Skip to content

පටුනට යන්න

පීඩා මැද ජයගත්තෝ

පීඩා මැද ජයගත්තෝ

පීඩා මැද ජයගත්තෝ

ෆ්‍රීඩා යෙස් උපන්නේ 1911දී ඩෙන්මාර්කයෙහිය. පසු කාලයේදී ඇගේ දෙමාපියන් සමඟ ඇය උතුරු ජර්මනියේ හූසුම්වල පදිංචියට ගියාය. වසර ගණනාවකට පසු මැග්ඩබර්ග්හි රැකියාවක නිරත වූ ඇය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව එවකට හැඳින්වූ පරිදි, බයිබල් ශිෂ්‍යාවක ලෙස 1930දී බව්තීස්ම වූවාය. වර්ෂ 1933දී හිට්ලර් බලයට පැමිණි අතර එදා පටන් ඒකාධිපති පාලන එකක් නොව දෙකක් යටතේ වසර 23ක් පුරා ෆ්‍රීඩාට වධ හිංසා විඳීමට සිදු විය.

වර්ෂ 1933 මාර්තුවලදී ජර්මානු රජය මහ මැතිවරණයක් පැවැත්විය. හැම්බර්ග් අසල පිහිටි නොයියන්ගාම ගාල් කඳවුරු සිහි කරනු වස් පිහිටුවා ඇති කෞතුකාගාරයේ ප්‍රධාන ආචාර්ය ඩෙට්ලෙෆ් ගාබේ මෙසේ පැහැදිලි කරයි. “ජාතික සමාජවාදීන්ට වුවමනා වූයේ තම අගමැති හා නායකයා වූ ඇඩොල්ෆ් හිට්ලර්ට ඡන්දය දීමට වැඩිදෙනෙකුට බල කිරීමටයි.” දේශපාලනික වශයෙන් මධ්‍යස්ථව සිටින්න මෙන්ම ‘ලෝකයේ කොටසක් නොවී සිටින්න’ කියා යේසුස් දුන් අවවාදය අනුගමනය කිරීම හේතුවෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඡන්දය නොදුන්හ. ප්‍රතිඵලය කුමක් වීද? සාක්ෂිකරුවන්ට තහංචි පනවනු ලැබීමය.—යොහන් 17:16.

ෆ්‍රීඩා රහසිගතව තම ක්‍රිස්තියානි සේවාවන් දිගටම කරගෙන ගිය අතර මුරටැඹ සඟරාව මුද්‍රණය කිරීමට පවා ඇය සහාය දුන්නාය. “අපගේ සෙසු ඇදහිලිවන්තයන්ට දෙන්න ඕන නිසා රහසිගතව සඟරා කීපයක් වධක කඳවුරුවලට අරගෙන ගියා” කියා ඇය පවසයි. ඇයව 1940දී අත්අඩංගුවට ගනු ලැබූ අතර ගෙස්ටාපෝ පොලිසිය ඇගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හුදකලා සිර කඳවුරක මාස ගණනාවක් ඇයව සිර කරන ලදි. කෙලෙසද ඈ විඳදරාගත්තේ? ඇය මෙසේ පවසයි. “යාච්ඤාව මට සරණ වුණා. මම යාච්ඤා කරන්න පටන්ගත්තේ හිමිදිරියේමයි. දවසකට කීප වතාවක්ම යාච්ඤා කළා. යාච්ඤාවෙන් මට ශක්තිය ලැබුණා විතරක් නෙවෙයි අනවශ්‍ය ලෙස කනස්සලු නොවී සිටීමටද එය උපකාරවත් වුණා.”—පිලිප්පි 4:6, 7.

ෆ්‍රීඩාව නිදහස් කළ නමුත්, 1944දී ගෙස්ටාපෝ පොලිසිය විසින් ඇයව නැවතත් අත්අඩංගුවට ගනු ලැබීය. මේ අවස්ථාවේදී ඇයව වෝල්ට්හයිම් බන්ධනාගාරයේ වසර හතකට සිරගත කරන ලදි. ෆ්‍රීඩා තවදුරටත් මෙසේ පවසයි. “බන්ධනාගාර නිලධාරීන් වැසිකිළි හා නාන කුටි සහිත කාමරවල සේවය කරන වෙනත් ස්ත්‍රීන් සමඟ වැඩ කරන්න මාව දැම්මා. චෙකෝස්ලෝවැකියාවේ සිරකාරියක් එක්ක මට නිතර කාලය ගත කරන්න ලැබුණ නිසා යෙහෝවා ගැනත් මගේ ඇදහිල්ල ගැනත් ඇය එක්ක හුඟක් දේවල් කතා කළා. ඒ සංවාදයන් මාව ශක්තිමත් කළා.”

නිදහස ලැබුණත් වැඩි කලකට නොවේ

සෝවියට් හමුදා මගින් 1945 මැයිවලදී වෝල්ඩ්හයිම් බන්ධනාගාරයේ සිටියවුන් නිදහස් කළ නිසා මැග්ඩබර්ග්වලට හා ප්‍රසිද්ධ දේවසේවයට නැවතත් යන්න ෆ්‍රීඩාට නිදහස ලැබුණත්, ඒ වැඩි කලකට නම් නොවේ. යළිත් සාක්ෂිකරුවන්ට අගතිසහගත අසාධාරණයන්ට මුහුණ දීමට සිදු වූ අතර මේ වතාවේ එසේ කරනු ලැබුවේ සෝවියට්වරුන් නතු කරගත් කලාපයේ පාලකයන් විසිනි. හානා-ආරෙන්ට් ඒකාධිපතිවාදය සම්බන්ධ පර්යේෂණ ආයතනයේ ගේරාල්ට් හාකෙ මෙසේ ලියයි. “ජර්මනියේ ආඥාදායකත්වයන් දෙකෙන්ම නිරතුරුවම වාගේ පීඩා විඳි කණ්ඩායම් කීපය අතුරින් එක් කණ්ඩායමකි යෙහෝවාගේ සාක්ෂිකරුවන්.”

අගතිසහගත අසාධාරණයන් යළි හටගත්තේ මන්ද? නැවතත්, ප්‍රධාන ප්‍රශ්නය වූයේ ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවයයි. වර්ෂ 1948දී, නැඟෙනහිර ජර්මනියේ ජනමත විචාරණයක් පවත්වනු ලැබුවේ ජනයාගේ පෞද්ගලික ඡන්දය ගැනීමටයි. හාකෙ මෙසේ පැහැදිලි කරයි. “[යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පීඩා එල්ල කිරීමට] ප්‍රධාන හේතුව ඔවුන් ජනමත විචාරණයට සහභාගි නොවීමය.” වර්ෂ 1950 අගෝස්තුවලදී නැඟෙනහිර ජර්මනියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරන ලදි. ෆ්‍රීඩා ඇතුළු සිය ගණනක් අත්අඩංගුවට ගනු ලැබීය.

ෆ්‍රීඩාව යළිත් උසාවියට ගෙන යනු ලැබූ අතර වසර හයකට බන්ධනාගාරයට යවනු ලැබීය. “මේ පාර අනිත් ඇදහිලිවන්තයනුත් මා එක්ක හිටිය නිසා ඇසුර ලොකු උපකාරයක් වුණා.” වර්ෂ 1956දී නිදහස ලැබීමත් සමඟම ඇය බටහිර ජර්මනියේ පදිංචියට ගියාය. දැන් 90 වියේ පසු වන ෆ්‍රීඩා, තවමත් සැබෑ දෙවි වූ යෙහෝවාට සේවය කරමින් හූසුම්හි වෙසෙයි.

ෆ්‍රීඩා ආඥාදායකත්වයන් දෙකක් යටතේ වසර 23ක් පුරා පීඩා වින්දාය. “නාට්සීන් මාව ශාරීරිකව විනාශ කරන්න වෑයම් කළා; කොමියුනිස්ට්වාදීන් මගේ විශ්වාසය බිඳ දැමීමට වෑයම් කළා. මට ශක්තිය ලැබුණේ කොහෙන්ද? නිදහස ලැබී තිබුණ කාලෙදී මම හොඳින් බයිබලය අධ්‍යයනය කරන්න පුරුදු වුණා. තනි වෙලා හිටිය වෙලාවලදී නිතර යාච්ඤා කළා. පුළුවන් හැම වෙලාවෙම අනිත් ඇදහිලිවන්තයන්ව ඇසුරු කළා. ඒ විතරක් නෙවෙයි ලැබෙන හැම අවස්ථාවකදීම අනිත් අය එක්ක මගේ විශ්වාසයන් බෙදාගත්තා.”

හංගේරියාවේ ෆැසිස්ට්වාදය

අසාධාරණය නිසා දශක ගණනාවක් පීඩා විඳදරාගෙන සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසූ තවත් රටකි හංගේරියාව. සමහරු ඒකාධිපති පාලනයන් දෙකක් යටතේ පමණක් නොව නමුත් තුනක් යටතේ පීඩා වින්දෝය. ආඩාම් සිඟර් ඊට එක් උදාහරණයකි. හංගේරියාවේ පැක්ෂ්හි 1922දී උපන් ආඩාම් රෙපරමාදු භක්තිකයෙකු ලෙස ඇති දැඩි විය. වර්ෂ 1937දී බයිබල් ශිෂ්‍යයන් ආඩාම්ව හමුවීමට පැමිණි අතර ඔහු ඒ මොහොතේම උනන්දුවක් දැක්වීය. පල්ලියේ ඉගැන්වීම් රැගෙන තිබෙන්නේ බයිබලයෙන් නොවන බව ඉගෙනගත් දේ තුළින් ඔහු ඒත්තුගත්තේය. එබැවින් ඔහු රෙපරමාදු සභාව අත්හැර බයිබල් ශිෂ්‍යයන් සමඟ ප්‍රසිද්ධ දේවසේවයෙහි හවුල් විය.

හංගේරියාවේ ෆැසිස්ට්වාදී බලය තහවුරු වෙමින් තිබිණ. ආඩාම් ගෙයින් ගෙට දේශනා කරමින් සිටින බව කීප වතාවකම නිරීක්ෂණය කළ පොලිස් නිලධාරීහු ඔහුව අල්ලගෙන ගොස් ඔහුගෙන් ප්‍රශ්න කළහ. සාක්ෂිකරුවන්ට එල්ල කළ පීඩනය අධික වූ අතර 1939දී ඔවුන්ගේ වැඩ තහනම් කරන ලදි. වර්ෂ 1942දී ආඩාම්ව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර දරුණු ලෙස පහර දෙනු ලැබීය. දහනවවන වියේ සිටි ඔහුට මාස ගණනාවක් හිරේ සිටියදී වේදනා දරාගන්න උපකාර වුණේ කුමක්ද? “ගෙදර හිටිය කාලෙදී මම හොඳින් බයිබලය පාඩම් කරලා යෙහෝවාගේ අරමුණු ගැන නියම විදිහට අවබෝධ කරගත්තා.” ආඩාම්ට යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු හැටියට බව්තීස්ම වෙන්න ලැබුණේ හිරෙන් නිදහස් වූ පසුවයි. එයද 1942 අගෝස්තුවලදී සිදු කරනු ලැබුවේ ඔහුගේ නිවස අසළ පිහිටි ගඟක අඳුරු රැයකදීය.

හංගේරියාවේ බන්ධනාගාරයේදී සහ සර්බියාවේ ශ්‍රම කඳවුරේදී

මේ අතරතුර, දෙවන ලෝක යුධ සමයේදී, සෝවියට් ජනරජයට විරුද්ධව හංගේරියාව ජර්මනියට එකතු වූ අතර 1942 උදාවීමත් සමඟම හමුදා සේවයට බන්දවාගැනීම සඳහා ආඩාම්ව කැඳවනු ලැබීය. ඔහු මෙසේ වාර්තා කරයි. “බයිබලයෙන් ඉගෙනගෙන තියෙන දේ නිසා මට හමුදාවේ සේවය කරන්න විදිහක් නැහැ කියලා මම කිව්වා. මගේ මධ්‍යස්ථ ස්ථාවරය ගැන මම පැහැදිලි කළා.” ඔහුට වසර 11ක සිරදඬුවමක් නියම විය. එහෙත් ආඩාම් හංගේරියාවේ වැඩි කලක් ඉන්න සිද්ධ වුණේ නැත.

වර්ෂ 1943දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් 160දෙනෙකුව පමණ අල්ලාගෙන බත්තල්වල පටවා ඩැනියුබ් ගඟ හරහා සර්බියාවට ගෙන යන ලදි. ආඩාම්ද ඔවුන් අතරේ සිටියේය. මෙවිට සර්බියාවේ මෙම සිරකරුවන් සිටියේ හිට්ලර්ගේ තුන්වන රයිකයේ පාලනය යටතේය. බෝර්හි ශ්‍රම කඳවුරේ සිර කරන ලද ඔවුන්ට තඹ ආකරවල වැඩ කිරීමට බල කරනු ලැබීය. වසරකට පමණ පසු, යළිත් ඔවුන්ව හංගේරියාවට යවනු ලැබූ අතර එහිදී සෝවියට් හමුදා මගින් 1945 වසන්තයේදී ආඩාම්ව නිදහස් කරන ලදි.

කොමියුනිස්ට් පාලනය යටතේ හංගේරියාව

එහෙත් නිදහස වැඩි කල් නොපැවතිණ. යුද්ධයට පෙර ෆැසිස්ට්වාදීන් කළාක් මෙන්ම 1940 ගණන්වල අගභාගයේදී හංගේරියාවේ කොමියුනිස්ට් බලධාරීහුද යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩවලට තහනම පැනවූහ. වර්ෂ 1952වන විට විවාහ වී දරු දෙදෙනෙකු සිටි ආඩාම් 29වන වියේ පසු වූ අතර යළිත් හමුදා සේවය ප්‍රතික්ෂේප කළ විට ඔහුව අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබීය. ආඩාම් උසාවියේදී මෙසේ පැහැදිලි කළේය. “මම හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු මුල් වතාව මේක නෙවෙයි. යුද්දේ තියෙනකොට මම හිරේට ගියා. මේ හේතුවම නිසා මාව සර්බියාවට පිටුවහල් කළා. පුහුණු කළ හෘදය සාක්ෂිය නිසා මම හමුදාවට බැඳුණේ නැහැ. මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්. දේශපාලන කටයුතුවලදී මම මධ්‍යස්ථව ඉන්නවා.” ආඩාම්ට වසර අටක සිරදඬුවමක් හිරේට නියම වුවත් පසුව එය වසර හතරකට සීමා කරන ලදි.

තම දෙමාපියන්ගේ නිවසට බයිබල් ශිෂ්‍යයන් මුලින්ම පැමිණි දා සිට 1970 ගණන් දක්වා, වසර 35කට වැඩි කාලයක් පුරා ආඩාම් නොකඩවාම අගතිසහගත අසාධාරණකම් අද්දැක්කේය. මෙම කාලය පුරා උසාවි හයක් මගින් ඔහුව වසර 23කට අඩුම තරමින් බන්ධනාගාරවල හා සිරකඳවුරු දහයකවත් රඳවා තබා තිබිණ. ඔහු පාලන තුනක් යටතේ, එනම් යුද්ධ සමයට පෙර හංගේරියාවේ ෆැසිස්ට්වාදීන්ගේ, සර්බියාවේ ජර්මන් ජාතික සමාජවාදීන්ගේ සහ හංගේරියාවේ ශීත යුද්ධයේදී කොමියුනිස්ට්වාදීන්ගේ පාලන ක්‍රම යටතේ දිගින් දිගටම පීඩා විඳදරාගත්තේය.

ආඩාම් පක්ෂපාතව දෙවිට සේවය කරමින් තවමත් වෙසෙන්නේ සිය මව් දේශය වන පාක්ස්හීය. එතරම් විජයග්‍රාහී ලෙස දුෂ්කරතා විඳදරාගැනීමට හැකි කරවන අමුතු හැකියාවන් ඔහුට තිබුණාද? නැත. ඔහු මෙසේ පැහැදිලි කරයි.

“බයිබල් අධ්‍යයනය, යාච්ඤාව හා සෙසු ඇදහිලිවන්තයන් සමඟ ඇසුර අත්‍යවශ්‍ය දේවල් වුණා. එහෙත් තවත් කරුණු දෙකක් විශේෂයෙන් කියන්න මම කැමතියි. මුලින්ම, යෙහෝවා තමයි ශක්තියේ උල්පත. ඔහු එක්ක තිබුණ කිට්ටු බැඳීම මගේ ජීවනාලිය වුණා. දෙවනුව, මම රෝම 12වෙනි පරිච්ඡේදය මතකයේ තියාගත්තා. ඒකෙ කියන්නේ ‘පළිගන්න එපා’ කියලයි. ඒ නිසා මම කිසිවිටක හිතේ තරහවක් තියාගත්තේ නැහැ. මට පීඩා කරපු අයගෙන් පළිගන්න මට අවස්ථාවල් කීපයක් උදා වුණත් මම එහෙම කළේ නැහැ. යෙහෝවා අපිට දෙන ශක්තිය නපුරට නපුරක් කරන්න පාවිච්චි කරන එක වැරදියි.”

සියලු පීඩාවලට නිමාවක්

කිසි බාධාවකින් තොරව දැන් යෙහෝවාට නමස්කාර කරන්න ෆ්‍රීඩාට සහ ආඩාම්ට හැකි වී ඇත. එහෙත්, ඔවුන්ගේ අද්දැකීම්වලින් ආගම නිසා පීඩා විඳීම සම්බන්ධයෙන් පෙන්වන්නේ කුමක්ද? විශේෂයෙන්ම අව්‍යාජ ක්‍රිස්තියානීන්ට පීඩා කළ විට එසේ පමුණුවන පීඩාවලින් කිසිදු බලපෑමක් කළ නොහැකි බවයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පීඩා කරන විට දේපළවලට බොහෝ හානි සිදු වුවත්, දරුණු වේදනා විඳීමට සිදු වුවත් පීඩා පමුණුවන්නන්ගේ පරමාර්ථය ඉටු කරගැනීමට නොහැකි විය. එදා මහා ආඥාදායකත්වයන් දෙකක් පැවති යුරෝපයේ, අද යෙහෝවාගේ සාක්ෂිකරුවෝ හතු මෙන් පිපෙති.

සාක්ෂිකරුවන් පීඩාවලට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ෆ්‍රීඩා සහ ආඩාම්ගේ වාර්තා දෙස බලන කල පෙනී යන්නේ ඔවුන් බයිබලයේ මෙම උපදෙස් පිළිපැද ඇති බවයි. “නපුරෙන් පරාජය නොවී, දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න.” (රෝම 12:21, NW) නපුර පරාජය කිරීමට ඇත්තෙන්ම යහපතට හැකිද? ඔව්, දෙවි කෙරෙහි බලවත් ඇදහිල්ලකින් එය නික්මෙන විට එසේ කළ හැකිය. පීඩා මැද යුරෝපයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලද ජයග්‍රහණය දෙවිගේ ආත්මයේ විජයග්‍රහණයකි. යටහත් පහත් ක්‍රිස්තියානීන් තුළ ශුද්ධාත්මය මගින් නිපදවන ඇදහිල්ල හේතුවෙන් එළි දකින යහපත සතු බලයේ ජයග්‍රහණයට සාක්ෂියකි එය. (ගලාති 5:22, 23) මේ ප්‍රචණ්ඩකාරී ලෝකයෙහි සිටින සියල්ලන්ට සිතට ගත හැකි පාඩමකි එය.

[5වන පිටුවේ පින්තූර]

ෆ්‍රීඩා යෙස් (දැන් තියේලේ) අත්අඩංගුවට ගත් අවස්ථාවේ සහ දැන්

[7වන පිටුවේ පින්තූර]

ආඩාම් සිඟර් සිරගතව සිටි කාලයේ සහ දැන්