Skip to content

පටුනට යන්න

මුල් ක්‍රිස්තියානීහු හා මෝසෙස්ගේ නීතිය

මුල් ක්‍රිස්තියානීහු හා මෝසෙස්ගේ නීතිය

මුල් ක්‍රිස්තියානීහු හා මෝසෙස්ගේ නීතිය

“නීතිය අපව ක්‍රිස්තුස් ළඟට ගෙනයන අපේ උපදේශකයා බවට පත් වී තිබේ.”—ගලාති 3:24, NW.

1, 2. මෝසෙස්ගේ නීතිය හොඳින් පිළිපැද්ද ඊශ්‍රායෙලිතයන් නෙළාගත් ප්‍රයෝජන සමහරක් මොනවාද?

පොදු යුගයට පෙර 1513දී, යෙහෝවා ඊශ්‍රායෙලිතයන්ට නීති සංග්‍රහයක් දුන්නේය. ජනතාව තම හඬට කීකරු වූයේ නම්, තමන් ඔවුන්ට ආශීර්වාද කරන බවත්, ඔවුන් සතුටින් පිරි තෘප්තිමත් ජීවිත භුක්ති විඳින බවත් පැවසීය.—නික්මයාම 19:5, 6.

2 එම නීති සංග්‍රහය හඳුන්වන ලද්දේ මෝසෙස්ගේ නීතිය ලෙසිනි. එය “නීතිය” යනුවෙන්ද හැඳින්වූ අතර, ‘ශුද්ධ, ධර්මිෂ්ඨ හා යහපත්’ නීතියක්ද විය. (රෝම 7:12, NW) තවද මෙය දිරිගැන්වූයේ කරුණාවන්තකම, අවංකකම, සදාචාරසම්පන්නභාවය සහ අසල්වාසී සමීපත්වය වැනි උසස් ගුණාංගවලටයි. (නික්මයාම 23:4, 5; ලෙවී කථාව 19:14; ද්විතීය කථාව 15:13-15; 22:10, 22) යුදෙව්වන්ට එකිනෙකාට ප්‍රේමයක් දක්වන්නටද නීතියෙන් දිරිගන්වන ලදි. (ලෙවී කථාව 19:18) එපමණක්ද නොව, නීතියට යටත් නොවී සිටි අන්‍යජාතිකයන් සමඟ ඇසුරු කිරීමත්, ඔවුන් අතරින් භාර්යාවන් තේරීමත් තහනම් කර තිබිණ. (ද්විතීය කථාව 7:3, 4) ඇත්තෙන්ම යුදෙව්වන් හා අන්‍යජාතිකයන් වෙන් කළ ‘පවුරක්’ මෙන්, මෝසෙස්ගේ නීතිය මිථ්‍යාදෘෂ්ටික මතිමතාන්තර හා සිරිත් විරිත්වලින් දූෂණය වීමෙන් දෙවිගේ ජනයාව ආරක්ෂා කළේය.—එපීස 2:14, 15, NW; යොහන් 18:28.

3. කිසිම කෙනෙකුට නීතිය මුළුමනින්ම පිළිපදින්නට නොහැකි වූ නිසා, ඉන් ඇති වූ බලපෑම කුමක් වීද?

3 කෙසේවෙතත්, දෙවිගේ නීතිය අකුරටම පවත්වන්නට උත්සාහ කළ යුදෙව්වන්ට පවා එය පරිපූර්ණ ලෙස පිළිපදින්නට නොහැකි විය. යෙහෝවා ඔවුන්ගෙන් අපේක්ෂා කළ දෙය පමණට වඩා වැඩි වීද? නැත. ඇත්තෙන්ම නීතිය ඊශ්‍රායෙල් ජාතියට දෙන ලද එක් හේතුවක් වූයේ ‘වරද පෙන්වා දීම පිණිසය.’ (ගලාති 3:19, NW) එමනිසා තමුන්ට මිදුම්කරුවෙකු අතිශයින් අවශ්‍ය බව අවංක යුදෙව්වන්හට අවබෝධ කරගැනීමට නීතිය උපකාරවත් විය. එම තැනැත්තා පැමිණි විට ඇදහිලිවන්ත යුදෙව්වෝ ප්‍රීති වූහ. පාපය හා මරණය නමැති ශාපයෙන් ඔවුන්ගේ මිදීම අත ළඟ විය!—යොහන් 1:29.

4. නීතිය ‘ක්‍රිස්තුස් ළඟට ගෙනයන උපදේශකයෙකු’ වූයේ කවර අර්ථයකින්ද?

4 මෝසෙස්ගේ නීතිය තාවකාලික විධිවිධානයක් පමණි. ප්‍රේරිත පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට ලියමින් එය විස්තර කළේ ‘ක්‍රිස්තුස් ළඟට ගෙනයන උපදේශකයෙකු’ ලෙසයි. (ගලාති 3:24, NW) පුරාණයේ උපදේශකයෙක් ළමුන්ව පාසැලට ගෙනයන, ආපසු නිවස කරා රැගෙන එන අයෙක් වූයේය. සාමාන්‍යයෙන්, ඔහු ගුරුවරයා නොවීය. ඔහුගේ කාර්යය වූයේ ළමුන්ව ගුරුවරයා ළඟට ගෙනයෑම පමණි. ඒ හා සමානව, මෝසෙස්ගේ නීතියේ අරමුණ වූයේ දේවභයැති යුදෙව්වන්ව ක්‍රිස්තුස් ළඟට ගෙනයෑමයි. තවද යේසුස් පොරොන්දු වූයේ “සමාජ ක්‍රමයේ අවසාන කාලපරිච්ඡේදය දක්වා” තමා තම අනුගාමිකයන් සමඟ සිටින බවයි. (මතෙව් 28:20, NW) එබැවින්, ක්‍රිස්තියානි සභාව ස්ථාපිත කළ විට, ‘උපදේශකයාගෙන්’ එනම් නීතියෙන් ඉටු විය යුතු තවත් අවශ්‍යතාවක් ඉතිරිව තිබුණේ නැත. (රෝම 10:4; ගලාති 3:25) එනමුත්, ඇතැම් යුදෙව් ක්‍රිස්තියානීන් මෙම අතිවැදගත් සත්‍යය ඉක්මනින්ම වටහාගත්තේ නැත. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් කළේ යේසුස්ගේ නැවත නැඟිටීමෙන් පසුව පවා නීතියේ ඇතැම් අංග දිගටම පැවැත්වීමයි. එහෙත්, තවත් සමහරු තම සිතිවිලි සකස් කරගත්තෝය. එසේ කිරීමෙන් ඔවුන් අදදින අපහට තැබුවේ කදිම ආදර්ශයකි. ඒ කෙසේදැයි බලමු.

ක්‍රිස්තියානි මූලධර්මයේ අලුතින් අවබෝධ වූ දේවල්!

5. දර්ශනයකින් පේතෘස්ට ලැබුණේ කවර මඟ පෙන්වීම්ද? ඔහු කම්පනයට පත් වූයේ මන්ද?

5 පොදු යුගයේ 36දී ක්‍රිස්තියානි ප්‍රේරිත පේතෘස් ඉතා චමත්කාරජනක දර්ශනයක් දිටීය. එම අවස්ථාවේදී ස්වර්ගයෙන් නිකුත් වූ හඬක් ඔහුට අණ කළේ, නීතියට අනුව අපවිත්‍රයයි සැලකූ කුරුල්ලන් හා සතුන් මරා අනුභව කරන ලෙසටයි. පේතෘස් කම්පනයට පත් විය! මන්ද “දූෂිත වූ, අපවිත්‍ර වූ කිසිවක්” ඔහු කිසි කලෙක අනුභව කර නොතිබූ හෙයිනි. එනමුත් ඒ හඬ ඔහුට පැවසුවේ මෙලෙසයි. “දෙවි පවිත්‍ර කළ දේට දූෂිතයයි කීම නවත්වන්න.” (ක්‍රියා 10:9-15, NW) මෙම අවස්ථාවේදී නීතියට දැඩි ලෙස ඇලී සිටිනවා වෙනුවට, පේතෘස් තම ආකල්පය සකස් කරගත්තේය. මෙහි ප්‍රතිඵලය වූයේ දෙවිගේ අරමුණු සම්බන්ධයෙන් පුදුම දනවන දෙයක් ඔහුහට අනාවරණය වීමයි.

6, 7. අන්‍යජාතිකයන්ට දේශනා කිරීමට තමාට දැන් හැකි බව නිගමනය කිරීමට පේතෘස්ට උපකාරවත් වූයේ කුමක්ද? පෙනෙන විදිහට ඔහු තවදුරටත් එළඹි නිගමනයන් මොනවාද?

6 සිදු වූ දෙය මෙයයි. පේතෘස් නවාතැන් ගනිමින් සිටි නිවසට පුරුෂයන් තිදෙනෙකු පැමිණි අතර, දේවභයැති අචර්මච්ඡේදිත අන්‍යජාතිකයෙකු වූ කොර්නේලියස්ගේ නිවසට ඔවුන් සමඟ යන්නට පේතෘස් කැමතිද යන්න ඔවුහු ඇසූහ. එවිට එම පුරුෂයන්ට නිවස ඇතුළට එන මෙන් ආරාධනා කළ පේතෘස් ඔවුන්ට සංග්‍රහ සත්කාර කළේය. අනතුරුව දුටු දර්ශනයේ නියම අරුත තේරුම්ගත් පසු, පේතෘස් ඊළඟ දින ඔවුන් සමඟ කොර්නේලියස්ගේ නිවස බලා ගමන් කළේය. එහිදී පේතෘස් යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව පැහැදිලි සාක්ෂියක් දුන්නේය. එම අවස්ථාවේදී පේතෘස් පැවසුවේ මෙලෙසය. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට ස්ථිරවම වැටහේ. මන්ද සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය.” කොර්නේලියස් පමණක් නොව, ඔහුගේ නෑදෑයන් හා කිට්ටු මිතුරන් යේසුස් කෙරෙහි ඇදහිල්ල තැබීමේ ප්‍රතිඵලයක් ලෙස, “වචනය අසමින් සිටි සියලුදෙනා මතට ශුද්ධාත්මය පැමිණුණේය.” මෙම කාරණා සම්බන්ධයෙන් යෙහෝවාගේ හස්තය ක්‍රියාත්මක වූ ආකාරය තේරුම්ගත් පේතෘස් “යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් බව්තීස්ම වන ලෙස ඔවුන්ට අණ කළේය.”—ක්‍රියා 10:17-48, NW.

7 මෝසෙස්ගේ නීතියට යටත් නොවූ අන්‍යජාතිකයන්ට යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වීමට ප්‍රස්තාව විවෘත වී තිබුණු බව නිගමනය කිරීමට පේතෘස්ට හැකි වූයේ කුමක් නිසාද? ආත්මික විචාර බුද්ධිය නමැති ගුණාංගය නිසාය. අචර්මච්ඡේදිත අන්‍යජාතිකයන් පිට තම ශුද්ධාත්මය වැගිරවීමෙන් දෙවි ඔවුන්ව අනුමත කරන බව පෙන්වූ හෙයින්, ඔවුන්ව බව්තීස්මය සඳහා පිළිගත හැකි බව පේතෘස් වටහාගත්තේය. ඒත් සමඟම, බව්තීස්ම වීමට කොන්දේසියක් ලෙස මෝසෙස්ගේ නීතිය පිළිපැදීම අන්‍යජාතිකයන්ගෙන් දෙවි අපේක්ෂා නොකළ දෙයක් බවද පේතෘස් පෙනෙන විදිහට තේරුම්ගත්තේය. ඔබ එදා ජීවත්ව සිටියා නම්, පේතෘස් මෙන් ඔබේ මතය සකස් කරගැනීමට ඔබත් කැමති වනු ඇද්ද?

ඇතැම්හු දිගටම “උපදේශකයා” පසුපස ගියහ

8. යෙරුසලමේ විසූ ඇතැම් ක්‍රිස්තියානීන් විසින් ප්‍රචලිත කරන ලද, චර්මච්ඡේදනය සම්බන්ධයෙන් පේතෘස් දැරූ අදහසට වඩා වෙනස් වූ මතය විස්තර කරන්න. එසේ ප්‍රචලිත කළේ මන්ද?

8 කොර්නේලියස්ගේ නිවසින් පිටත් වූ පසු, පේතෘස් යෙරුසලමට ගියේය. අචර්මච්ඡේදිත අන්‍යජාතිකයන්ට ‘දෙවිගේ වචනය ලැබුණු බවට’ වූ කාරණය එහි සිටි සභාවට ආරංචි වී තිබුණු අතර, යුදෙව් ගෝලයන් කිහිපදෙනෙක් ඒ ගැන කලබල වී සිටියෝය. (ක්‍රියා 11:1-3, NW) අන්‍යජාතිකයන්ට යේසුස්ගේ අනුගාමිකයන් විය හැකි බව පිළිගත්තද, “චර්මච්ඡේදනයට පක්ෂව සිටි අය” තරයේ කියා සිටියේ ගැලවීම සඳහා යුදෙව් නොවන ජාතීන්ට අයත් මෙම ගෝලයන් නීතිය පිළිපැදිය යුතු බවය. අනික් අතට, අන්‍යජාතිකයන් බහුතරයක් සිටි ප්‍රදේශවල යුදෙව් ක්‍රිස්තියානීන් අල්පයක් සිටි නිසා, චර්මච්ඡේදනය අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් වූයේ නැත. එකිනෙකට වෙනස් වූ මෙම මතයන් වසර 13ක් පමණ පැවතියේය. (1 කොරින්ති 1:10) මුල් ක්‍රිස්තියානීන් සඳහා, විශේෂයෙන්ම යුදෙව් ප්‍රදේශවල විසූ අන්‍යජාතිකයන් සඳහා මෙය මොනතරම් පරීක්ෂණයක් වන්නට ඇද්ද!

9. චර්මච්ඡේදනය සම්බන්ධයෙන් පැනනැඟි මතභේදයට විසඳුමක් අත්‍යවශ්‍ය වූයේ මන්ද?

9 ඔඩු දුවමින් පැවති මෙම මතභේදය අවසානයේදී පො.යු. 49 වන විට උත්සන්න විය. එම අවස්ථාවේදී යෙරුසලමේ ක්‍රිස්තියානීහු පාවුල් දේශනා කරමින් සිටි නගරය වන සිරියානු අන්තියෝකියට පැමිණියෝය. අන්‍යජාතික වූ ක්‍රිස්තියානීන් නීතියට එකඟව චර්මච්ඡේදනය විය යුතු බව ඔවුහු එහිදී ඉගැන්වීමට පටන්ගත්හ. එවිට ඔවුන් හා පාවුල් සහ බානබස් අතර මහත් ආරවුලක් හටගත්තේය. මෙම මතභේදය නිරාකරණය කරගත්තේ නැත්නම්, යුදෙව් හා අන්‍යජාතික පසුබිම්වලින් පැමිණි ඇතැම් ක්‍රිස්තියානීන් බාධාවට පත් වනු නියතය! එමනිසා, පාවුල් හා තවත් කිහිපදෙනෙකු යෙරුසලමට ගොස් ඇති වූ මතභේදය සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස ක්‍රිස්තියානි පාලක මණ්ඩලයෙන් ඉල්ලීමට විධිවිධාන යොදන ලදි.—ක්‍රියා 15:1, 2, 24, NW.

අවංක මතභේදයකින් පසුව එක්සත්කම!

10. අන්‍යජාතිකයන්ගේ තත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙරාතුව පාලක මණ්ඩලය සලකා බැලූ සමහරක් කාරණා මොනවාද?

10 කැඳවන ලද රැස්වීමකදී, පෙනෙන විදිහට සමහරුන් චර්මච්ඡේදනයට පක්ෂව අදහස් ඉදිරිපත් කළ අතර, තවත් සමහරු ඊට ප්‍රතිවිරුද්ධ අදහස් ඉදිරිපත් කළෝය. කෙසේවෙතත්, එම දිනේදී පෞද්ගලික හැඟීම් මුදුන්පත් වීමට ඉඩ සැලසුණේ නැත. මහත් විවාදයක් ඇති වූ පසු, පේතෘස් හා පාවුල් යන ප්‍රේරිතයන් දෙදෙනා අචර්මච්ඡේදිත වූ ජනයා අතර යෙහෝවා සිදු කර තිබූ ලකුණු විස්තර කළෝය. ඔවුන් පැහැදිලි කරමින් කියා සිටියේ දෙවි ශුද්ධාත්මය අචර්මච්ඡේදිත අන්‍යජාතිකයන් පිට වගුරුවා තිබූ බවය. මෙසේ ඔවුන්ගේ තර්කය වූයේ ‘දෙවි මෙලෙස පිළිගෙන ඇති අයව ප්‍රතික්ෂේප කිරීමට ක්‍රිස්තියානි සභාවට යුක්තිසහගත පදනමක් තිබේද’ යන්නයි. අනතුරුව, මෙම කාරණයේදී යෙහෝවාගේ කැමැත්ත වටහාගැනීම සඳහා පැමිණ සිටි සියලුදෙනාට උපකාරවත් වූ ශුද්ධ ලියවිලි පාඨයක් ශ්‍රාවක යාකොබ් කියෙව්වේය.—ක්‍රියා 15:4-17, NW.

11. චර්මච්ඡේදනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී යම් ඉඩක් නොදුන්නේ කුමන බලපෑමටද? තවද ගත් තීරණය කෙරෙහි යෙහෝවාගේ ආශීර්වාදය තිබූ බව පැහැදිලි වන්නේ කුමකින්ද?

11 දැන් සැමගේ ඇස් යොමු වූයේ පාලක මණ්ඩලය වෙතටයි! ඔවුන් යුදෙව් පසුබිමකින් පැමිණි අය වූ නිසා, චර්මච්ඡේදනයට පක්ෂව තීරණයක් දේවිද? නැත. විශ්වාසවන්ත වූ මෙම පුරුෂයන්ගේ අධිෂ්ඨානය වූයේ ශුද්ධ ලියවිල්ල හා දෙවිගේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීම අනුගමනය කිරීමයි. අදාළ සාක්ෂි සියල්ලටම සවන් දීමෙන් අනතුරුව, අන්‍යජාතික ක්‍රිස්තියානීන්ට චර්මච්ඡේදනය වීම හා මෝසෙස්ගේ නීතිය යටතට ඒම සඳහා තවදුරටත් අවශ්‍යතාවක් නොමැති බව පාලක මණ්ඩලය ඒකමතිකව තීරණය කළේය. ගත් තීරණය සහෝදරයන්ට ආරංචි වූ විට ඔවුන් ප්‍රීතිමත් වූ අතර, සභාවන් ‘දිනෙන් දින ගණනින් වැඩි වෙන්නට විය.’ පැහැදිලි දිව්‍යාණ්ඩුමය මඟ පෙන්වීමකට යටත් වූ ක්‍රිස්තියානීහු ස්ථිර, ශුද්ධ ලියවිල්ලට එකඟ වූ පිළිතුරක් සමඟින් ආශීර්වාද ලැබුවෝය. (ක්‍රියා 15:19-23, 28, 29; 16:1-5; NW) එනමුත්, පිළිතුරු ලැබිය යුතු වූ තවත් වැදගත් ප්‍රශ්නයක් ඉතිරිව තිබිණ.

යුදෙව් ක්‍රිස්තියානීන් ගැන කුමක් කිව හැකිද?

12. තවමත් නිරාකරණය කරගත යුතු වූ ප්‍රශ්නය කුමක් වීද?

12 අන්‍යජාතික ක්‍රිස්තියානීන්ට චර්මච්ඡේදනය වීම අවශ්‍ය නැති බව පාලක මණ්ඩලය පැහැදිලිව දක්වා තිබිණ. එහෙත් යුදෙව් ක්‍රිස්තියානීන් ගැන කුමක් කිව හැකිද? පාලක මණ්ඩලය නිකුත් කළ තීරණය මගින් ප්‍රශ්නයේ එම පැත්ත විශේෂිතව නිරාකරණය කර තිබුණේ නැත.

13. ගැලවීම සඳහා මෝසෙස්ගේ නීතිය රැකිය යුතු බවට තරයේ කියා සිටීම වැරදිසහගත දෙයක් වූයේ මන්ද?

13 “නීතිය ගැන ජ්වලිතයක්” දැක්වූ ඇතැම් යුදෙව් ක්‍රිස්තියානීහු අඛණ්ඩව තම දරුවන්ව චර්මච්ඡේදනය කිරීමෙහි හා නීතියේ ඇතැම් අංග රැකීමෙහි නිරත වූහ. (ක්‍රියා 21:20, NW) තවත් සමහරුන් ඉන් නතර වූයේ නැත. ඔවුන් තරයේ කියා සිටියේ ගැලවීම පිණිස යුදෙව් ක්‍රිස්තියානීන් විසින් නීතිය රැකීම අනිවාර්යය බවයි. ඇත්තෙන්ම ඔවුන්ට එතැනදී බරපතළ ලෙස වැරදී තිබිණ. නිදසුනකට, පව් සමාව පිණිස කිසිම ක්‍රිස්තියානියෙකුට සත්ව පූජාවක් ඔප්පු කළ හැක්කේ කෙසේද? ක්‍රිස්තුස්ගේ පූජාව නිසා එවැනි පූජා අවලංගු වී තිබිණ. තවද යුදෙව්වන්ට අන්‍යජාතීන් සමඟ කිට්ටු ඇසුරක් නොපැවැත්වීමට වූ නීතියේ අවශ්‍යතාව ගැන කුමක් කිව හැකිද? මෙවැනි තහංචිවලට අනුකූල වන අතරම යේසුස් ඉගැන්වූ සියලු දේ අන්‍යජාතිකයන්ට ඉගැන්වීම ජ්වලිත ක්‍රිස්තියානි එවැන්ජලිස්තවරුන්ට ඉතා අසීරු කාර්යයක් වනු ඇත. (මතෙව් 28:19, 20; ක්‍රියා 1:8; 10:28; NW) * පාලක මණ්ඩලයේ රැස්වීමකදී මෙම කාරණය පැහැදිලි කළ බවට කිසිදු සාක්ෂියක් නොතිබිණ. කෙසේවෙතත්, සභාව මීට පිළිතුරක් නොමැතිව අසරණ වූයේ නැත.

14. පාවුල්ගේ දේවානුභාවය ලත් ලිපි නීතිය සම්බන්ධයෙන් දුන්නේ කවර මඟ පෙන්වීම්ද?

14 මෙම අවස්ථාවේදී මඟ පෙන්වීම පාලක මණ්ඩලයෙන් ලද ලිපියකින් පැමිණියේ නැත. ඒ වෙනුවට, ප්‍රේරිතයන් විසින් ලියන ලද දේවානුභාවය ලත් අමතර ලිපි ඇසුරෙන් මඟ පෙන්වීම් ලැබිණ. නිදසුනකට, ප්‍රේරිත පාවුල් රෝමයේ විසූ යුදෙව්වන්ට හා අන්‍යජාතිකයන්ට බලගතු පණිවිඩයක් යැවීය. තම ලිපියේදී ඔහු පැහැදිලි කළේ සැබෑ යුදෙව්වෙකු යනු “ඇතුළතින් යුදෙව්වෙකුව සිටින තැනැත්තා” බවය. තවද “ඔහුගේ චර්මච්ඡේදනය, සිතෙහි චර්මච්ඡේදනයක්” වන බවය. (රෝම 2:28, 29, NW) ක්‍රිස්තියානීන් තවදුරටත් නීතිය යටතේ නොසිටින බව ඔප්පු කිරීමට එම ලිපියේම පාවුල් නිදර්ශනයක්ද භාවිත කළේය. ඔහුගේ තර්කය වූයේ ස්ත්‍රියකට එක වර පුරුෂයන් දෙදෙනෙකු සමඟ විවාහ වී සිටිය නොහැකි බවයි. එහෙත්, ඇගේ පුරුෂයා මිය ගියහොත්, යළිත් විවාහ වීමේ නිදහස ඇයට තිබිණ. පාවුල් ඊළඟට එම නිදර්ශනය අදාළ කරමින් පෙන්නුම් කළේ ආලේප ලත් ක්‍රිස්තියානීන්ට මෝසෙස්ගේ නීතියට යටත්ව සිටින ගමන්ම ක්‍රිස්තුස්ට අයත්ව සිටිය නොහැකි බවය. ක්‍රිස්තුස් හා එක්සත් වීමට නම්, “නීතිය සම්බන්ධයෙන් මළ තත්වයට” පත්වීම අවශ්‍ය විය.—රෝම 7:1-5, NW.

කාරණය ග්‍රහණය කරගැනීමට ප්‍රමාද වූවෝ

15, 16. නීතිය පිළිබඳ වූ සත්‍යය අවබෝධ කරගැනීමට ඇතැම් ක්‍රිස්තියානීන් අපොහොසත් වූයේ මන්ද? ආත්මික ලෙස සුපරීක්ෂාකාරීව සිටීමේ අවශ්‍යතාව ගැන මින් පෙන්නුම් කෙරෙන්නේ කුමක්ද?

15 නීතිය සම්බන්ධයෙන් පාවුල් ගෙනා තර්ක බිඳහෙළිය නොහැකි ඒවා විය. එසේ නම්, ඇතැම් යුදෙව් ක්‍රිස්තියානීන් එම කාරණය ග්‍රහණය කරගැනීමට අපොහොසත් වූයේ මන්ද? එක අඩුවක් සඳහන් කරනවා නම්, ඔවුන්ට ආත්මික විචාර බුද්ධියේ ඌනතාවක් තිබිණ. නිදසුනකට, ඔවුහු ඝන ආත්මික ආහාර අනුභව කිරීම ගැන නොසැලකිලිමත් වූහ. (හෙබ්‍රෙව් 5:11-14) තවද, ක්‍රිස්තියානි රැස්වීම්වලටද ඔවුන් නිතිපතා ගියේ නැත. (හෙබ්‍රෙව් 10:23-25) සමහරුන්ට කාරණය නොවැටහෙන්නට ඇත්තේ නීතියේ ස්වභාවය නිසා විය හැකියි. එය කේන්ද්‍රගත වූයේ නෙත ගැටෙන, පහසුවෙන් දැනෙන, දෑතින් ස්පර්ශ කළ හැකි දේවල්, එනම්, දේවමාළිගාව හා පූජක තන්ත්‍රය වටාය. ආත්මිකත්වයේ ඌනතාවකින් පෙළී සිටි අයෙකුට අදෘශ්‍යමාන යථාර්ථයන් වටා කේන්ද්‍රගත වූ ක්‍රිස්තියානි ධර්මයේ වඩාත් ගැඹුරු ප්‍රතිපත්ති වැලඳගැනීමට වඩා නීතිය පිළිගැනීම පහසු විය.—2 කොරින්ති 4:18.

16 ඇතැම් නාමමාත්‍ර ක්‍රිස්තියානීන් නීතිය රැකීම සඳහා උද්‍යෝගයෙන් සිටීමට තවත් හේතුවක් පාවුල් ගලාතිවරුන්ට ලියූ තම ලිපියෙහි දැක්වීය. ඔහු පැහැදිලි කළ පරිදි, යම් ප්‍රධාන පෙළේ ආගමක ගෞරවයට පාත්‍ර වූ සාමාජිකයන් හැටියට අන් අය විසින් සලකනු ලැබීම මෙම පුරුෂයන්ගේ අභිප්‍රාය විය. සමාජයෙහි වෙනස් අය සේ පෙනී සිටින්නට ඔවුන් තුළ කැමැත්තක් තිබුණේ නැත. එමනිසා, සමාජයේ කොටසක් වීමට ඕනෑම ආකාරයකින් තම ප්‍රතිපත්ති පාවා දීමට ඔවුහු කැමති වූහ. මේ අනුව, දෙවිගේ අනුමැතිය ලබාගැනීමට වඩා ඔවුන් වැඩි කැමැත්තක් දැක්වූයේ මිනිසුන්ගේ ප්‍රසාදය දිනාගැනීමටයි.—ගලාති 6:12.

17. නීතිය පිළිපැදීම සම්බන්ධයෙන් දැරිය යුතු නිසි දෘෂ්ටිය සක් සුදක් සේ පැහැදිලි වූයේ කවදාද?

17 පාවුල්ගේ හා වෙනත් අයගේ දේවානුභාවය ලත් ලියවිලි හොඳින් අධ්‍යයනය කළ විචාර බුද්ධියෙන් කටයුතු කළ ක්‍රිස්තියානීහු නීතිය සම්බන්ධයෙන් නිවැරදි නිගමනවලට එළඹුණහ. කෙසේවෙතත්, මෝසෙස්ගේ නීතිය සම්බන්ධයෙන් දැරිය යුතු නිවැරදි දෘෂ්ටිය යුදෙව් ක්‍රිස්තියානීන් සැමට සක් සුදක් සේ පැහැදිලි වූයේ පො.යු. 70දීය. එසේ පැහැදිලි වූයේ යෙරුසලම, එහි දේවමාළිගාව, පූජක තන්ත්‍රය හා බැඳි වාර්තා විනාශ වීමට දෙවි ඉඩ දුන් බැවිනි. එමනිසා එතැන් පටන් නීතියේ සියලුම අංග රැකීමට කිසිම කෙනෙකුට හැකිකමක් තිබුණේ නැත.

පාඩම අදදිනට අදාළ කිරීම

18, 19. (අ) අප අනුගමනය කළ යුත්තේ කවර ආකල්පද? ආත්මික ලෙස හොඳ නිරෝගී තත්වයක සිටීමට නම්, අප වැළකී සිටිය යුත්තේ කවර ආකල්පවලින්ද? (ආ) වගකිව යුතු සහෝදරයන්ගෙන් අප ලබන මඟ පෙන්වීම් අනුගමනය කිරීම ගැන පාවුල්ගේ ආදර්ශයෙන් අප ඉගෙනගන්නේ මොනවාද? (24වන පිටුවේ කොටුව බලන්න.)

18 දුරාතීතයේ සිදු වූ මෙම දේවල් සලකා බැලීමෙන් පසු, ඔබ මෙසේ කල්පනා කරනවා විය හැක. ‘මා ඒ කාලයේ ජීවත්ව සිටියා නම්, දෙවිගේ කැමැත්ත ප්‍රගතිශීලීව එළිදරව් කළ විට, මගේ ප්‍රතිචාරය කොහොම වෙයිද? මමත් සම්ප්‍රදායික මතවලට දැඩි ලෙස ඇලී සිටීවිද? එසේ නැතහොත් නිවැරදි ස්ථාවරය පැහැදිලිව අවබෝධ කරගන්නා තෙක් මම ඉවසිලිවන්තව බලා සිටීවිද? පසුව අවබෝධ වූ විට, ඊට මම මුළු සිතින් සහයෝගය දක්වයිද?’

19 ඇත්තෙන්ම අප එදා ජීවත්ව සිටියා නම්, අප කෙසේ ප්‍රතික්‍රියා කරාවිද යන්න ගැන නිසැකව යමක් පවසන්නට නුපුළුවන. එනමුත් අපට අපගෙන් මෙසේ අසාගත හැකිය. ‘බයිබලයේ සඳහන් දේවල් පිළිබඳව අවබෝධය තවත් පැහැදිලිව ඉදිරිපත් කරනු ලබන විට, මම ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? (මතෙව් 24:45) ශුද්ධ ලියවිල්ල පදනම් කරගත් මඟ පෙන්වීම් සපයනු ලබන විට, එය අදාළ කරගැනීමට මම උත්සාහ කරනවාද? නීතිය යාන්ත්‍රිකව උඩින් පල්ලෙන් පිළිපදිනවාට වඩා එහි නියම සාරය, අභිප්‍රාය සිතට ගෙන එය රැකීමට මම උත්සාහ කරනවාද? (1 කොරින්ති 14:20) දිගින් දිගට ඇදී ප්‍රශ්නයක්ව පවතින දෙයකට උත්තරය ලැබීමට යම් කාලයක් ගත වන බව හැඟෙන විට, මම ඉවසිලිවන්තව යෙහෝවා කෙරෙහි බලා සිටිනවාද?’ අදදින අපට ලබාගත හැකි ආත්මික ආහාර හොඳින් පරිභෝජනය කිරීම අත්‍යවශ්‍යය. එය කළ යුත්තේ ‘අප කිසි කලක පාවී අහක්ව නොයන පිණිසය.’ (හෙබ්‍රෙව් 2:1, NW) එසේ නම්, යෙහෝවා තම වචනය, ආත්මය හා භූමික සංවිධානය මාර්ගයෙන් මඟ පෙන්වීම් සපයද්දී, අපි හොඳින් සවන් යොමු කරමු. එසේ කළහොත්, යෙහෝවා අපට නිමක් නොමැති, තෘප්තිමත් මෙන්ම සතුටින් පිරි ජීවිතයක් ලබා දෙමින් අපට ආශීර්වාද කරනවා නියතය.

[පාදසටහන]

^ 13 ඡේ. පේතෘස් සිරියානු අන්තියෝකියට පැමිණි විට, ඔහු අන්‍යජාතික ඇදහිලිවන්තයන් සමඟ සුහද ඇසුරක් භුක්ති වින්දේය. එනමුත්, යෙරුසලමේ සිට යුදෙව් ක්‍රිස්තියානීන් පැමිණි විට, “චර්මච්ඡේදිතයන්ට භයෙන්, [පේතෘස්] පසු බැස වෙන් වී සිටින්න පටන්ගත්තේය.” තමුන් මෙතරම් ගෞරව කළ මෙම ප්‍රේරිතවරයා තමන් සමඟ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළ විට, අන්‍යජාතික ක්‍රිස්තියානීන්ගේ සිත් කොතරම් පෑරුණාද කියා අපට සිතාගත හැකිය.—ගලාති 2:11-13, NW.

ඔබේ ප්‍රතිචාරය කෙබඳුද?

• මෝසෙස්ගේ නීතිය ‘ක්‍රිස්තුස් ළඟට ගෙනයන උපදේශකයෙකු’ හා සමාන වූයේ කවර අර්ථයකින්ද?

• සත්‍යය පිළිබඳව අවබෝධ වූ දෙයෙහි වෙනස්කම්වලට පේතෘස් හා “චර්මච්ඡේදනයට පක්ෂව සිටි අය” ප්‍රතිචාරය දැක්වූ අන්දම වෙනස් වීමට හේතුව ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?

• යෙහෝවා අදදින සත්‍යය එළිදරව් කරන ආකාරය ගැන ඔබ ඉගෙන ඇත්තේ මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[24වන පිටුවේ කොටුව⁄පින්තූරය]

පරීක්ෂණයක් හමුවේ පාවුල්ගේ යටහත්පහත්කම

පොදු යුගයේ 56දී සාර්ථක මිෂනාරි ගමනක් අවසන් කිරීමෙන් පසු පාවුල් යෙරුසලමට පැමිණියේය. එහිදී පරීක්ෂණයකට මුහුණ දීමට ඔහුට සිදු විය. නීතිය අවලංගු වී තිබුණු බව ඔහු උගන්වමින් සිටි බවට වූ ආරංචිය එම සභාවද දැනගෙන තිබිණ. මෑතක ක්‍රිස්තියානි ධර්මය වැලඳගත් යුදෙව්වන්, නීතිය පිළිබඳව පාවුල් එඩිතරව දැක්වූ අදහස්වලින් බාධාවට පත් වී, යෙහෝවාගේ විධිවිධානයන් සඳහා ක්‍රිස්තියානීන්ට කිසිම ගෞරවයක් නැතැයි යන්න නිගමනය කරාවිය යන බිය වැඩිමහල්ලන්ට තිබිණ. සභාව තුළ යුදෙව් ක්‍රිස්තියානීන් සිව්දෙනෙකු භාරයක් වී තිබුණු අතර, එය සමහර විට නසරිය භාරය වන්නට ඇත. එම භාරය ඉටු කිරීමට දේවමාළිගාවට යෑමටද ඔවුන්ට සිදු විය.

ඔවුන්ගේ විය හියදම් පියවීම සඳහා මෙම සිව්දෙනා සමඟ දේවමාළිගාවට යන මෙන් වැඩිමහල්ලෝ පාවුල්ගෙන් ඉල්ලා සිටියෝය. ගැලවීම සඳහා නීතිය රැකීම අවශ්‍ය නොවන බවට තර්ක ඉදිරිපත් කළ දේවානුභාවය ලත් ලිපි අඩුම තරමින් දෙකක්වත් පාවුල් මේ වන විටත් ලියා තිබිණ. කෙසේවෙතත්, ඔහු අන් අයගේ හෘදය සාක්ෂීන් ගැන සංවේදී විය. වසර කිහිපයකට කලින් “නීතිය යටතේ සිටින අයව දිනාගන්නා පිණිස, නීතිය යටතේ සිටින අයට නීතිය යටතේ සිටින්නෙකු මෙන් වුණෙමි” යනුවෙන් ඔහු ලියා තිබිණ. (1 කොරින්ති 9:20-23, NW) අතිවැදගත් ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති අදාළ වූ අවස්ථාවලදී පාවුල් කිසි විටෙක එම ප්‍රතිපත්ති පාවා දුන්නේ නැත. එනමුත්, මෙම වැඩිමහල්ලන් ඉදිරිපත් කළ යෝජනාවට පාවුල් හරස් නොවීය. (ක්‍රියා 21:15-26) එසේ කිරීමෙහි කිසිදු වරදක් නොතිබිණ. භාරයක් වීම හා සම්බන්ධ විධිවිධානය ශුද්ධ ලියවිල්ලට විරෝධී එකක් නොවීය. තවද දේවමාළිගාව භාවිත කරන ලද්දේ රූප නමස්කාරය සඳහා නොව පවිත්‍ර නමස්කාරය සඳහාය. එමනිසා, බාධාවට පත්වීමට කිසිදු ප්‍රස්තාවක් නොදීම සඳහා පාවුල් එම ඉල්ලීමට එකඟව ක්‍රියා කළේය. (1 කොරින්ති 8:13) ඇත්තෙන්ම මෙහිදී පාවුල් සෑහෙන යටහත්පහත්කමින් ක්‍රියා කළ බව පෙනේ. එතුළින් ඔහු සඳහා අපගේ ගෞරවය ගැඹුරු වනවාට සැකයක් නැත.

[22, 23වන පිටුවේ පින්තූරය]

අවුරුදු කිහිපයක් පුරා මෝසෙස්ගේ නීතිය පිළිබඳව ක්‍රිස්තියානීන් අතර මතභේද පැවතිණ