Skip to content

පටුනට යන්න

“ධෛර්යවත් වන්න! මම ලෝකයෙන් ජයගත්තෙමි”

“ධෛර්යවත් වන්න! මම ලෝකයෙන් ජයගත්තෙමි”

“ධෛර්යවත් වන්න! මම ලෝකයෙන් ජයගත්තෙමි”

යේසුස් මිය ගිය දා උදා වුණේ පො.යු. 33 මාර්තු 31වන බ්‍රහස්පතින්දා හිරු බැස යෑමෙන් අනතුරුවයි. යුදෙව් දිනදර්ශනයට අනුව එම දවස නීසාන් මාසයේ 14වන දායි. එදින සන්ධ්‍යාවේදී යෙරුසලමෙහි එක්තරා නිවසක උඩුමහල් කාමරයකදී යේසුස් තම ප්‍රේරිතයන් සමඟ රැස් වුණා. ඔවුන් එහි රැස් වී සිටියේ පාස්කු මංගල්‍යය සැමරීමටයි. ඒ අවස්ථාවේදී, “මේ ලෝකයෙන් පිටත්ව පියාණන් වෙතට [යන්න]” සූදානම් වෙමින් සිටි යේසුස් අවසානය දක්වාම තම ප්‍රේරිතයන්ට ප්‍රේම කළ බව පෙන්නුවා. (යොහන් 13:1, NW) ඒ කෙසේද? ඔවුන්ට ඉතා වටිනා පාඩම් රැසක් ඉගැන්වීමෙනුයි. එලෙස, ඉදිරියේදී වෙන්න තිබූ දේවල් සඳහා ඔහු ඔවුන්ව සූදානම් කළා.

රෑ බෝ වීගෙන එද්දී යේසුස් තම ගෝලයන්ට පැවසුවේ, “ධෛර්යවත් වන්න! මම ලෝකයෙන් ජයගත්තෙමි” කියායි. (යොහන් 16:33, NW) මෙම එඩිතර ප්‍රකාශයෙන් ඔහු අදහස් කළේ කුමක්ද? එක් අතකින් එයින් අදහස් කළේ මෙයයි. ‘ලෝකයේ පවතින දුෂ්ටකම් මාව කෝපයට පත් කරලාවත් පළිගන්න මා තුළ පෙලඹීමක් ඇති කරලාවත් නැහැ. එහි අච්චුවට දමා මාව ඇඹීමට මා ලෝකයට ඉඩ දුන්නේ නැහැ. ඔබටත් පුළුවන් එලෙසම කරන්න.’ යේසුස් මිහිපිට ගත කළ අවසාන පැය කිහිපය තුළදී තම විශ්වාසවන්ත ප්‍රේරිතයන්ට ඉගැන්වූ දේවල් ලෝකයෙන් ජයගැනීමට ඔවුන්ටත් රුකුලක් වූ බව නිසැකයි.

වත්මන් ලෝකයේ දුෂ්ටකම් හාත්පස පැතිර ඇති බව නොපිළිගන්නේ කවුද? අසාධාරණයන් සහ නිරපරාදේ සිදු කරන සැහැසික ක්‍රියා සිදු වන විට අප ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද? අප තුළ දැඩි කෝපයක් හටගන්නවාද? එසේත් නැත්නම් එකට එක කරන්න අප තුළ පෙලඹීමක් ඇති වෙනවාද? අප අවට ලෝකයේ දක්නට තිබෙන සදාචාරාත්මක පිරිහීම අපට බලපාන්නේ කෙසේද? මීට අමතරව, අපගේම අසම්පූර්ණකම් සහ පව්කාර නැඹුරුවාවන් ගැන සිතා බලද්දී අපට සතුරන් දෙදෙනෙකු සමඟ සටන් කිරීමට සිදු වන බව පැහැදිලියි. එනම්, දුෂ්ට ලෝකයෙන් එන පිටස්තර බලපෑම්වලට එරෙහිව සහ අපේම වැරදි නැඹුරුවාවන් නිසා අභ්‍යන්තරයෙන් එල්ල වන පීඩනයට එරෙහිවයි. අපට දෙවිගේ උපකාරය නොමැතිව ජයගත හැකියි කියා ඇත්තටම අපේක්ෂා කළ හැකිද? කොහොමද ඔහුගේ උපකාරය අපට ලබාගන්නට හැක්කේ? අපේ පව්කාර මාංශය නිසා ඇති වන නරක පෙලඹීම්වලට විරුද්ධව සිටීම සඳහා අප වගා කළ යුත්තේ කොයි වගේ ගුණාංගද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලැබීම සඳහා යේසුස් මිහිපිට ගත කළ අවසාන දවසේදී තම දයාබර ගෝලයන්ට ඉගැන්වූ දේවල් කිහිපයක් සලකා බලමු.

යටහත්කමෙන් උඩඟුකම පරාජය කරන්න

උඩඟුකම නැතහොත් අහංකාරකම නමැති ගති ලක්ෂණය නිදසුනකට ගන්න. ඒ සම්බන්ධයෙන් බයිබලයේ පවසන්නේ, “විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුවෙන් අහංකාර සිතද වෙයි” කියායි. (හිතෝපදේශ 16:18) ශුද්ධ ලියවිල්ලේ අපට මෙලෙසත් අවවාද කරනවා. ‘අහංකාර වීමට කිසි හේතුවක් නොමැති කෙනෙක් තමා වැදගත් කෙනෙක්යයි සිතන්නේ නම් ඔහු තමාවම රවටාගන්නේය.’ (ගලාති 6:3, NW) නිසැකවම, උඩඟුකම විනාශකාරී මෙන්ම මුළා කරවනසුලුයි. එසේනම්, ප්‍රඥාවන්තම දේ වන්නේ ‘උඩඟුකමත් අහංකාරයත්’ අප විසින් ද්වේෂ කරනු ලැබීමයි.—හිතෝපදේශ 8:13.

යේසුස්ගේ ප්‍රේරිතයන්ට උඩඟුකම සහ අහංකාරකම පිළිබඳව ගැටලුවක් තිබුණාද? අඩුම තරමින් එක වතාවකදීවත් උතුම්ම තැනැත්තා කවුද යන කාරණය පිළිබඳව ඔවුන් එකිනෙකා සමඟ වාද කළා. (මාර්ක් 9:33-37) තවත් අවස්ථාවකදී, තමන්ට දේවරාජ්‍යයේ උසස් තනතුරු ලබා දෙන මෙන් යාකොබ් සහ යොහන් ඉල්ලා සිටියා. (මාර්ක් 10:35-45) යේසුස්ට දැඩි සේ උවමනා වුණේ එම වැරදි ආකල්පය මුලිනුපුටා දැමීමට තම ගෝලයන්ට උපකාර කිරීමටයි. ඒ නිසා, පාස්කු භෝජනය අනුභව කරමින් සිටින අතරතුරේදී ඔහු නැඟිට ඉණ වටා තුවායක් බැඳගෙන තම ගෝලයන්ගේ පාද සේදීමට පටන්ගත්තා. ඔවුන්ට උගන්වමින් සිටි පාඩම පිළිබඳව සැකයක් මතුවීමට ඔහු ඉඩ දුන්නේ නැහැ. “ස්වාමීන්ද ගුරුතුමාද වන මම ඔබේ පාද සේදුවා නම්, ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතුය” කියා යේසුස් ඉතා පැහැදිලිව පැවසුවා. (යොහන් 13:14, NW) උඩඟුකම නැති කර දමා එහි ප්‍රතිවිරුද්ධ ගුණාංගය වන යටහත්කම වර්ධනය කළ යුතුමයි.

එනමුත් උඩඟුකමෙන් ජයගැනීම පහසු දෙයක් නොවෙයි. එම සන්ධ්‍යාවේදීම යේසුස් තමාට ද්‍රෝහිවීමට සිටි යූදස් ඉස්කාරියොත්ව පිටත් කර යැවූ පසු ප්‍රේරිතයන් 11දෙනා අතර දරුණු විවාදයක් හටගත්තා. ඔවුන් වාද කරමින් සිටියේ කුමක් ගැනද? ඔවුන් අතරින් උතුම්ම තැනැත්තා ලෙස පෙනී සිටියේ කවුද යන කාරණය ගැනයි! ඔවුන්ට බැණවදිනවා වෙනුවට, අන්‍යයන්ට සේවය කිරීමේ වැදගත්කම යේසුස් නැවත වරක් ඉවසිලිවන්තව අවධාරණය කළා. ඔහු මෙසේ පැවසුවා. “ජාතීන්ගේ රජවරු ඔවුන් කෙරෙහි අනිසි ලෙස බලය පවත්වති. ඔවුන් කෙරෙහි අධිකාරිය ඇත්තන් දානපතීන් යන පදවි ලබා ඇත. එහෙත් ඔබ එසේ [නොවිය යුතුයි]. ඒ වෙනුවට ඔබ අතරේ සිටින උතුම්ම තැනැත්තා බාලයා මෙන්ද ප්‍රධානියා ලෙස ක්‍රියාකරන්නා උපස්ථාන කරන්නා මෙන්ද වන්න.” තමාගේ ආදර්ශය පිළිබඳව ඔවුන්ට මතක් කර දෙමින් ඔහු තවදුරටත් පැවසුවේ, “මම ඔබ අතරේ උපස්ථාන කරන්නා මෙන් සිටිමි” කියායි.—ලූක් 22:24-27, NW.

ඔහු උගන්වමින් සිටි පාඩම ප්‍රේරිතයන් වටහාගත්තාද? පෙනෙන විදිහට ඔවුන්ට එය වැටහුණා. ඉන් වසර ගණනාවකට පසු ප්‍රේරිත පාවුල් මෙසේ ලීවා. ‘ඔබ සියල්ලෝම එක්සිත්වද එකිනෙකා කෙරෙහි අනුකම්පාව දක්වමින්ද, සහෝදර ස්නේහයද ගැඹුරු දයානුකම්පාවද යටහත් පහත් මනසක්ද ඇතිව සිටින්න.’ (1 පේතෘස් 3:8, NW) යටහත්කමින් උඩඟුකම පරාජය කිරීම අපට කොතරම් වැදගත් දෙයක්ද! අපට කළ හැකි ඥානවන්තම දේ නම් කීර්ති නාමය, බලය හෝ තනතුර වැනි දේවල් පසුපස හඹා යෑමෙන් වැළකී සිටීමයි. “දෙවි උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙන්නේය” කියා බයිබලය පවසනවා. (යාකොබ් 4:6) ඒ හා සමාන දෙයක් පැරණි හිතෝපදේශයකද පවසනවා. “යටත්කමේද යෙහෝවා කෙරෙහි භයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් ජීවිතයත්ය.”—හිතෝපදේශ 22:4.

වෛරයෙන් ජයගන්න—කෙසේද?

දැන් ලෝකයේ පොදුවේ දක්නට ලැබෙන තවත් ගති ලක්ෂණයක් වන වෛරය ගැන සලකා බලන්න. වෛරය හටගෙන තිබෙන්නේ බිය, නොදැනුවත්කම, අගතිය, හිංසා පීඩා, අයුක්තිය, ජාතිවාදය, ගෝත්‍රික භේද, ජාතිභේදය යන කුමන හේතුවක් නිසා හෝ වේවා සෑම තැනකම එය දැකගත හැකි බව නම් පිළිගත යුතුයි. (2 තිමෝති 3:1-4) යේසුස් විසූ කාලයේදීත් වෛරය හාත්පස පැතිර තිබුණා. බදු අයකරන්නන් යුදෙව් ජනයාගේ වෛරයට පාත්‍ර වූ අතර ඔවුන්ව සමාජයෙන් කොන් කරලයි තිබුණේ. යුදෙව්වරුන් සමාරිවරුන් සමඟ කිසිම ගනු දෙනුවක් කළේ නැහැ. (යොහන් 4:9) යුදෙව් ජාතියට අයත් නොවූ අන්‍යජාතිකයන්වද යුදෙව්වරුන් අවමානයට ලක් කළා. එහෙත් යේසුස් ඉගැන්වූ නමස්කාර ක්‍රමය තුළට සියලු ජාතීන්ට අයත් ජනයාව පිළිගනු ලැබීමට නියමිතව තිබුණා. (ක්‍රියා 10:34, 35; ගලාති 3:28) ඒ නිසා, ඔහු ප්‍රේමණීය ලෙස තම ගෝලයන්ට අලුත් ආකල්පයක් වර්ධනය කරගැනීමට ඉගැන්වුවා.

යේසුස් ඔවුන්ට පැවසුවේ, “මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න” කියායි. එවැනි ප්‍රේමයක් පෙන්වීමට ඔවුන් ඉගෙනගත යුතු වූ බව ඔහු ඊළඟට පැවසූ මේ වදන්වලින් පැහැදිලි වෙනවා. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:34, 35, NW) එම ආඥාව අලුත් එකක් වූයේ, ‘තමාට මෙන් තමාගේ අසල්වාසියාට’ ප්‍රේම කිරීමට වඩා ගැඹුරු අර්ථයක් එහි ගැබ් වී තිබුණු නිසයි. (ලෙවී කථාව 19:18) ඒ කෙසේද? යේසුස් එය පැහැදිලි කළේ මේ විදිහටයි. “මාගේ ආඥාව මෙයයි. එනම්, මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම, ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. යමෙක් තම මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දෙනවාට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත.” (යොහන් 15:12, 13, NW) තම සහෝදරයන් වෙනුවෙන්ද අන් අය වෙනුවෙන්ද තම ජීවිතය දෙන්න පවා ඔවුන් සූදානම් විය යුතුව තිබුණා.

අසම්පූර්ණ මනුෂ්‍යයන් කොහොමද තම හදවත්වලින් රුදුරු වෛරය ඉවත් කරගන්නේ? වෛරය වෙනුවට ආත්මපරිත්‍යාගශීලී ප්‍රේමය වර්ධනය කරගැනීමෙනුයි. අපේ කාලයේදී සෑම ජනවාර්ගික, සංස්කෘතික, ආගමික සහ දේශපාලනික පසුබිමකින්ම පැමිණෙන මිලියන ගණන් අවංක පුද්ගලයන් කරමින් සිටින්නේ එම දේමයි. වෛරයෙන් තොර, එක්සත් සමාජයක් වන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සහෝදරත්වය වෙතට ඔවුන් දැන් ඇදී එනවා. ඔවුන් ප්‍රේරිත යොහන් දේවානුභාවයෙන් ලියූ මේ වදන් සිතටගෙන තිබෙනවා. “තමාගේ සහෝදරයාට වෛර කරන සෑම කෙනෙක්ම මිනීමරන්නෙකි. කිසි මිනීමරන්නෙක් තුළ සදාකාල ජීවනය පවතින්නේ නැති බව ඔබ දන්නහුය.” (1 යොහන් 3:15, NW) සැබෑ ක්‍රිස්තියානීන් මොනම යුද්ධයකදීවත් සටන් වැදීම ප්‍රතික්ෂේප කරනවා. ඒ විතරක් නොවෙයි, එකිනෙකාට ප්‍රේමය පෙන්වීමට ඔවුන් මහත් ආයාසයක්ද දරමින් සිටිනවා.

එහෙත්, සෙසු නමස්කාරකයන් නොවන, ඒ වගේම සමහරවිට අප කෙරෙහි වෛරය පෑ හැකි අය කෙරෙහි අප විදහාපෙන්විය යුත්තේ කුමනාකාරයේ ආකල්පයක්ද? වධකණුවෙහි සිටින විට යේසුස් තමාව ඇණ ගැසූ අය වෙනුවෙන් මෙසේ යාච්ඤා කළා. “පියාණෙනි, ඔවුන්ට සමාව දෙන්න. මන්ද තමන් කරන්නේ කුමක්දැයි ඔවුහු නොදනිති.” (ලූක් 23:34, NW) තවත් අවස්ථාවකදී, රුදුරු වෛරයෙන් පෙලඹුණු මනුෂ්‍යයන් යේසුස්ගේ ගෝලයෙකු වූ ස්තේපන්ට මිය යන තෙක්ම ගල් ගැසුවා. ඔහු අවසන් හුස්ම හෙළුවේ මෙම වදන් පවසමිනුයි. ‘යෙහෝවා, මේ පාපය ඔවුන් පිට නොතබන්න.’ (ක්‍රියා 7:60) යේසුස්ටයි ස්තේපන්ටයි අවශ්‍ය වුණේ තමන්ට වෛර කරන අයට පවා යහපතක් සිදු වෙනවා දකින්නයි. ඔවුන් තුළ කෝපයක් හටගෙන තිබුණේ නැහැ. බයිබලය අපට අවවාද කරන්නේ ‘සියල්ලන්ටම යහපත්කම් කරමු’ කියායි.—ගලාති 6:10.

‘සදහටම සිටින උපකාරකයෙක්’

තම විශ්වාසවන්ත ප්‍රේරිතයන් 11දෙනා සමඟ එක්රැස් වී සිටි එම සන්ධ්‍යාව ගෙවී යද්දී යේසුස් ඔවුන්ට දැනුම් දුන්නා ඔහු මිනිසෙකු වශයෙන් තවදුරටත් ඔවුන් සමඟ සිටින්න යන්නේ නැති බව. (යොහන් 14:28; 16:28) නමුත් ඔවුන්ගේ බිය සැක දුරු කරමින් ඔහු මෙසේ පැවසුවා. “මම පියාණන්ගෙන් ඉල්ලන්නෙමි. එවිට ඔහු ඔබ සමඟ සදහටම සිටින පිණිස, වෙනත් උපකාරකයෙකුව ඔබට දෙන්නේය.” (යොහන් 14:16, NW) එම පොරොන්දු කරන ලද උපකාරකයා නම් දෙවිගේ ශුද්ධාත්මයයි. පසු කලෙකදී, එය ශුද්ධ ලියවිල්ලේ අඩංගු ගැඹුරු කාරණා ඔවුන්ට ඉගැන්වුවා. යේසුස් තම භූමික දේවසේවය කරන විට ඉගැන්වූ දේවල් ඔවුන්ට යළි සිහිගැන්වුවා.—යොහන් 14:26.

ශුද්ධාත්මය දෙන උපකාරය අපට මේ කාලයේදී ලබාගත හැකි වන්නේ කෙසේද? දෙවිගේ ආනුභාවයෙන් ලියවුණු ඔහුගේ වචනය වන බයිබලය මාර්ගයෙන්. අනාවැකි පළ කිරීමටත් බයිබලය ලිවීමටත් යොදාගත් මනුෂ්‍යයන්ව ‘පොලඹවනු ලැබුවේ ශුද්ධාත්මය විසිනුයි.’ (2 පේතෘස් 1:19, 21; 2 තිමෝති 3:16) අප ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කරන විටත් ඉගෙනගන්නා දේවල් ක්‍රියාවට නංවන විටත් දැනුම, ප්‍රඥාව, අවබෝධය, තීක්ෂ්ණ බුද්ධිය, විචාර බුද්ධිය සහ කල්පනා ශක්තිය වැනි ගුණාංග වර්ධනය කරගන්නවා. එවිට, මෙම දුෂ්ට ලෝකයෙන් එල්ල වන පීඩනවලට මුහුණ දීමට අප වඩාත් හොඳින් සන්නද්ධ වන බව පිළිගත යුතු නැද්ද?

ශුද්ධාත්මය උපකාරකයෙක් ලෙස ක්‍රියා කරන තවත් ක්‍රමයක් තිබෙනවා. දෙවිගේ ශුද්ධාත්මය යහපත්කම් කිරීම සඳහා ප්‍රබල පෙලඹීමක් ඇති කරන අතර එහි බලපෑමට යටත් වී සිටින අයට දිව්‍ය ගුණාංග විදහාපෙන්වීමටද හැකියාව ලබා දෙනවා. “ආත්මයේ ඵල නම්, ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, ආත්මදමනය යන මේවාය” යනුවෙන් බයිබලය පවසනවා. දුරාචාරය, අඩ දබර, ඊර්ෂ්‍යාව, හදිසි කෝපය වැනි මාංශික නැඹුරුවාවන්ගෙන් ජයගැනීමට අපට අවශ්‍ය වන්නේ එවැනිම ගුණාංග නොවේද?—ගලාති 5:19-23, NW.

දෙවිගේ ආත්මය මත රඳා සිටීම මගින්, ඕනෑම ආකාරයක දුක් පීඩා හෝ විපත්තිවලට සාර්ථකව මුහුණ දීමට “සාමාන්‍යය ඉක්මවූ බලය” ලබාගැනීමටත් අපට පුළුවන්. (2 කොරින්ති 4:7, NW) ශුද්ධාත්මය අප මුහුණ දෙන පීඩා හෝ පරීක්ෂා අයින් නොකරනවා වෙන්න පුළුවන්. ඒත් ඒවා විඳදරාගැනීමට අපට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න නම් එයට හැකියි. (1 කොරින්ති 10:13) ප්‍රේරිත පාවුල් ලීවේ, “මා බලවත් කරන්නාවූ තැනැත්තා තුළ මට සියලු දේ කරන්න පුළුවන” කියායි. (පිලිප්පි 4:13) දෙවි එම බලය ලබා දෙන්නේ තම ශුද්ධාත්මය මාර්ගයෙනුයි. ශුද්ධාත්මයේ උපකාරය ලැබීම ගැන අප මොන තරම් කෘතඥපූර්වක විය යුතුද! එහි උපකාරය ලැබෙන බවට පොරොන්දුව දී තිබෙන්නේ ‘යේසුස්ට ප්‍රේම කරන සහ ඔහුගේ ආඥා පවත්වන’ අයටයි.—යොහන් 14:15.

“මාගේ ප්‍රේමයෙහි පවතින්න”

යේසුස් මිනිසෙකු වශයෙන් ගත කළ අන්තිම රාත්‍රියේදී තම ප්‍රේරිතයන්ට මෙලෙසත් පැවසුවා. “මාගේ ආඥා ලැබී ඇති තැනැත්තා ඒවා පවත්වනවා නම්, මට ප්‍රේම කරන්නේ ඔහුය. තවද, මට ප්‍රේම කරන්නාට මාගේ පියාණන් ප්‍රේම [කරනවා ඇත.]” (යොහන් 14:21, NW) “මාගේ ප්‍රේමයෙහි පවතින්න” කියා ඔහු අයැද සිටියා. (යොහන් 15:9, NW) අභ්‍යන්තරයෙන් පැමිණෙන පව්කාර නැඹුරුවාවන්ට මෙන්ම දුෂ්ට ලෝකයෙන් එන පිටස්තර බලපෑම්වලට විරුද්ධව අප කරන සටනේදී පියාගේ මෙන්ම පුත්‍රයාගේ ප්‍රේමය තුළ පැවතීම අපට උපකාරවත් වන්නේ කෙසේද?

හොඳයි මේ ගැන සිතා බලන්න. අපේ පව්කාර නැඹුරුවාවන් පාලනය කිරීම සඳහා අප තුළ ප්‍රබල පෙලඹීමක් නැත්නම් අපට සාර්ථකව එසේ කළ හැකිද? ඇත්තෙන්ම, යෙහෝවා දෙවි සහ ඔහුගේ පුත් සමඟ යහපත් සබඳතාවක් පවත්වාගැනීමට තිබෙන ආශාවට වඩා උතුම් පෙලඹීමක් තිබිය හැකිද? නහඹර වියේ සිටම දුරාචාරමය ජීවිතයක් ගත කර තිබූ අර්නෙස්ටෝ * නම් තරුණයා එම ජීවන රටාවෙන් මිදීමට තමා දැඩි සටනක නිරත වූ ආකාරය මෙසේ විස්තර කරනවා. “මට ඕන වුණේ දෙවිව සතුටු කරන්නයි. මගේ ජීවන රටාව ඔහු අනුමත නොකරන බව මම බයිබලයෙන් ඉගෙනගත්තා. ඉතිං මම අදිටන් කරගත්තා මගේ පෞද්ගලිකත්වය වෙනස් කරලා දෙවි දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න. මගේ මනසට ගලාගෙන ආපු හානිකර, පිළිකුල්සහගත අදහස් ප්‍රතික්ෂේප කිරීමට මට දිනපතාම දැඩි වෑයමක් දරන්න සිද්ධ වුණා. එහෙත් මම අදිටන් කරගත්තා මම ඒ සටනෙන් ජයගන්නවාමයි කියලා. මම නොකඩවාම දෙවිට යාච්ඤා කරලා ඔහුගෙන් උපකාර ඉල්ලුවා. අවුරුදු දෙකකට පස්සේ මම ඒ සටනෙන් ගොඩක් දුරට ජයගෙනයි තිබුණේ. හැබැයි මම තාමත් මාවම හික්මවගන්නවා.”

පිටස්තර ලෝකයෙන් එන බලපෑම්වලට විරුද්ධව කරන සටනේදී උපකාරවත් වන්නේ කුමක්ද කියා දැනගැනීමට, යේසුස් යෙරුසලමේ උඩුමහල් කාමරයෙන් ඉවත්ව යෑමට කලින් කියූ යාච්ඤාව සලකා බලන්න. ඔහු තම ගෝලයන් වෙනුවෙන් පියාට යාච්ඤා කරමින් මෙසේ ඉල්ලා සිටියා. “මා ඔබෙන් ඉල්ලන්නේ, ඔවුන්ව ලෝකයෙන් ඉවතට ගන්නා මෙන් නොව, නමුත් දුෂ්ටයා නිසා ඔවුන්ව ආරක්ෂා කරන මෙන්ය. මා ලෝකයේ කොටසක් නොවන්නා සේම ඔවුහුද ලෝකයේ කොටසක් නොවෙති.” (යොහන් 17:15, 16, NW) එම වදන් කොතරම් දිරිගන්වනසුලුද! ඔහු ප්‍රේම කරන අය ලෝකයෙන් කොටසක් නොවී සිටීමට වෑයම් කරද්දී යෙහෝවා ඔවුන්ව රැකබලා ගන්නවා. ඔවුන්ව ශක්තිමත් කරනවා.

“ඇදහිල්ල පෙන්වන්න”

දුෂ්ට ලෝකයටත් අපේම පව්කාර නැඹුරුවාවන්ටත් විරුද්ධව තිබෙන සටනෙන් ජයගැනීම සඳහා යේසුස්ගේ ආඥා පැවැත්වීම අපට සැබවින්ම උපකාර වෙනවා. එම සටනෙන් ජයගැනීම වැදගත්. එහෙත් එමගින් ලෝකයවත් උරුම කරගත් පාපයවත් නැත්තටම නැති කර දැමිය නොහැකියි. නමුත් අප අධෛර්යයට පත් විය යුතු නැහැ.

“ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහව යන්නේය. නුමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය” කියා බයිබලයේ පවසා තිබෙනවා. (1 යොහන් 2:17) යේසුස් තම ජීවිතය පූජා කළේ “[තමා] කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම” පාපයෙන් සහ මරණයෙන් මුදවාගැනීමටයි. (යොහන් 3:16, NW) එසේනම්, දෙවිගේ කැමැත්ත සහ ඔහුගේ අරමුණු පිළිබඳව අප දැනුමින් වඩ වඩා වර්ධනය වෙත්ම “දෙවි කෙරෙහි ඇදහිල්ල පෙන්වන්න. මා කෙරෙහිද ඇදහිල්ල පෙන්වන්න” යනුවෙන් යේසුස් දුන් අවවාදය සිතට ගනිමු.—යොහන් 14:1, NW.

[පාදසටහන]

^ 22 ඡේ. සැබෑ නම සඳහන් කර නැත.

[6, 7වන පිටුවේ පින්තූරය]

“මාගේ ප්‍රේමයෙහි පවතින්න” කියා යේසුස් තම ප්‍රේරිතයන්ගෙන් අයැද සිටියා

[7වන පිටුවේ පින්තූරය]

පාපයෙන් සහ එහි බලපෑම්වලින් නිදහස ළඟදීම යථාර්ථයක් වේවි!