Skip to content

පටුනට යන්න

සාමය

සාමය

සාමය

“සාමය” ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනය ෂාලොම්ය. ඉන් යුද්ධයෙන් හා කරදරයෙන් තොර තත්වයක් අදහස් වේ. (විනි 4:17; 1සාමු 7:14; 1රාජා 4:24; 2ලේක 15:5; යෝබ් 21:9; දේශ 3:8); එමෙන්ම නිරෝගීකම, ආරක්ෂාව, සුවය (උත් 37:14, NW පාද), ශුභසිද්ධිය (උත් 41:16, NW), මිත්‍රත්වය (ගීතා 41:9) සහ මුළුමනින්ම මෙන්ම සහමුලින්ම (යෙරෙ 13:19) යන අදහසද ඉන් උකහාගත හැක. සාමය සඳහා ග්‍රීක් භාෂාවේ යොදා ඇති වචනයද (අයිරීනි) ෂාලොම් නමැති හෙබ්‍රෙව් වචනයට සමානව අරුත පුළුල් පරාසයකින් යුක්ත වේ. ගැටුම්වලින් තොර බව යන අදහසට අමතරව, සුවය, ගැලවීම හා එකඟත්වය යන අදහස්ද එහි ගැබ් වී ඇත. සමුගැනීමේදී පවසන “සමාදානයෙන් යන්න” යන ප්‍රකාශයෙහි එම වචනයෙහි ඇතුළත් වී ඇති අතර, එය යම් දුරකට “ඔබට ශුභසිද්ධ වේවා” යන යෙදුමටද සමානකමක් දක්වයි.—මාක් 5:34; ලූක් 7:50; 8:48; යාකො 2:16; සසඳන්න 1සාමු 1:17; 20:42; 25:35; 29:7; 2සාමු 15:9; 2රාජා 5:19.

මුල් භාෂාවල සාමය සඳහා භාවිත කර ඇති සියලුම වචනවලින් කියවෙන අදහස් “සාමය” යන වචනයෙන් කියවෙන්නේ නැති බැවින්, අදහස් වන දේ තීරණය කරගැනීමට අවට පාඨ සම්බන්ධය සැලකිල්ලට ගත යුතුය. නිදසුනකට, කෙනෙකුව ‘සමාදානයෙන් යැවීම’ සුහදව යන්නට හැරීම, යෑමට අවසර දෙන තැනැත්තා කිසිදු බාධාවක් හිංසාවක් නොකර යන්නට ඉඩහැරීම යන අරුත ලබා දිය හැක. (උත් 26:29; 44:17; නික් 4:18) ‘සමාදානයෙන් හැරී ඒම’ යන්නෙන් අදහස් වූයේ සටනකින් පසුව යම් අකරතැබ්බකට මුහුණ නොදී හෝ ජයග්‍රාහීව නැවත පැමිණීමය. (උත් 28:20; යෝෂු 10:21; විනි 8:9; 11:31; 2ලේක 18:26, 27; 19:1) පුද්ගලයෙකු ‘සාමයෙන් සිටීද’ කියා විචාරීමෙන් අදහස් වූයේ එම පුද්ගලයාගේ සැප දුක කෙසේද කියා ඇසීමය. (උත් 29:6; 43:27; NW පාද.) කෙනෙකුගේ ‘සමාදානය තකා’ වැඩ කිරීමෙන් අදහස් කළේ, එම පුද්ගලයාගේ ශුභසිද්ධිය තකා වෙහෙසීමයි. (ද්වි 23:6) යමෙකු ‘සමාදානයෙන් මියයනවා’ කියා කීමෙන් ඇතැම්විට අදහස් වූයේ තෘප්තිමත් ජීවිතයක් භුක්ති විඳීමෙන් පසු හෝ පුල පුලා බලා සිටි දෙයක් සැබෑවීමෙන් අනතුරුව කිසිදු දුකක් වේදනාවක් නොවිඳ මරණය අද්දැකීමය. (උත් 15:15; ලූක් 2:29; 1රාජා 2:6 සසඳන්න.) යොෂියා ‘තම සොහොනට සමාදානයෙන් පැමිණෙනවා’ යන අනාවැකියෙන් අදහස් වූයේ යෙරුසලම පිට පැමිණෙන බවට පුරෝකථනය කළ විපත්තියට පෙරාතුව ඔහු මරණය අද්දකින බවය. (2රාජා 22:20; 2ලේක 34:28; සසඳන්න 2රාජා 20:19.) යෙසායා 57:1, 2හි ධර්මිෂ්ඨයා මරණයේදී සමාදානයට පැමිණෙන ආකාරය විස්තර කර ඇත. මෙහිදී ඔහු විපත්තියෙන් ගැලවෙන බව අදහස් වෙයි.

සමාදානය අත් කරගැනීම. සමාදානයේ දෙවි යෙහෝවාය (1කොරි 14:33; 2කොරි 13:11; 1තෙස 5:23; හෙබ්‍රෙ 13:20); එමෙන්ම ඔහු සමාදානයේ උල්පතයි (ගණන් 6:26; 1ලේක 22:9; ගීතා 4:8; 29:11; 147:14; යෙසා 45:7; රෝම 15:33; 16:20); මන්දයත් එය ඔහුගේ ආත්මයේ ඵලයක් වන හෙයිනි. (ගලා 5:22) මෙම හේතුව නිසා සැබෑ සමාදානය භුක්ති විඳිය හැක්කේ දෙවි සමඟ සමාදානයෙන් සිටින පුද්ගලයන්ට පමණි. තමන් අතින් කළ බරපතළ අයුතුකම් හේතුවෙන් දෙවි සමඟ ඇති පුද්ගලයෙකුගේ සබඳතාවට ඉමහත් සේ හානි සිදු වන අතර, ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයා නොසන්සුන් තත්වයක සිටියි. ගීතිකාකරු පැවසුවේ මෙසේය. “මාගේ පාපය නිසා මාගේ ඇටවලට කිසි සැපක් නැත.” (ගීතා 38:3) එමනිසා සමාදානය සොයා එය ලුහුබැඳීමට ආශාවෙන් සිටින අය ‘නපුරෙන් ඉවත්ව යහපත්කම් කළ යුතුය.’ (ගීතා 34:14) ධර්මිෂ්ඨකම නොමැතිව සමාදානයක් තිබිය නොහැක. (ගීතා 72:3; 85:10; යෙසා 32:17) දුෂ්ටයන්ට සමාදානයක් අද්දැකිය නොහැක්කේ එමනිසාය. (යෙසා 48:22; 57:21; සසඳන්න යෙසා 59:2-8.) අනික් අතට, සමාදානය අද්දකින්නේ, යෙහෝවාට පූර්ණ ලෙස කැප වී සිටින, ඔහුගේ නීති සමුදායට ප්‍රේමයක් ඇල්මක් දක්වන (ගීතා 119:165), ඔහුගේ ආඥාවලට අවනත වන අයය.—යෙසා 48:18.

ක්‍රිස්තුස් යේසුස් මිහිපිට සිටියදී, යුදෙව්වන්වත්, යුදෙව් නොවන ජනතාවවත් යෙහෝවා දෙවි සමඟ සමාදානයෙන් සිටියේ නැත. දෙවිගේ නීතිය උල්ලංගනය කළ නිසා, ඔවුහු නීතියේ ශාපය යටත් වුණෝය. (ගලා 3:12, 13) දෙවිගේ ගිවිසුමට අයිති නැති, යුදෙව්වන් නොවන අය සම්බන්ධයෙන් ගත් කල, ඔවුහු “බලාපොරොත්තු නැතිව, දෙවි නොමැතිව ලෝකයෙහි” සිටියෝය. (එපී 2:12, NW) කෙසේවෙතත් ක්‍රිස්තුස් යේසුස්ගේ මාර්ගයෙන් දෙවි සමඟ සාමදායී සබඳතාවක් ඇති කරගැනීමට දෙපිරිසටම ප්‍රස්තාවක් දෙන ලදි. මෙම සිදුවීමට යොමු දක්වමින් යේසුස්ගේ උපතේදී එඬේරුන්ට දේවදූතයන් නිවේදනය කළේ ‘මිහිපිට දේවප්‍රසාදය ලත් මිනිසුන්ට සමාදානය වේවා’ යන්නය.—ලූක් 2:14, NW.

යේසුස් හා ඔහුගේ අනුගාමිකයන් විසින් ප්‍රකාශ කරන ලද සාමදායී පණිවිඩය ‘සාමයේ මිතුරන්ගේ’ එනම් දෙවි හා සමඟි වීමට ආශාවෙන් සිටින පුද්ගලයන්ගේ සිත්ගත්තේය. (මතෙ 10:13; ලූක් 10:5, 6; ක්‍රියා 10:36; NW) ඒත් සමඟම, මෙම පණිවිඩය ඇතමුන් පිළිගත් අතරේදී තවත් සමහරුන් ප්‍රතික්ෂේප කළ බැවින්, පවුල් තුළ භේද හටගත්තේය. (මතෙ 10:34; ලූක් 12:51) යුදෙව්වන්ගෙන් බහුතරයක් මෙම පණිවිඩය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, “සාමයට සම්බන්ධ කාරණා” එනම් පෙනෙන විදිහට පසුතැවිලි වීම හා මෙසියස් ලෙස යේසුස්ව පිළිගැනීම ඇතුළු දේවල් වටහාගැනීමට ඔවුහු අපොහොසත් වූහ. (ලූක් 1:79; 3:3-6; යොහ 1:29-34 සසඳන්න.) මෙසේ අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් ලෙස පො.යු. 70දී රෝම හමුදාවන් අතින් යෙරුසලම විනාශ විය.—ලූක් 19:42-44, NW.

කෙසේ නමුත්, “සාමයේ ශුභාරංචිය” පිළිගත් යුදෙව්වන් පවා පව්කාරයන් වූ අතර, යෙහෝවා දෙවි සමඟ සමාදානය භුක්ති විඳීම සඳහා ඔවුන්ගේ අයුතුකම්වලට වන්දියක් ගෙවීම අවශ්‍ය විය. මෙම අවශ්‍යතාව සපුරනු ලැබුවේ මිදීමේ පූජාවක් ලෙස යේසුස් විඳි මරණය මාර්ගයෙනි. ඒ සම්බන්ධයෙන් පුරෝකථනය කළ ලෙස “අපට සමාදානය ගෙන දෙන දඬුවම ඔහු පිටට පැමුණුණේය; ඔහුගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ.” (යෙසා 53:5) වධ කණුවෙහි යේසුස් විඳි යාගික මරණය, යුදෙව්වන් හා යුදෙව් නොවන අය අතර බෙදීමක් ඇති කළ මෝසෙස්ගේ නීතිය අවලංගු කිරීමටද පදනම සැපයීය. එමනිසා, ජන පිරිස් දෙකම ක්‍රිස්තියානීන් බවට පත් වූ විට, දෙවි සමඟ හා එකිනෙකා සමඟ සමාදානයෙන් සිටීමට හැකියාව ලැබිණ. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “[යේසුස්] අපගේ සමාදානයය. ඔවුන් දෙගොල්ලන්ව වෙන් කළ පවුර බිඳ දමා ඔවුන්ව එක් කළ තැනැත්තා ඔහුය. ඔහු තම මාංසය මාර්ගයෙන්, නියෝගවලින් සමන්විත ආඥා අඩංගු නීතිය නමැති සතුරුකම නැති කර දැමීය. ඔහු එසේ කළේ, තමන් සමඟ එකඟත්වයෙන් සිටින පිණිස, ඒ දෙගොල්ල එක අලුත් මිනිසෙකු කොට මවා, සමාදානය ඇති කරන පිණිසය. එමෙන්ම, ඔහු තමන් මාර්ගයෙන් සතුරුකම නැති කර දැමූ හෙයින් වධ කණුව තුළින් දෙගොල්ලන්ව එක ශරීරයක් ලෙස දෙවිට සම්පූර්ණයෙන්ම සමඟි කර දුන්නේය. ඔහු ඇවිත්, දුර සිටින ඔබට සමාදානයේ ශුභාරංචියද ළඟ සිටින අයට සමාදානයද ප්‍රකාශ කළේය. මන්ද ඔහු තුළින් අප දෙගොල්ලන්ටම එකම ආත්මය මාර්ගයෙන් පියාණන්ට ළඟාවීමේ හැකියාව තිබේ.”—එපී 2:14-18, NW; සසඳන්න රෝම 2:10, 11; කොලො 1:20-23.

ක්‍රිස්තියානියෙකු යෙහෝවා දෙවි සමඟ භුක්ති විඳින අනගි සබඳතාවේ ප්‍රතිඵලයක් ලෙස අද්දකින සන්සුන්කම හා සුවය “දෙවිගේ සමාදානය” ලෙස විස්තර කළ හැකිය. ඒ හේතුවෙන් තම අවශ්‍යතා ගැන කනස්සලු නොවී සිටීමට හැකි වන ලෙස ඔහුගේ සිත හා මානසික ශක්තිය ආරක්ෂා වෙයි. යෙහෝවා දෙවි තම සේවකයන්ගේ අවශ්‍යතා සපයමින් ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු දෙන බවට වූ නිසැකකම ඔහුට තිබේ. එමනිසා ඔහුගේ සිත හා මනස සන්සුන් තත්වයක පවතී. (පිලි 4:6, 7, NW) ඒ හා සමානව, යේසුස්ගේ ගෝලයන් දෙවිගේ පුත්‍රයා ලෙස යේසුස් කෙරෙහි දැක්වූ ඇදහිල්ල පදනම් කරගෙන ඔහු ඔවුන්ට දුන් සමාදානය, ඔවුන්ගේ සිත් හා මනස් සන්සුන්ව තබාගැනීමට ඉවහල් විය. තමා ඔවුන් සමඟ එකට නොසිටින කාලය පැමිණෙන බව යේසුස් ඔවුන්ට පැවසුවද, ඒ ගැන කනස්සලු වීමට හෝ බිය නමැති උගුලට හසුවීමට ඔවුන්ට කිසිදු හේතුවක් නොතිබිණ. ඔහු ඔවුන්ව හැර ගියේ කිසිදු උපකාරයක් නොසපයා නොවේ. මන්දයත් ශුද්ධාත්මය එවන බවට ඔහු පොරොන්දු විය.—යොහ 14:26, 27; 16:33; සසඳන්න කොලො 3:15.

ක්‍රිස්තියානීන් භුක්ති විඳි සමාදානය සුළු කොට තැකිය හැකි දෙයක් නොවීය. “සමාදානයෙන්” සිටීම ඔවුන්ගෙන් අපේක්ෂා කෙරිණ. එනම්, සාමය ඇති කරන්නන් ලෙස සාමය ඇති කර පවත්වාගැනීමට ඔවුන් ඉමහත් ආයාසයක් දැරිය යුතු විය. (1තෙස 5:13) එකිනෙකා අතර සමාදානය පවත්වාගැනීමට, සෙසු ඇදහිලිවන්තයන්ව බාධාවට පත් නොකිරීම ගැන සැලකිලිමත් වීම අවශ්‍ය වූයේය. (රෝම 14:13-23) කන්ද උඩ දේශනාවේදී යේසුස් මෙසේ පැවසීය. “සාමය ඇති කරන අය සන්තෝෂවත්ය. මන්ද ඔවුහු ‘දෙවිගේ පුත්‍රයෝ’ ලෙස හඳුන්වනු ලබන්නෝය.” (මතෙ 5:9, NW; සසඳන්න යාකො 3:18.) ක්‍රිස්තියානීන්ට උපදෙස් දී තිබුණේ සමාදානය ලුහු බඳින්නට කියාය. එමෙන්ම දෙවි සමඟ සමාදානයෙන් සිටීමට තම උපරිමය කිරීමටද අවවාද කර තිබිණ. (2තිමෝ 2:22, NW; හෙබ්‍රෙ 12:14; 1පේතෘ 3:11; 2පේතෘ 3:14) එබැවින්, මාංසයේ තෘෂ්ණාවලට එරෙහිව සටන් කිරීමට ඔවුන්ට සිදු විය. මන්දයත්, එසේ නොකළහොත් එය දෙවි සමඟ සතුරුකමට මඟ පාදන බැවිනි. (රෝම 8:6-8) දිව්‍යමය අනුමැතිය භුක්ති විඳීමට නම් දෙවිගේ සමඟ සාමදායී සබඳතාවක් පවත්වාගැනීම අත්‍යවශ්‍යය. මෙම කාරණයේ බැරෑරුම්කම කාවද්දනු ලබන්නේ ‘සමාදානය ඔබ වෙත පැමිණේවා’ යන යාච්ඤාපූර්වකව පවසන ප්‍රකාශය නිතරම සඳහන් කිරීමෙනි.—රෝම 1:4, 7; 1කොරි 1:3; 2කොරි 1:2; ගලා 1:3; 6:16; එපී 1:2; 6:23; පිලි 1:2.

ක්‍රිස්තියානීන්ගේ ආශාව වූයේ අන් අයද සමාදානය භුක්ති විඳිනවා දැකීමයි. එමනිසා, “සමාදානයේ ශුභාරංචිය නමැති වහන් පැළඳ” ඔවුහු තම ආත්මික යුද්ධයෙහි නියැලුණෝය. (එපී 6:15, NW) සභාව තුළ පවා දෙවි පිළිබඳ දැනුමට එකඟ නොවූ තර්කයන් බිඳ හෙළීමට ඔවුහු සටන් කළෝය. එසේ කළේ එම ව්‍යාජ තර්ක මගින් දෙවි සමඟ තිබෙන ඔවුන්ගේ සබඳතාවට හානි නොපැමිණෙන පිණිසය. (2කොරි 10:4, 5) කෙසේවෙතත්, මින් අදහස් කළේ ඔවුන් වාචිකව සණ්ඩු සරුවල් හෝ වාද විවාද කළ බව නොවේ. සත්‍යයෙන් ඉවතට ගිය අයව නිවැරදි කළ විටදී පවා ඔවුහු එවැන්නක් කිරීමෙන් වැළකී සිටියහ. නිවැරදි මාර්ගයෙන් ඉවත්ව ගිය අය සම්බන්ධයෙන් පැනනැඟි ප්‍රශ්න හැසිරවීමේදී ප්‍රේරිත පාවුල් තිමෝතිට උපදෙස් දුන්නේ මෙසේය. “ස්වාමීන්ගේ දාසයෙකුට දබර කරන්න අවශ්‍ය නැත. ඒ වෙනුවට ඔහු සියල්ලන් කෙරෙහි මෘදු ලෙස කටයුතු කරන්න අවශ්‍යය. එමෙන්ම ඔහු උගන්වන්න සුදුසුකම් ඇතිව සිටින්නත්, නපුර ඉවසා දරා සිටින්නත්, කැමැත්තක් නොදක්වන අයට මෘදුකමින් යුක්තව උගන්වන්නත් අවශ්‍යය. මන්ද, සමහරවිට දෙවි, සත්‍යය ගැන නිවැරදි දැනුමකට මඟ පාදන පසුතැවිල්ල ඔවුන්ට දී, එමගින් ඔවුන් යක්ෂයාගේ මලපතින් මිදී, නැවත පියවි සිහියට පැමිණිය හැකි බැවිනි. මන්දයත් ඔවුන්ව ඔහු විසින් පණ පිටින් අල්ලනු ලැබුවේ, ඒ තැනැත්තාගේ කැමැත්ත ඉටු වන පිණිසය.”—2තිමෝ 2:24-26, NW.

it-2 591-2 Peace

[31වන පිටුවේ කොටුව]

2003 “දෙවිව මහිමවත් කරන්න” දිස්ත්‍රික් සමුළුව පවත්වන ස්ථානය

අගෝස්තු 15-17

කොළඹ (සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ සංඥා භාෂාව), ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ