Skip to content

පටුනට යන්න

වෙනස් වන තත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන නෙළාගන්න

වෙනස් වන තත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන නෙළාගන්න

වෙනස් වන තත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන නෙළාගන්න

නෙදර්ලන්තයේ ජීවත් වන පම්, යාන්, ඩ්‍රීස් සහ ඔටෝ යන ක්‍රිස්තියානි වැඩිමහල්ලන් හතරදෙනා අතර බොහෝ පොදු ලක්ෂණ තිබෙනවා. මේ හතරදෙනාම විවාහකයි. ඒ වගේම ඔවුන් දරුවන් සිටින පියවරු. ඊට අමතරව කලකට පෙර ඔවුන් සියලුදෙනාම ස්ථීර රැකියාවල නිරත වී සිටි අතර හොඳ සැප පහසු ගෙවල්වලද ජීවත් වුණා. නමුත් මේ හතරදෙනාම රැකියාවලින් ඉවත් වෙලා තමන්ගේ කාලය හා ශ්‍රමය මුළුමනින්ම දේවසේවයේ වැඩි වර්ධනය සඳහා යෙදවීමට පටන්ගත්තා. ඔවුන්ට මෙම වෙනස්කම් කිරීමට හැකි වුණේ කොහොමද? ඔවුන් හතරදෙනාම වෙනස් වූ තත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන නෙළාගත් නිසායි.

අපගේ තත්වයන් කවදා හෝ වෙනස් විය හැකි අතර එය අප සැමෝටම බලපෑ හැකියි. විවාහ වීම, දරුවන් ඇති දැඩි කිරීම හෝ වයසක දෙමව්පියන්ව බලාගැනීම වැනි අමතර වගකීම් ජීවිතයේ අද්දකින වෙනස් වීම් සමහරක් වේ. කෙසේවෙතත් සමහර වෙනස් වීම්වලින් අපේ ජීවිතවලට පෙරට වඩා වැඩි නිදහසක් ලැබෙන අතර මෙය අපේ ක්‍රිස්තියානි දේවසේවයේ වැඩිපුර කාලයක් ගත කිරීමට මහෝපකාරී වෙනවා. (මතෙව් 9:37, 38) උදාහරණයකට වැඩිහිටි දරුවන් නිවෙසින් වෙන්ව ගියාට පසු හෝ රැකියාවෙන් විශ්‍රාම ගත් විට මෙවන් නිදහසක් ලැබිය හැකියි.

අපි කැමති වුණත් නැතත් ජීවිතයේ සිදු වන සමහර වෙනස්කම්වලට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් සමහර අය දක්ෂ ලෙස හොඳින් සංවිධානය වී තමන්ගේ තත්වයන් වෙනස් කරගෙන තිබෙනවා. මෙමගින් දේවසේවයේ වඩාත් පූර්ණ ලෙස සහභාගි වීමට මඟ සැලසී තිබෙනවා. පම්, යාන්, ඩ්‍රීස් සහ ඔටෝත් කළේ මේ දේමයි. නමුත් කෙසේද?

දරුවන්ගෙන් නිදහස් වූ පසු

පම් ඖෂධ ආයතනයක පොත් තබන්නෙක් ලෙස රැකියාවක් කළා. ඔහු හා ඔහුගේ භාර්යාව කඩින් කඩ දූවරුන් දෙදෙනා සමඟ උපකාරික පුරෝගාමී දේවසේවකයන් ලෙස සේවය කළා. විනෝද කාලය පවා පූර්ණ කාලීන සේවයේ යෙදෙන අය හා සමඟ ගත කිරීමට පම් සහ ඇනී සැලසුම් යෙදුවා. ඔවුන් කිව්වේ “වෙනත් අය සමඟ ආශ්‍රය කිරීමෙන් ඇති විය හැකි කරදරවලින් ආරක්ෂාවක්ද මෙයින් ලැබුණා” කියායි. දෙමව්පියන්ගේ යහපත් ආදර්ශය සිතට ගත් දූවරුන් දෙදෙනා ද්විතීක අධ්‍යාපනයෙන් පසු ස්ථාවර පුරෝගාමී සේවය ආරම්භ කළා.

දරුවන්ගේ වගකීම්වලින් නිදහස් වුණාට පස්සේ පම් හා ඇනීට වැටහුණා ඔවුන්ට ඉස්සරට වැඩිය නිදහසක් හා ආර්ථික අතින් යම් සහනයක් තියෙනවා කියා. මෙම තත්වයන් ප්‍රයෝජනයට ගෙන තමන්ගේ සිත්ගත් ප්‍රදේශ නැරඹීමට යෑමට හෝ විනෝදය සඳහා වෙන යමක් කිරීමට හැකියාව තිබුණා. නමුත් මේ යුවළ තීරණය කළා මේ වෙනස් වුණු තත්වය ප්‍රයෝජනයට ගෙන ක්‍රිස්තියානි සේවයේ වැඩිපුර නියැලීමට. ඒ නිසා පම් ඔහුගේ සේවා යෝජකයාගෙන් සතියේ එක දවසක් අඩුවෙන් වැඩ කිරීමට අවසර ලබාගත්තා. ඊට පසු ඔහු උදේ 7:00ට වැඩ පටන් අරගෙන හවස 2:00ට නතර කිරීමට කටයුතු පිළියෙළ කරගත්තා. අඩුවෙන් වැඩ කරනවා කියන්නේ අඩු ආදායමකින් ජීවත් වෙනවා කියන එකයි. කෙසේවෙතත් ඔවුන් සාර්ථක වුණා. පම් 1991දී තම භාර්යාව හා එක්ව ස්ථාවර පුරෝගාමී සේවයේ යෙදුණා.

ඉන්පසු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළු ශාලාවක් බලාගැනීම සඳහා උපකාර කිරීමට පම්ට ආරාධනා කරනු ලැබුවා. මෙම ඇරයුම පිළිගැනීමෙන් ඇඟවූයේ මේ යුවළට තමන් අවුරුදු 30ක් පුරා ජීවත් වූ තමන්ගේ නිවස අත්හැර සමුළු ශාලා භූමියේ කුඩා නිවසක ජීවත් වීමට යෑමට සිදුවීමයි. ඔවුන් එම තීරණය ගෙන එහි පදිංචියට ගියා. වෙනස්කම කරන්න අමාරු වුණාද? ඇනී කිව්වේ ඇයට ගෙදර ගැන මතක් වී දුක හිතෙන හැම විටම ඇය ‘මමත් ලොත්ගේ භාර්යාව වගේද?’ කියා ඇයගෙන්ම අසාගත්තා කියායි. ඇනී ‘ආපසු හැරී බැලුවේ’ නැහැ.—උත්පත්ති 19:26; ලූක් 17:32.

පම් සහ ඇනීට හැඟෙන්නේ ඔවුන් ගත් තීරණය ආශීර්වාද රැසකට මඟ පෑදුවා කියායි. වෙනත් බොහෝ වරප්‍රසාද අතර සමුළු ශාලාවේ ඔවුන් කරන සේවයෙනුත්, දිස්ත්‍රික් සමුළුවලට සූදානම් වීමේ කටයුතුවලට හවුල් වීමෙනුත් ශාලාවේ කතා දීමට පැමිණෙන චාරිකා අවේක්ෂකයින් (සංචාරක අවේක්ෂකයන්) සමඟ ඇසුරු කිරීමට ලැබීමෙනුත් මහත් සතුටක් ලබනවා. ඉඳ හිට පම් ආදේශක චාරිකා අවේක්ෂකයෙකු ලෙස සේවය කරන අතර විවිධ සභා බැහැදැකීමටද ඔහුට අවස්ථාව ලැබෙනවා.

මේ යුවළගේ සේවය පුළුල් කිරීමේදී සාර්ථක වීමට මඟ පෑදුවේ කුමක්ද? පම් පැවසුවේ “ඔබේ ජීවිතයේ විශාල වෙනස් වීම් වෙනකොට ඒ වෙනස් වූ තත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න අධිෂ්ඨාන කරගෙන සිටිය යුතුයි” කියායි.

ඉතා සරල ජීවිතයක් ගොඩනඟා ගැනීම

යාන් සහ ඔහුගේ භාර්යාව වන වොට්ට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. පම් හා ඔහුගේ පවුලේ අය මෙන් යාන්ද වෙනස් වූ තත්වයන්වලින් ප්‍රඥාවන්තව ප්‍රයෝජන ගත්තා. අවුරුදු ගණනාවක් පුරා යාන් බැංකුවක හොඳ වැටුපක් ලබන රැකියාවක් කළ අතර පවුලේ අයට සැප පහසු ජීවිතයක් ලබා දීමට ඔහුට හැකි වුණා. කෙසේවෙතත් ඔහු තුළ දැඩි ආශාවක් වර්ධනය වෙමින් තිබුණා සේවය පුළුල් කිරීමට. ඒ ගැන ඔහු පැහැදිලි කළේ මෙලෙසයි. “මගේ ජීවිත කාලය තුළදී සත්‍යය කෙරෙහි වූ අගය වැඩිවීමත් සමඟ යෙහෝවා කෙරෙහි තිබූ ප්‍රේමයද වර්ධනය වුණා.” එමනිසා 1986දී යාන් ඔහුගේ තත්වයේ යම් වෙනස්කම් කළා. ඔහු විස්තර කළේ “කාර්යාලයේ වැඩකටයුතු ප්‍රතිසංවිධානය කළ විටකදී මම එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මම වැඩ කරන පැය ගණන අඩු කරගැනීමට සැලසුම් යෙදුවා. මේ ගැන පුදුම වූ මගේ හවුල් සේවකයන් ඩේවොඩො යන නම (මම වැඩ කරපු දවස් තුනේ මුල් අකුරු යොදා හැදූ නමක්) පටබැන්දා. මගේ පඩිය සියයට 40කින් අඩු වුණා. මම අපේ ගේ විකුණලා ඒ සල්ලිවලින් පාරුවක් මත ගොඩනැඟූ නිවසක් ගත්තා. මේකෙන් රාජ්‍ය ප්‍රචාරකයන්ගේ අවශ්‍යතාව වැඩි තැන්වලට ගිහින් දේශනා කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මම කලින්ම විශ්‍රාම ගැනීමට ලැබූ ප්‍රස්තාවෙන් ප්‍රයෝජන ගත්තා. මගේ ආදායම තවත් සියයට 20කින් අඩු වුණා. කොහොමවුණත් 1993දී මට ස්ථාවර පුරෝගාමියෙක් ලෙස සේවය කිරීමට අවස්ථාව ලැබුණා.”

අද යාන් රෝහල් සබඳතා කමිටුවේ සාමාජිකයෙක් ලෙස සේවය කරන අතර සමුළු අවේක්ෂක ලෙස දිගටම සේවය කරමින් ඉන්නවා. වොට් ඇයගේ දුර්වල සෞඛ්‍ය තත්වය මධ්‍යයේ වුවද කඩින් කඩ උපකාරික පුරෝගාමී සේවයේ යෙදෙනවා. දැන් දරුවන් තුන්දෙනාම විවාහ වී සිටින අතර ඔවුන්ගේ කලත්‍රයන් සමඟ ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයන් ලෙස සේවය කරනවා.

අඩු ආදායමකින් තම ජීවිතය ගැටගසා ගැනීමට යාන්ට හා වොට්ට හැකි වී තිබෙන්නේ කෙසේද? යාන් තම අද්දැකීම මෙසේ විස්තර කළා. “අපිට සල්ලි වැඩියෙන් තියෙනකොටත් අපි ඕනෑවට වඩා ද්‍රව්‍යමය දේවල්වලට ඇලී ගැලී සිටියේ නැහැ. දැන් සමහරවිට අපිට යමක් ලබාගන්න ඕනේ නම් ඒක ලබාගන්න ටිකක් කල් බලා ඉන්න සිද්ධ වෙනවා. නමුත් අද අපි අද්දකින ආත්මික ආශීර්වාද හා වරප්‍රසාද ගැන හිතනකොට ඒවා අපේ සියලුම දුෂ්කරතා අභිභවා යන බව පැහැදිලි වෙනවා.”

යාන් හා වොට් වගේම ඩ්‍රීස් සහ ඔහුගේ භාර්යාව වන ජෙනීත් රාජ්‍ය කටයුතුවලට මුල් තැන දීම සඳහා තමන්ගේ ජීවිත සරලව තබාගැනීමට තීරණය කර තිබුණා. ඩ්‍රීස් සහ ජෙනීට දරුවන් ලැබෙන්න කලින් ඔවුන් පුරෝගාමී සේවයේ නියැලුණා. දරුවන් ලැබුණාට පසු පවුල නඩත්තු කිරීම සඳහා ඩ්‍රීස් විශාල ආයතනයක පරිපාලකයෙක් ලෙස සේවය කළා. එම ආයතනයේ සේවා යෝජකයන් ඔහුගේ සේවය අගය කළ අතර ඔහුට උසස් වීමක් දීමටද කැමති වුණා. නමුත් ඩ්‍රීස් එම උසස් වීම ප්‍රතික්ෂේප කළා. ඔහු දැනගත්තා උසස් වීම ලබාගත්තොත් ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් සඳහා තිබෙන කාලය අඩු වන බව.

පවුලක් රැකබලා ගැනීමටත්, අසනීප වී සිටි ජෙනීගේ මවව බලාගැනීමටත් මේ යුවළට සෑහෙන කාලයක් හා ශ්‍රමයක් වැය වුණා. නමුත් ඔවුන් දිගටම පුරෝගාමී ස්ප්‍රීතුව වර්ධනය කරගනිමින් සිටියා. ඔවුන්ට මෙය පවත්වාගැනීමට උපකාර කළේ කුමක්ද? ජෙනී ඒ ගැන විස්තර කළේ මෙසේ කියමින්. “සමහර පුරෝගාමීන් අපිත් එක්ක නතර වෙලා හිටියා. තවත් පුරෝගාමීන්ට අපි කෑමට ආරාධනා කළා. ඒ වගේම චාරිකා අවේක්ෂකට නවාතැන් දුන්නා.” ඩ්‍රීස් මෙයට තවත් කරුණු එකතු කරමින් මෙහෙම කිව්වා. “අපි ජීවිතය සරලව තියාගත්තා. ඒ වගේම ණයවීමෙන් වැළකිලා හිටියා. අපි විශාල ව්‍යාපාර කටයුතුවල නියැලීමෙන් වැළකී සිටින්නත් ගෙයක් මිල දී නොගෙන සිටින්නත් තීරණය කළේ අනාගතයේදී ඒවාට සිත යොමුවීම නිසා අපේ සේවයට බාධා ඇති විය හැකි නිසායි.”

ඩ්‍රීස් හා ජෙනී රාජ්‍යයට මුල් තැන දීමට හැකි වන පරිදි තත්වයන් සකස් කරගැනීමට ගත්තාවූ තීරණයට ඔවුන්ට මහඟු ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඔවුන්ගේ පුතුන් දෙදෙනාම වැඩිමහල්ලන් ලෙස සේවය කරන අතර එක් පුතෙක් තම භාර්යාව සමඟ පුරෝගාමී සේවයේ යෙදෙමින් සිටිනවා. කාලයක් ඩ්‍රීස් හා ජෙනී විශේෂ පුරෝගාමීන් ලෙස සේවය කළා. ඉන්පසු මේ යුවළ චාරිකා සේවයේ යෙදුණා. දැන් ඔවුන් බෙතෙල් ගෘහයේ ස්වෙච්ඡා සේවකයන් ලෙස කටයුතු කරන අතර ඩ්‍රීස් ශාඛා කමිටුවේ සාමාජිකයෙක් ලෙස සේවය කරනවා.

කලින්ම විශ්‍රාම යෑම

ඩ්‍රීස් හා ජෙනීට සමානව ඔටෝ හා ඔහුගේ භාර්යාව වන ජූඩි දූවරුන් දෙන්නා ලැබෙන්න කලින් පුරෝගාමී සේවය කළා. ජූඩිට පළමුවෙනි දරුවා ලැබෙන්න ඉන්නකොට ඔටෝ පාසැල් ගුරුවරයෙක් වශයෙන් රැකියාවක් සොයාගත්තා.

දූවරුන් දෙදෙනා වැඩෙත්ම පුරෝගාමීන් භුක්ති විඳින ප්‍රීතිය තම දූවරුන්ට පෙන්වීමට ඔටෝට හා ජූඩිට අවශ්‍ය වුණා. ඒ නිසා ඔවුන් පුරෝගාමීන්ව තම නිවසට නිතර නිතර ආරාධනා කළා. කාලයාගේ ඇවෑමෙන් වැඩිමල් දියණිය පුරෝගාමී සේවය කරන්න පටන්ගත්තා. ඉන්පසු ගිලියද් පාසැලෙන් පුහුණුව ලැබූ ඇය දැන් ඇගේ ස්වාමිපුරුෂයා සමඟ අප්‍රිකානු රටක මිෂනාරී සේවයේ යෙදෙනවා. ඔවුන්ගේ බාල දියණිය 1987දී පුරෝගාමී සේවය කරන්න පටන්ගත් අතර ජූඩිත් ඇය සමඟ එම සේවයට හවුල් වුණා.

තත්වයන් වෙනස් වී පාසැලේ වැඩ කරන පැය ගණන අඩු කරන්න ප්‍රස්තාව සැලසුණු විට ඔටෝ එම අමතර කාලය පුරෝගාමී සේවය සඳහා යෙදෙව්වා. අවසානයේදී ඔහු සම්පූර්ණයෙන්ම රැකියාවෙන් ඉවත් වුණා. අද චාරිකා සේවයේ නිරත වී සිටින ඔටෝ තම ඉගැන්වීමේ දක්ෂතා සභාවල සහෝදරයන්ගේ ආත්මික ප්‍රගතිය සඳහා භාවිත කරනවා.

රැකියාවෙන් කල් ඇතිව විශ්‍රාම යන අයට ඔටෝ දෙන අවවාදය කුමක්ද? “ඔබ විශ්‍රාම ගිය පසු අවුරුද්දක් දෙකක් එම කාලය නිකරුණේ ගතවීමට ඉඩ දෙන්න එපා. ‘කාලය නිකරුණේ ගත කිරීමට’ අපි ඉක්මනින්ම හුරු වෙන්න පුළුවන්. ඔබට ඉක්මනට පුරෝගාමී සේවය අමතක වී යන්නත් පුළුවන්. ඒ නිසා විශ්‍රාම ගිය විගස සේවය පුළුල් කිරීමට පියවර ගන්න.”

ජීවිත අද්දැකීම්වලින් ප්‍රයෝජන

පම්, යාන්, ඩ්‍රීස් සහ ඔටෝ යන අයට ඔවුන්ගේ තරුණ කාලේ තිබුණු ශක්තිය හා ජවය දැන් නැහැ. නමුත් පෙරට වඩා මේරූකම, අද්දැකීම් හා ප්‍රඥාව ඔවුන් සතුව තිබෙනවා. (හිතෝපදේශ 20:29) ඔවුන් පියවරුන් වශයෙන් අද්දැකීම් ලබා තිබෙනවා පමණක් නොව තම භාර්යාවන් සමඟ එකට වැඩ කිරීම නිසා මව්වරුන්ට පැවරිලා තියෙන භාරදූර වැඩ ගැනද ඔවුන්ට අවබෝධයක් තිබෙනවා. පවුලේ ප්‍රශ්න විසඳීම සඳහා ඔවුන් භාර්යාවන්ව හවුල් කරගෙන තිබෙන අතර දිව්‍යාණ්ඩු ඉලක්ක අත් කරගැනීමට දරුවන්ට උනන්දු කර තිබෙනවා. ඔටෝ පවසන්නේ “චාරිකා සේවයේදී පවුල් ප්‍රශ්න සම්බන්ධයෙන් උපදෙස් දෙන විට මම පවුලක් රැකබලා ගෙන තිබෙන නිසා ඒ අද්දැකීම් ගොඩාක් ප්‍රයෝජනවත් වුණා” කියලායි. ඒ වගේම ඩ්‍රීස්ට තියෙන පියෙකුගේ අද්දැකීම බෙතෙල් පවුලට ලොකු ආශීර්වාදයක් වී තිබෙන්නේ එහි යෞවනයන් සමඟ කටයුතු කිරීමට මෙම අද්දැකීම මහත් රුකුලක් වී තිබෙන නිසායි.

සභාවේ සිටින විවිධ අවශ්‍යතාවන් ඇති අයට උපකාර කිරීමට ජීවිතයේ ලද අද්දැකීම් එම සහෝදරයන්ට ප්‍රයෝජනවත් වනවාට කිසිම සැකයක් නැහැ. ඔවුන්ගේ අද්දැකීම් හරියට ඔවුන් තුළ තිබුණු හැකියාවන් මුවහත් කළා හා සමානයි. ඒ නිසා ඔවුන් උපරිම ප්‍රයෝජනයක් නෙළාගත හැකි ආකාරයෙන් තම ශක්තිය වැය කරනවා. (දේශනාකාරයා 10:10) කාය ශක්තිය තිබෙන අද්දැකීම් අඩු අයට වඩා අද්දැකීම් ලත් මෙම සහෝදරයන්ට කෙටි කාලයක් ඇතුළත ඉටු කළ හැකි දේ බොහෝයි.

එම සහෝදරයන් හා ඔවුන්ගේ භාර්යාවන් යෙහෝවාගේ සෙනඟ අතර සිටින තරුණ අයට කදිම ආදර්ශයක්. මෙවැනි යුවළයන් ක්‍රිස්තියානි ප්‍රකාශනවල සඳහන් වී ඇති ආකාරයේ අභියෝග හා ආශීර්වාද බොහොමයක් පෞද්ගලිකව අත් විඳ තිබෙන බව තරුණ අය නිරීක්ෂණය කරනවා. වයසින් මුහුකුරා ගිය මෙවැනි සහෝදර සහෝදරියන්, සිය කැමැත්තෙන්ම අභියෝගාත්මක පැවරුමක් ඉටු කළ කාලෙබ්ගේ ස්ප්‍රීතුව විදහාපෙන්වීම අන් අයටත් මහත් දිරිගැන්වීමක්.—යෝෂුවා 14:10-12.

ඔවුන්ගේ ඇදහිල්ල ආදර්ශයට ගන්න

මෙම ලිපියේ සඳහන් යුවළයන්ගේ ඇදහිල්ල හා ක්‍රියාවන් ඔබටත් අනුකරණය කරන්න පුළුවන්ද? ඔවුන් සත්‍යය තමන්ගේ ජීවිතයේ කේන්ද්‍රය කරගත් බව මතක තියාගන්න. ඔවුන් තම දරුවන් තුළ පුරෝගාමී සේවය සඳහා ඇල්මක් වර්ධනය කළා. යාන් කියන විදිහට ඔවුන් එසේ කළේ “යෙහෝවාට හා ඔහුගේ සංවිධානයට ප්‍රේම කරමින් කදිම ආදර්ශයක් තැබීමෙන්, යහපත් ආශ්‍රිතයන්ව හඳුන්වා දීමෙන් සහ දරුවන්ට ජීවන උපායක් සාදාගැනීමට ඉගැන්වීමෙන්.” ඔවුන් පවුලක් වශයෙන් එකට වැඩ කළා විතරක් නෙවෙයි එකට විනෝදත් වුණා. “නිවාඩු කාලයේදී පුරුද්දක් හැටියට අපි පවුලම උදේ දේවසේවයේ ගියා. ඊට පස්සේ හවස එකට විනෝද වුණා” කියා පම් පැවසුවා.

ඒ විතරක් නොවෙයි, මේ ක්‍රිස්තියානීන් කලින්ම දේවල් සැලසුම් කළා. ඒ නිසා තත්වයන් වෙනස් වෙනකොට ඒ අලුත් තත්වයෙන් ප්‍රයෝජන ගන්න ඔවුන් සූදානම්ව සිටියා. ඔවුන් යම් ඉලක්ක තබමින් එම ඉලක්ක ඉක්මනින් අත් කරගැනීමට දායක වූ තීරණද ගත්තා. ඔවුන් බාහිර රැකියා සඳහා වැය කරන කාලය අඩු කරගැනීමට මං සෙවූ අතර අඩු ආදායමකින් ජීවිතය ගැටගසා ගැනීමටත් කැමති වුණා. (පිලිප්පි 1:10) භාර්යාවන් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ට හොඳ සහයෝගයක් දුන්නා. ඔවුන්ට එක්ව “ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරෙන්” ඇතුල් වීමට දැඩි ආශාවක් තිබුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් යෙහෝවාගේ මහත් ආශීර්වාද භුක්ති විඳිනවා.—1 කොරින්ති 16:9, NW; හිතෝපදේශ 10:22.

ඔබේ දේවසේවය පුළුල් කරගැනීමට ඔබටත් එවැනිම ආශාවක් තිබෙනවාද? එහෙමනම් වෙනස් වන තත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන නෙළාගැනීම එය අත් කරගැනීම සඳහා තිබෙන හොඳම මාර්ගය වෙන්නට පුළුවන්.

[20වන පිටුවේ පින්තූරය]

පම් හා ඇනී සමුළු ශාලා භූමිය බලාගනිමින්

[20වන පිටුවේ පින්තූරය]

යාන් හා වොට් දේවසේවයේ හවුල් වෙමින්

[21වන පිටුවේ පින්තූරය]

ඩ්‍රීස් හා ජෙනී බෙතෙල් සේවයේ නියැලෙමින්

[21වන පිටුවේ පින්තූරය]

ඔටෝ හා ජූඩි ඊළඟ සභාව බැහැදැකීමට සූදානම් වෙමින්