Skip to content

පටුනට යන්න

“ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න”

“ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න”

“ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න”

“ධෛර්යවත් වන්න. මම ලෝකයෙන් ජයගත්තෙමි.”—යොහන් 16:33, NW.

1. කානාන්හිදී බලවත් සතුරන්ට මුහුණ දීමට සිටි ඊශ්‍රායෙල්වරුන්ට ලැබුණු දිරිගැන්වීම කුමක්ද?

ඊශ්‍රායෙල්වරුන් යොර්දාන් ගඟෙන් එගොඩ වී පොරොන්දු දේශයට ඇතුල් වීමට ආසන්නව සිටියදී මෝසෙස් ඔවුන්ට මෙසේ පැවසුවේය. “ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. ඔවුන් ගැන භය නොවන්න. තැති නොගන්න. මක්නිසාද නුඹේ දෙවි වූ යෙහෝවාම නුඹ සමඟ යන්නේය.” මෝසෙස් මෙම වදන් පැවසීමෙන් අනතුරුව ඊශ්‍රායෙල්වරුන්ව කානාන් දේශයට ගෙන යෑමේදී මූලිකත්වය ගැනීමට නියමිතව තිබූ යෝෂුවාව කැඳවා ධෛර්යවත්ව සිටීම සඳහා දුන් උපදේශය නැවත වතාවක් ඔහුට පෞද්ගලිකව ලබා දුන්නේය. (ද්විතීය කථාව 31:6, 7) පසුකලෙක යෙහෝවාම යෝෂුවාව දිරිමත් කරමින් මෙසේ පැවසුවේය. “ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. . . . ශක්තිමත්ව ඉතා ධෛර්යවත්ව සිටින්න.” (යෝෂුවා 1:6, 7, 9) මෙම වදන් කාලෝචිත විය. ඊශ්‍රායෙල්වරුන්ට ධෛර්යය අවශ්‍ය වූයේ යොර්දාන් ගඟෙන් එතෙර වාසය කරමින් සිටි බලසම්පන්න සතුරන්ට ඔවුන් මුහුණ දීමට සිටි නිසාය.

2. වර්තමානයේ අප සිටින්නේ කෙබඳු තත්වයකද? අපට අවශ්‍ය කරන්නේ කුමක්ද?

2 වර්තමානයේ සිටින සැබෑ ක්‍රිස්තියානීන්ද දෙවි පොරොන්දු වී තිබෙන නව ලොවට ඇතුල් වීමට ආසන්නව සිටින අතර යෝෂුවා මෙන් ඔවුන්ද ධෛර්යවත්ව සිටීම අවශ්‍යයි. (2 පේතෘස් 3:13; එළිදරව් 7:14) කෙසේවෙතත් අපේ තත්වය යෝෂුවා මුහුණ දුන් තත්වයට වඩා වෙනස්. යෝෂුවා සටන් කළේ කඩු හා හෙල්ලවලිනි. අප නිරතව සිටින්නේ ආත්මික සටනකයි. අපි කවදාවත් මිනිසුන් සාදන අවි ආයුධ අතට නොගන්නෙමු. (යෙසායා 2:2-4; එපීස 6:11-17) එපමණක්ද නොව, පොරොන්දු දේශයට ඇතුල් වීමෙන් පසුව පවා යෝෂුවාට දරුණු සටන් බොහොමයක හවුල් වීමට සිදු විය. එනමුත් අපේ දරුණුතම සටනට අප මුහුණ දෙන්නේ නව ලොවට ඇතුල් වීමට පෙරයි. එනම්, දැන්ය. අපට ධෛර්යය අවශ්‍ය කරන තත්වයන් කිහිපයක් දැන් සලකා බලමු.

අපට සටන් කිරීමට සිදු වන්නේ මන්ද?

3. අපේ ප්‍රධානතම විරුද්ධකාරයා ගැන බයිබලය හෙළි කරන්නේ කුමක්ද?

3 ප්‍රේරිත යොහන් මෙසේ ලීවේය. “අපි දෙවිගෙන් පැමිණෙන බවත්, මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත්ව තිබෙන බවත් අපි දනිමු.” (1 යොහන් 5:19, NW) තමන්ගේ ඇදහිල්ල රැකගැනීම සඳහා ක්‍රිස්තියානීන් දැඩි සටනක නිරත විය යුතු වීමට හේතුව එම වදන්වලින් පැහැදිලි වේ. ක්‍රිස්තියානියෙකු සිය අඛණ්ඩතාව දිගටම පවත්වාගනිද්දී සාතන් නමැති යක්ෂයා යම් ප්‍රමාණයකට පරාජයක් අද්දකියි. මෙබැවින් සාතන් ඇදහිලිවන්ත ක්‍රිස්තියානින්ව බියගන්වා ගිලගැනීමට වෑයම් කරමින් ඔබ මොබ යන්නේ “ගොරවන සිංහයෙකු” මෙන්ය. (1 පේතෘස් 5:8) ඇත්තෙන්ම, ඔහු ආලේප ලත් ක්‍රිස්තියානින්ට හා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන්ට එරෙහිව යුද්ධ කරයි. (එළිදරව් 12:16ආ) දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහුගේ අභිලාෂයන් ඉටු කරන මිනිසුන්වද ඔහු මේ යුද්ධය සඳහා යොදාගනී. සාතන්ටත් ඔහුගේ සියලුම නියෝජිතයන්ටත් විරුද්ධව නොසැලී සිටීම සඳහා අපට ධෛර්යය අවශ්‍යයි.

4. යේසුස් දුන් අනතුරු ඇඟවීම කුමක්ද? එනමුත් සැබෑ ක්‍රිස්තියානීන් විදහාපෙන්වා තිබෙන ගුණාංගය කුමක්ද?

4 සාතන් හා ඔහුගේ නියෝජිතයන් ශුභාරංචියට අඛණ්ඩ විරෝධයක් දක්වන බව යේසුස් දැන සිටි නිසා ඔහු සිය අනුගාමිකයන්ට මෙසේ අනතුරු ඇඟවුවේය. “මිනිස්සු ඔබව පීඩා විඳින්ට පාවා දී මරණයට පත් කරති. තවද, මාගේ නාමය නිසා සියලු ජාතීන් ඔබට වෛර කරනවා ඇත.” (මතෙව් 24:9, NW) මෙම වදන් මුල් සියවසේදී ඉටු විය. එමෙන්ම අද දිනත් ඉටු වෙමින් පවතී. ඇත්තෙන්ම, නවීන දින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් සමහරදෙනෙකු අද්දැක ඇති පීඩා ඉතිහාසයේ මෙතෙක් සිදු වී තිබෙන දරුණුතම හිංසා පීඩා ලෙස සැලකිය හැක. කෙසේවෙතත්, සැබෑ ක්‍රිස්තියානීහු එවන් පීඩා මැද ධෛර්යවත්ව සිටිති. “මනුෂ්‍යයාට භයවීම මලපතක්” බව දැන සිටින ඔවුන් වෑයම් කරන්නේ මලපතකට හසු නොවී සිටීමටයි.—හිතෝපදේශ 29:25.

5, 6. (අ) අපට ධෛර්යය අවශ්‍ය කරන්නේ කුමන තත්වයන්වලදීද? (ආ) ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ගේ ධෛර්යසම්පන්නබව පරීක්ෂණයට ලක් වන විට ඔවුන් ඊට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?

5 හිංසා පීඩා හැර තවත් අභියෝගවලට මුහුණ දීමටද අපට සිදු වන අතර එවන් අවස්ථාවලදීද අපට ධෛර්යය අවශ්‍යයි. තමන් නොහඳුනන අය සමඟ ශුභාරංචිය ගැන කතා කිරීම සමහරුන්ට අභියෝගයකි. තමන්ගේ රටට හෝ එය නියෝජනය කරන කොඩියට පක්ෂපාතකම දක්වන ප්‍රතිඥාව හඬ නඟා පවසන්න කියා ඉල්ලා සිටින අවස්ථාවලදී පාසැල් යන සමහර දරුවන්ගේ ධෛර්යසම්පන්නබව පරීක්ෂණයට ලක් වේ. එවන් ප්‍රතිඥාවක් ආගමික ස්වරූපයක් ගනු ලබන ප්‍රකාශයක් වන නිසා ක්‍රිස්තියානි දරුවෝ යෙහෝවාව සතුටු කරවන අයුරින් කටයුතු කිරීමට නිර්භීත ලෙස අදිටන් කරගෙන සිටිති. මේ සම්බන්ධයෙන් ඔවුන් යහපත් ක්‍රියාමාර්ග ගෙන තිබීම ප්‍රීතියට හේතුවක් වී තිබේ.

6 දෙවිගේ සේවකයන්ව අපකීර්තියට පත් කරවන වාර්තා පතුරුවා හැරීම සඳහා විරුද්ධකරුවන් කපටි ලෙස ජනමාධ්‍යය යොදාගන්න අවස්ථාවලදී හා ‘පනතින් නපුර යොදාගනිමින්’ සැබෑ නමස්කාරයට වැට කඩොලු බැඳීමට තැත් කරන අවස්ථාවලදී අප ධෛර්යවන්තව සිටීම අවශ්‍යයි. (ගීතාවලිය 94:20) නිදසුනක් වශයෙන් පුවත්පත්, ගුවන්විදුලිය හා රූපවාහිනිය මගින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන වැරදි තොරතුරු හෝ අමූලික බොරු ප්‍රචාරය කරද්දී ඒ ගැන අපට හැඟී යා යුත්තේ කෙසේද? අප පුදුම විය යුතුද? නැත. එවන් දේවල් අපි අපේක්ෂා කරන්නෙමු. (ගීතාවලිය 109:2) ‘නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරන’ නිසා සමහර මනුෂ්‍යයන් එවන් බොරු හා වැරදි තොරතුරු විශ්වාස කිරීම ගැන අප පුදුම වන්නේද නැත. (හිතෝපදේශ 14:15) කෙසේවෙතත්, පක්ෂපාත ක්‍රිස්තියානීහු තමන්ගේ ආත්මික සහෝදරයන් ගැන මිනිසුන් කියන හැම දෙයක්ම විශ්වාස නොකරති. එමෙන්ම ඔවුන් මිනිසුන්ගේ බොරු ප්‍රචාරයන් නිසා ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම අත්හරින්නේවත් ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම අඩු කරන්නේවත් තමන්ගේ ඇදහිල්ල දුර්වල කරගන්නේවත් නැත. ඊට වෙනස්ව, ‘තේජස සහ අගෞරවයද අපකීර්තිය සහ කීර්තියද මධ්‍යයෙහි [විරුද්ධවාදීන්ට අනුව] රැවටිලිකාරයන් ලෙස පෙනුණත් [සැබවින්ම] ඔවුන් අවංක අය’ බව පෙන්වමින්ද ඔවුන් දෙවිගේ සේවකයන් බව සෑම ආකාරයකින්ම ඔප්පු කර පෙන්වයි.—2 කොරින්ති 6:4, 8, NW.

7. අපට අපෙන්ම අසාගත හැක්කේ සිතට කාවදින කවර ප්‍රශ්නද?

7 පාවුල් තිමෝතිට ලියන විට මෙසේ පැවසුවේය. ‘දෙවි අපට දුන්නේ බියගුලුකමේ ආත්මයක් නොව බලයෙන් යුත් ආත්මයක්ය. එබැවින්, අපේ ස්වාමීන් ගැන සාක්ෂි දැරීම ගැන ලැජ්ජා නොවෙමු.’ (2 තිමෝති 1:7, 8, NW; මාර්ක් 8:38) මෙම වදන් කියවීමෙන් පසු අපට අපෙන්ම මෙසේ අසාගත හැකියි. ‘මගේ ඇදහිල්ල ගැන මම ලැජ්ජා වෙනවාද? නැතහොත් මම ධෛර්යවත් කෙනෙක්ද? මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් කියලා මාත් එක්ක වැඩ කරන අයට (හෝ පාසැලේදී ඉගෙනගන්න අයට) මම කියලා තියෙනවාද? එහෙම නැත්නම් ඒ බව සැඟවීමට මම උත්සාහ කරනවාද? අනිත් අයට වඩා වෙනස් කෙනෙකු වීම ගැන මා තුළ ලැජ්ජාවක් ඇති වෙනවාද? යෙහෝවා සමඟ තිබෙන මගේ සම්බන්ධතාව නිසා මම විශේෂ කෙනෙකු ලෙස අන් අය දකින එක ගැන මම සන්තෝෂ වෙනවාද?’ ශුභාරංචිය දේශනා කිරීම ගැන හෝ බොහෝදෙනෙකු පිළි නොගන්න ස්ථාවරයක සිටීම ගැන හෝ යමෙකුට බියක් දැනේ නම් “ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න” කියා යෙහෝවා යෝෂුවාට දුන් උපදේශය එම තැනැත්තා මතක තබාගැනීම හොඳයි. වැදගත්ම දෙය වන්නේ අප සමඟ රැකියාව කරන අයගේ හෝ ඉගෙනගන්න අයගේ මතය නොව යෙහෝවා හා යේසුස් ක්‍රිස්තුස් කාරණා දෙස බලන ආකාරය බව කිසිදාක අමතක නොකරන්න.—ගලාති 1:10.

ධෛර්යය වැඩි කරගත හැකි අයුරු

8, 9. (අ) එක් අවස්ථාවකදී මුල් ක්‍රිස්තියානින්ගේ ධෛර්යය පරීක්ෂණයට ලක් වූයේ කෙසේද? (ආ) තර්ජන හමුවේ පේතෘස් හා යොහන් ක්‍රියා කළේ කෙසේද? ඔවුන් හා ඔවුන්ගේ සහෝදරයන් අද්දැක්කේ කුමක්ද?

8 මේ දුෂ්කර කාලවලදී අපේ අඛණ්ඩතාව දිගටම පවත්වාගන්න අපට උපකාරවත් වන ගුණාංගයක් වන ධෛර්යය වැඩි කරගැනීමට අපට හැක්කේ කෙසේද? හොඳයි, අපි බලමු මුල් ක්‍රිස්තියානීන් ධෛර්යය වැඩි කරගත්තේ කෙසේද කියා. යෙරුසලමේ සිටි නායක පූජකයන් හා වැඩිමහල්ලන් යේසුස්ගේ නාමයෙන් දේශනා කිරීම නතර කරන්න කියා පේතෘස්ට හා යොහන්ට පැවසූ අවස්ථාවේදී සිදු වූ දෙය සලකා බලන්න. දේශනා කිරීම නතර කළ නොහැකියි කියා එම ගෝලයන් පැවසූ අතර ඔවුන් දෙදෙනාට තර්ජනය කර නිදහස් කරන ලදි. ඔවුන් නැවතත් තම සහෝදරයන් ළඟට ගොස් සියලුදෙනාම එක්ව මෙසේ පවසමින් යාච්ඤා කළහ. “යෙහෝවා, ඔවුන්ගේ තර්ජන දෙස බලා ඉමහත් නිර්භීතකමින් ඔබේ වචනය දිගටම කතා කරන්න ඔබේ දාසයන්ට අවසර දෙන්න.” (ක්‍රියා 4:13-29, NW) යෙහෝවා ඔවුන්ගේ එම යාච්ඤාවට පිළිතුරු දෙමින් ශුද්ධාත්මය ලබා දී ඔවුන්ව ශක්තිමත් කළේය. පසුකලෙක යුදෙව් නායකයෝම, පිළිගත් ලෙස ඔවුහු සිය ඉගැන්වීම්වලින් ‘යෙරුසලම පිරෙව්වෝය.’—ක්‍රියා 5:28.

9 එම අවස්ථාවේදී සිදු වූ දෙය අපි ටිකක් විග්‍රහ කර බලමු. මේ ගෝලයන්ට යුදෙව් නායකයන් තර්ජනය කළ අවස්ථාවේදී පීඩනයක් දැනුණු නිසා දේශනා කිරීම නතර කිරීම ගැන ඔවුන් සිතුවේ නැත. එසේ කරනවා වෙනුවට දේශනා කිරීම දිගටම කරගෙන යෑම සඳහා ධෛර්යය ඉල්ලා ගෝලයෝ යාච්ඤා කළහ. අනතුරුව ඔවුන් එම යාච්ඤාවලට එකඟව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට යෙහෝවා ඔහුගේ ආත්මය සැපයීමෙන් ඔවුන්ව ශක්තිමත් කළේය. ඔවුන්ගේ මෙම අද්දැකීමෙන් පැහැදිලි වන්නේ අවුරුදු කිහිපයකට පසු පාවුල් වෙනත් කාරණයක් සම්බන්ධයෙන් ලියූ පහත සඳහන් වදන් හිංසා පීඩාවලට ලක් වන ක්‍රිස්තියානින්ට පවා අදාළ වන බවයි. පාවුල් පැවසුවේ මෙසේය. “මට බලය දෙන තැනැත්තා මාර්ගයෙන් සියලු දේ කරන්න මට ශක්තිය තිබේ.”—ෆිලිප්පි 4:13, NW.

10. සහජයෙන්ම බයාදුගතියක් තිබෙන අයට යෙරෙමියාගේ අද්දැකීම උපකාරවත් වන්නේ කෙසේද?

10 සහජයෙන්ම බයාදුගතියක් තිබෙන කෙනෙකු ගැන කුමක් කිව හැකිද? විරුද්ධවාදීකම් මැද නිර්භීතව යෙහෝවාට සේවය කරන්න එවැනි කෙනෙකුට වුවත් පුළුවන්ද? ඇත්තෙන්ම පුළුවන්. යෙහෝවා යෙරෙමියාව අනාගතවක්තෘවරයෙකු හැටියට පත් කළ විට ඔහු ප්‍රතිචාරය දැක්වූ ආකාරය මතකයට නඟාගන්න. ඒ අවස්ථාවේදී යොවුන් වියේ පසු වූ යෙරෙමියා පැවසුවේ “මම බාලයෙක්මි” කියාය. දෙවිගෙන් ලැබුණු පැවරුම ඉටු කිරීමට තමන්ට එතරම් හැකියාවක් නැතැයි කියා ඔහුට හැඟුණු බව එයින් පැහැදිලි වේ. එහෙත් යෙහෝවා මෙම වදන්වලින් ඔහුව දිරිමත් කළේය. “මම බාලයෙක්මියි නොකියා මා විසින් නුඹ යවන සියල්ලන් ළඟට ගොස් මා නුඹට අණ කරන සියල්ල කියන්න. ඔවුන්ට භය නොවන්න. මක්නිසාද නුඹ ගලවන්ට මම නුඹ සමඟ සිටිමි.” (යෙරෙමියා 1:6-10) යෙරෙමියාට යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් තිබිණ. එහි ප්‍රතිඵලයක් හැටියට, යෙහෝවාගේ ශක්තියෙන් තමන් තුළ තිබූ බිය සැක දුරු කරගැනීමට ඔහුට හැකි විය. එමෙන්ම ඔහු ඊශ්‍රායෙලයේ විසූ කැපීපෙනෙන ධෛර්යසම්පන්න සාක්ෂිකරුවෙකු බවටද පත් විය.

11. අද දින සිටින ක්‍රිස්තියානින්ට යෙරෙමියා හා සමාන වීමට උපකාරවත් වන්නේ කුමක්ද?

11 යෙරෙමියාට ලැබුණු පැවරුම හා සමාන එකක් අද සිටින ආලේප ලත් ක්‍රිස්තියානින්ටද ලැබී තිබේ. ඔවුහු ‘වෙනත් බැටළුවන්ගෙන්’ යුත් ‘මහත් සමූහයේ’ සහයෝගය ඇතුව ඇතැමුන්ගේ උදාසීනකම, සරදම් හා හිංසා පීඩා මැද පවා යෙහෝවාගේ අරමුණු ගැන දිගටම ප්‍රකාශ කරති. (එළිදරව් 7:9; යොහන් 10:16) “භය නොවන්න” කියා යෙහෝවා යෙරෙමියාට පැවසූ වදන්වලින් ඔවුහු දිරිගැන්වෙති. දේශනා කිරීමේ පැවරුම තමන්ට ලැබී තිබෙන්නේ දෙවිගෙන් බවත්, තමන් දේශනා කරන්නේ ඔහුගේ පණිවිඩය බවත් ඔවුහු කවදාවත් අමතක නොකරති.—2 කොරින්ති 2:17.

අනුකරණය කිරීමට වටින ධෛර්යසම්පන්න අයගේ ආදර්ශ

12. ධෛර්යසම්පන්න වීම සම්බන්ධයෙන් යේසුස් සැපයූ විශිෂ්ට ආදර්ශය කුමක්ද? ඔහු සිය අනුගාමිකයන්ව දිරිමත් කළේ කෙසේද?

12 යෙරෙමියා මෙන් ධෛර්යසම්පන්නව කටයුතු කළ වෙනත් අයගේ ආදර්ශ ගැන අප ගැඹුරින් කල්පනා කර බලනවා නම් ධෛර්යය වැඩි කරගැනීමට අප දරන වෑයම්වලට එයින් මහත් පිටිවහලක් ලැබිය හැකියි. (ගීතාවලිය 77:12) නිදසුනක් වශයෙන් යේසුස්ගේ දේවසේවය ගැන අප අධ්‍යයනය කරද්දී සාතන් විසින් පරීක්ෂා කරනු ලැබූ අවස්ථාවේදී හා යුදෙව් නායකයන්ගේ දැඩි විරුද්ධවාදීකම්වලට මුහුණ දුන් අවස්ථාවලදී යේසුස් පෙන්වූ නිර්භීතකම අපගේ සිත්ගනී. (ලූක් 4:1-13; 20:19-47) යෙහෝවාගේ ශක්තිය ඇතුව යේසුස් සිය අඛණ්ඩතාව බිඳහෙළීමට කිසිවකට ඉඩ නුදුන්නේය. සිය මරණයට කලින් ඔහු සිය ගෝලයන්ට මෙසේ පැවසුවේය. “ලෝකයෙහි ඔබට පීඩා තිබේ. නමුත් ධෛර්යවත් වන්න! මම ලෝකයෙන් ජයගත්තෙමි.” (යොහන් 16:33; 17:16; NW) යේසුස්ගේ ආදර්ශය අනුගමනය කළහොත් ඔහුගේ ගෝලයන්ටද ජයග්‍රහයකයන් වීමට හැකිකම තිබිණ. (1 යොහන් 2:6; එළිදරව් 2:7, 11, 17, 26) කෙසේවෙතත් ඔවුන් “ධෛර්යවත්ව සිටින්න” අවශය විය.

13. පාවුල් ෆිලිප්පිවරුන්ට දුන් දිරිගැන්වීම කුමක්ද?

13 යේසුස්ගේ මරණයෙන් ටික කලකට පසු පාවුල්ව හා සීලස්ව ෆිලිප්පියේදී සිරගත කරන ලදි. පසු කලෙක පාවුල් ෆිලිප්පි සභාවේ සිටි අයව දිරිමත් කරමින් මෙසේ පැවසුවේය. ‘ඇදහිල්ලේ මාර්ගයට අයත් ශුභාරංචිය වෙනුවෙන් එකා මෙන් උරෙන් උර ගැටී එක්සිත්ව ස්ථිරව සිටිමු. විරුද්ධකරුවන්ට කිසි දෙයකදී භය නොවී සිටින්න.’ මෙසේ සිටීම සඳහා ඔවුන්ව ශක්තිමත් කිරීමට පාවුල් තවදුරටත් මෙසේ පැවසුවේය. “මේ දේවල්ම [එනම් ක්‍රිස්තියානින්ට සිදු කරන හිංසා පීඩා] ඔවුන්ට [එනම් හිංසා පීඩා කරන අයට] විනාශයේද, ඔබට ගැලවීමේද ලකුණක් වන්නේය. මේ ලකුණ දෙවිගෙන්ය. මන්ද ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල තැබීමට පමණක් නොව ඔහු උදෙසා දුක් විඳීමටත් වූ වරප්‍රසාදය ඔහු මාර්ගයෙන් දෙනු ලැබුවේ ඔබටමය.”—ෆිලිප්පි 1:27-29, NW.

14. පාවුල්ගේ නිර්භීතකමේ ප්‍රතිඵලයක් ලෙස රෝමයේ සිදු වූයේ කුමක්ද?

14 පාවුල් ෆිලිප්පියේ පිහිටි සභාවට ලියද්දී ඔහු නැවත වතාවක් සිටියේ සිරගෙදරයි. මේ වතාවේදී ඔහු සිටියේ රෝමයේ පිහිටි සිරගෙදරකයි. කෙසේවෙතත් ඔහු දිගටම අන් අයට නිර්භීතව දේශනා කළේය. මෙයින් ලැබූ ප්‍රතිඵලය කුමක්ද? මේ ගැන ඔහු මෙසේ ලීවේය. “මගේ බැඳුම් ක්‍රිස්තුස් නිසා ඇති වූ බව මුළු ප්‍රීටෝරියානු ආරක්ෂක භට පිරිසත් අන් සියලුදෙනාත් දැනගෙන තිබේ. එමෙන්ම, මාගේ සිරබැඳුම් හේතුවෙන් ස්වාමීන් තුළ සිටින සහෝදරයන්ගෙන් වැඩිදෙනෙක් දිරිමත් වී දෙවිගේ වචනය භය නැතිව කතා කිරීමට තවත් එඩිතර වී ඇත.”—ෆිලිප්පි 1:13, 14, NW.

15. ධෛර්යසම්පන්නව සිටීමට වූ අපේ අධිෂ්ඨානය ශක්තිමත් කරවන ඇදහිල්ල පිළිබඳ කදිම ආදර්ශයන් අපට සොයාගත හැක්කේ කොහෙන්ද?

15 පාවුල්ගේ ආදර්ශයෙන් අපවත් දිරිගැන්වේ. එමෙන්ම ඒකාධිපතීන්ගේ හෝ පූජකයන්ගේ පාලනය යටතේ පවතින රටවල හිංසා පීඩා විඳදරාගෙන තිබෙන නවීන දින ක්‍රිස්තියානින්ගේ කදිම ආදර්ශවලින්ද අපට දිරිගැන්වීමක් ලැබේ. මෙවැනි බොහෝදෙනෙකුගේ ජීවිත කතා මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවලද, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත්වලද (සිංහලෙන් නැත) සඳහන් වී තිබේ. ඔබ මෙම වාර්තා කියවද්දී මේ අයත් අප හා සමාන මිනිසුන් බව මතක තබාගන්න. එනමුත් ඔවුන් ඉතාමත් දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙද්දී යෙහෝවා ඔවුන්ට සාමාන්‍ය ඉක්මවූ බලය ලබා දුන්නේය. මේ නිසා ඔවුන්ට විඳදරාගැනීමට හැකි විය. අවශ්‍ය අවස්ථාවලදී යෙහෝවා අපටද එම බලය ලබා දෙන බවට නිසැක විය හැකියි.

අප ධෛර්යවත්ව සිටීම යෙහෝවාගේ සතුටට මෙන්ම ගෞරවයටද හේතු වේ

16, 17. අද දින අපට ධෛර්යවත් ආකල්පයක් වර්ධනය කරගත හැක්කේ කෙසේද?

16 යමෙකු සත්‍යය හා ධර්මිෂ්ඨකම සඳහා නොසැලෙන ස්ථාවරයක සිටිනවා නම් එවන් කෙනෙකු ධෛර්යයවත් කෙනෙකි. බියක් දැනුණත් යමෙකු එවන් ස්ථාවරයක සිටින්නේ නම් ඔහු ඉතා ධෛර්යයවත් කෙනෙකි. යෙහෝවාගේ කැමැත්ත කිරීමට සැබෑ වුවමනාවක් තිබෙනවා නම් විශ්වාසවන්තකම රැකගැනීමට අදිටන් කරගෙන සිටිනවා නම් අඛණ්ඩව යෙහෝවා මත රඳා සිටිනවා නම් යෙහෝවා අතීතයේදී අප හා සමාන පුද්ගලයන් අසීමිත ගණනක්ව ශක්තිමත් කර තිබෙන බව නිතරම මතකයේ තබාගෙන සිටිනවා නම් ඕනෑම ක්‍රිස්තියානියෙකුට ධෛර්යසම්පන්නව සිටිය හැකියි. එපමණක්ද නොව, අප ධෛර්යවත්ව සිටින විට යෙහෝවා සතුටු වන බවත් එයින් ඔහුව ගෞරවයට පත් වන බවත් අප තේරුම්ගන්නා විට පසු නොබැසීමට වූ අපේ අධිෂ්ඨානය තව තවත් ශක්තිමත් වේ. අපි යෙහෝවාට අතිශයින් ප්‍රේම කරන නිසා ඕනෑම තත්වයක් හමුවෙහි විඳදරාගැනීමට අපි සූදානමින් සිටින්නෙමු.—1 යොහන් 2:5; 4:18.

17 අපේ ඇදහිල්ල නිසා අප දුක් වේදනා විඳිනවා නම් අප යම් වරදක් කර තිබෙන බවක් ඉන් අදහස් නොකරන බව කවදාවත් අමතක කරන්න එපා. (1 පේතෘස් 3:17) අප දුක් වේදනා විඳින්නේ යෙහෝවාගේ පරමාධිපත්‍යයට අප පක්ෂපාත නිසයි. අප යහපත කරන නිසයි. ලෝකයේ කොටසක් නොවන නිසයි. මේ සම්බන්ධයෙන් ප්‍රේරිත පේතෘස් මෙසේ පැවසුවේය. “ඔබ යහපත කරද්දී වධ විඳින විට ඔබ එය විඳදරාගන්නෙහි නම් එය දෙවි ඉදිරියෙහි ප්‍රසන්න දෙයකි. එබැවින්, දෙවිගේ කැමැත්තට එකඟව වධවිඳින්නෝ යහපත්කම් කර විශ්වාසවන්ත මැවුම්කරු වෙත ඔවුන්ගේ ජීවිත භාර දෙත්වා.” (1 පේතෘස් 2:20; 4:19; NW) අපේ ඇදහිල්ල දකින විට අපේ ප්‍රේමණීය දෙවි යෙහෝවා සතුටු වෙයි. එමෙන්ම එයින් ඔහුව ගෞරවයටද පත් වෙයි. එසේනම් ධෛර්යවත්ව සිටීම සඳහා තිබෙන්නේ මොනතරම් ප්‍රබල හේතුද!

බලධාරීන් ඉදිරියේ කතා කිරීම

18, 19. විනිශ්චයකරුවෙකු ඉදිරියෙහි අප ධෛර්යසම්පන්නව පෙනී සිටිද්දී අප අන් අයට දැනගන්න සලස්වන පණිවිඩය කුමක්ද?

18 තම අනුගාමිකයන් හිංසා පීඩාවලට ලක් වන බව පැවසූ අවස්ථාවේදී යේසුස් මෙසේද පැවසුවේය. “[මිනිසුන්] ඔබව ප්‍රාදේශීය උසාවිවලට භාර දී ඔවුන්ගේ සිනගෝගවලදී ඔබට කසයෙන් තළනු ඇත. ඔවුන්ටත් අන්‍යජාතීන්ටත් සාක්ෂියක් වන පිණිස මා නිසා ඔබව ආණ්ඩුකාරයන් හා රජුන් ඉදිරියට ඇදගෙන යනු ලබන්නෝය.” (මතෙව් 10:17, 18, NW) බොරු චෝදනා මත නඩු අසන විනිශ්චයකරුවෙකු හෝ පාලකයෙකු ඉදිරියෙහි පෙනී සිටීම සඳහා අපව කැඳවන විට අපටධෛර්යය අවශ්‍යයි. එහෙත් අප එම පුද්ගලයන්ට සාක්ෂි දැරීම සඳහා නිර්භීතව එවන් අවස්ථාත් යොදාගන්න විට අප කරන්නේ දුෂ්කර අවස්ථා පවා වැදගත් දෙයක් ඉටු කරගත හැකි අවස්ථා බවට පත් කරගැනීමයි. ඇත්තෙන්ම අප මෙහිදී කරන්නේ දෙවන ගීතිකාවේ සඳහන් යෙහෝවාගේ මෙම වදන් විනිශ්චයකරුවන්ට දැනගන්න සැලැස්වීමයි. “රජ දරුවෙනි දැන් ඥානවත්ව සිටින්න. පොළොවේ විනිශ්චයකාරයෙනි ගුරුකම් ගන්න. [නිවැරදි කිරීමට යටත් වන්න, NW] යෙහෝවාට භයින් මෙහෙකරන්න.” (ගීතාවලිය 2:10, 11) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට එරෙහිව කරනු ලබන බොරු චෝදනා උසාවිවලදී විභාග කරන බොහෝ අවස්ථාවලදී විනිසුරුවන් නමස්කාරයේ නිදහසට අනුබල දී ඇත. අපි මේ සම්බන්ධයෙන් කෘතඥපූර්වක වන්නෙමු. කෙසේවෙතත් සමහර විනිසුරුවන් විරුද්ධවාදීන්ගේ බලපෑම්වලට ලක් වී තිබේ. එවැනි අයට ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ පවසා ඇත. “නිවැරදි කිරීමට යටත් වන්න.”

19 ශ්‍රේෂ්ඨතම නීතිය වන්නේ යෙහෝවා දෙවිගේ නීතිය බව නඩු අසන විනිශ්චයකරුවන් දැනගත යුතුයි. විනිශ්චයකරුවන් ඇතුළු සියලුම මිනිසුන් යෙහෝවා දෙවිට සහ යේසුස් ක්‍රිස්තුස්ට ගණන් දිය යුතු බව ඔවුන් මතක තබාගත යුතුයි. (රෝම 14:10) නඩු අසන මිනිස් විනිසුරුවන්ගෙන් අපට සාධාරණ තීන්දුවක් ලැබුණත් නැතත් ධෛර්යවත්ව සිටීම සඳහා අපට හොඳ හේතු ඇත. මන්ද යෙහෝවාගේ අනුබලය අපට තිබේ. බයිබලයේ මෙසේ සඳහන් වේ. “ඔහුව සරණකොට ගන්න සියල්ලෝම සන්තෝෂවත්ය.”—ගීතාවලිය 2:12, NW.

20. පීඩා හා නින්දා විඳදරාගැනීමට සිදු වන විට අපට ප්‍රීති විය හැක්කේ මන්ද?

20 කන්ද උඩ දේශනාවේදී යේසුස් මෙසේ පැවසුවේය. “මා නිසා මිනිසුන් ඔබට නින්දා පීඩා කොට ඔබට විරුද්ධව බොරු චෝදනා නඟමින් සියලු ආකාර දුෂ්ට දේ පවසන විට ඔබ සන්තෝෂවත්ය. ස්වර්ගයෙහි ඔබට තිබෙන විපාකය මහත් බැවින් ප්‍රීති වෙන්න. ප්‍රීතියෙන් පිනා යන්න. මන්ද ඔබට කලින් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔවුහු එලෙසම පීඩා කළෝය.” (මතෙව් 5:11, 12, NW) පීඩා විඳීම ප්‍රීතියට හේතුවක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. එනමුත් ජනමාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කරන නින්දාසහගත වාර්තා ඇතුළු පීඩා මැද අපේ ස්ථාවරය බිඳ නොගෙන සිටීම ප්‍රීතියට හේතුවකි. එසේ සිටීමෙන් අපි යෙහෝවාව සතුටට පත් කරන්නෙමු. එහි ප්‍රතිඵලයක් හැටියට අපටද යහපත් විපාකයක් ලැබෙනු ඇත. අපේ ධෛර්යසම්පන්න ස්ථාවරයෙන් පැහැදිලි වන්නේ අපට අව්‍යාජ ඇදහිල්ලක් තිබෙන බවයි. දෙවිගේ අනුමැතිය අපට තිබෙන බවටද එය සාක්ෂියකි. ඇත්තෙන්ම එයින් තවදුරටත් පෙන්වන්නේ අපට යෙහෝවා කෙරෙහි පූර්ණ දැඩි විශ්වාසයක් තිබෙන බවයි. ක්‍රිස්තියානියෙකුට එවන් දැඩි විශ්වාසයක් තිබීම අත්‍යවශ්‍යයි. මේ ගැන ඊළඟ ලිපියේදී පැහැදිලි කෙරේ.

ඔබ ඉගෙනගත්තේ මොනවාද?

• මේ කාලයේදී ධෛර්යවන්තව සිටීම අවශ්‍ය කරන්නේ කුමන අවස්ථාවලදීද?

• ධෛර්යය නමැති ගුණාංගය අපට වර්ධනය කරගත හැක්කේ කෙසේද?

• ධෛර්යසම්පන්නබව පිළිබඳ කදිම ආදර්ශ සපයන කිහිපදෙනෙකුව නම් කරන්න.

• ධෛර්යසම්පන්නව කටයුතු කිරීමට අප ආශා වන්නේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූර]

ජර්මනියේ සිමොන් ආර්නෝල් (දැන් ලීබ්ස්ටර්), මලාවිහි විදස් මඩොනා, යුක්‍රේනයේ ලිඩියා හා ඔලෙක්සි කුර්දාස් ධෛර්යවන්තව නපුරාට එරෙහි වූහ

[10වන පිටුවේ පින්තූර]

ශුභාරංචිය ගැන අපි ලැජ්ජා නොවන්නෙමු

[11වන පිටුවේ පින්තූරය]

සිරගෙදරදී පාවුල් ධෛර්යවන්තව සිටීමෙන් ශුභාරංචියට ඉමහත් අනුබලයක් ලැබිණ

[12වන පිටුවේ පින්තූරය]

විනිශ්චයකරුවෙකුට අපේ ශුද්ධ ලියවිලිමය ස්ථාවරය ධෛර්යවත්ව පැහැදිලි කරන විට අප කරන්නේ වැදගත් පණිවිඩයක් දැනගන්න සැලැස්වීමයි