමට තිබෙන හේතුවලින් සමහරක් පමණි. තව හේතු රැසක් තිබෙන අතර ඒවායින් සමහරක් පෞද්ගලික ඒවාය. උදාහරණයක් හැටියට කලින් කලට අපි සියලුදෙනාම දුෂ්කරතාවලට මුහුණ දෙන්නෙමු. ඒවා සමඟ කටයුතු කිරීමේදී අප යෙහෝවාගේ මඟ පෙන්වීම් සොයා බලන විට එම මඟ පෙන්වීම් කොතරම් ප්‍රායෝගිකද කියා අපි තේරුම්ගන්නෙමු. (යාකොබ් 1:5-8) අපේ එදිනෙදා ජීවිතයේදී වැඩි වැඩියෙන් යෙහෝවා මත රඳා සිටිමින් යහපත් ප්‍රතිඵල අද්දකින විට ඔහු කෙරෙහි තිබෙන අපේ විශ්වාසය තව තවත් ශක්තිමත් වනු ඇත.

යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබූ දාවිත්

11. දාවිත් යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබුවේ කුමන තත්වයන් මැදද?

11 පුරාණ ඊශ්‍රායෙලයේ විසූ දාවිත් යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබූ කෙනෙකි. තමන්ව මරන්න සෙවූ සාවුල් රජුගේ තර්ජනවලට මෙන්ම ඊශ්‍රායෙල්වරුන්ව පරාජය කිරීමට තැත් කරමින් සිටි පිලිස්තිවරුන්ටද මුහුණ දීමට දාවිත්ට සිදු විය. කෙසේවෙතත් ඔහු සිය දිවි ගලවාගත් අතර ජයග්‍රහණයද ලැබුවේය. මෙයට හේතු වූයේ කුමක්ද? දාවිත්ම මෙසේ පැහැදිලි කරයි. “යෙහෝවා මාගේ ආලෝකයත් ගැලවීමත්ය. මම කාට භය වන්නෙම්ද? යෙහෝවා මාගේ ජීවිතයේ ශක්තියය. මම කාට භීත වන්නෙම්ද?” (ගීතාවලිය 27:1) අපත් ඒ හා සමානව යෙහෝවා කෙරෙහි විශ්වාසය තබනවා නම් ජය අත් කරගනු ඇත.

12, 13. විරුද්ධකරුවන් අපට එරෙහිව අවියක් මෙන් ඔවුන්ගේ දිව් පාවිච්චි කරද්දී පවා අප යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබිය යුතු බව දාවිත් පෙන්වූයේ කෙසේද?

12 එක් අවස්ථාවකදී දාවිත් මෙසේ යාච්ඤා කළේය. “දෙවියනි, මාගේ විලාපයේදී මාගේ හඬට කන් දුන මැනව. සතුරු භයින් මාගේ ප්‍රාණය රැකගත මැනව. නපුරුකම් කරන්නන්ගේ රහස් මන්ත්‍රණයෙන්ද අයුතුකම් කරන්නන්ගේ කෝලාහලයෙන්ද මා සඟවාගත මැනව. රහස් තැන්වලදී නිර්දෝෂ අයට විදින පිණිස ඔවුහු කඩුවක් මෙන් තමුන්ගේ දිව මුවහත් කොට තික්ත වචන නමැති ඊගස් යෙදුවෝය.” (ගීතාවලිය 64:1-4) මෙම වදන් ලිවීමට දාවිත් පෙලඹුණේ ඇයි කියා අපට ස්ථිරව කිව නොහැක. එනමුත් අද සිටින අපේ විරුද්ධවාදීන්ද යුද්ධයේදී භාවිත කරන අවියක් මෙන් ඔවුන්ගේ ‘දිව මුවහත් කරගෙන’ සිටින බව අපි දනිමු. මොවුහු ‘ඊගස්’ බඳු වැරදිසහගත තොරතුරු වාචිකව හෝ ලිඛිතව යොදාගනිමින් නිර්දෝෂ ක්‍රිස්තියානීන්ට ‘විදිති.’ අපි යෙහෝවා කෙරෙහි තබා තිබෙන විශ්වාසය කිසිවිටකත් බිඳගන්නේ නැත්නම් ඉන් අත් වන ප්‍රතිඵල මොනවාද?

13 දාවිත් තවදුරටත් මෙසේ පවසයි. ‘දෙවි ඔවුන්ට විදින්නේය. ඊගසකින් හදිසියෙන් ඔවුන්ට තුවාල වන්නේය. ඔවුන්ගේ දිව් මෙසේ තමුන්ටම විරුද්ධ වී ඔවුන්ගේ පැකිලීම සිදු වන්නේය. . . . ධර්මිෂ්ඨයා යෙහෝවා තුළ සන්තෝෂ වන්නේය. ඔහු කෙරෙහි විශ්වාස කරන්නේය.’ (ගීතාවලිය 64:7-10) සතුරන් අපට විරුද්ධව ඔවුන්ගේ දිව් උල් කරගත්තද අන්තිමේදී ‘ඔවුන්ගේ දිව් ඔවුන්ටම විරුද්ධ වන්නේය.’ යෙහෝවා කෙරෙහි විශ්වාසය තබා තිබෙන අයට ප්‍රීති විය හැකි වන පරිදි ඔහු අවසානයේදී සාර්ථක ප්‍රතිඵල ඇති වන අයුරින් කාරණා කණපිට පෙරළයි.

හෙසකියා තැබූ විශ්වාසය නිෂ්ඵල දෙයක් නොවූ බව තහවුරු වේ

14. (අ) හෙසකියා යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබුවේ කුමන ආකාරයේ භයානක තත්වයක් මැදද? (ආ) අෂූරියන්ගේ බොරු තමන් විශ්වාස නොකළ බව හෙසකියා පෙන්වූයේ කෙසේද?

14 හෙසකියා රජ යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබූ තවත් කෙනෙකි. ඔහු තැබූ විශ්වාසයද නිෂ්ඵල දෙයක් නොවූ බව තහවුරු විය. හෙසකියාගේ පාලන සමයේදී බලවත් අෂූරිය හමුදාව යෙරුසලමට තර්ජනය කළේය. එම හමුදාව ජාතීන් බොහොමයක් පරාජය කර තිබිණ. යුදයේ පිහිටි නගර පවා අත් පත් කරගෙන තිබූ එම හමුදාවට ජයගැනීමට තිබුණේ යෙරුසලම පමණයි. මෙම නගරයද තමන් අත් පත් කරගන්නවායයි කියමින් සෙනකෙරීබ් පුරසාරම් දෙඩුවේය. උපකාරය පතා ඊජිප්තුව කෙරෙහි විශ්වාසය තැබීම නිෂ්ඵලයි කියා ඔහු රබ්ෂාකේ මාර්ගයෙන් පැවසුවේය. ඔහු පැවසූ දේ නිවැරදි විය. කෙසේවෙතත් ඔහු ඉන් අනතුරුව මෙසේද පැවසුවේය. “අෂූර්හි රජුට යෙරුසලම අසු නොවන්නේය කියා නුඹව රවටන්ට නුඹ විශ්වාස කරන නුඹේ දෙවිට ඉඩ නොදෙන්න.” (යෙසායා 37:10) එහෙත් යෙහෝවා ඔහුව රවටන්නේ නැති බව හෙසකියා දැන සිටියේය. එනිසා ඔහු මෙසේ යාච්ඤා කළේය. “අපේ දෙවි වූ යෙහෝවා, ඔබ, ඔබ පමණක්ම යෙහෝවා බව පොළොවේ සියලු රාජ්‍යවල් දැනගන්නා පිණිස ඔහුගේ [අෂූරියන්ගේ] අතින් අප ගැලවුව මැනව.” (යෙසායා 37:20) යෙහෝවා හෙසකියාගේ යාච්ඤාවට සවන් දුන්නේය. එක් රාත්‍රියකදී දේවදූතයෙක් අෂූරියන්ගේ හමුදාභටයන් 1,85,000දෙනෙකුව මරා දැමුවේය. යෙරුසලම ආරක්ෂා වූ අතර සෙනකෙරීබ් යූදා දේශය අත්හැර පලා ගියේය. මේ සිද්ධිය ඇසූ සියලුදෙනාම යෙහෝවාගේ ශ්‍රේෂ්ඨත්වය ගැන දැනගත්හ.

15. මේ අස්ථිර ලෝකයේ ඇති විය හැකි ඕනෑම දුෂ්කර තත්වයකට මුහුණ දීම සඳහා සූදානම්ව සිටීමට අපට උපකාරවත් වන දෙය කුමක්ද?

15 අද දින සිටින අපිද හෙසකියා හා සමානව සටනකට මුහුණ දෙන්නෙමු. අප කරන්නේ ආත්මික සටනකි. ආත්මික යුධභටයන් හැටියට අපේ ආත්මික දිවිය රැකගන්න අවශ්‍ය කුසලතා අප වර්ධනය කරගත යුතුයි. එල්ල විය හැකි ප්‍රහාර කලින්ම හඳුනාගෙන ඒවා ව්‍යර්ථ කිරීම සඳහා සූදානම්ව සිටීම අවශ්‍යයි. (එපීස 6:11, 12, 17) මේ අස්ථිර ලෝකයේ පවතින තත්වයන් විගස වෙනස් විය හැකියි. බලාපොරොත්තු නොවූ අයුරින් නොසන්සුන් තත්වයන් ඇතිවීමට ඉඩ තිබේ. කලක් තිස්සේ ආගමික නිදහස තිබූ රටවල පවා දැඩි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එම නිදහස නැති වී යා හැකියි. ඉදිරියේදී ඇති විය හැකි ඕනෑම තත්වයකට මුහුණ දීම සඳහා අපට සූදානම්ව සිටිය හැක්කේ හෙසකියා මෙන් අපත් යෙහෝවා කෙරෙහි නොසැලෙන විශ්වාසයක් ගොඩනඟා ගැනීමෙන් පමණයි.

යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම යන්නෙන් අදහස් කරන දේ

16, 17. අප යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන බව පෙන්වන්නේ කෙසේද?

16 යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම නිකම්ම වචනවලට සීමා වූ දෙයක් නොවේ. අපේ හදවත එයට සම්බන්ධ වන අතර එය පෙන්නුම් කෙරෙන්නේ අපගේ ක්‍රියාවලිනි. අප යෙහෝවා කෙරෙහි විශ්වාසය තබනවා නම් අපි ඔහුගේ වචනය වන බයිබලය කෙරෙහිත් පූර්ණ විශ්වාසය තබන්නෙමු. අප එය දිනපතාම කියවනු ඇත. ඒ ගැන මෙනෙහි කරනු ඇත. එමෙන්ම එහි මඟ පෙන්වීම්වලට අනුව අපේ ජීවිත ගොඩනඟා ගන්නෙමු. (ගීතාවලිය 119:105) ශුද්ධාත්මයේ බලය කෙරෙහි විශ්වාසය තැබීම යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට අයත් වන තවත් දෙයකි. ශුද්ධාත්මයේ උපකාරය ඇතුව යෙහෝවාව සතුටට පත් කරවන පල නිපදවීමටත් මුල්බැසගෙන තිබෙන නරක පුරුදු උදුරා දැමීමටත් අපට පුළුවනි. (1 කොරින්ති 6:11; ගලාති 5:22-24) ශුද්ධාත්මයේ උපකාරය ඇතුව දුම්බීම හෝ මත්ද්‍රව්‍ය ගැනීම වැනි පුරුදු නතර කර දැමීමට බොහෝදෙනෙකුට හැකි වී තිබේ. තවත් සමහරුන් දුරාචාරමය ජීවන රටාවන් අත්හැර දමා ඇත. ඔව්, අපි යෙහෝවා කෙරෙහි විශ්වාසය තබනවා නම් අප ක්‍රියා කරන්නේ අපගේම ශක්තියෙන් නොව ඔහුගේ ශක්තියෙනි.—එපීස 3:14-18.

17 ඊට අමතරව, යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම යනු ඔහු විශ්වාසය තබා තිබෙන අය කෙරෙහි විශ්වාසය තැබීමයි. නිදසුනක් වශයෙන් යෙහෝවා රාජ්‍ය හා සම්බන්ධ භූමික කාරණා බලා කියා ගැනීම සඳහා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව” සැපයීමට විධිවිධාන යොදා ඇත. (මතෙව් 24:45-47, NW) අප ස්වාධීන වී අපට ඕන විදිහට කටයුතු කිරීමට තැත් කරන්නේවත් විශ්වාසවන්ත දාසයාව පත් කර තිබීම සුළු කොට සලකන්නේවත් නැත. මන්ද අපි යෙහෝවාගේ විධිවිධානය කෙරෙහි විශ්වාසය තබන්නෙමු. ප්‍රේරිත පාවුල් දේවානුභාවයෙන් පැවසූ පරිදි ක්‍රිස්තියානි සභාවල සේවය කරන වැඩිමහල්ලන්ව පත් කර තිබෙන්නේ ශුද්ධාත්මයෙනි. (ක්‍රියා 20:28) සභාවේ සේවය කරන වැඩිමහල්ලන්ට සහයෝගය දැක්වීමෙන් අප පෙන්වන්නේ යෙහෝවා කෙරෙහි අප විශ්වාසය තබන බවයි.—හෙබ්‍රෙව් 13:17.

පාවුල්ගේ ආදර්ශය අනුගමනය කරන්න

18. අද සිටින ක්‍රිස්තියානීන් පාවුල්ගේ ආදර්ශය අනුගමනය කරන්නේ කෙසේද? නමුත් ඔවුන් කුමක් මතද විශ්වාසය නොතබන්නේ?

18 අද අප මුහුණ දෙන්නාක් මෙන් එදා ප්‍රේරිත පාවුල්ද දේවසේවය කරගෙන යද්දී බොහෝ පීඩාකාරී දේවලට මුහුණ දුන්නේය. ඔහුගේ කාලයේදී ක්‍රිස්තියානි ධර්මය ගැන වැරදි හැඟීමක් බලධාරීන් තුළ ඇති කර තිබිණ. එම වැරදි හැඟීම් නිවැරදි කිරීමට හා දේශනා කිරීමේ වැඩය නීත්‍යනුකූල කිරීමට පාවුල් ඇතැම් අවස්ථාවලදී වෑයම් කළේය. (ක්‍රියා 28:19-22; පිලිප්පි 1:7) අද දින සිටින ක්‍රිස්තියානීහුද ඔහුගේ ආදර්ශය අනුගමනය කරති. උදා වන සෑම ප්‍රස්තාවක්ම හා මාර්ගයක්ම යොදාගනිමින් අන් අයට අපේ සේවය ගැන සත්‍යය අවබෝධ කර දීමට අපි හැකි සෑම උත්සාහයක්ම දරන්නෙමු. ශුභාරංචියට පක්ෂව කතා කිරීමටත් එය නීත්‍යනුකූල කිරීමටත් අපි ක්‍රියා කරන්නෙමු. කෙසේවෙතත්, ඒ සඳහා අප දරන වෑයම් කෙරෙහි අපි පූර්ණ විශ්වාසය නොතබන්නෙමු. මන්ද සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රඳා පවතින්නේ අප නඩුවලින් ලබන දිනුම මතවත් හොඳ ප්‍රසිද්ධියක් ලැබීම මතවත් නොවන බව අප විශ්වාස කරන බැවිනි. අප විශ්වාසය තබන්නේ යෙහෝවා කෙරෙහියි. පුරාණයේ විසූ ඊශ්‍රායෙල්වරුන්ට ඔහු දුන් මෙම දිරිගැන්වීම අපි මතකයේ තබාගන්නෙමු. “නොකැලඹී විශ්වාස කිරීමෙන් නුඹලාට බලය ලැබෙන්නේය.”—යෙසායා 30:15.

19. හිංසා පීඩාවලට ලක් වෙද්දී අපේ සහෝදරයන් යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම නිෂ්ඵල දෙයක් වී නැති බව තහවුරු වී තිබෙන්නේ කෙසේද?

19 අපගේ නවීන දින ඉතිහාසයේ ඇතැම් කාලවලදී අපේ සේවය නැඟෙනහිර හා බටහිර යුරෝපයේද, ආසියාවේ හා අප්‍රිකාවේ ඇතැම් රටවලද, දකුණු හා උතුරු අමෙරිකාවේ සමහර රටවලද තහනම් කර තිබේ. නැතහොත් සීමා පනවා තිබේ. මෙයින් අදහස් කරන්නේ යෙහෝවා මත අප තබා තිබෙන විශ්වාසය නිෂ්ඵල දෙයක් වී ඇති බවද? නැත. සිය අරමුණ ඉටු කරගැනීම සඳහා ඇතැම් අවස්ථාවලදී යෙහෝවා දරුණු හිංසා පීඩා විඳීමට ඉඩහැරියද එවන් පීඩාවලට ගොදුරු වී සිටින අයව ඔහු ප්‍රේමණීය ලෙස ශක්තිමත් කර තිබේ. ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකු හිංසා පීඩා මැද දෙවි කෙරෙහි ඇදහිල්ල හා විශ්වාසය තැබීම සම්බන්ධයෙන් කදිම වාර්තාවක් පිහිටුවා ඇත.

20. නීතිමය නිදහසින් අප ප්‍රයෝජන ලැබුවද අප කවදාවත් ප්‍රතිපත්ති පාවා නොදෙන්නේ කුමන කාරණාවලදීද?

20 අනික් අතට, රටවල් බොහොමයක තිබෙන නීති මගින් අපේ සේවයේ කටයුතු කරගෙන යෑමට ඉඩ සැලසී තිබේ. සමහර අවස්ථාවලදී ජනමාධ්‍යය ඔස්සේ අපට හොඳ ප්‍රසිද්ධියක් ලැබේ. අපි මේ ගැන කෘතඥපූර්වක වන අතර යෙහෝවාගේ අරමුණ ඉටු කිරීමට මෙය උපකාරවත් වන බවද පිළිගන්නෙමු. ඔහුගේ ආශීර්වාද සමඟින් අප මෙම නිදහස පාවිච්චි කරන්නේ අපේ පෞද්ගලික ජීවන රටාව දියුණු කරගැනීම සඳහා නොව වඩාත් පූර්ණ ලෙස යෙහෝවාට ප්‍රසිද්ධියේ සේවය කිරීම සඳහායි. කෙසේවෙතත්, බලධාරීන් ඉදිරියෙහි හොඳ නමක් දිනාගැනීමේ අරමුණින් මධ්‍යස්ථභාවය පිළිබඳ අපේ ප්‍රතිපත්ති අපි කෙදිනකවත් පාවා නොදෙන්නෙමු. අපේ දේශනා කිරීමේ කාර්යය අඩු නොකරන්නෙමු. යෙහෝවාට අප කරන සේවය දුර්වල කිරීමට කිසිවකට අපි ඉඩ නොදෙන්නෙමු. අප යටත් වන්නේ මෙසියානු රාජ්‍යටයි. අප සම්පූර්ණයෙන්ම පක්ෂපාත වන්නේ යෙහෝවාගේ පරමාධිපත්‍යයටයි. අප බලාපොරොත්තු තබන්නේ වත්මන් සමාජ ක්‍රමය මත නොව නව ලෝකය කෙරෙහියි. එදාට මේ පොළොව පාලනය කරනු ඇති එකම ආණ්ඩුව වන්නේ ස්වර්ගයේ සිට පාලනය කරන මෙසියානු රාජ්‍යය පමණි. බෝම්බවලට හෝ මිසයිලවලට පමණක් නොව න්‍යෂ්ටික ප්‍රහාරයකට පවා එම ආණ්ඩුව සොලවන්ටවත් එය ස්වර්ගයෙන් වට්ටන්නවත් නොහැකියි. එය අපරාජිත ආණ්ඩුවකි. යෙහෝවාගේ අරමුණු එය ඉටු කරනවා නියතය.—දානියෙල් 2:44, 45; හෙබ්‍රෙව් 12:28; එළිදරව් 6:2.

21. අප අදිටන් කරගෙන සිටින්නේ කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමටද?

21 පාවුල් මෙසේ පවසයි. “අපි පසුබට වී විනාශ වන අයගේ ගණයට නොව ජීවිතය රැකෙන ලෙස ඇදහිල්ල ඇති අයගේ ගණයට අයත් වෙමු.” (හෙබ්‍රෙව් 10:39, NW) එසේනම් අපි සියලුදෙනාම අන්තිමය දක්වාම විශ්වාසවන්තව යෙහෝවාට සේවය කිරීමට අදිටන් කරගනිමු. දැනුත් සදහටමත් යෙහෝවා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීමට අපට ඕනෑ තරම් හේතු තිබේ.—ගීතාවලිය 37:3; 125:1.

ඔබ ඉගෙනගත්තේ මොනවාද?

• යෝෂුවා සහ කාලෙබ් හොඳ වාර්තාවක් ගෙනාවේ මන්ද?

• අප යෙහෝවා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීමට හේතු සමහරක් මොනවාද?

• යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

• යෙහෝවා කෙරෙහි විශ්වාසය තබා සිටින අපගේ අධිෂ්ඨානය වන්නේ කවර ස්ථාවරයක සිටීමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

යෝෂුවා සහ කාලෙබ් හොඳ වාර්තාවක් දුන්නේ මන්ද?

[16වන පිටුවේ පින්තූර]

යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට මැවිල්ල අපට ප්‍රබල හේතු සපයයි

[හිමිකම් විස්තර]

රූප තුනම: Anglo-Australian Observatory අනුග්‍රහයෙනි, ඡායාරූපය David Malin විසිනි.

[18වන පිටුවේ පින්තූරය]

යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම යනු ඔහු විශ්වාසය තබා තිබෙන අය කෙරෙහි විශ්වාසය තැබීමයි