Skip to content

පටුනට යන්න

‘අරරත් දේශයේ’ සැබෑ නමස්කාරය සඳහා තිබෙන අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී

‘අරරත් දේශයේ’ සැබෑ නමස්කාරය සඳහා තිබෙන අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී

‘අරරත් දේශයේ’ සැබෑ නමස්කාරය සඳහා තිබෙන අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන සුදුපැහැති හිසකෙස් සහිත ආමේනියානු ජාතිකයෙකු ඔහුගේ රටෙහි ඉහළම අධිකරණය හමුවෙහි පෙනී සිටියි. ඔහුගෙත් ඔහුගේ ආගමේ සිටින බොහෝදෙනෙකුගෙත් නිදහස තිබෙන්නේ යුක්තිය නමැති තුලාවේය. ඔහු සිය ආගමික විශ්වාසයන් පැහැදිලි කිරීම සඳහා බයිබලයෙන් උපුටා දැක්වීම් කරද්දී අධිකරණය ඊට සවන් දීගෙන සිටියි. මෙම නඩු විභාගය එම රටෙහි සැබෑ නමස්කාරයේ අතිවිශාල ජයග්‍රහණයකට මංපෙත් එළි කළ අයුරු දැනගැනීම සඳහා එයට මුල් වූ සිද්ධීන් පරීක්ෂා කර බලමු.

ආමේනියාව පිහිටා තිබෙන්නේ තුර්කියට නැඟෙනහිරෙන් සහ දැවැන්ත කොකේසියස් කඳු වැටියට දකුණෙනි. එහි ජනගහනය දශලක්ෂ තුනකට වඩා වැඩිය. මෙම රටේ අගනුවර වන යරිවාන්හි සිට දැකගත හැකි අරරත් කඳුවැටියේ අලංකාර මුදුන් දෙක කාගෙත් නෙත් සිත් ඇද බැඳ තබාගනී. පුරාණයේ සිට පැවතෙන විශ්වාසයකට අනුව මුළු මහත් ලෝකයම යට කර දැමූ ජලගැල්මෙන් පසු නෝවාගේ නැව අවසානයේදී නතර වූයේ එම කඳු මුදුන් අසලය.—උත්පත්ති 8:4. *

යෙහෝවාගේ සාක්ෂිකරුවන් ක්‍රිස්තියානි දේවසේවය හා බැඳි ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආමේනියාව තුළ කරමින් සිටින්නේ 1975 සිටය. වර්ෂ 1991දී ආමේනියාව කලින් තිබූ සෝවියට් සමූහාණ්ඩුවෙන් නිදහස ලබාගැනීමෙන් පසු එරටෙහි තිබෙන ආගමික සංවිධාන ලියාපදිංචි කිරීම සඳහා ආගමික කටයුතු පිළිබඳ රාජ්‍ය උපදේශක සභාවක් පිහිටුවන ලදි. කෙසේවෙතත් මෙම උපදේශක සභාව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ලියාපදිංචි කිරීම කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප කර ඇත. මෙයට මූලිකම හේතුව වන්නේ ඔවුන්ගේ ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය මතභේදයට ලක් වී තිබීමයි. මේ හේතුවෙන් හමුදා සේවය හා සම්බන්ධ බයිබලය මත පදනම් ඔවුන්ගේ ස්ථාවරය නිසා 1991 සිට සාක්ෂිකාර යෞවනයන් 100කට වඩා වැඩිදෙනෙකුව වරදකරුවන් කර තිබෙන අතර බොහෝ අවස්ථාවලදී ඔවුන්ව සිරගත කර ඇත.

ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකු මෙන්ම ප්‍රාදේශීය පරමාණු බලාගාරයක නීතිඥයෙකු ලෙස වෙහෙස නොබලා සේවය කරන ලියෝවා මාර්කාරියන් නමැත්තා කරමින් සිටින ආගමික කටයුතු සෝදිසි කර බලන්න කියා ඉහත සඳහන් කළ උපදේශක සභාව විසින් රජයේ පැමිණිලි මෙහෙයවන කාර්යාලයෙන් ඉල්ලා සිටින ලදි. අවසානයේදී සහෝදර මාර්කාරියන්ට විරුද්ධව 244වන ආඥා පනත යටතේ නඩු පවරන ලදි. සෝවියට් නීති සංග්‍රහයෙන් පැවතෙන එම පනත සම්මත කරන ලද්දේ ක්රුෂෙෆ්ගේ පාලන සමයේදීය. මෙම පනත ස්ථාපිත කරන ලද්දේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ හා වෙනත් ආගමික කණ්ඩායම්වල වැඩකටයුතු අඩපණ කර අවසානයේදී ඔවුන්ව සම්පූර්ණයෙන්ම තුරන් කර දැමීමේ අරමුණ ඇතිවයි.

එම නීතියට අනුව ආගමික විශ්වාසයන් ගැන දේශනා කරනවා කියන මුවාවෙන් ‘ලියාපදිංචි නොකළ ආගමික රැස්වීම්වලට තරුණයන්ව සහභාගි කරවාගැනීමට තැත් කරන’ හා ‘සිවිල් යුතුකම් පැහැරහැරීමට එහි සාමාජිකයන්ට බලපෑම් කරන’ ආගමික කණ්ඩායමක් සංවිධානය කිරීම සහ මෙහෙයවීම අපරාධයකි. පැමිණිලිකරු ඔහුගේ චෝදනාව තහවුරු කිරීම සඳහා ගෙනහැර දැක්වූයේ සහෝදර මාර්කාරියන් විසින් මෙට්සාමොර් නගරයේ පවත්වනු ලබන ආගමික රැස්වීම්වලට කුඩා දරුවන්ව සහභාගි කරවාගැනීමයි. සහෝදර මාර්කාරියන් සභාවේ සිටින තරුණයන්ට හමුදා සේවයට බැඳෙන්න එපා කියා බල කර තිබූ බවටද පැමිණිලිකරු චෝදනා කළේය.

නඩුව විභාග කිරීමට පටන්ගනී

මෙම නඩුව 2001 ජූලි 20වන සිකුරාදා අමවීර්හි පිහිටි දිස්ත්‍රික් උසාවියේදී විනිසුරු මැන්වෙල් සිමොන්යාන්ගේ මූලිකත්වය යටතේ විභාග කිරීම ආරම්භ කරන ලදි. මෙම නඩුව අගෝස්තු මාසයෙන් වැඩි කාලයක් පුරා විභාග විය. පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවෝ ඔවුන්ගේ සාක්ෂි ඉදිරිපත් කරමින් අවසානයේදී මෙසේ පිළිගත්තෝය. එනම් ජාතික ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජිතයන් සහෝදර මාර්කාරියන්ට විරුද්ධව කළ ලිඛිත ප්‍රකාශවල ඔවුන් කැමති දේවල් එම සාක්ෂිකරුවන් ලවා ලියවාගත් බවත් එම ප්‍රකාශවලට අත්සන් තබන්න කියා ඔවුන්ට බල කළ බවත්ය. මීට එක් නිදසුනක් වන්නේ “යෙහෝවාගේ සාක්ෂිකරුවන් අපේ ආණ්ඩුවට හා ආගමට විරුද්ධයි” කියා පැවසීමට ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරියෙකු ඇයට උපදෙස් දුන් බව එක් කාන්තාවක පිළිගැනීමයි. ඇය පෞද්ගලිකව යෙහෝවාගේ සාක්ෂිකරුවන් කිසිවෙකුව හඳුනන්නේ නැති බවත්, ඔවුන් ගැන අසා තිබූ එකම දෙය වූයේ රජයේ රූපවාහිනිය මගින් ඔවුන්ට විරුද්ධව කළ චෝදනා බවත් එම කාන්තාව හෙළි කළාය.

සහෝදර මාර්කාරියන්ට කතා කරන්න ලැබුණු වාරයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට පැමිණෙන කුඩා දරුවන් එසේ පැමිණෙන්නේ ඔවුන්ගේ දෙමාපියන්ගේ අවසරය ඇතුව බව ඔහු ප්‍රකාශ කළේය. හමුදා සේවයට බැඳීම පෞද්ගලික තීරණයක් බවද ඔහු පැහැදිලි කළේය. පැමිණිලිකරු විසින් හරස් ප්‍රශ්න අසනු ලැබීම දවස් කිහිපයක් තිස්සේ සිදු විය. සහෝදර මාර්කාරියන් ඔහුගේ ආගමික විශ්වාසයන් ගැන ඇසූ ප්‍රශ්නවලට බයිබලය යොදාගනිමින් සන්සුන්ව පිළිතුරු දෙන විට පැමිණිලිකරු ඔහුගේ බයිබලයෙන් සහෝදර මාර්කාරියන් සඳහන් කළ බයිබල් පාඨ පරීක්ෂා කර බැලුවේය.

මාර්කාරියන් නියැලී සිටින කටයුතු “අපරාධයකට සම්බන්ධ බවට කිසිම සාක්ෂියක් නැති” බව ප්‍රකාශ කරමින් ඔහු “වරදකරු නොවන” බව 2001 සැප්තැම්බර් 18වනදා විනිසුරු තීන්දු කළේය. මෙම නඩුව ගැන ඇසෝෂිඒටඩ් ප්‍රෙස් නමැති පුවත්පතේ එක් වාර්තාවක මෙසේ සඳහන් විය. “තරුණයන්ව ආගමට බඳවාගන්න බවටත් ඔවුන් හමුදා සේවයට බැඳීම වළක්වනු ලබන බවටත් කළ චෝදනාවලින් ආමේනියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නායකයෙකුව අද නිදහස් කරන ලදි. මෙම නායකයා වන ලියෝවා මාර්කාරියන්ට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව මාස දෙකක් තුළ අසන ලද නඩු විභාගයෙන් පසු අධිකරණය තීන්දු කළේය. චෝදනා ඔප්පු වූවා නම් ඔහු වසර පහක සිර දඬුවමක් ලබන්න ඉඩ තිබිණ. . . . ආමේනියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආගමික නිදහස ලබා දී තිබුණද අලුත් ආගමික කණ්ඩායම්වලට ලියාපදිංචි සහතිකය ලබාගැනීම දුෂ්කරය. වැඩි වාසි ලැබී තිබෙන්නේ එරටෙහි ප්‍රධානතම ආගම වන ආමේනියානු අපෝස්තලික සභාවටයි.” වර්ෂ 2001 සැප්තැම්බර් 18වනදා යුරෝපයේ ආරක්ෂාව හා සහයෝගිතාව සඳහා වූ සංවිධානය (OSCE) මගින් කළ පුවත් ප්‍රකාශනයක මෙසේ සඳහන් විය. “නඩු තීන්දුව සතුටින් පිළිගත හැකි වුවද පැමිණිලිකාර පාර්ශ්වයට මෙලෙස නඩු මඟට බැසීමට ඉඩ දීම ගැන OSCE කාර්යාලය එහි කනගාටුව පළ කරයි.”

පැමිණිල්ල අත් නොහරියි

කෙසේවෙතත් පැමිණිලිකාර පාර්ශ්වය අභියාචනයක් ඉදිරිපත් කළ අතර අභියාචන නඩු විභාගය තවත් මාස හතරක කාලයක් තිස්සේ දිග්ගැස්සිණ. නඩු විභාගය ආරම්භයේදී කරුණු ඉදිරිපත් කිරීමට සහෝදර මාර්කාරියන්ට අවස්ථාව ලැබුණු විට ඔහුට මුල්ම ප්‍රශ්නය ඉදිරිපත් කරන ලද්දේ විනිසුරු මඩුල්ලේ සිටි එක් විනිසුරුවෙකු විසිනි. සහෝදර මාර්කාරියන් එයට උත්තර දීමට පටන්ගත් අවස්ථාවේදී සභාපතිනිය එයට බාධා කරමින් ඔහුට විරුද්ධව කතා කළාය. එතැන් සිට සහෝදර මාර්කාරියන්ට එක ප්‍රශ්නයකටවත් උත්තර දී අවසන් කිරීමට ඇය ඉඩ දුන්නේ නැත. ඇය හේතු ඉදිරිපත් කරන්නේ නැතිවම විත්තිකාර පාර්ශ්වය ඔහුගෙන් ඇසූ ප්‍රශ්න වාර්තාවලින් ඉවත් කළාය. නඩුව විභාග කරන අතරතුරේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරෝධය පාන ආගමික උන්මන්තකයන් උසාවියට ඇතුල් වී සහෝදර මාර්කාරියන්ට අපහාසාත්මක දේවල් පවසන්නට විය. නඩු සැසිවාරය පැවැත්වූ දිනයට පසු දින නඩුව පිළිබඳ බොරු කන්දරාවක් හා වැරදි තොරතුරු රාශියක් රූපවාහිනියේ විකාශනය කෙරිණ. තමන් වැරදියි කියා සහෝදර මාර්කාරියන් පිළිගත් බව රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීම එයට එක් නිදසුනකි.

නඩුවේ භාගයක් පමණ ඇසීමෙන් අනතුරුව තිදෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලේ සභාපතිනිය විසින් ඉදිරිපත් කරන ලද ලිපියකින් බලාසිටින්නෝ මවිතයට පත් වූහ. ආගමික කටයුතු පිළිබඳ රාජ්‍ය උපදේශක සභාව මගින් නිකුත් කරන ලද එම ලිපිය තුළින් සහෝදර මාර්කාරියන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න කියා පැමිණිල්ල මෙහෙයවන කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබිණ. මෙම නඩු විභාගය අසා සිටි ජාත්‍යන්තර නිරීක්ෂකයෝද ඒ ගැන මවිතයට පත් වූහ. ඊට හේතුව වූයේ යුරෝපීය කවුන්සලයේ සමාජිකත්වය ලබාගැනීම සඳහා ආමේනියාව ඉදිරිපත් කළ අයදුම් පත්‍රයේ මෙසේ පිළිගෙන තිබීමයි. “විශේෂයෙන්ම ‘සම්ප්‍රදායික නොවන’ කියා හඳුන්වනු ලබන ආගම් ඇතුළු සියලුම සභාවලට හා ආගමික ප්‍රජාවන්ට කිසිදු අසාධාරණයකට ලක් නොවී ඔවුන්ගේ ආගමික කටයුතු කරගෙන යෑමට ඉඩ ලබා දෙන බව සහතික කෙරේ.”

ඊළඟ සතිවලදී නඩුව විභාග කරන විට අධිකරණය අවට තත්වය වඩ වඩා උණුසුම් අතට හැරිණ. අධිකරණය ඇතුළේ සහ පිටත සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරුද්ධවාදීන් විසින් හිරිහැර කරමින් පහර දෙන ලදි. යෙහෝවාගේ සාක්ෂිකාර ස්ත්‍රීන්ට පා පහර එල්ල විය. එක් සාක්ෂිකරුවෙකුට පහර දෙන විට ඔහු ප්‍රතිප්‍රහාර එල්ල කළේ නැති වුවත් පිටුපසින් කෙනෙක් පැමිණ ඔහුගේ කොන්දට පහර දුන් අතර ඔහුව රෝහල්ගත කිරීමට සිදු විය.

මේ අතරතුර මේ නඩුව අසන විනිසුරු මඩුල්ල සඳහා අලුත් සභාපති කෙනෙකුව පත් කරන ලදි. විත්තියේ නීතිඥයාව බියගැන්වීමට අධිකරණයේ රැස්ව සිටි කිහිපදෙනෙකු උත්සාහ කළද අලුත් සභාපති තත්වය පාලනය කළේය. විත්තියේ නීතිඥයාට තර්ජනය කරමින් කෑගැසූ ස්ත්‍රියක්ව අධිකරණ ශාලාවෙන් පිටතට රැගෙන යෑමට පවා ඔහු පොලිසියට නියෝග කළේය.

නඩුව ආමේනියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යයි

අවසානයේදී 2002 මාර්තු 7වනදා අභියාචනාධිකරණය කලින් උසාවිය දුන් තීන්දුව නිවැරදි බව තහවුරු කළේය. මෙම තීන්දුව ප්‍රකාශ කිරීමට කලින් දවසේදී ආගමික කටයුතු පිළිබඳ රාජ්‍ය උපදේශක සභාව විසුරුවාහැරීම කාටත් සිතාගත නොහැකි දෙයක් විය. නැවත වතාවක් පැමිණිලිකාර පාර්ශ්වය දෙනු ලැබූ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කළෝය. මෙම වතාවේදී මෙම නඩුව ඉදිරිපත් කළේ ආමේනියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. විත්තිකරු සම්බන්ධයෙන් ගත් “තීරණය වැරදි බව තීන්දු කිරීම” සඳහා මෙම නඩුව නැවත විභාග කරන මෙන් පැමිණිලි පාර්ශ්වය ඉල්ලා සිටියෝය.

විනිසුරු මහෙර් කාචාට්‍රියාන්ගේ මුලසුන යටතේ හයදෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් 2002 අප්‍රියෙල් 19වනදා පෙ.ව. 11:00ට රැස් විය. සහෝදර මාර්කාරියන් වරදකරුවෙකු බව තීන්දු කිරීමට මීට කලින් මෙම නඩුව විභාග කළ අධිකරණ දෙකකට නොහැකි වූ බව පවසමින් පැමිණිලි පාර්ශ්වයේ එක් නීතිඥයෙක් ඔහුගේ ආරම්භක ප්‍රකාශයේදී බලවත් අප්‍රසාදය පළ කළේය. කෙසේවෙතත් මේ අවස්ථාවේදී විනිසුරුවන් හතරදෙනෙකු විසින් කඩින් කඩ කරන ලද ප්‍රශ්න කිරීම්වලට හා බාධා කිරීම්වලට ලක් වූයේ පැමිණිලිකාර පාර්ශ්වයයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරන දේශනා සේවය හා ඔවුන්ව ලියාපදිංචි කර නොතිබීම හේතුවක් කරගෙන අධිකරණය ලවා තමන්ට පක්ෂව තීන්දුවක් ගනිමින් සහෝදර මාර්කාරියන් වරදකරු කිරීමට තැත් කළ පැමිණිලිකරුව එක් විනිසුරුවෙක් දැඩි සේ දෝෂාරෝපණයට ලක් කළේය. මෙම රටෙහි ව්‍යවස්ථාවේ 244වන වගන්තියෙහි සඳහන් වන පරිදි එම හේතු දෙකෙන් එකක්වත් අපරාධයක් ලෙස සැලකිය නොහැක. පැමිණිලිකරු කළ දෙය විනිසුරු විස්තර කළේ “අපරාධ නඩුවක් පැවරීමෙන් සිදු කරන පීඩාවක්” ලෙසයි. යුරෝපයේ පැවැත්වූ නොයෙකුත් නඩු විභාගවලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් “පිළිගත් ආගමක්” ලෙස සලකනු ලැබූ බවත්, මානව හිමිකම් පිළිබඳ යුරෝපා සම්මතයට එකඟව එය ආරක්ෂා විය යුතු සංවිධානයක් බවත් එක් විනිසුරුවෙක් සඳහන් කළේය. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ජාතිය දෙකඩ කරනවා කියමින් අධිකරණයේ සිටි පූජකයෙක් ඒ අවස්ථාවේදී කෑගැසුවේය. නිශ්ශබ්ද වන්න කියා අධිකරණය ඔහුට නියෝග කළේය.

අනතුරුව ලියෝවා මාර්කාරියන්ට කතා කිරීමට විනිසුරු අවස්ථාව දුන්නේය. මීට කලින් මෙම ශ්‍රේෂ්ඨාධිකරණයේ එවන් දෙයකට අවසර දී තිබුණේ නැත. මතභේදවලට ලක් වෙමින් තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි ස්ථාවරය ගැන සහෝදර මාර්කාරියන් කදිම සාක්ෂියක් දුන්නේය. (මාක් 13:9) විනිසුරු මඩුල්ල කෙටි සාකච්ඡාවක් කිරීමෙන් පසු ඒකමතිකව තහවුරු කළේ කලින් දුන් තීන්දුවේ කිසිදු “වරදක් නැති” බවයි. මහත් බරක් හිසෙන් ඉවත් කළාක් මෙන් සැනසිල්ලක් ඔහුට දැනුණු බවක් සහෝදර මාර්කාරියන්ගේ මුහුණින් දැකගත හැකි විය. අධිකරණය නිකුත් කළ ලිඛිත තීන්දුවේ මෙසේ සඳහන් විය. “පවතින නීතියට අනුව [ලියෝවා මාර්කාරියන්ගේ] මෙම ක්‍රියාකාරකම් අපරාධයක් ලෙස සැලකිය නොහැක. මේ ආකාරයේ චෝදනා ආමේනියානු ව්‍යවස්ථාවේ 23වන වගන්තියටත් යුරෝපීය සමුළුවේදී සම්මත කරගත් 9වන වගන්තියටත් පටහැනිය.”

තීන්දුවේ බලපෑම

විත්තියට කරන ලද චෝදනා නිෂ්ප්‍රභ නොවුණා නම් ආමේනියාව පුරා තිබෙන සභාවල සේවය කරන සෙසු වැඩිමහල්ලන්ට විරුද්ධවද නීතිමය පියවර ගැනීමට ඉඩ තිබිණ. කෙසේවෙතත් අධිකරණය දුන් පැහැදිලි තීන්දුව නිසා එවැනි හිරිහැර වළක්වාගත හැකි විය. හිතකර නොවූ තීන්දුවක් දුන්නා නම් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ලියාපදිංචි කිරීම දිගටම ප්‍රතික්ෂේප කිරීමට එය අතකොළුවක් ලෙස යොදාගැනීමටද ඉඩ තිබෙනු ඇතැයි කියා සිතිය හැක. එහෙත් අධිකරණයට ස්තුතිවන්ත වෙන්න දැන් එම අතකොළුව පාවිච්චි කළ නොහැක.

මේ රටෙහි සිටින 7,000කට වඩා වැඩි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ඉදිරියේදී ලියාපදිංචි කරයිද නැද්ද කියා කාලය පවසාවි. මේ අතරතුර සැබෑ නමස්කාරය ‘අරරත් දේශයේ’ තවමත් ක්‍රියාශීලීව වර්ධනය වෙමින් පවතී.

[පාදසටහන]

^ 3 ඡේ. ආමේනියානු ජාතිකයන් ඔවුන්ගේ රට අරරත් කන්ද සමඟ සම්බන්ධ කර දැක්වීමට මෙය එක් හේතුවකි. පුරාණයේදී ආමේනියාව දැවැත්ත රාජ්‍යයක් වූ අතර එහි බලප්‍රදේශයට එම කඳුද ඇතුළත් විය. යෙසායා 37:38හි සඳහන් ‘අරරත් දේශය’ නමැති ප්‍රකාශය ග්‍රීක් සෙප්ටූඅජින්ට් බයිබල් පරිවර්තනයේ “ආමේනියාව” ලෙස සඳහන් කර තිබෙන්නේ එම හේතුව නිසාය. වර්තමානයේදී අරරත් කන්ද පිහිටා තිබෙන්නේ තුර්කියේ නැඟෙනහිර මායිමේය.

[12වන පිටුවේ පින්තූරය]

අධිකරණයේ පෙනී සිටින ලියෝවා මාර්කාරියන්

[13වන පිටුවේ පින්තූරය]

සහෝදර මාර්කාරියන් සහ ඔහුගේ පවුලේ අය