Skip to content

පටුනට යන්න

පෙර සහ පසු ඇගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වුණා

පෙර සහ පසු ඇගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වුණා

“දෙවිට ළං වෙන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය”

පෙර සහ පසු ඇගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වුණා

මට්සේපෑංගේ ජීවිතය මොනතරම් අප්‍රසන්න, අර්ථ ශුන්‍ය ජීවිතයක් වුණාද! ඇය දකුණු අප්‍රිකාවේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි රටක් වන ලෙසොතෝහි සිටි යෞවනියක්. මට්සේපෑං ලොකු මහත් වුණේ කතෝලික පරිසරයකයි. කොහොමනමුත්, දෙවිට ළං වෙන්න උපකාර කරනවා වෙනුවට කන්‍යා සොහොයුරියන් වසර ගණනාවක්ම ඇයට ලිංගිකව අතවර කළා. ඔවුන් ඇයව දුරාචාර ක්‍රියාවලට පොලඹවාගත්තේ ඇයට මුදල් දීලයි.

කල් යද්දී, ආගම ගැන හොඳටම කලකිරුණ මට්සේපෑංට, මිනිස් මැවිල්ල කෙරෙහි අවංකවම සැලකිල්ලක් දක්වන ප්‍රේමණීය මැවුම්කරුවෙකු සිටිනවාය යන කාරණයට එකඟ වෙන්න බැරි වුණා. මට්සේපෑං ලිංගික අතවරයට ලක් වී සිටි නිසාත් ඇගේ අවශ්‍යතා නොසලකාහැර තිබුණ නිසාත් දැඩි වේදනාවක් ගෙන දුන් චිත්තවේගීය හැඟීම් සහ තමාව වටින්නේ නැතැයි යන හැඟීම ඇය තුළ තිබුණා. ඇය වයසින් මුහුකුරා යද්දී ඉතා දරුණු හා කලහකාරී තැනැත්තියක් බවට පත් වුණා. මෙම ස්වභාවය සාපරාධී ක්‍රියාවලට මඟ පෑදුවා.

අන්තිමේදී, මට්සේපෑං හොර කල්ලියකට බැඳී දුම්රියෙන් ගමන්ගන්නා මඟීන්ගේ බඩු සොරකම් කරන්න පටන්ගත්තා. ඇයව අත්අඩංගුවට ගෙන දකුණු අප්‍රිකාවේ බන්ධනාගාරයක සිර කළා. පසුව, ඇගේ මව් රට වූ ලෙසොතෝවලට ඇයව යැවූ අතර එහිදීද සුපුරුදු පරිදි ඇය අපරාධ කරමින් බේබදු, ඉතා දරුණු සහ දුරාචාර ජීවිතයක් ගත කරමින් සිටියා.

ජීවිතය ගැන බොහෝ සෙයින් කලකිරී සිටි වේලාවකදී මට්සේපෑං උපකාරය ඉල්ලා ඉතා ඕනෑකමින් දෙවිට යාච්ඤා කළා. “දෙවියනි, මම බේරුණොත් මට කළ හැකි උපරිමයෙන් මම ඔබට සේවය පිරිනමනවා” කියා ඇය පොරොන්දු වුණා.

ටික දවසකට පස්සේ, යෙහෝවාගේ සාක්ෂිකරුවන් වූ මිෂනාරිවරියන් ඇය හමුවීමට පැමිණියා. ඇය සමඟ බයිබල් පාඩමක් පැවැත්වීමට ඔවුන් කැමැත්ත පළ කළා. දෙවි උදාසීන හෝ නොසැලකිලිමත් දෙවි කෙනෙක් නොවන බව පාඩම කරද්දී ඇය වටහාගත්තා. ඇත්තෙන්ම, තමන්ගෙන් කිසි වැඩක් නැහැ සහ තමන්ට කවදාවත් යෙහෝවා ප්‍රේම කරන එකක් නැහැ කියා හැඟීමට සැලැස්වීම සඳහා “බොරුවේ පියා” වන සාතන් මුළා කරවනසුලු කූට උපක්‍රම යොදන බව ඈ අවබෝධ කරගත්තා.—යොහන් 8:44; එපීස 6:11.

ඊට වෙනස්ව, අපේ පාපතර අතීතය ගැන අප පසුතැවිලි වෙමින් දෙවිගෙන් සමාව අයදිනවා නම් සහ ඔහුව සතුටු කිරීමට වෑයම් කරනවා නම්, අපට ආත්ම ගෞරවය රැකගත හැකි බව මට්සේපෑං දැනගත් විට ඇයට මොනතරම් සහනයක් ලැබෙන්න ඇද්ද! “දෙවි අපේ සිත්වලට වඩා උතුම්” බවත්, අපි අප දෙස බලන ආකාරයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකට දෙවි අප දෙස බලන බවත් තේරුම්ගන්න ඇයට උපකාර ලැබුණා.—1 යොහන් 3:19, 20, NW.

ගීතිකාකාර දාවිත්ගේ මෙම වදන් කියවා මට්සේපෑං සතුටෙන් ඉපිල ගියා. “යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටියි, තැළුණු ආත්ම ඇත්තන් ගලවයි.” (ගීතාවලිය 34:18) යෙහෝවාගේ සේවකයන්ගෙන් සමහරෙකු මානසිකව වැටී සිටින විට හෝ තමන්ගෙන් වැඩක් නැහැ කියා ඔවුන්ට සිතෙන විට පවා යෙහෝවා ඔවුන්ව අත්හරින්නේ නැති බව ‘තැළුණු ආත්මයක් ඇත්තාවූ’ තැනැත්තියක් වන ඇයට වැටහුණා. දෙවි ඔහුගේ සියලු බැටළුවන්ව බලාගනිමින් දුෂ්කර කාලවලදී ඔවුන්ව උසුලාගන්නා බව දැනගැනීමෙන් ඇගේ සිතේ ඔහු කෙරෙහි බලවත් ස්නේහයක් ඇති වුණා. (ගීතාවලිය 55:22; 1 පේතෘස් 5:6, 7) විශේෂයෙන්ම ඇගේ සිතට මේ වචන පෙළ කාවැදුණා. “දෙවිට ළං වෙන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය.”—යාකොබ් 4:8, NW.

මට්සේපෑංගේ ජීවිතය තුළ බයිබලය සතු බලය ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා. ඇය ක්‍රිස්තියානි රැස්වීම්වලට නිතිපතා සහභාගි වූ අතර බයිබලයට පටහැනි පුරුදුවලින් ඉවත් වුණා. ප්‍රතිඵලය මොකක්ද? දෙවිගේ ප්‍රේමය හා අනුග්‍රහය ලබන්න තමා වටින්නේ නැහැ කියා දැන් ඇයට හැඟෙන්නේ නැහැ. යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු හැටියට බව්තීස්ම වූ දා පටන්, රාජ්‍යයේ ශුභාරංචියේ ප්‍රකාශිකාවක වශයෙන් ඇය ක්‍රිස්තියානි දේවසේවයෙහි පැය දහස් ගණනක් ගත කර තිබෙනවා. අතීතයේ මුහුණ දුන් කටුක අද්දැකීම් තවමත් ඇගේ මතකයේ රැඳී තිබුණත් ඇය දැන් ප්‍රීතිමත් හා අරමුණක් ඇති ජීවිතයක් ගත කරනවා. ජීවිත යහමඟ යැවීම සඳහා බයිබලය සතු බලය මේ අද්දැකීමෙන් මනාව පැහැදිලි වන්නේ නැද්ද!—හෙබ්‍රෙව් 4:12.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“දෙවියනි, මම බේරුණොත් මට කළ හැකි උපරිමයෙන් මම ඔබට සේවය පිරිනමනවා”

[9වන පිටුවේ කොටුව]

බයිබල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වී

මතු දැක්වෙන්නේ දූෂණයට ගොදුරු වූ අය සැනසීම ලබාගත් බයිබල් ප්‍රතිපත්තියි.

“මා තුළ කැලඹීමක් ඇති කළ සිතුවිලි අධික වූ කල, ඔබේම [දෙවිගේම] සැනසිල්ල මාගේ ආත්මයට පහසක් විය.” (ගීතාවලිය 94:19, NW) යෙහෝවාගේ වචනය තුළ තිබෙන “සැනසිල්ල” ලොකු සැනසීමේ උල්පතක්. මෙනෙහි කරන විට හා යාච්ඤා කරන විට ඒවා සලකා බැලීම සසල වී ඇති සිතුවිලි නිසල කරගැනීමටත් තේරුම්ගන්නාසුලු මිත්‍රයෙකු වශයෙන් දෙවි කෙරෙහි විශ්වාසය ගොඩනඟා ගැනීමටත් උපකාරවත් වේ.

“ඔහු [යෙහෝවා] බිඳුණු සිත් ඇත්තන් සුව කරන්නේය. ඔවුන්ගේ තුවාල බඳින්නේය.” (ගීතාවලිය 147:3) යෙහෝවාගේ දයාව කෙරෙහිත් අපේ පාප මකා දැමීම සඳහා ඔහු විසින් ලබා දී ඇති දීමනාව වන යේසුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහිත් අපි කෘතඥපූර්වක වෙනවා නම්, ප්‍රතික්ෂේප වූ බව සිතමින් නොසිට නිසැකභාවයෙන් යුතුව දෙවි වෙත ළඟාවීමට අපිට පුළුවන්. එමගින් කිසිවකට සම කළ නොහැකි සැනසීමක් හා මනසේ සාමයක් ලබාගත හැකියි.

“මා එවූ පියා විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා [යේසුස් ක්‍රිස්තුස්] ළඟට එන්ට බැරිය. මම අන්තිම දවසේදී ඔහු නැඟිටුවන්නෙමි.” (යොහන් 6:44) ශුද්ධාත්මය මගින් හා රාජ්‍ය දේශනා කිරීමේ වැඩය මගින් යෙහෝවාම ඔහුගේ පුතා වෙතට අපව ඇදගන්නා අතර සදාකාල ජීවනයේ බලාපොරොත්තුවද අපට ලබා දෙනවා.