Skip to content

පටුනට යන්න

ඔබට සාදරයෙන් ආරාධනා කරමු

ඔබට සාදරයෙන් ආරාධනා කරමු

ඔබට සාදරයෙන් ආරාධනා කරමු

අවුරුදු 2,000කට පමණ පෙර යේසුස් ක්‍රිස්තුස් විසින් ස්ථාපිත කළාවූ අන්තිම සන්ධ්‍යා භෝජනය නිකම්ම ඉතිහාසගත වූ රසවත් සිදුවීමකට වඩා වැඩි යමකි. එය පැවැත්වූ දා පටන් මනුෂ්‍යයන් කෙරෙහි එය ප්‍රබල ලෙස බලපෑමක් කර තිබෙනවා. එදා රාත්‍රියේ සිදු වූ දේවල් ගැන සුවිශේෂවල සඳහන් දෑ කියවා ඇති ජනයාගේ සිත්වලට එම සිද්ධිය කොතෙක් කාවැදුණාද යත් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය විවිධාකාර අන්දමින් සිහි කිරීමට ඔවුන් උත්සාහ කර තිබෙනවා.

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය කෙරෙහි මෙතරම් උනන්දුවක් දක්වා තිබෙන්නේ මන්දැයි අපට තේරුම්ගත හැකියි. මන්ද යේසුස් පවා මෙය ඔහුගේ ගෝලයන්ට නිතිපතා සමරන ලෙස අණ කළා. ඔහු විශේෂයෙන්ම මේ සම්බන්ධව පැවසුවේ “මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න” කියායි.—ලූක් 22:19 NW; 1 කොරින්ති 11:23-25.

මෙම සිහි කිරීම ඇත්තටම පලදායී අද්දැකීමක් කරගන්නට නම් මෙය පැවැත්විය යුතු හේතුව ගැන දෙවිගේ වචනය වන බයිබලයේ සඳහන් දේ ගැන නිවැරදි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යයි. ඊට අමතරව මෙය පැවැත්විය යුත්තේ කවදාද හා එය සැමරිය යුතු ආකාරය සම්බන්ධයෙන් බයිබලයේ පවසා ඇති දේ දැනගැනීමත් වැදගත්.

යේසුස්ගේ ආඥාවට එකඟව ලොව පුරාම සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් 2003 අප්‍රියෙල් 16වෙනි බදාදා සැන්දෑවේ යේසුස්ගේ මරණය සිහි කිරීමට එකට එක්රැස් වෙනවා. මෙම සැන්දෑවේදී ඔවුන්ට ශුද්ධ වූ ලියවිලි පරීක්ෂා කර බැලීමටත් ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි වූ ඔවුන්ගේ ඇදහිල්ල හා ප්‍රේමය අලුත් කරගැනීමටත් අවස්ථාව උදා වෙනවා නිසැකයි. යේසුස් ක්‍රිස්තුස් පැවසුවේ “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16, NW) යේසුස් ක්‍රිස්තුස් හා ස්වර්ගික පියාණන් වන යෙහෝවා දෙවි කෙරෙහි වූ ඔබගේ ඇදහිල්ලත් ඒ වගේම ප්‍රේමයත් ශක්තිමත් කරගත හැකි වන පිණිස එම සැන්දෑවේ ඔවුන් සමඟ රැස්වීමට අපි ඔබට සාදරයෙන් ආරාධනා කරමු.