Skip to content

පටුනට යන්න

පළමුකොට රාජ්‍යය සෙවීමෙන් සුරක්ෂිතකමින් හා සතුටින් පිරි ජීවිතයක්

පළමුකොට රාජ්‍යය සෙවීමෙන් සුරක්ෂිතකමින් හා සතුටින් පිරි ජීවිතයක්

ජීවිත කතාව

පළමුකොට රාජ්‍යය සෙවීමෙන් සුරක්ෂිතකමින් හා සතුටින් පිරි ජීවිතයක්

පැවසුවේ ජෙතා සුනාල්

උදෑසන ආහාර වේලෙන් පස්සේ ගුවන් විදුලි නිවේදනයක් අපට ඇසුණා. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් නීති විරෝධී කණ්ඩායමක්. ඔවුන්ගේ වැඩකටයුතු තහනම් කර ඇත.”

මෙය සිදු වුණේ 1950දීයි. අවුරුදු විසි ගණන්වල හිටිය අපි කෙල්ලෝ හතරදෙනා ඩොමිනිකන් ජනරජයේ මිෂනාරිවරියන් ලෙසයි සේවය කරමින් සිටියේ. අපි එම රටට ගියේ ඊට කලින් අවුරුද්දෙයි.

පොඩි කාලේ මම පල්ලියට ගියාට මගේ ජීවිතේ ඉලක්කය වෙලා තිබුණේ මිෂනාරි සේවය නෙමෙයි. මගේ තාත්තා පළවෙනි ලෝක මහා යුධ සමයේදී පල්ලි යන එක නැවැත්තුවා. මම 1933 එපිස්කොපල් පල්ලියේ අභිවෘදියාලේපය ලබපු දිනේ බිෂොප්වරයා බයිබලයෙන් කියෙව්වේ එක බයිබල් පදයයි. ඊට පස්සේ ඔහු දේශපාලනය ගැන කතා කරන්න පටන්ගත්තා. මේකට මගේ අම්මාට හරියට කේන්ති ගියා. ඇය ඊට පස්සේ පල්ලි ගියේ නැහැ.

අපේ දිවි මඟ වෙනස් වී

මගේ දෙමව්පියන් වන විලියම් කාල් සහ මේරි ඇඩම්ස්ට දරුවෝ පස්දෙනෙක් හිටියා. පිරිමි දරුවෝ තමයි ඩොන්, ජොයෙල් සහ කාල්. ජෝයි තමයි බාලම සහෝදරිය. මම තමයි වැඩිමලා. මම එක දවසක් ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට අම්මා ලෝකය සඳහා බලාපොරොත්තුව වන රාජ්‍යය (සිංහලෙන් නොමැත) යන මාතෘකාවෙන් යුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් කියවමින් හිටියා. ඒ අවස්ථාවේදී අම්මා මට කිව්වා “මේක තමයි සත්‍යය” කියලා. එතකොට මට වයස අවුරුදු දහතුනක් විතර ඇති.

අම්මා බයිබලයෙන් ඉගෙනගනිමින් උන්නු දේවල් අපි හැමෝටම කිව්වා. ඒ වගේම ‘රාජ්‍යයත් ධර්මිෂ්ඨකමත් පළමුකොට සොයන්න’ යන යේසුස්ගේ අවවාදයෙහි ඇති වැදගත්කම ඇය වචනයෙනුත් ආදර්ශයෙනුත් අපිට තේරුම්ගැනීමට සැලැස්සුවා.—මතෙව් 6:33.

හැබැයි අම්මා කියපු දේවල් මම හැම තිස්සේම අහන්න සතුටු වුණේ නැහැ. ඒ නිසා මම එක සැරයක් අම්මාට මෙහෙම කිව්වා. “අම්මේ මට දේශනා කරන එක නවත්වන්න. නැත්නම් මම දීසි සෝදන්නේ නැහැ.” ඒත් අම්මා නුවණක්කාර විදිහට දිගටම කොහොම කොහොම හරි අපිට සත්‍යය ගැන පැහැදිලි කළා. ඇය නොකඩවාම අ.එ.ජ. ඉල්ලිනොයිස්වල එල්ම්හස්ට් නගරයේ පිහිටි අපේ නිවසට යාබදව තිබූ ක්ලාරා රයන්ගේ නිවසේ පැවැත්වූ බයිබල් රැස්වීම්වලට අපි හැමෝවම අරන් ගියා.

ක්ලාරා පියානෝ පංතිත් පැවැත්වුවා. ඇගේ ශිෂ්‍යයන්ගේ වාර්ෂික හැකියාවන් එළිදැක්වීමේ උළෙලේදී ඇය දේවරාජ්‍ය ගැනත් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැනත් කතා කළා. අවුරුදු හතේ ඉඳන්ම වයලීනය වාදනය කරන්න ඉගෙනගෙන තිබූ මම සංගීතයට කැමැත්තක් දැක්වූ නිසා ක්ලාරා කියූ දේවල්වලට ඇහුම්කන් දීගෙන හිටියා.

වැඩි කල් නොගොස් මමයි, මල්ලිලායි, නංගියි, අම්මා සමඟ චිකාගෝහි බටහිර පැත්තට වන්නට තිබූ සභාවක රැස්වීම්වලට සහභාගි වුණා. එය බසයෙනුත් ටැක්සියෙනුත් යා යුතු දිගු ගමනක්. ඒ වුණත්, එසේ රැස්වීම්වලට යෑම රාජ්‍ය පළමුකොට සෙවීම සම්බන්ධව කුඩා අවදියේ සිටම අප ලැබූ පුහුණුවේ එක් කොටසක්. මගේ අම්මා බව්තීස්ම වී අවුරුදු තුනකට පස්සේ 1938දී මම ඇයත් සමඟ චිකාගෝහි පැවැත්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකට සහභාගි වුණා. අපි සහභාගි වුණේ එම සමුළුව සඳහා දුරකතන පද්ධතියක් මගින් ඒකාබද්ධ කර තිබූ නගර 50න් එකකට. එහිදී මට ඇසුණ දේවල් මගේ හිතට වැදුණා.

එහෙත් සංගීතයට තිබූ මගේ ඇල්ම නැති වුණේ නැහැ. මම ජ්‍යෙෂ්ඨ පාසැලෙන් 1938දී සමුගත්තා. චිකාගෝහි අමෙරිකානු සංගීත විද්‍යාලයක සංගීතය හැදෑරීමට තාත්තා මට කටයුතු සැලසුම් කළා. අවුරුදු දෙකක් මම සංගීතය හැදෑරූ අතර වාදක මණ්ඩල දෙකක වාදකයෙක් ලෙස කටයුතු කළා. ඒ ක්ෂේත්‍රයේම රැකියාවක් කිරීම තමයි මගේ අදහස වෙලා තිබුණේ.

මගේ වයලීන ගුරුතුමා අමෙරිකාවේ පදිංචි වීම සඳහා එංගලන්තය හැර දමා ආ කෙනෙක්. ඒ නිසා මම අනාථයන් * (සිංහලෙන් නොමැත) නමැති පොත් පිංචය ඔහු කියවයි කියා හිතාගෙන එය ඔහුට දුන්නා. හිතුවා වගේම ඔහු එය කියෙව්වා. ඊළඟ සතියේ මගේ පාඩම කළායින් පස්සේ ඔහු මට මෙහෙම කිව්වා. “ජෙතා, ඔයා හොඳට වාදනය කරනවා. ඔයා දිගටම ඉගෙනගත්තොත් ඔයාට ගුවන්විදුලි සංගීත කණ්ඩායමක වාදනය කරන්න හරි සංගීත ගුරුවරියක් වෙන්න හරි පුළුවන්.” ඊට පස්සේ මම ඔහුට දුන් පොත් පිංචයට අත තියලා ඔහු මෙහෙම කිව්වා. “හැබැයි මම හිතන්නේ ඔයාගේ හිත තියෙන්නේ මේකේ කියලා. ඇයි ඔයා මේ දේ තෝරගන්නේ නැත්තේ?”

මම ඒ ගැන හොඳට හිතුවා. මම දිගටම සංගීතය හැදෑරීම නතර කර දමා 1940 ජූලි මාසයේ මිචිගන් ඩීට්‍රොයිට්හි පැවති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකට සහභාගි වෙන්න කියා අම්මා කළ ආරාධනය පිළිගත්තා. අපි නතර වෙලා හිටියේ තාවකාලිකව නිවෙස් තනා තිබූ සහ රථ නවතා තිබූ ප්‍රදේශයකයි. මගේ වයලීනයත් අරගෙන එන්න මම අමතක කළේ නැහැ. මම සමුළුවේ වාදක කණ්ඩායමට සෙල්ලම් කළා. අපි නැවතිලා හිටිය ප්‍රදේශයේදී මට මුණ ගැසුණා ගොඩාක් පුරෝගාමීන්ව (පූර්ණ කාලීන සේවකයන්ව). එයාලා හිටියේ හරි සතුටින්. ඉතින් මම තීරණය කළා බව්තීස්ම වෙලා පුරෝගාමි සේවයට ඉල්ලුම් කරන්න. මගේ මුළු ජීවිත කාලය පුරාම පූර්ණ කාලීන සේවයේ නියැලෙන්න හැකියාව ලබා දෙන්න කියා මම යෙහෝවාට යාච්ඤා කළා.

මම මගේ ගම් පළාතේම පුරෝගාමි සේවය ආරම්භ කළා. පස්සේ චිකාගෝ නගරයෙත් සේවය කළා. මම කෙන්ටකී නගරයේ පදිංචියට ගියේ 1943දීයි. එම අවුරුද්දේ ගිම්හානයේදී දිස්ත්‍රික් සමුළුවට කලින් මිෂනාරි සේවය සඳහා පුහුණුව ලැබීමට ගිලියද් පාසැලට ඇතුල් වෙන්න කියලා මට ආරාධනයක් ලැබුණා. පංති ඇරඹීමට නියමිතව තිබුණේ 1943 සැප්තැම්බර් මාසයේදීයි.

එම සමුළුව පැවැත්වෙන කාලයේ මම නැවතිලා හිටියේ සාක්ෂිකාරියක් සමඟ. හමුදා සේවයට ගොස් සිටි එම සාක්ෂිකාරියගේ දුව ඇගේ හැම දෙයක්ම කාට හරි දෙන්න කියා එයාගේ අම්මට කියා තිබුණා. ඒ නිසා දුවගේ ඇඳුම් කබඩ් එකෙන් කැමති තරමක් ඇඳුම් තෝරගන්න කියා එම සාක්ෂිකාරිය මට කිව්වා. මට මේක දැනුණේ යේසුස්ගේ පොරොන්දුවේ ඉටුවීමක් වගෙයි. “පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ.” (මතෙව් 6:33, NW) ගිලියද් පාසැලේ ගත කළ කාලය ඉක්මනින්ම ගෙවිලා ගියා. වර්ෂ 1944 ජනවාරි 31වෙනිදා උපාධි ප්‍රදානෝත්සවය දවසේදී මම ආශාවෙන් බලා සිටියේ මිෂනාරි සේවයට යන්නේ කොයි වේලාවෙද කියලා.

ඒ අයත් පූර්ණ කාලීන සේවය තෝරගත්තා

අම්මාත් 1942දී පුරෝගාමි සේවයට ඇතුල් වී වුණා. ඒ කාලයේ මගේ මල්ලිලා තුන්දෙනායි නංගියි පාසැල් යනවා. අම්මා බොහෝවිට පාසැල් වේලාවෙන් පසුව එයාලාවත් දේශනා සේවයේ රැගෙන ගියා. ඒ වගේම ගෙදර දොරේ වැඩවලට උදව් වෙන විදිහත් මල්ලිලාටයි නංගිටයි අම්මා ඉගැන්නුවා. ඇය රෙදි මැදීමට සහ වෙනත් ගෙදර වැඩ කිරීමට හුඟ වේලාවට රෑ බෝ වෙනකම් අවදි වෙලා ඉන්නවා. ඒ නිසා ඇයට දහවල් කාලයේ දේශනා සේවයේ යෙදෙන්න හැකියාව ලැබෙනවා.

වර්ෂ 1943 ජනවාරි මාසයේ කෙන්ටකීවල පුරෝගාමි සේවය කරමින් ඉන්නකොට මගේ මල්ලි ඩොන්, පුරෝගාමි සේවය ආරම්භ කළා. තාත්තා මේකට එච්චර සතුටු වුණේ නැහැ. මොකද තාත්තා හිතුවේ අපි හැමෝම තාත්තයි අම්මයි වගේ හොඳ උසස් අධ්‍යාපනයක් ලබයි කියලා. අවුරුදු දෙකක් පමණ පුරෝගාමි සේවයේ නියැලෙමින් සිටින විට ඩොන්ට නිව් යෝක් බෘක්ලින්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සිට පූර්ණ කාලීන සේවය කරගෙන යෑමට ආරාධනයක් ලැබුණා.

වර්ෂ 1943දී ජොයෙල් ගෙදර ඉඳන් පුරෝගාමි සේවය ඇරඹුවා. ඒ කාලයේදී තාත්තාව සමුළුවකට රැගෙන යන්න ඔහු උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. එහෙත්, ඒ පැත්තෙන් නිවාස බයිබල් පාඩමක් සොයාගන්න ජොයෙල් දැරූ වෑයම අසාර්ථක වූ පසු “සත්‍ය ඔබව නිදහස් කරයි” යන පොතෙන් බයිබල් පාඩමක් කිරීමට තාත්තා කැමති වුණා. තාත්තා ප්‍රශ්නවලට හොඳට උත්තර දුන්නා. ඒත් ඒ පොතේ තිබූ දේ සනාථ කිරීමට ශුද්ධ ලියවිලිමය පදනමක් දෙන්න කියා ඔහු ජොයෙල්ගෙන් ඉල්ලා සිටියා. බයිබල් සත්‍ය තමන්ටම තහවුරු කරගන්න ජොයෙල්ට මෙය විශාල පිටිවහලක් වුණා.

ජොයෙල් සිතුවා, අනිවාර්ය හමුදා සේවයට බඳවාගැනීමේ කාර්යාංශයෙන්, ඩොන්ට දේවගැතියෙක් ලෙස සේවය කිරීමට අවසර දුන් නිසා ඔහුටත් අවසර දෙයි කියලා. ඒත් නිලධාරීන් ජොයෙල්ගේ තරුණකම දුටුවාම ඔහුව දේවගැතියෙක් ලෙස නම් කරන්න අකමැති වුණ අතර හමුදා සේවයට වාර්තා කරන්න කියා ඔහුට ලියුමක් එව්වා. ඔහු සේවයට වාර්තා නොකළ විට ඔහුව අත්අඩංගුවට ගන්න බලපත්‍රයක් නිකුත් කළා. ඔහුව FBI එකෙන් අත්අඩංගුවට ගත් පසු, ඔහු දින තුනක් කුක් කවුන්ටි සිරගෙදර සිටියා.

තාත්තා ඇප මුදල් දෙන්න නිවස උගසට තිබ්බා. ඉන්පස්සේ අනිත් තරුණ සාක්ෂිකරුවන්ද එවැනි තත්වයකට මුහුණ දුන් විට තාත්තා ඔවුන්ටත් ඒ විදිහට උදව් උපකාර කළා. සිදු වූ අසාධාරණය ගැන තාත්තාට කේන්ති ගියා. ඔහු ජොයෙල් සමඟ වොෂින්ටන් ඩී.සී. නගරයට ගියේ අභියාචනයක් ඉදිරිපත් කරන්නයි. අන්තිමේදී ජොයෙල්ව දේවගැතියෙක් ලෙස ගණන් ගත් අතර නඩුව අස් කළා. තාත්තා මම මිෂනාරි සේවය කරමින් සිටි ස්ථානයට ලියුමක් එව්වා. එහි මෙහෙම ලියා තිබුණා. “මම හිතනවා මේ ජයග්‍රහණය සඳහා ප්‍රශංසාව හිමි විය යුත්තේ යෙහෝවාටයි කියලා!” වර්ෂ 1946 අගෝස්තු මස අවසානයේදී වගේ ජොයෙල්ටත් බෘක්ලින් ලෝක මූලස්ථානයේ සේවය කිරීමට ආරාධනයක් ලැබුණා.

කාල් උසස් පෙළ අවසන් කර පාසැලෙන් ඉවත් වෙන්න කලින් ඔහුගේ පාසැල් නිවාඩු ලැබුණු අවස්ථාවන් කිහිපයකදීම පුරෝගාමි සේවයේ නියැලුණ අතර 1947 මුලදී පාසැලෙන් ඉවත් වූ ගමන්ම ඔහු පය තැබුවේ ස්ථාවර පුරෝගාමි සේවයටයි. මේ කාලයේදී තත්තා අසනීප වෙන්න පටන්ගත්තා. වෙනත් ස්ථානයක පුරෝගාමි පැවරුම ඇරඹීමට යන්න කලින් තාත්තාගේ ව්‍යාපාර කටයුතුවලට කාල් උදව් කළා. ඩොන් සහ ජොයෙල් සමඟ බෘක්ලින්හි ලෝක මූලස්ථානයේ බෙතෙල් පවුලේ සාමාජිකයෙක් ලෙස සේවය කිරීමට 1947 අග වෙන විට කාල්ටත් අවස්ථාව ලැබුණා.

පාසැල් අධ්‍යාපනය අවසන් කළ පසු මගේ නංගි ජෝයි පුරෝගාමි සේවයට පා තැබුවා. බෙතෙල්හි සිටි ඇගේ සහෝදරයන් සමඟ 1951දී ඇයත් එම සේවයට එක් වුණා. ගෘහපාලිකාවක් හැටියටත් දායක ලබාගැනීමේ අංශයෙත් ඇය සේවය කළා. වර්ෂ 1955දී ඇය බෙතෙල් සාමාජිකයෙක් වන රෝජර් මෝගන් සමඟ විවාහ වුණා. අවුරුදු හතකට පස්සේ දරුමල්ලෝ හදාගෙන පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා ඔවුන් බෙතෙල් සේවය අත්හැරියා. පසුව ඔවුන්ට දුවෙකුයි පුතෙකුයි ලැබුණ අතර ඔවුන්ද යෙහෝවාට සේවය කරමින් ඉන්නවා.

ළමයි හැමෝම පූර්ණ කාලීන සේවයෙහි නිරත වෙලා ඉන්න නිසා තාත්තාට අවශ්‍ය වූ දිරිගැන්වීම ලැබුණේ අම්මාගෙන්. තාත්තාත් තම ජීවිතය යෙහෝවාට කැප කර 1952දී බව්තීස්ම වුණා. අසනීප තත්වයන් නිසා යම් බාධාවන් ඇති වුවත් ඔහුගේ මරණය දක්වා අවුරුදු 15ක්ම රාජ්‍ය සත්‍යය අන් අය සමඟ බෙදාගැනීමට ඔහු හැකි සෑම උත්සාහයක්ම ගත්තා.

තාත්තාගේ අසනීප තත්වය නිසා අම්මා ටික කලකට පුරෝගාමි සේවය නතර කළත් පසුව ඇය ඇගේ මරණය දක්වාම එම සේවයේ නියැලුණා. ඇයට කාර් එකක්වත් බයිසිකලයක්වත් තිබුණේ නැහැ. ඇය මිටි තැනැත්තියක් වූ අතර හැකි සෑම තැනකටම පයින්ම ගියා. බයිබල් පාඩම් පැවැත්වීමට ඈත පිටිසර පළාත්වලට පවා ඇය ගියා.

මිෂනාරි සේවයට ඇතුල් වෙමින්

ගිලියද් පාසැලෙන් උපාධිය ලබාගත් පසු සංචාරය සඳහා අවශ්‍ය නීතිමය ලියවිලි ලැබෙන තුරු අපේ කණ්ඩායමේ හිටිය අය උතුරු නිව් යෝක් නගරයේ අවුරුද්දක් පමණ පුරෝගාමි සේවය කළා. අන්තිමේදී 1945දී අපි අපේ පැවරුම සඳහා කියුබාවට පිටත් වුණා. එහිදී අපි අලුත් ජීවිතයකට හැඩගැහුණා. අපේ දේශනා සේවයට ලැබුණු ප්‍රතිචාරය ඉතාමත් හොඳයි. වැඩි කල් යන්න ඉස්සෙල්ලා අපි හැමෝටම බයිබල් පාඩම් විශාල සංඛ්‍යාවක් පවත්වන්න පුළුවන් වුණා. අවුරුදු කිහිපයක්ම අප එම ප්‍රදේශයේ සේවය කළා. ඉන්පසු අපට ඩොමිනිකන් ජනරජයට පැවරුමක් ලැබුණා. එක දවසක් මට එක් කාන්තාවක් මුණගැසුණා. එම කාන්තාව මට පෙරැත්ත කළා බයිබලය තේරුම්ගැනීමට උදව් අවශ්‍ය වෙලා තිබුණ එයාගේ සේවාදායිකාවක් වන සූසන් එන්ෆ්‍රවාව ගිහින් හමු වෙන්න කියලා.

සූසන් යුදෙව් ජාතිකයෙක්. හිට්ලර් ප්‍රංශය යටත් කරගත් විට ඇගේ ස්වාමිපුරුෂයා ඇයවත් ඇගේ දරු දෙදෙනාවත් රැගෙන වෙනත් රටකට ගියා. නමුත් සූසන් ඉක්මනින්ම තමන් ඉගෙනගනිමින් සිටි දේවල් අන් අයට පැවසුවා. ඉස්සෙල්ලාම ඇය කතා කළේ මට ඇයව හමු වෙන්න කියා පැවසූ කාන්තාවට. පසුව ප්‍රංශයේ සිටි ඇගේ මිතුරියක් වන බ්ලාන්ෂ්ට. ඒ දෙදෙනාම බව්තීස්මය දක්වා වර්ධනය වුණා.

සූසන් මගෙන් මෙහෙම ඇහැව්වා. “මගේ දරුවන්ට උපකාර කරන්න මම මොනවාද කරන්න ඕනේ?” ඇගේ පුතා වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටි අතර දුව නිව් යෝක් රේඩියෝ සිටි මියුසික් ආයතනයේ නර්තන ශිල්පිනියක් වීමේ බලාපොරොත්තුවෙන් මුද්‍රා නාට්‍ය හදාරමින් සිටියා. සූසන් ඒ අයට මුරටැඹ සහ පිබිදෙව්! සඟරා දායක යැව්වා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සූසන්ගේ පුතාත්, ඔහුගේ භාර්යාවත්, භාර්යාවගේ නිවුන් සහෝදරියත් සාක්ෂිකරුවන් බවට පත් වුණා. සූසන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට දක්වන උනන්දුව ගැන ඇගේ ස්වාමිපුරුෂයා වන ලුවී හරි බයෙන් හිටියේ. ඒ කාලය වෙනකොට ඩොමිනිකන් ජනරජය අපගේ වැඩකටයුතු තහනම් කරලායි තිබුණේ. නමුත් මුළු පවුලම එක්සත් ජනපදයට ගියායින් පස්සේ ඔහුත් සාක්ෂිකරුවෙක් වුණා.

තහනම යටතේ, ඒත් දිගටම සේවය කරමින්

වර්ෂ 1949දී අපට ඩොමිනිකන් ජනරජයට පැවරුම ලැබුණු විගසම වගේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කළා. නමුත් අපේ අධිෂ්ඨානය වුණේ මනුෂ්‍යයන්ට වඩා දෙවිට කීකරු වීමටයි. (ක්‍රියා 5:29) යේසුස් තම අනුගාමිකයන්ට කියූ ආකාරයට රාජ්‍ය ශුභාරංචිය දේශනා කරමින් අපි දිගටම දෙවිගේ රාජ්‍යය පළමුකොට සෙව්වා. (මතෙව් 24:14) ඒ කොහොමවෙතත් දේශනා සේවය කරගෙන යන විට “සර්පයන් මෙන් සුපරීක්ෂාකාරීව පරවියන් මෙන් අහිංසකව සිටින්න” ඕනේ කියන එක අපි ඉගෙනගත්තා. (මතෙව් 10:16, NW) උදාහරණයක් කියනවා නම්, මේ දේ කිරීමට මගේ වයලීනය මට ගොඩාක් උපකාරවත් වුණා. මම වයලීනය අරගෙන ගියා බයිබල් පාඩම් කරන්න යනකොට. හැබැයි මගේ ශිෂ්‍යයෝ වයලීන වාදකයෝ වුණේ නැහැ. ඒත් පවුල් කිහිපයක්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන් වුණා!

තහනම ඉවත් කළාට පස්සේ ෆ්‍රැන්සිස්කෝ ඩි මාකොරිස්හි තිබුණ මිෂනාරි නිවසේ සිටිය අපි කෙල්ලෝ හතරදෙනාව ඒ කියන්නේ, මේරි ඇනියෝල්ව, සොෆියා සෝවියක්ව සහ ඊඩිත් මෝගන්ව සහ මාව අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝහි පිහිටි ශාඛා කාර්යාලයේ තිබූ මිෂනාරි නිවසට මාරු කළා. ඒත් මම හැම මාසයේම මගේ මුල් පැවරුම ලැබූ ප්‍රදේශයට ගියා සංගීත පංති පැවැත්වීමට. වයලීන කවරය ඇතුලේ අපගේ සහෝදරයන්ට ආත්මික ආහාර රැගෙන යන්නත් එමින් ගමන් ඔවුන්ගේ සාක්ෂි දැරීමේ ක්‍රියාකාරකම් ඇතුළත් වාර්තා රැගෙන එන්නත් මෙයින් මට අවස්ථාව ලැබුණා.

ෆ්‍රැන්සිස්කෝ ඩි මාකොරිස්හි සහෝදරයන්ව ඔවුන්ගේ මධ්‍යස්ථභාවය නිසා සැන්ටියාගෝ බන්ධනාගාරයේ සිරගත කළ අවස්ථාවේදී ඒ අයට මුදල් සහ හැකි නම් බයිබල් රැගෙන යෑමෙත් ඒ අයගේ තොරතුරු ඔවුන්ගේ පවුල්වලට ආපසු රැගෙන ඒමෙත් කාර්යය මට භාර දුන්නා. මම වයලීනයත් අරගෙන සැන්ටියාගෝ බන්ධනාගාරයට යන විට මුරකාරයෝ මාව දැකලා ඇහුවා, “ඕක මොකටද ගෙනියන්නේ?” කියලා. “ඒ අයව විනෝද කරන්න” කියලා මම උත්තර දුන්නා.

මම වාදනය කළ ගීතිකාවලින් එක ගීතිකාවක් නාට්සි ගාල් කඳවුරේ සිටිය සාක්ෂිකාරයෙක් රචනා කළ එකක්. ඒක තමයි දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ගීතිකා පොතේ තිබෙන 29වන ගීතිකාව. අපේ සිරගත වී සිටින සහෝදරයන්ට එය ගායනා කිරීමට පුරුදු කරවන්න ඕනේ නිසයි මම එය වාදනය කළේ.

සාක්ෂිකාරයන් හුඟදෙනෙකුව ජනාධිපති ටෘජිලෝට අයිති ගොවිපොළකට මාරු කරලා කියලා මට දැනගන්න ලැබුණා. එය බස් මාර්ගයට යාබදව තියෙනවා කියලයි මට කිව්වේ. බසයෙන් එතැනට ගොස් බහිනකොට දහවල් වෙලා. බසයෙන් බැහැලා ළඟ තිබුණ පොඩි කඩේක හිටපු මුදලාලිගෙන් පාර ඇසුවා. ඔහු පෙන්නූ ස්ථානයට යෑමට කඳුවැටියක් පසු කරන්න තිබුණා. මම මගේ වයලීනය ඇපයක් හැටියට තබා ගියොත් ගමන සඳහා ඔහුගේ අශ්වයාවත් මඟ පෙන්වීමට ළමයෙකුවත් එවීමට ඔහු කැමති වුණා.

එම කඳුවැටිය පසු කර යන විට එගොඩ වීමට ගඟක් තිබුණා. අපි දෙන්නා අශ්වයාගේ පිට උඩ නැඟලා ගඟෙන් එගොඩ වුණා. එහිදී අපි දැක්කා ගිරව් රංචුවක්. උන්ගේ කොළ පාට සහ නිල් පාට පිහාටු අව්වට දිලිසි දිලිසි තියෙනකොට හරිම ලස්සනයි. ඇත්තෙන්ම එය ලස්සන දර්ශනයක්! මම යෙහෝවාට මෙහෙම යාච්ඤා කළා. “යෙහෝවා එතරම් ලස්සනට උන්ව මවා තිබීම ගැන මම ඔබට ස්තුති කරනවා.” දහවල් හතර වෙනකොට අපි ගොවිපොළට පැමිණුණා. ඒක භාරව සිටි සොල්දාදුවා සහෝදරයන් සමඟ කතා කිරීමට මට කාරුණිකව ඉඩ දුන්නා. ඒ වගේම මම ඔවුන්ට ගෙනා සියලුම බඩු දීමටත් කුඩා බයිබලයක් පවා දීමටත් ඔහු මට ඉඩ දුන්නා.

මම ආපසු එන විට කළුවර වෙලා. මුළු ගමනේදීම මම යාච්ඤා කර කරයි ආවේ. කඩේට ආවේ වැස්සේ නාගෙන. අන්තිම බස් එකත් ගිහිල්ලා නිසා මම කඩේ මුදලාලිට කිව්වා පාරේ යන ට්‍රක් එකක් මට නවත්තලා දෙන්න කියලා. පිරිමි දෙන්නෙක් එක්ක මම ට්‍රක් රථයේ යන එක ආරක්ෂාකාරී දෙයක්ද? එහි හිටිය එක මනුස්සයෙක් මට මෙහෙම කිව්වා. “සොෆිව දන්නවාද? එයා මගේ නංගිත් එක්ක පාඩම් කළා.” මම හිතුවා මේක මගේ යාච්ඤාවට යෙහෝවාගෙන් ලැබුණ පිළිතුරක් කියලා! ඒ අය මාව පරෙස්සමෙන් සැන්ටෝ ඩොමින්ගෝවලට ගෙනත් ඇරලුවා.

වර්ෂ 1953දී නිව් යෝක් යැංකි ක්‍රීඩාංගණයේ පැවති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළුවට ඩොමිනිකන් ජනරජයෙන් සහභාගි වූ අය අතර මමත් හිටියා. මගේ තාත්තා ඇතුළු මුළු පවුලම එයට සහභාගි වුණා. ඩොමිනිකන් ජනරජයේ කෙරීගෙන යන දේශනා කටයුතුවල වර්ධනය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු තහනම යටතේ අපි දේශනා සේවය කළ ආකාරය පෙන්වීමට මගේ මිෂනාරි සහකාරිය වන මේරි ඇනියෝල්ට සහ මට කුඩා නිරූපණයක් ඉදිරිපත් කිරීමට තිබුණා.

සංචාරක සේවයෙන් ලද විශේෂ ප්‍රීතිය

රුඩොල්ෆ් සුනාල්ව මට මුණගැසුණේ ඒ ගිම්හානයේදීමයි. අවුරුද්දකට පස්සේ මම ඔහුත් සමඟ විවාහ වුණා. පෙන්සිල්වේනියා ඇලිගනිවල සිටි ඔහුගේ පවුල සාක්ෂිකරුවන් වී තිබෙන්නේ පළමුවන ලෝක මහා යුද්ධය අවසන් වී ටික කාලයකට පසුවයි. ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය නිසා දෙවන ලෝක මහා යුධ සමයේ සිරගෙයි යම් කාලයක් ගත කිරීමට සිදු වූ පසු ඔහු නිව් යෝක් බෘක්ලින්හි බෙතෙල් සේවය තෝරාගෙන තිබෙනවා. අපි විවාහ වී ටික කලක් ගිය පසු සංචාරක අවේක්ෂකයෙක් ලෙස සභාවන් බැහැදැකීමේ පැවරුම ඔහුට දුන්නා. ඉන්පසුව අවුරුදු 18ක් මම ඔහුත් සමඟ චාරිකා සේවයේ යෙදුණා.

අපගේ සේවය තුළදී අප ගිය ප්‍රදේශවලට පෙන්සිල්වේනියාව, බටහිර වර්ජිනියාව, නිව් හැම්ෂයර් සහ මැසචූසෙට්ස් යන නගරත් අයත් වුණා. අපි සාමාන්‍යයෙන් නතර වුණේ අපේ ක්‍රිස්තියානි සහෝදරයන්ගේ නිවෙස්වලයි. ඔවුන්ව හොඳින් දැනහඳුනා ගැනීමටත් ඔවුන් එක්ක එකට එකතු වෙලා යෙහෝවාට සේවය කරන්න ලැබීමත් විශේෂ සතුටක්. අපට පෙන්නූ ප්‍රේමය සහ ආගන්තුක සත්කාරය සෑමවිටම උණුසුම් සහ අව්‍යාජයි. කලින් මගේ පුරෝගාමි සහකාරිය වෙලා හිටිය මේරි ඇනියෝල් සමඟ මගේ මල්ලි ජොයෙල් විවාහ වුණාට පස්සේ ඔවුන් අවුරුදු තුනක් පෙන්සිල්වේනියාවේ සහ මිචිගන්හි සභාවල සංචාරක සේවයේ නිරත වුණා. වර්ෂ 1958දී ජොයෙල්ට නැවතත් බෙතෙල් පවුලේ සමාජිකයෙක් වීමට වරම් ලැබුණා. මෙවර ඔහු එහි සේවයට ගියේ තනියම නෙමෙයි මේරිත් සමඟ.

අවුරුදු හතක් බෙතෙල් නිවසේ සේවය කළ පසු අමතර අද්දැකීම් ලබාගැනීම සඳහා මාස කිහිපයකට චාරිකා සේවයේ යෙදීමට කාල්ට පැවරුමක් දුන්නා. ඉන්පසු ඔහු ගිලියද් පාසැලේ උපදේශකයෙක් ලෙස සේවය කළා. බෙතෙල් නිවසේ සේවය කරමින් සිටි බොබි සමඟ ඔහු යුග දිවි ගමන් ඇරඹුවේ 1963දීයි. බොබි 2002 ඔක්තොබර් මාසයේ මිය යන තුරුම බෙතෙල් නිවසේ විශ්වාසවන්තව සේවය කළා.

ඩොන් බෙතෙල් නිවසේ සේවය කළ අවුරුදු ගණනාව ඇතුළත කලින් කලට කලාපීය අවේක්ෂකයෙක් ලෙස වෙනත් රටවලට ගොස් ශාඛා කාර්යාලවල සේවය කරන අය සමඟත් මිෂනාරිවරුන් සමඟත් සේවය කර තිබෙනවා. ඔහුගේ පැවරුම නිසා පෙරදිග රටවලත්, අප්‍රිකාවෙත්, යුරෝපයෙත් ඒ වගේම අමෙරිකාවේ නොයෙක් ප්‍රදේශවලත් සංචාරය කරන්න ඔහුට හැකි වුණා. ඩොන්ගේ පක්ෂපාත බිරිඳ වන ඩලෝරස්ද බොහෝ අවස්ථාවල ඔහුත් සමඟ ඊට හවුල් වුණා.

අපගේ තත්වයන් වෙනස් වුණා

හුඟ කාලයක් අසනීපව සිටි මගේ තාත්තා මිය ගියා. ඔහු මැරෙන්න කලින් මට කිව්වා, අපි හැමෝම යෙහෝවාට සේවය කරන්න තෝරාගත් එක ගැන ඔහු සතුටු වන බව. ඔහු සිතූ ආකාරයට අපි උසස් අධ්‍යාපනය හදාරා තිබුණා නම් අප මෙතරම් ආශීර්වාද ලබන එකක් නැහැයි කියාත් ඔහු කිව්වා. පස්සේ අපි අම්මාව මගේ නංගි ජෝයිගේ නිවසට කිට්ටු තැනක නැවැත්තුවා. මගේ ස්වාමිපුරුෂයාගේ අම්මාට අපේ උපකාර අවශ්‍යව තිබූ නිසා අපි දෙන්නා නිව් ඉන්ග්ලන්ඩ්වල පුරෝගාමි පැවරුම් කිහිපයක් භාරගත්තා. ඔහුගේ අම්මා මිය ගියාට පස්සේ මගේ අම්මා අවුරුදු 13ක් අපිත් එක්ක ජීවත් වුණා. වයස 93ක්ව සිටි ඇය 1987 ජනවාරි 18වෙනිදා ඇගේ භූමික ජීවිතයෙන් සමුගත්තා.

දරුවන් සියලුදෙනාවම යෙහෝවාට ප්‍රේම කරන සහ සේවය කරන අය විදියට ඇති දැඩි කිරීම ගැන මිතුරියන් ඇයට ප්‍රශංසා කළාම ඇය ඉතාම නිහතමානීව මෙහෙම කිව්වා. “මට සරු ‘පසක්’ ලැබුණ නිසයි ඒ දේ කරන්න පුළුවන් වුණේ.” (මතෙව් 13:23) යටහත්කම සහ ජ්වලිතය සම්බන්ධයෙන් අපට හොඳ ආදර්ශයක් තැබූ දේවභය ඇති දෙමාපියන් සිටීම මොනතරම් ආශීර්වාදයක්ද!

තවමත් රාජ්‍යයට මුල් තැන

අපේ ජීවිත තුළ අපි දිගටම දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙමින් සිටිනවා. ඒ වගේම, රාජ්‍ය පණිවුඩය අන් අය සමඟ බෙදාගැනීමට වූ යේසුස්ගේ උපදෙස අදාළ කරගැනීමටත් වෑයම් කර තිබෙනවා. (ලූක් 6:38; 14:12-14) යෙහෝවා අපේ අවශ්‍යතා අපිට නොමසුරුව සපයා තියෙනවා. අපේ ජීවිතයට සුරක්ෂිතකමත් ප්‍රීතියත් ලැබිලා තියෙනවා.

රුඩොල්ෆ්ගෙයි මගෙයි සංගීතයට තිබුණ ලැදිකම තවම අඩු වෙලා නැහැ. සංගීතයට කැමැත්තක් දක්වන වෙනත් අයත් අපිත් සමඟ සන්ධ්‍යාවක් ගත කරන්න එන විට අපි එකතු වෙලා සංගීත භාණ්ඩ වාදනය කරනවා. ඒත් සංගීතය මගේ ජීවිතයේ මූලිකම දෙය වුණේ නැහැ. එයින් අමතර විනෝදයක් ලැබුණා විතරයි. අපේ පුරෝගාමි සේවා කාලය තුළදී අපි උදව් කළ අය ලබා ඇති ප්‍රගතිය දකිද්දී අපිට ප්‍රීතියක් දැනෙනවා.

දැන් අපිට එතරම් හොඳ සෞඛ්‍යයක් නොතිබුණත් මට කියන්න පුළුවන් පූර්ණ කාලීන සේවයේ ගත වුණ අවුරුදු 60කට වැඩි කාලය තුළ අපේ ජීවිතය ඉතාමත් ප්‍රීතිදායක මෙන්ම සුරක්ෂිත එකක් වුණා කියලා. අවුරුදු ගණනාවකට කලින් පූර්ණ කාලීන සේවයට ඇතුල් වීමට පෙර මම කළ යාච්ඤාවට පිළිතුරු දීම ගැන මම හැම උදෑසනකම යෙහෝවාට ස්තුති කරනවා. ඒත් සමඟම, ‘අදටත් මට රාජ්‍යය පළමුකොට සොයන්න පුළුවන් කොහොමද’ කියලා මම කල්පනා කරනවා.

[පාදසටහන]

^ 14 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. දැන් එය මුද්‍රණය නොකරයි.

[24වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1948දී මගේ පවුලේ අය සමඟ, (වමේ සිට දකුණට) ජෝයි, ඩොන්, අම්මා, ජොයෙල්, කාල්, මම සහ තාත්තා

[25වන පිටුවේ පින්තූරය]

දේශනා කටයුතුවලදී අම්මා ජ්වලිතවත් ආදර්ශයක් තැබුවා

[26වන පිටුවේ පින්තූරය]

කාල්, ඩොන්, ජොයෙල්, ජෝයි සහ මම අවුරුදු 50කටත් වැඩි කාලයකට පසුව, මෑතකදී ගත් පිංතූරයක්

[27වන පිටුවේ පින්තූරය]

වමේ සිට දකුණට: ඩොමිනිකන් ජනරජයේ මිෂනාරි සේවය කරමින් සිටියදී මම, මේරි ඇනියෝල්, සොෆියා සෝවියක් සහ ඊඩිත් මෝගන්

[28වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1953දී, යැංකි ක්‍රීඩාංගණයේ මේරි සමඟ

[29වන පිටුවේ පින්තූරය]

මගේ ස්වාමිපුරුෂයා සමඟ චාරිකා සේවයේ යෙදෙන විට